මේ ආණ්ඩුවෙත් සමහරු ඉන්න ඕනෑ හිරේ |වසන්ත සමරසිංහ (දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු)

තරිඳු උඩුවරගෙදර

ඔබේ පක්ෂය පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ සමාජ වෙනස සහ දූෂණ විරෝධය අතර තියෙන සම්බන්ධය මොකක්ද?

අපි සමාජ වෙනසක් අපේක්ෂා කරන්නේ සමාන අයිතියක් ඇතිව හැම පුරවැසියාම සමාන අවස්ථා සහිතව ජීවත්විය යුතුයි කියලා හිතලා. මහජනතාවට ලැබෙන්න ඕනෑ දේවල් නොලැබෙන්නේ හොරා කන නිසා. බිල්ඩින් එක හදන්න දුන්නාම අවුරුදු විස්සකට හදන එක දහයෙන් කැඩෙනවා. නිල ඇඳුම්, සපත්තු බෙදන්න දුන්නාම ඒක හොරකම් කරනවා. කෝටි ගණන් වියදම් කරලා බිල්ඩින් ගන්නේ සුභසාධනයට තියෙන සල්ලි. මේ ක‍්‍රමය යටතේත් සමාජවාදී සමාජයකත් දූෂණය වංචාව සිදුනොවිය යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ දූෂණ ගැන පැමිණිලි කරමින් ආණ්ඩුවට දේශපාලන පළිගැනීම් කරන්න උදව් කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා නේද?

අපි මේ සංවිධානය පටන්ගත්තේ 2011දී. එදා ඉඳන් 2015 වෙනකම් අල්ලස් කොමිසමට අපි දාපු පැමිණිලිවලට වෙච්ච දේකුත් නැහැ. ඒවා විභාග වුණේත් නැහැ. 2015න් පස්සේ අපි දූෂණ විමර්ශන කමිටු ලේකම් කාර්යාලයටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් කාර්යාලයටත් පැමිණිලි දැම්මා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පැමිණිලි දැම්මා. අපි පැමිණිලි සීයකට වඩා දාලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට වෙච්ච හානි, බලපෑම් සහ මුහුණ දුන්නු අත්දැකීම් ඇසුරින් ලැබුණු තොරතුරු සංක්ෂිප්ත කරලා ඒවායේ තියෙන මහජන මුදල් අයථා විදියට යොදවපු පුද්ගලයන්, සංවිධාන සහ ආයතන පිළිබඳව දාපු පැමිණිලි විශාල තොගයක් තියෙනවා. ඒවායින් මේ විභාග වෙන්නේ බොහොම සුළු ප‍්‍රමාණයක්. මේවා කාගේවත් වුවමනාවට නෙවෙයි. ජනතාවගේ වුවමනාවටයි ක‍්‍රියාත්මක වෙන්නේ. හොරකම් කරලා ඞීල් දාලා මහජන දේපළ කොල්ල කන්න කලින් කල්පනා කළා නම් නොකර ඉන්න, මෙහෙම කතා කියන්න වෙන්නේ නැහැ. එයාලාට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. දූෂණ විරෝධී හඬ ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ දිගටම ගෙනියනවා. හිටපු ආණ්ඩුවේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙත් ඇමතිවරු ගණනාවක් පිළිබඳව තොරතුරු සහිත පැමිණිලි අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා යටගහන්නේ නැතුව විමර්ශනය කළොත් මේ ආණ්ඩුවෙත් සමහරු දැන් ඉන්න ඕනෑ හිරේ.

ඔප්පු කළ හැකි මට්ටමේ දූෂණ වංචා පිළිබඳ තොරතුරු තියෙන මේ ආණ්ඩුවේ එක් පුද්ගලයෙක් පිළිබඳව හරි පරීක්ෂණයක් සිදුකෙරෙනවාද?

අපට නම් පෙනෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ කෙනෙක් සම්බන්ධයෙන් එක් පරීක්ෂණයක්වත් සිද්ධ වෙනවා කියලා. මුදල් ඇමතිවරයා සම්බන්ධයෙන් දාපු පැමිණිල්ල සාක්ෂි සහ තොරතුරු සහිතව දාපු පැමිණිල්ලක්. කුමාර වෙල්ගම ඇමතිවරයාට විරුද්ධව තියෙනවා පැමිණිල්ලක් උපදේශකයකුට විරුද්ධව රුපියල් පනස්පන්දාහක් වැඩියෙන් ගෙව්වා කියලා අල්ලස යටතේ පැමිණිල්ලක්. ඒකම තමයි ලක්ෂ්මන් කිරිඇල්ලටත් තියෙන්නේ. උපදේශකයෝ හැටදෙකක් තියාගත්තා කියලා. මේ රටේ නීතියක්, මූල්‍ය රෙගුලාසි ඕනෑ නැහැනේ මෙච්චර උපදේශකයෝ දාලා ගෙදර වැඩකරන මිනිහාටත් රස්සා දෙන්න පුළුවන් නම්. කන්න ගියාම කබරයා තලගොයා කරගැනීම හරියන්නේ නෑ. දුමින්ද දිසානායක ඇමතිවරයා විගණකාධිපතිවරයා එපා කියද්දී මාසෙකට ලක්ෂ දෙසීයක් දීලා බිල්ඩිමක් අරන් තියෙනවා. මේ වගේ සිදුවීම් ගණනාවක් පිළිබඳව සාක්ෂි සහිත පැමිණිලි දාලා තියෙනවා. ඒවා විභාග වීම පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනවා. අද තියරි හදාගන්නවා. අගමැතිවරයා කියලා තියෙනවා සීයට දෙසීයක් තහවුරු කරගෙන නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා. ඒත් නීතිය සීයට කීයද කියලා ගණන් හදලා ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ එකක් නෙවෙයි. රාජ්‍ය මූල්‍ය නීති යටතේ පුද්ගලයෙක් මුදල් වංචාවකට සම්බන්ධ වුණොත් වැඩ තහනම් කරලා පරීක්ෂණ කරන්නේ. අද තියෙන්නේ හොරු හිරේ යනවා වීරයො වෙලා. ඒක වෙලා තියෙන්නේ තම තමන්ගේ න්‍යාය පත‍්‍ර අනුව නීතිය ක‍්‍රියාත්මක කරන්න ගිහින් තමයි.

හිටපු ආණ්ඩුවේ ඉඳන් මේ ආණ්ඩුවට ආ අයට නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෛත‍්‍රී පිළට යන්නේ හොරු නඩුවලින් බේරෙන්න නේද?

කාටවත් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. හිටපු ආණ්ඩුවේ ඉඳන් මේ ආණ්ඩුවට ආ බරපතළ චෝදනා තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම තමයි ගැටලූව. ඒ අයට නීතිය ක‍්‍රියාත්මක නොකර කට්ටි පැන පැන දේශපාලන ගේම් ගහනවා ඇරෙන්න වෙන කිසිවක් වෙන්නේ නැහැ.

මහින්ද පිළ කියන විදියට ඔවුන් මොකක් හරි දේශපාලන වැඩක් කරනකොට ඔවුන් සම්බන්ධ අපරාධ පරීක්ෂණවල ප‍්‍රවෘත්ති පළවෙන්න පටන්ගන්නවා.රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්නවා. මෙහෙම තත්ත්වයක් පෙනෙන්න තියෙනවාද?

මෙහෙමයි. හරියට නීතිය ක‍්‍රියාත්මක වෙනවා නම් ජනාධිපතිට කියන්න දේකුත් නැහැ. අගමැතිට කියන්න දේකුත් නැහැනේ. අපි දැක්කා පහුගිය දවස්වල හිටපු ආගමන විගමන පාලකවරයාට තමන්ගේ දේපළ හොයාගත් ආකාරය පැහැදිලි කරන්න බැරිවුණ නිසා ඔහුට හිරේ යන්න වුණා. මං කියන්නේ මේ රටේ නීතිය ඒ විදියට ක‍්‍රියාත්මක වෙන්න ඉඩහැරියොත් ඇමතිවරු මන්ත‍්‍රීවරු විතරක් නෙවෙයි විශාල පිරිසකට හිරේ යන්න වෙනවාමයි. මොකද මේ අය බලයට එනකොට තිබුණ හැටි, හම්බකරපු හැටි රටට හෙළිකරන්න ඕනෑ. රජයේ නිලධාරීන්ගේ සිට විශාල පිරිසකට මේ චෝදනාව තියෙනවා. කාගෙ හරි වුවමනාවකට මේවා හසුරවනවා වෙන්න පුළුවන්. නීතිය ක‍්‍රියාත්මක වෙන ආකාරයේ තියෙනවා සැකයක්. ට‍්‍රැක්ටර් ගේන්න රෙජිස්ටර් කරලා යාළුවන්ට කාර් ගෙනෙනකොට සැකයක් එන්නේ නැද්ද? මුදල් ඇමතිවරයා මේකට සම්බන්ධයි. මේ පිළිබඳ පරීක්ෂණ සිදුනොවෙන්නේ යම් බලපෑම් නිසා වෙන්න පුළුවන්. එතකොට මහින්දලාට කියන්න පුළුවන් පරීක්ෂණ කරන්නේ ඒ අයගෙන් පළිගන්න කියලා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට ඕනෑ නම් ඕනෑ හොරෙක් නිදහස් කරනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ඕනෑ නම් ඕනෑ හොරෙක් හිරේ නොයවා තියාගන්නවා. මේ රටේ ජනතාව ජනවරමක් දුන්නේ හොරුත් එක්ක ආණ්ඩු කරමින් ඔවුන්ව ආරක්ෂා කරන්න නෙවෙයි. හොරුන්ව ආරක්ෂා කරන අයත් හොරු බවට පත්වෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් සහ දඩල්ලගේ වගේ නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය නිසා තනතුරෙන් ඉවත්වෙලා සතියක් දෙකක් යද්දී ආයෙමත් ඉහළ තනතුරුවලට පත්වෙනවා නේද?

ගිය ආණ්ඩුවේ චෝදනා ලබපු ඇමතිවරුන් කියලා පෙන්වපු අයට ඇමතිකම් දෙනවා නම් මේක අහන්න දෙයක්ද. ලේකම්වරු, ඇමතිවරු, අතිරේක ලේකම්වරු, සභාපතිවරු, අධ්‍යක්ෂවරු ඉන්නවා මේ වෙනකොටත් දූෂණ පරීක්ෂණවලට ෆයිල් තියෙන. ජනවරම ගන්නකම් මෙයාලා බොරු කරනවා කියන එකයි මේ තහවුරු වෙන්නේ. කෝප් සභාපති විදියට හඳුන්නෙත්තිටත්, විගණකාධිපතිවරයාටත් සිද්ධ වෙලා තියෙනවා මාධ්‍ය හමුවටත් ඇවිත් කතාකරන්න. මෙහෙම වෙන්නේ ඇයි?
විගණකාධිපතිවරයාටත් එහෙම සිද්ධ වෙලා තියෙන්නේ විගණනය ගැන දන්නැති සමහර මන්ත‍්‍රීවරුත් විගණකාධිපති වැරදියි කියන තැනට ඇවිල්ලා නිසා. හොරු රකින්න ඉදිරිපත් වෙනවානේ. අර නලින් බණ්ඩාර කියලා තියෙනවා ගල් අඟුරු ගනුදෙනුව ගැන තියෙන විගණකාධිපති වාර්තාව වැරදියි කියලා. ඒ විතරක් නෙවෙයි විගණකාධිපති වගකියන්නේ පාර්ලිමේන්තුවට. එහෙම වගකියන විගණකාධිපතිගේ වැඩවලට අතගහන්න ජනාධිපතිටත් බැහැ. අගමැතිටත් බැහැ. හැබැයි ඔහුගේ කාර්යභාරයට මැදිහත් වෙන්න අනියමින් ඔවුන් මැදිහත් වෙනවා. ඒ නිසා ඔහුට විවෘතව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ මූල්‍ය විනය ආරක්ෂා කරන්න විගණකාධිපතිවරයාට තියෙන බලය උල්ලංඝනය කරන්න ලෑස්තිවෙද්දී විගණකාධිපතිට තමන්ගේ රාජකාරිය වෙනුවෙන් තමන්ගේ මැදිහත්වීම් කරන්න සිද්ධ වෙනවා. අගවිනිසුරුවරිය තීන්දුව නොදුන්නාම ඇයව එළෙව්වා වගේ විගණකාධිපතිට චෝදනා කිරීම දැන් ක‍්‍රමය බවට පත්වෙලා තියෙනවා. මේක විගණකාධිපතිගේ හඬ සීමා කිරීමට ගන්නා උත්සාහයක්.

අගමැතිවරයා විගණකාධිපතිට හිටපු ආණ්ඩුවට සම්බන්ධ පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා තිබුණා නේද?

පොලීසිය ඊයේ රෑ ගෙයක් කැඩුවොත් අද උදේ පොලීසියට පැමිණිල්ල දැම්මාම කියන්නෑනේ අවුරුදු දෙකකට කලින් කළ වංචා තියෙනවා, ඒවා අල්ලලා ඉන්නම් කියලා. ඒ වගේ විගණකාධිපතිට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්වන්න දෙයක් නැහැ. ඔහු එදා වුණ දේවල් වගේම දැන් වෙන දේවලූත් එළිකරමින් ඉන්නවා. 2016 මාර්තු 31 වෙනකොට ඔහු වාර්තාව ඉදිරිපත් කරනවා. විගණකාධිපතිට රස්සාව කරන්න දීලා දේශපාලකයෝ පැත්තකට වෙලා හිටියා නම් හොඳයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධව දුමින්ද දිසානායක කරලා තියෙන පාඩුව වසර පහකට මිලියන එක්දාස් ගාණක් වෙනවා. අලූත් බිල්ඩිමක් හදන්න යන වියදම කුලියට ගන්න වැය කරලා නේද?

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගන්න වෙනවා නම් ගන්න පුළුවන්. ඒත් මාසෙකට ලක්ෂ දෙසීයක් දීලා ගන්නේ මොන වුවමනාවටද? විගණකාධිපති කියද්දී මේකේ තක්සේරු වටිනාකම ඊට වඩා වැඩි ගාණකට ගන්නේ මේකේ ඞීල් එකක් තියෙන නිසානේ. ඉතා පැහැදිලිව කියනවා මේ ගැන පරීක්ෂණ කරන්න, නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා. ජනතාවගේ සල්ලි දුමින්දට ඕනෑ විදියට වියදම් කරන්න බැහැ. මෛත‍්‍රීපාල සිරිසේනත් රනිල් වික‍්‍රමසිංහත් මේකෙදී නිශ්ශබ්දයි. හැමෝම එකතුවෙලා බෙදාගෙන කනවා කියලා තමයි මේකෙන් පෙන්වන්නේ.