ගෝඨයිම්බර කෝලම පිට්ටනියෙන් සංවාදයට

තරිඳු උඩුවරගෙදර

ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම නාට්‍යය පිළිබඳව විචාරකයන් කිහිපදෙනකුගේ අදහස් රැුගත් වැඩසටහනක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණි. වැඩසටහන මෙහෙයවූයේ නදී වාසලිමුදලිආරච්චිය. මේ එහිදී ඉදිරිපත් කළ අදහස්වල සංක්ෂිප්ත සටහන්ය.

සමන් වික‍්‍රමආරච්චි: ස්ත‍්‍රීවාදීන් කෝ?

මේක බලද්දී මම හිතුවේ මේ නාට්‍යය අසූව දශකයේදී වගේ පෙන්වුවා නම් ස්ත‍්‍රීවාදී කාරණය අනුව පේ‍්‍රක්ෂිකාව කොයි විදියේ ප‍්‍රතිචාරයක් දක්වයිද කියලා. මේ නාට්‍යය ස්ත‍්‍රී විරෝධී නාට්‍යයක් කියලා මම කියන්නේ නැහැ. මේක ස්ත‍්‍රීවාදී නාට්‍යයක්.

අද තියෙන්නේ බරපතළ විදියට ස්ත‍්‍රීකරණය වුණ සමාජයක්. ‘ස්ත‍්‍රීවාදීන් කෝ’ කියලා මම ඇහුවාම ස්ත‍්‍රීවාදියෙක් වන කේ.කේ. සමන් කුමාර ලීවේ සමන් ‘මම සිටිමි. මම සමන්’ කියලා. ඔහු ඒකේදී කොයිතරම් ආවේගයට පත්වුණාද කීවොත් ඔහු කීවා ‘මම මගේ පුරුෂ ලිංගය නැතිවුණත් කම්පා නොවෙන තරම් ස්ත‍්‍රීවාදීයි’ කියලා.
බොහෝ විචාරකයන් කරන්නේ සුවිශේෂ ගැටලූ අධිනිශ්චය කිරීමක්. සාමාන්‍යයෙන් ස්ත‍්‍රිය, සමලිංගිකත්වය වගේ දේවල්වලට සුවිශේෂ ප‍්‍රශ්න කියනවා. මේකෙන් නිර්මාණයේ සාර්වත‍්‍රිකභාවය මඟහැරෙනවා. පස්සේ කලාකෘතියේ මූලික ප‍්‍රශ්නය නැතිව එහි සුවිශේෂී කරගත්ත වෙන වෙන දේවල් ගැන කතාකරනවා. සාර්වත‍්‍රිකභාවය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මම ඒකට උදාහරණයක් විදියට කියනවා පන්ති සටන ගැන.

අපි තවමත් ආවඩන්නේ වික්ටෝරියානු ස්ත‍්‍රියට. අපේ රටේ මිනිස්සු ලිංගික ක‍්‍රියාකාරකම් සම්බන්ධ වචනවලට බයයි. මේ නාට්‍යයේ බය නැතිව අශ්ලීල වචන දෝරේ ගලනවා. අසූව දශකය වෙනකොට වික්ටෝරියානු කාන්තාව කණපිට පෙරළෙනවා. ස්ත‍්‍රීන් පමණක් නෙවෙයි පුරුෂ විචාරකයන් පවා නිර්මාණවල පුරුෂවාදී සලකුණු ගවේෂණය කරන්න තරම් ස්ත‍්‍රීවාදී වෙනවා.

යළි යළිත් වරනැෙඟන ප‍්‍රශ්නය අසූව දශකයේ ස්ත‍්‍රීවාදීන් දැන් ගෝඨයිම්බර කෝලමේ තියෙන පුරුෂවාදී තැන්වලට එරෙහි නොවෙන්නේ ඇයි කියන එක. හේතුව තමයි සමකාලීන ස්ත‍්‍රියගේ විනෝදය සංවිධානය වෙන්නේ ඇගේ අර හිස්ටරික ප‍්‍රශ්නය වටා. තමන්ව ඉලක්ක කළත් මැද පන්තික ස්ත‍්‍රීන් මේකට හොඳට හිනාවෙනවා. ගෝඨයිම්බර කෝලම අවධාරණය කරන කරුණක් තමයි අසූව දශකයේදී ගිලිහෙච්ච පුරුෂබව ආපහු ලැබුණු බව.

 

අශෝක හඳගම: ප්‍රොසීනියම් වේදිකාවෙන් ඔබ්බට

නාට්‍යය ප්‍රොසීනියම් වේදිකාවෙන් ඔබ්බට කියලා කතා කරනකොටම පේරාදෙණිය වළේ ‘දුටු තැන අල්ලනු’ නාට්‍යය පෙන්වන්න ගිහින් එහි තියෙන සිපගැනීමේ දර්ශනයක් නිසා පේරාදෙණියේ සිසුන් නාට්‍යය කණ්ඩායමට හූ කියලා පහර දීලා තිබුණා. වළ කියන්නේ ප්‍රොසීනියම් වේදිකාවෙන් බැහැරව ඉදිවුණ සංස්කෘතික අවකාශයක්. සරච්චන්ද්‍ර මහත්තයාම තමයි වළ හැදුවේ.

අසූගණන්වල විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ අපට තිබුණු ගැටලූව තමයි අපි ප‍්‍රකාශයට පත්කරන දේශපාලන ප‍්‍රකාශනය මේ තියෙන නාට්‍යය ආකෘතිය ඇතුළේ පෙන්වන්නේ කොහොමද කියන එක. අපට විසඳුමක් තිබුණේ නැහැ. ඒ කාලයේ මම ආන්දෝලනාත්මක ලිපියක් ලීවා දිවයිනට සිංහල නාට්‍යය කලාවේ උරුමය සහ කරුමය කියලා. සරච්චන්ද්‍ර මහත්තයා ගමේ තිබුණු නාට්‍ය කලාව එතැනින් ගලවලා ලයනල් වෙන්ඞ්ට් එකට ගෙනැත් පෙන්නීම විවේචනය කරමින් ලීවේ. එක්තරා වීරකමක් ඒ දවස්වල දැනුණාට මම පස්සේ ඒ ගැන කනගාටු වුණා. ගැමි නාට්‍යය තුළ තිබුණු රළු බව අයින් කරලා ඔහු ඒක සම්භාව්‍ය ආකෘතියට දාලා වෙන නාට්‍යයක් හැදුවා. ඇත්තටම ගැටලූව වුණේ මේ ආකෘතිය ඇතුළේ එතැනින් එහාට නාට්‍යය ගෙනයන්නත් එතැනින් එහා වෙන ප‍්‍රස්තූතයක් මේ නාට්‍යය ඇතුළට රිංගවන්නත් තිබුණු අපහසුතාව. අපේ ඇෙඟ් තිබුණු විරෝධාකල්පය සහ විවේචනය මේක ඇතුළේ ගෙනියන්න බැරි අවුලක් තිබුණා. ඒත් අපට එතැනින් ගළවගෙන වෙන නාට්‍යයක් පරිකල්පනය කරගන්න බැරිකමක් තිබුණා. අපි ප්‍රොසීනියම් එකටම නාට්‍ය කළා.

මාඝාත නාට්‍යය දවසක් ගාල්ලේ රබර් වත්තක ප‍්‍රදර්ශනය කළා. නාට්‍යයේ සෙට් එක හැදුවේ ගමේ මිනිස්සු. නාට්‍යය ගමේ නාට්‍යයක් පටන්ගන්නා විදියට පටන්ගත්තේ. හැබැයි මාඝාත නාට්‍යය ඒ රංග භුමියේ පෙන්වන්න හැදුණු එකක් නෙවෙයි. ගෝඨයිම්බර කෝලම දැක්ක ගමන් මං විඳපු ආස්වාදය තමයි මේක නේද අපට කරගන්න බැරිව දැඟලූවේ කියන එක. සරච්චන්ද්‍ර මහත්තයාට බනින්නේ නැතිව මේ වගේ දෙයක් කළා නම් මීට වඩා එහා ගිය නාට්‍යය අත්දැකීමක් අපට කරන්න තිබුණා නේද කියලා මට හිතුණා.

මං හිතන්නේ මේ හැඩය තවදුරටත් අත්හදා බැලීම හරහා පෝෂණය වේවි. මෑත කාලයේ ප්‍රොසීනියම් වේදිකාවට නොගැළපෙන නාට්‍ය නිර්මාණය වෙනවා දකින්න ලැබෙනවා. මේ ඔස්සේ දුර ගමනක් යෑමට දැන් ඉන්න තරුණ නාට්‍යකරුවන්ට පුළුවන්.

 

විදර්ශන කන්නන්ගර: වනචර නාට්‍යයක දේශපාලන හැමිනිල්ල

මේ ළඟදී ලියනගේ අමරකීර්ති ලියලා තිබුණා පත්තිනි චිත‍්‍රපටිය බලන්න යන්න එයාගේ බිරිඳ යාළුවෙකුට කතා කළාලූ. ඒ වෙලාවේ යාළුවා කිව්වාලූ අද නම් යන්න වෙන්නේ නෑ කරවල උයලා තියෙන්නේ කියලා. කිලි අහුවෙයි කියලා චිත‍්‍රපටි නොබලන පිරිසට නිර්මාණ කරන්නේ කොහොමද කියන එක කලා පර්යේෂණවල වැඩබිමක්. ඩෙනිස් ඒ වැඩබිම ගැන හිතලා තියෙනවා.

ඩෙනිස්ගේ නිර්මාණ තුළ තියෙන ලෝක දැක්ම ඩෙනිස්වාදය කියලා කියන්න මම කැමතියි. සමාජ ඩාවින්වාදය පිළිබඳ විග‍්‍රහයක් තමයි නිර්මාණයට පාදක වෙන්නේ. මේ නිර්මාණයෙන් පෙනෙන අනිත් කාරණය වන ස්ත‍්‍රිය පිළිබඳ මතුපිට තලයේ ලෝක දැක්මෙනුත් ඉහත කී ඩෙනිස්වාදයෙනුත් ගලවලා අරගත්තොත් මේක ඊට වඩා ගැඹුරු දේශපාලන තැනක ස්ථානගත කරන්න පුළුවන්.

මේ නාට්‍යයේ ප‍්‍රධාන ප‍්‍රචාරය සරච්චන්ද්‍ර කණපිට හැරවීම කියන එක. ඒක රාජ්‍යය කියන පුළුල් අර්ථයෙන් ගන්න පුළුවන්. පශ්චාත් යටත්විජිත රාජ්‍යයක් නිර්මාණය වෙමින් ආ ගමනේ රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය තුළ සරච්චන්ද්‍රලාගේ නිර්මාණ තිබුණා. මනමේ මූලික ප‍්‍රස්තුතය ස්ත‍්‍රිය පිළිබඳ කාරණයක්. සිංහබාහු එකේ මූලික වෙන්නේ කුටුම්බය හෙවත් පවුල. පශ්චාත් යටත්විජිත රාජ්‍යය නිර්මාණය කිරීම තුළ මූලිකම සංස්කෘතික මාතෘකාව වෙන්නේ ස්ත‍්‍රිය සහ පවුල. සරච්චන්ද්‍ර කණපිට හැරවීම කියන්නේ සරච්චන්ද්‍ර නියෝජනය කළ සංස්කෘතිය මේ යුගයේදී කණපිට හැරවීම. ගෝඨයිම්බර කෝලමේ තියෙන ස්ත‍්‍රිය හා පවුල සරච්චන්ද්‍ර වගේ මානුෂීය බවක් එන්නත් කළ ස්ත‍්‍රිය හෝ පවුල නෙවෙයි. මේ ඉතාම විපරීත, අසභ්‍ය එකක්. මානවීය ඇගයීම් ගර්හාවට ලක්කරන චරිත සහ සිද්ධි රැුසක් තියෙන්නේ. මේකේ පවුල පජාත කරලා දානවා.

මේ යුගය වෙද්දී සංවර්ධන කථිකාව, සිංහල බෞද්ධ ජාතිකවාදයත් එක්ක රාජපක්ෂ රෙජීමය හැදූ අලූත් වෙළඳපොළ තර්කනය ගැනත් නාට්‍යයේ කතා කරනවා. අපි ජීවත්වෙන්නේ ධනවාදී සමාජ ක‍්‍රමයක් අවසානයට පැමිණෙන තත්ත්වයක. භාණ්ඩ වෙළඳපොළ ප‍්‍රාග්ධනය විසින් යටත් කළ ක‍්‍රමයක අපි ඉන්නේ. ඒක අමතක කරලා සමාජ භූමිකාවක් ගැන කතාකරන්න පුළුවන් එක්කෝ තක්කඩියෙකුට නැත්නම් මෝඩයෙකුට. මේ අධිපරිභෝජනය විසින් ප‍්‍රාග්ධනය සංවිධානය කරන යුගයක්. අපි භාණ්ඩ වෙළඳපොළ පිළිබඳ ආගමික විශ්වයක් කරා ගමන් කරමින් ඉන්නවා සමාජ සම්බන්ධතා ගැන කතාකිරීම වෙනුවට. අපි ඉන්නේ සුපර්මාකට් යථාර්ථයක. ඒ වගේ තැනකට ගෝඨයිම්බර කෝලම වගේ කෝලම් ආකෘතියක් අවශ්‍ය වීම සමාජ දේශපාලන කාර්යයක්.

 

සුනිල් විජේසිරිවර්ධන: සංස්කෘතික මානව විද්‍යාත්මක සටහනක්

මේ පළමු උත්සාහය නෙවෙයි. ජනතාව අතරට නාට්‍ය ගෙනයෑමට හැත්තෑ ගණන්වල ඉඳන් උත්සාහ ගත්තා. හත්තොටුවේගම, පරාක‍්‍රම නිරිඇල්ල වැනි අය වගේම දයානන්ද ගුණවර්ධනත් කොළඹ කේන්ද්‍රීය ආකෘතිය කඩලා නාට්‍යය ජනතාව අතරට ගෙනියන්න උත්සාහ කළා.

අනූගණන් අගභාගයේදී විතර සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ගැන සම්මන්ත‍්‍රණයක් පැවතුණා. මගේ සියලූම ආදරය, ගෞරවය ප‍්‍රකාශ කළ අතරේම එහිදී මම කිව්වා පැරණි භාෂාව සහ පැරණි ශෛලිය ගෙනෙනකොට ඒවා එක්ක එන දුඹුල්වලින් බේරෙන්න කලාකරුවා සන්නද්ධ වෙන්න ඕනෑ කියලා. ඒ වැනි උගුල්වලට ගාර්ෂියා ලෝකා වගේ නවකතාකරුවන් වැටුණේ නැත්තේ ඇයි කියලා මම කීවා. මේ නාට්‍යයට අදාළවත් ඒ ප‍්‍රශ්නය ගැන කල්පනා කළ යුතුයි.

කාල් හියුම් පැරණි විශ්වාසයන් අධ්‍යයනය කරලා ආකිටයිප් කියලා චරිත පිළිබඳ සංකල්පයක් ගෙනෙනවා. සිංහලෙන් මූලාකෘති චරිත වගේ වචනයකින් හඳුන්වන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ එකම චර්යාවන් නැවත නැවත මතුවෙමින් ඇතිවන පුද්ගල චරිත මාදිලි. එක චරිත මාදිලියේ පුද්ගලයන් ගොඩක් ඉන්නවා. හරි ඉලක්කෙට කළ නිර්මාණයක ඒ වගේ චරිත මාදිලි අපට හමුවෙනවා. ඒ.කේ. රාමනූජන් අවුරුදු හතළිහක් විතර තිස්සේ ජනශ‍්‍රැති එකතුකළ විද්වතෙක්. ඔහු ජනශ‍්‍රැති අතර ගැහැනු ලියූ කතා සහ පිරිමි ලියූ කතා කියලා දෙකක් හඳුනාගන්නවා. ඒකේ අදහස පුරුෂ කේන්ද්‍රීය සහ ස්ත‍්‍රී කේන්ද්‍රීය කතා තියෙන බව. හියුම්ගේ ආකිටයිප් සහ රාමනූජන්ගේ අදහස බලද්දී මට දකින්න ලැබුණා මනුෂ්‍ය ගැහැනියක් මනුෂ්‍ය නොවන පිරිමියෙක්ට ආදරය කරන විදියේ ජනකතා හැමතැනම තියෙන බව. ලෝකය පුරා උදාහරණ ගොඩක් තියෙනවා. මේ සෑම තැනම මනුෂ්‍ය ගැහැනිය පෙම්බඳින අමනුෂ්‍යයා මිනිස්සුන්ට වඩා හොඳයි. මට හිතෙන්නේ මාතෘමූලික සමාජයක ඉඳලා පුරුෂමූලික සමාජයකට සංක‍්‍රමණය වෙන යුගවලදී ගැහැනිය තුළ දකින සිහිනයක් තමයි මේ කතාවල තියෙන්නේ. අයසට පත්වෙන ගැහැනිය සතෙක් වගේ මිනිහෙක් එක්ක ජීවත්වෙද්දී හිතනවා මේ යකා මැරිලා වෙන මොන යකෙක් ආවත් කමක් නැහැ කියලා.

මේක අහුවෙලා තිබුණා නම් නාට්‍යය අතිශය ප‍්‍රබල වෙන්න තිබුණා. මහසෝනාට ගැහැනු පෙම්බඳිනවා මහසෝනා මනුෂ්‍ය ගෝඨයිම්බරට වඩා හොඳ අමනුෂ්‍යයෙක් නිසා. එහෙම වුණා නම් මේ භාෂාව ගොඩක් මාරුවෙන්න තිබුණා. මේ තර්කණය මාරුවෙන්න තිබුණා. ගෝඨයිම්බරගේ බිරිඳ පිරිමියාගේ ආයුධය නැතිව ස්ත‍්‍රී ආයුධයක් සහිතව සටන් කරන්න තිබුණා.

මේක නිර්මාණයක් විදියට අගය කරන ගමන් මම හිතන්නේ මීට වඩා අධ්‍යයනයක් අවශ්‍යයි කියලා. ලංකාවේ ඇත්තටම ජනශ‍්‍රැති අධ්‍යයනයක් වෙලා නැහැ. මේක ජනතාව අතරට ලොකුවට යාවිද කියන එකේදී මට සැකයක් තියෙනවා. කෝලම් නාට්‍යය තුළත් ලොකු සීමා තියෙනවා. එතැනින් එහාට යන්න නම් කෝලම් කඩන්න තිබුණා.

 

උපුල් සන්නස්ගල: ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිසක් ගෝඨයිම්බර කෙනෙක් ගැන වැඩිය දැනගෙන හිටපු නැති හින්දා මම ගෝඨාව හොයාගෙන ගියා. නාට්‍යය තුළ ගෝඨයිම්බර රජෙක් වුණාට ඇත්ත ගෝඨයිම්බර අපි අර දන්න දුටුගැමුණුගේ යෝධයා. ගෝඨා ඇවිත් තියෙන්නේ හම්බන්තොට ගිරුවාපත්තුවෙන්. මහසෝනා ඉන්නෙත් ගෝඨා එක්කම තමයි. ගෝඨා යුද්ධයෙන් පස්සේ පොඩි සැපක් ගන්න වෙලාවක ගෝඨාගේ ගෑනිට බැල්ම හෙලනවා රිටිගල ජයසේන කියලා උස එකෙක්. ගෝඨා කියන්නේ කොටෙක්. කතාවේ කියන්නේ ගෝඨා උඩ පැනලා පයින් ගැහුවාම රිටිගලයාගේ බෙල්ල කඩාවැටෙනවා කියලා. ඊට පස්සේ යාළුවෝ ඇවිත් රිටිගලට වළස් ඔළුවක් සවිකළාම ජයසේන මහසෝනා වෙනවා.

මහසෝනා වැහෙන්නේ ගෝඨාගේ ගෑනිට. ඉන්පස්සේ මහසෝන් සමයම කියන එක ඇතිවෙනවා. සාමාන්‍යයෙන් යකෙක් වැහෙන්නේ යකා නටන විදිය, කතාකරන විදිය දන්නා අයට. සුද්දියන්ට මහසෝනා වැහෙන්නේ නෑ. මහසෝනා දේශීය යකෙක් නෙවෙයි හින්දු විශ්වාසයන් අනුව ඉපදුණු ඉන්දියන් යකෙක්. ඒත් ඉන්දියාවේ ගොඩක් ඒවා අපි අපේ කරගන්නවා වගේ මහසෝනාත් දැන් අපේ එකෙක්. මහසෝනා ඉන්දියන් ගෑනුුන්ට වැහෙන්නේ නැහැ.

ජාතක කතා බුදුහාමුදුරුවෝ කිව්ව ඒවා කියලායි අපේ හැමෝම විශ්වාස කරන්නේ. ඕවා ඉන්දියානු ජනකතා කිව්වොත් බැණුම් අහනවා. ආත්මයක් අඩුගාණේ අවුරුදු සීයක් හිටියොත් අවුරුදු පනස්පන්දාහක ඉතිහාසයක් පන්සිය පනස් ජාතකේ තියෙනවානේ. එතකොට පරිණාමවාදය කියන්න ඩාවින්චි ඕනෑ නැහැනේ. ඒ ඒ කාලවල සමාජ ආර්ථික පසුබිම වෙනස්නේ. ඒත් පන්සිය පනහෙම බ‍්‍රහ්මදත්ත ඉන්නේ. එකම තාක්ෂණයක් තිබුණ වැඩවසම් සමාජයන් අවුරුදු පනස්දාහක් විතර තිස්සේ තිබිලා එහෙනම්.

පුරාණොක්ති, ජනශ‍්‍රැති අපි විචාර බුද්ධියක් නැතිව ලොකුවට පිළිගන්නවා. සිංහයෙක් එක්ක සුප්පාදේවි නිදාගත්තා කියන එකත් සිංහලේ ස්ටිකර් ගහගෙන පිළිගන්නවා. ජැක්සන් කීවාම රජාටයි බුදුහාමුදුරුවොන්ටයි නෑකමක් තියෙනවා කියලා සාධු සාධු කියනවා. පට්ට කෙබර ඔක්කෝම විශ්වාස කරනවා.
මහසෝනා වගේම තව එවුන් ඉන්නවා. අවුරුදු දාහතේ කොල්ලෝ එනවා ලොකු සුර ගැටගහගෙන. ඇහුවාම කියනවා මෝහිනී එනවාලූ. අවුරුදු දාහත පැන්නාම මෝහිනී එන්නැත්තංනෙ මොකක් හරි ලෙඩක් කියලා යන්තරේ ගැටගහන්න ඕනෑ. සමහර තරුණයෝ මේවා අලූත් විදියට දකිනවා. රජීව් වසන්ත වෙල්ගම කියන තරුණ කවියා ලියනවා මෝහිණී මගෙ නංගියේ කියලා. සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ. මෝහිනී තවමත් මාතෘත්වය දරාගෙන ඉන්නවා කියලා ඔහු දකිනවා.

කෙල්ලොන්ට කළු කුමාරයා ගැහුවාම තනියම කල්පනා කරනවා, කන්නේ නැහැ. ඉතින් දැන් අල්ලපු ගෙදර කුමාරයා ඇහැ දැම්මත් මාට්ටු වෙන්නෙ කළු කුමාරයා. කෙල්ල කියන්නේ කළු වුණාට කුමාර අයියා හරි ෂෝක් අම්මේ කියලා.

මේ ප‍්‍රබන්ධ ඇත්ත කියලා අරගෙන ඉතිහාස කතා බණකතා නිර්මාණය කළාම අපේ උපාසක අම්මලා නිවන් ලබන්න කියලා ඒවා බලන්න යනවා. ඇත්තටම සුනාමියටත්, යුද්දෙටත් වඩා බණකතාවලින් අපේ රටට කෙළවිලා තියෙන්නේ.

අවුරුදු දාසයක කුණ්ඩලකේසිට කොල්ලෙක් එක්ක යාළුවෙන්න ආස හිතීම සාධාරණ වුණත්, කෙල්ලව කාමරේකට දාලා බල්ලෙක්ට වගේ කන්න දෙනවා. කෙල්ල හොරෙක් එක්ක පැනලා යනවා. මේක ලියලා ධර්මසේන හාමුදුරුවෝ ලියන්නේ මොනවාද? ම්ව්පියන් කියන එක අහගෙන ඉන්න. පස්සේ කාලෙක රුවන් බන්දුජීව මේ සිද්ධිය අලූත් විදියට ලියනවා. ‘සන්තුක නිදි ඇඳ වටේට – තුන් විඩයක් පැදකුණු කර – මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී දුවව දූෂණය කරන සන්තුකව මරනවා කුණ්ඩලකේසී. ’

මං කියන්නේ දැන් අර පරණ කෑලි ඉවරයි. ඒවා අල්ලගෙන යන්න එපා. දැන් ෆේස්බුක් එකේ, බ්ලොග්වල ලියන අය අර පරණ කෑලි අතෑරලා ඉවරයි.
අපි දේශීය සාහිත්‍යය කියලා ලෙස්ටර්, මාර්ටින් වික‍්‍රමසිංහ වගේ අය ගැන කතා කළත් එයාලා අර පරණ දේවල්වලට මතුපිට කෑලි ටික අරගෙන මධ්‍යම පන්තියට චූන් එකක් දුන්නා විතරයි. ෂේප් න්‍යායෙන් තමයි මේවා ටච් කළේ. ජන සමාජයේ තිබුණු දේවල් විචාරයට ලක් නොකර සැරසිලි බවට පත්කළා.

මහසෝනා කියන්නේ දිස්ටියක් හෙවත් දෘෂ්ටියක්. කාන්තාවන්ට මේ දෘෂ්ටිය වැටුණාම එරෙහි වෙන්නේ බෙලහීන පිරිමියා නෙවෙයි තඩි පිරිමියා. දහපාරක් සංසර්ගය කළොත් ගෑනි දාලා යන්නේ නැහැ කියලා හිතන්නේ තඩි පිරිමියා. මේ දිස්ටිය ගැටගහලා නවත්තන්න බැහැ. අපි හැමවෙලාවෙම උත්තරය හොයන්නේ බාහිර බලවේගවලින්. හනුමන්තාගෙන් අහනවා. පොළොවේ ආසනික්ද කියලා නාථ දෙයියන්ගෙන් අහනවා. මම හිතන්නේ අවසානයේ දිනන්නේ මහසෝනා. දේශීය චින්තනය කුඩුපට්ටම් කරලා මහසෝනා දිනනවා. දැන් ඕනෑ ඔක්කොම ඩෝසර් වෙලා යන්න. මේ නාට්‍යය ටවර් හෝල් එකේ පෙන්නන්න ඕනෑ. දුම්මල ගහද්දී පොසීනියම් වේදිකාව ගිනිගනියි. මං ඒ ගින්නට කැමතියි. ඒ ගින්නෙන් ෆීනික්ස් කුරුල්ලෙක් බිහිවෙයි. සියල්ල පුපුරලා අනවශ්‍යවුන් වඳවෙන්න ඕනෑ. මේ වෙලාවේ අපට විකල්ප දෙකක් තියෙනවා. එක්කෝ පිළිගනින් නැත්තන් වඳවෙයන් කියලා.

 

චින්තන ධර්මදාස: ආණ්ඩුවට නාට්‍ය මොකටද?

ගෝඨයිම්බර කෝලම වගේ වැඩ මීට කලින් වෙලා තියෙනවා කියලා මට එච්චර ෂුවර් නැහැ. මම නාට්‍ය බලන්න ගත්ත අසූව විතර ඉඳන් කාලයේ මේ වගේ අත්දැකීමක් දැකලා නැහැ. නාට්‍යයක් වේදිකාවෙන් එළියේ පෙන්වනවාට වඩා වැඩක් ගෝඨයිම්බර කෝලමේ වෙනවා.

විචාරකයෝ ගැන කතාකළත් විචාරකයන්ගේ කාලය දැන් ඉවරයි. විචාරය කියන්නේ ඕල්ඞ් ෆැෂන් වැඩක්. මේ වගේ සංවාද පවා තව කෙටි කාලයයි පවතින්නේ. මැරිච්ච ග‍්‍රන්ථවල කෑලි කියවන කාලයක් නෙවෙයි දැන් තියෙන්නේ. පරණ දර්ශනවල එල්ලෙන්නෙ නැතිව ආට් කරන්න ඕනෑ.

ගෝඨයිම්බර කෝලම ලියපු පිටපත මුලින්ම ඩෙනිස් ගෙනාවාම මම කිව්වා කරන්න එපා මේක සරල වැඩක් කියලා. ඒත් පළවෙනි වතාවට මේක පදනම් ආයතනයේදී බලනකොට මගේ ඇගේ මයිල් කෙලින් වුණා. වේදිකා නාට්‍යවල මට ඒක මීට කලින් දැනුණේ නැහැ.

මං හිතන්නේ සරච්චන්ද්‍ර මොනවද කළේ කියලා මේ වෙලාවේ අහන එකම ඩෙනිස් කළ වැඬේ ජයග‍්‍රහණයක්. මිනිස්සුන්ගේ අතට ආට් පත්වෙමින් තියෙනවා. මේ නාට්‍යය හතරැුස් ප්‍රොසීනියම් කොටුවක් වෙනුවෙන් මැරුණ අයට ගහපු කණේ පාරක්.

ඉන්දික ෆර්ඩිනෑන්ඩු වරක් වේදිකාව ඇතුළටම තොවිලය ගේන්න උත්සාහ කළා. ඇයි මිනිස්සු වේදිකාව ඇතුළටම රිංගන්න හදන්නේ. ආට් කරන්න වේදිකාව නැතිව බෑ කියන්නේ මනස්ගාතයක්. වේදිකාව වෙනුවෙන් මැරෙන්න ඕනෑ නැහැ. රාජ්‍යය කලාවට මැදිහත් කරවාගන්න මැරෙන්න ඕනෑ නැහැ. කවුරුත් බලන්නැති මැරිච්ච කලාවක් වෙනුවෙන් මිනිස්සු ආණ්ඩුවට ගෙවන බදු යටකරන්න ඕනෑ නැහැ.

අර්ථකථන හොයන්නනේ අපි ආට් විඳින්නේ. හැබැයි ආට්වල මීට එහා ගුණයක් තියෙනවා. නාට්‍යයක තියෙන අපේ අවිඥානක දේවල් එළියට ඇදලා ගන්න පුළුවන් ගතිය තේරුම් ගන්න ඕනෑ. මම ගෝඨයිම්බර කෝලම තියෙන හැමතැනටම ගිහින් බලනවා. විවිධ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේක බලලා තියෙනවා. එක එක වෙලාවට මේ අත්දැකීම වෙනස්. විදර්ශන කීවා වගේ මේක ගැන දේශපාලනය අතෑරලා කතාකිරීමෙන් මම තක්කඩියෙක් සහ මෝඩයෙක් වෙන්න පුළුවන්. ඒත් එහෙම වුණාම මොකද? තක්කඩියෙක් වුණාම මොකද වෙන්නේ. ලංකාවේ තක්කඩියෙක් හෝ මෝඩයෙක් නොවන කවුද ඉන්නේ.

මිනිස්සු නාට්‍ය බලන්නැති එක හරි. එයාලා ඇඟට දැනෙන දේ විඳින්නේ. දෙමළ චිත‍්‍රපටි ගන්න. ඒවා තර්කානුකූලද? රැජිනිකාන්ත් එනකොට මිනිස්සුන්ගේ ඇඟ හිරිවැටෙනවා. විසිල් ගහනවා. ඒක තමයි ආට් එකක තියෙන ගුණය. වේදිකාවට එද්දී මරපු ඒ ගුණය පිට්ටනියකට ගෙනියන්න ඩෙනිස්ට පුළුවන් වුණා. පරාක‍්‍රම නිරිඇල්ලලා, හත්තොට්ටුවගමගේලා කළ දේවල් එක්ක මේක ගන්න බැහැ. ඒ ආකෘතික වෙනස්කම් මං දකින්නේ ළදරු උත්සාහයන් විදියට. ඇකඩමික් පර්යේෂණ වෙනුවෙන් ආට් කරනවා නම් එතැන ආට් නැහැ.

මිනිස්සුන්ගේ ආට් පාලනය කරන අධිකාරින් තියෙනවා. රාජ්‍යය විතරක් නෙවෙයි, මාක්ස්වාදය කියන්නේ අධිකාරියක්. මනෝ විශ්ලේෂණය කියන්නේ අධිකාරියක්. න්‍යායන් කියන්නේ අධිකාරියන්. න්‍යායික ආට් වලපල්ලට යමින් තියෙනවා. වෙන ආට් බිහිවෙමින් තියෙනවා. එහෙම ආට් කියවගන්න තියා ඒවා එක්ක සම්බන්ධ වෙන්නවත් කවුරුත් දන්නේ නැහැ. ඒ වෙනුවට මියයමින් තියෙන ආට් ගැනම කතා කර කර ඉන්නවා. ගෝඨයිම්බර කෝලම ඉතා වැදගත්. මේක ඉක්මවා යන ප‍්‍රයත්නයන් අනිවාර්යයෙන් මතුවේවි.