රාවය

ජනපතිගේ යුද හමුදාපති පරීක්ෂණය

ජනපතිගේ යුද හමුදාපති පරීක්ෂණය

ලසන්ත රුහුණගේ

පත්කිරීම් විෂයේදී තමන් ඊට නුසුදුසු බව ජනාධිපතිවරයා යළිත් වරක් පෙන්නුම් කර ඇත. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පත්කිරීම මගින්ය. පැවති මහින්ද රාජපක්ෂ රජයේ විදේශ සේවය ඇතුළු විවිධ තනතුරු දරමින් එකී රාජපක්ෂ පාලනය සාධාරණීයකරණයට මතවාද සැපයූ පුද්ගලයකු වශයෙන් ඔහු සැලකේ.

තමන් බලයට පත්වූ විගසම ජනාධිපති ලේකම්වරයා පත්කර ගැනීමේදීත්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත්කර ගැනීමේදීත් ජනාධිපතිවරයා පෙන්නුම් කළේ පත්කිරීම් සඳහා තෝරා ගැනීමේ ඔහු තුළ ඇති අසමත්භාවයය. එකී පත්කිරීම්වලට බලපා තිබුණේ සුදුසු නුසුදුසුභාවයට වඩා අදාළ පුද්ගලයන් සමග ජනාධිපති වරයාට තිබූ පරණ හිතවත්කම්ය. එසේ වුවද රාජපක්ෂ පාලන සමයේදී එම හිතවත්කම් ඔවුන්ට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග තිබුණේ නැත. කොටින්ම ජනාධිපතිවරණයේදී ඔවුන් මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම සඳහා ප‍්‍රසිද්ධියේම කටයුතු කළ පුද්ගලයෝ වූහ. එහිදී ඉහළ පරිපාලන නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලනය තහනම් යන සීමාවද ඔවුන් කඩකළේ නිර්ලජ්ජිතවය. ඇවන්ගාඞ් සිද්ධියේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ පක්ෂපාතීත්වය කාහටද යන්න නැවත වරක් ඔප්පු කර පෙන්නුවේ නිවේදන නිකුත් කරමින්ය.

නීතිපතිවරයා පත්කිරීමේදීත් පොලිස්පතිවරයා පත්කිරීමේදීත් නැවත වරක් ජනාධිපතිවරයා පඹගාලක පැටලී සිටින අයුරක් දක්නට ලැබුණේය. නීතිපති ධුරය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ඊළඟ ජ්‍යෙෂ්ඨයාට ලබාදිය යුතු බවට වූ මතවාදවලට ඔහු නොවැටී බේරුණේ ඒ පිළිබඳව ඔහු බලයට පත් කරන ලද බලවේගවලින් එල්ල වූ බලපෑම නිසාය. වත්මන් නීතිපතිවරයාද වංචා දූෂණ පරීක්ෂණවලට අදාළ යහපාලන ක‍්‍රියාකාරීත්වයට සහයෝගය නොදක්වන බවට චෝදනා එල්ල වුවද තමා නීතිපති ධුරයට පත්කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළ ජ්‍යෙෂ්ඨ පුද්ගලයා, රාජපක්ෂ පාලනයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු හැරදා රාජපක්ෂවරුන් වෙනුවෙන් අමාත්‍යාංශයක ලේකම් ධුරයද දරා එකී පාලනයට අවශ්‍ය ඔක්සිජන් සපයා පාලන බලය වෙනස්වීමත් සමග නැවත නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණියෙක් විය.

පොලිස්පතිවරයා පත්කිරීමේ විවාදයේදීත් එම තත්ත්වයේ වෙනසක් නොවූ අතර රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව භාරව සිටි පුද්ගලයා කෙරෙහි ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්තක් ඇති බව දක්නට ලැබුණි. ඒත් එයද වැළකී ගියේ ඔහුව බලයට පත් කළ බලවේගවල දැඩි බලපෑම හේතුවෙන්ය. එහිදී ජනාධිපතිවරයාගේ කැමැත්ත තිබූ පුද්ගලයාට එරෙහිව ආ ප‍්‍රමුඛතම කරුණ වූයේ පැවති පාලනයේදී යට ගසා තිබූ යළි විමර්ශනය කරමින් තිබෙන අපරාධ පිළිබඳ පරීක්ෂණ යළිත් යට යයිදෝ යන සැකයය.

මේ අනුව යමින්ම ජනාධිපතිවරයා යළිදු වරක් පරීක්ෂාවට ලක් කරන පත්කිරීමක් මෙම මස සිදුවීමට නියමිතය. ඒ යුද හමුදාපතිවරයා පත්කිරීමය. වත්මන් යුද හමුදාපති ක‍්‍රිෂාන්ත ද සිල්වාගේ සේවා කාලය අගෝස්තු මස 21 දිනෙන් අවසන් වීමට නියමිත වීම ඊට හේතුවය. යුද හමුදාපතිවරයා අගෝස්තු 21 දක්වා සේවය කරන්නේ පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් ඔහුට ලබා දුන් වසරක සේවා දිගුවක් නිසාය.

රාජපක්ෂ පාලන කාලයේදී දැඩි ලෙස දේශපාලනිකකරණය වී තිබූ යුද හමුදාව (නාවික හමුදාවටද එය අදාළය.) නැවත ගෞරවාන්විත යුද හමුදාවක් බවට පත්කිරීමට වත්මන් යුද හමුදාපතිවරයාට ඔහුගේ ධුර කාලය තුළදී නොහැකි වී ඇත. එදා රාජපක්ෂවරුන්ගේ දේශපාලන වුවමනාවන් මත පුද්ගලයන් ඝාතනය කිරීම, පුද්ගලයන් පැහැරගෙන යෑම, පුද්ගලයන් අතුරුදන් කිරීම, පුද්ගලයන්ට පහරදීම හා කුරිරු වධහිංසා දීම, විරෝධතා පැවැත්වීම, පෙළපාළි යෑම, පෝස්ටර් ඇලවීම, ඡුන්ද ප‍්‍රචාරණයේ යෙදීම ආදි අපකීර්තිමත් ක‍්‍රියාන්විත ඉතිහාසය යළි සකසා ගෙන ඇති වගක් හෝ එවැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා ශක්තිමත් පියවර ගෙන ඇති බවක් වත්මන් යුද හමුදාවෙන් විද්‍යමාන නොවේ. ඊට ඇති හොඳම උදාහරණය වන්නේ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියය. එම සිද්ධියට අදාළව අධිකරණයේ පවතින නඩුවට අවශ්‍ය සහාය තවමත් යුද හමුදාවෙන් ලැබී නැත. අවස්ථා ගණනාවකදී අධිකරණය යුද හමුදාපතිවරයාට නියෝග කරනු ලැබූයේ අවශ්‍ය ලියවිලි ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙසය. මෙතෙක් ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුර සතු කිසිසේත්ම අස්ථානගතවිය නොහැකි එහි එදිනෙදා භාවිතයේ පවතින ලියවිලි අධිකරණයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ලැබී නැත. එම ලියවිලි ලබා නොදෙන නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම හෝ එකී ලියවිලි යමකු විසින් අස්ථානගත කර ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමක් මෙතෙක් යුද හමුදාපතිවරයා විසින් සිදුකර ද නැත.
ප‍්‍රගීත් එක්නැළිගොඩ නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවලදී අධිකරණ භූමියේ හා ඒ අවට ඊට එරෙහිව විරෝධතා දැක්වූ බොදුබල සේනා ඇතුළු සංඝ උද්ඝෝෂණවලදී යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සක‍්‍රියව ඊට සම්බන්ධවීම හා එම නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස්ගේ නිවස අවට තර්ජනාත්මක පෝස්ටර් ඇලවීම සිදුකර ඇතත් හමුදා විනය රැුකගැනීම වෙනුවෙන් ඔවුන්ට එරෙහිව ගත් ක‍්‍රියාමාර්ගයක් නැත.

කොටින්ම ප‍්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ සැකයට භාජනය වී ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වෙනුවෙන් නීතිඥ ගාස්තු යුද හමුදාවෙන් ගෙවන බවට වූ බරපතළ චෝදනාව සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා තවමත් පැහැදිලි ප‍්‍රකාශයක් කර නැත. බුද්ධි අංශ භාවිතය සඳහා විගණනය නොවන මූල්‍ය ප‍්‍රතිපාදන පවතින අතර එම මුදල් බාහිර පුද්ගලයන්ගෙන් බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බොහෝවට යෙදවේ. එකී මුදල් නීතිඥ ගාස්තු වශයෙන් ගෙවීමේ බාධාවක් නැත. සමහරවිට දැනටමත් සිදුකරමින් පවතින්නේ එවැන්නක් විය හැකිය. එසේ වන්නේ නම් එය රජයත් එය නියෝජනය කරන යුද හමුදාවත් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමකි. රාජ්‍ය මුදල් අපරාධකරුවන් වෙනුවෙන් භාවිතාවේ යෙදවීමකි.

මෙවැනි උදාහරණවලින් අපට පසක් කරන්නේ යහපාලන ආණ්ඩුවක් යටතේවත් යුද හමුදාව තුළ අප බලාපොරොත්තු වූ වෙනස සිදුවී නැති බවයි. රාජපක්ෂ පාලන සමය පන්නයේ සිදුවීම් තවමත් යුද හමුදාව තුළ සිදුවෙමින් පවතින බවයි. වත්මන් යුද හමුදාපතිවරයාට එය වෙනස් කිරීමට හැකියාවක් ලැබී නැති බවයි.

ඒ නිසාම එළැඹෙන අගෝස්තු 14 වැනිදායින් පසු නව යුද හමුදාපතිවරයකු පත්කිරීමේදී එය ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තීරණාත්මකය. මන්ද රාජපක්ෂ සමයේදී නැතිවී ගිය ගෞරවය නැවත යුද හමුදාවට කැන්දාගෙන ආ හැකි පුද්ගලයකු ඒ සඳහා පත් කළ යුතු බැවින්ය. වත්මන් යුද හමුදාපතිවරයාට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම යන කරුණ නම් එහිදී ඉහත සාකච්ඡුා කළ කරුණු අනුවම වැදගත්වන්නේ නැත.

ජනාධිපතිවරයා නව යුද හමුදාපතිවරයකු පත්කිරීමේදීත්, සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් ඇත. ඒ පෙර සඳහන් කළාක් මෙන්ම රාජපක්ෂ සමයේදී යුද හමුදාව දේශපාලනිකකරණයට ලක් කළ හා නීති විරෝධී දේශපාලන නියෝග ක‍්‍රියාත්මක කළ කිසිවකු එම තනතුරට පත් නොකිරීමය. යුද හමුදාපතිවරයකු හෝ වෙනත් අයකු තනතුරකට පත්කිරීමේදී ඊළඟ ජ්‍යෙෂ්ඨයා පත් කළ යුතු බවට එම පත්කිරීම් අවස්ථාවලදී කථිකාවක් ඇති වුවද එය එසේ විය යුතුයැයි නියමයක් හෝ සම්ප‍්‍රදායක් නැත. වත්මන් යුද හමුදාපතිවරයා පත්කිරීමේදීද ඔහු ඊළඟ ජ්‍යෙෂ්ඨයා නොවීය.

වයස අවුරුදු 55 සම්පූර්ණවීත් තවදුරටත් තමන්ට යුද හමුදාවේ රැුඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයුමක් මත ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටි උග‍්‍ර රාජපක්ෂවාදීන් වූ මේජර් ජෙනරාල්වරු 9 දෙනාගෙන් අද යුද හමුදාව තුළ සිටින්නේ කමල් ගුණරත්න, සුමේධ පෙරේරා, නන්ද උඩවත්ත, උදය පෙරේරා, චාගි ගාල්ලගේ හා ශවේන්ද්‍ර සිල්වා පමණය. එළැඹෙන සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් විශ‍්‍රාම යෑමට නියමිතව සිටින්නේ කමල් ගුණරත්න හා සුමේධ පෙරේරාය.

ගෝඨාභය රාජපක්ෂ සමග මේ මේජර් ජෙනරාල්වරුන්ට ඇති සම්බන්ධය අමුතුවෙන් කිවයුතු නැත. ඉන් සුමේධ පෙරේරා යනු ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අත්හිටුවා රාජපක්ෂවරුන් සිදුකරන්නට ගිය කුමන්ත‍්‍රණය උදෙසා කොළඹ ප‍්‍රදේශය භාර යුද හමුදා ප‍්‍රධානියා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් එම දිනයේදී පත්කරන ලද පුද්ගලයාය. එසේම ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ කරුණාව නිසාම රාජගිරිය ඔබේසේකර වලව්ව අත්පත් කරගැනීම සඳහා කූඨලේඛන සෑදීම ගැන චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටියදී එම වැඩතහනම ඉවත් කර උසස්වීම්ද සමග මේජර් ජෙනරාල් ධුරයට පත් කරන ලද පුද්ගලයාය.

ඒ නිසාම ජනාධිපතිවරයා නව යුද හමුදාපතිවරයකු පත්කිරීමේදී රාජපක්ෂවරුන් සමග දේශපාලන සබඳතා ඇති පුද්ගලයන්ගෙන් ප‍්‍රවේසම් වීම අනිවාර්ය කොන්දේසියකි. මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ප‍්‍රාර්ථනය රටට ලෝකයට ගෞරවාන්විත යුද හමුදාවක් ලබාදීම නම් දේශපාලනිකකරණයෙන් තොරව හා එය විනයගරුකව පවත්වාගෙන යා හැකි අපකීර්තිමත් ඉතිහාසයක් නොමැති ඊළඟ ජ්‍යෙෂ්ඨයන් අතරින් කෙනකු යුද හමුදාපතිවරයා වශයෙන් පත් කළ හැකිය. එහිදී රාජපක්ෂවාදීන් ගැන මෙන්ම ෆොන්සේකාවාදීන්ගෙන්ද හමුදා නායකත්වය බේරා ගැනීමට ජනාධිපතිවරයා කල්පනා කළ යුතුය. මන්ද එසේ නොවුණහොත් සිදුවිය හැක්කේ නීතියට අනුව කටයුතු කරන විනයගරුක ගෞරවාන්විත යුද හමුදාවක් වෙනුවට දේශපාලනික කරණයට ලක්වූ යුද හමුදාවක් තවදුරටත් රට තුළ ස්ථාපිතවීමය. එවැනි තත්ත්වයක් යහ පාලනයකට කිසිසේත් සුදුසු නොවන අතර ජනාධිපති වරයාගේ හා ඔහුගේ ආණ්ඩුවේ කටයුතුවලටද ජාත්‍යන්තර වශයෙන් අහිතකර තත්ත්වයක් බවට පත්වනු ඇත.