රාජපක්ෂලාගේ රණවිරු සූත‍්‍රය අර්බුදයට යවන රතුපස්වල පරීක්‍ෂණ

තරිඳු උඩුවරගෙදර

රතුපස්වල ජනතාවට වෙඩි තියා අගෝස්තු පළවෙනිදාට අවුරුදු තුනකි. රතුපස්වලදී සිදුවූයේ කුමක්දැයි අපි මීට පෙර ලියා තැබුවෙමු. වෙඩි තැබීමෙන් පසු වසර තුනක් තිස්සේ රතුපස්වල ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටන ගැන අපි ලීවෙමු. මේ වනවිට අපවිත‍්‍ර ජලය වෙනුවට නලජලය රතුපස්වල ජනතාවට ලැබී ඇත. පහරකෑමට සහ වෙඩි තැබීමට ලක්වූ ජනතාවට සහ මාධ්‍යවේදීන්ට වන්දි ලැබී ඇත. කිහිපදෙනෙකුට ලැබිය යුතු වුවත් ඒවා ලැබෙමින් පවතී.

මේ වනවිට රතුපස්වල ජනතාව විසින් 2015 දී කළ ඉල්ලීමක් අනුව වැලිවේරිය සිදුවීම සම්බන්ධයෙන් ආරම්භ කරන ලද රහස් පොලීසියේ පරීක්ෂණය සිදුකෙරෙන අතර එම සිදුවීමට අදාළ නඩු විභාගය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාග වෙමින් පවතී.

එම පරීක්ෂණයට පෙර ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මෙම සිදුවීමට අදාළව සකස් කොට තිබුණු මානව හිමිකම් වාර්තාවෙහි රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිත‍්‍රවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් සඳහන්ව තිබුණි. මෙම උද්ඝෝෂණය මැඬ පැවැත්වීමට පොලිසිය සිටිය ද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බව ද කියා තිබුණි. උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බව ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවලින් සනාථ වී තිබුණි. එමෙන්ම මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ මේ සිදුවීමේදී උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.

දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියා තිබුණේ වැලිවේරිය සහ බැලූම්මහර උද්ඝෝෂණ විසුරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප‍්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි. වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බව ද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.

එම වාර්තාවෙන් පැහැදිලිව පෙනී ගිය කරුණ නම් අතිශය බරපතළ තත්ත්වයේ මානව හිමිකම් කඩකිරීමක් මහින්ද රාජපක්ෂලා විසින් දැන් පාවාදෙන්න එපායැයි කියන යුද හමුදාව විසින් සිදුකර ඇති බවයි. එපමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව විසින් එසමයේදී එම සිදුවීම සම්බන්ධව කිසිදු ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකිරීමට පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේදීම ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් කොමිෂන් වාර්තාව යටගසන්නටද කටයුතු කර තිබුණි. එදා එම වාර්තාව මාධ්‍ය වෙත නොලැබුණු අතර කිසිදු නිර්දේශයක් ඉටු කර තිබුණේ නැත. ඉන්පසුව මේ සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස 2015 ජනවාරි 28 වැනිදා රතුපස්වල ජනතාව විසින් පොලිස්පතිවරයා වෙත යවා තිබුණු ලිපියක් සලකා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිවේරියේ සිදුවූ ඝාතන සහ පහරදීම් පිළිබඳව පරීක්ෂණයක් අරඹා තිබුණි.

ගම්වාසීන්ගේ ඉල්ලීම

මේ රතුපස්වල ගම්වාසීන් පොලිස්පතිවරයාට යොමු කර තිබුණු ලිපියේ කොටසකි. ‘වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ ජනතාවට යුද හමුදා භටයන් ලවා වෙඩි තබා දැනට වසර එක හමාරකටත් වැඩිය. සාමාන්‍ය ගම්වාසීන් මෙන්ම මාධ්‍යවේදීන් ද එහි දී අපහසුතාවට පත් වූ අතර ගම්වාසීන්ට පහර දීම, තිදෙනකු වෙඩි තබා මරා දැමීම, තවත් විසි ගණනකට තුවාල සිදු කිරීම සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

තිදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර ඔවුන් එක් පාර්ශ්වයකට වාසි වන අන්දමට පරීක්ෂණ මෙහෙයවූ බව බැලූ බැල්මට පෙනී යයි. ඔවුන්ගේ මෙහෙයවීම මත සාක්කි දුන් සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි සාක්කි දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ හාස්‍යයට හේතු විය. ඒ ඔවුන් සිද්ධිය වසන් වන ආකාරයෙන් සාක්කි ලබා දුන් නිසාය. යුද හමුදාව එන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරී බලගල්ල එතැන සිටියාදැයි එම අවස්ථාවේ ගත් ඡුායාරූපවලින් අනාවරණය කර ගත හැකිවනු ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ අයගේ ප‍්‍රකාශවත් කොළඹ අපරාධ කොට්ඨාසය සටහන් කර ගත්තේ නැත. පොලිසිය ප‍්‍රකාශ ගත්තේ ඔවුන්ට ඕනෑ කරන සාක්කි ඉදිරිපත් කරන පිරිසෙන් පමණි. අඩු තරමේ මාධ්‍යවේදීන්ගෙන් හෝ සාක්කි ගත්තේ නැත.

පැවැති පාලනයට බියේ සිද්ධිය ඇසින් දුටුවත් ප‍්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවූවෝද බොහෝය. මෙවැනි හේතූ කාරණා රැුසක් නිසා මෙම අපරාධය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී නිලධාරීන් පිරිසක් ලවා සිදු කර වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටිමු.’

රහස් පොලීසියේ පරීක්ෂණය

ගම්වාසීන්ගේ ඉල්ලීමෙන් පසු අදාළ පරීක්ෂණය ආරම්භ කළ රහස් පොලීසිය මේ වනවිට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට සිදුවීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැුසක් පෙන්වා දී ඇත.

යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙන ආ ගිනි අවි 107ක් මේ වන තුරු යුද හමුදාව පොලිසියට බාර දී නැතැයි රහස් පොලිසිය ජුනි 24 වැනිදා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා තිබුණු අතර එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාවේ 289 දෙනකුද, පොලිස් විශේෂ කාර්ය බළකායේ 134 දෙනකු සහ පොලිසියේ හත් දෙනකුද පැමිණි බවට කරුණු අනාවරණය වී ඇතැයි අධිකරණයට දැනුම් දී ඇත. යුද හමුදාවේ 289 දෙනා අතර ඉහළ නිලධාරීන් 16 දෙනකු සිට ඇති බවත්, ඔවුන් හැර ඉතිරි සෙබළුන් 273 දෙනා ගිනි අවි භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවත් එහිදී පෙන්වා ඇත.

යුද හමුදාව එදින ගෙන ආ බව කියන ගිනි අවි 98ක් මීට පෙර රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබූ අතර ඉතිරි පිරිස අත තිබූ ගිනි අවිද රස පරීක්ෂකට ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි කළ ඉල්ලීමක් අනුව ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් මේ වන තෙක් ඉදිරිපත් නොකළ ගිනි අවි වහාම රහස් පොලිසියට බාර දෙන ලෙස යුද හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කර ඇත.

එමෙන්ම උද්ඝෝෂණය අතරතුර මියගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදුණු බවට වෛද්‍ය වාර්තා අනුව තහවුරු වී ඇතැයි ද, අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

පාසල් සිසුවකුගේ හිසට වෙඩි තබන්නට තරම් හමුදාවක් නිර්දය වුණේ කෙසේද? මේ රණවිරුවන්යැයි වැඳුම් පිදුම් ලැබූ හමුදාවමය. දෙමළ මිනිසුන්ට එරෙහි කිසිදු අපරාධයක් නොකළායැයි කියන මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය එක් අතකින් දරාගෙන යුද්ධ කළායැයි කියන හමුදාවමය. දැන් දඩයමට ලක්වී ඇතැයි කියන රණවිරුවන්ය.

රහස් පොලිසිය මේ වන විට සියයකට ආසන්න පිරිසකගේ ප‍්‍රකාශ සටහන් කර ඇති අතර රතුපස්වලට පැමිණි යුද හමුදා කණ්ඩායමේ ප‍්‍රධානියා වන බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනගෙන් ද ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.

රතුපස්වල සිදුවුණු ඝාතනවලට සාධාරණයක් ඉටු වනු ඇතැයි වසර තුනකට පසුවද රතුපස්වල ජනතාව බලා සිටිති. ඒ ඉටුවන සාධාරණය රණවිරුවන් දඩයමක්යැයි යළිත් වරක් හඬනඟන්නට මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය නම් හැකිය. වෙඩි තැබූවන්ට පමණක් නොව ඒවාට අණ දුන් අයටද දඬුවම් දුනහොත් ඇතැම් විට තම පවුල දඩයම් කරනවායැයි රාජපක්ෂලාට කිව හැකිය. එසේ නැතිනම් මේ පරීක්ෂණ යට යන්නටද ඉඩකඩ ඇත. දෙවැන්න සිදු නොවනු ඇතැයි රතුපස්වල ජනතාව විශ්වාස කරති. වසර තුනකට පසුව හෝ යුක්තිය සොයන රතුපස්වල ඝාතන පරීක්ෂණවල අවසානය රාජපක්ෂවරුන්ගේ රණවිරු සූත‍්‍රය අර්බුදයට යවන්නකි. එහි ප‍්‍රතිඵලය දෙස සියල්ලන්ගේම නෙත් යොමුවී තිබීම යහපත්ය.