එන ආයෝජනවල හැටියට ලංකාවේ ඉඩම් මදිවේවි | අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

තරිඳු උඩුවරගෙදර

අධ්‍යාපනයේ විප්ලවයක් ඇතිකරනවා කියලා ඔබ කීවා. එහෙම විප්ලවයක් වෙලා නැති බව බොහෝ අය කියනවා නේද?

ඇත්ත වශයෙන්ම විප්ලවයක් ඇති කරලාත් තියෙනවා. ඇතිකරමිනුත් යනවා. මේ රටේ පාසල් හත්දහසක පමණ භෞතික සම්පත් දීලා පහසුකම් වැඩිදියුණු කරන්න මුදල් මේ වෙනකොටත් පළාත් සභාවලට විශාල වශයෙන් යවලා තියෙනවා. අපි ස්මාර්ට් පන්ති කාමර සංකල්පය හඳුන්වා දෙන්නට පාසල් ගණනාවක් තෝරාගෙන පෞද්ගලික ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. අපි මේ වෙනකොට මෙතෙක් කල් තිබුණ විවිධ දේශපාලන මැදිහත්වීම් මත විදුහල්පතිවරුන් බඳවා ගැනීම වෙනුවට විධිමත්ව විදුහල්පතිවරුන් බඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. විදුහල්පතිවරුන් හාරදහසක් පමණ බඳවාගන්න කටයුතු කරලා තියෙනවා. අධ්‍යාපන පරිපාලනය කඩාවැටීම මතුපිටින් නොපෙනුණු හේතුවක් වුණා අධ්‍යාපනය කඩා වැටෙන්න. බොහෝ තනතුරුවලට සුදුසු නිලධාරීන් නැතිව වැඩ බලන නිලධාරීන් හිටියේ. දැන් අපි අධ්‍යාපන පරිපාලන සේවයේ අටසිය පනස් ගණනක් බඳවාගන්න කටයුතු කරලා තියෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේත් 1090ක හිඟයක් තියෙනවා. දැන් අපි විභාගය තියලා බඳවාගැනීම් කරනවා. ඒ වගේම නිලධාරීන්ට විදෙස් සහ දේශීය පුහුණුව ලබාදෙනවා. මේ දවස්වල අමාත්‍යාංශය සම්පූර්ණ කාලය දාලා තියෙන්නේ වෙනස්වෙන ලෝකයට ගැළපෙන විදියේ රැුකියාභිමුඛ අධ්‍යාපනයක් වෙනුවෙන් නව අධ්‍යාපන පනතක් හදන්නයි. සියලූම ගුරුවරුන්ගේ හිඟය දැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි ඒ අඩුපාඩු පුරවන්න කටයුතු කරනවා. ඉවක් බවක් නැතිව බඳවාගන්නේ නැහැ. සැලසුමක් එක්ක ගුරුවරුන් තුලනය කරන්න ඕනෑ. අපි අලූත් විෂයන් ගණනාවක් හඳුන්වා දෙනවා. වසර දහතුනක අඛණ්ඩ අධ්‍යාපනයක් හැම දරුවෙකුටම ලබාදෙන්න අවස්ථාව ලබාදෙන්නට පුළුවන් විදියේ අණපනත් අපි ගේනවා. සාමාන්‍යපෙළ අසමත් වුණත් උසස්පෙළ දක්වා තමන් කැමති තමන්ට හැකි ක්ෂේත‍්‍රයක අධ්‍යාපනය ලබාගන්න අවස්ථාව ලබාදෙනවා. කලා සහ තාක්ෂණ විතරක් නෙවෙයි අපි නව විෂයන් විසිහතරක් හඳුන්වා දෙනවා. අපි වැඩ ලෝකයට ගැළපෙන දරුවෙක් හදනවා. මේවා තමයි විප්ලව.

කවුරු මොනවා කිව්වත් අපි තරාතිරම නොබලා මුදල් අයකිරීමට විරුද්ධව කටයුතු කළා. තවත් තීරණ ගණනාවක් ගන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙනවා. මේවා තමයි විප්ලවය කියන්නේ. තව අඩුපාඩු ටිකක් තියෙනවා ඒවා පුරවපුවාම මේ පද්ධතියේ අඩුපාඩු කිසිවක් නැති වෙනවා. වැඩබලන විදුහල්පති වරුන්ටත් අවස්ථාව දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබුණා. අපි බඳවාගන්නා විදුහල්පතිවරුන් ප‍්‍රමාණයට අමතරව තවත් පුරප්පාඩු ගණනාවක් තියෙනවා. ඒ නිසා මම කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා මේ අයටත් අවස්ථාව දෙන්න කියලා. අපි විදුහල්පති වරුන්ව ස්ථානගත කිරීම ගැන තොරතුරු එකතු කරමින් යනවා. සමහර වෘත්තීය සමිති අපි අහවල් දේ කරන්නේ නැහැ කියලා කෑගහනවා. අපි වෘත්තීය සමිතිවලටත් ඉස්සරහින් ගිහිල්ලා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ.

දේශපාලන පළිගැනීම් ලැයිස්තු හරහා දුන්න සහන ඔබේ පක්ෂයේ හෙංචයියන්ට දුන්නා කියලා චෝදනාවක් තියෙනවා නේද?

අපි තෝරාගත්තා දේශපාලන නෙවෙයි පොදුවේ උසස්වීම්වලදී අසාධාරණයට පත්වූ අයගේ ලැයිස්තුවක්. කැබිනට් මණ්ඩලයේ අනුමත කරගත්තා කමිටුවක් හරහා තෝරා ගත්ත නම්. දැන් ඒ ගැන චෝදනා ආ නිසා අපි තවත් කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකෙන් කරන්නේ මේ තීරණවල වැරදි තියෙනවාද කියලා බලන්න. එකින් එක මේ නම් ආයෙමත් පරීක්ෂණයට ලක් කරයි. ඒ අනුව ඔවුන් අසාධාරණයට ලක්වෙලා කියලා නැවත වතාවක් ඔප්පු කරන අයට තමයි සහන ලැබෙන්නේ. ඒ නැවතත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලායි. අපි විශ‍්‍රාම ගිය අයට වැටුප් ලබාදීම් පමණක් සිදුකළා කලින් ලැයිස්තුවෙන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලැයිස්තුවක් දීලා තිබුණා ඔවුන්ගේ ළමයින්ට ඉස්කෝල දෙන්න කියලා. පස්සේ ඔවුන් කීවා ඒ ලැයිස්තුවේ දරුවන්ට පාසල් දෙන්න අධ්‍යාපන ඇමති එකඟ වුණා කියලා. මේ සිදුවීම් මොකක්ද?

ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම යෙනුත් මෙවන් ඉල්ලීමක් ආවා. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සහ රාජ්‍ය පරිපාලන සේවයේ අයත් මේ ඉල්ලීම් කරනවා. ඔවුනුත් දුර පළාත්වල සේවය කරනවා. මෙහෙම සියල්ලන්ම ගන්න අපට බැහැ. ඔවුන් ඉල්ලන්නේ ලංකාවේ ප‍්‍රධානම පාසල් විස්සක් විතර ප‍්‍රමාණයකට, ජාතික පාසල් තුන්සිය පනස් දෙකක් අතරින්. ඔවුන්ගේ ළමයි දැම්මොත් අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට ඉඩලැබෙන්නේ නැහැ. අපි ඔවුන් දුන්නු ලැයිස්තුවට ඉස්කෝල ලබාදෙන්න එකඟ වුණේ නැහැ. හැම කෙනාටම දැනට තියෙන ක‍්‍රමවේදය යටතේත් කෝටා එකක් තියෙනවා. අපි පස්සේ කිව්වා මාරුවීම් නියෝගයයි වැඩ බාරගත්ත ලිපියයි එක්ක ලැයිස්තුව ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව සාධාරණ හේතු තියෙනවා නම් ඒ අයට විතරක් පාසල් දෙන්න පුළුවන්. ජීඑම් ඕඒ එක මාව හම්බවුණා කිව්වාට එයාලා මාව විධිමත්ව මුණගැහුණේ නැහැ. රැස්වීමක් ඉවරවෙලා යනකොට කොරිඩෝවකදී වෛද්‍යවරු කිහිපදෙනෙක් මාව මුණගැහුණා. ඒකෙදී මම දුන්නේ ඉහත කී පිළිතුර. අපි එයාලා කියන විදියට දෙන්නේ නැහැ.

ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පයත් එක්ක පාසල ළඟ ඉන්න ළමයින්ට විතරක් ඉස්කෝලෙට යන්න දුන්නොත් ඞීඑස්, රෝයල් වගේ ඉස්කෝලවලට යන්න වෙන්නේ ඒ ළඟ ඉන්න ඉහළ පැළැන්තියේ අයට විතරක් නේද?

නෑ, ඒ කතාව ඒ අදහසින් නෙවෙයි ගන්න ඕනෑ. ළඟ ඉන්න ඉස්කෝලෙට අනිවාර්ය යෙන් ළමයින්ව දානවා කියලා නෙවෙයි මම කියලා තියෙන්නේ. මම කීවේ ළඟ තියෙන පාසලට අවශ්‍ය පහසුකම් දීලා ඒක සංවර්ධනය කළාම ජනප‍්‍රිය පාසල් පස්සේ යන්නේ නැතිවෙයි කියලා. ළඟම පාසල හොඳ නැත්නම් තමයි ජනප‍්‍රිය පාසලට යන්න.

පාසල් මණ්ඩල පත්කිරීම හා ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට පළමු වසරට ළමයින් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලට එන්න ඉඩදීම හින්දා බලවත් ආදි ශිෂ්‍ය සංගම් තියෙන ජනප‍්‍රිය පාසල් පෞද්ගලිකකරණය පැත්තට යනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

පාසල් මණ්ඩල අද ඊයේ නෙවෙයි ඒ කාලේ ඉඳන් පනත්වල තියෙන දෙයක්. පාසල් මණ්ඩල පත්කරන්නේ පාසල් පරිපාලන කටයුතු කරන මූල්‍ය පරිපාලන ඒකකයක් විදියට. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. ඒවා කළමනාකරණය කරලා පාසල් දියුණු කරන්නයි අපි එහෙම පත් කරන්නේ. දැනටමත් මියුසියස්, ටි‍්‍රනිටි, සෙන්ජෝසෆ්, තෝමස් වගේ හොඳම ඉස්කෝල පාසල් මණ්ඩල හරහා සාර්ථකව පරිපාලනය වෙනවා. අපි ඉස්කෝලවල සල්ලි එකතු කරන්න දෙන්නේ නැහැ. අපි ඉස්කෝලවලට මුදල් දෙනවා. තව ටික කාලයක් යද්දී දැකගන්න පුළුවන් පාසල්වල පහසුකම් හැදෙන හැටි. විද්‍යාගාර, පරිගණක, දන්ත ශල්‍යාගාර හැදෙන හැටි බලාගන්න පුළුවන්. අපි දෙන මුදල් අවභාවිත කරන්න හැදුවොත් නිවැරදිව නීතිය ක‍්‍රියාත්මක කරනවා.

මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරනවා කියන එක නිතර නැගෙන චෝදනාවක්. මේ ආණ්ඩුව පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය අධ්‍යාපනයේදී කළමනාකරණය කරගන්නේ කොහොමද?

රාජ්‍ය අංශය වට්ටන්න අපි කටයුතු කරන්නේ නැහැනේ. අපි රජයෙන් පාසල් දියුණු කරනවා වගේම ලෝකයේ ප‍්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයතනවලින් ඇවිල්ලා මේ රට තුළ ඔවුන්ගේ සේවාවන් සපයන්න ඉඩ දෙන්න ඕනෑ. ඒක අපි පටන්ගත් දෙයක් නෙවෙයි. අපි එහෙම ඉඩ නොදුන්නා නම් ලංකාවේ ඉහළම ධනපතියො තමන්ගෙ ළමයින්ව පිටරට යවලා හරි උගන්වයි. එතකොට ලංකාවේ ඉතිරි කරගන්න තිබුණු විශාල මුදලක් පිටරටට වැයවෙයි. යමක්කමක් තියෙන අය ඉන්නවා නම් පිටරටට ගිහින් ඉගෙන ගන්නවාට වැඩිය ලංකාව තුළ උපාධිය ලබාගන්න ඉඩදීමේ වැරැුද්දක් නැහැ. අපි දූපත් මානසිකත්වයෙන් පරණ දේශපාලන සංකල්ප එක්ක හිතනවා නම් මේ රටට අනාගතයක් නැහැ. අපි ගුණාත්මකභාවය රකින්න කටයුතු කළ යුතුයි. සයිටම් වගේ ආයතන දූත ආකාරයෙන් පටන්ගත්තේ. ඒකට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. හැබැයි ඒවාට ගියේ අපේ රටේ ළමයි. ඒ නිසා එම ආයතනයට අඩුපාඩු අවස්ථාව ලබාගන්න කාලය සහ අවස්ථාව දිය යුතුයි. මොකද නැන්තම් කවුරුත් අපේ රටට ආයෝජනය කරන්න එන්නේ නැහැ. මොකද අපේ රටේ අලූත් විශාල ආයෝජන පටන්ගන්න පසුබිමක ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ලංකාවේ තිබිය යුතුයි.

මේකෙන් අධ්‍යාපනය සඳහා වන සම අවස්ථාව නැතිවෙලා ධනවතුන්ට විශේෂ අවස්ථා ලැබෙනවා කියලයි චෝදනා කරන්නේ?

ඒක නවත්වන්න බැහැනේ. අපි ඇවිල්ලා කොමියුනිස්ට් පාලනයක් නෙවෙයිනේ ගෙනියන්නේ. සල්ලි තියෙන කෙනා ලංකාවේ ප‍්‍රයිවෙට් කැම්පස් එකක් නැත්නම් ඉන්දියාවට හරි ඕස්ටේ‍්‍රලියාවට හරි ගිහිල්ලා පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙයි. විවිධ අයට ලැබෙන අවස්ථාව වෙනස්. අපි කරන්න ඕනෑ දිළිඳු අයටත් අවස්ථාව ලබාදෙන්න ක‍්‍රමවේද හදන එක. ඉන්දියාවේ සීයට විස්සක් දිළිඳු අයට ශිෂ්‍යත්ව ලබාදෙනවා. අපි මොනවා කිව්වත් අපි හැමෝටම වුවමනාව තියෙනවා නම් ඕනෑම තත්ත්වයකට ළඟාවෙන්න පුළුවන්.

දේශපාලන වේදිකාවේ මාතෘකාව වුණේ පාද යාත‍්‍රාව. ඩාලි පාරේදී හූ කීමෙන් එහෙම අවසානයේ වාසිය යූඇන්පියට කියලයි කියන්නේ. ඔබේ අදහස මොකක්ද?

ඔය මහත්තුරු ටිකමනේ පහුගිය අවුරුදු විස්සෙත් හිටියේ. අපේ පක්ෂය කඩන්න හැදුවා. ඒකේ වාසිය වුණේ සන්ධානයේ මහත්තුරු ටිකටනේ. එයාලා කටමැත දෙඩුවානේ. එයාලාට ඒවා අමතකද දන්නෑ. ප‍්‍රධාන බලවේගයක් දෙකඩ වුණොත් ඒකේ වාසිය අනිත් අයට තමයි. ඒත් අපි ඒකෙන් කාලකණ්ණි සතුටක් ලබන්නේ නැහැ. මොකද අපි ශක්තිමත්. ඔය බල කඳවුර අපි හතරගාතේ දාලා පෙන්නුවා. අපිට ඕනෑනම් වෙනදා වගේ හදන්නන් වාලේ මන්ත‍්‍රීවරු දාගෙන ආණ්ඩුවක් හදන්නත් තිබුණානේ. ඒත් අපට දියුණු දර්ශනයක් තියෙන නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක ආණ්ඩුවක් හැදුවා. ඒකෙන් බලන්න ලෝකයේ කඳවුරු භේදයක් නැතිව රටවල් අපට ගෞරව කරන හැටි. දැන් අපට ලංකාවේ ඉඩම් මදිවෙලා තියෙන්නේ එන ආයෝජනවල හැටියට. තියෙන ඉඩම් මදිවෙයි. හම්බන්තොට නිකන් මුදල් විනාශ කළ වරායට නැව් පුරවන්න අපට අවස්ථාව තියෙනවා. මත්තල ගුවන්තොටුපොළ හරහා ආර්ථික වාසි ලබන්නත් රටවල් එක්ක ගිවිසුම්වලට යන්නත් අපි සැලසුම් සකස් කරනවා. කර්මාන්තශාලා විශාල ප‍්‍රමාණයක් එනවා. සැප්තැම්බර්වලදී වොක්ස් වැගන් කර්මාන්තශාලාවට මුල්ගල තියෙනවා. අපට චෝදනා කරන කොමිස් ගහපු පාදඩ මිනිස්සු අද වැදිබණ කියනවා. මිනිස්සු මේවා පිළිගන්නේ නැහැ. අවුරුද්දක් යන්න කලින් ජනතාව ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුවකට ආයෙ බලය දේවිද? අපි අවුරුදු පහකට පත්කරපු ආණ්ඩුවක්. රැකියා විරහිත දූෂිතයන්ගේ පාගමනක් ඕක.

මේ දවස්වල මාධ්‍ය හරහා කියන දෙයක් තමයි මේ ආණ්ඩුව කාලයේ ජීවන බර හරි ඉහළයි කියන එක. මේ වගේ ආණ්ඩුව ටික කාලයක් ඇතුළත එපාවෙලා කියන එක මාධ්‍යවලින් කියනවා නේද?

තාම මාධ්‍යවල ඉන්නේ එයාලාගේ අතකොලූ තමයි. ඉතින් මාධ්‍යවලින් විවිධ කතා හදනවා. ඇත්ත වාර්තා කරන අයත් ඉන්නවා. මාධ්‍ය නිදහස තමයි මේකට ප‍්‍රධාන හේතුව. අපි බඩු මිල අඩු කළා දෙපාරක්. ලක්ෂ 15ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දහදාහකින් වැඩිකළ ආණ්ඩු වෙන තියෙනවාද? රාජපක්ෂලාගේ කාලයේ 18%කට නැගපු බදු අපි අඩු කළානේ 11% දක්වා. අපට ආයෙමත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු අයකරන්න වෙලා තියෙන්නේත් රාජපක්ෂ ලාගේ වංචාවල බර නිසා. ඒක ටික කාලයයි. අපි ඒක අඩු කරනවා. ඊළඟ මැතිවරණය එද්දී අපි වැඩ පෙන්වන්නම්. ඊළඟ ඡුන්දය එන වෙලාව වෙද්දී පුදුමාකාර වෙනසක් රටේ වෙලා තියෙයි. අපි 2010 ලක්ෂ දහඅටකින් පැරදුණාමත් අපට ඔය ප‍්‍රමාණයට වඩා සෙනඟ හිටියා.

මේ ආණ්ඩුව බටහිර ගැති රණවිරුවන් මර්දනය කරනවා කියලා කියනවා නේද?

දූපත් මානසිකත්වයෙන් හිතලා අපි රටවල් තරහ කරගත්තා. දැන් අපි ඒවා හරියට කළමනාකරණය කරනවා. අපි බටහිර ගැතිවෙලා වැඩක් නැහැ. ඒ රටවල්වල අපේ බාප්පලා නැහැනේ. ඒ නිසා අපට ඕනෑකම තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ශක්තිමත් කරන්න. රටවල් තරහ කරගෙන ඒක කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු නැහැ. දැන් ඔය ජාතිවාදය අවුස්සන උපක‍්‍රම පරණයි. අපි කොටින්ට රට දෙනවා වගේ කතාවලට දැන් රැුවටෙන්නේ බොහොම සුළු ප‍්‍රමාණයක්. දැන් රටට ආදරේ මිනිස්සු අවුස්සන අය එක්ක යන්නේ නැහැ. අපි එක ජාතියක් විදියට විවිධ ජනවර්ග එකතුවෙලා ජීවත්වෙන්න ඕනෑ. ජාතිවාදී සටන්පාඨ වලංගු නැහැ. ඕවා බංකොලොත් සටන්පාඨ.