Monday, 21/8/2017 | 3:41 UTC+0
රාවය

එෆ්සීඅයිඞීයට බය මහින්ද පත්කළ නිලධාරීන් අතළොස්සක් විතරයි | නීතිඥ ජේසී වැලිඅමුණ

අරුණ ජයවර්ධන

වර්තමාන රජයේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ දායකත්වය ගැන ප‍්‍රශ්නයක් තිබෙන බව පෙනෙවා. ඔබ එය දකින්නේ කොහොමද?

රාජ්‍ය සේවය කියන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන ආයතනය. 2015 ජනවාරියට ඉස්සෙල්ලා තිබුණු රාජ්‍ය ප‍්‍රතිපත්තිය හැඳින්වුණේ මහින්ද චින්තනය කියලානේ. 2015දී මහින්ද චින්තනය පරාජය කරනු ලැබුවා. නමුත් අද පවා රාජ්‍ය පරිපාලන ඇමතිවරයාත්, හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයාත්, තවත් ලේකම්වරු කීප දෙනකුත් ජනාධිපතිවරයා කියලා අමතන්නේ මහින්ද රාජපක්‍ෂගේ නම කියලා. මේ මෑතකදීත් එහෙම වුණානේ. නරකම දේ, ඒගොල්ලො හිතාගෙන ඉන්නේ තවමත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය මහින්ද චින්තනය කියලායි. ඒකට හේතුව, රාජ්‍ය ආයතනවල ලේකම්වරුන් පත්කිරීමේදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා තමන්ට දේශපාලන වශයෙන් කිට්ටු සම්බන්ධතා තිබෙන හා පක්‍ෂපාත අය, ජ්‍යෙෂ්ඨතාව හෝ කුසලතාව නොබලා තමන් විසින්ම තෝරාගෙන ඒ තනතුරුවලට පත්කිරීමයි. එහෙම පත්වීම් ලැබූ අය තමයි පහුගිය අවුරුදු දහයක විතර කාලේ රාජ්‍ය සේවය මුළුමනින්ම පාලනය කළේ.

අලූත් ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් තේරී පත්වුණාට ඒ කණ්ඩායම ඉවත් වුණේවත්, ඉවත් කළේවත් නැහැ. මේ අය මහින්ද චින්තනයට වුවමනාවටත් වඩා ගැතිකම් කළ අය මිසක් ස්වාධීන රාජ්‍ය නිලධාරීන් නෙවෙයි. මේ රජයේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න නම් ඒ දේශපාලන සම්බන්ධකම් තිබුණු පක්‍ෂපාතී අය රාජ්‍ය සේවයේ සාමාන්‍ය තනතුරුවලට යොමුකරලා, ලේකම්වරුන් වැනි ප‍්‍රධාන තනතුරුවලට මේ රජයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පත්කළ යුතුව තිබුණා. එසේ නොකිරීම තමයි මේ රජයේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න තියෙන ප‍්‍රධානතම බාධාව.

ඒ බාධාව හොඳටම පෙනුණා පහුගිය දවස්වල.

ඔව්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් හැටියට දඩල්ලගේ මහත්තයා පත්කිරීම හා ඔහුගේ ක‍්‍රියාකාරිත්වය තුළ ඒක පෙනුණා හොඳින්ම. අනෙක් බොහෝ අමාත්‍යාංශවල තත්ත්වයත් ඒකමයි. ඒ නිසා ඔවුන් එක පැත්තකින් රජයේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නේ නැහැ. අනෙක් පැත්තෙන් වර්තමානයේ කරගෙන යන දූෂණ, වංචා විමර්ශන කටයුතු සඳහා ඒ ඒ අමාත්‍යාංශවලින් ලැබෙන්න ඕනෑ සහයෝගය ලැබෙන්නේත් නැහැ. භාණ්ඩාගාරයේ තත්ත්වය වුණත් ඊට වෙනස් නැහැ. අමාත්‍යාංශයක ලේකම් තමයි එහි තිබෙන ලේඛනවල භාරකාරත්වය දරන්නේ. විමර්ශනවලට අවශ්‍ය ලේඛන ආදිය ඒ අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කරමින් ලේකම්වරුන් කටයුතු නොකිරීම නිසා විමර්ශනවලට සෑහෙන බාධාවක් එල්ල වෙලා තියෙනවා. ඒකට හේතුව, අර මහින්ද රාජපක්‍ෂ විසින් තෝරාගෙන පත්කළ අය තවමත් ඒ තනතුරුවල සිටීම. කවුරු මොනවා කිව්වත් ඔවුන්ගේ පක්‍ෂපාතිත්වය තියෙන්නේ හිටපු රජයේ නායකයන්ට මිසක් නව රජයේ නායකයන්ට නෙවෙයි.

කොහොමද එසේ නොවන අය තෝරාගන්න පුළුවන්?

රාජ්‍ය සේවයේ ලේකම්වරුන් ආදීන් පත්කරන කොට ඒ සඳහා පිළිගන්න පුළුවන් ක‍්‍රමවේදයක් තියෙන්න ඕනෑ. ඒ ක‍්‍රමවේදය පදනම් විය යුත්තේ කුසලතාව මතයි. මේ කුසලතාවන් තීරණය කිරීමේ නිර්ණායකයන් ඕනෑ තරම් තියෙනවා. දක්‍ෂ අය, රාජ්‍ය සේවයට වැදගත් දායකත්වයක් දෙන්න හැකියාවක් තියෙන අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් අවාසනාවකට ඒ අය තවමත් ඉන්නේ අතිරේක, සහකාර ලේකම්වරුන් මට්ටමේ.

ඉස්සර තිබුණේ අමාත්‍යාංශ පහළොවයි, විස්සයි. රාජ්‍ය පරිපාලන සේවයට දහයක් විතර තමයි අවුරුද්දක් තුළදී අලූතෙන් එකතුවෙන්නේ. ඒත් රාජ්‍ය පරිපාලන සේවයට අද අවුරුද්දකට සිය ගණනක් එකතු වෙනවා. ඒ එන හැමෝටම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙන්න බැහැනේ. ලේකම්වරුන් හැටියට තෝරාගැනීමේදී ඔවුන් රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට කැපවෙන්නේ කොහොමද කියන එක වැදගත් වෙනවා. බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි, ජ්‍යෙෂ්ඨයන්, ජ්‍යෙෂ්ඨත්වය කියන වචන. එහෙම කිව්වත්, අද ලේකම්වරුන් හැටියට ඉන්න අයගෙන් සීයට අනූවක්ම ඉන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් සීයට පහළින්. එයින්ම පෙනෙනවා, මේ දක්වා වුණත් සලකලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත නෙවෙයි කියන එක. ජ්‍යෙෂ්ඨත්වය කියන එක ගෙනෙන්නේ ඒගොල්ලන්ගේ වුවමනා එපාකම් වහගන්න. ඔවුන් හිතනවා ජ්‍යෙෂ්ඨත්වය කිව්වාම කවුරුත් ප‍්‍රශ්න කරන්නේ නෑ කියලා. ඒ අය මේ ආණ්ඩුවෙන් තෝරාගෙන ගෙනා අය නෙවෙයි, ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් පත්වෙලා තාම ඉන්න අය. උදාහරණයක් හැටියට, හිටපු ලේකම් දඩල්ලගේ මහත්තයා ජ්‍යෙෂ්ඨත්වයෙන් එකසිය හැට තුන. ඔහු වැනි කෙනෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි ඉතාම වැදගත් තැනක ලේකම් වෙන්නේ කොහොමද?

මේ ළඟදී රාජ්‍ය සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨතම හා ඉතා වැදගත් නිලධාරියකු වන හිටපු ජනාධිපති ලේකම් කේඑච්ජේ විජේදාස මහත්තයා තමාගේ ලිපියක කියලා තිබුණා, ඒ කාලයේ ජනාධිපති ලේකම්වරයෙක් තෝරනකොට එයාගේ පසුබිම, දේශපාලන ළැදියාවන්, කුසලතාවන් ආදිය ගැන සීඅයිඞී වාර්තාවක් පවා කැඳවනවා කියලා. මුලින්ම එවැනි වාර්තාවක් කැඳවනවා විතරක් නෙවෙයි, මාස හයකට වාරයක් ඒ වාර්තාව පුනරීක්‍ෂණය කරනවාලූ. ඇත්තටම අද ඉන්න ලේකම්වරුන් හා වෙනත් ආයතන ප‍්‍රධානීන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාව මගින් ඔවුන්ගේ පසුබිමවත් හෙව්වා නම්, ඔවුන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වේවි. පොලිසියට රාලහාමි කෙනෙක් ගන්නකොට වුණත් ඔය ඔක්කොම පසුබිම් තොරතුරු හොයනවානේ. නමුත් රජයේ සේවයේ ප‍්‍රධානම නිලධාරීන් වන ලේකම්වරුන් තෝරද්දී ඔය එකක්වත් කරන්නේ නැහැ.

එෆ්සීඅයිඞීයට බය නිසාත් වැඩ කෙරෙන්නේ නැහැ නේද?

ඔව්. තවත් කතාවක් කියනවා, එෆ්සීඅයිඞීය, සීඅයිඞීය ආදිය හින්දා රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ වැඩක් කරන්න බැහැ. ඔවුන් ඒවාට බයේ වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් ඔය කතාව කියන්නේ රාජ්‍ය සේවයට මහින්ද රාජපක්‍ෂ විසින් තෝරාගත්ත අය පමණයි. රාජ්‍ය සේවයේ ඉහළම, ඉතාම කාර්යක්‍ෂමව වැඩකරන අතිරේක ලේකම්වරු වශයෙන් ඉන්න නිලධාරීන් සීයකට අධික පිරිසක් එක්ක මේ කාරණය ගැන අපි මෑතකදී කතාකරලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් එෆ්සීඅයිඞීයට, සීඅයිඞීයට බය නැහැ. ඔවුන් කියන්නේ මේ බය, වැඬේ නොකරන්න තියෙන කැමැත්ත වහගන්න කියන දෙයක් කියලායි.

සාමාන්‍යයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට විශේෂයෙන් අදාළ අය කවුද?

වර්ග තුනක් ඉන්නවා. එක කට්ටියක් අමාත්‍යාංශ ලේකම්වරු. දෙවැනි කට්ටිය දිසා ලේකම්වරු. මේ දිසා ලේකම්වරුන් හරහා තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලේ මුළු මැතිවරණ ක‍්‍රියාවලියම දූෂණය කළේ. ඒ අයගෙන් අතිබහුතරය තාමත් දිසා ලේකම්වරුන් හැටියට ඉන්නවා. මම හිතන්නේ දිසා ලේකම්වරුන් වුණත් නැවතත් අලූතෙන් පත්කළ යුතුයි.

ඒ වාගේම රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික වැදගත්කමක් දරන විශේෂ තනතුරු තියෙනවා. ඒ තනතුරුවලට වෘත්තිකයන් අතරින් හෝ රාජ්‍ය සේවයට පිටතින් හෝ රාජ්‍ය සේවයේ ඉන්න ඒ ඒ ක්‍ෂෙත‍්‍රවලට විශේෂ දක්‍ෂතා දක්වන අය ගෙනෙන්න ඕනෑ. භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්, රාජ්‍ය පරිපාලන පුහුණුු ආයතනයේ ප‍්‍රධානියා, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යාංහයේ ලේකම් ආදින් උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ තනතුරුවලට දමන්න ඕනෑ කිසියම් රාජ්‍ය ප‍්‍රතිපත්තිමය දැක්මක් තියෙන අය. මේ තනතුරුවලට රාජ්‍ය සේවය ඇතුළෙන්ම ඕනෑ තරම් කට්ටිය හොයාගන්න පුළුවන්. මම කියන්නේ එහෙම බැරි නම්, රාජ්‍ය සේවයේ ඉඳලා විශ‍්‍රාම ගිය අය වුණත් ප‍්‍රශ්නයක් නැහැ.

ගුණාත්මක හා ක‍්‍රියාශීලී රාජ්‍ය සේවයක් ඇතිකරන්න අවශ්‍ය තරම් රාජ්‍ය සේවකයන් රජයේ ඉන්නවා. නමුත් ඒ ලේකම්වරුන් අතර ඒ සඳහා අවශ්‍ය නායකත්වය තිබෙන බවක් අපට දැනෙන්නේ නැහැ. ඒ ගුණාත්මක රාජ්‍ය සේවය ඇතිකිරීමේ නායකත්වය දිය යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරුයි. නමුත් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇතිකිරීමට කැපවෙලා ඉන්න සහ ගෞරවනීය රාජ්‍ය සේවයක් සඳහා සුදුසු නිලධාරීන් අතිබහුතරයක් අතිරේක ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් හැටියට විශ‍්‍රාම යනවා. ඔවුන්ට රාජ්‍ය සේවයේ ඉදිරියට ගිහින් ලේකම්වරයකු වෙන්න අවස්ථාවක් පෙනෙන තෙක් මානයක නැහැ. එහෙනම්, ඔවුන්ගෙන් වැඩ ගැනීමේ ප‍්‍රතිපත්තියක් රජය හදන්න ඕනෑ. එය කළ හැක්කේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් විතරයි.

අද රජයේ පරිපාලනයට සම්බන්ධ අය ගැන කටයුතු කරන තීරණාත්මක ආයතන දෙක තමයි රාජ්‍ය සේවා කොමිසම හා පළාත් රාජ්‍ය සේවා කොමිසම. මේ කොමිෂන් සභා දෙක අතරවත් කිසිම අන්තර් සම්බන්ධතාවක් නැහැ. රාජ්‍ය සේවකයන්ගෙන් විශාල ප‍්‍රතිශතයක් අදාළ වෙන්නේ පළාත් රාජ්‍ය සේවයටයි. ඒ කියන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතේයි ඔවුන් ඉන්නේ. ඒ අය ජාතික කොමිසම එක්ක සම්බන්ධතාවක් නැතිව කටයුතු කිරීමත් ලොකු ප‍්‍රශ්නයක්. ඒ වාගේම රාජ්‍ය සේවා කොමිසමත් කාට හරි වගවිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වගවීම.

ඉතින් ඔවුන් පාර්ලිමේන්තුවට වගකියනවා නේද?

ඒක ඇත්ත. ඒත් ඊට අමතරවත් වගවීමක් තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට තමයි බලතල තියෙන්නේ ගවර්නන්ස් හෙවත් පාලනය ගැන. එය ඔහුට අයත් විෂයක්. ඒ නිසා ජනාධිපතිවරයා තමන්ගේ බලතල අනුව රාජ්‍ය සේවා කොමිසමේ හා පළාත් රාජ්‍ය සේවා කොමිසමේ කාර්යභාරය ගැන නිරතුරු විපරමක් කළ යුතුයි.

ඒ වගේම දඩල්ලගේ මහත්තයා නිසා රජය ඉගෙනගත්තු පාඩම තේරුම් අරගෙන, එවැනි වැරදි ඇති නොවන ආකාරයට සියලූ පසුබිම් කාරණා සලකා බලලා රජය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි තැන්වල ලේකම්වරුන් හැටියට සුදුසු අය පත්කළ යුතුයි. රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්‍ෂා කරන්න පුළුවන් හා රාජ්‍ය ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්නට පුළුවන් අය ඒ තනතුරුවලට පත්කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්.

රජය කියන එක දෙයක්, මේ තනතුරුවලට පත්කරන්න සුදුසු අය නැතැ’යි යන්න.

ඒක සම්පූර්ණයෙන්ම බොරු. ඕනෑ තරම් පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඔවුන්ව හොයලා ගන්න ඕනෑ. රාජ්‍ය සේවයට අදාළ නඩු කටයුතු කරලාම, රාජ්‍ය සේවයත් එක්ක කටයුතු කරලාම, අපි අත්දැකීමෙන් දන්නවා ඕනෑ තරම් ඉහළ ගණයේ පුද්ගලයෝ ඉන්න බව. ඒත් වර්තමාන ලේකම්වරුන් අතර එවැනි පුද්ගලයන් ඉන්නේ එක්කෙනායි, දෙන්නායි. එහෙම අය අලූතෙන් හොයාගන්න නම් අඩුගණනේ අතිරේක ලේකම්වරුන් දිහාවත් බැලිය යුතුයි.

රජය වෙනස්වුණු වහාම සාධාරණ සමාජයක් සඳහාවූ ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් එවැනි පිරිසකගේ නම් ලැයිස්තුවක් දුන්නා නේද? එයින් කීදෙනෙක් පත්කරලා ඉන්නවාද?

දන්න විදියට ඒ අයගෙන් එකම එක්කෙනායි පත්කළේ. ඒ ලැයිස්තුවේ විශ‍්‍රාම ගිය කට්ටිය සෑහෙන ප‍්‍රමාණයක් හිටියා. ඒ අයත් හොඳයි. ඒත් විශ‍්‍රාම ගිය අය නැතිව දැනට සේවයේ ඉන්න අය අතරිනුත් ඕනෑ තරම් සුදුස්සන් තෝරාගන්න පුළුවන්. එහෙත්, එහෙම අය තෝරාගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ, ඔය මුල් පුටුවලට අරක්ගෙන ඉන්න රජයේ නිලධාරීන් විසින්.

ඒ වාගේම රාජ්‍ය පරිපාලන ඇමතිවරයාත්, ස්වදේශ කටයුත ඇමතිවරයාත් විසින් රාජ්‍ය ප‍්‍රතිපත්ති සියයට සියයක්ම ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට අවශ්‍යයි. අවාසනාවකට එවැනි කැපවීමක් ඔවුන්ගේ තියෙන බවක් පෙනෙන්නට නැහැ. එවැනි තත්ත්වයක් යටතේ ඒ අමාත්‍යාංශයෙන් රටට ජනතාවට ගෙනයන පණිවුඩයත් ප‍්‍රශ්නයක් වෙනවා.

අලූත් ආණ්ඩුවක් ආවාට පස්සේත්, ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්නේ පරණ ආණ්ඩුවේම ඉහළ නිලධාරීන් බව දකින පහළ නිලධාරීනුත් දුර්මුඛ වෙනවා. ඔවුන් හිතන්නේ අපි මොනවත් කරලා වැඩක් නැහැ, අර තැන්වල ඉන්නේ අර අයමයි කියලා. ඒ අයව ඉවත්කරන්න කියනවා නෙවෙයි, ඔවුන්ට සුදුසු වෙනත් තැන් දීලා මේ වැදගත් තැන්වලට සුදුසු අය පත්කළාම තමයි පහළ නිලධාරීන්ට වුණත් අදහසක් එන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.