අපේ අරමුණ යුධ අපරාධ විමර්ශනය කරලා චෝදනාවලට පදනමක් නොමැති බව ඔප්පු කිරීමයි | නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

තරිඳු උඩුවරගෙදර

 

වැට් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී දකින්න ලැබුණු කාරණයක් අධිකරණයට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සංවරණ බලයක් ක්‍රියාත්මක කිරීම. එහිදී අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් ඒ සංවරණ බල සීමා කිරීමක් කරන්න උත්සාහ කළා නේද?

පාර්ලිමේන්තුව නීති සම්පාදනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන කාර්ය පටිපාටියත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල දැක්වෙන කාර්ය පටිපාටියත් අනුගමනය කළ යුතුයි. එය අනිවාර්යයි. එය එසේ සිදුවන බවට කථානායකවරයා වගකිව යුතුයි. එය නිසි ලෙස සිදු නොවෙන විට පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් එම ක්‍රියාවලියේ ඇති ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට අධිකරණය කරන්නේ පනත් කෙටුම්පතේ ඇති කරුණු පිළිබඳව නෙවෙයි මෙකී පනත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවාද කියන කරුණ නිරීක්ෂණය කිරීම. මෙතැන මතුවෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ පනත් කෙටුම්පත ඇමති මණ්ඩලය විසින් සලකා බලා අනුමත කළ බවට අමාත්‍ය මණ්ඩලයේ සහතිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමයි. හැබැයි අමාත්‍ය මණ්ඩලය සලකා බැලුවා. ඔවුන් අනුමත කළා. එහෙත් අදාළ සහතිකය ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය දෙයක්ද යන්න පිළිබඳ විවාදයක් තියෙනවා. මීට කලින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නීති විශාල ගණනක මෙම කැබිනට් මණ්ඩලයේ සහතිකය ඉදිරිපත් කර නැහැ. ඊයේ අගමැතිවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එසේ කැබිනට් මණ්ඩලයේ සහතිකය නොමැතිව සම්මත කරන ලද නීතිවල වලංගුතාව පිළිබඳව අනාගතයේ මූලික අයිතිවාසිකම් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රශ්න කළහැකි තත්ත්වයක් මතුවිය හැකි බව. එවැනි බරපතළ තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා කථානායකවරයා පියවර ගතයුතු බවත් අගමැතිවරයා කීවා. ඒ වගේම අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නා බව. ඒ වගේම අගමැතිවරයා පැහැදිලිව කීවා මෙම තීන්දුවට ගරුකරන බව. ඒ වගේම කැබිනට් මණ්ඩලයට පනත් කෙටුම්පත නැවත වරක් ඉදිරිපත් කොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දුන් කාර්ය පටිපාටිය ප්‍රකාරව කටයුතු කරන බව. මේකෙදී පෙන්වාදුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනිවාර්යයෙන් කළයුතුයැයි කියා තිබුණු කාර්යපටිපාටිය ක්‍රියාත්මක නොකර මීට කලින් අවස්ථා ගණනාවකත් පාර්ලිමේන්තුව ක්‍රියා කර ඇති බවයි.

පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවට විවේචනයක් එල්ල වෙනවා නේද? ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙළින් කියන්න පුළුවන්ද?

අධ්‍යාපනය පිළිබඳව අපි හංගපු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය ඉතාමත්ම පැහැදිලියි. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නවා. නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුව ඇති කිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් කර තියෙනවා. මේ වසර තුළ පමණක් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන හැටතුනක් වෙන්කරලා තියෙනවා. ලංකාවේම පාසැල් හයදාහක් මේකෙදී ආවරණය වෙනවා. ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ වැඩිම මුදල මෙයයි. ඒ අනුව අපේ කැපවීම අපි පෙන්නුම් කරලා තියෙනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමේදී ආණ්ඩුවේ පදනම මොකක්ද?

අද මේ රට මධ්‍යම මට්ටමේ ආදායම ලබන රටක්. මධ්‍යම පන්තිය දියුණු වෙලා තියෙනවා. මධ්‍යම පන්තියට තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය ලබාදෙන ක්‍රමය පිළිබඳව තීරණ ගතයුතු ආකාරය පිළිබඳව තියෙන අයිතිය අපි පිළිගන්නවා. අපි විතරක් නෙවෙයි කලින් රජයත් පිළිගත්තා. ඒ අයට අවශ්‍ය නම් පෞද්ගලික පාසලකට යවන්න. අවශ්‍ය නම් ශ්‍රී ලංකාව තුළ තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යවන්න තියෙන අයිතිය අපි පිළිගත්තා. නිදහස් අධ්‍යාපනය වගේම පුරවැසියාට අධ්‍යාපනය ලබන්නට ඇති නිදහස අපි පිළිගන්නවා. සියලුම අය රජයේ විශ්වවිද්‍යාලවලට යා යුතුයි කීම අසාධාරණයි. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ලම ගුණාත්මක භාවයෙන් දුර්වලයි කීම අසාධාරණයි. ඒ මොනවා වුණත් අපි පැහැදිලිව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන බව නැවතත් කියනවා. ඒ වගේම අධ්‍යාපනයට ඇති නිදහස පුරවැසියාට තහවුරු කිරීමටයි අපි මේ වගේ පියවරක්ගන්නේ.

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ලොකු විවේචනයක් ආණ්ඩුවට එනවා. ඒ අස්සේ ආණ්ඩුව තවත් ද්වි පාර්ශ්වීය ගිවිසුම් ඇති කරගන්නවා.

මේ රටේ අධ්‍යාපනයේ දැවැන්ත දියුණුවක් ඇති කිරීමට ලෝකයේ විවිධ රටවල් සමඟ විශේෂිත ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගත යුතුයි. ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම අලුත් දෙයක් නෙවෙයි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අනාදිමත් ඉතිහාසයක ඉඳන් ලෝකයේ රටවල් විසින් අනුගමනය කරපු ආර්ථික උපක්‍රමයක්. රටක් දැනගත යුතුයි ද්වි පාර්ශ්වීය ගිවිසුම් ඇතිකර ගැනීමේදී දෙපාර්ශ්වයටම ජය හිමිවන බව. ලොකු රටක් පොඩි රටක් එක්ක ගිවිසුම් ඇතිකර ගැනීම නරක දෙයක් නෙවෙයි. වැදගත් වෙන්නේ කොන්දේසි මොනවද කියන එකයි. ඉන්දියාව සමඟ වුණත්, චීනය සමඟ වුණත්, ඇමරිකාව සමඟ වුණත්, මාලදිවයින සමඟ වුණත් ඇතිකර ගන්නා ගිවිසුමේ අන්තර්ගතය අනුවයි එහි හොඳ නරක තීරණය වෙන්නේ. තාමත් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුමේ ඇති කරුණු පිළිබඳව අවසන් අදහසකට ඇවිත් නැහැ. ඒකට අපි ජනතාවගේ අදහස් සහ වෘත්තිකයන්ගේ අදහස්වලට ඉඩ තියලා තියෙනවා. ඒ අදහස් අනුව අපි තීරණ ගන්නවා. කවදාවත් අපේ රටට අහිතකර සහ පුරවැසියන්ට අහිතකර තීන්දු ගන්නේ නැහැ. එහෙම කරන්න අපට කිසි වුවමනාවකුත් නැහැ. එහෙම කරන්න කියලා ඉන්දියාවෙන් අපට බලපෑමකුත් නැහැ. නියෝජ්‍ය විදේශ ඇමතිවරයා හැටියටයි මේකේ මුල් අවස්ථාවේදී මම කටයුතු කළේ. ඒ නිසා හොඳකාරවම දන්නවා රජය කෙරෙහි ඉන්දියාවේ ඇති ගනුදෙනුව. ඉන්දියාව කිසිම ආකාරයේ බලපෑමක් ලංකාවට කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඉන්දියාවට නෙවෙයි අපටයි ඉන්දියාව සමඟ සාධාරණ වෙළෙඳ ගිවිසුමක අවශ්‍යතාව තියෙන්නේ. ඒ අනුව තමයි එට්කා ගැන සාකච්ඡා ඇති වෙන්නේ. බාල විදියට එට්කා ගිවිසුමට විරුද්ධ වීම නෙවෙයි එහි ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමයි වැදගත් වෙන්නේ. ඒ අපේ සංවර්ධනය වෙනුවෙන්.

වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙනුත් ආණ්ඩුවට එන්නේ ලොකු විවේචනයක්. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සාධාරණද?

බදු ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක් ඇති වෙන්න ඕන. අපේ රටේ බදු ප්‍රතිපත්තියේ දුර්වලතා තියෙනවා තමයි. පුරවැසියන් සහ ව්‍යාපාරිකයන් විසින් බදු මඟහැරීම මෙහි තියෙන දුර්වලතාවක්. මේ වගේ දුර්වලතාවන් මඟහැරගෙන බදු සාධාරණව අයකිරීම හරහා ජනතාවට උපරිම සේවයක් ලබාදෙන්න වැඩපිළිවෙළක් ඇතිකරගත යුතුයි. බදු අයකිරීම අපි පටන්ගත් දෙයක් නෙවෙයි. වැට් බදු හැමදාම තිබුණා. වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ වැට් ක්‍රියාත්මක වෙනවා. සීයට විස්ස, දහඅට, දොළහ වශයෙන් තිබිලා අපේ ආණ්ඩුවම තමයි වැට් සීයට එකොළහ දක්වා අඩු කළේ. පස්සේ අපේ ආණ්ඩුවම දැන් තීරණය කරලා තියෙනවා තාවකාලිකව සීයට පහළොව දක්වා වැට් වැඩි කරන්න. වැට් බදු ක්‍රමය ඉතාම ප්‍රගතිශීලී සාධාරණ බදු ක්‍රමයක් බව ලෝකය පිළිගන්නවා. එතකොට මෙතැන මතුවුණ ප්‍රශ්නය තමයි ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු ව්‍යාපාරික ආයතන අවම මට්ටමකට රැගෙන ආ යුතු වීම. මමත් පිළිගන්නවා එතැන ගැටලුවක් තියෙනවා කියලා. මමත් පිළිගන්නවා එතැන ගැටලුවක් තියෙනවා කියලා. මොකද පරිගණකගත ක්‍රමවලින් ගිණුම් හදන ආයතනයකට වැට්බදු ගෙවීමේදී විශාල ගැටලු මතුවෙනවා. වේගය පිළිබඳවත් නිරවද්‍යතාව පිළිබඳවත්. ඒ නිසා රජය ඒ ව්‍යාපාරිකයන්ගේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු කළයුතුයි. එක්වරම බදු අයකරනවා වෙනුවට ක්‍රමානුකූලව බදු සඳහා ව්‍යාපාරිකයන් දායක කරගැනීම කළ යුතුයි.

පහුගිය දවස්වල හනුමා පාලමක් ගැන කතා කළා නේද?

ඉන්දියාව ලංකාව යා කරන පාලමක් පිළිබඳව මතුවුණේ මම නියෝජ්‍ය ඇමතිවරයා විදියට ඉන්න කාලයේ. මම ඒ පිළිබඳව සොයා බැලූවිට පෙනී ගියා ලංකාවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ රජය එක්ක මේ සම්බන්ධව කිසිම ආකාරයේ සාකච්ඡාවක් කරලා නැහැ. මම මේ පිළිබඳව එවකට රටවල් දෙක අතර සිදුවූ ද්වි පාර්ශ්වික සාකච්ඡාවල සටහන් පරීක්ෂා කරලා බැලුවා. කලින් රජයේ සාකච්ඡා ගැනත් බැලුවා. කලින් රජයෙන් හෝ එවන් සාකච්ඡා කරලා තිබුණෙත් නැහැ.

විමල් වීරවංශ ඇමති විදියට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මේ වගේ යෝජනාවක් ගෙනල්ලා තිබුණා නේද?

මෙහෙමයි, ඕකට පදනම වුණේ ඉන්දියාවේ එක්තරා ඇමතිවරයෙක් ඔහුගේ අදහසක් හැටියට යෝජනා කරලා තියෙනවා ලංකාව සහ ඉන්දියාව අතර ගමනාගමනය පහසු වෙන්න එවන් පාලමක් ඉදිකරන්න කියලා. කවුරුහරි ඇමතිවරයෙක් කී පමණින් අපි ඒක කරන්නෙත් නැහැ. ඒක යෝජනාවක් පදනමක් කරන්නත් බැහැ. ඒක සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික වශයෙන් විශාල බලපෑමක් කෙරෙන කාරණයක්. හුදු ගමනාගමන පහසුව ගැන විතරක් හිතලා අපි ඒ වගේ දෙයක් ගැන තීරණයක් ගන්නේ නැහැ. මම මතක් කළ යුතුයි මීට කලින් ලංකාවේ දුම්රිය සේවය ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ලංකා ඉන්දියානු ඒකාබද්ධ දුම්රිය සේවයක් පැවැත්වුවා. ඒ මුහුදු සීමාවට නැව් යොදාගනිමින්. එතකොට කිසියම් සබඳතාවක් තිබුණා. පස්සේ කාලෙක ඒක නැතිවෙලා තිබුණා.

ඒ වුණත් විමල් වීරවංශ සහ ගම්මන්පිල තදින් මේ චෝදනාව එල්ල කරනවා නේද?

මේ වෙලාවේ මේක ජාතිවාදය ඇවිස්සීමට සහ ඉන්දියානු විරෝධයක් මතු කිරීමට විමල් වීරවංශ සහ ගම්මන්පිල මතුකරන ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ ඇමතිවරු තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ විදියේ පාලමක් කිසිසේත්ම ඉදිවෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්න ඔයවගේ කතා කියනවා. එයාලාගේ බොහෝ කතා ඔයවගේ පදනමක් නැති කතා තමයි.

මේ දවස්වල තවත් ජාතිවාදී සටන්පාඨයක් තමයි අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වගේ ආයතන පිළිබඳව කරන චෝදනා. රණවිරුවන්ව දඩයම් කරන බව කියනවා. මේවාට උත්තරයක් තියෙනවාද?

රණවිරුවන්ව කිසිම ආකාරයක අසාධාරණයක් සිදුවන්නේ නැහැ. මේ රටේ සිදුවුණු යුද්ධයේදී නීත්‍යානුකූලව රට වෙනුවෙන් යුධ වැදුණු කිසිම රණවිරුවෙක්ට කිසිම අගතියක් හෝ කිසිම නඩු විභාගයකට මුහුණපාන්න සිද්ධවෙන්නේ නැහැ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කිසිසේත්ම අපරාධ පිළිබඳව සොයා බලන තැනක් නෙවෙයි. ඒකේ කටයුතු සීමා කරනවා අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳව තොරතුරු එකතු කිරීම සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීම පිළිබඳ කාරණයට. ඒ වගේම ඉතා බරපතළ චෝදනා අපේ රජයට එරෙහිව තියෙනවා. යුද්ධය සම්බන්ධයෙන්. එතකොට අපි ඒ චෝදනා එල්ල කරන්නට තියෙන අයිතිය ප්‍රශ්න කරනවා වෙනුවට චෝදනා විමර්ශනය කොට ඒ චෝදනා අසත්‍ය බව පෙන්වාදීම තමයි අපේ අරමුණ. නැත්නම් චෝදනා එල්ල කරන කෙනා හැමදාම ඒ චෝදනා එල්ල කරමින්ම ඉන්නවා. විමර්ශනය නොකරන්නෙ චෝදනා ඇත්ත නිසා කියලා ඔවුන්ට කියන්න පුළුවන්. ඒ නිසා අපි දැන් කරන වැඩපිළිවෙලේදී අපේ අරමුණ යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කරලා ඒ චෝදනාවලට පදනමක් නොමැති බව ඔප්පු කරලා පෙන්වීමයි.

මේ චෝදනා ශ්‍රී ලාංකීය ජාතියට පිටින් ජාත්‍යන්තරයෙන් එන චෝදනා නෙවෙයි. ජාත්‍යන්තරය පදනම් කරගන්නේ ලංකාව තුළම සිටින සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් කරන චෝදනාම තමයි. ඒ කියන්නේ වැඩි වශයෙන් උතුරේ ජනතාව විසින් කරන චෝදනා තමයි මේකට පදනම් වෙන්නේ. ඔබ කියන්නේ ආණ්ඩුව දකුණේ ජනතාවගේ පැත්ත අරගෙන ලංකාවේම උතුරේ ජනතාව කරන චෝදනා බොරු කියලා ඔප්පු කරන බවද?

උතුරේ ජනතාව විසින් කරන චෝදනා තියෙනවා. අතුරුදන්වූවන් පිළිබඳව සහ ඔවුන්ට යුද්ධ කාලයේ සිදුවුණු අසාධාරණකම් පිළිබඳව විවිධ පැමිණිලි තියෙනවා. ඒ පිළිබඳව විභාග නොකර සිටීම නීතියේ ආධිපත්‍යය නෙවෙයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ චෝදනා පිළිබඳව සාධාරණව කරන යුක්තිසහගත සොයාබැලීම්. අපි ශ්‍රී ලාංකික ජාතියක් විදියට නීතියේ ක්‍රමවේදය අනුව මුහුණදිය යුතුයි.

ඔබ දූෂණ වංචා සම්බන්ධයෙන් නිතර හඬනඟපු කෙනෙක්. කෝප් කමිටුවේ රැස්වීම් මාධ්‍යවලට විවෘත වීම සම්බන්ධයෙන් අදහස මොකක්ද?

අනිවාර්යයෙන්ම මේ කමිටුවල කටයුතුවල පාරිශුද්ධභාවය වැදගත් වෙනවා. කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව වැනි ප්‍රධාන කමිටුවල කටයුතු මාධ්‍යවලට නිරාකරණය විය යුතුයි. හැකිනම් රූපවාහිනියෙන් විකාශය කළ යුතුයි. අවම වශයෙන් අන්තර්ජාලයේ සජීවි විකාශයක් වශයෙන්වත් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි විනිවිදභාවයෙන් යුතු ආණ්ඩුකරණයක් වෙනුවෙන් පෙනී සිටිනවා.