Monday, 21/8/2017 | 3:52 UTC+0
රාවය

ඔලිම්පික් වාර්තා තියන මෙරට මාධ්‍ය වාර්තා

ඒ. වික්‍රමසූරිය

මේ දිනවල ක්‍රීඩා පිටු පිරෙන කතා බහ ඔලිම්පික් ගැනය. එද ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩීකාවන් නව දෙනා ගැනය. මේ අතරින් ද දෙදෙනකුට විශේෂ සැලකිල්ලක් දක්වන අතර ඉන් එක් අයෙක් සුවිශේෂි වී ඇත. දෙදෙනා කිමිකෝ රහිම් සහ මැතිව් අබේසිංහය. සුවිශේෂි කතා බහා මැතිව් අබේසිංහය.

මැතිව් අබේසිංහයට ඉහළ ඉඩක් ක්‍රීඩා මාධ්‍ය හරහා වෙන් කරනුයේ සාක් ක්‍රීඩා උළෙලෙදී මැතිව් ලබාගත් පදක්කම් නිසාම නොවේ. මැතිව් අබේසිංහගේ පියා මනෝජ් අබේසිංහ මාධ්‍ය සමඟ පවත්වන යටි කුට්ටු සම්බන්ධතා නිසාය. මයිකල් පෙලෙප්ස්ට වඩා මෙරට මාධ්‍ය නඩයට මැතිව් පිහිනුම් වීරයෙකි. එසේ වී ඇත්තේ මනෝජ් අබේසිංහ ක්‍රීඩා මාධ්‍යවේදින් ගණනාවක්ම මොටිවේට් කර ඇති නිසාය. මේවා වන හැටි ඒ ලියන්නෝම දන්නෝය.

මැතිව් වෙනුවෙන්ම ලියන දිනේෂ් වීරවංශ නමැති කුලී ලියන්නා මෙහි සිට ලීිවේද මැතිව් ගැනය. පුහුණුකරුවකු ලෙස රියෝ යන ඔහු පුහුණුකරු නාමය එල්ලා ගෙන කුලී ලියන්නෙකු ලෙසද ක්‍රියා කරන අතර මේ කුලී ලියවිලිද මැතිව් ගැනමය. මේ මනෝජ් අබේසිංහගේ නිත්‍ය කුලී ලියන්නාය.

මැතිව් අබේසිංහ ඕලිම්පික් ගියේද වයිල්ඞ් කාඞ් එකක ආධාරයෙනි. එහෙත් මනෝජ් දෙන ඕනෑම දෙයක් වග විභාගයකින් තොරව කටේ දමා ගන්නා මාධ්‍යය දිගින් දිගටම අදටත් ලියනුයේ ඔහු සුදුසුකම් සපුරා ඔලිම්පික් ගිය බවය. සුදුසුකම් සැපුරුවේ නම් ඉන්ද්‍රිජිත් කුරේ ප්‍රමුඛව සිව් දෙනා ලෙස නොලියා මැතිව් වයිල්ඞ් කාඞ් එකෙන් ගියේ මන්දැයි කිසිවෙක් ප්‍රශ්න නොකරති. ඒ අන් කිසිවක් නිසා නොව මනෝජ් අබේසිංහගේ ලාභ ප්‍රයෝජන තකාය. මේ තක්කඩි මාධ්‍ය කරණය කුමක් ද?
ඕලිම්පික් තරගවලදී සිටි කිමිතෝ රහිම් හතරවන තැන සහ මැතිව් අබේසිංහ තෙවන තැන ලබා ගත් බව මාධ්‍ය විශේෂයෙන් පෙන්නුම් කරන්නට විය. එයද එක්කෝ මාධ්‍ය හිතා මතා කරන තක්කඩි කමකි. මේ ලෝකයේ අනෙක් රටවලට වඩා අපේ රටේ මිනිස්සු වෙනස් කියන යථාර්ථය විය යුතුය. කිමිකෝ සහ මැතිව් මේ ස්ථාන ලබා ගත්තේ මූලික වටයේ තරගවලිනි. එහි ස්ථානය උඩදමා ලිවිය යුතු තැනක් නොවේ.කොටින්ම මේ දෙපළටම අවසන් දහසයටත් එන්නට නොහැකි විය. කිමිකෝගේ ඉසව්වට තරඟකාරියන් තිස් හතර දෙනෙක් ඉදිරිපත් වනවිට ඇයට හිමි වන සැබෑ තැන නම් විසි අට වැනි තැනය.

මැතිව් අබේසිංහගේ ඉසව්වට පනස්නව දෙනෙක් ඉදිරිපත්වන විට ඔහුට හිමි වනුයේ පනස්වන තැනය. මේ දෙපළම සාෆ් රන් ලාභීන්ය. සාෆ් රන් ලාභීන්ට ලෝකය තුළ ඇති තැන එබඳුය. අපි මේ තත්ත්වය මුල සිටම දන්නේමු. ඒ අපි පේනකරුවන් නිසා නොව එම ක්‍රීඩාවේ ඇති කාල පරතරය ගැන අවබෝධයක් ඇති නිසාය. මීටර් 2.24 උස පනින මංජුල කුමාර වයිල්ඞ් කාඞ් එකක් ලබාදී ඔලිම්පික් සහභාගී කොට ඔහු තරඟ වදින විට ඔලිම්පික් පදක්කම් දිනනැයි සිතිමේ මානසික පිස්සුවක් අපට නැත්තේ ඔලිම්පික් පරිසාධන මට්ටම එනම් ඔලිම්පික් සහභාගී විමට සුදුසුකම් ලැබීමට මීටර 2.29 ක් උස තරණය කළ යුතු බැවිනි. පිහිනුම්වල තත්ත්වය එසේමය. පිනට දෙන වයිල්ඞ් කාඞ් එකෙන් ඔලිම්පික් ගොස් පදක්කම් දිනතැයි ප්‍රචාරණය කිරීම මානසික ව්‍යාධියක් විනා අන් කිසිවක් නොවන්නේය.

මෙයින් ගම්‍ය වන්නේ අප මෙරට ක්‍රීඩකයන් හෑල්ලු කරන බව නොව මෙරට ක්‍රීඩකයන්ගේ නියම තත්ත්වය අප තේරුම්ගෙන ඇති නිසාය. ලෝකය හමුවේ අපි ලිලිපුට්ටෝය. ව්‍යාජ තක්සේරුව මවාගෙන බොරු බේගල් ඇද බෑම වෙනුවට ඇත්තට අප මුහුණ දිය යුතුය. පිහිනුම් ක්‍රීඩාව අරඹයා කිමිකෝ රහිම්ගේ වයස ඉතාම සාමාන්‍යය එනම් ඇයට වයස අවුරුදු දාහතක් බවත් ඇයට ලොකු ගමනක් යා හැකි බවත් මෙරට ලියන්නෝ ලියති. පිහිනුම්, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවල අවුරුදු දාහතක් යනු ළාබාල වන්නක් නොවේ. අවුරුදු විස්ස පසු කිරීම එවැනි ක්‍රීඩාවල මහල්ලෝය. මහල්ලෝ දිනන අවස්ථා ඇතත් එය වෙනම කතාවකි.

මෙරටින් ඔලිම්පික් ගිය ක්‍රීඩකයන් අතර ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන මේ සැමට වඩා අගය කළ යුතු ක්‍රීඩකයාය. ඔහු අවසන් දහසය දෙනාගේ වටයටද ආවේය. එහෙත් ඔහුට වඩා අපේ ලියන්නන් මැතිව් අගයනුයේ මැතිව් නිසා නොව ඔහුගේ පියා මනෝජ් අබේසිංහ නිසාය. ඔහු පිහිනුම් සංගමයද මායිම් නොකොට ඔහුට අවශ්‍ය දෑ ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා ඇමැත්තා ලවා ඉටු කර ගනී. ඒ තරමට ඔහු මහා කෙරුමෙක් වී ඇත. ඒ මැතිව් ඉන්දියාවේදී ලද පදක්කම් පෙන්වමිනි. මැතිව් සහ කිමිකෝ පදක්කම් දිනුවද එය මෙරට ක්‍රීඩාවට එක් කරන ආලෝකයක් නැත. ඔවුන් දෙපළම විදේශිකයන්ය. ද්විත්ව පුරවැසිභාවය දේශපාලනයට වලංගු නැති මුත් පදක්කම්වලට වලංගුය. එබැවින් ඔවුන් විදෙස්ගතව දිවි ගෙවමින් ක්‍රීඩා කරන්නට පමණක් මෙරටට පැමිණේ. අප මුල සිටම ලියුවේ. ඔවුන්ගේ සැබෑ තත්ත්වය ඔවුන් දන්නා නිසා ඒ රටවල් නියෝජනය කළ නොහැකි බවය. ඇමරිකාවේ උපත ලද මැතිව්ට ඇමරිකාවේ පුහුණුව ලැබුවද ඇමරිකාවේ ජය ගත හැකිද? කිමිකෝගේ තත්ත්වය ද එසේමය ඔවුන් විදෙස් පුහුණුව ලබා මෙරට වීරයන් වෙති. සාක් පදක්කම් දිනති. එහෙත් ලෝකය හමුවේ තත්ත්වය කුමක්ද?

අපි මේවා තරහට හෝ එම ක්‍රීඩකයන් සමඟ අවුලකට කියන දෑ නොවේ.මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ලියන දෑය. මැතිව් හෝ කිමිකෝ දින්නා යැයි මෙරට පිහිනුම් ක්‍රීඩාවට වන සෙත කුමක් ද? මැතිව්ගේ පුහුණුකරු ලෙස මනෝජ් අබේසිංහ රියෝ ගියේය. ඔහු මෙරටද පිහිනුම් කඩයක් දමාගෙන මැතිව්ගේ පදක්කම් පෙන්නා මැතිව්ව පුහුණු කළේ තමන්යැයි කියමින් පිහිනුම් ක්‍රීඩකයෝ අද්දා ගනිති. මැතිව්ගේ පුහුණුකරු මෙරට බිහිකළ ක්‍රීඩකයන් කවුද? මැතිව්ට ඔහු දුන් පුහුණුව මෙරට ක්‍රීඩකයන්ට ඔහු මුදලට වික්කද මෙරට ක්‍රීඩකයන් රන් නොදිනන්නේ ඇයි? මේ බේගල් මැටි මෝලුන්ට කදිමය. මැතිව් තනියෙන්ම පිටරට නිපැයුමකි. එය පෙන්වමින් අබේසිංහ පිහිනුම් ව්‍යාපාරිකයෙක් වී ඇත. බොරුකාරයින් රජය ලංකා වේ අබේසිංහලාත් වීරයන් වී ඇත. මාධ්‍ය කුලී කාරයන්ද කුලී කාරයේද කුලියට ඔවුන් ගැන ගුණ වයති. මේ කුලීකාරයන් නොලිව්වද ඇත්ත ඇත්තමය. වයිල්ඞ්කාඞ් මැතිව්ගේ නමේ එකය. සැබෑ තරම එයය. දැන් හෝ මේ බොරුකාරයින්ගෙන් මෙරට පිහිනුම් නාමය මෙරට පිහිණුම් දියුණු කරන්නට වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. එහෙත් එවැනි දෙයක් වත්මන් රූකඩ පිහිනුම් සංගමයෙන් බලා පොරොත්තු විමද විගඩමකි.