කබාලි බොලව්

තරිඳු උඩුවරගෙදර

පහුගිය දිනවල ෆේස්බුක්හි ජන ප්‍රිය විහිළු පෝස් ටුවක් විය. එහි ෂාරුක් ඛාන් දිවාලි දිනයේත් සල්මන් හෝලි දිනයේත් නිකුත් කරන බවක් පවසන අතර හේතුව ලෙස කියන්නේ ‘එදා නිවාඩු දිනයක්’ යනුවෙනි. එවිට රැජිනි පවසන්නේ තමන් චිත්‍රපටිය මොන දවසේ නිකුත් කළත් ‘එදා නිවාඩු දිනයක්’ කියායි.

ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් ලංකාවේත් කබාලි චිත්‍රපටිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. රැජිනි කාන්ත්ට බැණවදින දෙමළ චිත්‍රපටි රසිකයන් නොවන බොහෝදෙනෙකු කබාලි නරඹා තිබුණි. බොහෝ විචාරකයන් කබාලි චිත්‍රපටියේ මේ සාර්ථකත්වය පිළිබඳව පුදුම වී තිබුණි. විශේෂයෙන් ලංකාව තුළ චිත්‍රපටිය පිළිබඳ ලියැවුණු බොහෝ ලිපිවල කීවේ රැජිනි චිත්‍රපටයක් කළහොත් කොහොමත් මේ සාර්ථකත්වය ලබන බවයි. එහෙත් සැබෑව එය නොවේ. රැජිනි කාන්ත් කළ අවසාන චිත්‍රපටි දෙකටම (ලිංගා, කෝචඩායියාන්) සිතූ තරම් සාර්ථකත්වය ලබාගත නොහැකි විය.

කොලිවුඞ් ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටිය බවට කබාලි පත්වන අතර දෙවැනි තැන රැජිනි කාන්ත්ගේම ‘එන්දිරින්’ සිටියි. එහෙත් එතැනින් පහළට වික්‍රම්, කමල් හසන්, විජේ, අජිත් වැනි දකුණු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නළුවන් කිහිපදෙනකුගේ චිත්‍රපටි වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටි බවට පත්ව ඇත. කොලිවුඞ්හි රජු නොව දෙවියා රැජිනි බව ඇත්තය. එහෙත් කොලිවුඞ් යනු රැජිනිගේ වන් මෑන් ෂෝ එකක් නොවේ. රැජිනි වෙනුවෙන් ලංකාවේ පමණක් නොව ලෝකයේ කුමන කොණක වුණත් මැරෙන්නට සූදානම් රසිකයන් සිටින බව ඇත්තය. එහෙත් රැජිනිට පමණක් නොව විජේ, අජිත් වැනි නළුවන් වෙනුවෙන්ද ප්‍රාණසම රසිකයන් සිටින බව සිහි තබාගත යුතුය. දැවැන්ත සිනමා කර්මාන්තයක් බිහිවන්නේ පුද්ගලයෙකුගෙන් නොවේ. රැජිනි වුව පෙන්වන ඕනෑම කසළ ගොඩක් බාරගන්නට රසිකයා සූදානම් නැත. ‘බාබා’ අසාර්ථක වීම තුළින් පෙන්වන්නේ එයයි. ඒ නිසාම ඕනෑම නිර්මාණයක් සාර්ථක කරගන්නට රැජිනිට වුවත් වෙහෙසෙන්නට සිදුවන්නේය. කබාලි එවන් වෙහෙසක ප්‍රතිඵලයකි. ලංකාවේ තමන් සුපර්ස්ටාර්යැයි හඳුන්වා ගනිමින් තමන්ටම මල්මාලා පළඳවා ගන්නා නළුවන් නොකරන්නේ ඒ කැපකිරීමයි.

ඉතිහාසයෙන් බිඳක්

රැජිනිගේ සිනමා උපත ගැන ලියන බොහෝ දෙනා කියන්නේ ඔහු බස් කොන්දොස්තරවරයකුව සිට සිනමාවට ආ බව පමණකි. මේ කතාවෙන් එහාට සිතුවහොත් රැජිනි සිනමාවට පිවිසෙන්නේ කේ. බාලචන්ද්‍රන් විසින් රැජිනි කාන්ත් හඳුනාගැනීම නිසාය. බාලචන්ද්‍රන් ජනප්‍රිය සිනමාවට චිත්‍රපටි කරන්නෙක් නොවේ. බාලචන්ද්‍රන් යනු කමල් හසන්ගේත් ගුරුවරයායි. රැජිනිගේ පළමු චිත්‍රපටි කිහිපයේම ඔහු ප්‍රධාන චරිතය නොකළ අතර ඒවාට කමල් හසන්ද රංගනයෙන් එක්විය. කමල් සහ බාලචන්ද්‍රන් හැත්තෑ ගණන්වල සිට අරඹා තිබුණු දෙමළ සිනමාවේ නවරැල්ල සමඟ සම්බන්ධ නොවුණු රැජිනි කාන්ත් ජනප්‍රිය සිනමාවේ දීර්ඝ ගමනක් ආරම්භ කළේය. ඉන්පසු අද වනතෙක් දෙමළ සිනමාවේ තරුණයන්ට මඟපෙන්වන පහන් කණු දෙක මෙන් රැජිනි සහ කමල් වැජඹෙති.

රැජිනි පවසන්නේ තමන්ගේ සිනමා පාසල එම්.කේ. බාලචන්ද්‍රන් බවයි. එහෙත් ඔහු කියන්නේ රැජිනි තමන්ගේ ගෝලයා නොවන බවත් රැජිනි කාන්ත් තමා හඳුන්වා දුන් කෙනා නොවන බවත්ය. ‘මම ඔහුව නිරාවරණය කළා. ඔහු තමන්ගේ හැකියාවන් සහ ශක්‍යතාවන් හඳුනගෙන දැන් සිටින රැජිනි කාන්ත් බවට පරිවර්තනය වුණා.’ බාලචන්ද්‍රන් පවසයි.

රැජිනි 1980දී ‘බිල්ලා’ චිත්‍රපටියට සම්බන්ධ විය. එය ඔහුගේ ඇක්ෂන් හීරෝ ප්‍රතිරූපය තහවුරු කරන්නට සමත් වූ චිත්‍රපටිය විය. ඉන්පසු හීරෝ ලෙස ගමන් ආරම්භ කරන්නට පටන්ගත් රැජිනි කාන්ත්ට සිය ගුරුවරයාගේ මාර්ග බාධකයක් වැටුණි. ඒ ‘තිල්ලු මුල්ලු’ චිත්‍රපටියයි. බාලචන්ද්‍රන් යෝජනා කර තිබුණේ රැජිනි කාන්ත්ගේ ඒකාකාරී වීරයාගේ චරිත රටාව කඩමින් චිත්‍රපටියක් කළ යුතු බවයි. ඒ අනුව රැජිනි කාන්ත් තිල්ලු මුල්ලු චිත්‍රපටිය තුළ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන් රැවුල කපා රංගනයේ නිරත වූ අතර ඔහු සාමාන්‍ය චරිතයක් රඟපෑවේය. ඉන්පසු වීරයාම බවට පත්ව අසූගණන්වල සිට අද වන තෙක් දෙමළ සිනමාවේ අසහාය වීරයා රැජිනි කාන්ත්ය.

වැටීම් සහ නැඟිටීම්

රැජිනිගේ රහස වන්නේ නොවැටී සිටීමයි. වෙනත් කිසිඳු නළුවෙකු මෙන් නොව රැජිනි කාන්ත්ට බොහෝ කාලයක් දෙවියෙකු ලෙස රැඳී සිටින්නට හැකිව ඇත්තේ වැටීම්වලදී නැඟිටින්නට ඔහු කරන කැපවීමයි. 2002 දී රැජිනි කාන්ත් රඟපෑ බාබා චිත්‍රපටිය අතිශය අසාර්ථක විය. රැජිනි කාන්ත් වසර තුනක නිහඬතාවකින් සිට 2005දී අතිසාර්ථක වූ ‘චන්ද්‍රමුඛී’ චිත්‍රපටියෙන් යළි පැමිණියේය. චන්ද්‍රමුඛී එකල දෙමළ සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටිය බවට පත්විය. වසර තුනකට පසු පැමිණ ඇති සිනමා දෙවියා බලන්නට ආ පෝලිම්වලින් සිනමාහල් ඉතිරී ගිය අතර වසර 63ක් තිස්සේ තිබුණු වාර්තාවක් බිඳහෙළමින් සති 126ක් චිත්‍රපටය සිනමාහල්වල තිරගත විය.

බාබා අසාර්ථ කත්වයෙන් පසුව මෙන්ම මෑත දිනවලද බොහෝ දෙනා මත පළකළේ රැජිනි කාන්ත්ගේ ජනප්‍රියත්වය ඉතිහාසයට එක්වී ඇති බවයි. ඔහු දෙවියා වන්නේ ඉතිහාසයේ පමණක් බවත් මහලු වයසේදී ඔහුට පෙර සේ රඟපෑ නොහැකි බවත් කියන්නට බොහෝ දෙනෙක් වූහ. ඒවාට පිළිතුරු ලෙස සිය අවසාන නිවේදන දෙක වන කබාලි හා 2.0 නමින් යුතු එන්දිරන් චිත්‍රපටියේ දෙවැනි කොටස කරන්නට රැජිනි කාන්ත් සූදානම් විය.

පී.ඒ රංජිත්

කබාලි චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සුවිශේෂීය. ඒ ඔහු රැජිනි කාන්ත්ට ගැළපෙන විදියේ සිනමාපට නිර්මාණය කළ ඉතිහාසයකින් යුතු කෙනෙකු නොවන නිසාය. ඒ ඔහුගේ පළවෙනි චිත්‍රපටිය අට්ටාකාති වන අතර දෙවැනි චිත්‍රපටිය මැඞ්රාස් නම් විය. මේ චිත්‍රපටි දෙකම සාර්ථකත්වයට පත්විය. එහෙත් මැඞ්රාස් යනු රැජිනිගේ සිනමාව තුළ නිතර වරනැඟුණු පළිගැනීම, සටන් කිරීම වෙනුවට එසේ නොකර සිටීම උත්කර්ෂයට නංවන චිත්‍රපටියකි. කාර්ති එහි වීරයාගේ චරිතය රඟපෑ අතර ඔහුගේ හොඳම මිත්‍රයා ඝාතනය කළ පුද්ගලයාගෙන් පළිගැනීම වෙනුවට එයින් ඈත්ව සාමාන්‍ය දිවියක් ගතකිරීම චිත්‍රපටියෙහි උත්කර්ෂයට නංවා තිබුණි.

රංජිත්ට රැජිනිගේ වැඩිමල් දියණිය වන සෞන්දර්යාගේ සහයෝගය ලැබී තිබුණු අතර මැඞ්රාස් චිත්‍රපටිය නරඹා රැජිනි කාන්ත් රංජිත්ට දුරකථනයෙන් සුබ පතා තිබුණි. ඉන්පසුව සෞන්දර්යා දුරකථන ඇමතුමක් දී කියා ඇත්තේ රැජිනි කාන්ත් චිත්‍රපටියක් කිරීම සඳහා තිර පිටපත් තෝරන බවයි. ඔහු පිටපත් දෙකක් රැජිනිට ඉදිරිපත් කර ඇති අතර ඉන් එකක් මේ වනවිට සිනමාහල් කළඹන කබාලි චිත්‍රපටිය බවට පත්විය.

‘මම සෑහෙන බයෙන් හිටියේ. මගේ කලින් චිත්‍රපටි දෙක බලමින් මම අඩුපාඩු එකින් එක සටහන් කරගත්තා. රැජිනිව අධ්‍යක්ෂණය කරන්න එළියේ අධ්‍යක්ෂවරුන් මොනතරම් මැරෙනවාද කියලා මම දැනගෙන හිටියා.’ රංජිත් එසේ පවසයි. මැඞ්රාස් යනු පෙර කීවාක් මෙන් රැජිනිගේ වර්ගයේ චිත්‍රපටියක් නොවේ. ‘මේ චිත්‍රපටියේ පන්ච් ඩයලොග් නැහැ. රැජිනිව තරුණ කරන්නේත් නැහැ. ඔහු රඟපාන්නේ තමන්ගේ වයසේ චරිතයක්.’ චිත්‍රපටියට පෙර ඔහු කී ඒ කරුණු මෙන්ම සුදු පැහැති රැවුලක් සමඟ කබාලි පළමු පෝස්ටරය නිකුත්වීම කබාලි පිළිබඳව ප්‍රේක්ෂක කුතුහලය රැඳවීමට සමත් විය.

ඇතැමුන් කීවේ, බාලචන්ද්‍රන් විසින් රැජිනි යොදා තිල්ලු මුල්ලු චිත්‍රපටිය කළාක් මෙන් මෙයත් රැජිනිගේ ඒකාකාරී සුපිරි වීර රටාවෙන් මිදුණු චිත්‍රපටියක් වනු ඇති බවයි. රංජිත්ගේ කලින් චිත්‍රපටි නැරඹූවන් මේ චිත්‍රපටිය තුළ රංජිත් රැජිනිව ඉක්මවා සිටිනු ඇතැයි අනුමාන කළෝය. එහෙත් චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ පසුව රැජිනි කාන්ත්ගේ පන්ච් ඩයලොග් දුටු රසිකයන් එම පූර්ව ප්‍රචාරක පටය ඉන්දියාවේ දිනක් තුළ වැඩියෙන්ම නරඹා ඇති පූර්ව ප්‍රචාරක පටය බවට පත් කළෝය. පැහැදිලිවම රංජිත් තමන් මතුවීම නොව රැජිනි නිසියාකාර ලෙස මතුකිරීම පමණක් කර තිබුණි. තමන් මතුවන්නට නම් රැජිනි මතු කරගත යුතු බව ඔහු අවබෝධ කරගෙන තිබුණි. එය චිත්‍රපටියේ සුප්‍රසිද්ධ පන්ච් ඩයලොග් එක වන ‘කබාලි ඩා’ (කබාලි බොලව්) තුළින් වක්‍රාකාරව කියා තිබේ. ‘උඹලා බලාපොරොත්තුවෙන් හිටියේ වැටෙන පෙරළෙන, අනුන් ඉදිරියේ නැමෙන සාමාන්‍ය මිනිහෙක් වගේ රැජිනි කෙනෙක්ද?… රැජිනි බොලව්.’ ඒ දෙබස තුළින් නොකියා කීවේ එයයි. චිත්‍රපටය පුරාම රැජිනිගේ චරිතය හරහා පෙන්වන්නට උත්සාහ කරන්නේ වසර හතළිහකට පෙර බිල්ලා චිත්‍රපටියෙන් කැළඹුවාක් මෙන්ම වසර දහයකට පෙර චන්ද්‍රමුඛී චිත්‍රපටියෙන් කැළඹුවාක් මෙන්ම අදත් සිනමා ලෝකය කළඹන්නට තමාට හැකි බවයි. ඔහු එය නිවැරදිවම කර ඇත්තේය.

රංජිත් පවසන්නේ උදෑසන හතට දර්ශන තලයට පැමිණෙන රැජිනි තමන්ගේ දර්ශන නැති වුණත් හවස් වනතුරුම තමා අසල හිඳ සිටින බවයි.
අවසානයේ විචාරකයන් කියා ඇත්තේ රංජිත් සහ රැජිනි අතර ගැටුමින් ආධුනික රංජිත් පරාද වී ඇති බවයි. එහෙත් සැබෑවටම සිදුව ඇත්තේ ආධුනික රංජිත් පරිණත ලෙස කොලිවුඞ් සිනමාවේ අසහාය නාමය යොදාගෙන විශාල පිම්මක් පැන ඇති බවයි.

සාර්ථකත්වය

බහුබාලි විශාල වියදමක් දරා භාෂා කිහිපයකින් එකවර නිර්මාණය කළ චිත්‍රපටියයි. එහි ප්‍රචාරණයටද අතිවිශාල මුදල් කන්දරාවක් වැයකර තිබුණි. එයට සාපේක්ෂව ගතහොත් කබාලි වැයකර තිබුණේ සොච්චමකි. එහෙත් බහුබාලි විසින් තබා තිබූ වාර්තා රැසක් කබාලි බිඳ දමා ඇත. එමෙන්ම කබාලි සමස්ත ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටියක් බවට පත්වෙමින් තිබෙන්නේය. කොලිවුඞ් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටිය කබාලි වේ.

කබාලි තිර පිටපතේ අඩුපාඩු රැසකි. කුඩු බිස්නස් හෝ ජාවාරම් නොකරන හොඳ මැරයකු වන කබාලි ජීවත්වන්නට කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. රාධිකා ආප්තේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළත් ඇයගේ චරිතය ප්‍රමාණවත් තරම් දුරට ගොඩනඟන්නට උත්සාහ කොට නැත. එපමණක් නොව කුලියට මිනීමරන්නියක වන රැජිනිගේ දියණියගේ චරිතය අතිශය ප්‍රබල ලෙස ගොඩනැගෙමින් ආවත් රැජිනි ළඟට ආ පසු ඇය හෝටල් කාමරයට නාඳුනන්නකු තට්ටු කළත් බියවෙන චරිතයක් බවට පත්කොට ඇත. සටන් ජවනිකා සුපුරුදු ලෙසම අතාත්විකය. එමෙන්ම කතාව මැද භාගය වනවිට මන්දගාමී වන අතර මුල සහ අග ජවනිකා දෙකේ ප්‍රබල ගතිය නිසා ඒ මන්දගාමී බව යටපත් වී ඇත. චිත්‍රපටිය රැජිනි පමණක් කේන්ද්‍ර කොටගෙන සරලව නිර්මාණය කර ඇති අතර අතුරු චරිත ගොඩනංවන්නට සහ ඒවා අතර සියුම් ලෙස ගොඩනංවන්නට තිබුණු සම්බන්ධතාවලට සුළු ඉඩක් පමණක් ලබා දී ඇත.

පිටපතේ සුළු දුර්වලතා තිබුණත් සැබැවින්ම රැජිනි ප්‍රමුඛ කණ්ඩායම රංගනයෙන් විශාල කාර්යභාරයක් කර ඇත්තේය. එය චිත්‍රපටිය සාර්ථකවීමට ප්‍රධාන හේතුවකි. රංජිත් කියන අන්දමට රැජිනි මේ චිත්‍රපටිය වෙනුවෙන් සිරුරේ බර පවා අඩු කරගෙන ඇත. චිත්‍රපටියේ සංගීතය ප්‍රබල කාර්යයක් සිදුකර ඇත. නෙරුප්පු ඩා ගීතය රැජිනි මෙන්ම කබාලිද මැනැවින් නිරූපණය කරයි. එපමණක් නොව රැජිනි සුදු රැවුලක් සමඟ මහලු චරිතයක් නිරූපණය කිරීම කබාලි ලෝකය පුරා යන්නට ප්‍රධාන හේතුවක් විය.

සරලමතික පන්ච් ඩයලොග් වෙනුවට බහුඅර්ථ නඟන දෙබස් රැජිනිගේ මුවට නංවා තිබීම චිත්‍රපටියේ සාර්ථකත්වයට තවත් හේතුවකි. වැඩකරන ජනතාව වෙනුවෙන් රැජිනිගේ මුවට නංවන දෙබස් අතිශයින් ප්‍රබලය. එමෙන්ම කබාලි මෙන්ම රැජිනිට තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම වෙනුවෙන් යොදා තිබුණු දෙබස් ඉතා නිර්මාණශීලීය. කබාලිට මෙන්ම රැජිනිටද ඔප්පු කරන්නට තිබුණේ වසර හතළිහකට පෙර සිටි දැවැන්තයා තවමත් සිටින බවයි. එය ඉතා නිර්මාණශීලී අදහසකි. එය නිර්මාණය සාර්ථක වීමට ප්‍රධාන හේතුවයි. අවසාන වතාවට රැජිනිගේ ඇක්ෂන් දැකීම ප්‍රේක්ෂකයාගේ අරමුණ වන්නට ඇත. හෙට දිනයේ දෙමළ සිනමාව ධනුෂ්, සිම්බු, කාර්ති, විජේ සේදුපති වැනි තරුණයන් අතර පත්වන විට රැජිනි රඟපෑ අධිමානුෂීය සර්ව සාධාරණ වීරයා මියයනු ඇත. වඩා මානුෂීය සහ යථාර්ථවාදී වීරයන් හෙට බිහිවනු ඇත. පීඩිත දෙමළ ජනතාවට දානයට ළැදි ධනපතියෙකු හෝ දුප්පතුන්ට නායකත්වය දෙමින් සටන් කරන්නෙකු ලෙස බිහිව සිටි වීරයා වෙනුවට පීඩිතයන්ට ඇත්ත කියාදෙන යථාර්ථවාදී වීරයෙකු හෙට බිහිවනු ඇත. ඉතින් කබාලි යනු යුගයක දැවැන්තයාගේ අවසන් පියවර කිහිපයෙන් එකකි.

ඉහත කී රැජිනිගේ පීඩිතයා වෙනුවෙන් සටන්කරන වීරයාගේ ලක්ෂණ මෙන්ම ජාතිවාදය කබාලි සාර්ථක කිරීමට තවත් හේතුවකි. පීඩක ජාතිවාදයක් වෙනුවට මැලේසියාවට චිත්‍රපටිය ගෙනයෑමෙන් පීඩිත ජාතිවාදයක් බවට එය පත් කරන්නේය. එවිට නිදහසේ ජාතිවාදී චෝදනා එල්ල කර නොගෙන දකුණු ඉන්දීය ජාතිවාදී රසික පිරිස ග්‍රහණය කරන්නට හැකිය. කබාලි නම් මැලේසියානු ඉන්දීය දමිළයන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන්නා බිහිවෙන්නේ ඒ අනුවයි.

රැජිනිට පුළුවන්ද? එන්දිරන් 2010 දී නිකුත්වීමෙන් පසුව වසර හයක් තිස්සේ නැඟුණු පැනයට පිළිතුර ලැබී ඇත. අවුරුදු හැත්තෑවට ළං වුණත් තවමත් රැජිනිට පුළුවන්ය. එසේ ඇසූ අයට රැජිනි උත්තරයක් දී ඇත. ඒ උත්තරය දකින්නට මේ සටහන් කියැවීමෙන් නොහැක. කබාලි නැරඹිය යුතුමය. අවසානයේ මේ නිර්මාණය වචන තුනකට කැටි කළ හැකිය. මගල්චි. නෙරුප්පු ඩා. කබාලි ඩා.