රාවය

මළසිරුරු ළඟ තිබුණු ටී56 දැම්මේ කොමසාරිස් ජෙනරාල් හා මැගසින් අධිකාරි

මළසිරුරු ළඟ තිබුණු ටී56 දැම්මේ කොමසාරිස් ජෙනරාල් හා මැගසින් අධිකාරි

අරුණ ජයවර්ධන

එස්ටීඑෆ් භටයන් 798 දෙනකු ආයුධ සන් නද්ධව ඇතුළු වී වැලිකඩ බන්ධනාගාරය තුළ ගැටුම අවුළුවා ලූ නමුත්, ඒ තුළ විශාලතම විනාශයත් මිනිස් ඝාතනයත් සිදුවුණේ යුද හමුදාව බන්ධනාගාරයට ඇතුළු වුණු පසුවය. එය සැලසුම් කරන ලද්දේ කවුද?
කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, බෘඩි හවුස් යුද හමුදා කඳවුරේ ස්ථානගතව සිටි 6 වැනි ගජබා බල ඇණියේ අණදෙන නිලධාරී ලෙෆ්ටිනන්ට් කර්නල් තනුජ ගොඬේවත්තට 2012 නොවැම්බර් 9 වැනිදා දහවල් යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ වෙතින් පණිවුඩයක් ලැබුණි. ඉන් කියැවුණේ වැලිකඩ සිදුවීමට අදාළව ආරක්‍ෂාව සැපයීමට සූදානම්ව සිටින ලෙසය. එදින දහවල් 12.30ට පමණ යුද හමුදා 14වන සේනාංකාධිපති බි්‍රගේඩියර් ශාන්ත දිසානායක, ගොඬේවත්තට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේ, බන්ධනාගාරයේ පිටත ආරක්‍ෂාව අවශ්‍ය පරිදි සැපයීම සඳහා 6 වැනි බල ඇණියේ නිලධාරීන් සමඟ බොරැල්ල කැම්බල් පිටිය අසළට වාර්තා කරන ලෙසය. ඒ අනුව ගොඬේවත්ත සහ තවත් නිලධාරීහු පස්දෙනෙක්ද, සෙසු නිලධාරීහු 77 දෙනෙක්ද අවි සහිතව ගොස් කැම්බල් පිටිය අසළ සවස 2.30 වන විට ස්ථානගත වූවෝය. සිරකරුවන් පැනයෑමට ඉඩ ඇති හෙයින් ආරක්‍ෂාව යොදවන ලෙස එතැනදී බි්‍රගේඩියර් ශාන්ත දිසානායකගෙන් ලද අණ අනුව, එසේ ආරක්‍ෂාව යොදවා රාත්‍රී 11 පමණ වන තෙක් ඔවුහු එහි ස්ථානගතව සිටියහ. ඒ අතර දහවල් සිටම බන්ධනාගාරය තුළ ගැටුම ඇවිළී තිබුණි. රාත්‍රී 11ට පමණ බි්‍රගේඩියර් දිසානායක ගොඬේවත්තට දැන්වූයේ, රඳවුවන් අවි ගබඩාව කඩා අවි ගෙන ඇති බවත්, තත්ත්වය මැඬ පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් අපොහොසත්ව ඇති බවත්ය. බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය පාලනය කරන ලෙසත්, බන්ධනාගාරය තුළ කොටුවී සිටින නිලධාරීන් මුදාගන්නා ලෙසත්, රඳවුවන් අතේ ඇති ආයුධ තමා භාරයට ගන්නා ලෙසත් තවදුරටත් අණ නිකුත් විය. ඔවුහු බන්ධනාගාරයට ඇතුළු වූහ. ඒ සමඟම කර්නල් ලියනවඩුගේ ප්‍රධානත්ව යෙන් පැමිණි පාබල හමුදාවේ භට පිරිස්ද බන්ධනාගාරයට ඇතුළු වූවෝය.
කමිටුව ඉදිරියේ සාක්‍ෂි දුන් ලෙෆ්ටිනන්ට් කර්නල් ගොඬේවත්ත කියූ විදියට ඔහුගේ හමුදා ඛණ්ඩය සමඟ නොවැම්බර් 9 වැනිදා සවස 2 පමණ සිට, බන්ධනාගාරය අත පොවන මානයේ පිහිටි කැම්බල් පිටියේ සූදානමින් සිට ඇත. ඔහු කියා ඇත්තේ එසේ රැඳීසිටියේ සිය අණදෙන නිලධාරියා වූ බි්‍රගේඩියර් ශාන්ත දිසානායකගේ අණ අනුව බවයි. ඔවුන් බන්ධනාගාරයට ඇතුළු වුණේ එදින මධ්‍යම රාත්‍රියට ආසන්නයේදීය. කමිටුව ඉදිරියේ කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා එස්ටීඑෆ් භාර සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ කිව්වේ, තමන් විසින් බන්ධනාගාරය වෙත යුද හමුදාව නොකැඳවූ බවයි. එසේම, යුද හමුදාවට බන්ධනාගාරයට ඇතුළුවීම සඳහා අණ දුන්නේ කවරෙක්දැ’යි තමන් නොදැන සිටි බවයි. කමිටුව ඉදිරියට ආ මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ස්ථාවරය වුණේ, තමා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත ප්‍රදේශයට සවස 7 පමණ වන විට පැමිණි බවයි. ඒ යුදහමුදාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ විසින් කරන ලද දැනුම්දීමක් මත බවයි.
මේ තත්ත්වය යටතේ හමුදාවට එහි පැමිණීමට අණ දුන්නේ කවුද යන්න ගැන තීරණය කිරීමේදී කමිටුව අසීරුතාවකට පත්වෙයි. එහෙම වුණත්, බි්‍රගේඩියර් ශාන්ත දිසානායකගේ අණ මත ලෙෆ්ටිනන්ට් කර්නල් ගොඬේවත්ත ඇතුළු හමුදා ඛණ්ඩය එදින සවස 2 පමණ වන විට කැම්බල් පිටියට කැඳවීම, බන්ධනාගාරය තුළට හමුදාව ඇතුළුවීමේ පෙර සූදානමකින් කෙරුණු දෙයක් බවට කමිටුව නිරීක්‍ෂණය කළේය. බි්‍රගේඩියර් ශාන්ත දිසානායක කමිටුව ඉදිරියට කැඳවීමට නොහැකිවුණේ, ඒ වන විට ඔහු චීනයේ පුහුණුවකට සහභාගිව සිටි හෙයිනි. ඒ නිසා, වැලිකඩ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන අලුත් අපරාධ විමර්ශනයකදී තොරතුරු ලබාගැනීමට ඔහු කැඳවිය යුතුයැයි කමිටුව කියයි.
කෙසේ වෙතත්, කමිටුවට ඉදිරිපත් වුණු විශේෂඥ මත අනුව, එදින බන්ධනාගාරය වෙත එල්ල වුණු ප්‍රහාරය නම් ‘ඉහළ තීව්‍රතාවේ’ ප්‍රහාරයකි. එය හරියට, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවුණු අවස්ථාවකදී හෝ සතුරු කඳවුරක් අල්ලාගන්නා අවස්ථාවකදී හෝ කරන ප්‍රහාරයක් මට්ටමේ බරපතළ එකකි. සිදුවීමෙන් පසුව බන්ධනාගාර පරිශ්‍රය ආශ්‍රිතව බිම වැටී තිබී සොයාගන්නා ලද විවිධ වර්ගයේ පාවිච්චි කරන ලද තුවක්කු උණ්ඩ 755ක ප්‍රමාණය සලකන විට වුණත් පෙනීයන්නේ, වුවමනාවට වඩා ඉතාමත් වැඩි ගිනි බලයක්, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එදින හතර අතේ මුදාහැර ඇති බවයි. ලෙෆ්ටිනන්ට් කර්නල් ගොඬේවත්ත විස්තර කළ පරිදි, ඔහුගේ හමුදා ඛණ්ඩය එදින වෙඩි උණ්ඩ 1060ක් වැය කර ඇත. ඒ කර්නල් ලියනවඩුගේ බල ඇණිය මුදාහළ ගිනිබලයට අමතරවය. මේ තරම් අතිවිශාල වෙඩි උණ්ඩ ප්‍රමාණයක් විසින් පෙන්වන්නේ, මෙවැනි අවස්ථාවකදී ප්‍රමාණය ඉක්මවා ගිය ඉතා බරපතළ මෙහෙයුමක් කළ ස්වභාවයයි. කමිටුව වෙත ඉදිරිපත්වුණු කරුණු අනුව පැහැදිලිවන එක් දෙයක් නම්, ඒ හා සමාන තීව්‍රතාවකින් යුත් ප්‍රහාරයක් බන්ධනාගාර රඳවුවන් වෙතින් හමුදාව වෙත එල්ල නොවුණු බවයි. ඒ අනුව, ඇත්ත වශයෙන්ම වැලිකඩ බන්ධනාගාරය තුළ උද්ගතවුණු තත්ත්වය ගැන හමුදාව අධිතක්සේරුවක් කර ඇතිවා පමණක් නොව අධිප්‍රතිචාරයක් දක්වා ඇත.
ඝාතනය වුණු රඳවුවන් අසළ ටී 56 තිබීම
බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී තමන් භාරයට ගත් ගිනිඅවි යුද හමුදා සාජන්ට් තෙන්නකෝන් විසින් ජේලර් නානායක්කාර වෙත නොවැම්බර් 10 වැනිදා උදේ බාරදුන් බව ලියවිලිවලින්ද තහවුරු වුණු කාරණයකි. එසේ භාරදෙන ලද ගිනිඅවි අතර 21558631, 21532857, 21533278 හා 21534010 යන අංක දරන ටී56 ගිනිඅවිද වූ බවට ලිඛිත සාක්‍ෂි ඉදිරිපත් විය.
එලෙස හමුදාව විසින් බන්ධනාගාරය වෙත භාරදෙන ලද ගිනිඅවිවලින් ටී56 ගිනිඅවි හතරක් එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි හා මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් විසින් ජේලර් නානායක්කාරගෙන් ඉල්ලාගෙන තිබුණු බව ඉතාමත් පැහැදිලිව කමිටුව ඉදිරියේ තහවුරු විය. ඒ සම්බන්ධයෙන් ජේලර් නානායක්කාර දැක්වූ කරුණු බන්ධනාගාර නියාමක විජේරත්න විසින්ද තහවුරු කරන ලද්දේය. කොඩිප්පිලි මහතා සහ එමිල් රංජන් මහතා විසින් ඉල්ලාගන්නා ලද ගිනිඅවි හතරේ අංක තමා ඒ මොහොතේ කඩදාසි කැබැල්ලක ලියාගත් බව බන්ධනාගාර නියාමක විජේරත්න කී නමුත් එම කඩදාසි කැබැල්ල කමිටුවට ඉදිරිපත් කරන්නට ඔහු අසමත් විය. එහෙම වුණත්, සාජන්ට් තෙන්නකෝන් හා ජේලර් නානායක්කාර විසින් පිළිගන්නා ලද, ඒ මොහොතේ දෙදෙනා භාරදුන්/භාරගත් ගිනිඅවි ලැයිස්තුව අනුව, අනෙක් ටී56 හා ටී58 ගිනිඅවි අතර, ඉවත්කරගන්නා ලදැයි කියන ගිනිඅවිද තිබුණු බව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු විය.
මාලන්, මංජු ශ්‍රී හෙවත් නිලමේ, ජෝතිපාල හෙවත් කපිල යන තිදෙනා ඝාතනය වී වැටී සිටි ස්ථානය ආසන්නයේ දමා තිබුණේ කොඩිප්පිලි හා එමිල් රංජන් විසින් ඉල්ලා ගත් මේ ගිනිඅවි හතරෙන් එකකි. එහි අංකය 21534010ය. බන්ධනාගාර ඡායාරූප ශිල්පී ජේලර් නිරාජ් ගුණවර්ධන නොවැම්බර් 10 වැනිදා උදේ 7.47ට මේ මළසිරුරු තුනේ ඡායාරූප ගන්නා විට එම ගිනිඅවිය එහි දක්නට තිබී නැත. එහෙත්, දහවල් මහේස්ත්‍රාත්වරිය එහි පැමිණි අවස්ථාවේදී, එනම් 1.44ට එතැනදීම ඔහු මේ මළසිරුරු තුනේ ඡායාරූප ගන්නා විට ඒ ආසන්නයේ ටී56 ගිනිඅවිය තිබුණි. මේ අනුව, ඒ ටී56 ගිනිඅවිය පසුව දමන ලද එකක් බව කිසිම සැකයකින් තොරව තහවුරු වෙයි.
ඊට අමතරව ඉතිරි ටී56 ගිනිඅවි තුනෙන් එකක් කළු තුෂාරගේ මළසිරුර අසළ (ගිනිඅවි අංක 21558631), අනෙක ගුණ්ඩු මාමාගේ මළසිරුර අසළ (ගිනිඅවි අංක 21532857) හා ඊළඟ එක අතපත්තුගේ මළසිරුර අසළ (ගිනිඅවි අංක 21533278) තිබී හමුවිය. එයින්ද සැකයකින් තොරවම පැහැදිලි වන්නේ, මෙම ගිනිඅවි තුන පසුව ඒ මළසිරුරු අසල දමන ලද ඒවා බවයි. අනෙක, අතිරේක ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් සිය පරීක්‍ෂණවලින් පසු තහවුරු කළේ එම ගිනිඅවිවල ඇඟිලි හෝ අත්ල සලකුණු නොතිබුණු බවයි.
ඝාතනය වුණු රඳවුවන් දස දෙනකුගේ මළසිරුරුවල අත්ල ස්පර්ශ කර ලබාගත් පුළුන් කැටිති රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවන ලදුව, ඒවායේ ගන් පවුඩර් නොතිබුණු බව තහවුරු කර තිබුණි. (කිසිවකු ගිනිඅවියකින් වෙඩි තියන විට අවියෙන් නිකුත්වන ගන් පවුඩර් අත්ලේ තැවරීම සාමාන්‍යයෙන් සිදුවෙයි.) එලෙස පරීක්‍ෂණයට ලක්වුණු මළසිරුරු දහය අතර, මේ ගිනිඅවි අසළ තිබුණු නිර්මල අතපත්තු, මාලන්, කොණ්ඩ අමිල, ගුණ්ඩු මාමා සහ නිලමේගේ මළසිරුරුද විය. ඉන් පැහැදිලිව තහවුරු වන්නේ ඝාතනයට ලක්වුණු මේ රඳවුවන් එදින ගිනිඅවි භාවිත කර නොතිබුණු බවයි. මේ ගිනිඅවි ඔවුන්ගේ මළසිරුරු අසළට පසුව දමන ලද ඒවා බව එයින්ද නැවතත් තහවුරු වෙයි.
සිය කරුණු දැක්වීම්වලදී කොඩිප්පිලි මහතා සහ එමිල් රංජන් මහතා, තමන් ගිනිඅවි ඉල්ලාගත් බවට කමිටුවට ඉදිරිපත්ව තිබුණු තොරතුරු ප්‍රතික්‍ෂෙප කළහ. එහෙත්, ඔවුන් දෙදෙනා ජේලර් නානායක්කාරගෙන් ගිනිඅවි හතර ඉල්ලාගත් බව නිගමනය කළ හැක. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි හා මැගසින් අධිකාරි එමිල් රංජන්, ජෝතිපාල, මාලන්, නිලමේ, කළු තුෂාර, ගුණ්ඩු මාමා සහ අතපත්තුගේ මළසිරුරු අසළට ටී56 ගිනිඅවි දැමීමට සම්බන්ධවන්නට ඇතැ’යි සාධාරණ හේතු ඇතිව නිගමනය කළ හැකිය. මේ පිරිස මරාදමන ලද්දේ ඔවුන් ගිනිඅවි පාවිච්චි කර වෙඩි තැබීම නිසායැයි පෙන්වන්නට මේ ක්‍රියාව කරන්නට ඇත.■

නම් ලැයිස්තුවකින් සිරකරුවන් තෝරාගෙන මරාදැමීමට වගකිවයුත්තන් ගැන ලබන සතියේ රාවයෙන් කියවන්න.