Untitled-1

Untitled-1

ඇමති! ඇඟ හදාගත්තම ඇතිද?


dayasiri

ටිරන් කුමාර බංගගමආරච්චි

වසර ඇරඹි දින ගෙවී මාසද පහුවෙමින් තිබේ. මේ වසරේ මුල සිට ක්‍රීඩාව මහා ඉහළින් කරනවායැ’යි කී ඇමැත්තා කසාය බිව් ගොළුවා ගාණය. ක්‍රීඩාව කරවන තැනද අඳගොළු බිහිරි මඩමක් බඳුය. ක්‍රීඩාව කරවන්නට ක්‍රීඩා ඇමතිට තනිව කළ හැකි දෙයක් නොවේ. ඊට දක්ෂ මිනිසුන් අවශ්‍යය. දක්ෂ මිනිස්සු ඉබේ පහළ නොවෙති. එය වෙහෙසී සොයා ගත යුතුය. ඊට පෙර අදක්ෂයන් හඳුනා ගත යුතුය. වත්මන ක්‍රීඩා අමාත්‍යාංශය නිකමුංගේ බඩ පිනුම් ගසන තැනක් වී ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය අයිස් ගබඩාවක් වන විට ඇමතිවරයා ක්‍රීඩකයා වන්නට කැස කවමින් සිටී. ක්‍රීඩා ඇමති ක්‍රීඩාව කරනු වෙනුවට ඔහු ක්‍රීඩකයා වන්නට වලිකන්නේය. යන්නේ කොහිද මල්ලේ පොල් වැඩවලට දැන් ක්‍රීඩා අමාත්‍යාංශය මරුය. ඇමති ප්‍රමුඛ එහි සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ ලේකම් ගහේ බඩුය.
ක්‍රීඩා රෙගුලාසි මාසෙන් දෙකෙන් හදනවායැ’යි කී ඇමතිට දැන් සියල්ල අමතකය. මාර්තු 31 වැනිදාට පෙර පැවැත්විය යුතු සංගම් නිලවරණ මෙවර මැයි 31 වැනිදාට කල් ගොස්ය. එහෙත් තවමත් ක්‍රීඩා පනත සංශෝධනය වන හෝ ඒ වෙනුවට නව පනතක් පේනමානයක නැත. මෙරට පිළිසකර කරන වගන්ති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කපා කොටා ඔවුන්ට අවැසි දේ දමා එවන්නැයි අණ කරති. එබැවින් එක තැනක් හදන විට තවත් තැනක් අවුල්ය. ඒවා නැවත හදන්නට මාස ගණන් කල් මරති. මේ නාඩගම මේ වනවිට මෙගා ටෙලිනාට්‍යයක් බවට පත්වී ඇත.
ක්‍රීඩා පනත නිර්මාණය නොවී අනෙක් සංගම් තම සංගම්වල ව්‍යවස්ථා වෙනස් කරනුයේ කෙසේද? මේ සරල කාරණය ක්‍රීඩා ඇමතිවරයාට නොවැටහේ. සංගම් තම සංගම්වල ව්‍යවස්ථා නව රෙගුලාසිවලට අනුව සකස් කිරීමට නම් මුලින්ම ක්‍රීඩා පනත නිවැරදි විය යුතුය. අද ඇති රෙගුලාසිවලට නව පනත් හදන සංගම් හෙට නැවත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වෙනස්කම් කරන කල නැවත එයට ගැළපෙන්නට තම සංගම් පනත් වෙනස් කරගත යුතුය. මුලින්ම කළයුත්තේ ක්‍රීඩා පනතේ ක්‍රීඩා රෙගුලාසිවල වෙනස්කම් කොට අනුමත කරගැනීමය. පසුව එයට අනුකූලව සියලුම සංගම් තම සංගම්වල නව පනත් වෙනස් කර ගැනීමය. මුල් ආදර්ශය බලා ඔවුන්ට ඊට අනුගතවීමටද පහසුය. එහෙත් ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් මුලින් කළ දේ පසුව කරන්නට තබාගෙන ඇත. මෙයට වගකිවයුත්තේ ක්‍රීඩා ඇමතිමයැයි අපි නොකියමු. එයට පූර්ණ සහාය දියයුතු අය නොදෙන කල ක්‍රීඩා ඇමතිවරයාට තනිව මේ චෝදනා කරගැසීමද අපරාධයකි. එහෙත් ඔහුත් නිහඬව සිටීම ඊට වඩා බරපතළය.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කෙනකු යනු මේ මොහොතේ මේ සියලු බර කරට ගෙන නිවැරදි කළ යුතු පුද්ගලයාය. පනත් සකස් කිරීමේදී ඇමතිට වඩා ඔහු කාර්යක්ෂම විය යුතුය. එහෙත් මේ පතෝල මැස්සවලින් ඇමතිට මීට වඩා ගත හැකි වැඩක් නැති ගාණය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යන නමත් අද හෑල්ලු වී ඇත. මිල්ටන් අමරසිංහ මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන කල ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේ පතාකයෙක් විය. වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නිකම්ම නිකං වැට ඉණි බවට පත්වී ඇත. ඒ ඇමතිවරයා නිසා නොවේ. ඔවුන්ට වැඩ බැරි නිසාය. මේ වැඩ බැරි දාසලා සමඟ දයාසිරිට යා හැකි දුර ඉතාම කෙටිය. ඒ නිසා දැනට සිදුවන්නේ මහා දේවල් වන බවට ඇමතිවරයා කටමැත දෙඩවීමය. ඇමති කතාකාරයාද කයිවාරු ඇදබාමින්ම සිටී. ඊට ඔහු දක්ෂය.
අද වනවිට මෙරට ක්‍රීඩාවක් කියා දෙයක් නැති තරම්ය. හැම ක්‍රීඩාවක්ම විනාශ මුඛයට ගොස්ය. මේවා රැක ගැනීම අමාත්‍යාංශයක වගකීම වුවත් අමාත්‍යාංශයත් ඊට වඩා විනාශ මුඛයට වැටී ඇත. අලුත්ගමගේ විනාශ කළ ක්‍රීඩාව දයාසිරි ඊටත් වඩා වේගයෙන් විනාශ කරමින් සිටී. අගමැතිට හෝ ජනපතිට ක්‍රීඩාව ගැන වගේවගක් නැති නිසා මේවා මෙලෙසම වන්නට ඉඩහැර ඇත.
ඒ නිසාම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ අධ්‍යක්ෂ ජනරාල් සිටියදී සමන් අමරසිංහ නමැත්තා ක්‍රීඩා ඇමතිගේ උපදේශකයා වී ඇත. ජීවන් කුමාරතුංග ක්‍රීඩා ඇමතිව සිටින කල ඔහුට ළංව ඔහු විනාශ කළ සමන් අද දයාසිරිට ළංවී ඔහුද හපකරමින් සිටී. ඒ අතර ඇතැමුන්ගේ මතය අධ්‍යක්ෂ ජනරාල් සහ ලේකම් සමඟ බලන කල සමන් ඉදිරියෙන්ම සිටින බවය. ඒ නිසා ඇමතිවරයාට සමන් ළංවී සිටීම යහපතක් බවය. ඒ යහපත ක්‍රීඩාව පැත්තෙන් එතරම් නොපෙනීම අයහපතය.
අද ක්‍රීඩාව ගැන කතා කරන්නට තරම් දෙයක් නැති තැනට පත්වී ඇත. මේ සෙල්ලම මෙලෙසම පැවතීම භයානක බව ක්‍රීඩා ඇමතිට කොතෙක් කීවද ඔහු නිහඬය. මන්ද ඔහුටද වැඩ කිරීමේ වුවමනාවක් නැති නිසාය. ඔහු සිතනුයේ ඔහුගේ ඇඟ හදා ගැනීම පමණක් ඇති කියාය. ක්‍රීඩකයන් සහ ක්‍රීඩාව කේඬෑරී වුවද තමා පිරිපුන්ව ක්‍රීඩාශීලීත්වයෙන් සිටි කල ක්‍රීඩාව දියුණු වන්නේය යන්නය. ඔහුගේ ශරීරය දෙස බලා ක්‍රීඩාව තක්සේරු කරන්නේ නම් එය අගනේය. එහෙත් එය වැඩක් නොවන්නේ නම් කුමක් කරමුද? දයාසිරි ජයසේකර ඇමතිවරයාට දැන් හෝ වැඩ කරන්නට ප්‍රමාද නැත. එහෙත් ඇත්තේ ඔහුගේ ප්‍රමාදයය.■