කටුගෙට යවන්නට හදන දුම්රිය


train

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

අතීතයේ අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකාට ලොකු කුඩා වයස් භේදයකින් තොරව සෑම දෙනාම ඇලුම් කළෝය. අඟුරු නොකා වුවද අදත් යකඩ යකා එදා වගේම කොළඹ දිවුවත් බොහෝ දෙනා තුළ එයට තිබූ ඇල්ම නම් තවමත් අඩු වී නැත. යකඩ යකාට අපේ රට තුළ වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයක් තිබුණත් ඒ ඉතිහාසය ගැන සොයා බැලීමේ කුතුහලයෙන් යුතු දෙස් විදෙස් පිරිසක් සිටියත් ඊට නිසි පසුබිමක් නම් තවමත් සැකසී නැත. එහෙත් ඉතිහාසය ගලා ගිය ආකාරය සහ එයට අයත් යම් යම් දේ සංරක්ෂණය කර අනාගත පරම්පරාවට දැකීමටත් ඉගෙන ගැනීමටත් සැලැස්වීම වර්තමාන පරම්පරාවේ යුතුකමකි.
කෞතුකාගාරයක් යනු රටක ඉතිහාසයකි. ලංකාවේ දුම්රිය දෙපාර්ත මේන්තුවටත් අවුරුදු එකසිය පනහකට වැඩි ඉතිහාසයක් ඇත. එවන් ඉතිහාසයක් යම් මට්ටමකින් හෝ රැක ගැනීමේ අරමුණින් මීට පෙර ඉදි කළ කෞතුකාගාර දෙකක් කොළඹ හා කඩුගන්නාවේ ඇත. ඒ දෙකම කඩිමුඩියේ ඉතා කලබලයෙන් එන්ජින් මැදිරි හා ආම්පන්න ටිකක් යොදාගෙන කෞතුකාගාර සංකල්පයෙන් බැහැරව ඉතා කුඩාවට සාදන ලද ඒවායි. අංගසම්පූර්ණ කෞතුකාගාර යනු එවැනි දේ නොවේ.
යම් අයෙකු කෞතුකාගාරයකට ඇතුළු වන්නේ හුදෙක් කෞතුක වස්තු ටිකක් බලාකියා ගැනීමටම නොවේ. එවැන්නකට ඇතුළු වුණාට පසුව එයින් යමක් ඉගෙනගත හැකි විය යුතුය. ඒ සඳහා අවශ්‍ය ඓතිහාසික මෙන්ම සමකාලීන ලියකියවිලි, ඡායාරූප මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂාංගද එහි තිබිය යුතුය. එපමණක් නොව එය ඉතා ආකර්ෂණීය විය යුතුය. කෞතුකාගාරය තුළ පැය දෙක තුනක් සමහර විට පැය හතර පහක් ගතකරන්නට නරඹන්නන් පොළඹවාලන අන්දමේ විෂයයන් හා අවශ්‍ය සියලු අනෙකුත් පහසුකම් තිබිය යුතුය. සිහිවටන අවශ්‍ය අයට ඒවා මිලදී ගැනීමට ඉඩප්‍රස්ථා තිබිය යුතුය. ලෝකයේ විවිධ රටවල දුම්රිය කෞතුකාගාරවල ඇවිද ඇති අයට, ඒවා කෙතරම් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී තිබෙන්නේදැැයි දැක ඇති අයට, ලංකාවට එවැන්නක වැදගත්කම කෙතරම්දැ’යි සිතෙනු ඇත. එහෙත් කෞතුකාගාරයකට හිමි එවැනි ලක්ෂණ සැබැවින්ම දැනට ලංකාවේ තිබෙන ඒවායේ දක්නට නැත. ජාතික දුම්රිය කෞතුකාගාරයක් ඉදිවීම පිළිබඳ සුබ ආරංචියක් දැන් ඇසෙන්නේ මෙවන් පසුබිමකය.
“ජාතික දුම්රිය කෞතුකාගාරය කියන සංකල්පය බිහිවූයේ ළඟදී නොවෙයි. එය ඇතිවූයේ දෙදහස් අට වසරේදී පමණ. ඒ අවස්ථාවේදීත් ජාතික දුම්රිය කෞතුකාගාරයක් ගොඩනගන්න උත්සාහ කළා. රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව අසල භූමියක් තෝරාගත්තා. කමිටු පත්කරලා මෙය ඉදිරියට ගෙන යෑමට උත්සාහ කළත් බාධා බොහොමයක් ඇතිවුණා. එකක් මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම. දෙපාර්තමේන්තුවක් ලෙස මේ සඳහා දෙපාර්තමේන්තුවේ මුදල් භාවිත කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම යුද්ධය පැවති කාලයේ දුම්රිය තුළත් බෝම්බ පුපුරා යද්දී කෞතුකාගාර සෑදීමට අවධානය යොමු කරනවාට වඩා ජනතාවගේ ආරක්ෂාව ගැන සිතිය යුතු කාලයක් වුණා. ඒ නිසා එදා එය ක්‍රියාත්මක කළ නොහැකි වුණා.” දුම්රිය සාමාන්‍යාධි කාරී බීඒපී ආරියරත්න ජාතික දුම්රිය කෞතුකාගාරයක් පිළිබඳ සංකල්පය ඇති වූ ආකාරය ගැන පවසයි.
බොහෝ රටවල ජාතික දුම්රිය කෞතුකාගාරයක් තිබේ. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේත් එවැනි ජාතික කෞතුකාගාරයක් ඇත. කොමියුනිස්ට් රටක් ලෙස ලෝකයම පිළිගන්නා චීනයේත් එවැනි කෞතුකාගාර තිබේ. ඒවා සෑදීමට හේතු කීපයක් ඇත.
“ජාතික දුම්රිය කෞතුකාගාරයක් අපට අවශ්‍යයි. මේ වන විටත් ඊට ප්‍රමාද වුණා වැඩියි. මොකද බොහෝ දේ විනාශ වෙලා. හැබැයි දැනටත් ඉතිරිව තිබෙන බොහෝ දේ හැකි ඉක්මනින් සංරක්ෂණය කරගත යුතුයි. මෑතක දී නැවත ජාතික මට්ටමක කෞතුකාගාරයක් පිහිටුවිය යුතුයි කියන අදහස ඇති වුණා. නැත්නම් දැනට ඉතිරි වෙලා තියන දේත් විනාශ වී යනවා. යුද්ධය අවසන් වුණාට පසු සංචාරක කර්මාන්තය ඉතාම වේගයෙන් ප්‍රවර්ධනය වෙනවා. ඔවුන් අපේ රටට පැමිණෙන්නේ යම් යම් දේ නරඹන්න. ස්වභාව සෞන්දර්යය හැර අපි විසින් නිර්මාණය කරන ලද දේ ලංකාවේ ඉතාම අඩුයි. ඔවුන් බලාපොරොත්තු වන විවිධත්වයට මෙවැනි කෞතුකාගාර අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයට මෙය වැදගත් වෙනවා වගේම මෙයින් ආදායමකුත් ලැබෙනවා. අනෙක් දේ මේ කෞතුක භාණ්ඩ කපාකොටා යකඩවලට විකිණී ඉතිහාසය වැළලෙන ක්‍රමය තුළ එම ඉතිහාසය සංරක්ෂණය කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. එමෙන්ම අනාගත පරපුරට ඉගෙන ගැනීමට යමක් දායාද කරනවා.”
දුම්රිය සාමාන්‍යාධි කාරීවරයා පවසන ආකාරයට මෙම කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් ඇති ප්‍රවීණයන් සහිත කමිටුවක් විසින් මේ වන විට අදාළ සැලසුම් සකසමින් පවතියි. ජාතික දුම්රිය කෞතුකාගාරයක් සෑදීමට දුම්රිය දෙපාර්ත මේන්තුවෙන් ප්‍රතිපාදන නොයොදවා ඒ සඳහා මිලියන තුන්සියයක් ප්‍රදානය කිරීමට මහජන බැංකුව කැමැත්ත පළකර ඇත. ඒ සමඟම රටේ ධනවතුන්, ව්‍යාපාරිකයන් සහ මෙයට ඇලුම් කරන විද්වතුන් තම දායකත්වය දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු විශ්වාස කරයි.
ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් දිලීප් සෙනෙවිරත්න ඉදිවීමට යෝජිත කෞතුකාගාරය පිළිබඳ පවසන්නේ මෙලෙසය. “අනෙකුත් රටවලට සාපේක්ෂව බලද්දී අවුරුදු පනහක් හැටක් පැරණි දුම්රිය එන්ජින් පවා ලංකාවේ ධාවනයේ පවතිනවා. ඊට අමතරව භාවිතයට නොගන්නා අවුරුදු සිය ගණනක් පැරණි එන්ජින්, මැදිරි ආදි පැරණි සම්පත් රාශියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තවම තිබෙනවා. නිසි නඩත්තුවක් තිබෙන කෞතුකාගාරයක් ඉදි කළොත් එවැනි දේ ඉදිරියට ආරක්ෂා වෙනවා. එම නිසා එවැනි කෞතුකාගාරයක් සෑදීම ඉතාම වටිනවා. දුම්රිය පිළිබඳ උනන්දුවක් දක්වන විශාල පිරිසක් ලංකාවේ වගේම ලෝකයේත් ඉන්නවා. ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක් ඉදිකිරීම සිදු වුවොත් සංචාරක ආකර්ෂණයත් එයට ලැබෙනවා.”
මෙම නව කෞතුකාගාරය සෑදීමට නියමිතව තිබෙන්නේ මෙම ක්ෂේත්‍රය පිළිබඳ සම්පූර්ණ ඉතිහාසය හැදෑරිය හැකිවන ආකාරයටය. හුදෙක් දුම්රිය ඉතිහාසයට අයත් එන්ජින් හා අදාළ අනෙකුත් දේ ප්‍රදර්ශනය කිරීමට අමතරව, දුම්රිය ගැන අධ්‍යයනය කිරීමට අවශ්‍ය අයට පුස්තකාලද, ක්ෂේත්‍රයට අදාළ කෙටි වාර්තා චිත්‍රපට ආදිය නැරඹීමේ පහසුකම්ද සහිතව මෙය නිර්මාණය කිරීමට යෝජිතය. විශේෂයෙන්ම ඉතා හොඳ ආලෝක ක්‍රමවේදයන්ද යොදාගැනීමට බලාපොරොත්තු වෙයි. ආහාරපාන හා විවේක ගැනීමේ පහසුකම්, රථ ගාලක් ආදි සෑම අංශයෙන්ම අංග සම්පූර්ණ ජාතික කෞතුකාගාරයක් ලෙස එය ඉදිකිරීමට සැලසුම් වෙයි. ඒ වගේම නරඹන්නන්ට ලංකාවේ දුම්රිය ඉතිහාසයට අදාළ වන සිහිවටන මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒවා ලබා ගැනීමේ පහසුකම්ද සැලසෙනු ඇත. මේ ලක්ෂණ සහිත ජාත්‍යන්තර මට්ටමේ කෞතුකාගාරයක් දුම්රිය දෙපාර්තමේන්තුව තවත් බොහෝ පිරිසක් හා අත්වැල් බැඳගෙන ගොඩනැගීමට බලා පොරොත්තු වෙයි. නාවික හමුදාවේ ශ්‍රම බලයේ දායකත්වය මූලික වශයෙන් දැනට තිබෙන ගොඩනැගිල්ලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ලැබේ යැයිද ඔවුහු බලාපොරොත්තු වෙති. අවුරුදු එකහමාරක් පමණ ඇතුළත එය ගොඩනැංවීම ගැන දුම්රිය දෙපාර්ත මේන්තුව බලාපොරොත්තු තබයි.
ලංකාවේ, ඉංග්‍රීසීන් විසින් ඉදිකළ පළමුවැනි දුම්රිය ස්ථානය තිබෙන්නේ කොටුවේ කුඩා දුම්රිය කෞතුකාගාරය තිබෙන ස්ථානයේය. එය හැඳින්වෙන්නේ කොළඹ අන්තය දුම්රිය ස්ථානය වශයෙනි. අවුරුදු එකසිය පනහක් පැරණි එහි කොටසක් තවම තිබේ. සැබැවින්ම එතැනම කෞතුකාගාරයකි. නව කෞතුකාගාරය සෑදීමට සැලසුම්ව තිබෙන්නේ එතැනය. එහි ඉඩකඩ ප්‍රමාණවත් නොමැති බැවින් එතැන තිබෙන ගබඩා අංශයේ ඉතා විශාල තට්ටු දෙකක ගොඩනැගිල්ලද මෙම කෞතුකාගාරය වෙනුවෙන් යොදා ගැනීමට තීරණය වී තිබේ. එම ගොඩනැගිල්ලත්, පැරණි දුම්රිය ස්ථානයත්, ඒ අවට පරිසරයත් යොදා ගෙන සැලකිය යුතු මට්ටමේ ජාතික කෞතුකාගාරයක් සෑදීමට මේ වන විට සැලසුම් සකස් වී තිබේ.
පැරණි දුම්රිය එන්ජින්, ගැල්, මැදිරි, ආම්පන්න, සන්නිවේදන උපකරණ ආදිය ඉතා විශාල ප්‍රමාණයක් දැනටත් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉතිරිව තිබේ. තැන් තැන්වල දැනට තිබෙන කෞතුක භාණ්ඩ එක් රැස් කර ඒවා අලුත්වැඩියා කිරීම්ද ඒවායේ ඉතිහාසය සොයාගැනීමේ කටයුතු ද ආරම්භ වීමට නියමිතය. එපමණක් නොව ඉතා පැරණි හා ඉතාමත් දුර්ලභ පොත්පත්, ලියකියවිලි හා ඡායාරූප පමණක් නොව දුම්රිය ටිකට්පත් පවා විශාල ප්‍රමාණයක්ද දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතියි. ඒ සියල්ල එකතු කරමිනි, ජාත්‍යන්තර මට්ටමේ කෞතුකාගාරයක් ලෙස මෙය ගොඩනැංවීමට පදනම සකස්වෙමින් පවතින්නේ.
“අවුරුදු එකසිය පනහක අතීතයකට උරුමකම් කියන භාණ්ඩ වරින් වර තැන් තැන්වලට රැගෙන යෑමත් වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබීම නිසාත් ඒවා විනාශ වී යනවා. එවැනි තත්ත්වයක් තුළ ආයතනයේ අතීතය විදහා දැක්වෙන පරිදි ජාතික දුම්රිය කෞතුකාගාරයක් ඉදි කිරීම ඇත්තටම කාලෝචිතයි. එහෙත් නොදැනුවත්කමින් ඇතැම් පිරිස් රටේ බොහෝ දේ සඳහා උද්ඝෝෂණය කරන ආකාරයට මෙයටත් එරෙහිව උද්ඝෝෂණය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව නඩත්තු කිරීමට තිබෙන මුදල් මේ වෙනුවෙන් වැය කරන බව ඔවුන් පවසනවා. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මුදල් ඊට වැයවෙන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර එකසිය පනහක ඉතිහාසයට පැහැදිලිවම කෞතුකා ගාරයක් අවශ්‍යයි. මේ වන විටත් අපි ප්‍රමාදයි කියා සිතෙනවා.” මේ අදහස් දුම්රිය රියදුරු සංගමයේ කැඳවුම්කරු අබේදීරගේය. මෙම කටයුත්තෙහි යථා ස්වරූපය වටහා නොගෙන ඇතැම් අය චෝදනා කිරීම පිළිබඳව ඔහු දක්වන්නේ එවන් අදහසකි.
ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දුද මෙම ව්‍යාපෘතිය පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළේය. “1977 සිට අපේ රටේ හතර පස් තැනකම දුම්රිය කෞතුකාගාර ආරම්භ කළා. එහෙත් ඒ එකක්වත් ක්‍රමවත්ව සිදුවූයේ නැහැ. එයට ප්‍රධාන හේතුව තමයි දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් යොදවා එවැනි දෙයක් පවත්වාගෙන යන්න පුළුවන්කමක් නොතිබීම. කොළඹ කොටුවේ, කඩුගන්නාවේ, මරදානේ වැනි ස්ථානවල දුම්රිය කෞතුකාගාර තිබුණා. අපි කියන්නේ එවැනි ජාතික දුම්රිය කෞතුකාගාරයක් ඇතිවීම හොදයි. හොඳ දෙයක් කරද්දී දේශපාලන කෝණයකින් අපි නොබැලිය යුතුයි. පොදු යහපත් වැඩකට අපි වෘත්තීය සමිති ලෙස අපේ සහයෝගය දෙන්න ඕනෑ කියන තැනයි අපි ඉන්නේ.”
රටක පමණක් නොව ලෝකයේ ද දියුණු කළ යුතු ගොඩනැංවිය යුතු සේවාවන් පවතියි. එසේ වුවද ඒ අතර සංරක්ෂණය කළ යුතු දෑද සංරක්ෂණය කරමින් ඉන් ගත හැකි සාර්ථක ඵලයන් ලබාගැනීම අත්හැර දැමීම කිසිසේත්ම නොකළ යුතුය. හෙට දවසේ අප රටේද අන්තර්ජාතික මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක් නිසි ක්‍රමවේදයක් යටතේ ඉදිවීම කිසිසේත්ම රටට අයහපතක් ළඟා කර දෙන්නක් යැයි සිතිය නොහැක. ■