මම සතුටෙන් ඉන්නේ නෝනා!


i-am-happy

රේඛා නිලුක්ෂි හේරත්

කන්කසන්තුරේ හෙවත් කේකේ එස් යන්නට අපි බසයකට ගොඩවුණා. බස් කිව්වාට යාපනේ තියෙන්නේ ලොකු බස් නෙවෙයි. පුංචි රෝසා බස්. එහෙත් දොර දෙකේ බස් එකකට තරම් සෙනඟ මේ පුංචි බස්වලට එකතු වෙනවා. චුන්නාක්කම් හරහා කේකේඑස් බසයකට අපි ගොඩවුණේ යාපනේ මේ වගේ බස් එකක අනිවාර්ය අංගයක් වන සංගීතයකටත් ඇහුම්කන් දෙමින්. ඉලයරාජා සංගීතවත් කළ උන්නික්‍රිෂ්ණන් ගයන අපූරු ගීතයක් ඇහෙනවා සේතු චිත්‍රපටියෙන්. ‘මාලයි එන් වේදනයි….’ වික්‍රම්ගේ විරහ වේදනාව. නැවුම් මතකයන්. මේවාට ඇහුම්කන් දෙන අපට කොළඹ අහන්න ලැබෙන සංගීත සංදර්ශනවල ගීත සිහිවෙනවා. අපට කොහෙද මෙච්චර රසවින්දනයක්.
කේකේඑස් බසයේ මන්දගාමී ගමන අපරාධයක් නොවුණේ අහන්නට ලැබුණු ක්ලැසිකල් සිංදු හින්දා. යාපනයේ යන ඔබ ගමන් බිමන් යන්නට රෝසා බස් තෝරාගත්තොත් දෙමළ චිත්‍රපටිවල හොඳ ගීත තොගයකුත් අහන්න ලැබෙන්නේ අමතර දීමනාවක් විදියට.
කන්කසන්තුරෙයි ඉස්සර ප්‍රසිද්ධ සිමෙන්ති ෆැක්ටරිය හින්දා. ධීවරයන් හින්දා. යුද්ධය නිසා හමුදා කඳවුරුවලටත් කන්කසන් තුරේ ප්‍රසිද්ධ වුණා. ඉන්පස්සේ දැන් කන්කසන්තුරේ ප්‍රසිද්ධයි තල්සෙවණ හෝටලය හින්දා. එහෙම නැත්නම් කවුරුත් නැති යාපනයේ රාජපක්ෂලා විහිළුවට වාගේ හදපු සම්මන්ත්‍රණ ශාලාව හින්දා. අපි කන්කසන්තුරෙයි වෙත ගියේ මයිලඩි ධීවර වරාය සාමාන්‍ය ජනතාවට නිදහස් කළා කියලා ආරංචියක් ලැබුණු හින්දා. කන්කසන්තුරේ වල්ලුවර් පුරම් ගම්මානය නිදහස් කරලා කියලාත් ආරංචියක් ආවා.
අලුතින් නිදහස් කළු ඉඩම් බලන්නට අපි කිහිප වතාවක් යාපනයේ ඇවිද්දා. යාපනයේ දිගු කලක් යුද්ධය පැවතුණේ නැහැ. යාපනය අනූගණන්වලම නිදහස් වුණා. එහෙත් මිනිසුන්ගේ ඉඩම් නිදහස් වුණේ නැහැ. බොහොමයක් ඉඩම් හමුදාවෙන් තබාගෙන හිටියා. කන්කසන්තුරේ, පලාලි වගේ ප්‍රදේශවල ඉඩම් අක්කර සිය ගණන් මිනිසුන්ට අහිමිවෙලා තිබුණා. මේ වෙද්දී ඒ ඉඩම් ටිකෙන් ටික නිදහස් කරමින් පවතිනවා. එසේ ඉඩම් ලැබුණු පසුව මේ ගම්මානවල පදිංචිකාරයන් තමන්ගේ ඉඩම බලන්නට අවුරුදු ගණනාවකට පස්සේ එනවා.
තමන්ගේ ගෙදර තිබුණු තැන ඉතිරිවෙලා ඇති ශේෂයන් දකින ඇතැම්මු හඬා වැලපෙනවා. තවත් අය සතුටු වෙනවා. තවත් අය ධෛර්ය සම්පන්න දෑසින් යළි තමන්ගේ තැනක ජීවිතය පටන් ගන්නා හැටි කල්පනා කරනවා. එවන් මිනිසුන් දකින අපට බොහෝ දේ හිතෙනවා. එක් කාරණයක් පැහැදිලියි. රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසුවයි මේ ඉඩම් නිදහස් වෙන්න පටන් ගත්තේ. බොහෝ මෙවන් මිනිසුන් රාජපක්ෂලා පරාජය කරන්නටම ඡන්දය දුන්නේ තමන්ගේ ඉඩම් ලැබේවියැයි බලා පොරොත්තුවෙන්. “වෙනස සැපද? වෙනසෙන් කිසිදෙයක් වුණේ නැහැ නේද?” කියලා අහන අයට පිළිතුරක් මේ මිනිසුන් තුළ තියෙනවා. වෙනසෙන් අපි හිතූ දේවල් බොහොමයක් වුණේ නැහැ තමයි. ආණ්ඩුවෙන් ගන්නට දෙයක් නැති බවත් හැබැයි. එහෙත් රාජපක්ෂලා ගෙදර යැවීම ගැන දුක්විය යුතු නැහැ. මේ එක් මිනිසෙකුගේ සිනහවක් වුණත් තනි තනි පුරවැසියන් එකට එක්වෙලා රාජපක්ෂලාව පරාජය කිරීම ගැන ජයග්‍රාහී සිනහවක් ඇති කරවනවා.

වල්ලුවර්පුරම්
කන්කසන්තුරේ බැස්ස අපි ඇවිදගෙන ගියේ වල්ලුවර්පුරම් ගම්මානය වෙත. අපට ඉස්සරහින් ඇවිදගෙන ගියේ බරැති මලු දෙකක් ඔසවාගෙන යන හමුදා සෙබළියන් දෙන්නෙක් සහ ඊට පසුපසින් ඇවිදගෙන යන මිනිසෙක්.
“නෝනා, බෑග් බරයි නම් දෙන්න. මම උස්සාගෙන ගෙනිහිල්ලා දෙන්නම්.” ඔහු හමුදා සෙබළියන්ට කියනවා. එහෙත් සෙබළියන් බෑග් ඔහුට දුන්නේ නැහැ.
“මම සතුටෙන් ඉන්නේ නෝනා. මම අවුරුදු විසිහයකට පස්සේ මගේ ඉඩම බලන්න යන්නේ. කමක් නැහැ. බෑග් එක දෙන්න.” ඔහු නැවතත් ඉල්ලනවා. එහෙත් බෑග් ඔහුගේ අතට ලැබුණේ නැහැ.
ඒ සමඟම මිනිසුන් රැගත් ඩිමෝ බට්ටෙක් ආවා. පාරේ ඇවිදගෙන ආ තැනැත්තා ලොරියේ සිටි අයව අඳුනාගෙන ලොරියට නැඟුණා. ලොරියේ සිටි අය අපව දැක්කේ ඉන් පසුවයි.
“නෝනා කොහෙද යන්නේ?”
“අපට යන්න ඕනෑ වල්ලුර්පුරම් ගමට.” අපි කීවා.
“නගින්න පිටිපස්සෙන්. අපිත් යන්නේ එහේ තමයි.”
ඒ විදියට අපට සතුට උතුරන ඩිමෝ බට්ටා ලොරියක පසුපස කොටසේදී ඥානසීලන්, ජයසීලන්, අරුල් රාසා සහ අවිනේෂ් ඇතුළු පිරිස මුණගැසුණා.
“දැන් මාස දෙකක් විතර වෙනවා අපේ ඉඩම් නිදහස් කරලා. අපි ඉඩම් බලන්න ආවා. ඒත් අපි එද්දී ගම සම්පූර්ණයෙන් බුල්ඩෝසර් කරලා. ඒ කාලේ අපේ ගමේ ලොකු පල්ලියක් තිබ්බා. යුද්ධයෙන් පස්සේ අපට මේ ඉඩම් බලන්න ලැබුණා. ඒ කාලෙත් අපි දැක්කා අපේ ගෙවල්, පල්ලිය එහෙම තියෙනවා. හැබැයි දැන් අපි එනකොට පල්ලියක් තිබුණා කියලාවත් සලකුණක් නැහැ. හැමදේම විනාශ කරලා දාලා. අපි පොඩියට පල්ලියක් හදනවා, කාමර කෑල්ලක දිග පළල තියෙන. එතකොට අපිට ගමට ආවාම වඳින්න පුළුවන්. අපි මේ යන්නේ පල්ලිය හදන්න. පොළොවේ තිබුණ පස් බැකෝවලින් අඩි හයක් විතර හාරලා අරගෙන ගිහිල්ලා. ඉස්සර පොළෝ මට්ටම නෙවෙයි තියෙන්නේ. කලින් තිබුණ ගස්වල මුල් පවා පේනවා දැන්. අපි අවුරුදු 26කට පස්සේ අපේ ඉඩම්වලට ආවේ. ඒත් ගමෙන් භාගයයි තවම නිදහස් කරලා තියෙන්නේ. අනිත් භාගේ නිදහස් කරලා නැහැ.” අප සමඟ කතා කරන්න පටන් ගත්තේ ඥානසීලන්.
ඥානසීලන්ගේ ඥාති සහෝදරයා ජෙයසීලන්. හරියටම ඔහුගේ ඉඩමෙන් තමා, තවම නිදහස් කර නැති කලාපය පටන් ගන්නේ. ගම නිදහස් වුණත් නිවස නිදහස් වෙලා නැහැ. එහෙත් ඉක්මනින් ඒ කොටසත් නිදහස් කරාවි කියන බලාපොරොත්තුව ජයසීලන්ට තියෙනවා. ඒ නිසාම ඔහු ගමට ඇවිත්. පුංචි පල්ලිය හදන්ට.
“අපි අවුරුදු 26ක්ම හිටියේ මුගාම් කෑම්ප්වල. මගේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා. පස්දෙනාම මුගාම්වල අපාදුක් වින්දා. නෝනා ගිහින් තියෙනවා නේද මුගාම්වලට. ගෙවල් ගොඩකට තියෙන්නේ එක් වැසිකිළියක්. ලෙඩ බෝ වෙනවා. එක ළඟ එක ගෙවල් හට් වගේ. ගෑනු ළමයි දූෂණය වුණා. අපව සත්තු ගානට දාලා තිබුණේ.
දැන් අපේ ඉඩම් නිදහස් වෙන එක ගැන වචනවලින් කියන්න පුළුවන් සතුටක් නෙවෙයි තියෙන්නේ. ඉස්සර අපේ ගම ඇතුළේ පල්ලියක්, මොන්ටි සෝරියක්, පොඩි ඩිස්පැන්සරි එකක් තිබුණා. දැන් එවත් තිබුණා කියන සලකුණක්වත් නැහැ. තිබුණ ගෙවල්වලිනුත් භාගයක්වත් නැහැ. ගොඩක් විනාශ කරලා දාලා. මුළු ගමේම පවුල් 300ක් විතර හිටියා. ඒත් දැන් නිදහස් කරලා තියෙන්නේ පවුල් 50ක විතර ඉඩම්. ගමේ පවුල් සේරම දැනට ඉන්නේ මුගාම් කෑම්ප්වල. දැන් ගෙවල් හදාගන්න එක තමයි අමාරුම වැඬේ. අපට ලොකු රස්සා කරන්න ලැබුණේ නැහැ. අපට ගම් අතාරින්න වුණාම රස්සා හොයාගන්න එකත් අමාරු වුණා. අනික මුගාම්වල අයව සමාජෙන් කොන් කරනවා. අපව පහත් තත්ත්වයකට දාලා තිබුණේ. ඉතින් ලොකු ආදායමක් අපට නැහැ. දැන් ආයෙමත් ඉඩම් ලැබුණාම අපට තියෙන ප්‍රශ්නය ගෙවල් හදාගන්නේ කොහොමද කියන එක.” ජයසීලන් එහෙම කියනවා.
මුගාම්වල දුක ගැන අපි දැනගෙන හිටියේ මීට කලින් කිහිප වතාවක් මුගාම්වලට ගිහින් තිබුණු නිසා. මුගාම් කියන්නේ අවතැන් කඳවුරු. ආණ්ඩුවෙන් පරිපාලනය නොකරන මේ වගේ කඳවුරු කිහිපයක් යාපනයේ තිබුණා. එකිනෙකට ළඟින් ටකරම්වලින් තනාගත් තාවකාලික නිවාසවලින් තමයි මුගාම් සමන්විත වුණේ. මුගාම් එකක ජීවත්වීම සමාජීය, ආර්ථිකමය හා සෞඛ්‍යමය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්ද වුණා. තවමත් මුගාම් තියෙනවා. ටිකෙන් ටික නිදහස් වන ඉඩම්වල හිමිකරුවන්ට නිවාස තනා ගන්නට තව කාලයක් ගතවේවි. එතෙක් මුගාම් එලෙසම පවතීවි.

සිනමා වීරයෝ
අපි මේ මිනිසුන් සමඟ සෑහෙන වෙලාවක් ගතකළා. විටින් විට වාහනවලින් පවුල් පිටින් පැමිණියේ ඉඩම් දැකබලා ගන්නට. ඒ එන අය කාෂ්ඨක අව්වේ විඳින වේදනාව නිවන්නට කොහේදෝ සිට අයිස්ක්‍රීම් ලොරියකුත් ආවා.
“මිස් දෙමළ ඉගෙන ගත්තේ කොහොමද?” ජයසීලන් අහනවා.
“මම විජේ ෆෑන්. ෆිල්ම් බලලා තමයි ඉගෙන ගත්තේ.” ඔහුට උත්තරයක් ලැබෙනවා.
“විජේ කිව්වේ තලපති විජේද?” අවිනේස් අහනවා. විජේ කියන දෙමළ නළුවා දෙමළ සිනමා රසිකයන් හඳුන්වන්නේ තලපති හෙවත් නායකයා කියන තේරුමෙන්.
“ඔව්, තලපති තමා.” අපි උත්තර දුන්නා.
“හොඳයි හොඳයි. මම නම් තල ෆෑන්.” අවිනේෂ් කියනවා. තල කියලා කියන්නේ දෙමළ සුපිරි නළුවා අජිත් කුමාර්ට. තල කියන්නේ හිස.
දැන් එතැන සිටින අය තමන්ගේ සිනමා වීරයාගේ නම කියනවා. මම සූර්යාට. කෙනෙක් කියද්දී මම ධනුෂ්ටයැයි තව කෙනෙක් කියනවා. ඥානසීලන් ගත්තේ අපේ පැත්ත.
“මමත් තලපති ෆෑන් කෙනෙක් මිස්.”
මුගාම්වල ජීවිතය ගතකළත් මේ මිනිසුන් සිනමාවට ඇති ආදරය අත්හැරලා නැහැ. මේ සංවාදය වැදගත් වුණේ ඒ හින්දායි. ධෛර්යයක් එකතු කරගෙන අවුරුදු විසිහයක විතර කාලයක් තිස්සේ ගමට එනතුරු ජීවත්වුණු මිනිසුන් පිරිසක් මේ ඉන්නේ. ඒ බොහෝදෙනෙක් අවුරුදු විසිහය තිස්සේ කොපමණ වේදනා වින්දත් මුහුණේ සිනහව නැතිකරගෙන නැහැ. හැම දෙමළෙකුටම සිනමා වීරයෙක් ඉන්නවා. මාත් මොහොතකට දෙමළෙක් නොවුණොත් ඔවුන් සමඟ හැබෑවට සමීප වෙන්න බැහැ. ඔවුන්ගේ සංස්කෘතිය තුළ බොහෝ දෙනෙක් සමීප සම්බන්ධතා හදාගන්නේ සිනමාව ගැන සංවාදයකිනුයි.
පල්ලිය හදන්නට වෙහෙසවෙමින් සිටි කණ්ඩායමත් එක්ක සවස් වරුව වන තෙක් අපි කයිවාරු ගසමින් හිටියේ සිනමා වීරයන්ගෙන් පටන්ගත් සංවාදය ඉදිරියට ගෙනයමින්. හැමෝටම අලුත් ජීවන සැලසුම් තිබුණා. මේ අය නිර්මාණය කරමින් හිටියේ පුංචි කතෝලික පල්ලියක්. අවුරුදු විස්සකට කලින් අත්හැරලා ගිය ගමේ තිබුණේ විශාල කතෝලික පල්ලියක්. ඒ පල්ලිය හදන්නට අවුරුදු ගණනක් තිස්සේ මිලියන ගණනක මුදලක් වැයවුණු බව මේ අය කියනවා.
“අපි ආයෙමත් පල්ලිය හදනවා මිස්. තව කාලයක් යනකොට අපි තිබුණා වගේම ලොකුවට පල්ලිය හදාගන්නවා. මොන්ටි සෝරිය, ඉස්කෝලය හදාගන්නවා. නෝනා අවුරුද්දකින් ඇවිත් බලන්න අපි කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා.” ධෛර්ය සම්පන්නව අවිනේෂ් කියනවා.

ලතාගේ කතාව
හවස් වරුවේ ගමේ සිටි අයගෙන් සමුගත්ත අපි ආවේ අලුතින් නිදහස් කර ඇතැයි කියන ඌරනි ධීවර වරාය ළඟටයි. ධීවර වරාය නිදහස් කර ඇති බව කීවත් ධීවර වරායේ රැකියා කරන ධීවරයන්ගේ නිවාස නිදහස් කර නැහැ. ඒ ඉඩම්වල තවමත් තියෙන්නේ හමුදා කඳවුරක්. කඳවුර මැද්දෙත් පටු මාවතක් තියලා තියෙනවා මුහුද අයිනට. මුහුද සහ වෙරළෙන් කොටසක් විතරක් සාමාන්‍ය ජනතාවට නිදහස් කරලා.
අපි පටු මාවත දිගේ වෙරළ දෙසට යද්දී කිහිපදෙනෙකු වෙරළේ හිටියා. ඔවුන් සමඟත් අපි කතාබහට වැටුණා. ඌරනි ගමේ පදිංචිකාරියක වන ලතා සහ ඇගේ පවුලේ උදවිය තමයි වෙරළේ හිටියේ.
“අපේ ඉඩම්වල තමයි හමුදාවෙන් හෝටල් හදලා තියෙන්නේ. තල් සෙවණ හෝටලය තියෙන්නෙත් අපේ ඉඩම්වලමයි. අපි අපේ ඉඩම් බලලා යන්න ආවේ. හැබැයි ඉඩම් නැතුව වරාය විතරක් නිදහස් කරලා. අපි කාලයක් තිස්සේ ඇවිත් අපේ ඉඩම්වල හමුදාව හදලා තියෙන හෝටලේට එන මිනිස්සු විනෝදවෙන විදිය කම්බි වැට ළඟට වෙලා බලාගෙන ඉඳලා යනවා. අපේ ගෙවල් තියෙන්න ඕනෑ තැන්වල කට්ටිය විනෝදෙට නවාතැන් ගන්නවා. මඟුල් ගන්නවා. ෆොටෝ ගන්නවා. අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. සතියක්, මාසයක් නෙවෙයි අවුරුදු 26ක් අපි අපේ ඉඩම් අපිට දෙයි කියලා බලාගෙන හිටියා. ඒත් අදටත් අපිට විශ්වාසයක් නැහැ අපේ ඉඩම් ලැබේවි කියලා. අනෙක් ඉඩම් නිදහස් කළත් මේ හෝටල් අයින් කරලා අපේ ඉඩම් දෙයි කියලා හිතන්න බැහැ. අපි මුගාම් කෑම්ප්වල දුක් විදිනවා. අපි මුහුදු රස්සාව විශ්වාස කරගෙන ජීවත්වෙන මිනිස්සු. කෑම්ප්වලට ගියාට පස්සේ අපි රස්සාව කළේ කිලෝමීටර් හත අටක් ඇවිදගෙන ගිහින් වෙනත් මිනිස්සුන් ඉන්න වෙරළක. ඒ පැත්තේ අය කැමති නැහැ අපි එනවාට. මොනවා කරන්නද? අපි රණ්ඩුවෙමින් කාලයක් මුහුදු ගියා. දැන් හැමෝටම ඉඩම් දෙනවා. අපේ වරාය විතරක් නිදහස් කරලා. ගෙවල් දෙන්නේ නැහැ.” කේ. ලතා අප සමඟ එසේ පැවසුවේ හැඬුම්බර මුහුණෙන්.
ඌරනි වෙරළේ සිට බැලුවාම ඈතින් මයිලඩි වෙරළ පෙනෙනවා. මයිලඩි කියන්නේ යාපනයේ තියෙන විශාලම ධීවර වරායක්. වසර තිහක ආසන්න කාලයක් තිස්සේ වැසී තියෙන ධීවර වරායක්. රටටත් මයිලඩි ගම්වාසීන්ටත් විශාල ආදායමක් ගෙන එන්නට තිබුණු ධීවර වරායක්. මයිලඩිවාසීන් අපට මීට කලින් කන්නගී මුගාමයේ දුක්විඳින අයුරු මුණගැසී තියෙනවා. ඔවුන්ට හොඳ ජීවිතයක් ගත කරන්නට ලැබේවි මයිලඩි වරාය නිදහස් වුණා නම්. එහෙත් එවැන්නක් ඉක්මනින් වෙන පාටක් පෙනෙන්නට නැහැ.
එකම දවසක් ඇතුළේ නිදහස් කළ ඉඩම් ගැන සතුටු වන උදවියත්, නිදහස් නොකළ ඉඩම් ගැන දුක්වන පිරිසකුත් අපට මුණගැහුණා.
ලතා ඇතුළු පවුලේ අය ඌරනි වෙරළේ තනි කරලා අපි නැවත එද්දී තල්සෙවණ හෝටලය හිනැහෙමින් හිටියා. හෝටලය ඉදිරිපිට විනෝදකාමී දරුවන් සෙල්ලම් කරමින් හිටියා. සති අන්ත නිවාඩුවකට යාපනය බලන්නට පැමිණි දකුණේ පිරිසක්. ලතාගේ දියණියගේ මුහුණ අපට සිහිවුණා. හවසට ඒ අය මුගාම්වල යාවි. අපට මේ අයගේ හඬවල් ඇහෙනවා වගේම අනිවාර්යයෙන් ඔවුන්ට මුහුදේ රළ ගැටෙන සද්දය රෑ වෙනතුරුම ඇසේවි.■