රාවය

මිනිය තනි කරන්න ඕන වෙලාව.. දැන් යන්න

මිනිය තනි කරන්න ඕන වෙලාව.. දැන් යන්න

උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටය 27 වෙනිදා තරංගනී සිනමා ශාලාවේ දී නැරඹූවෙමි. මෙම අදහස් පත්‍රිකාව නිල විචාරකයන්ගේ විචාරය සඳහා නො ව, රටවැසියා වෙනුවෙනි.
පළමු අර්ධය ෆැන්ටසිමය අවකාශයකි. එය මෙසේ ය;
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අගමැති රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, එස්.එම්. මරික්කාර් පමණක් නො ව බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ හිමි ද, අයිසිස් ආසියානු නියෝජිතයෙක් ද, මම ද 28 චිත්‍රපටය බලා එළිමහනට පිවිසුණෙමු. චන්ද්‍රිකා ද, රනිල් ද, මංගල ද සංවාද කතිකාවතට අදහස් ප්‍රකාශ නො කර බැහැර වූහ. රනිල් තමා ඉගෙනගත් රාජකීය විද්‍යාලය දෙස බලමින් අරලියගහ මන්දිරයට යනු බලා සිටි මහින්ද රාජපක්ෂ තමා ඉගෙන ගත් තර්ස්ටන් විද්‍යාලයේ පොඩි එකෙකු හොස්ටල් එකේ නැවැත්වූ විට ‘හෝම්සික්’ හැදුණාක් මෙන් අතීත වේදනාවත්, ස්මරණීය සතුටත් මිශ්‍රිත, නොස්ටැල්ජියානු විභවයක දෑස රතු වී සිටිනු මම නිරීක්ෂණය කළෙමි. තරංගනී සිනමා ශාලාවේ පුළුල් තිරය දෙබෑ කරමින් සේමිණි ඉද්දමල්ගොඩ (සුද්දි) අප අතරට පිවිසියා ය. සිනමා ශාලාවේ පිටුපස ගංජා සුරුට්ටුවක් උරමින් සිටි මහේන්ද්‍ර පෙරේරා (අබසිරි) පඳුරක් අස්සේ මූත්‍ර බරින් නිදහස් ව සැහැල්ලුවෙන් අප අසලට ආවේ ය. මුලින් ම සංවාදයට පිවිසුණේ ඥානසාර හිමි ය.
‘උපදින්නෙත් හඳට. මැරෙන්නෙත් හඳට. පිස්සු හැදෙන්නෙත් හඳට. බුදු වෙන්නෙත් හඳට. චන්ද්‍ර මාස කියන්නෙ අපේ පැරණි මාස ක්‍රමයට. ඒක ආසියාතික අපේ විශ්වාසය. හඳේ චක්‍රය තියෙන්නෙ දවස් 28යි. ගැහැනියකගේ ඔසප් චක්‍රයටත් යන්නෙ දවස් 28යි. මේක ස්වභාවධර්මයේ දේශපාලනය. ඒක වෙනස් කරන්න චිත්‍රපටකාරයෝ හිතුවා මදි.’
උන්වහන්සේ මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණට ම කී සේක. එය අසා සිටි මහින්ද රාජපක්ෂ අහක බලාගෙන මෙසේ කීවේ ය.
‘මේක යහපාලනයනේ හාමුදුරුවනේ, ළඟදි ගේන්න ගියානේ සමලිංගික පනතක්.’ යැයි කියා කොක් හඬලා සිනාසුණේ ය. ඒ සිනහවට ඉහළින් තවත් හයියෙන් සිනාසුණු මෛත්‍රීපාල සිරිසේන;
‘මම තමයි ඒක වීසි කළේ’ යැයි උද්දාමයෙන් කීය. මම කතා කිරීම ඇරඹීමි.
‘සමලිංගිකත්වය රෝම ශිෂ්ටාචාරයෙත් තිබුණා. අප්‍රිකාවෙත්, ඇමරිකාවෙත්, ස්වදේශීය ජන සමාජවලත් ඒකට තහංචි තිබුණෙ නෑ. රතු ඉන්දියානුවෝ කිව්වේ ද්විත්ව ආත්ම ඇති, නැත්නම් ‘ටූ ස්පිරිටඞ්’ කියලා. පීතෘ මූලික වුණත් රෝම සමාජය සමලිංගිකත්වය පිළි අරගෙන තිබුණා. ටර්ටුලියන් කියන ක්‍රිස්තියානි දේශකයා සමරිසි බව අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් කියලා කිව්වා. බයිබලය කියන විදිහට දෙවියන් වහන්සේ සොඩාම් සහ ගොමෝරා නගර දෙක ම විනාශ කරන්නේ සමලිංගිකත්වය පරිචාරය කළ හින්දා. ඉස්ලාම් ආගම කිව්වේ සමලිංගිකත්වය පාපයක් කියලා. දඬුවම් කරන්න ඕන කියලා. ශරියා නීතියට අනුව සමලිංගික සේවනය හිස ගසා දැමීමෙන් හෝ ගල් ගැසීමෙන් මරා දැමිය යුතු තරම් වරදක්. යුදෙව්වන් ටෝරා ග්‍රන්ථයේ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කළා. හැබැයි අපේ ගමේ නම් ඕකට කිව්වේ ‘පන්සලේ සෙල්ලම’ කියලා. සමලිංගිකත්වය වැඩියෙන් ම වර්ධනය වුණේ ආගමික ගුබ්බෑයම් අස්සේ.’
මම කියාගෙන ගියෙමි. මා දෙස රවා බැලූ ඥානසාර හිමි රාත්‍රී බණකට යා යුතු යැයි කියා නික්මෙන්නට පෙර අබසිරිට ‘අබ සරණයි’ යැයි කීයේ ය.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැනත්, ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ ගැනත් දීර්ඝව කතා කළ විජයදාස රාජපක්ෂ අවසානයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් මෙසේ කීවේ ය.
‘මම පිළියන්දල ශාක්‍ය ජනපදය කොහොමහරි පිහිටුවනවා. ඒක ලංකාවේ සංස්කෘතිය ගොඩනැඟීමේ ආශ්චර්ය විදිහට ඉතිහාසගත වෙයි. අක්කර හැත්තෑ පහක් වෙන්කරනවා. දඹදිව සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරනවා. සුද්දොත් එයි බලන්න. එතන දහ දාහකට බණ අහන්න පුළුවන්. වෙජිටේරියන් ආපන ශාලා දානවා. එතකොට දඹදිව යන්න ඕනෑ නෑ. බුදුන් උපන් දේශයට යන්න ඕනෑ අය පිළියන්දල ගියාම හරි.’ යැයි එසේ කියත් ම 28 සුද්දී කතා කළා ය.
‘පන්සිල් සද්දෙ ඇහෙනකොට මට මතක් වෙන්නෙ පවුල් ජීවිතය අත්හැරලා දාලා, ටවුමේ රස්සාවට ඇවිල්ලා නවාතැන් ගත්ත චමරිය. බාගෙට හදපු ගෙදරක කාමරවල විතරයි දොරවල් තිබුණෙ. ඒ හැම කාමරයක ම එක එක රස්සාවල් කරන කෙල්ලො හිටියා. මේ වගේ ම පන්සිල් සද්දෙ ඒ හැම කාමරයකට ම හොඳට ඇහුණා. හැබැයි ඒ කාමරවල හිටපු අපි හැමෝම තුන්වන සිල් පදය තේරුම් අරන් තිබුණෙ වැරදි විදිහට. අපි තේරුම් අරන් තිබුණෙ කාමයේ හැසිරෙන්න පුළුවන් පන්සිල් නො ගන්න කසාද බැඳපු අයට විතරයි කියලා. ඒ කියන්නෙ අනෙත් අයට කොහොමටවත් බෑ. හොඳ වෙලාවට අල්ලපු කාමරයේ නංගිව හම්බවෙන්න ආපු චන්දන අයියා තමයි අපිට කියලා දුන්නෙ තමන්ගෙන් කාටවත් කරදරයක් නො වී දෙන්නගෙම කැමැත්තෙන් කළොත් ඒකෙ වැරැද්දක් නෑ කියලා. ඊට පස්සෙ තමයි අපේ කාමරවලටත් එළියෙන් මිනිස්සු එන්න පටන් ගත්තෙ. ආන්න එතකොට තමයි තුන්වන සිල්පදය කැඩෙන්න පටන්ගත්තෙ.’
විජේදාස රාජපක්ෂට සුද්දි කී කිසිවක් නෑසුණේ 2020 ඡන්දය පිළිබඳව හෙතෙම කල්පනා කරමින් සිටි නිසා ය. රවී කරුණානායක තරංගනී සිනමාහලට ඉහළින් හිස ඔසවා මහ බැංකුව දෙස බැලුවේ ය. ඉන් ඔබ්බේ ඇති පෝට් සිටිය ද ඔහුගේ ඇස ගැසුණා නිසැකය. මම නැවත කතා කළෙමි.
‘ලංකාවේ විවිධ සිවිල් සංවිධාන සහ තනි පුද්ගලයන් ඉල්ලා සිටින්නේ සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා නෙමෙයි. යටත් විජිත කොලනියක් වශයෙන් අපි ඉද්දී බි්‍රතාන්‍යයන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) යන උප වගන්ති සංශෝධනය කරලා වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ පුද්ගල ක්‍රියාකාරකමක් අපරාධයක් ලෙස සලකන වික්ටෝරියා නීතිය වෙනස් කරන්න කියලයි. 1883 මැකලේ කියන දැඩි මූලධර්මවාදී ක්‍රිස්තියානි සාමිවරයා විසින් එවකට ‘සිලෝන්’ ලෙස පැවති ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සකස් කරලා සමලිංගික චර්යාවන් අපරාධයක් ලෙස සැලකීමට අවශ්‍ය වගන්ති සකස් කළා. මේ වගන්ති පරීක්ෂාකාරීව කියෙව්වොත්, මූලික මිනිස් අයිතිවාසිකම් පවා ඉක්මවා යනු දකින්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියේ කියන්නේ පුරුෂයෙකු විසින් කාන්තාවක හෝ සතෙකු සමග ස්ව කැමැත්තෙන් ස්වභාවධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුණහොත් දස වසරක් දක්වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ දඬුවමක් ලබා දෙන්න කියලා’
මෛත්‍රීපාල සිරිසේන ගූගල් සිතියමක් නිරීක්ෂණය කරන්නාක් මෙන් තරංගනී සිනමා ශාලාවේ සිට පොළොන්නරුව තෙක් දීර්ඝ පාරභෞතික සංචාරයක නියැළෙමින් සිටියේ ය.
‘මං ඊළඟට කරන්නෙ ලංකාවෙ හරක් මරන එක නවත්වන්න නීති ගේන එක. වෙජිටේරියන් ආපන ශාලා හැදුවම හරක් මස් ඕනෑ නෑ. කන අයට පිටරටින් හරක් මස් ගේන්න පුළුවන්.’ යැයි දෙපයේ ඇඟිලිවලින් ඉස්සී කෝචොක් හිනාවක් දමමින් මෛත්‍රීපාල සිරිසේන කීය. මහේන්ද්‍ර පෙරේරා ඇබ්ස්ට්‍රෑක්ට් ඇක්ට් එකකින් මෙසේ කීය.
‘ඈ බං. මොන නීති පොතේ ද තියෙන්නෙ අයිස් ක්‍රීම් වෑන් එකක මිනියක් දාපු මිනී පෙට්ටියක් ගෙනියන්න බෑ කියලා. මට කියහං මොන නීති පොතේ ද තියෙන්නෙ ?’
මහේන්ද්‍රත් සේමිණිත් මමත් ත්‍රිකෝණගතව සිටියෙමු. එනිසා සෙස්සන්ට අප තිදෙනා එකවර දෘශ්‍ය පථයට නාභිගත වන්නේ නැත. කැබිනෙට්ටුවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ උත්සාහයත් සමරිසි නීතිය ඉවත් කිරීමේ උත්සාහයත් හාස්‍යයෙන් යුතුව ඔවුහු තලු මරති. මෛත්‍රී ජයග්‍රාහී උඩඟුවකින් කීය.
‘මං ඒක වීසි කළා. දැන් කතා කරන එකේ තේරුමක් නෑ. ඒක වීසි කළාට පස්සේ රටේ මිනිස්සු මට රෙස්පෙක්ට් කරන්න ගත්තා.’
මා කියන දේ කිසිවෙකුට නෑසෙන්නාක් මෙන් ය. කන් දෙකේ කොන්ක්‍රීට් අගුලු වැටුණාක් මෙන් ඔවුහු දෑසින් පමණක් මා දෙස බලා සිටියහ.
‘හිට්ලර්, රේසිසම් අනුමත කළා. මහින්දත් අනුමත කළා. ලෝකෙ කිසිම රටක ‘මං ඕක වීසි කළා’ කියන එක රෙස්පෙක්ට් එකක් නෙමෙයි. එහෙම කියපු ගමන් ශිෂ්ට මිනිසුන්ගේ තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතුව යනවා.’
මම කීවෙමි. දෙහිගෙඩි සහ මිරිස් කරල් එල්ලා ගත් නවීන පන්නයේ වාහන කිහිපයක් ‘සිංහලේ’ ස්ටිකරය ද අලවාගෙන රාත්‍රී සාද සඳහා හිල්ටන්, ගලදාරි, ටාජ් සමුද්‍රා, කිංග්ස්බරි ආදි හෝටල් වෙත එහෙ මෙහෙ යනු මම නිරීක්ෂණය කළෙමි.
‘ලංකාවේ අවුරුදු දාහතරට අඩු කුඩා ගැහැනු ළමයි තුන් දෙනෙක්වත් දවසකට දූෂණය වෙනවා. හැම විනාඩියකට ම ගැහැනියක් දූෂණය වෙනවා. එක දවසකට ගබ්සාවන් අටසියයක් වෙනවා. වැඩියෙන් ම සිය දිවි නසාගන්නේ අපේ රටේ. දික්කසාද නඩු පෝලිමේ. කුණු කූඩවලයි, වැසිකිළිවලයි දරුවෝ දාලා යනවා. අන්තර්ජාලයෙන් සෙක්ස් හොයලා රන් පදක්කම් ගන්නවා. සමලිංගික නෙමෙයි විෂම ලිංගික ක්‍රියාකාරකම්වලටවත් ලංකාවේ ඉඩක් නෑ. ඒඞ්ස් බෝවෙන්නෙ සුළඟින් කියලා විශ්වාස කරන රටක් අපි.’
මම කියාගෙන ගියෙමි. කිසිවෙකු මට ඇහුම්කන් දෙන්නේ නැත. එස්.එම්. මරික්කාර් මගේ කරට අත දමා ගත්තේ ය.
‘මොහිදින් බෙග් වගෙ මිනිහෙක් වෙන්න ඕනෑ මට. මම මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවෝ හම්බවුණා. ඉරිදා දහම්පාසල් නීති ගත කරන්න ඕනෑ.’ හෙතෙම ආඩම්බරයෙන් කීය.
මගේ කරේ තිබුණු ඔහුගේ දකුණු අත අල්ලා බිමට හෙළුෑ මම ‘පන්සලේ සෙල්ලමට’ දැයි රහසින් ඇසීමි. මරික්කාර් කොක් හඬලා සිනාසී අයිසිස් නියෝජිතයාගේ කරට අනෙක් අත දමා ගත්තේ ය.
‘නුගේගොඩ රැස්වීම. අපි ආණ්ඩුව අල්ලනවා.’ යැයි කියාගෙන ම මහින්ද රාජපක්ෂ නුගේගොඩ දෙසට දෑස් යැවීය.
‘සිංහයා කියන්නෙ සතෙක්. ඌත් එක්ක සුප්පා දේවි සංසර්ගයේ යෙදෙනවා. ඒක මෘග සංවාසය. දණ්ඩ නීති සංග්‍රහයේ වැරැද්දක්. සිංහසීවලී, සිංහබාහු සහෝදර සහෝදරියෝ. සංවාසයේ යෙදෙනවා. ඒක ව්‍යභිචාරය. ඒකත් දණ්ඩ නීති සංග්‍රහයෙ වැරැද්දක්. අපි තාම ඒ ප්‍රබන්ධය විශ්වාස කරනවා. ඒක ප්‍රබන්ධයක් විදියට තිබුණට කමක් නෑ. යථාර්ථයක් විදියට ගන්න එකයි වැරැද්ද.’ මම කීවෙමි.
‘තමුසෙ ඡන්දෙ පැරදුණේ ඇයි කියලා දැන්වත් තේරෙනව ද?’
කියූ රවී කරුණානායක සියල්ලන් කැටුව ඩිනර් එක සඳහා ඔහුගේ නවතම එපාට්මන්ට් එකට යෑමට පිටත් විය. ආරක්ෂකයෝ සියල්ලන්ටම ආරක්ෂාව සපයමින් මා පසෙකට තල්ලු කළහ. රවී ‘උස’ නිසා ‘කොට’ මම ඉබේම ඔහුගේ සද්දන්ත ශරීරයට වැසී ගිය හෙයින් මා සිටිනු කිසිදු මීඩියා කැමරාවකට හසු නො වීය. මමත් සුද්දීත් හුදෙකලා වූමු. අප පසුකර යන සියල්ලන්ට ඇසෙන්නට සුද්දි කෑ ගසා මෙසේ කීවා ය.
‘අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නං බෑ. මං ඇත්තමයි කියන්නේ. අබසිරියි මායි කසාද බැඳලා අවුරුදු 15ක් වෙනවා. හැබැයි ඊයේ රෑ තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල්ශාලාවේ එම්බාම් ලෑල්ල උඩදි. ඒ වෙලාවේ අබසිරි හැසිරිච්ච හැටි දැක්ක මට මිනියක් නිසා ඇස්වලට කඳුළු තිබුණේ නෑ අඬන්න. උගුරේ සද්දෙ පිටවුණේ නෑ ඉකිගහන්න.’
අප දෙදෙනාට පසුපසින් සිටියේ අබසිරි ය. ඔහුගේ කටහඬ දෝංකාර දෙමින් අවකාශයට නැඟිණි.
‘මිනිය තනි කරන්න ඕන වෙලාව. දැන් යන්න.’
එසේ කියූ අබසිරි ගංජා සුරුට්ටුවක් බොන්නට ත්‍රීවිලරයක් පසුපසට ගියේ ය. මම සුද්දී සමග අතීතයටත් අනාගතයටත් ගමන් කරමින් සිටිමි. නුගේගොඩ හරහා මා පැමිණෙන විට මහින්දගේ ජන රැලිය අවසන් වී බීමත් වූ හෙම්බත් වූ උද්දාම වූ මිනිස්සු ගව ගාල ලිස්සාක් මෙන් විසිරී සිටියහ. ඉතිං ට්‍රැෆික් ය. ට්‍රැෆික් මැද්දේ හිරවුණු මට ඔවුහු හූ කියති. සුද්දි මගේ වාහනේ සිටින නිසා හූව වඩාත් තීව්‍ර විය. සුද්දි කතා කරයි.
‘හූ සද්දෙ ඇහෙනකොට මට හිතෙන්නෙ මං ජීවත් වෙනවා කියලා. හූව මට ඒ තරමට විශේෂයි. මං කසාද බැඳලා ගියාට පස්සෙ අපි නෑවේ ගමේ ළිඳෙන්. දිය රෙද්ද ඇඳලා නානකොට ගමේ කොල්ලො කුරුට්ටෝ නාකි මනමාලයෝ ඔය වෙලාවට නාන්න එන්න පටන් ගත්තා. ඒකට අපේ මනුස්සයා ඉරිසියාවෙ පැලෙන්න හැදුවා. ඊට පස්සෙ තමයි මං යෝජනා කළේ අපි බාත්රූම් එකක් හදමු කියලා. ඒක ගමට හදපු පළවෙනි බාත්රූම් එක. ගෙදර අය හැමෝම මට උපදෙස් දුන්නා ගොම්මං වෙලාවේ නාන්න එපා කියලා. ඊට පස්සේ දවසක් මහ දවල් නාද්දිත් කවුදෝ ඔළුව දැම්මා. හොල්මනක් නම් නෙමේ. අපේ මාමණ්ඩි. ඕක ගෙදර අයට කිව්වාට පස්සෙ වැරැද්ද වුණේ මාමණ්ඩි කවුළුවෙන් බලපු එක නෙමේ. මං හෙළුවෙන් බාත් රූම් එකේ නාපු එක. මට ගමේ ඉන්න බැරි වුණා. අන්තිමට මං ඇඳුම් බෑග් එකත් අරගෙන ගෙයින් දොට්ට බැස්සා. ගමේ ගුරු පාර දිගේ මං යනකොට ගමේ කොල්ලො කුරුට්ටන්ට මතක් වුණේ මං බාත්රූම් එකේ හෙළුවෙන් නාපු එක. උන් මට හූ තියන්න පටන් ගත්තා. හරියට අද වගේ.’
එසේ කියූ සුද්දී වාහනයෙන් බැස ගියා ය. ඒ මගේ අම්මා ය. දුව ය. නංගී ය. නැන්දා ය. බිරිඳ ය. පෙම්වතිය ය. ජීවිතය ශෙයා කරගත් මිතුරිය ය. නමින් සුද්දී ය. මම සුද්දී ගැන සිතමින් සුද්දී මෙතරම් සුදු වූයේ කෙසේ දැයි සිතමින් සිටිමි. ෆ්‍රැන්ජිපානි (සයපෙති කුසුම) චිත්‍රපටය කළ විසාකේස චන්ද්‍රසේකරම් ලියූ ගීතයක් ඔළුවට පොල්ලෙන් ගැසුවාක් මෙන් මට සිහිවෙයි.

නුඹෙ සීයා ටිකක් සුදුයි
නුඹෙ මුත්තා තවත් සුදුයි
කිරි අත්තා ගොඩක් සුදුයි
සුදු සීයා සුදුම සුදුයි
ඔය රාජ රාජ කාලෙ ඉඳලා
මෙහෙ ආ පිට රැටියො අපේ
ගෑනු දැකලා වහ වැටුණේ නැද්ද කියාපන්
ඔය චීන ඉන්දියන් යෝනක
කාපිරි සහ හම්බ පැටව්
දාල යන්න බැරි හින්දා
බින්න බහින් ඇති නොවැ
අර හීනි වළලු කර වැද්දගෙ
තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ
බොකුටු කොණ්ඩෙ කාපිරියගෙ
කැරපොතු ඇස් පරංගියගෙ
චීනාගෙමොක්කන් නාසය
හම්බයන්ගෙ හමේ පැහැය
සේරම කලවන් වී හැදි
සාම්බාරෙ අපූරූය
සිංහබාහුගේ කේශර
කොහෙද කියාපන් මල්ලී
කොටියගේ වලිගේ
දෙකකුල් අස්සෙ බලාපන්

පළමු අර්ධයේ ෆැන්ටසිය අවසන් ය. දැන් යථාර්ථයක් ලෙස ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටය කියවමි.
(මනුස්ස යථාර්ථයක් ලෙස ‘28’ චිත්‍රපටය ඊළඟ සතියේ කියවමු.)