Untitled-1

Untitled-1

ජනපති සාකච්ඡාවේදී හමුදා අපරාධකරුවන් රකින නියෝගයක්


leed

තිවංක සපරමාදු

නීතියට පිටින් ගොස් විවිධාකාර අපරාධ සිදුකළැයි කියන ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට කෙරෙන විමර්ශන සඳහා එවැනි හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතුයැ’යි පසුගිය පෙබරවාරි 7 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති රැස්වීමකදී නියෝග කරනු ලැබූ බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න, නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 7වැනිදා දහවල් 12.30ට පමණ ඇරඹුණු මෙම සාකච්ඡාවේදී, පසුගිය දිනවල
හමුදා නාවික හමුදාවේ නිලධාරීන්ට එරෙහිව පැනනැගී ඇති පැහැරගෙන යෑම් හා කප්පම් ඉල්ලීමේ චෝදනා ගැන විශේෂයෙන් සාකච්ඡා වී ඇති අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් එම විමර්ශන කටයුතු පිළිබඳව රැස්ව සිටියවුන්ට පැහැදිලි කොට ඇත.
ඉන්පසු ලැබී තිබුණු නියෝගය වුණේ, හිටපු නාවික හමුදාපතිවරයාගේ පෞද්ගලික සහකාර ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් දෙහිවලදී පැහැරගෙන යන ලද තරුණයන් පස්දෙනාගේ සිදුවීම හැර අනෙක් චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්‍ෂණවලදී නාවික හමුදා නිලධාරීන් හෝ අනෙක් සන්නද්ධ හමුදාවල නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවයි.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු කණ්ඩායම විසින් ඉහත කී තරුණයන් පස්දෙනාද ඇතුළුව එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගේ ඥාතීන්ගෙන් රුපියල් කෝටියේ සිට ලක්‍ෂ පහ දක්වා කප්පම් ඉල්ලූ බවට චෝදනා එල්ලවී ඇති අතර, පැහැරගනු ලැබූ පිරිස කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා කඳවුරේ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවට දැනට තොරතුරු හෙළිවී තිබේ.
ජනවාරි මස අවසාන සතියේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා වත්මන් නාවික හමුදාපති ජනාධිපතිවරයා හමුවී නාවික හමුදා අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන එම පරීක්ෂණ නොකරන ලෙසට ඉල්ලීමක් කර තිබූ බව රාවය වාර්තා කරනු ලැබීය. ■