Saturday, 19/8/2017 | 5:25 UTC+0
රාවය

සොයමු දැනුම අරිමු සයිටම් වැනි දහයක්

කේ. සංජීව

මේ දිනවල ලංකාවේ මිනිස්සුන්ට කනබොන විටද සයනයේදීද සමහරවිට සුසානයේදීද කල්පනා කරන්නට ප්‍රශ්න දෙකක් තිබෙන බව පෙනේ. එකක් විල්පත්තුව වන විනාශයයි. අනෙක සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයයි. මේ ගැටලු දෙකම එක්තරා ආකාරයකට ලංකාවේ සමස්ත ජනජීවිතයට යම් බලපෑමක් කර සහ කරමින් ඇති බව අප පිළිගත යුතුය. අනෙක් පැත්තෙන් මේ අවුල් මිනිසුන්ගේ මනස් විකාර අදහස්වලින් පුරවා මිනිසුන් දෙකට තුනට බෙදමින් සමාජ දේහයේ පැවතිය යුතු සංහිඳියාව පළුදුකරමින් තිබේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ සයිටම් අවුල පිළිබඳව යම් සොයාබැලීමක් කිරීම සහ මේ අර්බුදයට මැදිවී සිටින පාර්ශ්වයන් ඒ පිළිබඳව දරන අදහස් කපාකොටා යම් සායනික විමර්ශනයකට ලක්කිරීම මෙහි අරමුණයි.

මොකද්ද සයිටම්
සයිටම් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජීඑම්ඕඒ) සහ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ අර්ථකථනය වන්නේ, ‘සයිටම් සමානයි හොර උපාධි කඬේ’ යන්නයි. දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය ආයතනය, සයිටම්හි ඇත්ත නමයි. 2009 වර්ෂයේ ආරම්භ වුණු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය මුලින් පටන් ගන්නේ ද්විත්ව පාඨමාලාවක් ලෙසය. එහිදී පාඨමාලාවේ මුල් කොටස ශ්‍රී ලංකාව තුළදීත්, අවසන් කොටස සයිටම් ආයතනයට අනුබද්ධ රුසියානු විශ්ව විද්‍යාලයකදීත් සම්පූර්ණ කෙරෙන බවට ප්‍රකාශ විය. මෙහිදී ඔවුන් සඳහන් කළ රුසියානු විශ්වවිද්‍යාලය වුණේ භස‘යබහ භදඩටදරදා ීඒඑැ ්ජ්ාැපහ දf ඵැාසජසබැ යන්නයි. එහෙත් මේ අවධියේ මාධ්‍ය වාර්තා කළේ රුසියානු රජයෙන් සයිටම් සිසුන්ට ඒ රටේ නිෂ්නි නොව්ග්‍රෝද් ජාතික වෛද්‍ය ඇකඩමියේ එම්ඩී උපාධිය ලබා දෙන්නඨ හෝ සයිටම් සිසුන්ට නිෂ්නි ඇකඩමියට ඇතුළත් වෙන්නට කිසිම අවසරයක් දී නැති බවය. මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් සමඟ ආරම්භ වෙන සයිටම් ආයතනය යම් කාලයකදී මේ ගැටලු මගහරවාගෙන යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව කිවයුතුය. ඒ කියන්නේ ජීඑම්ඕඒ කියන තරම් සයිටම් යකා කළු නැත. සයිටම් ආරම්භය ගැන එහි පළමු කණ්ඩායමේ ශිෂ්‍යයෙකු රාවයට මෙලෙස අදහස් දැක්වීය. ඒ අදහස දෙසට මුලින්ම හැරෙමු.
“මුලින්ම කියන්න ඕනෑ කිසිම දෙයක් සර්වසම්පූර්ණ නැහැ. මම පළමුවැනි බැච් එකේ. ප්‍රශ්න තිබුණා. නැත්තේ නැහැ. හැබැයි කාලයත් එක්ක ඒ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා. සයිටම් පටන්ගත්ත තැන නෙවෙයි දැන් ඉන්නේ. දැන් ගොඩක් ඉස්සරහට ගිහිං. අපි පහසුකම් අතින් බැලුවොත් ආචාර්ය මණ්ඩලය අතින් බැලුවොත් දැන් රජරට සහ මඩකළපුව විශ්වවිද්‍යාලවලට සාපේක් ෂව ඉස්සරහින් ඉන්නවා. ජීඑම්ඕඒ එක සහ රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේකට මුල ඉඳලාම අකුල් හෙළුවා. නැත්තං අපි දැන් මීටත් වැඩිය ඉස්සරහ.”
අප මුලින් කී ලෙස සයිටම් 2009 අරම්භ වූ පසු එයට වෛද්‍ය උපාධි ලබාගැනීමට යම් ශිෂ්‍යයෙකුට තිබිය යුතු මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවාද යන්න සයිටම් අවුල් කරන්නට බලාගෙන ඉන්නා බොහෝදෙනෙක් ප්‍රශ්න කරමින් සිටිති. මොනවාද සැපිරිය යුතු සුදුසුකම්? අපි නැවත මුලින් අදහස් දැක්වූ ශිෂ්‍යයා දෙසට හැරෙමු.
“සයිටම් ආයතනයෙන් සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට වෛද්‍ය උපාධි ගන්න පුළුවන් කියන තැනට තමයි ජීඑම්ඕඒ එක සහ අන්තරේ, සමාජය මත හදලා තියෙන මතය. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් සමාජගත කිරීමක්. කෙනෙකුට සයිටම් එකට ඇතුල්වෙන්න ඕනෑ නම් උසස් පෙළ සී දෙකක් සහ එස් එකකින් ජීවවිද්‍යා විෂයන්වලින් සමත්වී තියෙන්න ඕනෑ. ඊළඟට සම්මුඛ පරීක්‍ෂණ තුනකට වාඩිවෙන්න ඕනෑ. ඒකේ අවසාන සම්මුඛ පරීක්ෂණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් ඉදිරියේ තමයි කරන්නේ. මම පුද්ගලිකව ගත්තොත් ජීව විද්‍යා අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණු කෙනෙක්. හැබැයි මට වෛද්‍යවරයෙක් වීමේ සිහිනයක් තියෙනවා. ඒ නිසා මම සයිටම් එකට ආවා. දැන් මම ලක්ෂ 55ක් වියදම් කරලා තියෙනවා. මට දැනගන්න තියෙන විදියට දැන් වර්තමානයේ ඇතුළු වෙන ශිෂ්‍යයෙක් රුපියල් ලක්ෂ 95ක් විතර ගෙවන්න ඕනෑ මේ සුදුසුකම ගන්න. හැබැයි අපිට තාම සීමාවාසික පුහුණුවට ලංකාව තුළ අවස්ථාව නැහැ. අපිත් මේ රටේ පුරවැසියෝ.”
මෙලෙස ආරම්භ වූ සයිටම් අධ්‍යාපන ආයතනය තුළින් කාණ්ඩ දෙකක් යටතේ මේ වනවිට 53 දෙනෙකු වෛද්‍ය උපාධි ලබා ඇත. ඒ අනුව පළමු කාණ්ඩයෙන් පුද්ගලයන් 24 දෙනෙකු අවසන් විභාගයට හිඳ එයින් 19 දෙනෙකු සමත්වී ඇත. ඊළඟ කාණ්ඩයේදී පුද්ගලයන් 38 දෙනෙකු අවසන් විභාගයට පෙනී සිට ඇති අතර එයින් 34 දෙනෙකු සමත්වී ඇත. සයිටම් ශිෂ්‍යයන් කියන ලෙස ඔවුන්ගේ විෂය නිර්දේශ මෙන්ම විභාග රටාවද කොළඹ වෛද්‍ය පීඨයේ ඒ ඒ දේට සමානය. මේ හඬට නැවත කන් දෙන්න.
“මම 2016 මැයි මාසේ තමයි මගේ අවසන් විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කොටසට මුහුණ දුන්නේ. ඒ ලංකාවේ මේ සීමාවේ ඉන්න කීර්තිමත්ම පුද්ගලයන්ගේ අධීක්‍ෂණය යටතේ. වෛද්‍ය රම්‍යා ද සිල්වා හිටපු ළමාරෝග විශේෂඥ, මහාචාර්ය මන්දික විජේරත්න, විශේෂඥ වෛද්‍ය ගයාන් මෙන්ඩිස්, හෘදය රෝග විශේෂඥ රුවන් ඒකනායක මේ අය මේ කලාපයේ අපිට ඉන්න සත්කීර්තිමත් මිනිස්සු නෙවෙයිද? ඇයි මේ මිනිස්සුන්ගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන විභාග පිළිගන්න බැරි?”
මේ අදහස් පිළිබඳව සාවධානව සිතීම කියවන ඔබට භාරය. එහෙත් මේ රැකියාව දේව කාරියක් නොව රැකියාවක් පමණක්ම බව අප තේරුම් ගතයුතුය. ජීඑම්ඕඒ කට්ටිය නැති දේවකාරියක් තමන්ගේ ඇඟට ආරෝපණය කරගෙන උද්දච්චව කාලයක සිට වැජඹෙනු පෙනේ. එහිම එක්තරා ප්‍රකාශනයකි මේ සයිටම් විරෝධය.

කෙණෙහිලිකම්
දැන් අපට ජීඑම්ඕඒ කෙණෙහිලිකම් ගැන කතා කළ හැක. අපි සයිටම් ශිෂ්‍යයා දෙසට නැවත හැරෙමු.
“සයිටම් මුලින්ම රුසියාවේ විශ්වවිද්‍යාලයක් එක්ක එකතුවෙලා තමයි මේ උපාධි දෙන්න තීරණය කරලා තිබුණේ. අපි වුණත් මේකට ඇතුල්වෙන්නේ ඒ පදනමින්. අන්තිමට ලංකාවේ වෛද්‍ය සභාව (එස්එල්එම්සී) එවක සභාපති මහාචාර්ය ලලිත මෙන්ඩිස් කියනවා එහෙම බැහැ ලංකාවේ උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න කියලා. ඊට පස්සේ කමිටුවක් එනවා. ඒකට එස්එල්එම්සී එකේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල කොමිසමේ නිලධාරීන්, ආචාර්යවරුන් ඇතුළු වෙනවා. ඔවුන් නිර්දේශ 21ක් ලබා දෙනවා. ඊළඟට තමයි රජයේ ගැසට් එක එන්නේ.”

මොකද්ද මේ ගැසට් පත්‍රය? සොයා බලමු.
“දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බණ්ඩාර දිසානායක වන මම, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්, වර්ෂ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කර ඇති සීමාසහිත දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය (පෞද්ගලික) ආයතනය පිළිබඳව එකී ආඥා පනතේ 70ක්‍ වගන්තිය ප්‍රකාරව ලබා ගත් වාර්තාව ප්‍රකාරව, මෙම නියෝගය මගින් හා මතු දැක්වෙන කොන්දේසි හා කාර්යසටහනට අනුකූලව, සීමාසහිත දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය (පුද්ගලික) ආයතනය ලංකාවේ උසස් අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගත් උපාධි පිරිනැමීමේ ආයතනයක් වශයෙන්ද, එනයින් වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී (MBBS) උපාධිය පිරිනැමීමට බලයලත් ආයතනයක් වශයෙන්ද පිළිගනු ලැබූ බව දන්වා සිටිමි.”
රජයේ පාර්ශ්වයෙන් සයිටම් ආයතනයට මෙලෙස නීත්‍යනුකූල පසුබිමක් පිරිනැමෙන විට එහි කාණ්ඩ හතරක ළමුන් අධ්‍යයනය කරමින් සිටින අතර ඒ කාණ්ඩ හතර සඳහා මේ ගැසට් පත්‍රය බලපැවැත්වෙන්නේ නැති අතර ඉන්පසු ඔවුන්ට තවත් වැඩිපුර වර්ෂයක් අධ්‍යයනය කරන්නැයි කියමින් තවත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වෙන්නේ 2013 වර්ෂයේදීය. තත්ත්වයන් මෙලෙස ගොඩනැගෙමින් යන අතර එස්එල්එම්සී සහ ජීඑම්ඕඒ දිගින් දිගටම මේ උපාධිය පිළිනොගන්නා අතර එහිම ප්‍රතිඵලයක් ලෙසටදෝ සයිටම් ශිෂ්‍යයන් සඳහා හෝමාගම රෝහල තුළ සැලසුම් කර තිබූ සායනික පුහුණුව සඳහාද අවස්ථාව නොලැබී යයි. ඊළඟට ඔවුහු විකල්පයක් ලෙස නවලෝක රෝහල, ආසිරි රෝහල, ගෝල්ඩන් කී රෝහල, ඕඒසීස්, වැනි පුද්ගලික රෝහල් තුළ තමන්ගේ සායනික පුහුණුවේ නිරතවූ බව කියති. ඊළඟට මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලද ගොඩනැගු බව කියයි. එස්එල්එම්සී සහ ජීඑම්ඕඒ සයිටම්හි ප්‍රමිතිය ප්‍රශ්න කරන ගමන්ම ඔවුන්ගේ සායනික පුහුණුවට මෙලෙස අකුල් හෙළීම අප තේරුම් ගතයුත්තේ කෙලෙසද? අනෙක් පැත්තෙන් පසුගිය රජය කල රාජපක්ෂවරුන් කොතලාවල වෛද්‍ය පීඨය නිමවන විට මේ සංගම් කොහේ හිටියාදැයි අපි නම් නොදනිමු.
අනෙක් පැත්තෙන් සයිටම් කියන්නේ මේ සංගම් කියන ඕනෑම විභාගයකට සහ අධීක්‍ෂණ යකට නියාමනයකට තම ආයතනය යටත්වී වැඩකිරීමට එකඟ බවය. එවැනි වටපිටාවක් තිබියදීත් මේ කෙනහිලිකම් දිගට පවත්වාගෙන යෑම තමන්ට තේරුම්ගත නොහැකි බවය. ඇත්තටම මේ සභාවල විරෝධය කුමක් අරබයාද? නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරගැනීම සඳහාද? නැතිනම් තමන්ගේ ආධිපත්‍ය පෙන්වීම සඳහාද? මේ සියලු තත්ත්ව යටතේ වුවත් සයිටම් ශිෂ්‍යයන්ට මේ වනවිට තමන්ගේ වෛද්‍ය උපාධිය නිමකර ගන්නට හැකියාව ලැබී තිබුණත් ඔවුන්ට රෝහල් තුළ සීමාවාසික පුහුණුව ලබාදීමට මේ සංගම් විරුද්ධ වීම නිසා වෛද්‍යවරුන් වීමට නොහැකිවී ඇත. ඒක හරියට රියදුරු විභාගයට ලියා පුහුණුවට වාහනයක් සහ පුහුණු රියදුරෙකුගේ අධීක්‍ෂණය නොලැබීම වැනිය. ඒ නිසා දැන් මේ ශිෂ්‍යයන්ට ලයිසන් නැත. අන්තිමට ඔවුන්ට ඒ ලයිසම ඉල්ලීම සඳහා අධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. එහිදී අධිකරණය කීවේ කුමක්ද?

නඩුව සහ ඇහෙන අවනඩු
සයිටම් ශිෂ්‍යයන්ගේ උපාධිය පිළිගෙන ඔවුන් ලියාපදිංචියට පියවර ගන්නැයි අධිකරණය දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් ලබාදී ඇත. ඒ පිළිබඳව පසුගිය 8වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ එස්එල්එම්සීය මුරණ්ඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. ඒ නිසාම මේ වන විට සයිටම් ආයතනය විසින් පවත්වන අවසාන විභාගයකින් වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ අවසරය අධිකරණය මගින් එම ආයතනයට ලබාදී ඇති බවය. විදේශ වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලැබ පැමිණෙන සිසුන්ට පවත්වන ඇක්ට්16 විභාගය සයිටම් ආයතනයේ සිසුන්ටත් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීම් කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවත් වැඩිදුරටත් කියන ඇමතිවරයා නඩු තීන්දුව පිළිගැනීමට අකැමැති නම් ඔවුන් කළයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම බවත් කියා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (එස්එල්එම්සී) සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 17 දින ප්‍රකාශයට පත් කරන බවය. එහිදී ඔහු වැඩිදුරටත් කියන්නේ තමන් අදාළ තනතුරේ කටයුතු කරන තෙක් හා සයිටම් නිසි ප්‍රමිතියට පැමිණෙන තෙක් ඔවුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබී යනු ඇති බවය.
මෙලෙස ප්‍රමිතිය ගැන කතා කරමින්ම නිසි ප්‍රමිතියක් ගොඩනගා ගන්නට ඔවුන්ට තිබෙන අවස්ථාව අහිමි කරමින් මේ සංගම් කටයුතු කිරීම පිළිකුල දනවයි. අනෙක් පැත්තෙන් නිසි ප්‍රමිතියකට නියාමනයකට තමන් කැමති බව සයිටම් කියද්දීත් ඔවුන් නැවත නැවත ප්‍රමිතිය ගැන කතා කිරීමද විහිලු සහගතය. රුසියාවෙන්, ඉන්දියාවෙන්, නේපාල යෙන්, බංගලිදේශයෙන් උපාධි ලබා පැමිණෙන ශිෂ්‍යයන් වෛද්‍ය සේවයට ඇතුළත් කරගැනීම සඳහා පැවැත්වෙන ඇක්ට් 16 විභාගය සයිටම් සිසුන්ට අකැපය. එස්එල්එම්සීය පිටරට මේ විශ්වවිද්‍යාල අධීක්‍ෂණය, නියාමනය කරනු ඇති බව මේ නිසා අපට සිතේ. එලෙස නියාමනය කරනවා නම් ඒ තියරියම සයිටම් සඳහා ආදේශ කරන්නට බැරි ඇයි අප ප්‍රශ්න කළ යුතුය.
අනෙක් පැත්තෙන් පිටරට ගොස් ඉගෙන ගැනීම නිසා රටට විශාල විදේශ විනිමයක් අහිමිවෙමින් තිබේ. ඒ මුදල සයිටම් මුදලාලිගේ සාක්කුවේ හෝ ඉතිරිවෙනවා නම් එය නරකද ප්‍රශ්න කළ යුතුය. අපට දැනගන්නට තිබෙන ලෙස දැනට මෙම ආයතනය තුළ විදේශ ශිෂ්‍යයෝද අධ්‍යයනය කරමින් සිටිති. එය රටේ ආර්ථිකයටත් හොඳය. ධනවාදය එක රැයකින් වෙනස්කර සමාජවාදී රාජ්‍යයකට යන්නට බැරි නිසා මේ අංශ වඩා ප්‍රායෝගිකව මෙන්ම ලෝකයට ගැළපෙන ලෙස තමන්ගේ අදහස් වෙනස් කරගත යුතුය.

ළිං මැඩි අන්තරය
සයිටමයට පක්ෂ පුද්ගලයන් අද කුණු ධනපතියන්, ලිබරලුන් වී ඇත. සයිටමයට විරුද්ධ වෙන පුද්ගලයන් සත්කීර්තිමත් සමාජවාදීන්, විමුක්තිවාදීන් බවට දැන් දැන් රූපාන්තරණය වී ඇත. ඔවුහු දැන් නිදහස් අධ්‍යාපනය සුරැකීමට කැපවී සිටින මුරබල්ලෝය. ඔවුහු අධ්‍යාපනය පුද්ගලික කරණය, විකිණීම වැනි බාල පරණ සටන් වැකිවලට මුවාවෙමින් අධ්‍යාපනය සඳහා සැමට තිබෙන අයිතිය මගහරින අතරම බෙහෙත් විකිණීම හොඳටම සහ ජඩ ලෙසම කරන එහිදී මිනිස් ජීවිත පයිසයකට ගණන් ගන්නේ නැති දොස්තර රංචුවක්ද, ඔවුන්ගේ කපටි බසටද සුජාතභාවයක් දෙමින්, නිරුවත්ව රඟමින් අන්න සයිටම් පාක්ෂිකයන් හෙළුවෙන් යනෝ යැයි කියමින් මුහුණු පොත තුළ උඩ පනිමින් සිටිති. මේ උඩ පැනීමේ සෙබළ බළකායේ ඉදිරියෙන්ම සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයයි. රාවය එහි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට කතා කළේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් නියෝජනය කරන සංගමය ප්‍රතිපත්තියක් ලෙස කඩ දමා අධ්‍යාපනය විකුණනවාට විරුද්ධ බවය. ජීඑම්ඕඒ සහ එස්එල්එම්සී මේ කඬේට කිසි ප්‍රමිතියක් නැතැයි කියන බවය. එහිදී නිසි ප්‍රමිතියක් සාදන්නේ නම් සයිටම් එකට පක්‍ෂ මතයකට මාරුවීමට සංගමය සූදානම් දැයි රාවය ඔහුගෙන් විමසූවිට ඔහු කීවේ තම සංගමය ඒ තත්ත්වය තුළ වුවත් විරුද්ධ බවය. එහෙනම් ප්‍රමිතිය පිළිබඳව ඔබ සංගමය ගෙනියන සටන් පාඨ වලංගු නැහැ නේදැයි රාවය විමසූ විට ඔහු කියාසිටියේ එය සත්‍යයක් බවය. එය එලෙස නම් සමාජවාදී විප්ලවය වෙනකම් ඔය සටන ගෙනියන්නට සිද්ධවෙන්නේ නැද්දැයි රාවය විමසූ විට ඔහු කියා සිටියේ සමස්ත ක්‍රමයේම වෙනසක් වනතුරු මේ අරගලය ගෙන යායුතු බවය. මේ කතාබහෙන් පසුව මේ ලියුම්කරුට සිතුණේ සයිටම් ශිෂ්‍යයන්ට දෙකෙන් එකක් වෙන්න සමාජවාදී රාජ්‍යයක් එනකම් සිටින්නට සිදුවන බවය. සයිටම් විරෝධී අනෙකුත් වාමවාදීන්ගේද තර්කනය මෙයම බව සිතාගැනීම අසීරු නැත. ඒ නිසා අවසානයට කියන්නට ඇත්තේ රජය ස්ථිර ප්‍රතිපත්තියක් මත සිටගෙන තීන්දු තීරණ මේ ගැටලුව සම්බන්ධයෙන් නොගත හොත් සයිටමයේ පමණක් නොව සමස්ත අධ්‍යාපනයද ලොකු අවුලකට යන බවය.■