මහින්ද ඇතුළු ඒකාබද්ධය සංවත්සරයට නෑ

තරිඳු උඩුවරගෙදර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර සමුළුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට තීරණය කර ඇති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සමුළුවට සහභාගි නොවන බවත් වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා විදේශ සංචාරයක් හේතුවෙන් පක්ෂ සමුළුවට සහභාගි නොවන බව 18 වැනිදා මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

අප කළ විමසීමකදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති සී.බී. රත්නායක පැවසුවේ තම කණ්ඩායමට පක්ෂ සංවත්සරයට ආරාධනා කර නොමැති බවත්, ආරාධනා කළද මේ වනවිට පක්ෂය එකතුවීමක් පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත්ය.

තම කණ්ඩායමට දඬුවම් ලබාදී සමුළුවට සහභාගි වන්නැයි කී පළියට එයට සහභාගි විය නොහැකි බවත් ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් ඔහු කීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා කිරීම සඳහා 22 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවත්, එහිදී නිල වශයෙන් පක්ෂ සමුළුවට සහභාගි නොවීමට තීරණය කරන බවත් අප සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කීය.
ශ්‍රීලනිප සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂ නායකත්වය පිළිනොගන්නා පළාත් පාලන මන්ත්‍රී සංසදය පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සංවත්සරය සැමරීමට සූදානම් බවය.

පසුගිය 17 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආසන සංවිධායක ධුර 16ක් සහ දිස්ත්‍රික් සංවිධායක ධුර 24ක් පිරිනමා තිබුණි. එහිදී ගාමිණි ලොකුගේ, කෝකිලා ගුණවර්ධන, සරත් කුමාර ගුණරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් බාලසූරිය, ඒ.එම්. බුද්ධදාස, උදිත ලොකු බණ්ඩාර යන ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ගේ ආසන සංවිධායක ධුර ඉවත් කොට තිබුණි. සංවිධායක ධුර පිරිනැමීමේ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා ඇත්තේ ඉදිරියේදීත් මෙවැනි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි.