වාහන ජාවාරමට සහාය දෙන්න උසාවියත් පාර්ලිමේන්තුවත් අබිබවා ගිය ඇමති මණ්ඩලය


vehicle

ලසන්ත රුහුණගේ

අධිකරණ තීන්දු වට පයින් ගසා වාහන ජාවාරම කට කැබිනට් අනුමැතිය යනුවෙන් පසුගිය සතියේ ඉදිරිපත් කළ හෙළිදරව්ව මෙම සතියටද දිගුවන බව කීවෙමු. එම කරුණටම අදාළ මුල් පුවතක් පළකරමින් අප කීවේ ‘වාහන ජාවාරමට සහන දෙන්න රවීගෙන් තවත් කැබිනට් පත්‍රිකාවක්’ යන්නය. එම මුල් පුවතට මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා පිළිතුරක් එවා ඇති අතර එය සහ ඊට පිළිතුරු ප්‍රවෘත්ති යටතේ පළකර ඇත. කෙසේ වෙතත් එම වාහන ජාවාරමට අයත් විස්තර ඇතුළත් ලිපිය ගැන කිසිවක් එහි සඳහන් කර නැත.
පසුගිය සතියට අදාළ එම සතියේ දිගුව ආරම්භයේදීම නැවත වරක් අපගේ මාතෘකාවට අයත් වෙහිකල්ස් ලංකා හා එහි හිමිකරු වන හර්ෂ ප්‍රභාත් සිල්වාගේ අතීත ක්‍රියාකාරකම්වලට යා යුතුමය. අප කිහිප අවස්ථාවකම ඒ පිළිබඳව සටහන් කර ඇතත් පාඨකයාට ඒ පිළිබඳව පහසුවක් ලබා ගැනීම සඳහාය.
ඒ වෙහිකල්ස් ලංකා සමාගම මුලින්ම සිදුකළේ අලුත්ම වාහන :ඊර්බා භැඅ* දෙකට කපා එම කොටස් දෙක දෙදෙනකුගේ නමින් වාහන අමතර කොටස් වශයෙන් හඳුන්වමින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමය. එහිදී වාහනයක් සඳහා බදු අයකිරීම සිදු නොවූ අතර බදු අය කරනු ලැබූයේ වාහන අමතර කොටස් සඳහාය. වාහනයක් දෙකට කපා ගෙනඒම රථවාහන අමතර කොටස් ගෙන්වීමක් නොවන නිසා මේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා රේගුවෙන් දැඩි විරෝධයක් තිබුණද දේශපාලන බලපුළුවන්කාරකම නිසා එකල එය වළක්වන්නට නොහැකි විය.
කෙසේ වෙතත් එම වාහන ලියාපදිංචියේදී විවිධ ප්‍රශ්න මතුවූ අතර නිෂ්පාදිත නාම යටතේ වාහන ආනයනයට හිමිකම් කී වාහන ආනයනකරුවෝ ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතූහ. එහිදී වෙහිකල්ස් ලංකා ආයතනය අධිකරණයට ප්‍රකාශ කළේ ‘ටොයොටා’ හෝ වෙනත් නාමයක වාහන අලෙවි නොකරන බවත්, ඔවුන් අලෙවි කරන්නේ ‘එම්පරර්’ ෑපචැරදර නමින් යුතු වාහනයක් බවත්ය. (ඇත්ත වශයෙන්ම අධිකරණයට එම කරුණු දැක්වීමට ප්‍රථම වෙහිකල්ස් ලංකා විසින් කොටස් දෙක එකතු කොට විකුණන ලද වාහන ධාවනය වුණේ ඒවාට හිමි නියමිත නිෂ්පාදන නාමයෙන්ය. කෙසේ හෝ අවසානයේ එම්පරර් යනුවෙන් හඳුන්වන වාහන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමට වෙහිකල්ස් ලංකා අවසර ලබා ගත්තේය.
නියම උපතක් නොමැති, කොටස් දෙකක් එකට යා කරන ලද එම්පරර් යනුවෙන් වූ වාහනයක් සතුකර ගැනීමට ගැනුම් කරුවන්ගේ අකමැත්ත ප්‍රකාශවීමත් සමඟ හර්ෂ ප්‍රභාත් සිල්වාගේ ව්‍යාපාරික කටයුත්ත අලුත් දිශාවකට මාරුවිය. ඒ අප දැන් කතා කරමින් සිටින ආකාරයට වාහන ගෙන්වීමටය. එනම් වාහනයක් කොටස් කිහිපයකට ගලවා අමතර කොටස් වශයෙන් හඳුන්වා ශ්‍රී ලංකාවට ආනයනය කිරීමය. මෙහිදී වෙහිකල්ස් ලංකා සඳහන් කළේ පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වා වාහන එකලස් කරන බවය. ඒ සඳහා ඔහුට ආයෝජන මණ්ඩල අනුමැතියක් ඇති බවද කීවේය. පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආඥා පනතට පටහැනිව ඒ සඳහා ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අවසරයක්ද රැගෙන තිබුණේය. (මෝටර් රථ ආඥා පනත අනුව පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් යොදා එකලස් කරන ලද වාහන ලියාපදිංචියට අවසර නැත.)
මෙම අලුත් වාහන සෙල්ලම සඳහා වෙහිකල්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණේ 2002 මාර්තු 15 වැනි දිනය. ඉල්ලීමෙන් සතියක කාලයක් ගතවීමටත් පෙර 2002 මාර්තු 21 වැනි දින ඊට අනුමැතිය හිමිවී ඇත. ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඉනුත් සති දෙකක් ඉක්ම යද්දී 2002 අප්‍රේල් 05 වැනි දින සිදුවී ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණායැ’යි සඳහන් වන්නේ 2004 මැයි 20 වැනි දිනය. ව්‍යාපෘතියේ යටිතල පහසුකම්වලට අදාළව 2003 වර්ෂයේ හා 2007 වර්ෂයෙත් ආනයනයන් දෙකක් සිදුකර ඇති බව සඳහන් වන අතර ඒ මොනවාද යන්න සඳහනක් ආයෝජන මණ්ඩලය සතුව නැත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 500ක් ආයෝජනය කරනවායැ’යි සඳහන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 385ක් දේශීය ආයෝජන වශයෙන්ද, ඉතිරි රුපියල් මිලියන 115ක මුදල විදේශීය ආයෝජන වශයෙන්ද සඳහන් වෙයි. ව්‍යාපෘතිය මගින් රැකියා 126ක් ජනනය කරනවායැ’යි සඳහන් කර ඇති අතර ඉන් එක් අයකු විදේශිකයකු වන අතර ඉතිරි 125 දෙනා දේශීය අයය. සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් නඳුන් හර්ෂ ප්‍රභාත් ද සිල්වාද, ඒ.කේ. පූජා චන්ද්‍රානිද සිල්වා හා ජපන් ජාතිකයකු වශයෙන් සඳහන් එස්. කටඕකා නම් කර තිබී ඇත.
දේශපාලන බලය මත ඉතාම කෙටි කලකින් එවැනි අරුම පුදුම ව්‍යාපෘති අවසරයක් ලබාගත්තද කුමක් හෝ හේතුවකට (මෝටර් රථ ආඥා පනත දැනගෙන හෝ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙහිකල්ස් ලංකාට දැනුම් දී ඇත්තේ අලුත් (බ්‍රෑන්ඞ් නිව්) වාහන අමතර කොටස් ගෙන්වා ඒවා එකලස් කිරීමේ කටයුතු සිදුකරන ලෙසය. ඊට එරෙහිව වෙහිකල්ස් ලංකා අධිකරණය හමුවට ගොස් ඇති අතර එය බේරුම්කරණයකට යොමු කර තිබේ. බේරුම්කරණයේ අවසන් තීන්දුවක්ද මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත. කෙසේ වෙතත් ව්‍යාපෘතියේ කොන්දේසි සපුරා නැතිකම නිසා (ගිවිසගත් ආයෝජනය සිදුනොකිරීම, රැකියා අවස්ථා ඇති නොකිරීම) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබා දුන් ව්‍යාපෘති අවසරය අවසන් කර ඇත.
ඒ අනුව, වාහන එකලස් කිරීම සඳහා, පාවිච්චි කරන ලද හෝ අලුත්ම හෝ වාහන අමතර කොටස් ගෙන්වීමේ කිසිදු අවසරයක් ශ්‍රී ලංකාවේ කිසිදු බලධාරි ආයතනයකින් වෙහිකල්ස් ලංකා සමාගමට ලබාදී නැති බව පැහැදිලිය. එබැවින් එම සමාගම විසින් වාහන එකලස් කිරීම සඳහා අමතර කොටස් ගෙන්වීමම නීති විරෝධීය.
ශ්‍රී ලංකා රේගුව එම අමතර කොටස් කන්ටේනර් මුදාහැරීම නවත්වන්නේද ඒ අනුවය. එම නීති විරෝධී කටයුතුවලට එරෙහිව කටයුතු කරමින් කන්ටේනර් මුදාහැරීම වලක්වන රේගු ප්‍රධානියකු වන රන්ජන් කනකසබේ මහතා අල්ලස් චෝදනාවලට හර්ෂ ප්‍රභාත් ද සිල්වා විසින් ලක් කරන්නේ එම කන්ටේනර් මුදාහැරීම අත්හිටුවීමත් සමඟය. එවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිට චෝදනා එල්ලවන්නේද මෙම නීති විරෝධීයැ’යි කියනු ලබන වෙහිකල්ස් ලංකාහි සුඛෝපභෝගී වාහනයක් ඔහු භාවිත කරමින් සිටි නිසාය. එම වාහන භාවිතය සම්බන්ධයෙන් ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ල අදටත් විමර්ශනය කරන අයුරක් දක්නට නැත.
කෙසේ වෙතත් රේගු ඇසට වැලි ගසා හෝ වෙනත් ආකාරයකින් ගෙන්වන ලද වාහන අමතර කොටස්වලින් සාදන ලද වාහන ගැනුම්කරුවන්ට විකිණීමෙන් පසු ඒවා ලියාපදිංචි කරගැනීම සඳහා වෙහිකල්ස් ලංකා සමාගම කාලයෙන් කාලයට අධිකරණයේ පිහිට පැතීම හෝ කැබිනට් මණ්ඩලයේ පිහිට පැතීම ඉතිහාසය පුරාම දක්නට ලැබුණු සුපුරුදු නාඩගමය. කැබිනට් මණ්ඩලය වාහන ගැනුම් කරුවන්ගේ සානුකම්පිත තත්ත්වය සලකායැ’යි මේ සෑම අවස්ථාවකදීම පාහේ අදාළ වාහන ලියාපදිංචියට අවසර ලබා දෙන්නේය. ඒ අනුව ෆවුසි අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී 2008 වර්ෂයේදී ඊට අවසර ලැබුණේය. අමතරව අධිකරණයේදීද සමථයන් හරහා ඊට අවසර ලැබෙන්නේය.
අප පසුගිය සතියේදී විස්තරාත්මකව පැහැදිලි කළ කැබිනට් අනුකමිටුව හා කැබිනට් මණ්ඩලය සඳහන් කරන 304/2011 අංක දරන ශ්‍රේෂ්ඨාධිකරණ සමථයද එයාකාරයේ සමථයක්ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා හා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම එහි ප්‍රධාන වගඋත්තරකරුවන්ය. නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය හා කැබිනට් මණ්ඩල ලේකම්වරයා එහි සෙසු වගඋත්තරකරුවන්ය. සමථය ඇතිකර ගත්තේ ප්‍රවාහන අමාත්‍යවරයා හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සමඟය. එකී සමථය වූකලි පාවිච්චි කරන ලද අමතර කොටස් යොදා වෙහිකල්ස් ලංකා සමාගම විසින් එකලස් කරන වාහන ලියාපදිංචි කිරීමටය. පවතින නීතියට පටහැනි වුවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයාත්, ප්‍රවාහන ඇමතිවරයාත් එම සමථයට එකඟවන්නේ ඇයි? විමසා බැලිය යුතු ප්‍රශ්නය එයය.
කෙසේ වෙතත් මෙම වාහන එකලස් කිරීමේ ව්‍යාපෘතීන් සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීන්දු තීරණ ගතයුතුයැ’යි කිසිදු අධිකරණ නියෝගයක් නොතිබියදී රාජපක්ෂ කැබිනට් මණ්ඩලයටවත් නොතිබූ වෙහිකල්ස් ලංකා සමාගම පිළිබඳ පුදුම කැක්කුමක්, වත්මන් මුදල් ඇමතිවරයාටත්, කැබිනට් මණ්ඩල අනුකමිටුවටත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත් ඇතිවූයේ කෙසේද යන්නද ගැටලුවකි.
මේ පුදුම කැක්කුම මුදල් අමාත්‍ය රවි කරුණානායකට මුලින්ම ඇතිවී තිබුණේ 2016 අගෝස්තු 29 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින්ය. පසුව එම කරුණම ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණේ 2016 සැප්තැම්බර් 29 වැනි දිනය. එහි විෂය වී ඇත්තේ ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත මේන්තුවේ ලියාපදිංචි නොවූ ශ්‍රී ලංකාව තුළදී එකලස් කර සාදනු ලැබූ මෝටර් වාහන ලියාපදිංචි කිරීම’ යන්නය. එම කැබිනට් පත්‍රිකා සඳහා ජනාධිපතිවරයා 2016 සැප්තැම්බර් 05, 2016 සැප්තැම්බර් 23 හා 2016 ඔක්තෝබර් 10 වශයෙන් සිය නිරීක්ෂණ තුනක් ඉදිරිපත් කර ඇති අතර අමතරව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
මේ සියලු නිරීක්ෂණවලින් අනතුරුව තීරණය කර ඇත්තේ නීතිපතිවරයාගේ අදහස්ද ඇතුළත් මුදල් අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමටය. නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුව රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ, සාගල රත්නායක හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත වී ඇත.
එම අනුකමිටුව විසින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා 2015 නොවැම්බර් 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත. එම නිර්දේශ වන්නේ ජපානයෙන් ආනයනය කරනු ලැබූ භාවිත කළ කොටස් යොදා එකලස් කළ වාහන වසරකට 750 බැගින් උපරිම වශයෙන් තෙවසරක් පුරා ලියාපදිංචි කිරීමට වෙහිකල්ස් ලංකා සමාගමට පමණක් අවසර ලබාදීම හා කොළඹ වරායේ තිබෙන්නාවූ එම සමාගම සතු ආනයනික කොටස් සහිත කන්ටේනර් 8 නැව්, ප්‍රමාද ගාස්තු නොමැතිව මුදාහැරීමට අවසර ලබාදීමය.
මෙහිදී නීතිපතිවරයා විසින් මුදල් ඇමතිවරයාට ලබාදී ඇතැයි කියන ඔහුගේ මතය බරපතළ සැකයකට තුඩු දෙන්නේය. මන්ද අංක 304/2011 නඩුවට පසු ඊටම ඈඳුණු වෙහිකල්ස් ලංකා සමාගම විසින්ම ඉදිරිපත් කරන ලද අංක 76/2013 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව, අංක 57/2013 දරන අභියාචනාධිකරණ නඩුව හා අංක 446/2014 දරන අභියාචනාධිකරණ නඩුවල තීන්දු පිළිබඳව නීතිපතිවරයා සිය අවධානය ලක් කර නැති නිසාය. එම නඩු තීන්දුවලදී අධිකරණය පැහැදිලිවම සඳහන් කර ඇත්තේ පැමිණිලිකරු 304/2011 අධිකරණ සමථයේ නොමැති ප්‍රතිපාදන ලබාගනිමින් අධිකරණයට පවා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. (එම නඩු පිළිබඳව පසුගිය සතියේදී විස්තර කර ඇත.)

ඒ අනුව කැබිනට් අනුකමිටුවේ නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලය සිදුකර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය තීන්දු තීරණ අබිබවා ගොස් තීන්දු තීරණ ගැනීමය. විධායකය නියෝජනය කරන කැබිනට් මණ්ඩලයට අධිකරණය තීරණයක් අබිබවා යා හැකිද යන ප්‍රශ්නය එහිදී පැන නගින අතර එය රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බවද සටහන් කළ යුතුය.
තවදුරටත් මෝටර් රථ ආඥා පනත අබිබවා කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත. ඒ භාවිත කළ අමතර කොටස් යොදා එකලස් කරන වාහන ලියාපදිංචියට එම පනත යටතේ අවසර නැති තත්ත්වයක් තුළදී වෙහිකල්ස් ලංකා සමාගමට පමණක් සීමාවන පරිදි එම අවසරය ලබාදීම මගින්ය. එහි තේරුම වන්නේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය අබිබවා විධායකය කටයුතු කර ඇති බවය. එයද වත්මන් ශ්‍රී ලංකා රාජ්‍යයේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අනෙක් බල ව්‍යුහයන් දෙකේ බලයට නීති විරෝධීව අතපෙවීමකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකූ කල එයද බරපතළ කරුණක් වේ.
කෙසේ වෙතත් මෙම සමස්ත සිද්ධියේදී කැපී පෙනෙනම කරුණ වන්නේ කිනම් පක්ෂයේ කිනම් පිලේ සිටියත් දූෂිතයන්ට තමාගෙන් සමාවක් නැතැයි කියන ජනාධිපතිවරයාද සිය ඡන්දය පමණක් නොව නිරීක්ෂණ තුනක්ද ඒ සඳහා ලබාදෙමින් මෙම වාහන ජාවාරමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබීමය. එහිදී මුදල් අමාත්‍යවරයාගේ රුපියල් 30 ලොතරැයි පත් රුපියල් 20 දක්වා පහත හෙළීම සඳහා යොදාගත් ජනාධිපතිවරයාගේ විධායක බලය රටට අතිවිශාල බදු මුදලක් අහිමි කරන මෙම වාහන ජාවාරමට එරෙහිව නම් ජනාධිපතිවරයා යොදාගෙන නැත. එය යොදාගෙන ඇත්තේ ජාවාරමකට සහාය දැක්වීම සඳහා අධිකරණයේ තීන්දු අබිබවා යෑමට හා ව්‍යවස්ථාදායකයේ නීති අබිබවා යෑමට පමණය.