අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (4)


viyangoda

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැ යි තවම කිව නොහැක්කේ, ඒ සඳහා වන නිශ්චිත කෙටුම්පතක් තවම සකස් වී නැති නිසා ය. කෙසේ වෙතත්, එම අලුත් ආණ්ඩුක්‍රමය තුළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීමත්, කේන්ද්‍රයේ (කොළඹ) බලය දැනට වඩා පුළුල් ආකාරයකින් පරිධිය/පර්යන්තය (යාපනය/හම්බන්තොට) සමග බෙදාහදා ගැනීමත් කළ යුතුව ඇතැයි පොදුවේ විශ්වාස කෙරේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදාහදා ගැනීම අතර සහසම්බන්ධයක් ඇතත්, ඒ දෙක එකක්ම නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පමණින්, බලය බෙදාහදා ගැනීමක් සිදුවන්නේ නැත. එසේම, බලය බෙදාහදා ගන්නා සෑම රාජ්‍ය ක්‍රමයක්ම, විධායක ජනාධිපති ක්‍රමයක් නැති, පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රටවල්මත් නොවේ. ඇතැම් රටක, විධායක ජනාධිපති ක්‍රමය යටතේ, බලය බෙදාහදා ගැනේ. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ගත හැකිය. තවත් රටක, පාර්ලිමේන්තුව ප්‍රමුඛ විධායක අගමැති ක්‍රමයක් යටතේ බලය බෙදාහදා ගත හැකිය. උදාහරණයක් වශයෙන්, ඉන්දියාව ගත හැකිය. මේ රටවල් දෙකම, ෆෙඩරල් රටවල් ය. එනම්, කේන්ද්‍රය සහ පරිධිය අතර බලය බෙදාහදා ගැනීමේදී, ඉතා පුළුල් මට්ටමකින් පරිධිය/පර්යන්තය කෙරෙහි වැඩි බර තැබෙන රාජ්‍ය ක්‍රමයකි.
ෆෙඩරල් ක්‍රමයට අනිත් පැත්තෙන් තිබෙන ක්‍රමය වන්නේ ඒකීය ක්‍රමයයි. එනම්, කේන්ද්‍රයට වැඩි බලයක් ලැබෙන සහ කේන්ද්‍රය විසින් බෙදාහැරෙන බලය කේන්ද්‍රය විසින්ම ඉතා පුළුල් මට්ටමකින් පාලනය කරනු ලබන රාජ්‍ය ක්‍රමයකි. මෙවැනි රටවල්වල පරිධිය/පර්යන්ත බලය දුර්වල කෙරෙන අතර, කේන්ද්‍රයේ බලය වඩාත් ශක්තිමත් කෙරේ. එහෙත් නූනත රාජ්‍ය පද්ධතිය තුළ, මේ කියන ඒකීය ක්‍රමය යටතේ පවා ඇතැම් තැනක, බලය බෙදාහදා ගන්නා ආකාරය, ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයකට සමාන ය. උදාහරණයක් වශයෙන්, ඒකීය ක්‍රමයේ මව් රට වශයෙන් ඓතිහාසිකව සැලකිය හැකි එක්සත් රාජධානිය ගත හැකිය. එහි රාජ්‍ය ඒකක හතරක් තිබේ. එනම්, එංගලන්තය, වේලසය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයයි. එක්සත් රාජධානිය හෝ මහා බි්‍රතාන්‍යය යැයි අප කියන විට, මේ ඒකක හතරම අයත් වෙයි. මේ සෑම ඒකකයකටම තමන්ගේම වන පාර්ලිමේන්තුවක් හෝ ජාතික රාජ්‍ය සභාවක් තිබේ. එපමණක් නොව, එක්සත් රාජධානිය වශයෙන් අප හඳුනා ගන්නා සමස්ත රටට පොදු ජාතික කොඩියකුත්, ඉහත කී ඒකකවලට වෙනම ජාතික කොඩිත් තිබේ. මෙයින් පෙනී යන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ වුවත්, බලය බෙදාහදා ගත හැකි සීමාව, ෆෙඩරල් ක්‍රමයක් තරමටම පුළුල් විය හැකි බවයි.
මේ නිසා, ලංකාවේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳ කතිකාව තුළ සලකා බැලිය යුත්තේ, ඒකීය ක්‍රමයක් සකසා ගන්නේද, ෆෙඩරල් ක්‍රමයක් සකසා ගන්නේද යන්නට වඩා, මොන තරම් බලයක්, මොන තරම් දුරකට බෙදාහදා ගත යුතුද යන්නයි. එය තීරණය කළ යුත්තේ අපේ ජාතික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අවශ්‍යතා සැලකිල්ලට ගැනීමෙනි.
එහිදී, ෆෙඩරල් යනු රට බෙදීමක්ය සහ ඒකීය යනු රට එක්සත් වීමක්ය යන දේශපාලනික මිථ්‍යාව මුලින්ම පසෙකින් තැබිය යුතුව ඇත. ෆෙඩරල් ක්‍රමයක් නිසා රටවල් කැඩී ගිය බවට හෝ යම් රටවල් කැඩී යාමක් ඒකීය ක්‍රමයක් නිසා වළක්වා ගත් බවට සාක්ෂි නැත. ෆෙඩරල් රාජ්‍යයන් වශයෙන් පැවති පැරණි සෝවියට් දේශය සහ යුගෝස්ලාවියාව කැඩී ගියේය. එහෙත් ඒ රාජ්‍යයන් කැඩී ගියේ, ෆෙඩරල් ක්‍රමයක් නිසා නොව, වෙනත් දේශපාලනික සහ ඓතිහාසික හේතු සමුදායක් නිසා බව කවුරුත් දනිති. ප්‍රජාතන්ත්‍රවාදී ලෝක ජනගහනයෙන් සියයට 56 ක් අද ජීවත් වන්නේ යම් මට්ටමක ෆෙඩරල් රාජ්‍ය ක්‍රම තුළයි. එසේම, ඒකීය ක්‍රමයක් සහිත රටවල් ක්‍රමයෙන් බලතල බෙදාහදා ගන්නා ක්‍රමයක් වෙතට (ඝානා, අයිවරි කෝස්ට්, බංග්ලාදේශය, ප්‍රංශය) විකාශය වෙනවා මිස, ෆෙඩරල් ක්‍රමයක සිට ඒකීය ක්‍රමයකට රාජ්‍යයන් විකාශය වන බවක් ලෝකයේ කොතැනකවත් දක්නට නැත. ඊට හේතුව කවරේද? යම් කිසි රටක බලය බෙදාහැරෙන තරමට, එම රට බෙදී වෙන් වීම වළක්වා ගැනීමේ ඉඩකඩ වැඩි බව මේ වන විට ප්‍රත්‍යක්ෂයෙන් (ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව) ලෝකයා අවබෝධ කරගෙන ඇති බැවිනි. මීට ඉහතින් කී ඒකීය රාජ්‍යයන් තුළ පවා (එක්සත් රාජධානිය, ප්‍රංශය) වැඩියෙන් බලය බෙදාහදා ගන්නා ක්‍රමයක් වෙත රාජ්‍යයන් පරිවර්තනය වෙමින් තිබෙන්නේ ඒ නිසා ය.
යම් රටක් භූගෝලීය වශයෙන් විශාල නම් (ඇමරිකාව, ඉන්දියාව) බලය බෙදාහදා ගැනීමක් සාර්ථක විය හැකි බවත්, ලංකාව කුඩා රටක් නිසා එවැනි ක්‍රමයක් නොගැළපෙන බවත් ඇතැම්හු කියති. එහෙත් භූගෝලීය වශයෙන් ලංකාවටත් වඩා කුඩා රාජ්‍යයන් වන ස්විට්සර්ලන්තය සහ බෙල්ජියම, ෆෙඩරල් රාජ්‍යයන් වන බව මේ අය අමතක කරති. වාර්ගික වශයෙන් වෙනස් ජාතීන් ජීවත් වන රටකට, ආගමික වශයෙන් වෙනස් ජන කොටස් ජීවත් වන රටකට, එම රට ලොකු වුවත් කුඩා වුවත්, බලය බෙදාහදා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එවැනි රටක බලය බෙදාහදා ගැනීමකින් තොරව, රටේ එක්සත්භාවයක් ගැන කතා කිරීමට පවා හැකියාවක් නැත. එහෙත්, එකම ජාතියක් සහ එකම ආගමක් ඇති රටකට වුවත්, බලය බෙදාහදා ගැනීම, වෙනත් අර්ථයකින් අර්ථවත් වෙයි. එනම්, ප්‍රජාතන්ත්‍රීය බලය අභ්‍යාස කිරීම, සම-ජාතීය සහ සම-ආගමික ප්‍රජාවකට වුව, අත්‍යවශ්‍ය වන බැවිනි. උදාහරණයක් වශයෙන්, ලංකාව සිංහල සහ බෞද්ධයන් පමණක් සිටින රටකැයි මොහොතකට සිතන්න. එහිදී, හැමදාමත් කොළඹ ප්‍රභූ පංතියෙන් තමන් පාලනය වනු දැකීමට, හම්බන්තොට හෝ බදුල්ලේ හෝ මොනරාගල වෙසෙන ජනතාව කැමති වනු ඇත්ද? නැත, ඔවුනුත්, තමන්ගේ කටයුතු පාලනය කර ගැනීමේ පූර්ණ අයිතියක් සහ සමස්ත රටේ කටයුතු පාලනය කිරීමේ ක්‍රියාවලිය තුළ විශේෂ පංගුවකුත් තමන්ට ඉල්ලා සිටිනු ඇත. ප්‍රදේශයක් වශයෙන් තමන්ගේ දියුණුව පිළිබඳ කර්තව්‍යය තමන්ගේ අතට ගැනීමට ඔවුන් කැමති වනු ඇත. පසුගිය දා ගෙන ඒමට ගිය ‘සංවර්ධන පනතට’ අපේ පළාත් සභා විරෝධය පෑවේ එම තර්කය මතයි. එනම්, තමන්ගේ පළාත් සභාවේ බලය ‘සුපිරි ඇමතිවරයෙකු’ විසින් පැහැර ගැනීමට තැත් කිරීමක් වශයෙන් එය දැකීම නිසා ය.
දකුණේ කැරලි දෙකක් ඇති වීම පසුපස පැවති ප්‍රධාන සාධකයක් වුණේ ප්‍රාදේශීය නොදියුණුවයි. ඒ ගැන කරන ලද විවිධ අධ්‍යයනයන් අපට තිබේ. තරුණ අසහනය සහ ග්‍රාමීය නොදියුණුව එකිනෙකට සම්බන්ධ ය. බලය බෙදා හැරීම යැයි කී පමණින්, උතුරට හෙවත් දෙමළාට බලය බෙදා හැරීම පිළිබඳ හැඟීමක් පමණක් දකුණේ දී ඉස්මත්තට එන්නේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළමු වරට දේශපාලනික බලය බෙදාහැරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය එන්නේ උතුරු නැගෙනහිර ඇති වූ කැරලිකාරී තත්වයක් ආශ්‍රයෙන් වීම නිසා ය. එහෙත් සත්‍ය වශයෙන්ම, ජාතික ප්‍රශ්නයට පිළියමක් වශයෙන් බලය බෙදා හැරීමට අමතරව, රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් බලය බෙදා හැරීමක් උතුරට සේම දකුණටත් වැදගත් වන බව බොහෝ දෙනා අමතක කරති. ඌව මෙතරම් අසංවර්ධිතව පවතින්නේ නිසි පරිදි බලය බෙදා හැරීමක් මෙතෙක් කල් සිදු නොවු නිසා යැයි මෑතකදී ඩිලාන් පෙරේරා ඇමතිවරයා ඉතා නිවැරදිව කියා තිබුණි.
71 කැරැල්ලේ සාමාජික සංයුතිය ගත් විට ස්ඵුට කෙරුණේ, බල කේන්ද්‍රයෙන් විතැන්ව සිටි සමාජ කොටස් මොන තරම් ප්‍රචණ්ඩකාරී විය හැකිද යන්නයි. එහි අනෙක් පස උත්ප්‍රාසය දැක ගත හැකි වුණේ 87-89 නැගිටීමේදී ය. බලයෙන් වියෝ වීමේ දුක්ගැනවිලි සහිත වින්දිතයන් වශයෙන් 71 දී කැරලි ගැසූ තරුණ ව්‍යාපාරයම, බලය බෙදා හැරීමට එරෙහිව 87-89 දී කැරලි ගැසුවේය. එය ඇති වුණේ ඉහත කී, උතුරු-නැගෙනහිරට බලය බෙදා හැරීම පිළිබඳව පැවති ස්වෝත්තමවාදී අගතියක් හේතුවෙනි.
ආර්ථික සහ සමාජයීය වශයෙන් ගත් විට ප්‍රාදේශීයව බලය බෙදා හැරීමත්, උතුරු නැගෙනහිර ප්‍රමුඛව තත්කාලීන වාර්ගික සහ ආගමික අවශ්‍යතා මත පදනම්ව බලය බෙදා හැරීමත්, අවසාන විග්‍රහයේදී ගත් විට, රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී දේහය ශක්තිමත් කරවයි. ඇතැමුන් කියන්නා සේ, ඒ මගින් බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් නොව, සත්‍යය වන්නේ ඒ මගින් බෙදුම්වාදය දුර්වල කරවන බවයි. එල්.ටී.ටී.ඊ, සංවිධානය ප්‍රචණ්ඩත්වය මත වැඩුණු සංවිධානයක් වුවත්, ඊට සරු පස සැපයුණේ, අසහනයට පත්ව සිටි දෙමළ සාමාන්‍ය සමාජයෙන් බව අමතක නොකළ යුතුය. දෙමළ ජනතා සහාය නොමැතිව, හුදෙක් ආයුධ බලයෙන් පමණක්, කිසි ව්‍යාපාරයකට ඒ සා දීර්ඝ කාලයක් විරාජමාන වීමට ලැබෙන්නේ නැත. විශේෂිත ජන කොට්ඨාසයක්, යම් ඓතිහාසික මොහොතකින් පසු, ජාතිය මත පදනම් වන දේශපාලනික අයිතියක් තමන්ට ඇතැයි සිතන අවස්ථාව පැමිණි විට, රටක එක්සත්භාවය සඳහා එම ජාතියේ අභිලාෂයට ආමන්ත්‍රණය කිරීමට මහ ජාතියට සිදු වෙයි. බෙදුම්වාදය එන්නේ ඊට ආමන්ත්‍රණය නොකර මහ ජාතිය එම ප්‍රශ්නය එක දිගටම මග හරින තරමට ය.■ (ඉතිරිය ඉදිරියට)