Saturday, 19/8/2017 | 5:25 UTC+0
රාවය

විල්ගමුවේ වැලි ගොඩදැමීම දුප්පතුන්ට පවරමුද

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වැනි පරිච් ඡේදයේ 28 වැනි ව්‍යවස්ථාවේ ඊ කොටසෙහි දැක්වෙන්නේ ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීමද ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම බවය. ඉහත මූලික යුතුකම නැවත නැවතත් මෙනෙහි වූයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී මහවැලි ගඟට සිදුකෙරෙන පාරිසරික සංහාරය නෙත ගැටුණු කල්හිය. ඉතිහාස ග්‍රන්ථවල මහවාලුකා නදී නමින් හැඳින්වෙන මහවැලි ගඟ එනමෙහි අරුතටම සරිලන ලෙසින් වැලි නිධිවලින් සුපෝෂිතය. මහවැලි ගඟ තරම් නූතනයේදී ඉදිකිරීම්වලට අවශ්‍ය වැලි සපයන තවත් ගංගාවක් මෙරටේ නැති තරම්ය. මහවැලි ගඟ වැලි ව්‍යාපාරිකයන්ට තෝතැන්න ක් වී ඇත්තේද එහෙයිනි. එහෙත් වැලි ගොඩ දැමීමෙන් ගඟත් ගඟ අවට පරිසරයත් විනාශයට පත්වීම කනගාටුදායකය.

ගුවන් පර්මිට්
මහවැලි ගඟෙහි වැඩි වශයෙන් වැලි ගොඩදැමීම සිදුවන්නේ මහියංගණය හා මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිට ත්‍රිකුණාමලය දක්වා වන ගඟෙහි පහළ කොටසේය. විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළද විශාල වශයෙන් වැලි ගොඩදැමීම දැකිය හැකිය. සෝනුත්ත, පේරකනත්ත, ගුරුවෙලයාය, මාරක, මල්ගම්මන, රදුන්නේවැව, දුණුවිලපිටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් වැලි ගොඩදැමීමේ බලපත්‍ර හාරසියයක් පමණ නිකුත් කර ඇති බව කියවෙයි. මෙය නිසි පරිදි ගණනය කරගත නොහැක්කේ කුමන ආකාරයෙන් ලැබුණේ දැයි කිවනොහැකි බලපත්‍ර වර්ගයක් නිකුත් කර ඇති බැවින්ය. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු නොවන මෙම බලපත්‍ර අදිසි හස්තයක මෙහෙයවීමෙන් සෘජුවම කොළඹින් ලැබෙන නිසාත් කෙලෙස ලැබෙනවාදැයි නොදන්නා නිසාත් නිලධාරීන් සහ ජනතාව මේවා හඳුන්වන්නේ ‘ගුවන් පර්මිට්’ ලෙසටය. කිනම් ආකාරයෙන් හෝ ලබාගත් බලපත්‍ර මත වුවත් වැලි ගොඩදැමීමෙන් සිදුවන්නේ මහවැලි ගඟට දැවැන්ත හානියක් සිදුකෙරෙමින්ය.

මහ විපතක්
වැලි තොටුපොළ ඇසුරේ අප කළ සංචාරයේදී ඇසූ දුටු දෑ අතිශය සංවේගජනකය. සිදුකර ඇති හා සිදුකෙරෙමින් පවතින විනාශය එතරම්ම දරුණුය. ගඟේ ඉවුර කපා සෑම තොටුපළකටම මාර්ග තනා තිබෙනු මෙහිදී දකින්නට හැකිය. ට්‍රැක්ටර් කෙළින්ම තොටුපළට රැගෙන යෑම සඳහා මෙම මාර්ග කපා තිබෙන හෙයින් ගඟේ ඉවුරට බරපතළ හානි සිදුව තිබේ. ඒ නිසා ගංවතුර සමයේදී ගඟේ ඉවුර ඛාදනය වීම නොවැලැක්විය හැකි අතර ඒ මාර්ග ඔස්සේ ගංවතුර ගමට කඩාවැදීමද ඉබේම සිදුවෙයි. මුල් අවධියේදී ගඟෙන් ට්‍රැක්ටරයට වැලි පටවා ඇත්තේ බැකෝ යන්ත්‍රවලින්ය. එයින් පෙනෙන්නේ ගඟ දියෙන් වැලි ගොඩදැමීමක් සිදුනොකර ගඟ දෑලේ ගොඩ ගැසී තිබූ වැලිපරවලින් වැලි ලබාගෙන ඇති බවය. ගම්වාවාසීන් පවසනුයේ වැලි අහවර වූ පසුව මතුවූ බොරලු පවා පසුගිය පාලන සමයේදී පටවා ගෙන ගිය බවය.
පවතින තත්ත්වය වන්නේ ගඟ දියෙන් ගොඩගන්නා වැලි බෝට්ටුවට පටවා රැගෙනවුත් ට්‍රැක්ටරයටත් ට්‍රැක්ටරයෙන් ගොඩටත් ගොඩදී ට්‍රක් රථවලටත් පැටවීමයි. ට්‍රැක්ටර් ගඟට බැස්සවීමත් තහනම් කර ගඟේ කට දක්වා පමණක් රැගෙන යෑමට අවසර දී ඇති නිසා වැලි ව්‍යාපාරිකයන් ගඟට තවත් විනාශයක් සිදු කර තිබේ. ඒ වැලි පැටවූ බෝට්ටුව ට්‍රැක්ටරය නවතා තිබෙන ස්ථානය දක්වා ගෙනඒමට සිදුකර ඇති උපක්‍රමය මගිනි. ගඟ දියේ සිට ඉවුර දක්වා ජලය රහිත ප්‍රදේශය හරහා බෝට්ටුව ගෙන යා හැකි ආකාරයට අගලක් කැපීම ඒ උපක්‍රමයයි. ඒ අතරම වැලි ගොඩදැමීම නිසා ගඟේ මතුවෙන විශාල ගල් බෝර දමා කඩාදැමීමද සිදු කෙරෙයි. වැලි පැටවූ බෝට්ටුවක් රැගෙනඒමට ගැඹුරු පුළුල් අගලක් කැපිය යුතුය. ගඟෙහි ජලයේ සිට ඉවුර දක්වා කපන විට වඩාත් ගැඹුරුවීමද නොවැලැක්විය හැකිය. ගඟේ ජලමට්ටමට අගලේ වතුර මට්ටමද තිබිය යුතු බැවින් එසේ නොකරද නොහැකිය. ඉදින් දළ වශයෙන් බැලුවහොත් මීටර් එකසිය පනහෙන් හෝ දෙසීයෙන් පමණ දුරින් ගඟට කැපූ පාරවල් හාරසීයක්වත් තිබෙන අතර ඒ හා සමානවම ගඟේ හරස් අතට කැපූ අගල් ප්‍රමාණයකුත් දැන් මේ ප්‍රදේශයේ තිබේ. එයද ගඟෙහි එක් පසෙකින් පමණය. අනෙක් පස වස්ගමුව රක්‍ෂිත වනාන්තරය බැවින් ඒ පසෙහි ගං ඉවුර ශක්තිමත්ය. දැඩි ගංවතුර අවස්ථාවකදී ගඟේ තොටුපළ ආශ්‍රිත ප්‍රදේශය දැඩි විනාශයකට ලක්වීම කිසිදු අයුරකින් නවතාගන්නට කිසිවෙකුටත් නොහැකිය.
ගඟේ එගොඩ වස්ගමුව කැලෑව මෙන්ම මෙගොඩ ද ආරක්‍ෂිත වන ගහනයක් ඇතත් මේ වනවිටත් ඒවා විනාශ වී ඇත්තේ වැලි ගොඩදමන්නන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පාරවල් ඉදිකිරීමෙන් ගොඩගන්නා වැලි රැස්කර තබන ස්ථානය සැකසීමටත් රක්‍ෂිතය විනාශ කර ඇති බව තොටුපළ අසලට ගිය කල්හි මැනවින් පැහැදිලි වෙයි. මෙයින් සිදුවන අවසන් ප්‍රතිඵලය ගඟ ඉවුරු කඩාවැටීමත් ගඟ ගැඹුරුවීමත්ය. මේ වනවිටත් සාමාන්‍ය ඉඩෝරයකදී පවා අසල්වැසි ගම්වල ළිං හිඳීයන්නේ ගඟෙහි ජල මට්ටම පහළ බැසීම නිසා බව ගම්මු කියති.
සාමාන්‍යයෙන් වැලි බලපත්‍රයකට වැලි ගොඩදැමීම සඳහා අවසර ඇත්තේ මසකට දින දොළහකි. දින දොළහ විසිහතර කරගන්නේ රාත්‍රී කාලයේත් වැලි ගොඩදැමීමෙනි. දින දොළහ තුළ ගොඩදැමිය හැකි වැලි කියුබ් ප්‍රමාණය බලපත්‍රය අනුව එකසිය අසුවේ සිට දෙසිය දහය දක්වා ප්‍රමාණයකි. මෙය නිසි ලෙස සිදුවේද යන්න නිරීක්‍ෂණය වන බවක්ද නොපෙනේ. එසේම වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමද ගැටලු සහගතය. එමෙන්ම වැලි ගොඩදැමීම සම්බන්ධ නිශ්චිත සංඛ්‍යා ලේඛනද සොයාගැනීම අපහසුය.

කම්බාහොරු සමඟ රිය අනතුරුත්
වැලි ගොඩදැමීමේ බලපත්‍ර හිමියන් සියල්ලෝ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අය නොවෙති. කොළඹ, නුවර, මාතලේ අයත් වැලි ගොඩදැමීමේ බලපත්‍ර ලබාගෙන තිබේ. එය ප්‍රජාතන්තිීය අයිතියක් වුවත් මේ බලපත්‍රලාභීන් පිළිබඳ කුකුසක් ඇත්තේය. ඒ බලපත්‍රලාභී නාමධාරියකු සිටියත් නියම අයිතිකරුවා පිළිබඳවයි. වසර හත අටකට ඉහතදී විල්ගමුවට රාජකාරියට පැමිණි නිලධා රීන්ගෙන් සමහරෙකුද වැලි ගොඩදැමීම්වලට සම්බන්ධ බව ප්‍රදේශයේ නිලධාරීහුම කියති. සමහර නිලධාරීන් තම භාර්යාවගේ නමින් වැලි ගොඩදැමීමේ බලපත්‍ර ලබාගෙන ඇතත් ඒ ගැන සොයන්නට ද කෙනෙක් නැත.
සමාන්‍යයෙන් එක් වැලි තොටුපළක් ආශ්‍රිතව ඒ, බී, සී, ඩී හා ඩී 1 යනුවෙන් බලපත්‍ර නිකුත් කරන අතර මෙවැනි අයට හිමිව ඇත්තේ බී, සී හෝ ඩී කාණ්ඩයේ බලපත්‍රය. බලපත්‍ර ලබාගැනීමට ලක්‍ෂ තුන හතරක මුදලක් වැයවෙන බව ප්‍රසිද්ධ කිරීම නිසා අහිංසක ගම්වැසියෝ බලපත්‍ර ලබාගැනීමට ඉදිරිපත් නොවෙති. එවැනි අයගේ නමින් බලපත්‍ර ලබාගැනීම නිලධාරීන්ගේ උපක්‍රමයයි. එවැනි තවත් තහවුරුවීමක් සිදුව ඇත්තේ අහඹුවටය. දිළින්දකු වූ පුද්ගලයකුට නිවෙසක් ඉදිකර ගැනීමට ප්‍රදේශවාසින් හා දානපතීන්ද රාජ්‍ය නිලධාරීන්ද මහත් උනන්දුවෙන් සහායදීමට ඉදිරිපත්ව ඇත. කරුණු සොයා බැලීමේදී ඔහු නමින් වැලි බලපත්‍රයක් ඇති බව උසස් නිලධාරියෙක් සොයාගත්තේය. ඔහුගේ නමින් බලපත්‍රයක් ඇති බව ඔහු පිළිගත් අතර එය මාතලේ ප්‍රදේශයේ අයෙකුගේ බව ඔහු කියයි. එහෙත් එකී පුද්ගලයාගේ නම ගම හෝ දුරකථන අංකයක්ද නොදනියි. රහස කුමක්දැයි ඕනෑම අයකුට වැටහෙනු ඇත. එවැනි බලපත්‍ර කොතෙකුත් ඇතත් හෙළිදරව් කරගැනීම තරමක් දුෂ්කරය.
ගොඩ දැමූ වැලි ගබඩා කර තැබීම තහනම් මුත් රහසේ වැලි ගබඩාකර තැබීමද දිගටම සිදුවේ. වැලි ගොඩදමන්නන් මෙන්ම අතමිට සරු පුද්ගලයෝද වැලි මිලදීගෙන ගබඩා කර තබාගන්නේ වැසි සමයේදී වැඩි මිලකට අලෙවි කිරීමටය. විල්ගමුවේ සෞඛ්‍යයට සම්බන්ධ ඉහළම නිලධාරියකුගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ සෞඛ්‍යයට වඩා තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතුය. ඔහුද එක් කලෙක වැලි ගබඩා කර තබාගෙන වැඩි මිලට විකුණූ අයෙකි. එක්තරා අවස්ථාවකදී පොලීසියේ විශේෂ කාර්ය බලකායෙන් ඔහුගේ වැලි ගබඩා අල්ලාගත්තත් ඔහුට තිබූ දේශපාලන හයිය නිසා නඩුවලින් බේරෙන්නට හැකි වූ බවද දැනගන්නට ඇත. මේවා විල්ගමුවේ අයට මෙන්ම ස්වාධීනව සිය රැකියා කරන රජයේ නිලධාරින්ටද රහස් නොවේ.
වැලි ප්‍රවාහනය නිසා අතුරු මාර්ග බරපතළ ලෙස විනාශවී තිබුණත් ඒ වෙනුවෙන් පියවරක් ගන්නට ඉදිරිපත්වෙන අයකු නැති තරම්ය. එතරම්ම වැලි මාෆියාව බලවත්ය. වැලි ප්‍රවාහනයට අවසර ඇත්තේ නිශ්චිත කාල සීමාවක් තුළ පමණක් වීම නිසා වැලි පටවන්නට එන දැවැන්ත ට්‍රක්රථ ධාවනය කෙරෙන්නේ පිම්මේය. එක අතකින් මේවා ධාවනය අතුරු මාර්ගවලට ඔරොත්තු නොදෙන අතර මහා මාර්ගයේදී අනතුරු බහුල වීමට හේතුවෙයි. හසලක සිට විල්ගමුව දක්වා දිවෙන මාර්ගයේ නිපොන් පාලම අසල වැලි ලොරි නිසාම සිදුවෙන අනතුරු බහුල ප්‍රදේශයක් වශයෙන්ද හඳුනාගෙන ඇත.
පැවති පාලන සමයේ විල්ගමුව ප්‍රදේශයේ වැලි මාෆියාවේ ප්‍රධානියා දේශපාලකයෙකි. ඔහු අණින් ක්‍රියාත්මක වූ වැලි සංගමයක් වැලි ප්‍රවාහනය කරන ලොරියකින් රුපියල් සීය බැගින් අයකිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. එයින් එකතු වූ රුපියල් කෝටි ගණනාවකට සිදුවූයේ කුමක්දැයි අදටත් දන්නා කිසිවෙකුත් නැති අතර සොයාබැලීමටද කිසිවෙකුත් නැත.
සමස්තයක් ලෙස ගතහොත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිළිඳුකමෙන් පෙළෙන ප්‍රජාවක් වෙසෙන ප්‍රදේශයකි. ප්‍රදේශයට වටිනා ආර්ථික සම්පතක් වන වැලි මේ ප්‍රජාවගේ දිළිඳුකම මඟ හරවා ගැනීමට යොදාගත නොහැකි මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැනනැගෙයි.
‘අපේ වැරදි ගැන විතරක් ලියනවා. අපි කරන හොඳ වැඩ ගැන ලියන්නේ නැහැ. අපේ බඩට ගහන්න තමා කවුරුත් එන්නේ. වැලි කර්මාන්තය නිසා විල්ගමුවේ විසිදහසක් විතර ජීවත්වනවා. ඒ අය හොඳින් කාලා බීලා ගෙවල් හදාගෙන ජීවත්වෙනවා. අපි නිසායි එහෙම වෙන්නේ. ඇයි ඔයගොල්ලා ඒවා ලියන්නේ නැත්තේ’ ලියුම්කරු වැලි තොටුපළවලට ගිය අවස්ථාවේ වැලි බලපත්‍රලාභියෙකු පැවසුවේ තරමක තර්ජනාත්මක විලාසයෙන්ය.
ඇත්තය. සමහරක් දෙනා වැලි ගොඩදැමීමෙන් කම්කරුවන් ලෙස දිනකට රුපියල් එක්දහස් පන්සීයේ සිට තුන්දහසක් අතර මුදලක් ගන්නා බවක්ද දැනගන්නට හැකිවිය. එහෙත් ඒ ඉතාමත් සුළු පිරිසකි. 34,844ක ජනගහනයෙන් යුතු පවුල් 10,230ක් පමණ වෙසෙන විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහන යෙන් 20,000කට වැලි ගොඩදැමීම ආශ්‍රිතව රැකියා හිමිව ඇතැයි යන්න කිසිසේත් පිළිගත නොහැකි අමූලික මුසාවාදයකි.

වැලි ඇසුරින් දිළිඳුකම පිටුදැකීම
වැලි යනු මහත් ආර්ථික සම්පතකි. එය පොදු ජනතාව සතුය. එහෙත් විවිධ හේතුන් නිසා එය බලවතුන්ගේ පමණක් ආදායම් මාර්ගයක් බවට පත්වී ඇත. විල්ගමුවේ වැලි ගොඩදැමීම එහිම දිළිඳු වැසියන් අතරට පත්කළ හැකි නම්, ඔවුන්ගේ දිළිඳුකමත් පරිසරය ආරක්‍ෂා කරගැනීමත් මැනවින් කළ හැකිය යන සංකල්පයක් ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එන් දිනිප්‍රිය ඉදිරිපත් කරයි. ඔහුගේ අදහස වන්නේ බහුතරයක් වන විල්ගමුවේ දිළිඳු ප්‍රජාවට විල්ගමුවේ වැලි ගොඩදැමීම භාරදිය යුතුය යන්නයි. ලංකාවේ දිළිඳුකම පිටුදැකීම සඳහා ගොඩනැගුණ දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කළ හැකිය. දිවිනැගුම ප්‍රතිලාභී පවුල්වල සාමාජීකයන් තෝරාගෙන ඔවුන්ගෙන් සැදුම්ලත් කුඩා සමුපකාර සමාගම් පිහිටුවා එම සමාගම්වලට වැලි ගොඩදැමීම භාර කළ හැකිය. හැකි තරම් මිනිස් ශ්‍රමය යොදාගෙන මෙය සිදුකිරීමෙන් පරිසරයට සිදුවෙන හානිය ද අවම වෙයි. ඒ අතරේ වනයට සිදුව ඇති හානිය මෙන්ම ගඟට සිදුව ඇති හානියත් ප්‍රතිසංස්කරණය කිරීමටත් අබලන් වන මාර්ග නඩත්තුව සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීමටත් හැකිවෙයි. මුලින් නියමු ව්‍යාපෘතීන් ලෙස වැලි තොටුපළ කිහිපයක් මෙම සමුපකාර සමාගම්වලට භාරදීමෙන් අත්හදාබැලීමක් කළහැකි වෙයි. එහෙත් මේ සඳහා පතල් කැණීම් හා භූ විද්‍යා පර්යේෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනද පෙරමුණ ගත යුතුවේ. දිවිනැගුම දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයාටත් මෙහි පෙරමුණ ගත හැකිය. පරිසරය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද මෙහි පෙරමුණ ගත හැකිය. ඒ එතුමා විසින්ම දෙදහස් දාහත වර්ෂය දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස හඳුන්වා දුන් බැවිනි. මේ සියල්ලන් පෙරමුණ ගන්නේ නම් ප්‍රාදේශීය ලේකම්වරයා අවශ්‍ය කටයුතු කරනු ඇත.
පොදු දේපොළ සුරක්‍ෂිත කොට ආරක්‍ෂා කිරීමද, පොදු දේපොළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව්‍යවස්ථාවද එවිට ඉබේම ක්‍රියාත්මක වී පොතට පමණක් සීමා වුණ වගන්තියක් නොවනු ඇත.■