Untitled-1

Untitled-1

ඩිජිටල් වෙළෙඳපොළේ සල්ලි උපයන අපේ තරුණ තරුණියෝ


nalaka

මාසේ අන්තිමට නිශ්චිත වැටු පක් අතට එන රැකියාවක් කරන්න බොහෝ දෙනකු කැමතියි. එහෙත් අප සමහරුන් එයට වෙනස්ව සිතනවා.
නිදහසේ වැඩ කරමින්, කරන වැඩට ගෙවීම් ලබමින්, එක් ආයතනයකට හෝ සේවකයකුට සීමා නොවී සිටින පිරිසක් සිටිනවා. දැනට දශකයක පමණ කාලයක් තිස්සේ මාත් එබන්දෙක්.
මෙවැනි අය පොදුවේ හඳුන්වන්නේ Freelanceres කියායි. 19 සියවස මුලදී බි්‍රතාන්‍යයේ භාවිතයට ආ මේ වචනයේ මුල් අරුත එක් ස්වාමියකුටවත් නතු නොවී කුලියට සටන් කළ හේවායන් යන්නයි. මෙහිදී Free කියන්නේ නොබැඳුණු යන අරුතින් මිස නොමිලයේ වැඩ කරන අරුතින් නොවෙයි.
Freelance වැඩ අද වන විට මාධ්‍ය, තොරතුරු තාක්‍ෂණ, නිර්මාණශීලි ක්‍ෂෙත්‍රවල පුළුල්ව හමුවනවා. එයට හරිහමන් සිංහල යෙදුමක් හදාගත යුතුයි. මගෙන් රැකියාව ගැන විමසන අයට මා කියන්නේ “කුලී වැඩ කරනවා” කියායි. එය බොහෝ දෙනකු විමතියට පත් කරන නිසා “නිදහස් වෘත්තිකයකු ලෙස ස්වයං රැකියාවේ නිරත වනවා” යන්න වඩාත් සුදුසුයි.
අද අප කථා කරන්නේ ඩිජිටල් ක්‍රමයේ Freelance වැඩ ගැනයි.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව 2016 මැද වන විට මෙරට විරැකියා ප්‍රතිශතය 4.6ක් වුණා. එහෙත් 15-24 අතර වයස් කාණ්ඩයේ විරැකියාව ජාතික සාමාන්‍යය මෙන් පස් ගුණයක් පමණ වුණා (22.2%).
මේ අතර නිදහස් වෙළෙඳ කලාපයන්හි කර්මාන්ත ශාලාවල රැකියා පුරප්පාඩු ලක්‍ෂ දෙකක් පමණ පුරවා ගත නොහැකිව පවතින බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (BOI) කියනවා.
මේ ගැන විවිධ විග්‍රහයන් අසන්නට ලැබෙනවා. BOI සභාපතිවරයා කියන්නේ බොහෝ තරුණයන් පාසල් හැර යෑමෙන් පසු ත්‍රීරෝද රියදුරු වැඩට යොමුවීම නිසා එයට වඩා විධිමත් රැකියා වෙත ඇති තරම් යොමු නොවන බවයි. වෙනත් අයගේ මතය නම් රැකියා අවස්ථා සහ කුසලතා වර්ධනය ගැන නිසි මාර්ගෝපදේශයක් නොමැතිකමින් බොහෝ තරුණ තරුණියන් පවතින රැකියා අවස්ථා ගැන හෝ ඒවාට අවශ්‍ය සුදුසුකම් ගැන නොදන්නා බවයි.
මේ විග්‍රහයන් සියල්ලේ යම් තරමක සත්‍යයක් තිබෙනවා. ඊට අමතරව අදාළ තවත් යථාර්ථයක් නම් පෙර මෙන් ඕනෑම රැකියාවක් කිරීමට අද තරුණ තරුණියන් සූදානම් නැති බවයි. ඔවුන්ගෙ ජීවන අභිලාෂයන් ඉහළ ගිහින්.
අඩු වැටුපකට, අයහපත් වාතාවරණයන්හි වැඩ කිරීමට ඔවුන් බොහෝ දෙනා කැමති නැහැ. රටක් ටිකෙන් ටික දියුණු වෙද්දී ශ්‍රම වෙළෙඳපොළද පරිණත වනවා. තරුණ ආකල්ප වෙනස්වීම එහි එක් ලක්‍ෂණයක්.
මේ වෙනස් වූ ආකල්ප ගැන තරුණ තරුණියන්ට දොස් කියා පලක් නැහැ. සමාජයක් හැටියට අප කළ යුත්තේ ඉහළ ගොස් තිබෙන තරුණ අභිලාෂයන්ට සරිලන විධියේ රැකියා අවස්ථා වැඩියෙන් උදා කර දීමයි.
ඒ කියන්නේ බුරුතු පිටින් උපාධිධාරීන් හෝ ඩිප්ලෝමාධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම නම් නොවෙයි. ආර්ථික වර්ධනය හරහා වෙළෙඳපොළ තුළින්ම විවිධාකාරයේ රැකියා අවස්ථා ජනනය වීමට සැලැස්වීමයි. මෙයට පෞද්ගලික අංශයේ රැකියා මෙන්ම ස්වයං රැකියාද අයිතියි.
මේ ගැන මෑතදී අදහස් දැක්වූ ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ කියනවා. “අඩු මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස සැමදා එම පරාසයට කොටු වී නොසිට ඉහළ ආදායම් රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නම්, ශ්‍රම වෙළෙඳපොළේ දැනට සක්‍රීය නොවී පසෙකට වී බලා සිටින අපේ තරුණ තරුණියන්ට උවමනා ආකාරයේ රැකියා අවස්ථා අප ඉපදවිය යුතුයි. අව්වට වේලෙන, වැස්සට තෙමෙන රැකියාවලට ඔවුන් කැමති නැහැ. අග්‍රාමාත්‍යවරයා මෑතදී කී පරිදි මාසයකට රු. 40,000- 45,000ක් ආදායම් උපයන රැකියා අවස්ථා වඩවඩාත් බිහි විය යුතුයි.”
මහාචාර්ය සමරජීව කියන හැටියට මෙවන් රැකියා මෙරටම ඇති තරම් පවතියි නම් මැද පෙරදිග හා වෙනත් විදේශයන්හි රැකියා කරන අපේ ජනයාගෙන් සමහරුන් යළිත් මෙරටට එන්නට කැමති වේවි. එසේම ත්‍රිරෝද රථ එළවීමට යොමුවී හන්දි ගානේ, කල් ගත කරන තරුණයන් ඊට වඩා සක්‍රීය, පලදායික හා වැඩි ආදායම් ලබන රැකියාවලට යොමු වේවි.
එහෙත් මෙවැනි රැකියා ඇත්තේ කොහේද? කාර්යාලගත රැකියා ඇති තරම් ජනනය කිරීමට මෙරට පෞද්ගලික අංශයට හැකිද? එසේ රැකියා අවස්ථා බිහි කළත් ඒවාට අවශ්‍ය හා ගැළපෙන නිපුණතා හා ආකල්ප අපේ බහුතරයක් තරුණ පිරිසට තිබේද?
මේවා අධ්‍යාපන ක්‍රමයටද බැඳුණු මහා ප්‍රශ්නයි. ඒවාට ඉක්මන් විසඳුම් සොයන්න අමාරුයි. ශ්‍රම වෙළඳපොළ නවීකරණය කිරීමත්, එයට ගැළපෙන නිපුණතා සහිත තරුණ තරුණියන් අධ්‍යාපනය හරහා බිහි කිරීමත් ප්‍රතිපත්ති මට්ටමේ ජාතික ප්‍රමුඛතාවන් වනවා.
රජය හෝ සමාජය මේ ප්‍රතිසංස්කරණ කරන තුරු බලා නොසිට, තමන්ගේම දැනුමෙන් හා ධෛර්යයෙන් නව ආදායම් මාර්ග උපයා ගන්නා මෙරට තරුණ පිරිස වැඩි වෙමින් තිබෙනවා.
ඉන්ටර්නෙට් හරහා සල්ලි උපයා ගන්නා ක්‍රම ගැන විටින්විට ආරංචි පැතිරෙනවා. එයින් සමහරක් බොරු ප්‍රචාර. තවත් සමහරක් වංචනික ක්‍රියා. දැන ගියොත් ඉන්ටර්නෙට් නොදැන ගියොත් අතරමග යයි මා නිතර කියන්නේ ඒ නිසායි.
ඉන්ටර්නෙට් යනු ලෝක ව්‍යාප්ත වේදිකාවක්. එහි දැනුම මෙන්ම වෙළෙඳපොළ අවස්ථාද තිබෙනවා. ආගිය කථා කරමින් ෆේස්බුක් එකට කොටුවී නොසිට ඉන්ටර්නෙට් අවකාශයේ වෙනත් පරාසයන් ගවේෂණය කරන අපේ දක්‍ෂ තරුණ තරුණියෝ ඒ හරහා ඩිජිටල් වැඩ ලබා ගෙන ඒ සේවා වෙබ් හරහාම ලබාදී හොඳ ආදායම් උපදවා ගන්නට සමත්ව සිටිනවා.
මෙය ශ්‍රම වෙළෙඳපොළේ නව ප්‍රවණතාවක්. තවමත් වැඩි දෙනකු නොදන්නා, නොදුටු පැතිකඩක්.
මොනවාද මේ වෙබ් හරහා සොයා ගත හැකි ආදායම් ඉපදවීමේ අවස්ථා? වෙබ් අඩවි සැලසුම් කිරීම, ග්‍රැෆික් ඩිසයින් වැඩ, වෙබ්ගත අලෙවිකරණය, පරිවර්තන කටයුතු, ගිණුම්කරණයට සම්බන්ධ වැඩ මෙන්ම පිටපත් ලිවීම ආදියත් මේ අතර තිබෙනවා. මෙබඳු වැඩ ලබාදෙන අය ලෝකයේ ඕනෑම තැනෙක සිටින්නට පුළුවන්. වෙබ්ගත ගනුදෙනුවලදී දුර ප්‍රශ්නයක් නොවෙයි.
මේ සමහරක් වැඩ පැය කිහිපයකින් නිම කර දී ගෙවීමක් ලද හැකි ඒවා. තවත් වැඩ දින සති හෝ මාස ගණනක් ගත විය හැකි, වඩාත් සංකීර්ණ ඒවා. ගෙවීම් කරනු ලබන්නේ හමාර කරන වැඩයට (output) මිස ඒ සඳහා මිඩංගු කරන කාලයට නොවෙයි. ඉක්මනට හා කාර්යක්‍ෂමව හොඳින් වැඩ කරන අයට වැඩි වැඩ ප්‍රමාණයක් කොට ආදායම් ඉහළ නංවා ගත හැකියි.
වෙබ්ගතව වැඩ කරන අයට එම අවස්ථා සලසා දෙන විශ්වසනීය වෙබ් වේදිකා බිහිව තිබෙනවා. ලාංකිකයන් අතර දැන් ප්‍රචලිත මෙවන් වේදිකා තුනක් නම් Fiverr,
Freelancer සහ Upwork. දුරස්ථව ඩිජිටල් කාරියන් කරවා ගැනීමට අවශ්‍යතා ඇති පුද්ගලයන් මෙන්ම සමාගම් මේ වේදිකාවලට විත් තමන්ට ගැළපෙන හැකියාවන් හා අත්දැකීම් ඇත්තවුන් සොයනවා.
මෙවන් වේදිකාවක ඩිජිටල් හපන්කම් ඇති තරුණ තරුණියන් ගිණුම් අරඹා තමන් කුසලතා හා අත්දැකීම් එහි සටහන් කර තිබෙනවා. මෙරට වඩාත් ජනප්‍රිය Fiverr වේදිකාවයි (www.fiverr.com).

වැඩ කරවා ගන්න අවශ්‍ය පාරිභෝගිකයෝ කල් තබා අදාළ ගාස්තුව එම වේදිකා පරිපාලනයට ගෙවනවා. ඉන් මිලදී ගන්නා හා සේවාව සපයන්නා අතර පසු වැඩ ගැන සෘජුව සන්නිවේදන කැරෙනවා.
මෙවන් ඩිජිටල් වැඩවලට පොදුවේ ගිග් (Gig) කියා කියනවා. ගිග් එකක් නිම කර හමාර වූ පසුව වේදිකා පරිපාලකයෝ අදාළ ගෙවීමෙන් 20%ක් රඳවා ගෙන ඉතිරි 80% සේවාව සැපයූ තැනැත්තාට ගෙවනවා. ඩොලර් 10ක වැඩක් කළොත් ඩොලර් 8ක් ලැබෙනවා. ඩොලර් 100ක වැඩකට ඩොලර් 80ක් ආදි වශයෙන්.
මෙරට ප්‍රථම වරට මේ ගැන සමීක්‍ෂණයක් කරනු ලැබුවේ ලර්න් ඒෂියා ( L I R N E a s i a ) පර්යේෂණායතනය විසින් ගිය වසරේදීයි. විශාල නියැදියක් (5,377) යොදා ගෙන දීපව්‍යාප්ත වශයෙන් පැතිරුණු වයස 16 සිට 40 දක්වා ලාංකිකයන් පිරිසකගෙන් වෙබ්ගතව ලබා ගත හැකි වැඩ (Online free lancing) ගැන කෙතරම් දැනුවත්දැයි විමසනු ලැබුවා.
මෙවැනි අවස්ථා ගැන දැන සිටියේ නියැදියෙන් 26%ක් දෙනා පමණයි. එසේ දත් අය අතරින් 11%යි, එබඳු ඩිජිටල් ආදායම් මාර්ග ගවේෂණයට කැමති වූයේ.
ලර්න්ඒෂියා සමීක්‍ෂණ යට අනුව මෙසේ වෙබ්ගත ඩිජිටල් වැඩ කොට ආදායම් උපයා ගන්නා තරුණ තරුණියන් 17,000 – 22,000 අතර සංඛ්‍යාවක් ගිය වසර වන විට මෙරට සිටියා.
ඔවුන්ට දිනපතා වැඩ නොලැබුණත් මසකට දින කිහිපයක් වැඩ කොට සමාන්‍යයෙන් මසකට 20,000 – 30,000 අතර ආදායමක් ලබන බව හෙළි වුණා. දක්‍ෂයෝ මීට වඩා උපයනවා. මසකට රුපියල් 50,000 සහ ලක්‍ෂ දෙකක් අතර ගණන්.
මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිර සිටින බවයි සමීක්‍ෂණයෙන් හෙළි වූයේ. එනම් නගරවලට සීමා වී නැහැ. :ඉන්ටර්නෙට් පහසුකම් භාවිත කරන ලක් ජනගහනයෙන් 30%ක ජන සංඛ්‍යාව ගම් හා නගර හැම තැනෙකම හමුවනවා.*
ලර්න්ඒෂියා සමීක්‍ෂණය මෙහෙය වූ සුදාහරන් පෙරම්පලම් කියන්නේ වෙබ්ගත නිදහස් වැඩ කිරීමෙන් ලබන ආදායම් හරහා මේ තරුණ තරුණියන්ගේ ජීවිත විපර්යාසයකට පත්වන බවයි.
‘ඕනෑම කෙනකුට අදාළ වෙබ් වේදිකාවක ගිණුමක් අරඹන්න පුළුවන්. නිතිපතා වෙබ්ගත reelance වැඩ සඳහා ඉල්ලුමක් ටිකෙන් ටික ගොඩ නංවා ගත හැකියි. තමන්ගේ කුසලතා හා අත්දැකීම් හුවා දක්වා තරගකාරී ලෙසින් වැඩ ආකර්ෂණය කර ගත යුතුයි. මුලදී ටිකක් දුෂ්කර වුවත් ටික කලකින් මේ ක්‍රමය අපේ අය ප්‍රගුණ කරනවා. කල් යත්ම ඔවුන් බහුතරයකට නිතිපතා වැඩ හා ආදායම් ගලා එනවා” පෙරම්පලම් කියනවා.
මේ වැඩට යම් මූලික ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි. එහෙත් සන්නිවේදනය සිදු වන්නේ වෙබ් හරහා බොහෝ විට චැට් මඟින්. මේ නිසා ඉංග්‍රීසි කථන හැකියාව මෙතැනදී එතරම් වැදගත් නෑ.
වෙබ්ගත freelance වැඩ කරන බොහෝ තරුණ තරුණියෝ තවමත් මාපියන් සමඟ ජීවත්වන, වයස විසි ගණන්වල පසුවන අයයි. එහෙත් මවුපියන්ට බරක් නොවී තමන්ගේ අවශ්‍යතා සඳහා නම්බුකාර විදියට ආදායමක් උපයා ගන්නට ඔවුන් සමත්. මෙයින් බොහෝ දෙනකු නිවසේ සිට ඩිජිටල් වැඩ කරනවා. නැතිනම් සයිබර් කැෆේ එකකින් ඉන්ටර්නෙට්ගත වෙනවා.
මේ පුරෝගාමී ඩිජිටල් ශ්‍රමිකයන් මුහුණදෙන අභියෝග ද තිබෙනවා. 2017 අයවැය හරහා මෙරට දත්ත සන්නිවේදන බදු වැඩි කිරීම නිසා ඉන්ටර්නෙට් (ඬේටා) සබඳතාවලට යන වියදම ඉහළ ගියා. සුළු පරිමාණ ඩිජිටල් ස්වයං රැකියාවල නියුතු අයට මෙය අමතර බරක්.
“මූල්‍ය ප්‍රතිපත්තිවල එක් මූලධර්මයක් වන්නේ යමක් ප්‍රවර්ධනය කිරීමට හා ප්‍රචලිත කිරීමට අවශ්‍ය නම් එයට අමතර බදු නොපැනවිය යුතුය යන්නයි. මෙවර අයවැය එය නොතකා හැර ටෙලිකොම් ක්‍ෂෙත්‍රයට බදු බර වැඩි කොට තිබීම ඉතා කනගාටුදායකයි. දරා ගත හැකි මිලට ඉන්ටර්නෙට් සේවා රටේ පැවතීම හරහා ආර්ථික වර්ධනයට එය දායක වන අතර සයිබර් සාක්‍ෂරතාව වැඩි වී, මහජනයාට අමතර ජීවිකා මාර්ගයන් විවර වනවා.” යයි මහාචාර්ය සමරජීව කියනවා.
ශ්‍රී ලංකාවේ සිට ලෝක තොරතුරු වෙළෙඳපොළට සිය ඩිජිටල් ශ්‍රමය හා නිර්මාණශීලිත්වය අලෙවි කරන තරුණ තරුණියන් නිහඬව මෙරට විදේශ විනිමය උපයා දෙනවා. දැනට ඔවුන් ගෙවීම් ලැබීමේ ක්‍රම සීමිතයි. කෂුද්‍ර ගෙවීම් ක්‍රමයක් (micro payment service) වන PayPal තවමත් මෙරටට එන විදෙස් ගෙවීම් සඳහා විවෘත නැහැ.
එසේම Broadband හෙවත් පුළුල්පථ යයි කීවද ඉන්ටර්නෙට් සබඳතා සමහරක වේගය නිතර අඩාල වීමද මේ අය මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. සමහර ප්‍රදේශවල නිතර විදුලිය ඇනහිටීම නිසාත් ඩිජිටල් ශ්‍රමිකයෝ අපහසුතාවට පත් වනවා.
ඩිජිටල් වැඩ වෙබ් හරහා කිරීමෙන් කන්තෝරු රැකියා මානසිකත්වයට විකල්පයක් සොයාගත හැකියි. එසේම අනාගතයේ දිනෙක කාර්යාලගත රැකියා කිරීමට ශ්‍රම වෙළෙඳපොළේ මෘදු කුසලතා (soft skills) දියුණු කර ගන්නත් වෙබ්ගත වැඩවලින් තරුණ තරුණියන්ට අත්දැකීම් ලැබෙනවා.
වෙලාවට වැඩ කරන, නිසි ප්‍රමිතියට වැඩ නිමා කරන, හොඳ ශික්‍ෂණයකින් යුත් ඩිජිටල් ශ්‍රමිකයෝ වැඩි ඇගැයීමට ලක් වනවා. මේ වෙබ්ගත වැඩ කිරීම තුළින් කාලය කළමනාකරණය, නිසි සන්නිවේදනය ආදි කුසලතා වර්ධනය වනවා.■