Saturday, 19/8/2017 | 5:25 UTC+0
රාවය

රට ගිනියම් වීම හා පුනරුදයේ සිසිලස

වික්ටර් අයිවන්

රට තිබෙන්නේ තිබෙන අවුල් විසඳාගන්නා තත්ත්වයක නොව, ඒවා වර්ධනය කරගනිමින් නැති අවුල්ද ඇතිකර ගන්නා තත්ත්වයකය. ඒ නිසා රට ගිනියම් වන තත්ත්වයකට යමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. ප්‍රශ්න තිබෙන අය සිටින්නේ මහ පාරේය. මහපාරේ සිටින උද්ඝෝෂකයන් පලවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම දැන් හැමදාම පාහේ සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.
සයිටම් ප්‍රශ්නය තිබෙන්නේද පුපුරනසුලු තත්ත්වයකය. ඊට අදාළව අභියාචනාධිකරණය ලබාදී තිබෙන නඩු තීන්දු අප්‍රසිද්ධ විවාදයන්ට ලක්වී තිබෙන වැදගත් මාතෘකාවක් බවට පත්වී තිබේ. අධිකරණය කියන්නේ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වන නිසා අධ්‍යාපනය ලැබිය යුත්තේ රජයේ ආයතනයකින්ද, නැත්නම් ගාස්තු ගෙවන ආයතනයකින්ද යන්න තීරණය කළයුත්තේ අධ්‍යාපනය ලබන අය බවය. විශ්වවිද්‍යාල හෝ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ නීති අනුව ගාස්තු ගෙවා ලබන අධ්‍යාපනය නීති විරෝධී දෙයක් නොවන බවද ඒ දෙකෙන් එකක් තෝරාගැනීමට මහජනයාට තිබෙන අයිතිය අහිමි කළහොත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් ලෙස සලකන්නට සිදුවන බවත්ය.

සයිටම් ආරාවුල
ඒ දක්වා වන අධිකරණයේ නිරීක්ෂණ නිවැරදිය. ගාස්තුවක් අය කොට උපාධි අධ්‍යාපනය ලබාදෙන ආයතන සම්ප්‍රදාය නැති කළ නොහැකිය. ලංකාවේ එවැනි ආයතන අතර උසස් ප්‍රමිතියක් පවත්වාගෙන යන ආයතන සේ ම හොඳ ප්‍රමිතියක් නැති උපාධි කඩ ලෙස සැලකිය හැකි ආයතනද තිබෙන්නේය. එසේම ඉතාමත් අසාධාරණ ලෙස ගාස්තු අය කරන ආයතනද ඒවා අතර තිබෙන්නේය. එවැනි විසමතා ජයගත යුතුව තිබෙන්නේ නියාමන ක්‍රමයක් ඇති කිරීම මගිනි. අනෙකුත් සියලු විෂය ධාරා සඳහා ගාස්තු අය කොට උපාධි අධ්‍යාපන ක්‍රමයක් පවතී නම් වෛද්‍ය උපාධිය සඳහා පමණක් එම ප්‍රතිපත්තියක් වලංගු නොවීමට සාධාරණ හේතුවක් තිබිය නොහැකිය.
එහෙත් විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේදී ඒ සඳහා අධ්‍යාපනය ලබාදෙන ආයතන උසස් ප්‍රමිති තත්ත්වයක තිබිය යුතුය. වෛද්‍ය සභාව මෙතෙක් ඉදිරිපත් කරන ලද වාර්තා විශාල සංඛ්‍යාවකින් කියා තිබෙනුයේ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිති තත්ත්වය සයිටම් ආයතනයේ නැති බවය. වෛද්‍ය සභාවේ එම නිරීක්ෂණ සත්‍යයක් නම් එය යහපත් තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ගුණාත්මක වශයෙන් හොඳ වෛද්‍යවරයෙකු බිහිකිරීමට අවශ්‍ය පහසුකම් නැති ආයතනයකට වෛද්‍ය උපාධි අධ්‍යාපනයකට ඉඩදීම සාධාරණ හෝ යහපත් දෙයක් වන්නේ නැත. එහෙත් එම චෝදනාව පුද්ගලික ආයතනවලට පමණක් නොව, රජයටද එල්ල කළ හැකිය. රජරට හා මඩකළපුව පවත්වාගෙන යන ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල උසස් ප්‍රමිති තත්ත්වයක නොපවත්නා බව රටේ පිළිගත් මතය වී තිබේ. කොතලාවල පීඨය පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයටද එවැනි චෝදනා එල්ල වේ. එහෙත් එම විශ්වවිද්‍යාල දෙකේ පවතින තත්ත්වයට එරෙහිව වෛද්‍යවරුන් හා සිසුන් සටන් කරන්නේ නැත. විදේශගතවී මුදලකට ලබාගන්නා වෛද්‍ය උපාධියක් ලංකාවට වලංගුවන්නේ නම් නිසි ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මුදල් අය කොට දෙනු ලබන වෛද්‍ය සහතිකයක් අවලංගුවීමට සාධාරණ හේතුවක් තිබිය නොහැකිය. අනෙක් අතට පුද්ගලික වෛද්‍ය සේවය වරදක් නොවේ නම් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පමණක් වරදක් විය නොහැකිය.

අධිකරණය හා ස්වාධීන කොමිෂන් සභා
ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකිරීමත් සමඟ දේශපාලන ඇඟිලි ගැසීම් නතර වී රාජ්‍ය සේවය දූෂණයෙන් තොර සේවයක් වනු ඇතැයි රටේ මහජනයා විශ්වාස කළහ. එම විශ්වාසය මහජනයා තුළ ඇති කළේ 19 වැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි අය විසිනි. ඒ අදහස ගැන මට මුල සිටම විවේචනයක් තිබුණි. රටේ සමස්ත ආයතන ක්‍රමය ඇදවැටී තිබෙන දූෂිත හා ජරපත් තත්ත්වයට ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය පිළියමක් නොවන බව හා ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ගැන මහජනයා ඇති කරගෙන තිබෙන විශ්වාසය මනෝරාජික විශ්වාසයක් බවත් මම ඒ කාලයේ සිටම කියා සිටියෙමි.
ඒ ගැන වන මාගේ පුරෝකථනය ඕනෑවටත් වඩා ප්‍රමාණයකට සනාථ වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය එම ආයතනවල තිබූ දූෂිත හා ජරපත් තත්ත්වය නැති කිරීමට හේතුවී නැතිවා පමණක් නොව, දේශපාලන ඇඟිලි ගැසීම්වලට තිබෙන ඉඩද මුළුමනින් නැති කිරීමට හේතුවී නැත.
මහාධිකරණයට අලුතෙන් කර තිබෙන විශේෂ ගණයේ පත්කිරීමත් ඒ සඳහා දැක්විය හැකි අලුත්ම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධිවිධාන අනුවත් පිළිගත් සම්ප්‍රදායන් අනුවත් මහාධිකරණයේ ඇතිවන පුරප්පාඩුවකදී එම පුරප්පාඩුව පුරවනු ලබන්නේ දිසා අධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරයාගෙනි. එහෙත් එම සම්ප්‍රදායට පටහැනිව යමින් තිබුණු පුරප්පාඩුව නීතිඥ සේවයේ යෙදී සිටි පුද්ගලයකුගෙන් පුරවනු ලැබූ අවස්ථාවක් වාර්තා වේ. එම පත්කිරීම සිදුකර ඇත්තේ අගවිනිසුරුවරයා හා නීතිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශ නොසලකාය. මෙය යහපත් තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එම ක්‍රියාමාර්ගය විනිසුරුවරුන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබෙන බවද පෙනේ.
රටේ සමහර දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය ඛේදජනක වුවත් පුනරුද ව්‍යාපාරය මේ මොහොතේදී ඒ කිසිවකට මැදිහත් වී ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට අපේක්ෂා කරන්නේ නැත. මේ මොහොතේ පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ශක්තිමත් ආරම්භක මහජන පදනමක් ගොඩනගා ගැනීම කෙරෙහිය. පුනරුද ව්‍යාපාරය එම අරමුණ සඳහා මුළු වැර යොදා ක්‍රියාකිරීමට අපේක්ෂා කරයි. ඉතා වැදගත් විය හැකි වුවත් රටේ සිදුවන දේවලට අත පොවන තැනකට ගියහොත් ප්‍රධාන අරමුණ වෙනුවෙන් ක්‍රියාකිරීමට තිබෙන ඉඩ ඇහිරේ. එවිට අවශ්‍යම දේට වැය කිරීමට තිබෙන ශක්තිය අනවශ්‍ය දේවලට වැය කරන්නට සිදුවේ. එවිට අප්‍රධාන ප්‍රශ්නවලට පැටලී ඊට හිරවන තත්ත්වයකට පත්විය හැකිය. ඒ නිසා අප මේ මොහොතේදී කරන්නේ ශාඛා ඇති කරන ප්‍රතිපත්තියට මුළු බර යොදා ක්‍රියාකිරීමය. එයින් අපේක්ෂා කරන්නේ ශක්තිමත් ආරම්භක පදනමක් ගොඩනගා ගැනීමය.

පුනරුද කතිකාව ඉදිරියට ගලායෑම
පෙබරවාරි 2, 4 සහ 5 යන දිනවලද ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේද, ඇඹිලිපිටියේ, බණ්ඩාරවෙල හා මාතර යන ප්‍රදේශවලද සාකච්ඡා සභා හතරක් පවත්වන ලදි. විජේරාම ප්‍රදේශයේ නිමල් මහරගේ නිවසේ පවත්වන ලද සාකච්ඡාව සාමාන්‍ය සාකච්ඡාවකට වඩා ‘ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය’ නමින් ස්වාධීන ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යන සංවිධානයත් සමඟ කෙරුණු සාකච්ඡාවක් විය. ජේවීපී පළමු කැරැල්ලට හා දෙවැනි කැරැල්ලට සම්බන්ධ පිරිසක් ද එහි සිටියෝය. රාජනී තිරාණගමගේගේ සැමියා වන සත්‍යපාල තිරාණගමද, දොස්තර රිචඞ් ද, පශූ වෛද්‍යවරයෙකු වූ අහිංසක පෙරේරා, ගරු ක්‍රියාකාරිකයකු වූ මයුර සේනානායක, වසන්ත දිසානායක, ලාල් පෙරේරා, සරත් අතුකෝරාල, ජයම්පති බුලත්සිංහල, ජනමාධ්‍යවේදිනියක වූ ඔහුගේ බිරිඳ කුමුදුනීද, සුනන්ද දේශප්‍රියගේ බිරිඳ වූ මැණිකේ ඇතුළු 25 දෙනකු පමණ පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ. පුනරුද ව්‍යාපාරයේ අදහස්වලට කැමැත්ත දක්වන පිරිසක් සේ ම මධ්‍යස්ථ පිරිසක් ද එම අදහස්වලට තරයේ විරෝධය පළකරන දෙදෙනෙක්ද එහි සිටියෝය. එම සාකච්ඡාවට සහභාගි වූ මානසික වෛද්‍ය මහාචාර්යවරයකු කීවේ බලය අල්ලා ගැනීමේ අරමුණින් පරිබාහිරව ක්‍රියාකරන ව්‍යාපාරයක් තමන් විශ්වාස නොකරන බවය. ඔහු මාක්ස්වාදී අදහස් දරන්නෙකු විය යුතුය. පුනරුදයේ අදහස්වලට වඩා බලවත් ලෙස විරෝධතා පළ කළ අනෙකා ද ඉතා බලවත් ලෙස මාක්ස්වාදී අදහස් වෙනුවෙන් පෙනී සිටියේය. මාක්ස්වාදයේ ඇතිවී තිබෙන බිඳවැටීම කවර ආකාරයකින්වත් ඔහුගේ අදහස් කෙරෙහි බලපා නැති බව පෙනෙන්නට තිබුණි. වසන්ත දිසානායකද දැඩි මාක්ස්වාදී අදහස් දරන්නෙකු වුවද ඔහු කෙරෙන් බලවත් විරෝධයක් පළවූයේ නැත. වෙනස් අදහස් තිබියදීත් ඒ සියලුදෙනාට එකට එකතු වී වැඩ කළ හැකි තැනක් තනාගැනීමේ වැදගත්කම ගැන ඔහු කතා කළේය. ඔහුගේ බිරිඳ කෑගල්ලේ සරත් විජේසිංහගේ සහෝදරිය වන ජුලියට් ද එම සාකච්ඡාවට සහභාගි විය.
ලොකු වාදවිවාද තිබුණද සාකච්ඡාව අවසානයේදී එම ව්‍යාපාරයේද අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට හේතුවන ලෙස පුනරුද ව්‍යාපාරයට එකතු වී වැඩ කිරීමට තීරණය විය. හත්දෙනකුගෙන් යුතු කාරක සභාවක්ද ඇතිකර ගන්නා ලදි. 4 වැනිදා උදේ ඇඹිලිපිටියේද සවස බණ්ඩාරවෙලද පසුවදා මාතරද පැවති සාකච්ඡාද සාර්ථක සාකච්ඡා සභාවන්වීයැ’යි කිව හැකිය. එම සාකච්ඡා සභා තුනෙන් වර්ණවත්ම සාකච්ඡා සභාව ලෙස සැලකිය හැක්කේ ඇඹිලිපිටියේ සාකච්ඡා සභාවය. ඇඹිලිපිටිය සැලකෙන්නේ වර්ගවාදයට බර තබන ලද ප්‍රදේශයක් ලෙසය. එම කලාපය මුස්ලිම් ජනයාට තහනම් කලාපයක් වී ඇති බවද අසන්නට ලැබුණි. ඇඹිලිපිටිය සාකච්ඡාවට සහභාගි වූ අයගෙන් සැලකිය යුතු පිරිසක් නීතිඥයන් වුවද ඉතිරි පිරිස හොඳ මිශ්‍රණයක් වී යැයි කිව හැකිය. ඇඹිලිපිටිය සාකච්ඡාව සංවිධානය කර තිබුණේ නීතිඥයකු වූ පුංචිහේවා විසිනි. බණ්ඩාරවෙල සාකච්ඡාව පවත්වන්නට පෙර ප්‍රසන්නගේ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි. බණ්ඩාරවෙල සාකච්ඡාව සංවිධානය කර තිබුණේ ඌව ගුවන් විදුලියේ ලසන්ත, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය වර්ණවත් දුම්රිය ස්ථානයක් බවට පත් කළ හිටපු දුම්රිය ස්ථානාධිපති කරුණාරත්න, කහගොල්ලේ සේනක හා පැල්මඩුල්ලේ කරුණාරත්න යන අය විසිනි. මාතර සාකච්ඡාව සංවිධානය කළේ ජයන්ත පීරිස් හා වසන්ත කාරියවසම් යන දෙදෙනාය.

ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම
මේ වනවිට පුනරුද ව්‍යාපාරයේ අවධානය යොමුවී තිබෙන ප්‍රධාන අංශ දෙකක් වනුයේ පුනරුද ව්‍යාපාරයේ කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදාගැනීම, පුනරුද ව්‍යාපාරය සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම හා අධ්‍යාපන වැඩසටහනක් ඇතිකර ගැනීම ගැනය.
2 වැනිදා මධ්‍යම කමිටුව විසින් පත්කර ගන්නා ලද නවදෙනාගේ බියුරෝව කොළඹදී රැස්වී එම ප්‍රශ්න තුන ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡාව කරන ලද අතර, ඒ සඳහා කමිටු තුනක්ද ඇති කරගනු ලැබීය. අයිටී කළමනාකරණය සංජීව සේනාරත්න විසින්ද, සම්බන්ධීකරණය ජයසිරි ජයසේකර විසින්ද, දත්ත බැංකුවට තොරතුරු එකතු කිරීම විදුලි සංදේශ පාඨමාලාවන් හදාරමින් සිටින සිතුම් විසින්ද කරනු ලබන අතර ඔවුන්ගේ වැඩ අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ ලංකාවේ අයිටී විෂයෙහි ප්‍රබල භූමිකාවක් රඟපාන ඉංජිනේරුවකු වන තිලක් ද සිල්වා වෙතය.
ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් තිබෙන අවස්ථාවකදී පුනරුද ව්‍යාපාරයද එම ව්‍යාපාරය සඳහා වන ව්‍යවස්ථාවක් හදාගැනීමේ කාර්යයට අතගසන්නට සිදුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. පුනරුද ව්‍යාපාරය සිය ව්‍යවස්ථාව සකස් කරගත යුතු ආකාරය පිළිබඳව මා දරන අදහස් ඇතුළත් ලේඛනයක් මා විසින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. එය ව්‍යවස්ථාව සඳහා මගපෙන්වීමක් ලබාදෙන ලියවිල්ලක් ලෙස සැලකිය හැකි අතර ඒ ආශ්‍රයෙන් පුනරුද ව්‍යාපාරයේ ස්වභාවය හා එය අදහස් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් ලියවිල්ලක් ලෙස සලකා පාඨකයන්ගේ දැනගැනීම සඳහා මෙහි පළකරමි. එය මෙසේය.
මෙම ලියවිල්ල ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ අවධානය පිණිස පුනරුද ව්‍යාපාරය සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු මූලධර්ම හා ඊට අනුපාතික කරුණු පිළිබඳව ලියන ලද්දකි.
1. සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාව අගෝස්තුවලදී පැවැත්වීමට නියමිත ප්‍රථම සාමාජික සම්මේලනයෙන් අනුමත වන තෙක් ව්‍යාපාරයට තාවකාලික අන්තර්කාලීන ව්‍යවස්ථාවක් තිබිය යුතුය.
2. ජනවාරි 28 හා 29 කොළඹ පැවති දෙදින තාවකාලික සමුළුවේදී තෝරාගන්නා ලද කාරක සභාව හා එම කාරක සභාව විසින් තෝරා පත්කර ගන්නා ලද ක්‍රියාකාරී කාරක සභාව 2017 අගෝස්තු සම්මේලනය දක්වා වන කාලපරිච්ඡේදය සඳහා ව්‍යාපාරය වෙනුවෙන් තීන්දු ගැනීමට තිබෙන ප්‍රධාන බලමණ්ඩල දෙක ලෙස සැලකිය යුතුය.
3. ක්‍රියාකාරි කාරක සභාව ක්‍රියාකාරීත්වයට අවශ්‍ය හදිසි තීන්දු ගැනීම සඳහා පත්කර ගන්නා ලද බලමණ්ඩලයකි. ක්‍රියාකාරී කාරක සභාව විසින් ගනු ලබන තීන්දු පිළිගැනීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ බලය ප්‍රධාන කාරක සභාව සතුය.
4. සම්මේලනය පැවැත්වෙන තෙක් මූල්‍ය කටයුතු පාලනය කිරීමේ බලය භාණ්ඩාගාරික සතුය.
5. ව්‍යාපාරය සඳහා බැංකු ගිණුමක් ආරම්භ කළ යුතු අතර ඒ සඳහා හා සම්මේලනය තෙක් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය තරමේ තාවකාලික හා සරල කෙටි ව්‍යවස්ථාවක් වහාම ඇති කරගත යුතුය. එම තාවකාලික අන්තර්කාලීන ව්‍යවස්ථාව බලාත්මක වීමට ප්‍රධාන කාරක සභාවේ අනුමැතිය පමණක් ප්‍රමාණවත්ය.

නව ව්‍යවස්ථාව සඳහා මූලධර්ම හා විශේෂ විධිවිධාන
1. ව්‍යවස්ථාවට පූර්විකාවක් තිබිය යුතුය. එම පූර්විකාවේ ව්‍යාපාරයේ දර්ශනය සැකෙවින් සඳහන් විය යුතුය.
2. ව්‍යවස්ථාවෙහි දැක්වෙන සංවිධාන ව්‍යුහය නිර්මාණය කළයුත්තේ ව්‍යාපාරයේ සාමාජිකයන්ට, ව්‍යාපාරයේ පරමාධිපත්‍යය බලය හිමිවන හා එය කිසිවෙකුටත් පැහැර ගත නොහැකි හෝ දුර්වල කළ නොහැකි ආකාරයටය.
3. සාමාජික සම්මේලනය ව්‍යාපාරයේ උත්තරීතර බලමණ්ඩලය විය යුතුය.
4. ව්‍යාපාරයේ පහළම සංවිධාන ඒකකය ලෙස සැලකිය හැකි ශාඛාවන්ගේ සිට ක්‍රමානුකූලව ඉහළට යන සියලු බලමණ්ඩල නිලධාරීන් තේරී පත්විය යුත්තේ එම බලමණ්ඩලවලට අයත් සාමාජිකයන්ගේ ස්වාධීන ඡන්දයෙනි.
5. (අ) ඕනෑම බලමණ්ඩලයකට අයත් සාමාජිකයන් සියයට 30ක් අත්සන් කොට යෝජනාවක් භාරදෙන අවස්ථාවකදී එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කොට අදාළ බලමණ්ඩලයේ සාකච්ඡාවකට ලක් කොට ඡන්ද විමසීමකට ලක් කළ යුතුය.
6. (ආ) බලමණ්ඩලය තුළ එම යෝජනාව සම්මත වන අවස්ථාවකදී එම බලමණ්ඩලයට ඉහළින් තිබෙන බලමණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් විය යුතුය. ඉන්පසු එම ඉහළ බලමණ්ඩලය එම යෝජනාව සාකච්ඡාවට ලක් කොට ඡන්ද විමසීමකට ලක් කළ යුතුය. යෝජනාව සම්මත වන අවස්ථාවකදී ඊට පසුව තිබෙන ඉහළ බලමණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් විය යුතුය. මෙම ක්‍රියාවලිය මධ්‍යම කාරක සභාව දක්වාම ඉදිරියට ගෙනයෑමේ හැකියාව තිබිය යුතුය.
(ආ) මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් වන එවැනි යෝජනාවක් මධ්‍යම කාරක සභාව විසින් පරාජය කරනු ලබන අවස්ථාවකදී මධ්‍යම කාරක සභාව එම යෝජනාව සාමාජික සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට සම්මේලනයේදී එය සාකච්ඡාවට ලක් කළ යුතුය. එහිදී යෝජනාව නිෂ්ප්‍රභ කිරීමට බලපෑ හේතු මධ්‍යම කාරක සභාව විසින් නම් කරන ලද නියෝජිතයකු විසින් විස්තර කළ යුතු අතර එම යෝජනාව සකස් කළ පුද්ගලයාටද සම්මේලනය හමුවේ අදහස් පළකිරීමට අවස්ථාවක් ලබාදී යෝජනාව ඡන්ද විමසීමකට ලක් කළ යුතුය.
(ඇ) සියයට තිහේ අත්සන් සහිත ක්‍රමය සංවිධානයේ වැරදි කරන නිලධාරීන් දෝෂදර්ශනයට ලක්කිරීමේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කිරීමේ නිදහසද සාමාජිකයන්ට හිමිවිය යුතුය.
(ඈ) ඒ ක්‍රමය මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ඉහළම පෙළේ නායකයකුට එරෙහිව ඉදිරිපත් කිරීමේ අයිතිය සාමාජිකයන්ට හිමිවිය යුතුය. මධ්‍යම කාරක සභාවේ කිසියම් සාමාජිකයෙකුට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් සඳහා ව්‍යාපාරයේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් සියයට තිහක අත්සන් තිබිය යුතුය.
(ඉ) මධ්‍යම කාරක සභාව එවැනි යෝජනාවක් සාකච්ඡාවට ගෙන නිෂ්ප්‍රභ කරන හැම අවස්ථාවකදීම එම යෝජනා පෙර පරිදි සාමාජික සම්මේලනය වෙත ඉදිරිපත් කළ යුතුය.

සාමාජික යුතුකම් හා වගකීම්
6. සාමාජිකයන් තුළ තිබිය යුතු ගුණධර්ම, ඔවුන් පිළිපැදිය යුතු වගකීම් හා යුතුකම් පිළිබඳ අර්ථකථනයක්ද ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය. එය සකස් කිරීමේදී පහත සඳහන් කාරණා සැලකිල්ලට ගැනීම සුදුසුය.
(අ) සාමාජිකයන් වංචාවෙන්, දූෂණයෙන් හා බොරුවෙන් තොර විය යුතුය.
(ආ) කුල භේදයෙන්, වර්ග භේදයෙන් හා ආගම් භේදයෙන් තොර විය යුතුය.
(ඇ) මිථ්‍යා විශ්වාසයන්ගෙන් තොර විය යුතුය.
(ඈ) යුක්තිගරුක හා නීතිගරුක විය යුතුය. සාමාජිකයා වෘත්තීයවේදියකු වන අවස්ථාවකදී සිය වෘත්තියේ ගුණධර්ම ආරක්ෂා කරන්නෙකුද විය යුතුය.
(ඉ) කාන්තාවක හා බිරිඳක ලෙස සිය බිරිඳට තිබෙන අයිතිවාසිකම්වලට සේ ම පොදුවේ කාන්තා අයිතිවාසිකම්වලටද ගරු කළ යුතුය.
7. වැරදි කර තිබෙන පුද්ගලයකුට වුවත් ඒ පුද්ගලයා තමන් කර තිබෙන වැරදි ගැන අවංක කනගාටුවක් පළකරන පුද්ගලයකු වේ නම් ඔහුට හෝ ඇයට ව්‍යාපාරයට එකතුවීමට ඉඩ තිබිය යුතුය.
8. පූර්ණ සාමාජිකයකු ලෙස සැලකිය යුත්තේ අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කළ අයකු පමණය.
වෙනස් මත දැරීමට තිබෙන අයිතිය
9. කුල භේදයට, වර්ග භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කරමින් ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙමින් ජාතිය ගොඩනගා නැගීම පිළිබඳ ප්‍රධාන අරමුණේදී හැර ව්‍යාපාරයේ වෙනත් ඕනෑම නිල මතයකට වෙනස් මත දැරීමේ අයිතිය හා ඒ මත ව්‍යාපාරය තුළ ප්‍රවර්ධනය කිරීමේ අයිතිය සාමාජිකයන්ට තිබිය යුතුය. ඒ සඳහා කෙරෙන සියලු වාදවිවාද පවත්වාගෙන යායුත්තේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූලවය.

ව්‍යාපාරයේ අරමුදල්
10. ව්‍යාපාරය විදේශ මූල්‍ය ආධාර ආයතනවලින් මූල්‍ය ආධාර ලබා නොගත යුතුය. කළු සල්ලිකාරයන්ගෙන්ද මුදල් ආධාර ලබා නොගත යුතුය.
11. ව්‍යාපාරයට සාමාජික අරමුදලක් තිබිය යුතුය. වැටුප් ලබන පුද්ගලයෙකු නම් වාර්ෂික සාමාජික මුදල වෙනුවෙන් එක් දිනක වැටුපට සමාන මුදලක්ද, වෙනත් ආදායම් මාර්ග ඇති අය වන විට එක දිනක ආදායමට සමාන මුදලක්ද වාර්ෂික සාමාජික මුදල වශයෙන් ගෙවිය යුතුය.
12. වැටුප් හෝ ආදායම් නොඋපයන අය සඳහා අය කළ යුත්තේ වසරකට රුපියල් 100ක් වැනි නාමික සමාජ මුදලක් පමණය.
13. ව්‍යාපාරයේ අරමුදල් සකස් විය යුත්තේ සාමාජික මුදල් වශයෙන් ලැබෙන මුදල්වලින් හා ආධාරකරුවන්ගෙන් ලැබෙන ආධාර මුදල්වලිනි.
14. ව්‍යාපාරයේ සියලු වියදම් යුක්තිසහගත විය යුතු අතර නාස්තිකාර නොවිය යුතුය.
15. ව්‍යාපාරය තමන්ගේ සියලු ආදායම් හා වියදම් පිළිබඳ වාර්තා සිය වෙබ් අඩවියේ පළ කළ යුතුය.

සංවිධාන ව්‍යුහය
16. ව්‍යාපාරයට ශාඛා සංවිධානද, ශාඛාවල සභාපතිවරුන්ගෙන්, ලේකම්වරුන්ගෙන් සමන්විත දිස්ත්‍රික් සභාද, දිස්ත්‍රික් සභාවලින් නිල බලයෙන් පත්වන හා සාමාජික සම්මේලනය විසින් තෝරාපත් කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක්ද, එම මධ්‍යම කාරක සභාව විසින් තෝරාපත් කරගන්නා ක්‍රියාකාරී කාරක සභාවක්ද තිබිය යුතුය.
17. සාමාජික සම්මේලනය ව්‍යාපාරයේ උත්තරීතර ආයතනය විය යුතුය. සම්මේලන දෙකක් අතර කාලයේදී ඒ තත්ත්වය හිමිවිය යුත්තේ මධ්‍යම කාරක සභාවටය.
උපදේශක සභාව
18. ව්‍යාපාරයට උපදේශක සභාවක් තිබිය යුතුය. එම සභාවේ ප්‍රධාන වගකීම විය යුත්තේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය සෝදිසියට ලක්කිරීමය. නිවැරදි කරගත යුතු වැරදි ඇත්නම් පෙන්වාදීම හා එකතු කරගත යුතු අලුත් දේවල් ඇත්නම් ඒවා පෙන්වාදීම හා ව්‍යාපාරයේ සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සිදුවේද යන්න සොයා බලා වාර්තා කිරීමය.
19. උපදේශන සභාව පළකරන සියලු වාර්තා සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා වෙබ් අඩවියේ පළ කළ යුතුය.

ශිෂ්‍යයන් පිළිබඳව
20. පාසල් ශිෂ්‍යයන්ට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පුනරුදයේ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුය. එහෙත් කවර ආකාරයකින්වත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට හානියක් වන ආකාරයට ඔවුන් ව්‍යාපාරයේ වැඩකටයුතුවලට යොදා නොගත යුතුය. ව්‍යාපාරය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදෙන වැදගත් උල්පතක් ලෙස ක්‍රියා කළ යුතුය.
21. සාමාජිකයන් සිය පවුලේ සාමාජිකයන් ව්‍යාපාරයේ ආධාරකරුවන් බවට පත්කරගත යුතුය. ව්‍යාපාරය එම පවුල්වල ජීවිත අර්ථවත් හා ආලෝකවත් කරගැනීමට උදව් කළ යුතුය. එහෙත් ව්‍යාපාරය ඔවුන්ගේ ජීවිතවලට අනවශ්‍ය බරක් වන තත්ත්වයකට පත් නොවිය යුතුය.■