Untitled-1

Untitled-1

රාජපක්ෂ මෙතැනින් කොතැනටද?


rajapaksha

මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්දයත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්නය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. එහෙත් සිරිසේනට අනුව රාජපක්ෂ දකින්නේ හීනයකි. කිසි දිනෙක සැබෑ නොවන හීනයකි.
ඔහු මේ බව කීවේ රාජපක්ෂ සමඟ සමගි සන්ධානයකට එළඹීමට ගිය පළාත්සභා මහ ඇමැතිවරුන් ආපසු හිස් අතින් හැරී ආ පසුය. එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එක්සත්ව එක් ශ්‍රීලනිපයක් ලෙස තරගවැදීම සඳහා එකඟකර ගැනීම පිණිස එම පළාත්සභා ඇමැතිවරුන් රාජපක්ෂ හමුවට ගියේ ජනපතිගේ අවසරය සහ කැමැත්ත ඇතිවය. ස්වකීය බලය පිළිබඳව අධිතක්සේරුවකින් සිටින රාජපක්ෂ මහ අමැතිවරුන්ට කියාසිටියේ රනිල් වික්‍රමසිංහ සහ යූඇන්පීය ආණ්ඩුවෙන් ඉවත් කරන්නේ නම් පමණක් තමා එවැනි සන්ධානයකට එකඟ බවයි. ශ්‍රීලනිපයට වඩා මන්ත්‍රීවරුන් සිටින සහ දෙමළ මුස්ලිම් පක්ෂයන්හි සහාය ඇති යූඇන්පීයට පාර්ලිමේන්තු බහුතරය ඇති බැවින් එය කිසිසේත්ම කළ හැක්කක් නොවේ.
පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සීමානිර්ණය කටයුතු අවසන්ව ඇති බැවින් දැන් ඉදිරි මාස හතර පහ තුළ සිය දේශපාලන බලය උරගා බැලීමට සියලු දේශපාලන පක්ෂ වෙත අවස්ථාවක් ලැබෙනවා ඇත. මෙම මැතිවරණය රාජපක්ෂගේ දේශපාලන අනාගතය පිළිබඳ දර්ශකයක් බවට පත්වනු ඇති බවද නොඅනුමානය. එපමණක් නොව සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපයේ දේශපාලන ගමන් මඟ පිළිබඳ මැනගැනීමකටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. දැන් එක්ව තරග කිරීම රාජපක්ෂ විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් ශ්‍රීලනිපය සහ රාජපක්ෂ පාර්ශ්වය අතර සටන තියුණු වනු ඇත. රාජපක්ෂ දූෂණ භීෂණ හෙළිදරව් කිරීමෙන් තොරව සිරිසේන නායකත්වය සහිත ශ්‍රීලනිපයට එහිදී තියුණු තරගයක් දීමට බැරිවනවා ඇත.
රාජපක්ෂවාදී පිරිස්ද මෙම මැතිවරණයේදී සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනාගන්නා බව පැහැදිලිය. එදා සිය පාලනය කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කළ රාජපක්ෂ දැන් මාධ්‍ය නිදහස ගැන කතාකරයි. එදා සයිටම් වෛද්‍ය විද්‍යාලයට අවසර දුන් රාජපක්ෂ දැන් ඊට විරුද්ධය. සියලු විරෝධතා උද්ඝෝෂණ මැඬපැවැත්වූ රාජපක්ෂ දැන් සිසු උද්ඝෝෂණවලට පක්ෂව කතා කරයි. කොතෙක් ද යත් දැන් ඔහුගේ මුද්‍රාව වූ දූෂණයටත් විරුද්ධය.
රාජපක්ෂගේ දේශපාලනය යනු තමන්ට වාසිදායක නම් ඕනෑ දෙයක් හොඳය යන්නයි. ඒ අනුව ඔහු දැන් ඉල්ලාසිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන ලෙසය. තෙවන වතාවටත් විධායක ජනාධිපති වීම පිණිස 18වන සංශෝධනය ගෙන ආ පුද්ගලයෙකු දැන් තමන්ට එම ධුරයට පත්වීමට නොහැකි නිසා එය අහෝසි කරන ලෙස ඉල්ලයි. මීටත් වඩා අවස්ථාවාදයක් තිබිය හැක්කේ කොහිද?
ප්‍රශ්නය වන්නේ මෙම සියලු ගැලවිජ්ජා මගින් විකල්ප තෙවැනි පක්ෂයක් ලෙස මතුවීමට තරම් බලයක් ලබාගැනීමට රාජපක්ෂ සමත්වනු ඇද්ද යන්නයි. රාජපක්ෂ දේශපාලනය සමස්තයක් වශයෙන් පදනමව ඇත්තේ යුදවාදය සහ සිංහල බෞද්ධ පිරුවටයකින් එතූ අන්ත ජාතිවාදය මතය. දේශීය මෙන්ම අන්තර් ජාතිකවද රාජපක්ෂවාදය යනු පටු ජාතිකත්වය මත පදනම් වූ පසුගාමිත්වයයි.
මෑතදී රාජපක්ෂ හොරණෑකරුවකු වන ඩලස් අලහප්පෙරුම වත්මන් ඇමෙරිකාවෙහි ඩොනල්ඞ් ට්‍රම්ප් යටතෙහි සිදුවන අන්තවාදී වෙනස්කම් උජාරුවට නංවමින් කියා තිබුණේ ඔබාමා පාලනය යටතෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කළ තානාපතිවරුන් සහ වරියන් ඉවත්කිරීම ශ්‍රී ලංකාණ්ඩුවට දුන් කණේ පහරක් බවය. එමෙන්ම රාජපක්ෂද ඩොනල්ඞ් ට්‍රම්ප් පසසා තිබුණේ අන් රටවලට ඇඟිලි නොගසන නායකයකු ලෙසිනි. එසේ නමුත් ට්‍රම්ප් විසින් පලස්තීන ජනයාගේ අයිතීන් පාගා දමන අන්දමත් මුස්ලිම් ජනයාට එරෙහිව මුදාහැර ඇති සාමූහික දඬුවම්දීමත්, මැක්සිකෝවට එරෙහිව පැනවීමට යන සියයට 20ක බද්දත්, ඇමෙරිකාව තුළම ක්‍රියාවට නංවමින් ඇති සුදුජාතිකවාදී අන්තවාදයත් රාජපක්ෂවාදයට ප්‍රශ්නයක් නොවේ.
රාජපක්ෂ දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ නූතනත්වය, මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික සමගිය සහ සංහිඳියාව මත පදනම්වූ ඉදිරි දැක්මක් මගිනි. එසේ නමුත් සිරිසේන උත්සාහ කරන්නේ පසුගාමිත්වය, සිංහල බෞද්ධ අන්තවාදය, යුද ජයෝන්මාදවාදය වැනි රාජපක්ෂගේ ධජය තම ධජය බවට පත්කර ගැනීමටයි. ඔහු තේරුම් නොගන්නා කාරණය නම් එම සටන්පාඨ රාජක්ෂගෙන් සොරකම් කරගත හැකි ඒවා නොවන බවයි. සිරිසේන කරන රණවිරු කතා, යුදවීරත්ව කතා, සම සෙනෙහස් විරෝධී කතා යනාදිය විසින් ශක්තිමත් කරන්නේ සිරිසේන නොව රාජපක්ෂ මතවාදයයි. දිනපතාම සිරිසේනගෙන් අසන්නට ලැබෙන මෙවැනි කතා අවසානයේදී සේවය කරන්නේ රාජපක්ෂ මතවාදය සහ රාජපක්ෂ ශක්තිමත් කිරීමටය.
මෙලෙස බලන විට සිරිසේන-රනිල් ආණ්ඩුවේ කැපීපෙනෙන දුර්වලකමක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, දූෂණ විරෝධය සහ සමානාත්මතාව මත පදනම් වූ දේශපාලන සංවාදයක් සහ භාවිතයක් රටෙහි ඇතිකිරීමට අසමත්වීමයි. රාජපක්ෂ පරාජය කළ හැකි දේශපාලන විභවතාව ඇත්තේ එවැනි දේශපාලන මතවාදයකට සහ භාවිතයකට පමණි. එහෙත් සිරිසේන උත්සාහ කරන්නේ රාජපක්ෂගේ පිට්ටනියෙහි ඔහු විසින් පිහිටුවන ලද සීමා යටතෙහි තරඟකර ජයගැනීමටය. දැනටමත් එම සටනින් රාජපක්ෂට ජය අත්වෙමින් ඇත්තේ ඒ නිසාය.
දැන් පළාත්පාලන තරග භූමිය රනිල්, සිරිසේන සහ රාජපක්ෂ අතර තුන්කොන් සටනක් බවට පත්වීමට නියමිත බව පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපය බෙදී තරග කළහොත් යූඇන්පීය ලෙහෙසියෙන්ම වැඩිම පළාත්සභා ගණනාවක් දිනාගැනීම වැළැක්විය නොහැක. සමහර විට වෙන්ව තරගකළද අවසානයේදී රාජපක්ෂවාදී අපේක්ෂකයන්ට විරුද්ධව ශ්‍රීලනිපය සහ යූඇන්පීය පළාත් පාලන ආයතන පවත්වාගෙන යනු පිණිස සම්මුතියක් ඇතිකර ගැනීමට ඉඩ නැතිවා නොවේ. ඒ බවට ඉඟියක් සැපයෙන කතාවක් පසුගිය 27දා ජනපතිගේ මුවින් පිටවී තිබුණේ මොනරාගලදීය. ඔහු එහිදී මෙසේ කීවේය: “සමහර අය සැබෑ නොවන සිහින මවනවා. හෙට අනිද්ද ආණ්ඩු ගන්න පුළුවන් කියලා හිතන්. ආණ්ඩු ගන්න බැහැ.
අපි පැහැදිලිවම මේ සම්මුතිවාදි ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරි අවුරුදු පහ යනවා වාගේම 2020 තීන්දු කරනවා, එතැනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියලා. ඒ බව මං බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්නට ඕනෑ.
රට විනාශ කරපු මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු මිනිස්සු, සුදු වෑන් සංස්කෘතියෙන් මේ රටේ මුළුමහත් ජනතාව භීතියට පත්කරපු මිනිස්සු, මේ රටේ කෝටි නවලක්ෂයක ආර්ථික අර්බුදය තුළ කෝටි ප්‍රකෝටි ගණනක් හොරකම් කරපු මිනිස්සු, ඉතිහාසයේ කිසි කලක නාහපු විදියට දූෂණයට හොරකමට වංචාවට නාස්තියට ඔටුනු පළඳවපු මිනිස්සුන්ට මේ රටේ කිසිම දවසක ආණ්ඩුවක් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක අපි තමුන්නාන්සේලාට බොහොම පැහැදිලිව කියනවා. ඒ අයට ආණ්ඩු කරන්න නෙවෙයි මේ රටේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවායි කියන එක මං බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕනෑ.”
පුදුමයට කාරණය නම් සිය පාක්ෂිකයන්ට උත්තේජනයක් විය හැකිව තිබූ ඔහුගේ කතාවේ මෙම කොටස ජනාධිපති කාර්යාලය විසින්ම පවත්වාගෙන යන වෙබ් අඩවි සහ රාජ්‍ය මාධ්‍ය මගින් පවා වාරණය කර තිබීමයි.
දැන් රාජපක්ෂ දූෂණයට සහ භීෂණයට යළි ඉඩක් නොදෙන බව සිරිසේන අපට කියයි. එය එක කතාවකින් කළ හැකි දෙයක් නොවේ. නුගේගොඩ රැස්වීමෙන් පෙන්වූ පරිදි රාජපක්ෂ යනු නොසලකා හැරිය හැකි බලවේගයක් නොවේ. ඇත්ත වශයෙන්ම නම් දැන් සිරිසේන ගලඋඩ සටනකට මුහුණ දෙයි. ඒ සමගි සන්ධානයක් වෙනුවට සිරිසේන පරාජය කිරීමට කැස කවන රාජපක්ෂ සමඟය. මේ වනාහි රාජපක්ෂගේ පමණක් නොව සිරිසේනගේද දේශපාලන ඉරණම තීන්දුවනු ඇති සටනකි.
දැනට පෙනෙන විදිහට නම් සිය හෙංචයියන් සිරගතවීම ඇරඹුණ කල ගලින් පහළට පෙරළීයෑමට වැඩි අවාසනාව ඇත්තේ රාජපක්ෂටය.■