Saturday, 19/8/2017 | 5:25 UTC+0
රාවය

නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් 2 | රණවිරු ලේබලයට මුවාවී දරුවන් පැහැරගත් තිරිසන්නු

තිවංක සපරමාදු

 

පසුගිය සතියෙන්..

තමාගේ ඉපැරණි මිත්‍රයකු වන නාගනාදන්ගේ පුත්‍රයා ඇතුළු දරුවන් පස්දෙනකු අතුරුදන්වී ඇති බවත්, ඔවුන් නාවික හමුදා භාරයේ සිටින බව දැනගන්නට ලැබී ඇති බවත් කියමින් හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලියුමක් යවන්නේ 2009 ජුනි 17 වැනිදාය. ඊට පෙර ත්‍රිකුණාමලයේ තිබුණු උත්සවයකට ගොස් එන අතරතුර ගුවන් යානයේදී ෆීලික්ස් පෙරේරා මහතා මේ කාරණය ගැන නාවික හමුදාපතිවරයාට කියා ඇති බව දැනගන්නට තිබේ. ෆීලික්ස් පෙරේරා මහතාගේ දැනුම්දීම අනුව මේ දරුවන් ගැන හොයන්නටයැ’යි නාවික හමුදාපතිවරයා නියමයක් කළා නම් දරුවන්ගේ ඉරණම මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි. නාවික හමුදාපතිවරයා ඒ ගැන පියවරක් ගත්තේ නැත්තේ ඒ වනවිටත් ඔහු ඒ ගැන දැනසිටි නිසාද? නැතිනම් එවැනි පැහැරගැනීම් ඒ කාලයේ සාමාන්‍යයක් වන නිසා එතරම් ගණන් නොගත් නිසාද?
2009 මැයි 28 වැනි දින නාවික හමුදාපතිවරයා තම සමීපතම පෞද්ගලික සහකාරයා වූ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහට එරෙහිව අනුර සේනානායක, කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන්නේ තම සහායකයාට එල්ටීටීඊය සමඟ සම්බන්ධයක් ඇතැ’යි කියමිනි.
වසන්ත කරන්නා ගොඩගේ පැමිණිල්ල මත සීඅයිඩීය පරීක්‍ෂණයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සීඅයිඩීය විසින් සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගන්නා ලදි. සම්පත් අත්අඩංගුවට ගත්තේ 2009 ජුනි 10 වැනි දිනය. ඊට පෙර 2009 මැයි 29 වැනිදා, නාවික හමුදා පතිවරයාගේ නියමයෙන නාවික හමුදා විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ කපිතාන් සෙනෙර හංවැල්ල විසින්, නාවික නිලධාරි නිවස්නයේ අංක 8 දරන, සම්පත් මුණසිංහගේ නිල නිවාස කාමරය පරීක්‍ෂා කරන ලදි. ඒ තුළ තිබී, විවිධ වර්ගයේ ජීව උණ්ඩ, චෙක්පත්, ප්‍රොමිසරි නෝට්ටු, සම්පත්ගේ බැංකු ගිණුම් හතරකට අදාළ බැංකු පොත්, ජංගම දුරකථන හා සිම් කාඞ්, සිවිල් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රයක්, ක්‍රෙඩිට් කාඞ්පතක් හමුවිය. පුදුමයකට මෙන් නාවික හමුදාපතිවරයාගේ ඉතාමත් පෞද්ගලික භාණ්ඩ කිහිපයක්ද සම්පත්ගේ කාමරයේ තිබී සොයාගත හැකිවිය. ඉන් එකක් වුණේ, අංක 99 දරන, 2000.07.28 සිට 2003.07.27 දක්වා වලංගු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදා හැඳුනුම්පතයි. ඒවා ඔහුගේ කාමරයට එන්නට නම්, නාවික හමුදාපතිවරයා හෝ ඔහුගේ ඉතාමත් සමීපතමයකු ඒවා සම්පත්ට ලබාදී තිබිය යුතුය. ඒ භාණ්ඩ තමා සම්පත්ට දුන් බව නාවික හමුදාපතිවරයා කිසි තැනක කියා නැත. එසේ නම් සම්පත්ට ඒවා දුන්නේ වසන්ත කරන්නා ගොඩගේ සමීපතමයෙක්ද? එලෙස ඒවා දෙන්නට ඒ සමීපතමයා හා සම්පත් අතර තිබුණු විශ්වාසවන්ත සම්බන්ධය කුමක්ද?
ඒ හැරෙන්නට, 7.62-25 ජීව උණ්ඩ 300ක්, 7.62 මිලිමීටර් ජීව උණ්ඩ 105ක්, 9-18 මිමී ජීව උණ්ඩ 32ක් හා 9 මිමී ජීව උණ්ඩ 50ක්ද එහි තිබී හමුවිය. ඒ ජීව උණ්ඩ අතර නාවික හමුදා නිලධාරින් පාවිච්චි නොකරන වර්ගවල ජීව උණ්ඩද තිබුණු බව සොයාගනු ලැබිණි. සම්පත් ගැන විමසීමේදී සමහර නාවික හමුදා නිලධාරීන් සීඅයිඩීයට ප්‍රකාශ කර තිබුණේ, නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියදී ලැබෙන වැටුපට නොගැළපෙන තරමේ අධික වියදම් සම්පත් කරන බව තමන්ට නිරීක්‍ෂණය කළ හැකිවූ බවයි.
සම්පත්ගේ කාමරයේ තිබුණු ජාතික හැඳුනුම්පත්, කස්තුරිආරච්චිලාගේ ඇන්ටනි, ත්‍යාගරාජා ජෙගන්, එස් එස් ලියොන්, එස් ඒ රොෂාන් යන අයට අයත් විය. විදේශ ගමන් බලපත්‍රය ස්ටැන්ලි ලියෝන් යන අයගේය. ඒ ගැන තවදුරටත් සොයද්දී සීඅයිඩීයට දැනගන්නට ලැබුණේ එම හැඳුනුම්පත් හිමි පුද්ගලයන්, විවිධ ස්ථානවලදී නාඳුනන පුද්ගලයන් විසින් පැහැරගනු ලැබූ බවට වාර්තා වී ඇති අය බවය. එලෙස පැහැරගනු ලැබූ අයගේ හැඳුනුම්පත් සම්පත්ගේ කාමරයේ තිබීමෙන්, පැහැර ගැනීම්වලට සම්පත්ගේ සම්බන්ධය ඉතාම පැහැදිලිව පෙනෙන්නට විය.
ඉහත නම් සඳහන් කස්තුරිආරච්චිලාගේ ඇන්ටනි සහ කස්තුරි ආරච්චිලාගේ ඇන්තනි ජෝන් රීඞ් පියා සහ පුතා වෙති. ඇන්තනි ජෝන් රීඞ් පැහැරගන්නා ලද්දේ 2008 සැප්තැම්බර් 08 වන දිනය. ඔහු සිය පෙම්වතිය සමඟ හැඳල මුහුදු වෙරළට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් දෙදෙනා ගමන්ගත් සුදු පැහැති වෑන් රථය හරස් කළ යතුරු පැදිකරුවන් සිවුදෙනකු පිස්තෝලයක් පෙන්වා කීවේ තමන් පොලිසියෙන් බවයි. ඔවුහු වහාම බලහත්කාරයෙන් වාහනයට ඇතුළුවූහ. කොළඹ මීගමුව පාරේ මාබෝල හන්දියේදී ඇන්තනිගේ පෙම්වතිය වාහනයෙන් බස්වනු ලැබූ අතර, ඇන්තනි සමඟ වාහනය මීගමුව දෙසට පදවාගෙන යන ලදි. ඔක්තෝබර් මාසයේදී ඔහුගේ ගෙදරට ආ පිරිසක් ගෙදර සිටි ඇන්තනිගේ පියාද (කස්තුරිආරච්චිලාගේ ඇන්ටනි) රැගෙන ගියෝය.
ඇන්ටනිගේ බිරිඳ සම්සුදීන් මොහොමඞ් නෙහාරාය. සිය ස්වාමියා සහ පුතා පැහැරගැනීමෙන් පසු අංක 0771563332 දරන දුරකතනයෙන් ඇමතූ අයෙක් ඒ දෙදෙනා නිදහස් කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක මුදලක් අවශ්‍ය බව ඇයට කියා සිටියේය. පසුව තුන් ලක්‍ෂයකට අඩුකරගත් මුදල ලබාදීම සඳහා නාරම්මල, කඩහපොල, හොරොම්බාව ප්‍රදේශයේ ඇති ක්‍රිෂ් ෆැෂන් ඇඟලුම් කර්මාන්ත ශාලාව අසල පලතුරු කඩයක් අසළට එන්නටයැයි ඇයට නියම කෙරුණි. ස්වාමියා හා පුතා බේරාගැනීමේ වුවමනාව නිසාම, අමාරුවෙන් හරිහම්බකරගත් මුදල් හා එකිනෙකාගෙන් ඉල්ලාගත් මුදලින් රුපියල් තුන් ලක්‍ෂයක් සරිකොටගෙන සිය ඥාතියකුවූ ලුර්දුමේරිද සමඟින් ඇය එහි ගියාය. එහි පැමිණි පුද්ගලයකුට ඇය රුපියල් තුන්ලක්‍ෂය දුන් නමුත් ස්වාමි පුරුෂයාවත් පුතාවත් යළි ගෙදර ආවේ නැත.
තිස්පස් හැවිරිදි කනගරාජා ජෙගන්, කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අලෙවිහලක රන්කරුවකු හැටියට සේවය කරන කන්දප්පන් ජෙයචන්ද්‍රන්ගේ අක්කාගේ පුතාය. ජෙගන් සිය මාමා ළඟට අත්උදව්වට ආවේ වසරකට පමණ පෙරය. ඔහු 2008 සැප්තැම්බර් 17වැනිදින උදේ 6ට පමණ හෙට්ටිවීදියේ ගණදෙවි කෝවිලට පිටත්ව ගොස් තිබිණි. ඉන්පසු ගෙදර නොආවේය.
අලි අන්වර්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඞ් ජමාල්ඩීන් ඩිලාන්, මොහොමඞ් සාජින්, කස්තුරිආරච්චිගේ ඇන්ටනි ජෝන් රීඞ්, කස්තුරිආරච්චිගේ ඇන්ටනි, තිලකේෂ්වරන් රාමලිංගම්, අමලන් ලියොන්, රොෂාන් ලියොන්, කනගරාජා ජෙගන් යන අය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ භූගත සිරකුටියේ රඳවා තිබෙනු තමන් දුටු බවත්, ඔවුන් සමඟ විටින් විට කතා කළ බවත්, ඔවුන්ට ආරක්‍ෂාව හා කෑම සැපයූ බවත්, ඔවුන් සිටි සිරකුටි ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කළ බවත් එම නාවික හමුදා කඳවුරේ විවිධ නිලයන්වලට අයත් නාවික හමුදා සාමාජිකයෝ සහ සාමාජිකාවෝ සීඅයිඩීයට ප්‍රකාශ දෙමින් සඳහන් කළෝය. රඳවා සිටි මේ කිසිවකු බලන්නට ඔවුන්ගේ ඥාතීන්ට හෝ මහේස්ත්‍රාත්වරයාට හෝ රතු කුරුස වැනි වෙනත් සංවිධානයකට හෝ අවස්ථාව නොදුන් බවද, කිසිදු අධිකරණයකට මොවුන් ඉදිරිපත් නොකළ බවද මේ නාවික හමුදා සාමාජිකයෝ සීඅයිඩීයට කීහ. කඳවුරේ එක් සුළු නිලධාරියකුගේ නිල නිවස්නය අසළ අංක තහඩු නොමැති සුදු පැහැති ඩොල්පින් රියක් වරෙක නතර කර තිබෙනු තමන් දුටු බවද මේ අය සීඅයිඩීයට කියා තිබුණේය.
නාවික හමුදාවටත් සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකිය. එහෙත් එසේ අත්අඩංගුවට ගෙන පැය 24ක් ඇතුළත ඔවුන් පොලිසියට භාර දිය යුතුය. ඒ හැරෙන්නට, අත්අඩංගුවට ගත් බව හා ඔවුන් රඳවා තබන ස්ථානය ගැන මානව හිමිකම් කොමිසමට, රතුකුරුස සංගමයට හා ඒ පුද්ගලයන්ගේ ඥාතීන්ට දැනුම්දිය යුතු විය. එසේ දැනුම්දුන් විට මානව හිමිකම් කොමිසම හා රතුකුරුස සංගමය සිය නියෝජිතයන් එවා එම පුද්ගලයන් හා ඔවුන් රඳවා සිටින ස්ථාන වරින්වර පරීක්‍ෂා කිරීම ඒ කාලයේ රජයේ නියමයක් ලෙසම සිදුවිය. අනෙක් අතට, එසේ පුද්ගලයන් රඳවාගෙන සිටින තැන්වල ලේඛනයක් ඒ ඒ හමුදා භාරයේ තිබිණි. එහෙත්, නාවික හමුදාව සතුව මෙවැනි රඳවා තබාගැනීමේ ස්ථානයක් ඇතැ’යි කිසිම තැනක සඳහනක් නොවුණි. ඒ අනුව, මේ රැඳවුම් ස්ථානය මුළුමනින්ම නීතිවිරෝධී එකක් බවට කිසිම සැකයක් නැත.
මෙලෙස රඳවාගෙන සිටි මේ පුද්ගලයන් කිසියම් අපරාධයකට සම්බන්ධදැ’යි සීඅයිඩීය ජාතික බුද්ධි සේවය, ත්‍රස්ත විමර්ශන අංශය ඇතුළු සියලු හමුදාවලින් හා පොලිසිf යන් විමසන ලදුව, ඒ සියල්ලන්ම ලිඛිතව දන්වා එවා තිබුණේ මේ පිරිස එවැනි කිසිම අපරාධයකට සම්බන්ධයක් නැති බවයි. එනම් අහිංසකයන් බවයි. එහෙත් නාවික හමුදාව විසින් එවැනි වාර්තාවක් එවා තිබුණේ නැත.
යුද්ධයට මුවාවී කප්පම් ලබාගැනීම සඳහා දරුවන් සහ මිනිසුන් පැහැරගෙන යෑමේ මේ බිහිසුණු දීර්ඝ ක්‍රියාදාමය පිළිබඳව අනාවරණය වන්නේ සම්පත් මුණසිංහගේ නිල නිවස්නය පරීක්‍ෂා කිරීමෙන් පසු ලද තොරතුරු ඔස්සේය. එම නිවස්නය පරීක්‍ෂා කළ ලුතිනන් පුෂ්පකුමාර හා සුළු නිලධාරී කුමාර යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සීඅයිඩීයට ඕනෑ විය. එහෙත් ඔවුන්ට ප්‍රකාශ ලබාදීම නොකරන ලෙස නීතිපති දෙපාර්ත මේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු උපදෙස් දී ඇති බව සීඅයිඩීයට දැනගන්නට ලැබිණි. මෙලෙස මේ පරීක්‍ෂණයට බාධාවන පරිද්දෙන් වරින්වර ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කටයුතු කරන බවටත්, ඒ නිසාම නාවික හමුදාව පාර්ශ්වයෙන් සිය පරීක්‍ෂණ සඳහා ලැබිය යුතු සහාය නොලැබෙන බවටත් සීඅයිඩීය මහේස්ත්‍රාත් අධිකරණයට මෙන්ම නීති පති දෙපාර්තමේන්තුවටද විවිධ අවස්ථාවලදී දැනුම් දී ඇත. මේ මුළු පරීක්‍ෂණ ක්‍රියාදාමය සම්බන්ධයෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දුගේ මැදිහත්වීම ඉතාම ප්‍රශ්නකාරී බව පෙනෙන්නට තිබේ. මේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියේ සැකකරුවන් ආරක්‍ෂා කරගැනීමට තවමත් විශාල බලපෑමක් ක්‍රියාත්මක වෙමින් පවතියි. එහෙත්, සීඅයිඩීයේ දක්‍ෂ හා නිර්භය නිලධාරීන්ට පින් සිදුවන්නට පරීක්‍ෂණ නොනවත්වා ඉදිරියට ඇදෙනු ඇතැ’යි අපට විශ්වාස කළ හැකිය.
ඒ නිසා, මේ අවසානය නොවේ. රණවිරු ලේබලයට මුවාවී කරන ලද ඒ ම්ලේච්ඡ අපරාධ ගැනත්, ඒවා යළි රණවිරු ලේබලයෙන් වසාගෙන සුදනන් වන්නට රජයේ ඉහළම කොටස්වල සහායෙන් දැන් ඔවුන් ගන්නා උත්සාහය ගැනත් වරින්වර ඉදිරියේදීත් ලියන්නට ඒ නිසා අපට සිදුවනු ඇත. එතෙක් නවතිමු.■

නාඳුනන කෙනෙක් ගෙදර ආවා
ජිෆ්රියා මොහොමඞ්
(මොහොමඞ් සාජින්ගේ මව)
මගේ පුතා සාජින් වේල්ලවීදියේ වීදුරු කඬේක වැඩ කළා. 2008. 09. 17 වැනිදා එයා මට කෝල් එකක් දාලා කීවා, අම්මේ මට අද එන්න වෙන්නේ නෑ. හෙට තමයි එන්නේ කියලා. දහඅටවැනිදා උදේ අඳුනන්නේ නැති කෙනෙක් අපේ ගෙදරට ඇවිත් ඇහුවා, පුතා ආවේ නෑ නේද කියලා. හෙට එනවා කියලාත් එයා කීවා. පස්සේ පුතා මගේ නංගිගේ ගෙදර ලෑන්ඞ්ෆෝන් එකට කතා කරලා කීවා, අම්මේ මම හොඳින් ඉන්නවා. ටි්‍රන්කෝ බේස් එකේ ඉන්නේ. මෙතැන අයගේ ෆෝන් එකකින් කතා කරන්නේ. මට ප්‍රශ්නයක් නෑ. රජීව්ගේ ප්‍රශ්නයකටයි අපි අල්ලලා තියෙන්නේ. මේ අය මාව හෙට යවනවා කියනවා කියලා. ඊට පස්සේ පුතාගෙන් කිසිම පණිවුඩයක් ආවේ නෑ. අවුරුදු හයකට විතර පස්සේ ලියුම් කවරෙක දාලා තැපෑලෙන් පුතාගේ අයිඩින්ටිය එවුවා. අපෙන් කවුරුත් සල්ලිවත් මොනවාවත් ඉල්ලුවේත් නෑ.

රුපියල් දෙදාහක් අඩුයි කිව්වා
සම්සුදීන් මොහොමඞ් සම්සුන් නෙහාරා
(කස්තුරිආරච්චිගේ ඇන්ටනිගේ බිරිඳ)
මගේ පුතා එයාගේ යාළු ගෑනු ළමයාත් එක්ක බීච් එකට ගියා. ඒ 2008 සැප්තැම්බර් 8 වැනිදා වෑන් එකක පිටිපස්සෙන් බයිසිකලේක ආ හතරදෙනෙක් වෑන් එකත් එක්කම පුතා අරගෙන ගියා කියලා තමයි එයාගේ ගෑනු ළමයා වත්තල පොලිසියට කීවේ.
ඊට පස්සේ 2008 දහවැනි මාසේ 17 ්වැනිදා පාන්දර තුනයි හතළිස් පහට විතර හතරදෙනෙක් අපේ ගෙදරට ආවා. එක් කෙනෙක් නේවි යුනිෆෝම් ඇඳගෙන හිටියා. ඇවිත් අපේ හෑන්ඞ් ෆෝන් අරගත්තා. ලෑන්ඞ් ෆෝන් එකේ වයර් එක කඩලා දැම්මා. මගේ මහත්තයාට කමිසයක් දාගෙන ගෙයින් එළියට එන්න කීවා. එතකොට මම ඇඬුවා. ඒ අය කීවා, කෑගහන්න එපා. උදේ සීඅයිඩී එකට ඇවිත් තාත්තායි පුතායි අරන් යන්න පුළුවන් කියලා. උදේ සීඅයිඩීයට ගිහින් බැලුවාම එහෙට ගෙනාවේ නෑ කීවා.
2008 ඔක්තෝබර් 30 වැනිදා මට හොඳට දෙමළෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් කෝල් කළා. දොරවල් වහගෙන එයාගේ කතාව අහගන්න කීවා. එයා කීවේ ඔයාගේ මහත්තයායි පුතායි දෙන්නම අපි ළඟ ඉන්නවා. ඒ අය නිදහස් කරන්න නම් අපට උදව් කරන්න ඕනෑ කියලායි. උදව් මොනවාද කියලා ඇහුවාම, අපිට සල්ලි ඕනෑ කිව්වා. එයා සල්ලි ලක්ෂ දහයක් ඉල්ලුවා. මම සල්ලි නෑ කිව්වාම ලක්ෂ පහක් ඉල්ලුවා. පස්සේ මම කීවා ලක්ෂ තුනක් දෙන්නම් කියලා. හැබැයි කාටවත් කියන්න බෑ, කීවොත් මරලා දානවා කියලාත් එයා තර්ජනය කළා. එයාගේ නම අන්නච්චි කියලායි කීවේ.
මේ දෙන්නා මරනවා කියපු නිසා සල්ලි දෙන්න මම පොරොන්දු වුණා. ඊට පස්සේ 2008 නොවැම්බර් 4වැනිදා කෝල් ගත්තා. මම එදාම ලක්ෂ තුනක් සල්ලි අරන් කුරුණෑගල ගියා. එතැනදී කීවා නරම්මලට එන්න කියලා. නාරම්මලට ගිහින් 0771563332 කියන ඒ අය කියපු නොම්මරේට කතා කළා. එතකොට කීවා කඩහපොළ ගාමන්ට් එක ළඟ තිබෙන පලතුරු කඬේ ළඟට එන්න කියලා. එතැනට මෝටර් බයිසිකලේකින් කෙනෙක් ආවා. එයා දෙමළෙන් කතා කළේ. සල්ලි ටික අරගෙන එයා කීවා, නාරම්මල ටවුන් එකට යන්න, බස් ස්ටෑන්ඞ් එකේ පුතා ඉන්නවා කියලා. ඒත් හිටියේ නෑ. ටෙලිෆෝන් එකට කතාකළාට ඒක ඕෆ්කරලා. මා එක්ක ලුර්දුමේරිත් ගියා. එයා එක්ක එතැන මේ ගැන කතා කරකර ඉන්න කොට අපිව පොලිසියෙන් අල්ලාගත්තා. ඒත් පොලිසියටවත් අපි මේ ගැන කීවේ නෑ. ඊට පස්සේ ගෙදර ආවා. දවස් දහයකට විතර පස්සේ ආයේ මට කෝල් එකක් ආවා. කතා කරලා කීවේ, මම දුන්න ලක්ෂ තුනේ රුපියල් දෙදාහක් අඩුයි. ඒ හින්දා තව ලක්ෂ දෙකක් ඕනෑ කියලායි. ඊට පස්සේ කතා කළේම නෑ. දැන් අවුරුදු නමයක් විතර වෙනවා.■