පරාක්‍රමබාහුට බැරි දේ මෛත්‍රී කිරීම


polonnaruwa

ටිරන් කුමාර බංගගමආරච්චි

පැවති ආණ්ඩු සමයේ ප්‍රධා නීන්ට ද පිට්ටනි සාදා ඊට තම නම ඇතුළත් කර ගැනීමේ නොහිම් ආශාවක් පැවතුණි. ඒ අනුව කිසිම වැඩකට නැතිව සූරිය වැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය ඉදිවිය. ලොව සුන්දරම ක්‍රීඩාංගණයක් ලෙස එකල මහින්දවාදීහු සූරිය වැව මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය හැඳින්වූහ.
එහෙත් අද එයට අත්ව ඇති ඉරණම කුමක්ද? එය පරෙවියන්ගේ වාසභවනක් බවට පත් වී ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් පෙන්වා දුන්නේය. ක්‍රීඩාංගණ කෙසේ හෝ ණය කන්දරාවකට යටවී ඉදිකළ හැකි වුවත් පසුව ඒවා නඩත්තු කිරීම ලේසිපහසු නැත. සූරිය වැව නොව කලක් දඹුල්ලට වූයේද එයමය.
සූරිය වැව ක්‍රීඩාංගණය ඉදි කිරීමට රුපියල් මිලියන 4,283ක පමණ මුදලක් වැය වුණායැයි එකල සදහන් විය. එය අද වන විට තනිකරම සුදු අලියෙකු බවට පත් වී ඇත. 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිකළ මේ ක්‍රීඩාංගණයේ මෙතෙක් එක්දින තරග පවත්වා ඇත්තේ දාහතක් පමණි. විස්සයි විස්ස තරග හතක් ඊට අමතරව පවත්වා ඇත.
රාජපක්‍ෂලා සූරිය වැවට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන්න පිඹුරු හැදුවේ තම ගමේ නම් පුම්බා ගැනීමේ ආසාවෙනි. එකල හම්බන්තොට ඉඩම් රාජපක්‍ෂලා හිතුමතේට ගනිද්දී කෙඳිරිලි හඬක් නගන්නට හෝ කිසිවෙක් නොවූහ. සූරිය වැව ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අක්කර හතළිස් හතක (47) භූමියක් වෙන්කර ගත් අතර එම ක්‍රීඩාංගණයට ක්‍රීඩා ලෝලීන් 35,000ක් තරග නරඹන්නන් ලෙස ආ හැකි අයුරින් ඉදිකෙරිණි. දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි විදුලි ආලෝකය මත්තේ ඉදිකළ මෙම ක්‍රීඩාංගණය කාලයත් සමඟ නඩත්තු කළ නොහැකි පඩංගුවක් බවට පත්විය. මේවා හිතුවක්කාරී දේශපාලන වැඩ නිසා වූ අවැඩය. ක්‍රිකට් ක්‍රීඩාංගණ සාදා පසුගිය කාලයේ මංගල උත්සවවලට රුපියල් දස දහසක් වැනි මුදලකට ලබා දෙන තැනට මේවා පත් වූයේ කාගේ වරදින්ද? මෙහි නඩත්තුව වෙනුවෙන් වසරකට දෙකෝටියකට ආසන්න මුදලක් වැය වන බව ගණන් බලා තිබුණි. එසේ නම් යහපාලන ආණ්ඩුවට මේ මට්ටුවම පාඩම් ඉගෙන ගැනීමට කරුණක් නොවේද? එය තමන්ද අත්හදා බලා ඇනගන්නා තුරු මේ පාලකයන් පාඩම් ඉගෙන නොගන්නේද? මහින්ද රාජපක්‍ෂ තමන් විසින්ම ඇඳගත් ඇන්දිල්ල මේ මොහොතේ තිලංග සුමතිපාල මහතා විසින් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනට ඇන්දීමට සූදානම්ය. ඒ පොළොන් නරුවටද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙමිනි.
තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරනුයේ යාපනයට සහ පොළොන්නරුවට ජාත්‍යන්තර මට්ටමේ කි්‍රීඩාංගණ දෙකක් ඉදිකරන බවය. මේ සඳහා ක්‍රීඩාංගණයකට මිලියන සියය බැගින් මිලියන දෙසීයක් වෙන් කිරීමට නියමිතය. මෙහිදී වඩා වැදගත් වනුයේ පොළොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණයය. මෙය තනිකරම දේශපාලන සූදුවකි. දේශපාලන සූදුව තිලංග සුමතිපාලට එතරම් කජ්ජක්ද නොවේ. රනිල් සමඟ සිටින කළ රනිල්ට අවැසි ලෙසද මහින්දගේ කල ඊට අනුවද අද ඒ දෙකටම වඩා මෛත්‍රී ක්‍රමයටද ඔහු මේ සූදුවෙහි නියැලෙමින් සිටී.
රාජපක්‍ෂට ගමට ක්‍රීඩාංගණයක් ගැනීමේ දී තිබූ ආශාවම මෛත්‍රීපාල මහතාටද ඇති කර හමාරය. ඒ අනුව ඔහු දැන් මගේ ගමේ කොල්ලෝ ක්‍රිකට් ගැහැව්වාම අකැපද යැයි ප්‍රශ්න කළ හැකිය.
රාජපක්‍ෂලා හම්බන් තොට සූරිය වැව ප්‍රදේශයන් අක්කර 47ක් ගෙන කළ කෙංගෙඩියම තිලංග පොළොන්නරුව හිඟුරක් ගොඩ ප්‍රදේශයේ රජයේ ගොවිපළකට අයත් අක්කර 45ක භූමි භාගයක් ගෙන ඉදි කිරීමට නියමිතය. 2018 වසර වන විට මෙහි ඉදි කිරීම් අවසන් කිරීමටද මේ වනවිට ඇති බලාපොරොත්තු වේ.
යාපනයටත්, පොළොන් නරුවටත් මේ මොහොතේ අඩු ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගණ පමණි. ජනපති පොළොන්නරුවේ නිසා සියල්ලම සම්පූර්ණය. එකම අඩුව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ය. දිස්ත්‍රික් කයක් ලෙස පොළොන් නරුව යනු හම්බන්තොට තරම් නොවුවද ඊට ළඟින් යන දරිද්‍රතාවක් පෙන්නුම් කරන කලාපයකි. යාපනයත් වුව එයින් මහා ලොකුවට නොගැළපේ. අගමැතිවරයා වරක් පවසා තිබුණේ රටේ ජනගහනයෙන් වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් දෙකකටත් අඩු බවය. එය අද ජීවන මිලට සාපේක්‍ෂව ඊට වඩා දුක්ඛිත තත්ත්වයකට ඇද වැටී ඇතිවාට සැක නැත.
දැන් මෛත්‍රීපාල ජනපතිතුමාට මෙලෙස ඇසිය හැකිය. මගේ ගොවි පුත්තු ක්‍රිකට් ගැහැව්වාම නරකද? පොළොන්නරුව යනු ගොවිකමටම හුරු වූ කලාපයකි. එහි ජීවනෝපාය ලෙස ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ගොවිතැනය. මේ පිරිස කලක් වර්ෂාවෙන්ද තවත් කලෙක නියඟයෙන්ද බැට කති. මේ දෙකෙන්ම හෙම්බත් වුවද අවසානයේ ලබන අස්වැන්නට සාධාරණ මිලක් ගත නොහැකිව ළතැවෙති. ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් වළඳද්දී පවා වකුගඩු රෝගයෙන්ද පීඩා විඳිති. එහෙව් වටපිටාවක පොළොන්නරුවට මදිපාඩු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද? පොළොන් නරුව වකුගඩු රෝගීන්ට අවශ්‍ය මැෂින් ලබා දෙන ලෙස ආධාර පතද්දී ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වෙනුවට එවැනි දෑ කිරීම මීට වඩා ඵලදායි නොවේද?
රටේ සහල් මිල රොකට් වේගයෙන් ඉගිලෙද්දී අක්කර 45ක රජයේ ගොවිපළක ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ගොවිපුතකු යැයි කියා ගන්නා ජනපතිට ආඩම්බර විය හැකි කරුණක්ද? තමන් ගොවිපොළක් පොළොන් නරුවේ ජනතාවගේ ක්‍රිකට් තරග බැලීමේ පිපාසාවට දුන්නා යැයි කටක් ඇර කිව හැකිද? ක්‍රිකට් උන්මාදය ඇති කොට නාස් ලණුව දමා ඇති බව පැහැදිලිය. රාජපක්‍ෂලා කළ තක්කඩි වැඬේම වත්මන් ජනපති ලවාද කරන්නට මේ අය දක්‍ෂ වී ඇත.
පොළොන්නරුවට හෝ යාපනයට නොව වෙන මොන තැනක හෝ මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ වුවමනාව කුමක්ද? දැනට ඇති ක්‍රීඩාංගණ ටික පවා නඩත්තු කළ නොහැකි තත්ත්වයක තිබියදී ඒවා විනාශ මුඛයට යද්දී තවත් නටබුන් ඇති කරනුයේ ඇයිද යන්න ගැටලුවකි.
මේ වනවිට මෙරට තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ හතක් ඇත. ඒවා එක් දේශපාලන කාලය හැදු විට අනෙක් දේශපාලන කාලයේදී වල්බිහි වීමට ඉඩ හරිති. එක් දේශපාලන සමයකදී ක්‍රිකට් සභාපති ලෙස තිලංග සුමතිපාලම වීරයකු ලෙස මැදිහත් වී ඉදිකළ දඹුල්ල ක්‍රීඩාංගණය රාජපක්‍ෂ සමයේදී වල්බිහි වන්නට ඉඩ හැර තිබුණි. තිලංගද ඒ ආණ්ඩුවේම ලැග සිටි මුත් ඊට එරෙහිව කිව හැකි වචනයක් නොවුණි. දඹුල්ලට තරගයක් ලබා දෙන තුරු දඹුලු ප්‍රේක්‍ෂකයා වැසී වැටෙනවාටත් වඩා ආසාවෙන් බලා සිටි කාලයක් තිබූ මුත් එයට තරග නොලැබුණි.
දැන් තිලංග නැවත ක්‍රිකට් සභාපති වීමත් සමඟ දඹුල්ලට ක්‍රිකට් තරග ලැබෙන මුත් සූරිය වැව අනාථ කොට ඇත. මේ පිට්ටනිත් දේශපාලනයට යටත්ද? රාජපක්‍ෂලා ඉදිකළ නිසා සූරිය වැව ක්‍රීඩාංගණය විනාශ කළ යුතුද? එය ඉදිරියේදී පොළොන්නරුව නොවෙතැයි කැට තියන්නේ කවුද? එවිට ඒ ආණ්ඩු පොළොන්නරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හාල් ගබඩා කරන්නට යොදා නොගනු ඇතැයි විශ්වාසය වත්මන් ජනපතිට ඇත්ද? එවිට එකලට කිව යුත්තේ මෙහි මීට පෙර තිබුණේද ගොවිපොළක් නිසා එය ගබඩාවක් වීම සාමාන්‍ය බවද?
වසරකට ටෙස්ට් තරග දහයක් පමණ මෙරටට ලැබෙන විට මේ දැනට ඇති පිට්ටනි හතක් අලුත් දෙකත් සමඟ එය නවයක් වන විට මේ පිට්ටනියකට එක තරගයක් ලබා දීම වුව ලේසි පහසු නැත. එලෙස ලබා දෙන පස්දින තරගයක් පොළොන්නරුවට ලබා දිය යුත්තේ නියඟ ඇති කාලයකදීය. එවිට ගොවියන්ට කුඹුරු දිහා බලමින් හුල්ලනවා වෙනුවට ක්‍රිකට් තරග දිහා බල බල හුරේ දැමිය හැකිය. එයද ජනපතිගේ පැතුම දවස් පහම ටෙස්ට් තරගයක් නැරඹීමට මිනිසුන් දෙසියයක් වුව සොයා ගැනීම අපහසුය. එහෙව් කලෙක පිට්ටනි නවයක් හරක්ටද? ක්‍රිකට් උපන් එංගලන්තයේ පවා ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇත්තේ 8කි. එහෙත් ලංකාව වැනි පුංචි රටක පිට්ටනි 9කි.
රටේ අනෙක් සියලු ක්‍රීඩා වළපල්ලට ගොස් තිබියදී ක්‍රිකට් ක්‍රීඩාව රැකී ඇත. ඒ ක්‍රිකට් බලධාරීන්ගේ විජ්ජාවක් නිසා නොව ක්‍රිකට් තරග හරහාම එය ජනමනස අරක් ගෙන ඇති නිසාත් ක්‍රිකට් ක්‍රීඩකයකු අනෙක් ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව සුපිරි ජීවිතයක් ගත කරන නිසාත්ය. ක්‍රිකට්වලට ඇති ඉල්ලුම වැඩි වනවා මිස අඩු නොවෙනු ඇතිය. මන්ද එය වෘත්තියක් ලෙස ඉතාම ඉහළය. අද අවුරුදු දහනවයෙන් පහළ ක්‍රීඩකයකුගේ බ්ලොක්ගල් නිවස පෙන්වමින් දුක් අඳෝනා සහිත ලිපි එමට පළවේ. ඔහු තව ටික කලකින් ජාතික කණ්ඩායමට එක් වූ කළ ඉන් වසර කිහිපයක් ගිය තැන ඔහුගේ නිවස බලාගෙන ජනතාවට හීල්ලිය හැකිය. අනේ මෙවැනි මාලිගාවක් අපේ පුතත් ක්‍රිකට් ක්‍රීඩා කළා නම් ලබාගත හැකිය යන සිතුවිල්ලේ ගිලෙමිනි.
මේ සඳහා පිට්ටනි රට වටේ හැදිය යුතුද? පිට්ටනි හදනුයේ රටේ ක්‍රිකට් සංවර්ධනය කරන්නටම නොව තම තමන්ගේ සංවර්ධනයන් සඳහාමය. අද සූරිය වැව ක්‍රීඩාංගණයට හෙණ ගැහැව්වද රාජපක්‍ෂලාට එය දැනේද? දැන් සූරියවැව ක්‍රීඩාංගණයට තරග නොදී එය පරෙවි රජදහනක් වූ කළ රාජපක්‍ෂලා ගෙට වැදී හඬ හඬා සිටිනු ඇත්ද? එසේනම් මේවායෙන් විඳිනුයේ කවුද? හෙට මේ දේ වන විට පොළොන්නරුවට එහි සියලු පව් ජනපති කර ගසාවිද? ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්නට නම් ජාත්‍යන්තර මට්ටමේම ක්‍රීඩාංගණ තනවා දිස්ත්‍රික් මට්ටමේ ඇති ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීම හෝ නැති දිස්ත්‍රික්කවලට ක්‍රීඩාංගණ ඉදිකර දිය හැකිය. එවිට පාසල් තරග මනාව පැවැත්විය හැකිය. සාමාන්‍ය තරගයක් පවත්වන්නට මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලබා ගන්නට රුපියල් පනස් දහසක් පමණ ගෙවිය යුතුය. මේ හැකියාව පාසල්වලට ඇතිද?
හම්බන්තොට වරායවල් හදමින්, ගුවන් තොටුපළ ඉදිකරමින්, ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කරමින් රාජපක්‍ෂලා උත්සාහ කළේ තම ප්‍රතිරූපය පුම්බාගන්නටය. හම්බන්තොට තම බූදලය කර ගන්නටය. ඔවුන් පරාජය වන සිතුවිල්ලක කිසිදා නොසිටි නිසා ඔවුන් සියල්ල කළේ තම නම ගසා ගෙන වැජඹෙන්නටය. තම ප්‍රදේශ සුපිරි පුරවරයක් කරන්නටය. මේ තිලංග නොකියා කරන්නට උත්සාහ කරනුයේද රාජපක්‍ෂලා කළ වැඬේම පොළොන්නරුවේ කිරීමය. ඒ හරහා ජනපතිගේ ප්‍රතිරූපය පුම්බා 2020ටත් නැවත කරළියට ගෙනඒමටය. එදා පොළොන්නරුව ජය ගැනීමට නොහැකි වූ වත්මන් ජනපති රාජපක්‍ෂ නොදුන් දේ තමා පොළොන්නරුවට දුන්නා යැයි කියා උදම් ඇනීමට මේ පිට්ටනි පිහිට කර ගනු ඇතිය. හෙට පොළොන්නරුවේ ගුවන් තොටුපළක් ඉදි වුවද පුදුම විය යුතු නැත්තේ, පෙර නායකයන්ගේ ආශාවන් ඒ විදියටම එන අයටද වැළඳෙන බැවිනි. ඒ තත්ත්වය දන්නා ඇම්බැට්ටයෝ බලෙන් හෝ ඒ ගොඩට නායකයන් දමන්නටද පසුබට නොවෙති. තිලංග හසු වී පොළොන්නරුවේ පිට්ටනි හැදීමට ජනපති බබෙක් නොවේ. මේ ඔහුගේද ආශාවය. මේ විධායක ජනපති කෙනකුට අලුතින් හැදෙන ලෙඩය. මේ රාජපක්‍ෂලා බෝ කළ පහසුවෙන් සුව කළ නොහැකි ලෙඩය. පොළොන්නරුව ගොවි ජනයාට උද්ඝෝෂණ කරන්න නොව වගා පාළු වූ විට මැසි තෙල් බොනවා වෙනුවට ක්‍රිකට් තරග බලා සැනසිය හැකිය. ක්‍රිකට් තරග එතරම් නැති නිසා පිට්ටනිය දිහා බලාගෙන බොහෝ දේ සිතිය හැකිය. එය මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වන නිසා කුමක් නැතත් අපේ එකෙක් නම තිබ්බා යැයි කියා උදම් විය හැකිය. මේ ගොන් පාට් අපට තව ඉදිරියේදී ඉදිරියෙන්ම දැක බලාගත හැකිය. රාජපක්‍ෂලාගේ ලෙඩෙන් සුව වීම කාට කාටත් ලේසි පහසු නැත. මන්ද ඔවුන්ගේ ලෙඬේ බෝවුණු ලෙඩුන් වැඩි හරියක්ම ඉන්නේ යහපාලනයේම වන බැවිනි. නාමල් රාජපක්‍ෂ සමඟ බේබි මට්ටමේ ක්‍රිකට් ගැසූ දේශපාලකයන්ට හෙට දහම් සිරිසේන සමඟ පොළොන්නරුවේ සුහද තරග පැවැත්විය හැකිය. හම්බන්තොට ජනතාව මෙන් පොළොන්නරු ජනතාවද තම කෙනකු පාර්ලිමේන්තු යවා දින්නෝය. මන් ද ජාත්‍යන්තර මට්ටමේ අරව මේවා හැම ප්‍රදේශයේ දැන් ඇති බැවිනි. අපට ඉදිරියේදී තව බොහෝ සතුටු විය හැකිය.■