දුවලාම තමයි ජීවිතය දින්නේ |සුගත් තිලකරත්න


sugath

ටිරන් කුමාර බංගගමආරච්චි

මීටර් 400 ඉසව්ව තත්පර 44.61 සුගත් දුවනකොට ඒක මාරම වැඩක්. පුංචි සිරුරකට ගන්න පුළුවන් පෙළහරක්. විදුලිපුර නම් ග්‍රාමයෙන් දිව විත් ඔලිම්පික් දක්වාත් ගිය සුගත් තිලකරත්න අපේ කාලයේ වීරයෙක්. වැඩි සද්ද නැති වුණාට සුගත්ට වේගයක් තිබුණා. ඒකට රන්, ලෝකඩ දිස්නයක් තිබුණා. සුගත් කියන්නේ අපේ ආරක්. මේ ඔහු.

මට වෙලාවකට හිතෙනවා සුගත් ගැන ජනමාධ්‍ය කතා කළේ අඩුවෙන්ද කියලා.
ඒකට ප්‍රධානම හේතුව විදිහට මට හිතෙන්නේ මම මාධ්‍යයට කතා කළේ අඩුවෙන් කියලායි. මොකද මා ගැන මාධ්‍ය ලිව්වා. ලියන්න තරම් හැකියාවක් මට තිබුණා. හැබැයි මම කතා කළ වාර අඩුයි. මොකද මම කළේ දුවන එක. කතා කළේ හරිම අඩුවෙන්.

විදුලිපුර ගැන විදුලි වේගයෙන් කතාවුණේ ඔබ හින්දා කිව්වොත්?
ඒකේ ඇත්තක් ඇති. ඒ කාලේ විදුලිපුර විදුලිය කියලාත් මට නම් හැදුණා. මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතුළේම තියෙන්නේ. ඒක මම හරහා කරළියට නොයෙන්න අප්‍රසිද්ධව තියේවි. විදුලිපුර මහා විද්‍යාලය මාත් එක්ක ලංකාවෙම නම කියවුණා. ඒක මම ලබපු ලොකුම වාසනාවක්. මම පාසලටත් ගමටත් විතරක් නෙමෙයි රටටත් ණය නැහැ කියලා මට හිතෙනවා.

සුගත්ගේ ළමා කාලය කොහොමද?
ක්‍රීඩාවත් එක්ක ගෙවුණා කිව්වොත් හරි. මම පවුලේ බාලයා. මට වැඩිමල් අයියලා තුන්දෙනෙක් සහ අක්කා කෙනෙක් හිටියා. එක අයියා කෙනෙක් අද ජීවතුන් අතර නැහැ. මම පුංචි කාලේදීම තමයි තාත්තා නැති වෙන්නේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා ලොකු අඩුවක් මා තුළ තියෙනවා. හැබැයි ඒ එක්කම කියන්න ඕනෑ, ආර්ථික අපහසුකම් කියන ඒවා මොනතරම් තිබුණත් ඒවා නම් මම අදටත් විශ්වාස කරන්නේ මහා ලොකුවට කතා කළයුතු දේවල් නෙමෙයි කියලායි. මොකද අගහිඟකම් දුක්විඳීම් කියන ඒවා මට විතරක් උරුම දේවල් නෙවෙයි. ඒවා සාමාන්‍ය දේවල්. ඒ හැමදේම මට ක්‍රීඩාවත් එක්ක අමතක කරන්න පුළුවන් වුණා.

සුගත් පුංචි කාලේ ඉඳලා ක්‍රීඩාවට දක්ෂයෙක්ද?
අපි හැමෝම පුරුද්දට ඉස්කෝලේ තරගවලට දුවනවා. ඒ ඇරෙන්න මටත් ලොකු ඉලක්ක තිබුණේ නැහැ. කොටින්ම මම අවුරුදු දාහතෙන් පහළ දුවනකම් දිනලා නැහැ. හැබැයි 17න් පහළ දින්නාට පස්සේ මම ක්‍රීඩාවත් එක්ක බැඳෙනවා. අපේ පාසලේ ක්‍රීඩා කරන්න පිට්ටනියක් නැහැ. ඒත් මම ක්‍රීඩාවට තියෙන කැමැත්ත හින්දාම කිලෝමීටර් දුර ගෙවලා අඹගමුව ක්‍රීඩාංගණයට යනවා. ඒක දුෂ්කර ගමනක්.

සුගත් මීටර් 400 තෝරාගන්නේ කොහොමද?
මම මුලින් දිව්වේ මීටර් 50, 75, 100 වගේ ඉසව්. ඒත් මට දාහතෙන් පහළ දුවන කොට මගේ පුහුණුකරු බණ්ඩාර සර්ව හම්බවෙනවා. ඔහු යටතේ තමයි මම අඹගමුව පුහුණුවන්නේ. ඔහු තමයි මට කියන්නේ සුගත් ඔයාට ගැළපෙන්නේ මීටර් 400 ඉසව්ව කියලා. ඒක කොයි තරම් නිවැරදිද කියලා මට ලෝකෙටම කියන්න පුළුවන් වුණා.

සුගත් මතුවන්නේත් විදුලි වේගයෙන් නේද?
ඔව්! මටත් හිතාගන්න බැරි විදියට මගේ ශරීරය වේගවත් වුණා. පොඩි කාලේ පැරදි පැරදි හිටපු මම දාහතෙන් පහළ එකපාරටම දිනාගත්තා. පාසල් වාර්තා පොත් අලුත් කළා. ඒ මගේ පාසලට නෙමෙයි මුළු රටේම. මම මොනතරම් ප්‍රගතියක් පෙන්නුවාද කියනවා නම් ගොඩක් අය කිව්වා වැඩි කල් දුවන්නේ නැහැ කියලා. ඒක මට වුණත් හිතුණා. මොකද ඒක විදුලියක් වගේම පත්තු වුණු හින්දා.

සුගත් අද හිතන්නේ ඒ ඇයි කියලාද?
වේගය මගේ ඇඟ ඇතුළේ තිබුණා. හැබැයි පාදා ගන්න දැනුමක් මට තිබුණේ නැහැ. මගේ පුහුණුකරු ඒක හරි ඉක්මනින්ම මතු කළා. ඔහු ඉතාම දක්ෂ පුහුණුකරුවෙක්. මගේ ජයග්‍රහණවල අඩක් ඔහුටත් අයිතියි.

පිට්ටනියට වැටුණාට පස්සේ අධ්‍යාපනය අතඇරුණාද?
අතඇරුණේ නැහැ. අත ඇරියා. මම විශ්වවිද්‍යාලයට යන්නත් සුදුසුකම් ලැබුවා. ඒත් මගේ ආශාව ක්‍රීඩාව නිසා මම විශ්වවිද්‍යාල ගමන අතඇරලා උපරිම ක්‍රීඩාවට කැපවෙන්න තීරණය කළා. ඒකේ හොඳක් මිස නරකක් වුණේ නැහැ. මට ක්‍රීඩාව නිසා හැමදේම ලැබුණා. මම ක්‍රීඩකයෙක් වීම නිසා ලෝකෙම දින්නා.

සුගත් දිනන කොට සුගත්ගේ ගමේ අය ආඩම්බර වුණාද?
අපෝ ඔව්! මට මගේ ගෙදර වගේම පාසලත්, ගමත් මේ තැනට එන්න සෑහෙන උදව් කළා. අදටත් මම ගමට ආදරෙයි. පදිංචිය මෙහේ වුණත් ගම බලන්න යනවා.

කොළඹ ගමනත් ක්‍රීඩාව නිසාම ඇති වෙච්ච දෙයක්ද?
ඔව්! ගමේ අපිට කොළඹ දුවන්න එනවා කියන්නේ ඒ දවස්වල වෙන රටකට යනවා වගේ. ඉතින් කොළඹ ඇවිල්ලා රට ජයගන්න කොට ඉතිරි හයිය නිකම්ම එනවා රටින් පිට ජයගන්න ඕනෑ කියලා. කොළඹ ගමන ක්‍රීඩාව නිසාම වන දෙයක්. ඉන් පස්සේ මෙහේ පදිංචි වන්නේත් මෙහේ ස්ථාවර වන්නේත් ක්‍රීඩාව නිසාම තමයි.

ඒ කාලේ දක්ෂ ක්‍රීඩකයන්ව පුහුණුකරුවෝ ඩැහැගන්නවා. ඔබටත් ඒ ඉල්ලුම ඕනෑවටත් වඩා තියෙන්න ඇති.
අපෝ ඔව්! ඒත් මට මගේ පුහුණුකරු කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණා. ඔහුට මාව ගොඩක් දුර රැගෙන යන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. අපි දෙන්නා අතර තිබුණ ඒ විශ්වාසයට ගොඩාක් අය එකඟ නොවුණත් අපි දෙන්නම ඒ තත්ත්වය ජයගත්තා.

ඒත් ඒක ඔබට බාහිරින් නරක ප්‍රතිඵල ගෙනාවා කියලා මට මතකයි.
ඔව්! ප්‍රශ්න ආවා. ඒත් දැන් ඒවා වැඩක් නැහැ. මම ජාතික සංචිතයට තේරුණත් කොළඹ හිටියේ අඩු කාලයක්. වැඩිපුර මම පුහුණු වුණේ අඹගමුව පිට්ටනියේ සර් එක්කමයි. හමුදා අංශවලිනුත් මට සෑහෙන ඉල්ලුම් ආවා. මම ඒ ගියෙත් නැහැ.

1998 කියන්නේ සුගත්ගේ අවුරුද්ද කියලා මම කිව්වොත්?
සම්පූර්ණ එකඟයි. මම උපරිම දක්ෂතා පෙන්වපු වසර ඒක තමයි. ජපානයේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මම රන් පදක්කම දිනාගන්නවා මීටර් 400 ඉසව්වෙන්. ඒ වාගේම තායිලන්තයේ පැවැත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම මා සතුවෙනවා. ඒ වගේම මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම මට හිමිවෙනවා. මේ ජයග්‍රහණ තුනම මම ලබන්නේ 1998 අවුරුද්දේදී. ක්‍රීඩකයෙක් විදියට උපරිම දේ මම ලැබුවේ ඒ අවුරුද්දේ. ඒක මගේ අවුරුද්ද තමයි.

98 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙහිදී රන් පදක්කම දිනන ඔබ 2002දී කොළඹදී පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනන්නේ?
ඔව්! මම සුළු ආබාධවලටත් ලක්වෙනවා. අනෙක ක්‍රීඩාව කියන්නේ එහෙම තමයි. අද ලබන ජයග්‍රහණය හෙට වෙන කෙනෙක් ඩැහැගන්නවා.

ඔබ ඔලිම්පික් උළෙලකදී පළමුවටයේ තරගයකදී ලෝක ශූර මයිකල් ජොන්සන් පරද්දනවා. ඒක ඔබට දැනුණේ කොහොමද?
ඒ ජයග්‍රහණයත් එක්ක ඇතිවුණ කතා සමහර වෙලාවට මම අනුමත කරන්නේ නෑ. මොකද ඔහු අතිදක්ෂයෙක්. ඔහුට වුවමනා වුණේ එම වටයෙන් ඉදිරි වටයට යන්න විතරයි. ඉතින් ඔහු උපරිමයට ආවේ නෑ. එතැනදී මූලික වටයක තරගයකදී වුණත් මම ඔහුව පරාජය කිරීම ක්‍රීඩකයෙක් විදිහට මට තියෙන අහිංසක සතුටක්. මොකද ඔහු තමයි මගේ ඉසව්වේ වීරයා. ඔහු ලෝක වාර්තාව පිහිටුවන්නෙත් ඒ ඔලිම්පික් උළෙලේදීමයි. නිකමට හරි ඔහු පරාජය කිරීම මට සතුටක්. හැබැයි ඒක ඇත්තටම ඔහු පරාජය කිරීමක් නෙමෙයි. මොකද ඔහු ඒ වෙලාවේ උපරිමය කළේ නෑ. හැබැයි මම අදටත් සතුටුයි ඔහු සමඟ දිවීම ගැන.

ඔබ ඒ සතුට සමරන්න ඔහු සමඟ පින්තූරයක් ගන්න යනවා. ඒත් ඔබව ඔහු ප්‍රතික්ෂේප කරනවා.
ඒකටත් ලොකු කතාවක් තියෙනවා. මට ඇත්තටම ආසා හිතෙනවා ඔහු සමඟ පින්තූරයක් ගන්න. මම ඒ සඳහා ගියාම ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ සෙකියුරිටි එක මාව පැත්තකට තල්ලු කරනවා. ඒක ඒ වෙලාවේ මට වේදනාවක් ගෙනාවත් දැනුම් තේරුම් යනකොට මම ඒකේ වරදක් දකින්නේ නැහැ. මොකද ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක්ම හැසිරුණේ ලෝක ශූරයෙක් විදියට තමයි. ආවාට ගියාට ඔහුට ළංවෙන්න බෑ. ඔහුට විශාල ආරක්ෂාවක් තිබුණා. ඒ රටවල් ඔහුව රැකගත්තා. ඔහු එදා මම ජයග්‍රහණය කළාම ඔහුගේ නිලධාරීන්ට බැනවැදුණා. මොකද තරගයට සහභාගි වන අපි වගේ පොඩි රටවල ක්‍රීඩකයන්ගේ තත්ත්වය ගැන ඔහුට අවබෝධයක් ලබා නොදුන්නා කියලා. ඒ මොකද තරගය තුළ ඔහුට මාව වැදගත්ම නෑ. යම් විදියක පුංචි දැනුවත් කිරීමක් හරි තිබුණා නම් ඔහු එදත් දිනනවා. මොකද අපි වගේ පුංචි රටකට ඒ තැන දෙන එකක් නෑ. ඔවුන් වෘත්තීයමය ක්‍රීඩකයෝ. ඔවුන්ගේ අරමුණ ජයග්‍රහණය. ඒ ඉලක්කවලමයි ඔවුන් ඉන්නේ.

ඊට පස්සේ ඔහු හමුවුණේ නැද්ද තරගවලදී?
හමුවුණා. ඒත් මට ඔහු සමඟ දුවන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ වාගේම ඔහුත් සමඟ කතා කරන්න බැහැ. මොකද ඔහු කතා කරන්නේ නැහැ. 2002දී නැවත මට ඔහුව හම්බ වුණා. ඔහු එදා මට පිටට තට්ටුවක් දාලා “උඹ දක්ෂයෙක්. හොඳට පුහුණුවෙලා ඉදිරියට පලයං” කිව්වා. එපමණයි ඔහු මාත් එක්ක කතා කළේ. ඒක මට ලොකු දෙයක්. මොකද ඔහු මගේ ඉසව්වේ වීරයා. අනෙක ඔවුන් එක රාමුවකට අනුව තමයි හැමදේම කරන්නේ. මම අද විශ්වාස කරනවා ඔවුන් ඉන්න විදිය හරි කියලා. මොකද ඔහු ලෝක ශූරයෙක් විදිහටම ඉන්නවා.

ක්‍රීඩකයෙක් විදියට අද ඔබ තෘප්තිමත්ද?
ඔව්! හැමදේම මට ලැබුණේ ක්‍රීඩාව නිසා. මම අද සම්පූර්ණ මිනිහෙක්. මගේ අම්මා අද මාත් එක්ක ඉන්නවා. ඒ වගේම මම තැනකට ආවාම මට පුළුවන් වුණා මගේ සහෝදරයන්ටත් හොඳ සහෝදරයෙක් වෙන්න. ඒ අයත් යම් තැනකට ගන්න. මේ හැමදේම මට ලැබෙන්නේ ක්‍රීඩාව නිසා. මට ක්‍රීඩාව නිසා ලැබුණු දේ බොහෝයි. මම ක්‍රීඩාවට එදා වගේම අදටත් ආදරෙයි. මම ගොඩාක් සරලව ජීවත් වෙන කෙනෙක්. මම අවුරුදු දහතුනයි ක්‍රීඩා කළේ. ඒ කාලය තුළ උපරිම දේ කළා.

සුසන්තිකා වගේ ඔබවත් ඇමරිකාවේ පුහුණුවකට යැව්වා නම් ඔබටත් ඔලිම්පික් පදක්කමක් දිනන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?
හිතෙනවා. සමහර අවස්ථා මට ආවා. ඒත් ඒවාට යන්න බාධක ආවා. සුසන්තිකා ඇරුණු කොට එහෙම ගිය අය ආයේ ලංකාවට ආවේත් නෑ. ක්‍රීඩාව කළේත් නෑ. පරිපාලනය ඒ බයට මාව නොයැව්වාද කියලාත් හිතෙනවා. අනෙක පුහුණුකරු නැතිව තනියම යන්නත් මම කැමති වුණේ නැහැ. තනිව එවැනි ගමනක් ගිහිල්ලා අතරමං වෙයි වගේ හැඟීමකුත් මට තිබුණා. කොහොමහරි ඒ දේ වුණේ නෑ. එහෙම වුණා නම් මටත් ඔලිම්පික් පදක්කමක් දිනන්න තිබුණා කියලා හිත කියනවා.

ඔබ තරග කළ මීටර් 400 ඉසව්වට ලොකු තරගයක් ලංකාවේ තිබුණා. ඒ හැමෝටම ඔබ පරාජය කිරීමේ වුවමනාවකුත් තිබුණා. එහෙම නේද?
මමත් හිතනවා. හැබැයි මට කාවවත් පරාජය කරන්න ඕනෑකමක් තිබුණේ නෑ. මට තිබුණේ හැම තිස්සේම තරගය මාත් එක්කමයි. මට ඕනෑවුණේ මගේ කාලය දියුණු කරගන්නයි. මම ගියේ ඒ ඉලක්කයටයි. ඒත් ගොඩාක් අයට මාව පරාජය කරන්න ඕනෑ වුණා. ඒ තරගයෙන් පමණක් නෙවෙයි පිට්ටනියෙන්ම. ඒත් මම ගියේ මගේ ගමනක් නිසා ඒක එහෙම වුණේ නෑ.

විදුලිපුර ඉඳලා දුවන්න කොළඹ එන ඔබ අද මලල ක්‍රීඩා සංගමයේ සභාපති.
ඒක මට අහම්බෙන් ලැබුණා කිව්වොත් හරි. මොකද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාව ඉද්දී ගෙනා නව ක්‍රීඩා සංශෝධන නිසා එතෙක් හිටපු නිලධාරීන්ට තනතුරු දරන්න බැරිවුණා. ඒ අය මාව දාලා ඒ අයගේ පාලනයක්ම ගෙනියන්න බැලුවා. ඒක මට තේරුණේ සමහර තැන්වලදී ඔවුන් මාව අතරමං කළා. ඒ ඔවුන් කියන විදිහටම නොවන නිසා. ඒත් මම පරිපාලකයෙක් නොවුණාට ක්‍රීඩකයෙක්. ක්‍රීඩාව සම්බන්ධයෙන් මටත් දේවල් තේරෙනවා. දැන් අවුරුදු දෙකක් මම සභාපති විදියට මේ පරිපාලනයත් හුරුවක් තියෙනවා. මම හිතනවා පරිපාලනයෙත් මට යමක් කළ හැකියි කියලා. ඒ නිසා තව ටික කලක් මම මේ පරිපාලනය කරලා ක්‍රීඩාවට සේවයක් කරනවා. ක්‍රීඩකයන්ට පරිපාලනය බැහැ කියන එක බොරුවක්. ඒක මවපු දෙයක්. මේකේ මහා දෙයක් නැහැ. ජාත්‍යන්තරය එක්ක වැඩ කරන කොට ඒ අය සමීප වෙනවා. ඒ අය අහවලාම ඉන්න ඕනෑ කියලා ඉල්ලන්නේ නෑ. ඒ මේ රටවල අය හදපු බොරු. මම නැවත තරග කරනවා. මට හැකි උපරිමය මම ක්‍රීඩාවට කරනවා.

සුගත්ට සියලු ජයග්‍රහණ හමුවෙන්නේ පිට්ටනියෙන්. බිරිඳ පවා නේද?
ඔව්! ඇය ඉස්සර ටොරින්ටන් පුහුණවෙන්න එනවා. ඒ අතරේ අපි ආදරය කරනවා. ඇයත් මට හම්බ වුණේ පිට්ටනියෙන්ම තමයි. ඒකනේ මම කිව්වේ මේ ක්‍රීඩාව තමයි මට හැමදේම දුන්නේ කියලා. මගේ දුවත් ක්‍රීඩාව කරනවා. පුතා තවම පොඩියි. කිසිම බලකිරීමක් නෑ. ඒත් ඒ අය ක්‍රීඩාව කරනවා නම් මම ආසයි. මොකද ක්‍රීඩාව කියන්නේ අපූරු දෙයක්. ඒ දේ නොවන්න මම විදුලිපුරම හැංගිලා යනවා.

දිවීම ගැන මොකද හිතෙන්නේ?
අරමුණක් ඇතිව නෙමෙයි දුවන්න පටන් ගත්තේ. ඒත් ජීවිතේ සියලු අරමුණු දුවලාම තමයි ඉටුකර ගත්තේ. දිවීමට ලොකු ගැඹුරක් තියෙනවා. මම හිතන්නේ මම ඒක අවබෝධ කරගත්තා. ඒ නිසා මම තරුණයන්ට කියන්නේ නිකමට දුවන්න පටන් ගන්න කියලා.

ඇයි ඒ?
කොහේ ගිහින් නවතිනවාද කියලා හිතාගන්න බෑ. අඹගමුවේ දුවන කොට මම හිතුවේ නෑ කොළඹ දුවයි කියලා. කොළඹ දුවන කොට හිතුවේ නෑ ජපානයේදිත් මම දුවයි කියලා. ඒත් රටවල් කීයක දිව්වාද? පදක්කම් කොච්චර ලැබුණාද? කොටින්ම දුවලාම තමයි ජීවිතයම දින්නේ.■