සෙල්ලයියා මාමායි. එනසාල් සුවඳයි. සංගිලි මුඩුක්කුවයි.


enasal

කේ. සංජීව

මුලින්ම මැද මහනුවර.. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන, එක්නැළි ගොඩ ගැන, ඩොයිලි ගැන, මතකයක්.. ඊළඟට දුම්බරට යන මග.. හුන්නස්ගිරිය.. සීත මාලිගයක කතාවක්.. රහස් මාලිගයක කතාවක් අවුරුදු දෙසීයකට වැඩිය දුර කතාවක්..
‘මචං නුවර රාජධානියට මාලිගා ගොඩක් තිබුණා. නුවර, හඟුරන්කෙත, හුන්නස්ගිරිය, මීමුරේ වගේ. මේවා ගැන සාමාන්‍ය මිනිහා දැනගෙන හිටියා. හැබැයි ජනකතාවක් තියෙනවා රහස් මාලිගයකුත් තිබුණා කියලා. නුවර රාජ්‍ය ආක්‍රමණිකයන් කොල්ලකන්න එනකොට මාලිගාවේ තිබුණ වටිනාම දේවල් ආරක්ෂා වුණේ මේ රහස් මාලිගාවේ. මේක බලාගන්න හිටිය බලුගැත්තා තමන්ගේ ඇඹේණියටවත් මේක තියෙන තැන කිව්වේ නැහැ.. හැබැයි දවසක් මේ මිනිහාගේ පුංචි පුතා හැමදාම හිටිගමන් අතුරුදන් වෙන තමන්ගේ අප්පොච්චා පස්සේ හොරෙන් යනවා. මාලිගාව හොයාගන්නවා. අන්තිමට අප්පොච්චට පුතා මරන්න වුණා කියනවා, මේ රහස රැකගන්න…’
මේ වගේ සොමි කතා නැවකට එකතු කරකර අපි අන්තිමට හුන්නස්ගිරියට ආවා. නකල්ස් කඳුවැටිය අපිත් එක්ක කතාවක. මම මේ නකල්ස් අස්සේ රිංගන කීවෙනි සැරේද? හුන්නස්ගිරියෙන් වමට කන්ද මුදුනට පාර.. මේකේ කෙළවර මීමුරේ. දැන් හැමෝම මීමුරේ හක්කලන් ගහන නිසා අපි හිතුවා ලූල්වත්ත, කොබෝනිල්ල පහුකරලා කෝබර්ට්ස් ගැප් කියන කඳු තුඩුවේ නවතින්න. මේකට සුද්දා කිව්වේ වින්ස් වීල් පාර්ක් කියලා. ඊට පහළින් නාය ගිය පාරේ තවත් ගියොත් කරඹකැටිය, කයිකාවල, මීමුරේ. මැද මහනුවර ඉඳලා හුන්නස්ගිරට කිලෝමීටර් පහයිලු. ඊළඟට එතැන ඉඳලා මීමුරේටම තිස්පහයිලු. හැබැයි අපි ඉන්න මේ ගැප් එකට නැත්තං වින්ස් වීල් පාර්ක් එකට කිලෝමීටර් දාහතයිලු. අපොයි දෙයියනේ ආපු පාර. කීසැරයක් මධ්‍යම මහ ඇමතිගේ අම්මාගේ නම මතක් කොළාද අපි. උන්දැට ඉන්නවා නම් හරියට හචිං යන්න ඇති. පාරේ බැහැලා සැපට සොමියට සූස්තියක් ගහන්න පුළුවන් වළවල්. සමහර තැන්වල අරියාදුවට හිටවපු පොල් පැළ වගේ පාර කාපට් කරලා. ගොඩක් තැන්වල කඳු රැහැලා හාලා ගිහිං. මිනිස්සු නම් කියන්නේ පාරට පාස් වුණා කියන සල්ලි පාරේ කාලක් වගේ දුර එනකොට මහ ඇමතියා කඩචෝරුවලට වියදම් කරලා කියලා. හැබැයි ඉතිං මොනවා වුණත් කොළඹ ලොකු ලොකු එවුන් හයිබි්‍රඞ් අර බි්‍රඞ් මේ බි්‍රඞ්වල එනවා. දඩම් බඩම් කියලා. ඒකට අපේ ත්‍රීවිල් මල්ලි නම් වළවල් මගෑරලා අපිව කෝබර්ස් ගැප් එකට ගෙනිහින් බෑවේ මරණයේ සෞන්දර්යයත් මෙන්න මෙහෙමයි කියලා කියාදිදී. අනේ ඒ මල්ලිට පිං. ජීවිතේ අනිත්‍යය පසක්කරලා දුන්නට. සිලෝන් ටී අතීතය සිංහල සුද්දෝ විනාශ කළ හැටි බල බලා අපි නිදහස් දවසේ වින්ස් වීල් ආවා ත්‍රීවීල් එකේ. දැන් ඉතිං සීලෝන් ටීත් නැහැ සිලෝන් සිනමනුත් නැහැ. දැන් තියෙන්නේ බණ්ඩාගේ සරම විතරයි. හරි නිදහස විඳින්න ගියොත් වින්ස් වීල් කතාව කැලේ යනවා.

එනසාල් අතීතයට ගමනක්
දුම්බර නැත්තන් නකල්ස් කිව්වොත් අපිට දැනෙන්න ගන්න සුවඳක් තියෙනවා. නැත්තං දිවට දැනෙන රසක් තියෙනවා. ඒ එනසාල්. මේක ලෝකේ හරිම ප්‍රසිද්ධ රසකාරකයක්. නැත්තං ආයුර්වේද බෙහෙතක්. සුද්දෝ මේක නකල්ස්වල වැව්වා. කොහොමත් සේද මාවතත් එක්ක ගැටගැහුණු අපිට මේ රසකාරක ගැන රස අතීතයක් තියෙනවා. කුළුබඩු රැජින කියලා තමයි මේ එනසාල්වලට කියන්නේ. මේක බහුවාර්ෂික කියන කැටගරියට අයත් වෙන පැළයක්. බැලූබැල්මට පඳුරක්. ව්‍යාජ කඳක් අක්‍රමයට හැදුණු රයිසොමයක් මේ ගහට උරුමයි. පොළොව යට කිමිදිලා ඉන්න අලේ තමයි මේ මිනිස්සුන්ට අලේ කියලා ලොකු මොටයියෙක් උඩට එවලා මල් පූදවලා එනසාල් නැත්තං කරදමුංගු දෙන්නේ. කරදමුංගු, කාරබුනැටි, සාදික්කා, වසාවාසී කියලා මේ මිනිස්සු නටන්නේ එතකොටයි. දකුණු ඉන්දියාවේ බටහිර කඳුකර පැති තමයි මේකේ උපන්බිම. 4 වන සියවසේ සංස්කෘත පොත්වල, කෞටිල්‍ය වගේම අර්ථශාස්ත්‍ර පොත්වලත් මේ කුළුබඩු රැජින ගැන කතා කරනවා.
11 වන ශත වර්ෂය වෙනකොට එනසාල් ඉන්දියාවේ දී බුලත් එක්ක මාත්තුවෙලා දිවට රසයක් වගේම කටට නැවුම් සුවඳක් අරගෙන අවා. ඒ හින්දාම සුවඳ උපදවන රසකාරකයක් විදියට අරාබිකාරයෝ දිග අතීතෙක ඉඳලාම මේක ලෝකෙ වටේ අරං ගියා. ඉතිං කොහොම හරි 1940 වගේ කාලෙකින් පස්සේ දුම්බර නැත්තං නකල්ස්වල මේ සුවඳගහන කුළුබඩු රැජින සුද්දෝ වවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක ගොඩනැගෙන සංස්කෘතිය මරු. මේ වගාවටත් මේ ඉසව්වේ මුලින්ම දහඩිය මිශ්‍රකරන්නේ ඉන්දියාවේ ඉඳලා ආ දෙමළ මිනිස්සු. ඉතිං දැන් එනසාල් නකල්ස් නැත්තං දුම්බර කඳු වළල්ලෙන් වඳවෙලා යන කාලේ. සමහර තැනක මහා කැලේ එනසාල් ඉඩම් වහගෙන. එතකොට එනසාල්වලින් ජීවිතය ගැට ගහගත්ත දෙමළ මිනිස්සුන්ට මොකද වුණේ. කවුරුත් බැලුවේ නැහැ. දුම්බර ආරක්ෂා කරගන්න එනසාල්වලට විරුද්ධව පාරට පැන්න පරිසර සංවිධානවල ඇච්චෝ බැච්චෝත් මේ මිනිස්සු අත්හැරියා.. අද සුද්දෝ ගිහිං, එනසාලුත් යන්න ගිහිං, ඒ දෙමළ මිනිස්සුත් යන්න ගිහිං, ඒක තමයි පොදු සිතුවම. හැබැයි අපිට එනසාල් සුවඳ හදවතේ ආත්මයේ දරාගෙන යනෙනමන් නැතුව ගිහිං හීත හුළඟට හූල්ල හූල්ල ඉන්න පුංචි ජනපදයක් හම්බ වුණා. ඒක තියෙන්නේ වින්ස් වීල් පාර්ක් කියන වත්තේ කොර්බට්ස් ගැප් එකට පහළින්. අපි කන්ද බැහැගෙන බැහැගෙන ඒ පුංචි ගමට, වඳවෙලා යන මිනිස් පොකුර ළඟට ගියා. මීමුරේ ගිය කොලු කැළක් කලක් නැවතිලා බාබකිව්.. ඊට ටිකක් පහළින් කුකුල් අණ්ඩක් තියා කහට උගුරක් නැති ලයින් කාමර පේළි දෙකක්.

සංගිලි මුඩුක්කුවේ සෙල්ලයියා මාමා
අංශක හතළිස් පහක විතර අනාවක ලයින් කාමර දෙකක් ඒක වටේට රවුම් ගහන පාරේ මීමුරේ පැත්තට රවුමක් යන අපේ ගමන නතර කරනවා. ලයින් කාමර දෙකට මිදුලක් හදන ගල්වැටියේ කෙල්ලෝ තඩි හූරනවා. තවත් තැනක ගල් වැට උඩ පස්ස තියාගෙන ඉන්න කෙළිගහක් අපිට හිනා වෙනවා. වැහැරිච්ච තන පුඩුව එක්ක ඔට්ටුවෙන පුංචි කෙල්ල හිටිගමන් කෑගහනවා දුම්බරටම ඇහෙන්න. ගල් වැටට ටිකක් උඩහින් ලයින් පිලේ ඇලකිච්චමේ ඉන්න නන්දා හිනා වෙනවා. හක්කේ එහාට මෙහාට පනින විට මල්ල දත් රතු කරලා. කොහොමද?… මම කතාවට වැටෙන්න පොඩි ට්‍රයි එකක් හීනියට දෙනවා.. “හොඳයි මහත්තයෝ…” නන්දා කියාපි. මාමා මෙන්න ලැයිමේ පොඩි කොරිඩෝවෙන් මතු වෙනවා. එනසාල් මලවගේ පිපිච්ච මුහුල එක්කම. “හී හී” එන්න එන්න. අපිව ගල් වැට උඩ ගල්කරන්න මාමා වෙහෙස වෙනවා… අනේ හරි කියුට් අනේ.. මාත් එක්ක කොබර්ට්ස් ගැප් එකෙන් පහළට පැනපු කෙල්ල කියාපි. දෙමළද? සීයා තමිල්නාඩුවේ වෙන්න බැහැ. එහෙනම් කොහේද? මාමගේ මුහුණේ රාටා අස්සෙන් මගේ මුහුණට පනින සෙයියාව මම ජෙනටිකලි ඇනලයිස් කොරනවා.

සිනහා මාමාගේ කතාව
නම?.. “වෙනිමන් සෙල්ලයියා..” වයස?.. “හැටහතයි..” මේ හරිය? “ඩම්බඩ ගම. පවුල් පහයි දැන් ඉතුරුවෙලා ඉන්නේ. ඉස්සර එනසාල් කළේ. දැන් මොකුත් නැහැ නිකන් ඔහේ ඉන්නවා. සමුර්දියෙන් කනවා. ළමයිත් කොළඹ ගිහිං කියක් හරි එවනවා… තේ වහලා (තේ වගාව නවත්තලා) අවුරුදු හතළිහකට වැඩියි. සුද්දා ගියා හී හී (මාමාගේ ලස්සන හිනාව). ඊළඟට සිංහල අය හී හී. 1931 විතර තමයි මෙහේ එනසාල් පටන්ගත්තේ. මම එනසාල් වත්තේ වැඩට යනකොට දවසට පඩිය රුපියලයි. ඊළඟට රුපියල් දහය වෙනකම් වැඩිවුණා. මේ වත්ත අක්කර 300ක්. වත්ත අන්තිමට තිබුණේ තාහීර් කියන මුස්ලිම් වෙළෙන්දෙකුට. ඒ මහත්තයා 1990 මැරුණා. ඊළඟට අපිත් වලපනේ (මැරුණා වගේ) ගියා වගේ තමයි.” මාමාගේ තාත්තා?
“අප්පච්චිත් මෙහෙමයි. අපොයි එතකොට මේ ලයින් දෙකේ පවුල් හැටකට වැඩිය හිටියා. එනසාල් වගාව ජයටම තිබුණා. දැන් මේ වතු සේරෝම කැලේ යටකොරගෙන. අපි අවුරුදු පහළොවක ඉඳලා කිසිම රස්සාවක් නැතුව ඔහේ ජීවත්වෙනවා. දැන් කැලේට යන්න දෙන්නෙත් නැහැ. එනසාල් කඩන්න.” මාමා හැම කතා අවසානෙකම හිනා වෙනවා. මුහුල පිපෙනවා. කරදර පොදි බැඳගෙන මේ ලැයිමේ නැවතිලා දැනට අවුරුදු පහළවක් වුණාට මාමාට ගාණක්වත් නැහැ. සමුර්දියෙන් දෙන 1200 මොන කජ්ජක්ද?.. මට හිතෙනවා. කට කට ගාලා දත් ඇඳි දෙක එකට වැදෙන සීතල කාලේට මේ මිනිස්සු මොනවා කරනවා ඇද්ද… දැන් මේ සංගිලි මුඩුක්කුව කියන ලයින් දෙකේ පවුල් පහයි නොනැසී ඉන්නේ. “දෙසැම්බරේ හීතලයි. අපි ඒ කාලෙට පොල්කටු පුච්චලා වටවෙනවා. හී හී. ඔක්තෝබරේ හොඳටෝම වැහි. මේ අවුරුද්දේ ඒකත් නැහැ අනේ මන්ද?” වැස්ස ආවේ නැහැ කියලා මාමගේ හිතට හරි නැහැ වගේ..හැම කතා අවසනකම පිපෙන මුහුළසට ආදරේ බැහැ.

මාරි අම්මාගේ කතාව
මාරි අම්මා කියන්නේ සෙල්ලයියා මාමගේ ආදරේ.. ඉතිං කතාකරමු. “තන්ගප්පු මාරිඅම්මා තමයි නම.” වයස? “ම් ම්” නැන්දා කල්පනාවක. මාමා සහයට. “හැටහතයි.” “තාත්තා තම්බුරා. තාත්තා තමයි මේ මිනිහට කලින් මාව හැදුවේ. අම්මා දන්නේ නැහැ.” මොනවද වැඩිපුර කැවෙන්නේ? “රොටී ලුණුමිරිස්”… ලුණුමිරිස් තලියකුයි රොටියකුයි හදාගත්තාම ආයෙත් තව මොනවද මහත්තයෝ.. අනික දැන් බත් කන්න පුළුවන්ද?.. ඉස්සර සේරම සත දැන් සේසතම ඕනි කන්න. ඉස්සර අපි සල්ලිවලින් හොඳට කනවා. දැන් සල්ලි අපි කනවා… හී හී” මාමා ආයෙත් මැද්දට පනිනවා.. දවසට විට කීයක් කනවද?…” අම්මෝ නිකන්නේ ඉන්නේ වෙන මොනවා කියලා කරන්නද?”.. රෑට නිදියනකොටත් කනවා නේ?… “ඔව් හරක් වගේ තමයි.. හැක්කේ පොට්ටනිය වරදින්නේ නැහැ..හී හී..” මාමා කතාවේ මැදට. හිනාවකින් කතාව කෙළවරට… එතකොට කහටයි සීනියි… “තාහීර් මහත්තයා නැතිවුණාට පස්සේ වතුර විතරයි. මහත්තයා ඉන්නකොට තේ දුන්නා..” නැන්දාගේ කතාවකට යාන්තම මාමාගෙන් ඉඩක්.. තාහිර් මහත්තයා නැතිවෙලා තියෙන්නේ 1990 අවුරුද්දේ.. එදා ඉඳලා මේ මිනිස්සුන්ට කහට උගුරක රසය නැද්ද?…මම සිතනවා..

කරදර පොදි බැඳ
සුරේෂ් කුමාරිට වයස තිහයි. මේ වෙනකොට දරුවෝ හතරක් වදලා. දරුවට කිරි දෙනකොට දරුවා කී ගානකොට දරුවා නළවනකොට වියන්ගල වගේ ගාණක් නැතුවම අපිත් එක්ක කතාවට වැටුණා. ඒක කරදර පොදියක් ලෙහුව වගේ…” අපිට හුන්නස්ගිරට යන්න බස් එකක් නැහැ. තියෙන්නේ එකම වෑන් එකක්. ඒක මීමුරේ ඉඳලා එන්නේ. උදේට එනකොට 6.15 විතර වෙනවා. දවල්ට හුන්නස්ගිරියෙන් 1.45ට එනවා. මෙතැනට එනකොට 3.30 විතර වෙනවා. මේ ලයිම් දෙකේ ළමයි දෙන්නෙක් නවනාගල ඉස්කෝලෙට යනවා. දුර හැතක්ම දොළහක්. හුන්නස්ගිරියට ත්‍රීවිල් එකක 800යි. ළමෙක් හම්බවෙන්න හිටියොත් හරි හම්බ වුණාට පස්සේ බෙහෙත් විදින්න ත්‍රිපෝෂ ගන්න මේවට කයිකාවලට යන්න ඕනෑ. ත්‍රීවිල් එකක ඇර වෙන ක්‍රමයක් නැහැ. ත්‍රීවිල් එකට රුපියල් 1500ක් යන්න විතරක්.. ළමෙක් හම්බවෙන්න උඩුදුම්බර ඉස්පිරිතාලේට යන්න ත්‍රීවිල් එකට රුපියල් 1000ක් ගන්නවා. අනික අපි අමාරුවෙන්න කලින් ගිහිං ඉස්පිරිතාලේ නතර වෙන්න ඕනෑ. නැත්තං අමාරුවෙලා මේ පාරේ ත්‍රීවිල් එකක ගියොත් මැරෙනවා. ආමාරු ලෙඞ්ඩු ගොඩක් වෙලාවට හුන්නස්ගිරියට යනකොට මැරෙනවා..” වලපනේ යනවා.. මට සිනහා මාමාගේ සෙල්ලයියාගේ කතාව මතක්වෙනවා.. එනසාල් යන්න ගිහිං… දුම්බර රක්ෂිතය ආරක්ෂා වෙලා. හැබැයි ඒ කර්මාන්තේ කරපු මිනිස්සු වලපනේ යන්න ඔන්න මෙන්න.. අපි කතාව ඉවර කරලා සංගිලි මුඩුක්කුවෙන් පාරට පැන්නා.. නිදහස් දවසේ හොඳට මත්වෙච්ච සිංහලයෝ ටිකක් ගම බලන්න මීමුරේ පැත්තට පල්ලන් වෙනවා.. අපි ආයෙත් හුන්නස්ගිර පැත්තට එන්න පිටත්වෙනවා.■