රාවය

සිමෙන්ති කම්හලකට මැරියට් හිමිකරුට හම්බන්තොට ඉඩමක්

සිමෙන්ති කම්හලකට මැරියට් හිමිකරුට හම්බන්තොට ඉඩමක්

ලසන්ත රුහුණගේ

ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයකු වන ඩුබාහි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතානට දේශීය වෙළෙඳපොළට සිමෙන්ති නිකුත් කිරීම සඳහා සිමෙන්ති කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යෑමට හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර හතළිහක භූමි භාගයක් ලබාදීමට ආණ්ඩුව එකඟතාව පළකර ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් මෙම සිමෙන්ති කම්හල ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ පිළිබඳව වූ යෝජනාව අග්‍රාමාත්‍යවරයාගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත යටතේ පිහිටුවීමට නියමිතව තිබූ නොනිල වශයෙන් ක්‍රියාත්මක වන සංවර්ධන නියෝජිතායතනය විසින් අනුමත කර ආයෝජන මණ්ඩලයට ලබාදී ඇතැයි වාර්තාවේ.
එම සිමෙන්ති කර්මාන්තශාලාව සම්බන්ධයෙන් වූ නිල අයදුම්පතක් 2017 ජනවාරි 26 දින සහිතව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමු කර
ඇති අතර එය ඉදිරිපත් කර ඇත්තේ සිලෝන් ස්ටීල් කෝපරේෂන් හෙවත් නන්දන ලොකුවිතානට අයත් ඔරුවල වානේ කර්මාන්තශාලාව විසින්ය.
එම අයදුම්පත අනුව ව්‍යාපෘතීන් සඳහා ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 15854ක් වන අතර ඉන් රුපියල් මිලියන 3963ක් විදේශ ආයෝජන වේ. ඉතිරි රුපියල් මිලියන 11891 දේශීය ආයෝජන වේ. ව්‍යාපෘතිය යටතේ පන්සිය දෙනකුට රැකියා ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වූයේ ඔවුන් විදේශගතව සිටීම නිසාය.
අදාළ ව්‍යාපෘති අයදුම්පතේ සම්බන්ධ කරගත හැකි පුද්ගලයා වශයෙන් නලින් විජේරත්න නමැත්තකුගේ නම සඳහන් වන අතර ව්‍යාපෘතිය ගැන ඔහුගෙන් විමසීමේදී පැවසුවේ සිය අයදුම්පත පිළිබඳ අවසන් තීරණයක් තවම ලැබී නැති බවත්, එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පෙර ආණ්ඩුවේ ආර්ථික කටයුතු කමිටුව සලකා බලනු ඇති බවත්ය. එමෙන්ම සිය විදේශ ආයෝජනය යනු විදේශ ණයක් බවද ඔහු පැවසීය.
හොරණ කර්මාන්ත පුරයේ ටයර් කම්හලක් ආරම්භ කිරීම සඳහා නන්දන ලොකුවිතානට අක්කර 100ක ඉඩමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මීට පෙර ලබාදීමද ආන්දෝලනයකට ලක් වූ අතර එහි මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සභාගිවිය. රාජපක්‍ෂ හිතෙෂියකු වශයෙන් සඳහන් නන්දන ලොකුවිතානට එම ඉඩම ඉතා අඩු මුදලකට ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළ අතර පසුව ජනාධිපති නියෝගයෙන් එම ඉඩම ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.■