මිලියන 5630ක බදු කපා හැරීමට ජනපති එකඟද?


lasantha

ලසන්ත රුහුණගේ

පාවිච්චි කරන ලද අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරනවා යැයි කියනු ලබන වෙහිකල්ස් ලංකා සමාගමට සහන ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය දැඩි කලබලයකට පත්වී ඇති අයුරු පෙනේ. රාවය පසුගිය සති දෙකක කාලය පුරා ඒ පිළිබඳව හෙළිදරව් කරමින් සිටින අතර ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශය එම කරුණු වාර්තා කළ හා නොකළ සියලු මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කර තිබුණි. එම නිවේදනයේ හරය වූයේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරමින් පවතින බව හා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ හෝ මුදල් අමාත්‍යවරයාගේ කිසිදු පෞද්ගලික මැදිහත්වීමක් නොමැති බවයි.
අප මීට පෙර පෙන්වාදුන් පරිදි භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග විසින් වෙහිකල් ලංකා සමාගම ආනයනය කර රේගුව විසින් මුදානොහැර තිබූ කන්ටේනර් 8ක් මුදාහැරීමට නියෝග කර තිබුණේ එම කැබිනට් මණ්ඩල තීරණය අනුවය. එහිදී අප පෙන්වා දුන්නේ කැබිනට් මණ්ඩලය හා කැබිනට් මණ්ඩලයට එම තීරණය ගැනීමට ඉවහල් වූ කැබිනට් අනුකමිටුව වැරදි තොරතුරු මත පදනම්ව එම තීන්දු තීරණ ගෙන ඇති බවය. නීතිපතිවරයාද ඒ සම්බන්ධයෙන් දැන හෝ නොදැන වැරදි නිගමන කැබිනට් මණ්ඩලයට ලබාදී ඇති බවය. ඊටත් අමතරව අප මුල් පුවතක් මඟින් පෙන්වා දුන්නේ අදාළ වෙහිකල්ස් ලංකා සමාගමට කැබිනට් මණ්ඩල තීන්දුවට පිටින් තවදුරටත් සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක තවත් කැබිනට් පත්‍රිතාවක් ඉදිරිපත් කර ඇති බවයි. ඊට මහින්ද අමරවීර ඇතුළු තවත් කැබිනට් සාමාජීකයින් කිහිප දෙනකු විරුද්ධ වීම නිසා එය පසුවට කල්තබා ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ මෙම කලබලයට අමතරව තවත් පුද්ගලයකුද දැන් කලබලයට පත්වී ඇති බව පසුගිය ඉරිදා පෙන්නුම් කළේය. ඒ වෙහිකල්ස් ලංකා හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වාය. එදින ඔහු කොළඹ හිල්ටන් රෙසිඩන්සිස්හි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයට හෝ මුදල් ඇමතිවරයාට ඔහුගේ සමාගම වෙනුවෙන් ගත් තීන්දු තීරණවලට දොස් නොපැවරිය යුතු බවත් එය ඔහුට සාධාරණය ඉටුකිරීම සඳහා වත්මන් ආණ්ඩුවත්, එහි කැබිනට් මණ්ඩලයත්, මුදල් ඇමතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශයත් ගත් පියවර බවය. එහිදීත් ඔහු කීවේ අප පසුගිය ලිපිවලින් පැහැදිලි කළ 304/2011 ශ්‍රේෂ්ඨාධිකරණ සමථය අනුව එම කටයුතු සිදුකර ඇති බවයි.
මෙවර කථාව දැන් අපට එතැනින්ම ආරම්භ කළ හැකිය. කිසිවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධි කරණය හෝ වෙනත් යම් අධිකරණයක් යම් තීන්දුවක් ලබාදී තිබුණේ නම් හා එය යම් කිසිවකු හෝ ආයතනයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් පළමුව කළ යුත්තේ අදාළ අධිකරණයට ඒ බව දන්වා එම තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමය. 304/2011 නඩුව අවසන් වූ 2012.09.13 දින සිට අද දක්වාම එම සමාගමට එවැන්නක් කරගත නොහැකි වූයේ ඇයි? ඉන්පසු එම සමාගම අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියද එවැනි තීන්දුවක් එම සමාගමට ලැබුණේ නැත. ඊට හේතුව 304/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ සමථය වූකලි එම සමාගමට තිබෙනවා යැයි කියූ වාහන 2250ක් එකලස් කිරීමේ ව්‍යාපෘතියට අයත් වාහන ලියාපදිංචි කිරීම සඳහා ඇතිකරගත් එකඟතාවක් පමණක් නිසාය. (එම එකඟතාවද නීති විරෝධිය.) ඒ සඳහා වාහන කොටස් ගෙන්වීමේ අවසරයක් එම සමාගමට නැත.
ප්‍රශ්නය ඇත්තේ පසුගිය රාජපක්‍ෂ පාලනයේ හිතෙෂියෙකු වූ එම සමාගමට යහපාලනය යැයි කියාගන්නා ආණ්ඩුව විශේෂයෙන්ම එහි මුදල් ඇමතිවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහන සලසන්නට යන්නේ ඇයිද යන්නය. මන්ද වෙහිකල්ස් ලංක සමාගමට සහන සැලසීම සඳහා අධිකරණ තීන්දුවක් නොමැති නිසාය. එම වුවමනාව ඇතිවී ඇත්තේ මුදල් ඇමතිවරයාටය. ඒ සඳහා පළමු කැබිනට් පත්‍රිකාව හා ඊට අදාළ දෙවන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ඔහු නිසාය. එම තීරණ අනුමත කරමින් මුලින්ම නිරීක්‍ෂණ කිහිපයක් ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාය. පසුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයාත්, අධිකරණ ඇමතිවරයාත්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන ඇමතිවරයාත් නිරීක්‍ෂණ ඉදිරිපත් කර ඇත. මෙහිදී නීතිපතිවරයා විසින් ලබාදී ඇතැයි කියන සිය නිරීක්‍ෂණද ගැටලු සහිතය.
කෙසේ හෝ මුදල් අමාත්‍යවරයා සමඟ අන්‍යොන්‍ය සාකච්ඡාවක වෙහිකල්ස් ලංකා සමාගම සිට ඇති බව පැහැදිලිය. නැතහොත් අධිකරණ නියෝගයක් හෝ වෙනත් නියෝගයක් නොමැතිව ඕපපාතිකවම ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් උත්පාදනය වන්නේ නැත. එම අන්‍යොන්‍ය සාකච්ඡාව තවදුරටත් සැකයට භාජනය කරන්නේ මුදල් අමාත්‍යවරයාගේ 2016 අයවැය යෝජනා මගින්ය. එහිදී ඔහු කියන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේදී එකලස් කරන ලද තවමත් ලියාපදිංචි කර නැති වාහන රුපියල් හත්ලක්‍ෂ පනස්දාහකට හා රුපියල් ලක්‍ෂ දහයක මුදලකට ලියාපදිංචියට අවසර ලබාදෙන බවය. ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමේ නීත්‍යනුකූල සමාගම් දැනට ඇත්තේ එකක් පමණය. ඒ මයික්‍රෝ සමාගමය. එම සමාගමේ වාහන ලියාපදිංචිය පිළිබඳ ගැටලුවක් නැත. එම වාහන මිලදී ගත් ගැනුම්කරුවන් කිසිවකු මෙතෙක් අමාරුවේ වැටී ද නැත. එසේනම් මුදල් අමාත්‍යවරයාගේ එම අයවැය යෝජනාව කවුරු වෙනුවෙන්ද? ඒ වනවිටත් අර්බුදයට ලක්වී තිබූ වෙහිකල්ස් ලංකා වාහන වෙනුවෙන් බව පැහැදිලිය.
මුදල් අමාත්‍යවරයාගේ මෙම වෙහිකල්ස් ලංකා සානුකම්පාව එතැනින්ද නවතින්නේ නැත. පසුගිය පෙබරවාරි 05 දින අපගේ මුල් පුවත්පතින් පෙන්වා දුන් පරිදි වෙහිකල්ස් ලංකා සමාගම නිෂ්පාදන බදු ගෙවීමේදී ඊට 70%ක සහනයක් ලබාදීමට ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. (මහින්ද අමරවීර ඇතුළු පිරිසක් විරුද්ධවීම නිසා එය පසුවට කල් තබා ඇත.) එය කිසිසේත්ම පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ අනුකමිටුවේ නිගමනවලින් පසු කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවේ ඇති යෝජනාවක් නොවේය. එවැනි යෝජනාවක් තිබේ නම් අමුතුවෙන් කැබිනට් පත්‍රිකාද අවශ්‍ය වන්නේ නැත. සිදුවිය යුත්තේ භාණ්ඩාගාර ලේකම්වරයා මඟින් එය බදු අයකර ගන්නා අදාළ අංශවලට යැවීමය.
කෙසේ වෙතත් අංක ඵත්‍රැත්‍ඡරැ03රැක්‍ඵරැ20017රැ25 දරන එම කැබිනට් පත්‍රිකාව අනුව කියන්නේ දැනට අලුත් අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරන ආයතනවලට දේශීය වශයෙන් 30%ක අගය එකතු කිරීමක් සිදු කිරීමේදී ලබාදෙන 70%ක නිෂ්පාදන බදු සහනය වෙහිකල්ස් ලංකා සමාගමටත් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පතන බවයි. එම සහනය ලබාදීමේදී වෙහිකල්ස් ලංකා සමාගම 40%ක දේශීය වශයෙන් අගය එකතු කිරීමක් සිදු කිරීමට කැමති බවද එහි සඳහන්ය. බළලා මල්ලෙන් එළියට පැන ඇත. මුදල් ඇමතිවරයා සමඟ වෙහිකල්ස් ලංකා සමාගම අන්‍යොන්‍ය සාකච්ඡාවක නිරත වන බව ඉන් තවදුරටත් පැහැදිලිය.
වාහනයේ මිල මෙන් 40% තබා 30%ක් වත් දේශීය වශයෙන් අගය එකතු කිරීමක් වෙහිකල්ස් ලංකා සමාගම නොකරන බවට ඇති හොඳම උදාහරණය නම් එම සමාගම විසින් ගෙන්වන අමතර කොටස් පිළිබඳව අවධානය යොමු කිරීමය. ඔවුන් කරන්නේ වාහනය කොටස් කිහිපයකට ගලවා රටට ගෙන ඒමය. වාහනයේ එංජිම, බඳ කොටස, ටයර් පමණක් නොව ඇණ මුරිච්චි පවා එයට ඇතුළත්ය.
මයික්‍රෝ සමාගම මෙන් අලුත් අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීම වෙනුවට මෙම වෙහිකල්ස් ලංකා සමාගම භාවිත කරන ලද අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරනවා යැයි කීවේ ඇයි? ඊට ඇති පැහැදිලි පිළිතුර බදු දැලින් රිංගා යෑමය. භාවිත කරන ලද අමතර කොටස්වලට අදාළ ආනයනික බදු ප්‍රමාණය අඩුය.

ඒ ඒවාහි මිල අගය අඩුවීම නිසාය. එකලස් කිරීමෙන් පසුද මෙම වාහන ලියාපදිංචියේදී (ලියාපදිංචියට අවසර දුන්නොත්) ඊට අයකරන නිෂ්පාදන බදු ප්‍රමාණය අඩුය. ඒ ද භාවිත කරන ලද වාහනයක් ලෙස ගණනයේදී වාහනයේ මිල අගය අඩුවීම නිසාය. (රටේ දැනට පවතින නීතියට අනුව භාවිත කරන ලද අමතර කොටස් යොදා වාහන එකලස් කිරීමට අවසර නැති අතර වසර දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට ද අවසර නැත.)
අවසාන වශයෙන් අප පැහැදිලි කරගත යුත්තේ 70%ක නිෂ්පාදන බදු සහනයක් වෙහිකල්ස් ලංකා සමාගමට ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායකට නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සිදුවූයේ ඇයිද යන්නය. ඒ වෙන කිසිවක් නිසා නොව 2016 වසරේ සිට ක්‍රියාත්මක වාහන සඳහා නිෂ්පාදන බදු අයකිරීමේ අලුත් ක්‍රමවේදය නිසාය. එම අලුත් ක්‍රමවේදය වන්නේ වාහනයක එංජින් ධාරිතාව අනුව නිෂ්පාදන බදු අයකිරීමය. එංජින් ධාරිතාව අනුව අශ්වබල එකක් සඳහා නිෂ්පාදන බද්ද රු. 2750කි. සාමාන්‍යයෙන් වෙහිකල්ස් ලංකා සමාගම විසින් එකලස් කරනවා යැයි කියනු ලබන වාහනවල එංජින් ධාරිතාව අශ්වබල 1300 හෝ ඊට වඩා වැඩිය. ඒ අනුව අශ්ව බල 1300 වාහනයක් සඳහා ගෙවිය යුතු නිෂ්පාදන බද්ද රුපියල් තිස්පන් ලක්‍ෂ හැත්තෑපන් දහසකි (රු. 3,575,000). ඉන් 70%ක නිෂ්පාදන බදු කපා හැරීම වූකලි එක් වාහනයකින් රුපියල් විසිපන් ලක්‍ෂයක (රු. 2,502500) බදු කපා හැරීමකි. එම එංජින් ධාරිතාවේ වාහන 2250ක් සඳහා රුපියල් මිලියන 5630ක බදු කපා හැරීමකි. (වාහනවල එංජින් ධාරිතාව වැඩි වන්නට වැඩිවන්නට එම අගයද ඉහළ නගී.)
මෙතෙක් තහවුරු වී ඇති ආසියාවේ ලොකුම හොරකම යැයි කියූ ශ්‍රී ලංකාවේ වැට් බදු හොරකමද රුපියල් මිලියන හාරදහසට අඩුය. (භාණ්ඩාගාර බැඳුම්කර හොරකම තහවුරු වුවහොත් එය වැට්බදු සොරකමට වඩා ඉහළ අගයක් ගන්නේය.) සාමාන්‍ය පොදු ජනයාගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු අයකරමින් සිටින ආණ්ඩුවක මුදල් ඇමතිවරයෙකු එක් සමාගමක වාහන වෙනුවෙන් මේ සා විශාල බදු කපා හැරීමකට උත්සාහ ගන්නේ එය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් නිසාද?
වෙන කරන්නටම දෙයක් නැති තැන මේ ගැන කියන්නට ඇත්තේ, ජනපතිතුමෙනි, මෙය ඔබේ අවධානය පිණිසයි යන්නය.■