Untitled-1

Untitled-1

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (5)


viyangoda

ජනමත විචාරණ-භීතිකාව මේ දිනවල විවිධ පාර්ශ්වවල රෝග ලක්ෂණයක් වී තිබේ. එය වැඩියෙන් ප්‍රකාශයට පත්වන්නේ, 2015 ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට අනතුරුව යහපාලන ආණ්ඩුවේ ඇමතිකම්වලට පත්වූවන්ගෙනි. සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා කියා තිබූ පරිදි, ජනමත විචාරණයක් මගින් ඇති කෙරෙන අලුත් ව්‍යවස්ථාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධලු. තවත් අය කියන පරිදි, ජනමත විචාරණයක් හරහා අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා වන ජනවරමක් මේ ආණ්ඩුවට ලැබී නැතිලු. මේ දෙගොල්ලන්ම, කාලත්‍රය සහ ජනවරම වරදවා වටහා ගත් හෝ පටලවා ගත් පිරිසකි. සුසිල් ප්‍රේමජයන්ත කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වනාහි, මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව තවමත් ඔහු තුළ පවතින අතීත සංජානනයේ නිරූපණයකට ඉතා ආසන්න ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කී පමණින් ඔහුගේ විඥානය තුළ තවමත් පුරුද්දට අරක් ගන්නේ මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විය හැකිය. ඒ අනුව, ජනමත විචාරණයකින් ඇති කර ගන්නා අලුත් ව්‍යවස්ථාවක් පමණක් නොව, ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන මොනම අලුත් ව්‍යවස්ථාවක්වත් ඇති කර ගැනීමට ඒ කියන රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ බව අපි දනිමු. සුසිල් ප්‍රේමජයන්තත් අත එසැවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය පිරිසිඳ දැනගත හැකි විය. එහෙත්, 2015 ජනවාරි 8 වැනි දා ඒ අත්තිවාරම කිඳා බැස්සේය. මේ නිසා, අතීතයෙන් වර්තමානයට පැමිණීමේ හෙවත් කාලත්‍රය නිවැරදිව සංජානනය කර ගැනීමේ වගකීමක් තමන්ට ඇති බව, මේ කියන දේශපාලනඥයන් අවබෝධ කරගත යුතුව තිබේ.
ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන අලුත් ආණ්ඩු ක්‍රමයක් සඳහා ජනවරමක් ලැබී නැතැයි කීමත් ඊට වෙනස් නැත. මේ කියන සුසිල් ප්‍රේමජයන්ත අර කියන රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න කාලයේ, මෛත්‍රීපාල සිරිසේන නැමැත්තෙක් තමන් බලයට පත්වුවහොත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රට ඉදිරියේ එදා ප්‍රතිඥා දුන්නේය. ඒ අවස්ථාවේ සුසිල් ප්‍රේමජයන්ත සිටියේ තමන්ගේ ‘එදත් නායකයා-අදත් නායකයා’ වන මහින්ද රාජපක්ෂගේ බසට එහෙයි කීමට මිස විකල්ප මතයක් සැලකිල්ලට ගැනීමට තරම් විවෘත මනසකින් නොවන නිසා, අර ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන රටට කී ප්‍රතිඥාව ඔහුට සමහර විට එදා නොඇසෙන්ට ඇති. එසේ නම් ඔහු කළ යුත්තේ, දැන්වත් පාර තොටේ යන අතරේ, වාහනය මොහොතකට නවතා, පාරේ යනෙන ඕනෑම පුරවැසියෙකුගෙන් ඒ ප්‍රශ්නය ඇසීමයි. ඔහු ඇසිය යුත්තේ ඉතා සරල ප්‍රශ්නයකි. ‘ඇත්තටම මෛත්‍රිපාල සිරිසේන කිව්වද, ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා?’ යනුවෙනි. එසේ නොමැතිව, ජනවරම යනු තමා එදා නියෝජනය කළ කඳවුර වෙනුවෙන් ප්‍රකාශයට පත් අභිලාෂ වරමක් වශයෙන් ගැනීම නොහොබී.
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 58 ලක්‍ෂයක් ජනතාව ප්‍රකාශයට පත්කළ ජනවරම තුළ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පිළිබඳ ප්‍රතිඥාවක් නොතිබුණු බව සැබෑව. ඒ සමගම, 62 ලක්ෂයක් ජනතාව ප්‍රකාශයට පත්කළ ජනවරම තුළ මේ කියන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් අඩංගු විය. 58 වඩා 64 වටිනාකමින් වැඩි ය. එබැවින්, ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන අලුත් ව්‍යවස්ථාවක් සඳහා ප්‍රකාශයට පත් ජනවරම, තමන් එදා පෙනී සිටි කාරණා වෙනුවෙන් දුන් ජනවරම සමග පටලවා නොගැනීමට කෙනෙකු වගබලාගත යුතුය.
යම් හෙයකින්, වර්තමාන ආණ්ඩුව ඉදිරියේදී ක්‍රියා කරනු ඇත්තේ, සුසිල් ප්‍රේමජයන්ත වැන්නන් කියන පරිදි, ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට දුන් 58 ලක්ෂයේ ජනවරම අනුව නම්, ඉහත අප කී අංක ගණිත තර්කය කෙසේ වෙතත්, 2015 ජනවාරි 8 වැනි දා ඇත්තෙන්ම ජයග්‍රහණය කොට ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු නොව, මහින්ද රාජපක්ෂ කෙනෙකු යැයි නිගමනය කිරීමට කෙනෙකුට සිදුවෙයි. එය වෙනම ප්‍රශ්නයකි.
ජනාධිපතිවරයා කිසි තැනක මේ කාරණය අරභයා ජනමත විචාරණයකට යන්නෙමැයි සඳහන් කොට නැති බව ඇත්තයි. එසේම, ජනමත විචාරණයකට නොගොස් ඇති කර ගත හැකි සංශෝධන ගැන කර ඇති ප්‍රකාශයකුත් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන බවත් ඇත්තයි. ඒ කියන ප්‍රකාශය සටහන් වන්නේ දින 100ක සංක්‍රමණීය වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් වන නිසා, එතැනින් ඔබ්බට එම ප්‍රකාශය පරමාදර්ශයක් වශයෙන් ගැනීම වලංගු නැත. දින 100ක් වැනි කෙටි කාලයක වැඩ සටහනකට, ජනමත විචාරණයක් ඇතුළත් කර ගැනීමක් අපේක්ෂා කළ නොහැක්කකි. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් අද වැදගත් වන්නේ, ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔහු යම් විටෙක රට ඉදිරියේ ප්‍රතිඥාවක් දී තිබේද නැද්ද යන්නයි. එහිදී, ඔහු එම අදහස රට ඉදිරියේ තබා ඇති බවට මේ මුළු රටම සාක්ෂි දරයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔහු ප්‍රතිඥා දී ඇති ඒ හැම විටකම, එය කළ හැක්කේ අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් පමණක්ම බව නිතැතින් ගම්‍ය වන නිසා, ජනමත විචාරණයක් ගැන විශේෂයෙන් පැවසීමේ අවශ්‍යතාවක්ද කෙනෙකුට ඇති නොවේ. හරියට, ඔම්ලට් එකක් හදන තැනැත්තෙකු ඒ වෙනුවෙන් බිත්තරයක් කැඩීමට තමන්ට සිදුවන බවක් අමුතුවෙන් කිව යුතුව නැතිවාක් මෙනි.
සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ කතාව කියන්නේ, ඊට දින කිහිපයකට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ජනමත විචාරණයක් පැවැත්වීමේ ස්ථාවරයක ආණ්ඩුව සිටින බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් විය හැකිය. ලක්ෂ්මන් කිරිඇල්ල එම ප්‍රකාශය කරන්නේ, පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙනි. එසේ කීමට ඔහු නිසැකවම පදනම් කර ගන්නවා ඇත්තේ, ඊට කලින් එම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රකාරව ජනමත විචාරණයක් පවත්වන බවට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පිළිගැනී ඇති නිසා විය යුතුය. (එසේ පිළිගත් යෝජනාව මීට පෙර කොලමේ සඳහන්ව ඇත). එම යෝජනාවට අද පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන් අනුමැතිය දී ඇති අතර, තමන්ගේ පක්ෂය ඒ ස්ථාවරයට විරුද්ධ බව සුසිල් ප්‍රේමජයන්ත එදා කියා නැත.
මුලින්ම, ජනමත විචාරණයක් ජයගත නොහැකි යැයි සිතන පරාජිතවාදී ආකල්පයම, ජනමත විචාරණයක තිඹිරිගෙයම දූෂ්‍ය කරන බව කිව යුතුය. කෙසේ වෙතත්, අවශ්‍ය කරන දේශපාලනික අධිෂ්ඨානයෙන් යුතුව මුහුණදීමෙන් ජනමත විචාරණය ජයගත හැකි බව සහතික මුත්, යම් හෙයකින් ජනමත විචාරණයෙන් ආණ්ඩුව පරදින්නේ යැයි අපි මොහොතකට සිතමු. එසේ වුවහොත් ආණ්ඩුවේ දේශපාලනික අනාගතය, ජනමත විචාරණයක් නොපවත්වා ගෙන යනු ලබන වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය විසින් ඇති කරවනු ලබන දේශපාලනික අනාගතයෙන් මොනම විදිහක හෝ වෙනස් වීමක් පෙන්නුම් කරනු ඇත්ද? කොහෙත්ම නැත. අද දක්වාම පළාත් පාලන ආයතන ඡන්දය මේ ආණ්ඩුව කල් දාන්නේ, එයින් තමන් තුන්වැනි තැනට පත්විය හැකි බවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම තුළ ඇති විචිකිච්ඡාව නිසා ය. එවැනි සැකයකට පදනම සැකසුණේ කෙසේද? රාජපක්ෂවාදය තුරන් කිරීමෙහි ලා මේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ අපේක්ෂාවන්ට, ගත වූ අවුරුදු දෙකේදී ආණ්ඩුව පයින් ගසා ඇති බැවිනි. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් සහ එක්නැලිගොඩ වැනි අපරාධවලට අදාළව හෝ මහ පරිමාණ දූෂණවලට අදාළව හෝ මෙතෙක් ගෙන ඇති කිසියම් හෝ සංයුක්ත පියවරක් ඇතොත්, එය එක්තරා අදියරකින් පසු, රාජපක්ෂවාදය සමග ඇති කර ගත හැකි යැයි සිහින මවන ඊනියා අභ්‍යන්තර සංහිඳියාවක් වෙනුවෙන් මේ ආණ්ඩුව විසින්ම අඩාල කරගෙන තිබේ. යහපාලන ආණ්ඩුව කෙරෙහි පොදු ජනතාව බිම් මට්ටමේ තැබූ විශ්වාසය, රාජපක්ෂලා සමග ඇති කරගත හැකි යැයි සිතන එකී ‘මායාකාරී සමාදානය’ වෙනුවෙන් පාවා දෙනු ලැබීමට, අර කී 62 ලක්ෂයෙන් සමාවක් ලැබෙන එකක් නැත. එය ජනමත විචාරණයකදී සේම, පළාත් පාලන හෝ වෙනත් ඕනෑම ඡන්දයකදී වර්තමාන ආණ්ඩුවට මුහුණදීමට සිදුවන පොදු අභියෝගයකි. ඒ නිසා, පරාජයේ භීතිය නිසා ජනමත විචාරණයකට විරුද්ධ වීම වෙනුවට ආණ්ඩුව කළ යුතුව ඇත්තේ, එම භීතියේ මූලයට ප්‍රතිකර්ම සැලසීමයි. එහි ප්‍රථම බෙහෙත් වට්ටෝරුව විය යුත්තේ, අර කී හොරුන් සහ අපරාධකරුවන් නිශ්චිතව සහ නොපමාව නීතිය ඉදිරියට පැමිණවීමයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවබෝධ කර ගත යුතු වැදගත් පාඩමක් තිබේ. එනම්, රාජපක්ෂවාදය යනු, රාජපක්ෂ කල්ලි සමග ගෙන යන ‘අතමාරු දේශපාලනයක්’ හරහා තුරන් කර ගත හැකි දෙයක් නොවන බවයි. එය තුරන් කළ හැක්කේ 62 ලක්ෂයේ අපේක්ෂා සාධනය මතම පමණි.■
(ඉතිරිය ඊළඟ සතියට)