රාවය

පුනරුදය, ආකල්ප හා ප්‍රතිපත්ති

පුනරුදය, ආකල්ප හා ප්‍රතිපත්ති

වික්ටර් අයිවන්

පසුගිය සති අන්තයේදී පුනරුදය ව්‍යාපාරය ප්‍රදේශ ගණනාවකදී ආරම්භක සාකච්ඡා 5ක් පවත්වනු ලැබීය. ඒ සිකුරාදා සවස අගලවත්තේද, රාත්‍රියේ මීගහතැන්නේද, සෙනසුරාදා උදේ ගලේවෙල, සවස අනුරාධපුරයේ හා ඉරිදා ඉබ්බාගමුවේදීය. මෙම සාකච්ඡා සභාවලදී රටේ පැළපැදියම් වී තිබෙන විවිධ මතවාදයන්ද සාකච්ඡාවට ලක්වේ. රටේ පැළපදියම් වී තිබෙන සමහර මතවාද ඉතා යහපත් හා අහිංසක පෙනුමක් තිබුණද සමහර විට ඒවා සත්‍යයෙන් තොරය. පදනම අවිද්‍යාත්මකය. එවැනි මතවාදයන් සමඟ අනුගත වී පහසුවෙන් ලොකු මහත්වීමේ හැකියාවක් පුනරුද ව්‍යාපාරයට ඇතත්, ප්‍රතිපත්තියක් වශයෙන් පුනරුද ව්‍යාපාරය එසේ කරන්නේ නැත. සාමාන්‍යයෙන් කරන්නේ එම ජනප්‍රිය මතවාදයන් විවාදයට ලක් කරන ප්‍රතිපත්තියක් මගින් එවැනි වැරදි මතවාදයන් කරපින්නා ගෙන සිටින මිනිසුන් ඒවායින් නිදහස් කරගනිමින් පුනරුද ව්‍යාපාරයට එකතු කරගැනීමය. ඒ මගින් දෘෂ්ටිමය තලය සත්‍යගරුක, තර්කානුකූල හා විද්‍යාත්මක තැනකට ගැනීම පුනරුද ව්‍යාපාරයේ අභිලාෂයයි.

පරායත්තභාවය
පුනරුද ව්‍යාපාරය ගොඩනැගීමේදී ඒ සඳහා අවශ්‍ය කරන මුදල් සොයාගන්නේ කවර ආකාරයටද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට අපට සිදුවිය. ඒ සඳහා යොදා ගනිමින් තිබෙන ජනප්‍රියම මාර්ග දෙක විවේචනාත්මකව සලකා බැලීමට අපට එහිදී සිදුවිය. විදේශ ආධාර ලබාදෙන ආයතනවලින් ආධාර ලබාගැනීම එක ක්‍රමයකි. ලොකු කළු සල්ලිකාරයකු සොයාගෙන අවශ්‍ය මුදල් ලබාගැනීම ඒ සඳහා යොදා ගැනෙන අනෙක් ජනප්‍රිය ක්‍රමය ලෙස සැලකිය හැකිය.
ආධාර ලබාගත හැකි විදේශ ආධාර ආයතනයකින් මෙවැනි වැඩසටහනක් සඳහා ආධාර ලබාගැනීම පහසුය. එහෙත් ඒ මගින් විය හැකි ලොකු හානියක්ද තිබෙන්නේය. විදේශ ආධාර ආයතනවලින් ආධාර ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව මහජනතාව අතර තිබෙන්නේ යහපත් චිත්‍රයක් නොව අයහපත් චිත්‍රයකි. එය රාජ්‍ය නොවන සංවිධානවල වැරදි භාවිතය නිසා ඇතිවී තිබෙන චිත්‍රයක් ලෙසද සැලකිය හැකිය. අනෙක් අතට රාජ්‍ය නොවන සංවිධාන ඇති කර තිබෙන සංස්කෘතිය යහපත් සංස්කෘතියක් ලෙසද සැලකිය නොහැකිය. කෙරෙන බොහෝ දේවල් සිදුවන්නේ මුදලටය. රැස්වීම්වලට පැමිණෙන ජනයා සඳහා නිර්ලෝභීව වියදම් කෙරෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. සාකච්ඡා පවත්වන්නේ සුඛෝපභෝගී වටාපිටාවක් ඇති තැන්වලය. ඒ සඳහා ද ලොකු වියදමක් දරනු ලබයි. රැස්වීම්වලට පැමිණෙන්නන්ටද සමහරවිට ගමන් ගාස්තු ගෙවනු ලබයි. සම්පත්දායකයන්ටද ගෙවීමක් කරනු ලබයි. රාජ්‍ය නොවන සංවිධානවල මෙම භාවිතය ඉතා හොඳ මිනිසුන් පවා මුදල්වලට පමණක් වැඩ කරන යාන්ත්‍රික මිනිසුන් බවට පත්කිරීමට හේතුවී තිබේ.
රාජ්‍ය නොවන සංවිධානවලදී එහි ප්‍රධානියාට හා ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනාට ලොකු වැටුප් ගෙවන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. රක්ෂාවල් කරන අය පවා ඒ මගින් ලොකු අතිරේක ආදායමක් උපයන තත්ත්වයක් ඇති කරගෙන තිබෙන්නේයැ’යි කිව හැකිය. අධ්‍යක්ෂ මණ්ඩල තිබෙන අවස්ථාවලදී සමහර ආයතනවල බොහොමයක් අධ්‍යක්ෂවරුන් පවුලේ සාමාජිකයන්ය. ලැබෙන ආධාරවලින් මිලදී ගන්නා දේපොළවල අයිතිකාරයන් බවට පත්ව තිබෙන්නේද ඔවුන්ය.
වැදගත් පොත්පත් හා වාර සඟරා පළකිරීම මගින් සමාජයේ බුද්ධි වර්ධනය සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකිය හැකි සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සිය පොත් ප්‍රකාශ කිරීමේ ව්‍යාපෘතිය වසා දමන ලද්දේ ඉතා මෑතකදීය. එම වැඩසටහන ඈවර කිරීම සඳහා පළකොට ඉතිරි වී තිබුණු සියලු පොත් සේ ම එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුස්තකාලයේ තිබුණු සියලු පොත්ද විකුණන්නට සිදුවිය. පොත් ප්‍රකාශනය සඳහා එම ව්‍යාපාරයට මුදල් ආධාර ලැබුණි. මුදල් ආධාර නැතිව පොත් පළකොට ලාභ උපයන ප්‍රකාශන ආයතන රටේ ඕනෑ තරම් තිබේ. එම සංගමයද පළකරන ලද පොත් සඳහා මිලක් අය කරන ලද අතර අයකරන මිල ගණන් පොත් වෙළෙඳපොළේ අය කරන මිල ගණන්වලටත් වඩා ඉහළ මට්ටමක පැවතුණි. එසේ තිබියදීත් එම ව්‍යාපාරයට පොත් ප්‍රකාශන වැඩසටහන පවත්වාගෙන යන්නට නොහැකි වන්නට ඇත්තේ ලැබෙන ආධාර ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා විය හැකිය. විදේශ ආධාර ලබන සංවිධාන දූෂණයට තල්ලුවීමට තිබෙන ඉඩකඩ වැඩිය.

ස්වශක්තියෙන් යැපීම
රාජ්‍ය නොවන සංවිධානවල භාවිතය විසින් ඇති කර තිබෙන යහපත් සංස්කෘතියක් ලෙස සැලකිය නොහැකිය. ඒ නිසා ඉතා හොඳ මිනිසුන් පවා මුදල් සැලකිල්ලට ගෙන වැඩ කරන මිනිසුන් බවට පත්කිරීමට හේතුවී තිබේ. ඒ අර්ථයෙන් රාජ්‍ය නොවන සංවිධාන විසින් දැන හෝ නොදැන ගොඩනගා තිබෙන සංස්කෘතිය මිනිසුන් තුළ තිබිය යුතු නිර්ව්‍යාජයභාවය දුර්වල කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.
විදේශ ආධාර ආයතනවලින් ලැබෙන මුදල් මත හෝ කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා මුදල්වලින් යැපෙන තත්ත්වයකට නොගොස් ස්වශක්තියෙන් යැපෙන ප්‍රතිපත්තියක් පුනරුද ව්‍යාපාරය විසින් තෝරා ගත්තේ ව්‍යාපාරයේ නිර්ව්‍යාජභාවය ආරක්ෂා කරගැනීමට එසේ කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සලකාය. එහෙත් එය පහසු මාර්ගයක් නොව දුෂ්කර මාර්ගයකි. ඒ නිසා අපට සාකච්ඡා සභා පවත්වන්නට සිදුවී තිබෙන්නේ සැප පහසුකම්වලින් ආඪ්‍ය හෝටල්වල නොව පන්සල්වල තිබෙන බණ මඩුවල, නොමිලේ ලබාගත හැකි ශාලාවල හෝ ගෙවල්වල තිබෙන මිදුල්වලය. සාකච්ඡා සභාවලට යන වියදම දරාගන්නට සිදුවන්නේ එය සංවිධානය කරන පුද්ගලයාට හෝ පුද්ගලයන් කිහිපදෙනාටය. එහිදී කෙරෙන සංග්‍රහයන්ද බොහෝ විට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයකය. සාකච්ඡා සභා සඳහා යන ගමන්වලදී බොහෝවිට නවාතැන් ගන්නට සිදුවන්නේද පහසුකම් අඩු සාමාන්‍ය තැන්වලය. ඒ මාර්ගයේ යන ගමන ඉතා දුෂ්කර වුවත් ඒ මගින් ගොඩනැගෙමින් තිබෙන පදනම ඉතාමත් ශක්තිමත්ය. පුනරුදය ව්‍යාපාරයට එකතුවන්නේ තාවකාලික ආර්ථික වාසි ලබාගැනීමේ අරමුණින් නොව ඒ මගින් උදාකරගත හැකි පොදු යහපත සලකාය. රාජ්‍යය හා සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවංක අභිලාෂයෙනි. ඒ මගින් මුදාහැරෙමින් තිබෙන ශක්තිය අව්‍යාජ වනවා සේ ම ඉතාමත් බලවත්ය. අපට මේ ආකාරයෙන් සාර්ථක ගමනක් යා හැකිද කියන සැකය ඉතාමත් කලාතුරකින් අප අතර වැඩ කරන සමහර අය අතර පවා තිබෙන බව පෙනෙන්නට තිබේ. ප්‍රමුඛ තත්ත්වයක් ගෙන වැඩ කරන අයගෙන් අතිවිශාල බහුතරයකට ඒ ගැන කිසිදු සැකයක් නැත. අප කරන කාර්යභාරය අවංක නම් පොදු යහපතට හේතුවේ නම් මුදල් සොයාගැනීමේ ප්‍රශ්නයද ජයගත හැකිවනු ඇති බව ඒ සියලුදෙනාගේ විශ්වාසය වී තිබේ.
පසුගිය සතියේ දිනක මා දන්නා හඳුනන බලංගොඩ ගුරුවරයෙකු මට දුරකතනයෙන් කතා කළේය. තමා ළඟ රුපියල් ලක්ෂයක ඉතිරි කිරීමක් ඇති බවත් ඒ මුදල ව්‍යාපාරයට පරිත්‍යාග කිරිමට තමන් කැමති බවත් ඔහු කීවේය. මා ඔහුට දෙන ලද පිළිතුර වූයේ ඒ ගැන තුන්වරක් හිතා ඉන්පසු මට කතා කරන ලෙසය.
මීට සති කිහිපයකට පෙර මා හොඳින් දන්නා හඳුනන ප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකරුවකු මට දුරකතනයෙන් කතා කොට පුනරුදය ගැන ලියන ලිපි නොකඩවා කියවන බවත් මට පුද්ගලික වාහනයක් නැති නිසා ඈත ප්‍රදේශවල පැවැත්වෙන සාකච්ඡා සභාවලට යන්නේ කෙසේදැයි මගෙන් අසා සිටියේය. මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රාවය පාඨකයන්ට ආරාධනා කළේ මා වන නිසා දුර බැහැර ගමන් සඳහා පාවිච්චි කරන කුලී රථ සඳහා දරන වියදම් මා දරන බව කියා සිටියෙමි. මාසයකට රුපියල් ලක්ෂය බැගින් මාස හයක් සඳහා යන වියදම ලෙස සලකා රුපියල් ලක්ෂ හයක් මට ලබාදිය හැකි බව ඔහු කීවේය. මා මොහොතක් කල්පනා කොට ලක්ෂ 6ක් වෙනුවට ලක්ෂ තුනක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එම පරිත්‍යාගය කරන්නේ නම් ව්‍යාපාරයේ ප්‍රතිපත්ති අනුව එම පරිත්‍යාගය හා පරිත්‍යාගශීලියාගේ නම වෙබ් අඩවියේ සඳහන් කරන්නට සහ එසේ කිරීමට එකඟදැයි අසා සිටියෙමි. ඔහු මොහොතක් කල්පනා කොට මට දෙන ලද පිළිතුර වූයේ තමා ළඟ තිබෙන්නේ කළු සල්ලි නොවන නිසා නම සඳහන් කිරීම අවශ්‍ය වේ නම් එසේ කරනවාට තමන් විරුද්ධ නොවන බවය. ඔහු වහාම මගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ තුනක් එවා තිබුණි. එහෙත් ඒවා මගේ ගමන් වියදම් සඳහා යොදා ගන්නවා වෙනුවට විශේෂ වැඩ සඳහා පූර්ණකාලීනයෙක් හෝ දෙන්නෙක් නඩත්තු කිරීමට අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ වැටුප් සඳහා වන අරමුදලක් සඳහා එය යොදා ගැනීම සුදුසු බව මගේ මතය විය. මා ඒ බව ඒ මුදල පරිත්‍යාග කළ පුද්ගලයාටද කීවෙමි. ඊට තමාගේ විරෝධයක් නැති බව ඔහු කීවේය.
සාකච්ඡා සභාවලදී පාවිච්චි කිරීම සඳහා රැහැන් රහිත ශබ්ද විකාශන පද්ධතියක් අපට අවශ්‍ය වී තිබුණි. ඒ බව දැනගත් පසු මෙම ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවකු බවට පත්වී සිටින මාගේ මිත්‍රයෙකු වූ රංජිත් දිසානායක ඔහුගේ මිත්‍රයෙකුට කතා කොට අපට ප්‍රොජෙක්ටරයක් සමඟ රැහැන් රහිත ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් මිලදී ගෙන දුන්නේය. ඒ සඳහා ගිය වියදම රුපියල් ලක්ෂයක් පමණ විය. මීට පෙර මාරවිල පොල්පිතිගම හා නුවර යන ගමනකට ඔහුද අප සමඟ සහභාගි වූ අතර ආපසු එන ගමනේදී තමා ළඟ තිබූ මුදල්වලින් රුපියල් 7000ක මුදලක් ගමන් වියදම් වශයෙන් ලබාදීම නිසා කුලී රථය සඳහා මා ගෙවිය යුතු රුපියල් 21000ක් වූ කුලිය රුපියල් 7000කින් අඩුකර ගැනීමට මට හැකිවිය. දඹදෙණියේ පවත්වන ලද සාකච්ඡාවට සහභාගි වූ දියුණු ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණ ඉංජිනේරුවරයෙකු මට කතා කොට ගමන් බිමන් සඳහා යන ඉන්ධන වියදමෙන් කොටසක් දැරීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මට මගේ සාකච්ඡා සභා සඳහා යන ගමන් බිමන්වලදී උපකරණ කට්ටලය රැගෙන යෑම, එය ක්‍රියාත්මක කිරීම, සිදුවන සංවාද පටිගත කිරීම, වීඩියෝ කිරීම, නාමලේඛන ගබඩා කිරීම වැනි කටයුතු සඳහා IT විෂය ගැන අවබෝධයක් ඇති තරුණයෙකු අවශ්‍ය වී තිබුණු අතර ඒ අරමුණ සඳහා තෝරාගත් පුද්ගලයාට දෙන මාසික දීමනාව ඔහු වෙත ලබාදීමේ වගකීම භාරගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඊට කැමති විය. මට බොහෝ කලක් යන තෙක් නොව කිසියම් කලක් යන තෙක් ප්‍රවාහන වියදම් දරාගත හැකිය. අවශ්‍ය වනුයේ ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්නා තෙක් අල්ලාගෙන සිටීමය. ඉන්පසු මූල්‍යමය ප්‍රශ්න විසඳා ගැනීම දුෂ්කර වන්නේ නැත. පින් සලකා ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට ධනය පරිත්‍යාග කරනවාට වඩා රට හා සමාජය යහපත් තැනකට ගැනීමට දරන මේ උත්සාහය වෙනුවෙන් ධනය පරිත්‍යාග කිරීම ඵලදායකය.

ජනප්‍රිය මතවාද
රටේ පවතින ජනප්‍රිය මතවාදවලින් වැඩි හරියක් සත්‍ය හා විද්‍යාත්මක පදනමකින් තොරය. ඒවා කොතරම් ජනප්‍රිය වුවද ඒවා සත්‍ය හා විද්‍යාත්මක පදනමින් තොර වන අවස්ථාවලදී ඒවා සමඟ අවිවේචනාත්මකව අනුගත වන ක්‍රියාමාර්ගයක් මගින් පුනරුදය ව්‍යාපාරය ලොකු මහත් කරගැනීමට අපේක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට අප කරන්නේ එවැනි මතවාදවලට එරෙහිව වාද විවාද කරන තැනකට යමින් ඒ මත දරන්නන් වඩා තර්කානුකූලව සිතන මතන තැනකට ගැනීමට උත්සාහ කිරීමය.
රජරට කලාපයේ බහුල ලෙස දක්නට තිබෙන හඳුනා නොගත් වකුගඩු රෝගය රසායනික පොහොර කෘෂි රසායන නිසා ඇතිවී තිබෙන්නක්ය යන්න රටේ පවතින ජනප්‍රිය මතයක් ලෙස සැලකිය හැකිය. ඊටම සම්බන්ධ තවත් ජනප්‍රිය මතවාදයක් වනුයේ රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන නැතිව කෘෂිකර්මය වඩා සාර්ථක ලෙස පවත්වාගෙන යා හැකි කියන මතයයි. ඒ මතවාද දෙකම සත්‍යයෙන් තොර වනවා සේ ම විද්‍යාවටද පටහැනිය.
රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන සැලකිය හැක්කේ නවීන වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්නා ඖෂධවලට සමාන කළ හැකි දෙයක් ලෙසය. අවිධිමත් හා අනිසි ඖෂධ භාවිතය ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය. ඉතාමත් අහිංසක ඖෂධයක් ලෙස පෙනෙන පැනඩෝල් පවා අනිසි භාවිතයකදී ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැකිය. රසායන පොහොර හා කෘෂි රසායන භාවිතයේදී අනිසි පරිහරණය විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකිය. නවීන ඖෂධ භාවිතයේදී ඉන් වන හානියට තිබෙන විසඳුම නවීන ඖෂධ භාවිතයෙන් ඉවත් වී සාම්ප්‍රදායික ඖෂධ භාවිතයට යැම නොවනවා සේ ම කෘෂි විෂයේදී දක්නට තිබෙන කෘෂි රසායන අධිභාවිතයට තිබෙන විසඳුම කෘෂි රසායන භාවිතයෙන් ඉවත් වී සාම්ප්‍රදායික කෘෂිකර්මයට මාරුවීම නොවේ. නවීන ඖෂධ පරිහරණයේදී අවභාවිතයට තිබෙන පිළියම නවීන ඖෂධ පරිහරණය විධිමත් තැනකට ගැනීමය. කෘෂි රසායන අවභාවිතය සම්බන්ධයෙන් සිදුවිය යුත්තේද එයමය.
වස විස නැති කෘෂිකර්මයක් යන තේමා පාඨය යටතේ පවත්වාගෙන යන කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉතාමත් ලස්සන හා අහිංසක පෙනුමකින් යුතු වුවද එම සමස්ත වැඩසටහන විද්‍යා විරෝධීය. එම වැඩසටහනට කෘෂිකර්ම විෂයෙහි ඇති කළහැකි වන්නේ මහා විනාශයක් මිස ප්‍රගතියක් නොවේ. ස්වාභාවික ලෙස සැලකෙන හැම දෙයක්මත් රසායනිකය. ගස් කොළන් සතුන් සිවුපාවුන් පමණක් නොව මනුෂ්‍යයාද රසායනිකය.
අනුරාධපුරයේ පැවති සාකච්ඡාව ආශ්‍රයෙන් එහිදීම සිදුවූ අතුරු සාකච්ඡාවකදී ජාන තාක්ෂණය යොදාගෙන නිපදවන දෙමුහුන් බීජ ගැනත් රජරට කලාපය කෙරෙහි බලපා තිබෙන හඳුනා නොගත් වකුගඩු රෝගය ගැනත් සාකච්ඡාවක් ඇතිවිය. එම අතුරු සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයෙක් රජරට ප්‍රදේශයේ බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන හඳුනාගත් වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතූන් පිළිබඳව අපූරු විග්‍රහයක් කළේය.

වකුගඩු රෝගය හා හයිබි්‍රඞ් පැපොල්
ඔහුට අනුව මෙම කලාපයේ ජලයේ තිබෙන කිවුල්භාවය නිසා ප්‍රදේශයේ ජනයා ජලය පානය කරන්නේ ජලය පානය කළයුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එම තත්ත්වය වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුවකි. එහෙත් ජල උල්පත්වලින් ජලය ලබාගන්නා ඒ කලාපයේ තිබෙන විශේෂිත ප්‍රදේශයක් නිදර්ශනයක් වශයෙන් ගනිමින් ඔහු කීවේ එම ජලයෙහි කිවුල් රසයක් නොවීම නිසා එම විශේෂිත ප්‍රදේශයේ ජනයා හොඳින් වතුර පානය කරන බවත් එම ප්‍රදේශයේ වකුගඩු රෝගී ප්‍රශ්නයක්ද නැති බවත්ය. එහෙත් එම ප්‍රදේශයෙන්ද වකුගඩු රෝගීන් කිහිපදෙනෙකු සොයාගන්නා ලද බවත් ඔවුන් ගැන කරන ලද සොයා බැලීමකදී ඔවුන් මීට පෙර කලක් කිවුල් ජලය ඇති ගම් ප්‍රදේශයක ජීවත් වී ඉතා මෑතකදී එම ගම් ප්‍රදේශයේ පදිංචි වී ඇති අය බව හඳුනා ගන්නා ලද බවත්ය. වකුගඩු රෝගීන් අතර වයස අවුරුදු 65 ඉක්ම වූ අයගේ හා අධික රුධිර පීඩනය හා ලේවල ඉහළ සීනි අගයක් ඇති අයගේ අනුපාතිකය ඉහළ මට්ටමක පවත්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය. රජරට පවතින වකුගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතු පිළිබඳව එම පුද්ගලයාට ඉතාමත් සුවිශේෂ දැනුමක් ඇති බව පෙනෙන්නට තිබුණි.
එහෙත් ජාන තාක්ෂණය යොදාගෙන නිපදවන හයිබි්‍රඞ් බීජ පිළිබඳව ඔහු දරන අදහස් විවාදයට ලක් කිරීමට මට සිදුවිය. එහෙත් එම සංවාදය සිදුවූයේ ඉතාමත් මිත්‍රශීලී ආකාරයකටය. වැඩි දියුණු කරන ලද පැපොල් වගා කරන ගොවීන්ට එක පැපොල් ඇටයක් සඳහා රුපියල් 20ක් වැනි අධික මුදලක් වැය කරන්නට සිදුවී තිබෙන බවත් එහෙත් එම ගස්වලින් හටගන්නා බීජවලින් පැළ ලබාගත නොහැකි බවත් ඒ නිසා ඒ වර්ගයේ පැපොල් වගා කරන ගොවීන්ට දිගින් දිගට එම බීජ නිපදවන බහුජාතික සමාගම්වලින් බීජ මිලදී ගැනීමට සිදුවන බවත් එය බිහිසුණු සූරාකෑමක් බවත් ඔහු කීවේය.
ඔහු බහුජාතික සමාගම්වලට විරුද්ධ වන නාමයෙන් විරුද්ධවන්නේ විද්‍යාත්මක කෘෂිකර්මයට වන නිසා ඔහුගේ එම මතවාදයට එරෙහිව තර්ක කරන්නට මට සිදුවිය. සාම්ප්‍රදායික පැපොල් වවනවාට වඩා ජාන තාක්ෂණය යොදාගෙන නිපදවා තිබෙන පැපොල් ප්‍රභේද වැවීම ආර්ථික වශයෙන් ලාභදායකය. එක් ගසකින් ලැබෙන අස්වැන්නේ ප්‍රමාණය සාම්ප්‍රදායික පැපොල්වලින් ලැබෙන අස්වැන්නේ ප්‍රමාණයට වඩා හුඟාක් වැඩිය. එම නව ප්‍රභේද ගුණාත්මක බවින්ද උසස්ය. සාම්ප්‍රදායික පැපොල් හොඳින් ඉදුණු පසු කෑලිවලට කැපිය නොහැකිය. ඒවා චොර බවකින් යුතුය. එහෙත් වැඩි දියුණු කළ නව ප්‍රභේද ඉදුණු පසු චොර වන්නේ නැත. කෑලිවලට කැපිය හැකිය. ඒවා වර්ණවත් වන්නා සේ ම වැඩි රසයකින් යුතුය. කල් තබාගැනීමේ හැකියාවද සාම්ප්‍රදායික පැපොල්වලට වඩා ඉහළ මට්ටමක පවතී. සාම්ප්‍රදායික පැපොල්වල තිබෙන තවත් දුර්වලතාවක් වනුයේ අධික ඇට ප්‍රමාණයක් තිබීමය. නව ප්‍රභේද ඇටවලින් තොරය. ඇට තිබෙන අවස්ථාවලදීද තිබෙන්නේ ඇට කිහිපයක් පමණය. එවැනි නව ප්‍රභේද නිපදවීම සඳහා විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙන්නට සිදුවන අතර ඒ සඳහා විශාල වියදමක් දරන්නටද සිදුවේ. එම ගෙඩිවලින් ලැබෙන ඇට වඳ තත්ත්වයක තබා තිබෙන්නේ ඒවා නිපදවීම සඳහා කරන ලද පර්යේෂණ සඳහා ගිය වියදම හා ඊට ලැබිය යුතු ලාභය ලබාගැනීම සඳහාය. ලෝකයේ ඉදිරි ගමනට නව නිපැයුම් අවශ්‍ය වන අතර නව නිපැයුම් සඳහා අවුරුදු 15කට බලපාන ආකාරයට පේටන්ට් බලපත්‍ර ක්‍රමයක් ඇතිකර තිබෙන්නේ නව නිපැයුම්වලදී නව නිපැයීම කරන ලද පුද්ගලයාට සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදීම සඳහාය. මහජනයා අතර ලොකු ඉල්ලුමක් ඇතිවන ආකාරයේ නව නිපැයුමක් ඉදිරිපත් කරන පුද්ගලයෙකුට කෝටි ප්‍රකෝටිපතියකු විය හැකිය. කිසිවක් නොකොට පැත්තකට වී බලා සිටින පුද්ගලයෙකුට කිසිදු ගෙවීමකින් තොරව එම නව නිපැයුමෙන් ප්‍රතිලාභ ලබා ගන්නට ඉඩදීම අන් හැම තැනකදී සේ ම කෘෂිකර්මයේදීද සාධාරණ වන්නේ නැත.

ජාතික ප්‍රතිපත්ති නැතිකම
හැම සාකච්ඡා සභාවකදීම පාහේ රටට පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැතිකමේ ප්‍රශ්නය විවිධ ආකාරවලින් සංවාදයට ලක්වූ මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. එය කෘෂිකර්මයේ දක්නට තිබෙන පරිහානිය කෙරෙහිද බලපා තිබෙන වැදගත් සාධකයකි. කිරි ගොවි කර්මාන්තය ලංකාවේ දියුණු කළ හැකි කර්මාන්තයක්ව තිබියදී එය එක තැන පල්වෙන තත්ත්වයක තිබෙන්නේ එම විෂය පිළිබඳව රටේ පවතින පසුගාමී ආකල්ප හා ඒ සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නිසාය. කෘෂිකාර්මික භෝග වගාවන්ට සතුන්ගෙන් එල්ල වන තර්ජන සඳහාද අපට පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් නැත. භෝග වගාවන්ට සතුන්ගෙන් එල්ල වන තර්ජනවලදී ඒ භෝග වගාවන් ආරක්ෂා කරන දැක්මක් වෙනුවට අපට ඇත්තේ ඒ භෝග වගාවන් කන වල් සතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකි. මොනරුන්, වඳුරන්, වල් ඌරන්, ඉත්තෑවන්, දඬු ලේනුන් වැනි වල් සතුන්ට උන්ට කැමති ලෙස භෝග වගාවන් මත බඩපිනුම් ගැසීමට ඉඩ හැරීම නිසා පමණක් භෝග වගාවන්ට සිදුවී තිබෙන හානියේ ප්‍රමාණය අතිවිශාලය. භෝග වගාවන්ට හානි කරන එවැනි සතුන් වර්ධනය කිරීමට ගොවීන්ට ඉඩදෙන ප්‍රතිපත්තියක් ඇතොත් ඒ මගින් පමණක් වුවත් කෘෂිකර්මයේ සියයට තිහක පමණ වර්ධනයක් ඇති කළ හැකිය.
වල් සතුන් සිටිය යුත්තේ කැලෑවල මිස ජනාවාසවල නොවේ. ජනාවාසවල සිටින වඳුරන්, වල් ඌරන්, දඬු ලේනුන්, ඉත්තෑවන් වැනි වල් සතුන් මර්දනය කළ යුතුය. උන් මර්දනය කිරීමට ගොවීන්ට අනුබල දිය යුතුය. වල් ඌරන් හා විවිධ වර්ගවල වඳුරන් ආරක්ෂා කරගත යුතු විශේෂ සත්ව වර්ගවලට වැටෙන සතුන් වර්ග නොවේ. වල් ඌරන් මරා මස් විකිණීමට හා ඒ මස් ළඟ තබා ගැනීමට ඉඩ දිය යුතුය. කෘෂිකර්මය නගා සිටුවිය හැකිවනු ඇත්තේ භෝග වගාවන්ට හානි කරන සතුන් මර්දනය කරන පිළිවෙතක් මගින් මිස ඒ සතුන්ට භෝග වගාවන්ට හානි කරන්නට ඉඩදී ඒ සතුන් ආරක්ෂා කරන මෝඩ පිළිවෙතකින් නොවේ. පිස්සු වැටුණු බල්ලන් මරා දමනවා හැර උන්ට මැරෙන තෙක් ජීවත් වන්නට ඉඩ දෙන පිළිවෙතක් යහපත් විය නොහැකිය.
එළකිරි කර්මාන්තය දියුණු කළ හැකිවනු ඇත්තේ ගව මස් කර්මාන්තයට අනුබල දෙන ජාතික ප්‍රතිපත්තියක් ඇත්නම් පමණය. ගව මස් කර්මාන්තයට ඉඩක් නැති රටක කිරි කර්මාන්තය දියුණු කළ නොහැකිය. බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කරන ක්‍රමයක් ලාභදායී විය නොහැකිය. අවශ්‍ය නම් ලංකාවට අවශ්‍ය සහල් වියළි කලාපයේ පමණක් නිපදවිය හැකිය. තෙත් කලාපයේ වී වගාව ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. වී වගාව තෙත් කලාපයට පමණක් සීමා කොට රටට අවශ්‍ය සියලු සහල් වියළි කලාපයේ නිපදවන තත්ත්වයක් ඇති කොට තෙත් කලාපයේ තිබෙන කුඹුරු ඉඩම් පහත් බිම් වශයෙන්ම තබා ගනිමින් මහා පරිමාණයේ කිරි හරක් ගොවිපළවල් බවට පත් කළ හැකිය. ඒ මගින් තෙත් කලාපයේ කුඹුරු ඉඩම්වලට ප්‍රමාණවත් තරමේ මිලක් නැතිකම අහෝසි කොට ඒවා ලොකු මිලකට විකිණිය හැකි හා බදුදිය හැකි ඉඩම් බවට පත් කළ හැකිය. ඒ මගින් සහල් නිෂ්පාදනයේදී අතිරික්තයක් ඇතිවීම වළකා ගනිමින් තෙත් කලාපයේ කුඹුරුවලට වෙන්කර තිබෙන ඉඩම්ද ආර්ථික වශයෙන් ලාබදායී කාර්යයන් සඳහා යොදාගත හැකි ඉඩම් බවට පත්කළ හැකිය. එවැනි විපර්යාසයන් ඇති කළ හැකිවනු ඇත්තේ බත් කන ප්‍රමාණය අඩු කොට වැඩි වැඩියෙන් පලතුරු එළවළු හා මාංශජනක ආහාර ආහාරයට ගන්නා තැනකට යායුතුය.
අප අන් බොහෝ දේ සේ ම අපේ ආහාර පුරුදුද වෙනස් කරගත යුතුය. ජපනුන් මෙන් බත් කන ප්‍රමාණය අඩු කරමින් වැඩි වැඩියෙන් පලතුරු, එළවලු හා මාංශජනක ආහාර කන සමාජයක් බවට පරිවර්තනය විය යුතුය. එවිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේද ඊට ගැළපෙන ලෙස ඵලදායී පරිවර්තනයක් ඇතිවනු ඇත. සියලු වගාවන් අතුරින් අඩුම ආදායම් ලබාදෙන වගාව ලෙස සැලකිය හැක්කේ වී වගාවය. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවීමේ වගකීම වියළි කලාපයට භාරදී තෙත් කලාපයේ කුඹුරු ඉඩම් වෙනත් වගාවන්ට යොමු කරන ප්‍රතිපත්තියක් රටේ ආර්ථික චිත්‍රයෙහි ලොකු වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇත. රටේ ගොවි ජනයාට පුනරුදය උදාවනු ඇත්තේ එවිටය.■