අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි

මහාචාර්ය සරත් විජේසූරිය

2015 දී පැවැත්වුණු ජනාධිපති වරණයේ ප්‍රධාන තේමාව බවට පත් වූයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම යන්නයි. පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණය වෙනුවෙන් නීති ගරුක පුරවැසියන් පෙළ ගැසෙන්නේ යථෝක්ත අරමුණ මුදුන් පත් කර ගැනීම සඳහාය. ලංකාවේ රාජ්‍ය පාලනය තනි පුද්ගලයෙකුගේ අතෙහි තබා ගැනීමට හැකි අසීමිත බලතල හිමි කරගෙන තිබෙන වත්මන් ව්‍යවස්ථාව fදා්ෂ දර්ශනයට බඳුන් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේය. රටේ අභිවෘද්ධිය උදෙසා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මේ වන විට සංශෝධනය කරමින් භාවිත කරන ව්‍යවස්ථාවම විශද කර තිබේ.
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට පමණක් නොවේ. අලුත් ව්‍යවස්ථාවෙන් ඉටු කර ගැනීමට තිබෙන තවත් කාරණා දෙකක් කැපී පෙනේ. ‘බලය බෙදා හදා ගැනීම’ සහ ‘පවතින මැතිවරණ ක්‍රමය’ වෙනස් කිරීම ඒ කාරණා දෙකයි. ජනවාරි 08 වෙනිදා මේ කාරණාත්‍රය වෙනුවෙන් ජන වරමක් ලැබී තිබේ. අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යභාරය පටන් ගෙන තිබෙන්නේ ඒ අනුව බව පැහැදිලිය. එහෙත් තත්වය තවමත් ප්‍රශස්ත මට්ටමකින් සිදු වී නැත. කිසියම් කල් මැරීමක් පවතී.
අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් කල් මැරීමක් සිදු වන්නේ මක් නිසා ද? ඊට මුල් වී තිබෙන්නේ ආණ්ඩුව ජනමත විචාරණයකට මුහුණ දීමට දක්වන නොසතුට බව පෙනේ. ජනමත විචාරණයකට මුහුණ දී ජයග්‍රහණය කළ හැකි ද යන බිය ඇතැම් දේශපාලනඥයන් තුළ තිබෙන බව ඔවුන් පවසන අදහස්වලින් පෙනී යයි. ජනමත විචාරණයකින් ජය නොලැබුණත්, ජනමත විචාරණයකට නොයා අලුත් ව්‍යවස්ථාවක් සම්මත නොකළත් ප්‍රතිඵලය එකමය. ප්‍රතිඵලය වන්නේ රට අරාජික වීමයි. එබැවින් ආණ්ඩුව ජනතාවට නිවැරදි අධ්‍යාපනයක් ලබා දී ජනමත විචාරණයක් පවත්වා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කැපවිය යුතුය. ජනමත විචාරණයක් මගින් අනුමැතිය ලබන ව්‍යවස්ථාව මෙතෙක් රාජ්‍ය පාලනය සඳහා ඉවහල් කර ගත් සියලු ව්‍යවස්ථාවන්ට වඩා වෙනස් හා වැදගත්ම ව්‍යවස්ථාව වේ. එය පුරවැසියන්ගේ වැඩි කැමැත්ත මත සම්මත වුණ එකම ව්‍යවස්ථාව බවට ද පත් වන්නේය. ඒ කාර්යභාරය ඉටු කළහොත් වත්මන් ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙතෙක් බිහිවුණ හොඳම නායකයා බවට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බුහුමනට බඳුන් වන්නේ නිතැතිනි.

පාර්ලිමේන්තුව
වත්මන් මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු තමන් මහජන නියෝජිතයෙකු වීමෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන ප්‍රශ්නය අබිමුවට කැඳවූ විට බහුතරයක් පටු න්‍යාය පත්‍ර අතැතිව දේශපාලනයේ නිමග්න උදවිය බව තහවුරු වනු නිසැකය. එබඳු මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් අපට උරුම වන්නේ කෙසේ ද? මේ ගැන කලකට පෙර කදිම විග්‍රහයක් අභාවප්‍රාප්ත ඔස්මන්ඞ් ජයරත්න මහාචාර්යතුමන් විසින් සිදු කළේය. එතුමන් පවසා සිටියේ ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථා වෙන් රට පාලනය කරන කවර පුද්ගලයෙකුට වුව සියලු මහජන නියෝජිතයන් තමන්ට පහළින් තබා ගත හැකි බවයි. බෙලසුන් කළ හැකි බවයි. ඒ වූකලි ඒකාධිපති පාලනයක එක් ස්වරූපයකි. ඒ නිසා සිදුවන නරකම දේ වන්නේ ජාතික තලයට මහජන නියෝජිතයන් මතු නොවීම බවය එතුමා පැවසුවේ. එතුමා මේ අදහස් පළ කරන කාලයේ අපේ පාර්ලිමේන්තුව තුළ සිටි බහුතරයක් ජාතික තලයේ සිටි බැවින් මේ අදහස බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණේ නැත. එහෙත් අද තත්වය සලකා බලන විට එතුමාගේ දැක්ම කොතරම් තීක්ෂණ දැයි පැහැදිලිය.
අලුත් ව්‍යවස්ථාවක් ඔස්සේ යහපත් දේශපාලන සංස්කෘතියකට මඟ හෙළි කර නොගතහොත් වත්මන් පාර්ලිමේන්තුව පමණක් නොව, මතුවටත් අපේ පාර්ලිමේන්තුව කාන්තාර යකි. වනස්පති නැති, එඬරු ගස්ම වැඩි තැනකි. රටට අත්වන ඉරණම කුමක් ද? මව්බිම වෙනුවෙන් පපුවට ගසා ගන්නා ව්‍යාජ දේශප්‍රේමය රට ගෙන යන්නේ ඉදිරියට නොව ආපස්සටය.

බලය බෙදාහදා ගැනීම
බලය බෙදා හදා ගැනීම අවශ්‍ය වන්නේ ඇයි? බලය බෙදා හදා ගැනීම හුදෙක් දෙමළ ජනතාවගේ ඉල්ලීමක් ඉටු කිරීම ද? එය බටහිර ජාතීන් සතුටු කිරීමට ද? මේ කාරණාව නිරවුල්ව අවබෝධ කර ගත යුත්තේ බස්නාහිර පළාතෙන් පිටස්තර පළාත්වලින් පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ය. ඔවුන් මහජන වරමක් ලබා තිබෙන්නේ තමන්ගේ පළාත්වල ජීවත් වන පොදු ජනතාවගේ ජීවන මට්ටම ඉහළට එසවීමට නොවන්නේ ද? දුෂ්කර පළාත් දියුණු කිරීමට සැබෑ උවමනාවක් ප්‍රාදේශීය දේශපාලනඥයන්ට තිබේ නම්, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට තිබේ නම්, මේ සම්බන්ධව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පසුගිය දවසක කර තිබෙන ප්‍රකාශය අධ්‍යයනය කර බලනු වටී.
අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් බර උර මත තබා ගත යුතු වැදගත්ම පිරිසක් වන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ය. කොළඹින් පිට පළාත්වලින් තේරී පත්වී සිටින මහජන නියෝජිතයන්ය. එබැවින් අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජනමත විචාරණයකට ජනතාවට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමේ වගකීම හා වගවීම සම්බන්ධයෙන් මෙකී දේශපාලනඥයන් පෙරමුණ ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා තමන් ද අවංකව නිසි අධ්‍යාපනයක් ලැබිය යුතුම වේ.
බලය බෙදාහදා ගැනීම මානව සංස්කෘතියේ යහපත උදෙසාය යන සිද්ධාන්තයට අප පිටු නොපෑ යුතුය. ජාතිකවාදී දේශපාලනයේ පවතින වර්ගවාදය පිටු දැකීම පුළුල් දෘෂ්ටියකින් තේරුම් ගත යුතුය. බලය බෙදා හදා ගැනීමෙන් වාසිය ලැබෙන්නේ කොයි ජාතියට ද?, කොයි ආගමට ද?, යන පටු ගෝත්‍රික මානසිකත්වයෙන් ජනතාව මුදවා ගත යුතුය.

ජනමත විචාරණය
විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ අලුත් ව්‍යවස්ථාවට සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍යම බවයි. ඒ සඳහා ඔවුන්ගේ පාර්ශවයෙන් ඉතා නම්‍යශීලී ප්‍රතිප්තත්තියකට ද අවතීර්ණව සිටී. ඉදිරි පියවර ප්‍රමාද වීමට බාධාවක් ලෙස පවතින්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රීලනිපය ජනමත විචාරණයකට මුහුණ දීමට දක්වන අකමැත්ත බව මේ වන විට තහවුරු වී තිබේ. මේ වූකලි ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා ලැබී තිබෙන වැදගත් අවකාශය නොතකා හැරීමකි.
අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ශ්‍රීලනිපයේ කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීමට තමාට හැකි බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී තිබේ. එහෙත් ජනමත විචාරණයකට මුහුණ දීම සම්බන්ධයෙන් අවශ්‍ය අධ්‍යාපනය රටට ලබා දීමේ පුරෝගාමී කටයුත්තට ජනාධිපතිවරයා මෙතෙක් නායකත්වය ලබා දී නැත. මෙහිදී සියලු මහජන නියෝජිතයන් ජනමත විචාරණය වෙනුවෙන් අවශ්‍ය ජනමතය ගොඩ නැඟීමට දායක විය යුතු වේ.
ජනවාරි 08 ප්‍රතිඥා ඉටු කිරීමට තමන් පෙනී සිටින බව ජනාධිපතිවරයා අවධාරණයෙන් පවසා සිටිය ද, එතුමා ජනමත විචාරණයකට මුහුණ දී ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පියවර ගන්නා බව මේ වනතුරු පැහැදිලිව ප්‍රකාශ කර නැත. එතුමා කල්පනා කරන්නේ ජනමත විචාරණයකට නොයා, තුනෙන් දෙකක සංශෝධනයෙන් කළ හැකි දෙයක් කිරීමට නම් එහි අර්ථයක් නැත. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කටයුත්ත මේ වන විට උපරිම වශයෙන් සිදුකර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන උපදෙස් අනුව ඉදිරිගාමී පියවර වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යම වන්නේය. මෙහිදී සලකා බැලිය යුතු වැදගත් කාරණාවක් ඇත. එය නම්, පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කෑ ගසන රාජපක්ෂවාදීන්, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ නැත්තේ මන්ද යන්නයි. ඊට හේතුව නම් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ජාතිවාදී බලවේගය තෙවන වරටත් පරාද වීම ඔස්සේ අත්වන ඉරණම ඔවුන් තේරුම් ගෙන තිබෙන බැවිනි.
රට බෙදන ව්‍යවස්ථාවකට තමන් ඉඩ දෙන්නේ නැති බව මහින්ද රාජපක්ෂ පැවසුව ද, ශීලාචාර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනමතයක් ගොඩ නැඟීමට ජාතිවාදයට සහ ආගමික අන්තවාදයට නොහැකිය. ජාතිවාදය හා ආගමික අන්තවාදයන් පෝෂණය වන්නේ නිතරම ඊට නිසි අභියෝගයක් නැති සංදර්භයක් තුළ ය. පසු ගිය දවසක බෞද්ධයා නාලිකාවෙන් දක්නට ලැබුණේ සිල් සමාදන්ව සිටින උපාසක උපාසිකාවන්ගේ සිත් සතන් තුළ ජාතිවාදී අදහස් රෝපණය කරන අන්දමයි. එබඳු අවිනීත ප්‍රයත්න බුද්ධිමත්ව පරාජය කළ හැකිය. ආණ්ඩුව ඒ වෙනුවෙන් ගත යුතු කිසිදු පියවරක් නොගන්නා විට යට කී බලවේග තව තවත් ඉදිරියට පැමිණේ. ව්‍යවස්ථාවක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පමණක් නොව ශීලාචාර රාජ්‍ය පාලනයකට ද ජාතිවාදී බලවේග ශක්තිමත්ව පැවතීම කිසිසේත් සෙඛ්‍ය සම්පන්න නැත.

උවමනාව වෙනුවෙන් කැපවීම
ජනමත විචාරණයකින් ජය ලැබිය හැකි ද යන භීතිකාවට සමානම භීතිකාවක් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී තිබුණි. ඒ මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි ද යන භීතිකාවයි. මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනය නොයිවසූ බහුතරයක් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණේ අන් කිසිවක් නිසා නොව, ඔහු පරාද කිරීමට නොහැකිය යන භීතිකාවෙන් පෙළුණ බැවිනි. එහෙත් අතිදැවැන්ත බලවේගයක් පරාජයට පත් වන්නේ නොසිතූ ආකාරයටය. ඒ ජයග්‍රහණය, හාවා පරදවා ඉබ්බා ජය ගත්තාට වුව සමාන කළ හැකිය.
මහින්ද රාජපක්ෂ පරාද කිරීම සඳහා ඒ ආණ්ඩුවෙන් පිටතට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ අවස්ථාවේ තිබුණේ ආත්ම විශ්වාසය පමණි. එතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිවිල් සමාජය කළ මෙහෙවර ශ්‍රීලනිපයට කිරීමට නොහැකි විය. අද තත්වය වෙනස්ය. අද ශ්‍රීලනිපයේ නිල නායකයා ජනාධිපතිවරයා යි. එදා තමන් වෙතට නොපැමිණි විශාල පිරිසක් අද තමන් වෙතට පැමිණ සිටියි. එපමණක් නොව, එදා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණ සියලු බලවේග එතුමා නායකත්වය දෙන ජනමත විචාරණය වෙනුවෙන් කැපවීමට සූදානම්ය. ඒ බලවේග; සිවිල් සමාජය, මොනම අන්දමකින්වත් මහින්දවාදී බලවේගයකට හිස එසවීමට උදවු කරන්නේ නැත. මහින්දවාදී බලවේගය පරාජය කිරීමට උපරිමයෙන් කැපවන්නේය. එබැවින් මේ අවස්ථාවේ වැදගත් වන්නේ උවමනාව සහ කැපවීම පමණි.
අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් ශ්‍රීලනිපයේ සහයෝගය තීරණාත්මකය. සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය වීමේ මූලික අභිප්‍රාය තුළ ද ඒ කාරණාව ඇත. එබැවින් ශ්‍රීලනිපය ජනමත විචාරණයක් මඟ හැරීම කිසිසේත් සුදුසු නැත.
අලුත් ව්‍යවස්ථාවක් තුළින් බලය බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් ආර් සම්බන්ධන් මහතා ඉතා වැදගත් චරිතයකි යන මතය, මේ කාරණාව ගැන සංවේදි කවුරුත් පොදුවේ පිළි ගෙන තිබේ. එතුමාගේ නායකත්වය මේ සඳහා නොලැබී ගියහොත් ප්‍රතිඵලය කුමක් ද? මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්නගේ විග්‍රහය පරිදි, ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ද ජාතික තලයේ දේශපාලනඥයන් ගොඩ නැඟී නැත. පෙරට එන ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ තත්වය කොතරම් නරක ද යන්න විග්නේශ්වරන් මේ වන විටත් විශද කර තිබේ. එබැවින් පුද්ගලවාදී දෘෂ්ටිකෝණයකින් සිදු කරන්නාවූ මැදිහත් වීම්, දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව හා රටේ දියුණුව ගැන අවංකව කල්පනා කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කළ යුතුය.

අවසානය කුමක් ද?
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අසමත් වුවහොත් සිදු වන්නේ කුමක් ද? නිසැකවම බොහෝ දේ සිදු වන්නේය. පළමුව සිදු වන දේ නම් සුළු ජාතීන්ගේ විශ්වාසය බරපතළ අන්දමින් බිඳ වැටීමයි. ඉන් රටේ දේශපාලන සංස්කෘතිය බරපතළ අභියෝගයකට ලක් වන්නේය. ඒ අනුව ජාත්‍යන්තරය අපේ රට වෙනුවෙන් සිදු කරන මැදිහත්වීම් බරපතළ වනු ඇත.
අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කථිකාව තුළ ඇතමුන් විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට කැමතිය. බලය බෙදා හදා ගැනීමට අකමැතිය. තවත් උදවිය විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, බලය බෙදා හදා ගැනීමටත් කැමතිය. එහෙත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අකමැතිය. මේ විසංවාදයට මුල් වී තිබෙන්නේ මොනම අන්දමකින්වත් රටේ අනාගත අභිවෘද්ධියට අදාළ කාරණා නම් නොවේ. මුල් වී තිබෙන්නේ තමන්ගේ වපසරිය පිළිබඳ කාරණාය. මේ ඉතා ශෝචනීය තත්වයකි.
අගනුවරට වී ජන මාධ්‍ය ඔස්සේ පටු දෘෂ්ටිවාද සමාජ ගත කරන්නන් මෙන්ම, රට ජාතිය ආගම ගැන අවිචාරවත් අන්දමින් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා ද ආණ්ඩුව කිසියම් භීතියකට පත් කර තිබෙන බව පෙනේ. වැරුද්ද වන්නේ ආණ්ඩුව මේ කොටස් මත යැපීමට සිත යොමු කරන දුක්බර තත්වයයි.
ජීවත්වීම සඳහා හෘදය සැත්කමක් සිදු කළ යුතු බවට වෛiවරුන් තීන්දු කළේ නම්, රෝගියා හෘදය සැත්කමට මුහුණ දිය යුතුය. තමන් සැත්කම හේතුවෙන් මිය යාවියයි බියට පත්ව සැත්කමට මුහුණ නොදෙන්නේ නම් එහි ප්‍රතිඵලය ද මරණයයි. අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයකට මුහුණ දීම සම්බන්ධ ආණ්ඩුවේ තත්වය, හෘදය සැත්කමට මුහුණ දී සුවය ලැබීම අපේක්ෂා කරනවා ද, නැතහොත් සැත්කමට මුහුණ නොදීම මරණයට පත් වෙනවා ද යන අතිසරල ප්‍රශ්නයට සමානය.■