රාවය

එල්ටීටීඊය යළි ගොඩනැගීම

එල්ටීටීඊය යළි ගොඩනැගීම

එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන්ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීමයි. මෙම ඝාතන සැලැස්ම විදේශගත දෙමළ අන්තවාදී කණ්ඩායම් විසින් මෙහෙයවූ බව පොලිස් වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළවී තිබේ.
මාධ්‍ය වාර්තා පළවූ පළියටම එවැනි ඝාතන සැලැස්මක් තිබෙන්නට ඇතැයි අපට නිගමනය කළ නොහැක. මන්ද යත් ශ්‍රී ලංකාවේ බහුතර ජනමාධ්‍ය අයත් වන්නේ පශ්චාත්-සත්‍ය අක්ෂයට නිසාය. ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍යය නොව වෙළෙඳාමයි. මාධ්‍ය වෙළෙඳාමට වාසිදායක කුමක්ද එය සත්‍යය බවට පත්වේ.
පොලීසිය දැන් එවැනි සැලැස්මක් තිබූ බවට ප්‍රකාශකර තිබේ. ආණ්ඩුව නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් කියා නැත. එනමුත් ආරක්‍ෂක අමාත්‍යාංශය සුමන්දිරන්ගේ ආරක්ෂාව වැඩිකර ඇති අතර පෙනෙන්නට තිබෙන පරිදි සුමන්දිරන්ද සිය ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නට පටන්ගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නැතත් යූඑස්ටීපැක් නම් දෙමළ ඩයස්පෝරා සංවිධානයක් විසින් එම ඝාතන තැත හෙළාදකිමින් නිකුත්කළ නිවේදනයක් බෙදාහරින ලදි. ඉන් අදහස් වන්නේ එවැනි අනතුරක් ඇති බව දෙජාසද පිළිගන්නා බවයි.
මෙවැනි සැලැස්මක් නොතිබෙන්ට ඇතැයිද අපට කීමට නොහැක. විදේශගත එල්ටීටීඊ සහ ඊට හිතවාදී පිරිස් සුමන්දිරන් සලකන්නේ නීලන් තිරුචෙල්වම් වැනි නැතිකර දැමිය යුතු දේශපාලනඥයකු ලෙසය. එමෙන්ම මෙම ඝාතන තැත හෙළාදැකීමට කිසිදු එල්ටීටීඊ හිතවාදී සිංහල සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් ඉදිරිපත්වීද නැත.
සම්මුති විරෝධී දෙස්විදෙස් දෙමළ පිරිස්හි නායකයා බවට පත්ව සිටින උතුරු මහඇමැති විග්නේශ්වරන් කියාඇත්තේ මෙම ඝාතන සැලැස්ම ප්‍රබන්ධයක් බවය. එනයින් ඔහු උත්සාහ කරන්නේ එවැනි සැලැස්මක් තිබුණද එවැන්නක් නොතිබුණ බවට මතවාදයක් ගොඩනැගීමටය. කෙසේ වෙතත් ඔහුගේ මතවාදය පිළිගන්නා විශාල පිරිසක් උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර සිටින බව පසුගිය 12වන දින මඩකළපුවෙහි ඔහුගේ නායකත්වයෙන් පැවැති ‘දෙමළුනි නැගිටිව්’ උද්ඝෝෂණයෙන් මොනවට පැහැදිලි විය.
විග්නේශ්වරන් නායකත්වය දරන ‘දෙමළුනි නැගටිව්’ ව්‍යාපාරය සහ එල්ටීටීඊය නායකත්වය දුන් පොන්ගු තමිල් ව්‍යාපාරය මතුපිටින් එක හා සමානය. එල්ටීටීඊයේ සහ පොන්ගු තමිල්හි වර්ණවූ රතු සහ කහ පැහැති ධජ ගණනාවක්ම විග්නේශ්වරන් අත ‘දෙමළුනි නැගිටිව්’ මඩකළපු ව්‍යාපාරය තුළ ළෙලදෙනු දැකිය හැකිවිය. නිරනුමානවම විග්නේශ්වරන් උත්සාහ කරන්නේ එල්ටීටීඊ මතවාදය හා සිය දේශපාලනය අතර සම්බන්ධයක් පෙන්වීමටයි.
අනෙක් අතට දෙමළ ඩයස්පෝරාව තුළ ශ්‍රී ලංකාවෙහි එල්ටීටීය හෝ එවැනි වෙනත් රණකාමී දේශපාලනයක් ගොඩනැගිය යුතු බවට විශ්වාස කරන සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුන්ට මුදල් අඩුවක් නැත. තාක්ෂණික ඥානයෙන් දියුණුය. එබැවින් එවැනි පිරිස් සිය මතවාදී සහ මූල්‍ය බලය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ දේශපාලනයක් ඇතිකිරීමට මාන නොබලනු ඇතැයි කිසිවකුට සහතිකයක් දීමට නොහැකිය.
මේ සියල්ලටමත් වඩා දකුණේ සිංහල ආණ්ඩුව ගැන එන්නම එන්න බිඳවැටෙන අපේක්ෂා භංගත්වයක් දෙමළ ජනතාව අතර මුල් බැසගනිමින් තිබේ. තමන්ගේ ඡන්දයද ලබාගෙන බලයට පත්වූ ආණ්ඩුවක් විසින් සිය ප්‍රජාවට යුද්ධයෙන් වූ විපත් ගැන සාධාරණ පරීක්ෂණයක් නොකරන බවටත් යුක්තිය ඉෂ්ට කිරීම නොපෙනෙන අනාගතයකට කල්දැමෙන බවත් ඔවුන්ට එන්න එන්නම පැහැදිලිවෙමින් තිබේ. දෙමළ තරුණ පිරිස් මෙම යථාර්ථය තුළ සන්නද්ධ නොවන නමුත් ආන්තික මත කරා ගමන්කිරීමට ඇති ඉඩ බොහෝය.
එල්ටීටීඊ සංවිධානයයේ සම්මුති විරෝධී දේශපාලන මතවාදය උතුරු නැගෙනහිර ජනයා අතර යළි කවර හෝ පදනමක් අල්ලාගැනීමට ලොකුම දායකත්වය ලබාදෙන්නේ අන් කවරකුවත් නොව මෙම ආණ්ඩුවයි. එය තමන් විසින් දෙමළ ජනයාට දෙන ලද පොරොන්දු අලුයම ලූ කෙළපිඬක් තරම්වත් ගණන් ගන්නේ නැත. ඔවුන්ගේ පාරම්පරික ඉඩම්, දේශපාලන සිරකරුවන් ලෙස රඳවාසිටින ඔවුන්ගේ දරුවන් සහ අතුරුදන්වූ දහස් ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව කර ඇති දෙයක් නැති තරම්ය. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වූ දෙමළ ජාතික සන්ධානය මෙම ආණ්ඩුවට සහාය දීම නිසා දිනෙන් දින දුර්වල වෙයි. විග්නේශ්වරන් විසින් මතුපිටින්ද රණකාමී පිරිස් විසින් අභ්‍යන්තරයෙන්ද පුරවනු ඇත්තේ එම හිඩැසයි.
‘දෙමළුනි නැගිටිව්’ යනාදි ලෙස මතුවනු ඇති මතවාදී සහ සංවිධානාත්මක ව්‍යාපාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ලැබී ඇති අවස්ථාව දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයකි. පවත්නා සමාජ දේශපාලන ව්‍යුහයෙන් ඔවුන් පිටමං නොකරනු පිණිසද එවැනි දේශපාලන අවකාශයක් සහතික කිරීම වැදගත්ය.
දකුණේ සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවා දැවැන්ත විනාශයන්ට මඟපෑදූ ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන පිළිගත් සෑහෙන අනුගාමිකත්වයක් ඇති පක්ෂයකි. එහි නායක පිරිස් පාර්ලිමේන්තුවෙහි වැදගත් තනතුරු හොබවති. සමාජයෙහිද ඔවුන්ට පිළිගැනීමක් තිබේ.
1971 කැරැල්ලෙන් පසු වසර පහකදී ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් මතුවිය. 1988-89 දෙවසරෙහි නෑසූ විරූ භීෂණ දේශපාලනයක යෙදීමෙන් සහ දසදහසක් තරම්වත් අනුගාමිකයන් ඝාතනය වීමෙන් පසු වසර පහකදී එය ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් යළි මතුවිය. අප මතකයේ තබාගත යුතු කරුණක් නම් විශේෂයෙන්ම එල්ටීටීඊ මාදිලියේ දේශපාලනයකින් පසු 1994දී ජවිපෙ යළි මතුවන විට පැරණි නායක හෝ සාමාජික පිරිස් බහුතරය ඊට දායක නොවූ බවයි.
එසේ නම් එල්ටීටීඊ දේශපාලන මතවාදය යළි මතු නොවනු ඇතැයි අප කල්පනා කළ යුත්තේ ඇයි? ජවිපෙට යළි සංවිධානය වීමට අයිතියක් තිබුණි නම් එල්ටීටීඊයට එම අයිතිය නැතිවීමට හේතුවක් තිබේද? එමෙන්ම උතුරෙහිදී එල්ටීටීඊ මතවාදී දේශපාලනය යළි මතුවනු ඇත්තේ පැරණි කාර්යධරයන් අතින් නොව නව පරපුරක් හරහා බවද අප සැලකිල්ලට ගත යුතුය. ජවිපෙ මෙන්ම එල්ටීටීඊයද සංවිධානයකට වඩා මතවාදයකි.
එල්ටීටීඊ මතවාදී දේශපාලනය පෙරටුකර ගත් ව්‍යාපාරයක් යළි සන්නද්ධ ක්‍රියාකාරිත්වයන් කරා යොමුවනු ඇතැයි සිතීම උගහටය. මන්ද යත් දෙමළ ප්‍රජාව සාමූහිකව මුහුණ දුන් යුද්ධ ඛේදවාචකයෙන් පසු යළි එවැනි මාරාන්තික අත්හදා බැලීමකට එම සමාජය යොමුවීමට ඉඩක් නැති නිසාය. එසේ නමුත් හුදෙකලා සන්නද්ධ සිදුවීම් සඳහා ඉඩක් නැතැයි කිසිවකුට සහතිකයක් දිය නොහැක. එල්ටීටීය යළි ප්‍රතිසංවිධානය වීම යනුවෙන් රාජ්‍ය ආරක්‍ෂක අංශ අදහස් කරන්නේ පැරණි තාලයේ සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා සූදානම්වීමක් නම් ඒ පිළිබඳ පරීක්ෂාවෙන් සිටීම වැදගත්ය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවනු ඇත්තේ මතවාදී වශයෙන් සම්මුති විරෝධී සහ විරුද්ධත්වය පෑමේ දේශපාලනයක් මතුව ඒමයි. එය දැනටමත් සිදුවන්නට පටන්ගෙන තිබේ. කොතෙක්ද යත් ජවිපෙ මාදිලියේ විරුසමරු දැන් උතුරු දේශපාලනයෙහි නිත්‍ය අංගයකි.
සහජීවනය සහ ප්‍රතිසන්ධානය යනු එවැනි ව්‍යාපාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සැලසීමයි.
එවැනි අවකාශයක් පවත්වා ගැනීමට ආණ්ඩුව අසමත්වන්නේ නම් අන්තවාදී දේශපාලනයක් මතු නොවනු ඇතැයි කිව නොහැක.
දිනපතාම වාගේ දසදහස් ගණන් ජනයාගේ ගමන්බිමන් අඩාල කරමින් කොළඹ පාරවල් අවහිර කිරීමට රාජපක්ෂවරුන්ට, ජවිපෙට සහ අන්තරයට අයිතියක් ඇත්නම්, අධිකරණ තීරණයකට විරුද්ධව රෝහල් අඩපණ කිරීමට වෛද්‍ය සංගමයට අයිතියක් ඇත්නම් උතුරෙහිද නොනවතින විරෝධතා මාලාවක් ඇති කිරීමට ඉහත කී විරුද්ධකම් පෑමේ දෙමළ දේශපාලනයට අයිතියක් තිබේ. අප ඇතුළුවෙමින් සිටින්නේ දේශපාලන කුණාටු සමයකටයි!■