Untitled-1

Untitled-1

නීතියට එරෙහිව ගොස් විනාශයක් කිරීම ගැන ගෝඨාට වාකිෂ්ඨට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි


welikada

අරුණ ජයවර්ධන

කමිටුව ඉදිරියේ කරුණු දැක්වූ ප්‍රධාන අධිකරණ වෛi නිලධාරි වෛi අජිත් තෙන්නකෝන්, වෙඩි වැදී එක ළඟ වැටී මියගොස් සිටි රඳවුවන් තිදෙනාගේ (මාලන්, නිලමේ සහ කපිල) මළසිරුරුවල ඉරියව් හා ඒ ආසන්නයේ තිබුණු බිත්තියේ ලේ පැල්ලම්වල ස්වභාවය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කීවේ, වෙඩි තබන ලද අවස්ථාවේ මේ තිදෙනා එක්කෝ හිඳගෙන එහෙම නැතිනම් බිත්තියට හේත්තුවී සිට ඇති බවක් පෙනෙන බවයි.
ඊට අමතරව, මොහොමඞ් විජය රෝහණ හෙවත් ගුණ්ඩු මාමාගේ මළසිරුර පරීක්‍ෂා කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසන්න බණ්ඩාර දසනායකගේ අදහස වුණේ, ඔහුට වෙඩි තබා ඇත්තේ අඟල් 6-12ක් අතර ඉතාමත් සමීප දුරක සිට බවයි.
බන්ධනාගාර තෙකාම සාරිස් ජෙනරාල් කොඩිප්පිලි සහ මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ඉල්ලාගත් ටී56 ගිනිඅවි හතර, ඝාතනය වුණු රඳවුවන්ගේ සිරුරු අසළට ගෙනැවිත් දමා තිබීම අනුවත්, ඒ වාගේම, කපිල, නිලමේ, මාලන්, කළු තුෂාර, ගුණ්ඩු මාමා, අතපත්තු, සුසන්ත සහ කොණ්ඩ අමිල යන අය අනෙක් රඳවුවන් අතරින් ඉවත්කරගෙන ගිය ආකාරය ගැන ඒ රඳවුවන් දුන් ඇසු දුටු සාක්‍ෂි අනුවත්, අධිකරණ වෛi නිලධාරීන්ගේ විශේෂඥ මත අනුවත්, මේවා පැහැදිලිවම, පුද්ගලයන් තෝරාගෙන කරන ලද මනුෂ්‍ය ඝාතන බවට නිගමනය කළ හැකිය. ඝාතනයට ලක්වුණු මේ රඳවුවන් ලියාගෙන තිබුණු ලැයිස්තුවක් මාර්ගයෙන් හා ජංගම දුරකථනයක තිබුණු ඡායාරූප බලමින්, විදුලි පන්දමක් මුහුණට එල්ලකර පිරික්සමින් හඳුනාගත් ආකාරයෙන් ඔවුන් ඝාතනය කිරීමේ විශේෂ අරමුණක් තිබුණු බවට නිගමනය කළ හැකිය. මීට සම්බන්ධයැයි කරුණු ඉදිරිපත් වුණේ නොවැම්බර් 10වැනිදා යුද හමුදාව සමඟම බන්ධනාගාරයට ඇතුළුවුණු සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව ඇතුළු පිරිසකි.
යුද හමුදාව බන්ධනාගාරය තුළට ඇතුළුවනවාත් සමඟ සිවිල් ඇඳුමෙන් යුත් පුද්ගලයන් තිදෙනකුද බන්ධනාගාරයට ඇතුළුවනු දුටු ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ඔවුන් පසුපස විමසිල්ලෙන් ගොස් තිබුණේය. ඒ අය කවුදැ’යි තමන්ගේ නිලධාරී සගයකුගෙන් විමසූ විට, එක් අයෙකු රංගජීව නම් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා යැයි පිළිතුරු ලැබුණු බව එක් බන්ධනාගාර නිලධාරියෙක් කමිටුවට කීවේය. රංගජීව හැර එහි සිටි අනෙක් පුද්ගලයකු අතේ කහපැහැති විදුලි පන්දමක්ද විය. ඔවුහු චැපල් වාට්ටුව වෙත පළමුව ගියෝය. තමා අතේ තිබුණු කඩදාසියක් බලා නම් කියමින් රංගජීව රඳවුවන් කැඳවාගත් බවද පැහැදිලිවම අනාවරණය විය. ඒ ලැයිස්තුව කාගේදැයි එක් හමුදා සාමාජිකයකු තවත් සාමාජිකයකුගෙන් විමසූ විට ‘ගෝඨාගේ ලැයිස්තුව’ යැයි ඔහු පිළිතුරු දෙනු තමාට ඇසුණු බවද ඒ බන්ධනාගාර නිලධාරියා කමිටුව ඉදිරියේ කීවේය. මීට පෙර රාවයේ පළවූ ලිපිවලදී විස්තර කර තිබෙන අන්දමට රංගජීව රඳවුවන් විසින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. ටිකක් මිටි, මහත, බඩ තිබෙන, කළු, බුලත්විට කන බවක් පෙනෙන කෙනකු හැටියට ඔවුහු රංගජීව ගැන විස්තර කරති. ඔහු ඒ අවස්ථාවේ කහපැහැති ටීෂර්ට් එකක් සහ දිග කලිසමක් ඇඳ සිටි බවත් රඳවුවෝ කියති. රඳවුවන් අතර මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ විශාල පිරිසක්ද සිටින බැවින් 2001 වසරේ සිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන නිලධාරියකු ඔවුන් හොඳින් දැනසිටීම පුදුමයක්ද නොවේ.
එහෙත්, කමිටුව ඉදිරියේ කරුණු දැක්වූ පොලිස් පරීක්‍ෂක මෝසස් රංගජීව නෙවොමාල් කීවේ, මේ සිදුවීම විණැයි කියන අවස්ථාවේ තමා බන්ධනාගාරය තුළ නොසිටි බවයි. ඒ වේලාවේ කොහුවල හා බම්බලපිටිය ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ඇල්ලීම සඳහා ආවේක්‍ෂණ රාජකාරියක යෙදී සිටි බවයි. එහෙත්, එදින ඔහුගේ බැහැර යෑමේ සටහන් පොතේ දක්වා තිබුණේ ඔහු හලාවතට යන බවයි. මේ තත්ත්වය ගැන පැහැදිලි කරමින් ඔහු කමිටුවට කිව්වේ, තමා බැහැර යන නියම ස්ථානය සටහන්වල යොදා තිබුණොත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළින්ම එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ‘ලීක්’ වී වැටලීම් අසාර්ථක වන නිසා එසේ බොරු බැහැර යන ස්ථානයක් සාමාන්‍යයෙන් පොතේ සටහන් කරන බවයි.
ඒ අතර දණගස්වා සිටි රඳවුවන් අතරින් කොණ්ඩ අමිලට කතාකොට ඔහු එතැනින් ඉවත්කර ගෙන ඇත්තේ මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් විසින් බව රඳවුවන් දැක්වූ කරුණුවලින් පැහැදිලි විය. පසුව කොණ්ඩ අමිලගේ වෙඩිවැදුණු මළසිරුර හමුවිය. කොණ්ඩ අමිලගේ ඥාතීන් කමිටුව ඉදිරියේ දුන් සාක්‍ෂිවලින් පැහැදිලි වන්නේ, ඔවුන් එමිල් රංජන් මහතාට විරුද්ධව බොරැල්ල පොලිසියටත්, මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණු බවයි. ඒ එමිල් රංජන් මහතාගෙන් කොණ්ඩ අමිලට බන්ධනාගාරය තුළදී සිදුවුණැයි කියන මරණ තර්ජන හේතු කොටගෙනය. මේ කරුණු ඇත්ත නම්, බන්ධනාගාර අධිකාරිවරයා විසින් කොණ්ඩ අමිල කැඳවාගෙන යෑම පළිගැනීමේ ක්‍රියාවක් හැටියට පිළිගන්නට සිදුවෙයි.
වැලිකඩ බන්ධනාගාර සමූහ ඝාතනයේදී පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇත්තේද බරපතළ දෝෂ සහිතවය. ඝාතනයක් සිදුවුණු අවස්ථාවක ඊට අදාළ ගිනිඅවි වහාම පොලිස් භාරයට ගෙන පරීක්‍ෂණ කටයුතු ඇරඹීම සාමාන්‍යයෙන් සිදුවෙයි. එහෙත්, මේ සා බරපතළ මිනිස් ඝාතනයක් සිදුවී තිබියදීත්, එස්ටීඑෆ් භටයන් වෙඩි තැබූ ගිනිඅවි, කඳුළු ගෑස් විදිනයන් මෙන්ම, යුද හමුදා භටයන් වෙඩි තැබූ ගිනිඅවි වහාම සිය භාරයට ගෙන රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කිසිම උනන්දුවක් පොලිසිය දක්වා නැත. මේ ප්‍රමාදය නිසා එස්ටීඑෆ් හා යුද හමුදා සාමාජිකයන් පාවිච්චි කළ ගිනිඅවි, සාමාන්‍යයෙන් කරන පරිදි පිරිසිදු කොට, තෙල් ගල්වන ලද බව අනාවරණය විය. මේ නිසා ඉතාම වැදගත් සාක්‍ෂි අහිමි වී තිබේ. අනෙක් අතට පොලිසිය මේ සිදුවීම සම්බන්ධයෙන් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන්කොට ගෙන ඇතත්, අවුරුදු තුනක් ගතවන තුරුත් ඒවාට අනුව කිසිම වගකිවයුත්තකු හඳුනා ගන්නට අපොහොසත්වී ඇත.
වාර්තාව අවසානයේ බන්ධනාගාර ඝාතන ගැන සෙවීමට පත්කළ කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරයි. ඒවායින් ප්‍රධාන කිහිපයක් මෙසේය.
අලුත් අපරාධ විමර්ශනයක්
තමන් ඉදිරියේ අනාවරණය වුණු කරුණු අනුව, වැලිකඩ සමූහ ඝාතන සිදුවීම ගැන නැවතත් අලුත් හා සම්පූර්ණ අපරාධ විමර්ශනයක අවශ්‍යතාව කමිටුව අවධාරණය කරයි. එම අපරාධ විමර්ශනය පොලිස්පතිවරයාගේ ඍජු අධීජෂණය යටතේ විශේෂ විමර්ශකයන් කණ්ඩායමක් විසින් කළයුතු යැයිද කමිටුව නිර්දේශ කරයි. එම විමර්ශනය අවසන්කිරීම සඳහා නිශ්චිත හා සාධාරණ කාල පරාසයක් නියම විය යුතුය. එවැනි සාධාරණ පරීක්‍ෂණයකදී සිද්ධිය ඇසූදුටු සාක්‍ෂිකරුවන්ට නිදහසේ සාක්‍ෂි දීමට අවස්ථාව දීමෙන් ඝාතන සිදුවීමට වගකිවයුත්තන් නීතිය ඉදිරියට කැඳවා ගැනීමට හැකිවනු ඇත.
රඳවුවන් තෝරාගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීවගේ දායකත්වය ගැන, ඉල්ලාගත් ටී56 ගිනි අවි ඝාතනය වුණු රඳවුවන්ගේ සිරුරු අසළ දැමීම සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි හා එමිල් රංජන්ගේ දායකත්වය ගැන මෙන්ම නීතියට පිටින් ගොස් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම නිසා සිරකරුවන්ට සිදුවූ හානිය ගැන කමිටුව ඉදිරියේ හෙළිදරව් වුණු කරුණු අනුව අලුත් අපරාධ විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කෙරෙයි.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 162 වගන්තියේ මෙලෙස දැක්වෙයි. ‘යම් තැනැත්තකුට හෝ ආණ්ඩුවට පාඩුවක් කිරීමට අදහස් කරමින් හෝ එවැන්නක් විය හැකි බව දැන දැනම, රජයේ සේවකයකු, තමා හැසිරිය යුතු ආකාරය දැක්වෙන නීතියේ නියමයකට අකීකරු වන විට ඔහුට අවුරුද්දක සිරදඬුවම් හා දඩයක් පැනවිය හැකිය.’
කමිටුවේ පරීක්‍ෂණය තුළදී පහත රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත වගන්තිය යටතට වැටෙන කරුණුවලට අදාළව ශක්තිමත් සාක්‍ෂි ඉදිරිපත් විය.
1. වැලිකඩ බන්ධනාගාරය වෙත සෝදිසියක් සඳහා එස්ටීඑෆ් යැවීමට උපදෙස් දුන්නේ එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසිනි.
2. එස්ටීඑෆ්, බන්ධනාගාර අමාත්‍යාංශය, එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ බන්ධනාගාරයේ බුද්ධි අංශ ජේලර් ඉන්දික සම්පත් සමඟ මෙම එස්ටීඑෆ් මෙහෙයුම සම්බන්ධී කරණය, පෙර සූදානම සහ සැලසුම සම්පූර්ණයෙන්ම පෞද්ගලිකව කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා රාජ්‍ය ඔත්තු සේවයේ හා ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි. ඒ සඳහා නීතියෙන් අවශ්‍ය සෝදිසි වරෙන්තුවක් අධිකරණ යෙන් ලබාගැනීමටවත් ඔහු ක්‍රියාකර නැත.
3. සෝදිසි මෙහෙයුම පැවැත්වීම අනුමත කළේ හා 2012 නොවැම්බර් 9දා බන්ධනාගාරයට ඇතුළුවීමට එස්ටීඑෆ් වෙත අවසර ලබාදුන්නේ එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පීඩබ්ලිව් කොඩිප්පිලි විසිනි.
4. ප්‍රධාන ගේට්ටුවේ ආරක්‍ෂක රාජකාරියේ යෙදීසිටි බන්ධනාගාර නිලධාරීන්ගේ විරෝධය මත, බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන වලට පටහැණිව එස්ටීඑෆ් කණ්ඩායමට බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ සලසා දුන්නේ බන්ධනාගාර බුද්ධි අංශයේ ජේලර් ඉන්දික සම්පත් විසිනි.
5. නොවැම්බර් 9වැනි දින දහවල් 2 පමණ සිට බන්ධනාගාරය අසළ කැම්බල් පිටියේ යුද හමුදාව රඳවා තැබීම නිසා මෙම මෙහෙයුම පූර්ව සැලැස්මක් හැටියට පෙනීයයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගේ හෝ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ නිල ඉල්ලීමක් නැතිව එදින මධ්‍යම රාත්‍රියේ බන්ධනාගාරය තුළට යුද හමුදාව ඇතුළුවීමට තීරණය කිරීම හා එසේ ඇතුළුවීම කර ඇත්තේ බි්‍රගේඩියර් ශාන්ත දිසානායක විසිනි.
6. ඝාතනය වුණු රඳවුවන්ගේ මළසිරුරු අසළ දමා තිබුණු ටී56 ගිනිඅවි නීති විරෝධී ලෙස ඉවත්කරගෙන ඇත්තේ කොඩිප්පිලි හා එමිල් රංජන් විසිනි.
කමිටුව පැහැදිලිව අවධාරණය කරන්නේ, නිලධාරීන් හැටියට ඉහත පිරිසට වින්දිතයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් රාජකාරි වගකීමක් තිබුණු බවත්, තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිඵල ගැන පෙරදැකීමේ වගකීමක් තිබුණු බවත්ය. ඒ අනුව අලුත් අපරාධ විමර්ශනයකට පසුව ඉහත නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 162 ප්‍රකාරව අවශ්‍ය පියවර ගත යුතු බව කමිටුව නිර්දේශ කරයි. වැරදි කළවුන්ට අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකොට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා නියමිත දඬුවම් පැමිණවිය යුතු බවයි. එමගින් රටේ යුක්තිය පවතින බවට මිනිසුන් තුළ විශ්වාසයක් ඇතිකළ හැකිය.
වන්දි ගෙවීම
බන්ධනාගාර සිදුවිමේදී ඝාතනයවූවන් හා තුවාල ලැබූවන් සමාජයේ ප්‍රසිද්ධ අර්ථයෙන් අපරාධකරුවන් වුණත්, ඔවුන් සමහර විට සැකකරුවන් හෝ දඬුවම් ලැබූවන් විය හැකිය. ඒ සියල්ලටත් වඩා කිසිදු සැකයක් නැතිව ඔවුහු සියලු දෙනාම මනුෂ්‍යයෝය. මේ නිසා මියගියවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද, තුවාල ලද්දවුන්ටද නිසි ක්‍රමවේදයකට අනුව රජය වන්දි ගෙවිය යුතුය. රඳවුවෝ 27 දෙනෙක් ඝාතනය වූහ. ඉන් 11ක් ඝාතනය වුණේ ත්‍රීවීලරයක් යොදාගෙන බන්ධනා ගාරයෙන් පැනයෑමට උත්සාහ ගත් අවස්ථාවේදී එස්ටීඑෆ් ප්‍රහාරයට ලක්වීමෙනි. එනිසා ඒ 11 දෙනා සම්බන්ධයෙන් වන්දී ගෙවීමක් කමිටුව නිර්දේශ නොකරයි.
ඝාතනය වුණු අනෙක් රඳවුවන් 16 දෙනා වෙනුවෙන් එක් අයකුට රුපියල් ලක්‍ෂ 5ක් බැගින් වන සේ ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතුය. එසේම තුවාල ලත් අනෙක් රඳවුවන් 20 දෙනකුට අයකුට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි ගෙවිය යුතුය. තුවාල ලද බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරී චමින්ද පෙරේරාටද එලෙස වන්දි ගෙවිය යුතුය.
බන්ධනාගාර සිදුවීමේදී එස්ටීඑෆ් අණදෙන නිලධාරී රණවන ඇතුළු තවත් භටයෝ පිරිසක්ද ද තුවාල ලැබූහ. එහෙත් ඔවුන් බන්ධනාගාරය තුළට ඇතුළුවීම හා ඉන්පසු වුණු සිදුවීම් මුළුමනින්ම නීතියට පටහැණිව ඔවුන් කළ ක්‍රියාවල ප්‍රතිඵල වෙයි. එනිසා, ඔවුන්ට වන්දි ගෙවීමක් අවශ්‍ය නැත.
අවසානය
මීට අමතරව, එදින සිදුවූ ඝාතන සිදුවීමට හා බන්ධනාගාර පද්ධතියේ ආරක්‍ෂාව හා යහපැවැත්මට අදාළව වැදගත් නිර්දේශ රාශියක් කමිටුව විසින් සිය වාර්තාවේ ඇතුළත් කොට තිබේ.
වැලිකඩ බන්ධනාගාර සමූහ ඝාතනය ගැන පරීක්‍ෂා කොට නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන්නටයැ’යි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළේ 2012 ජනවාරි 22 වැනිදාය. කොමිටියේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාද, අනෙක් සාමාජිකයන් දෙදෙනා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසෝක විජේතිලක හා රාජ්‍ය සේවයේ ප්‍රවීණ නිලධාරියකු වූ එස්කේ ලියනගේ යන මහත්වරුද පත්කරන ලදහ. බන්ධනාගාර සිදුවීමට හේතුවුණු කරුණු සොයාබැලීම, සිදුවීමට වගකිවයුතු අය කවුදැ’යි සොයාබැලීම, වගකිව යුත්තන්ගේ වගවීමේ ක්‍ෂෙත්‍ර සොයාබැලීම, සිදුවීම නිසා ඝාතනය වුණු හා තුවාල ලද අයගේ අනන්‍යතාව සොයාබැලීම, ඝාතනය වුණු හා තුවාල ලද පුද්ගලයන්ගේ සමීපතමයන්ට වන්දි ගෙවීම යන කාරණා කමිටුව විසින් කළ යුතුයැයි ඔවුන්ට බලය පවරන ලද විධාන පත්‍රයේ සඳහන්වෙයි. කමිටුව, 2015 ජුනි 9වැනිදා සිය අවසන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහටත්, බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්‍ෂටත් භාරදුන්නේය.
එදා සිට අද දක්වාම අගමැතිවරයාත්, එදා සහ අද බන්ධනාගාරය භාර ඇමතිවරුත් මේ වාර්තාව, මහින්ද රාජපක්‍ෂ සමයේ කළාක් මෙන්ම හමස් පෙට්ටියේ ලා හංගාගෙන සිටියා මිස කළ කිසිවක් නැත. එහෙත්, පසුගිය සති 11ක් පුරා රාවය, ඒ වාර්තාවේ ඇති කරුණු සමාජයට මුදාහළේය. එසේ කළේ එක් පැත්තකින් මේ වාර්තාව කිසිසේත් හංගාගෙන සිටිය යුත්තක් නොවන නිසාය. තව පැත්තකින්, වැලිකඩ ඝාතන සිදුවීම ඒ තරම්ම බිහිසුණු හා ම්ලේච්ඡ සිද්ධියක් නිසාය. එය එවකට ආණ්ඩුවේ ඉහළම පුද්ගල යන්ගේද මැදිහත් වීමෙන් මනාව සැලසුම්කොට ක්‍රියාත්මක කරන ලද්දක් නිසාය. මේ මියගියවුන්ට හා තුවාල ලද්දන්ට හිමිවිය යුතු වන්දි හෝ වෙනත් සහන වාර්තාව හැංගීම නිසා හිමි නොවීම නිසාය. කොටින්ම, මේ වාර්තාව හංගාගෙන සිටීම නිසා යුක්තිය ඉටුවිය යුතු කිසිවකුට යුක්තිය ඉටුනොවී පවතියි. ඒ ලජ්ජාසහගත වරද ඍජුවම පැටවෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මත සහ වත්මන් බන්ධනාගාර ඇමති ඩීඑම් ස්වාමිනාදන් වෙතය.
අගමැතිවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීමකදී තමා භාරගත් මේ වාර්තාව සභාගත කරන බව කීවේය. වාර්තාව සභාගත කිරීමෙන් පමණක් කිසිවක් සිදු නොවෙයි. කමිටුව නිර්දේශ කරන අකාරයෙන් නැවතත් ස්වාධීන අපරාධ පරීක්‍ෂණයක් පැවැත්වීමත්, එහිදී එළිදරව් වන වගකිවයුත්තන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගැනීමත්, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමත් වහා කළ යුතුය. වැලිකඩ ම්ලේච්ඡ ඝාතනය බලයට පත්වීම සඳහා කටගැස්මක් බවට පමණක් යොදාගත්තේයැයි කියැවෙන අපවාදයන්ගෙන් අගමැතිවරයාට මිදිය හැකි වන්නේ එවිට පමණය.■