රාවය

අපේ හත්මුතු පරම්පරාවම යූඑන්පීකාරයෝ | පුබුදු ජාගොඩ

අපේ හත්මුතු පරම්පරාවම යූඑන්පීකාරයෝ | පුබුදු ජාගොඩ

ටිරන් කුමාර බංගගමආරච්චි

පාසල් කාලය මතක් කළොත්?
මම ඉපදුණේ මහනුවර ඉඳලා හැතැප්ම දොළහක් විතර ඇතුළත පිහිටලා තියෙන රජ කාලේ ඉඳලා පැවත එන ගමක. අපේ ගමට කියන්නේ කොබ්බෑකඩුව කියලා. මගේ අම්මා ගෘහණියක්. තාත්තා පෞද්ගලික සමාගමක ආරක්ෂක නියාමක කෙනෙක්. සහෝදරියකට කියලා හිටියේ නංගි විතරයි. පාසල් කාලයට එන්න ඉස්සරවෙලා පවුලෙන්ම පටන් ගත්තා.
මම මුලින්ම පාසල් ගියේ කොබ්බෑකඩුව කනිෂ්ඨ විද්‍යාලයට. එතැනදී පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මම කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් සමය අනෙක් හැම ළමයෙක්ගේ වගේම සාමාන්‍ය විදිහට ගෙවුණා. අසාමාන්‍ය දෙයක් වුණා නම් පාසල් කාලයේදීම විප්ලවයට බරව ප්‍රාථමික ක්‍රියාකාරකම් කිරීම තමයි.

ඒ කිව්වේ..
88/89 කාලවල රට පුරා ව්‍යාප්ත වුණ තත්ත්වයේදී පාසල්වල පවා උද්ඝෝෂණ සිද්ධ වුණා. මම පාසල් වැඩවල පෙරමුණ අරගෙන හිටපු කෙනෙක්.

පුබුදුගේ පවුලේ අය ජේවීපී කළාද?
අපෝ නෑ. අපේ හත්මුතු පරම්පරාවම යූඑන්පීකාරයෝ. වමට ගෑවිච්ච කෙනෙක්වත් අපේ පවුල්වල හිටියේ නෑ. මගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන බල මණ්ඩලයේ ලේකම්වරයා. අපේ මුළු පවුලම එක්සත් ජාතික පාක්ෂිකයන්.

එජාප පවුල ඇතුළේ ඉන්න ඔබ තුළ වාම අදහස් ඇතිවෙන්නේ කොහොමද?
ඒකට මූලිකවම බලපෑවේ මගේ පාසලේ හිටපු ගුරුවරු කිහිපදෙනෙක්. ඔවුන් කොමියුනිස්ට් සහ සමාජවාදී අදහස් දරපු අය. ඒ අයගේ බලපෑම නිසා මගේ අදහස් පුළුල් වුණා කියලායි මම හිතන්නේ. මේ නිසා මට ඒ කාලේම රුසියානු පොත් කියවන්න පිස්සුවක් ඇතිවෙනවා. එතකොට නුවර පොත් සමාගමක් තිබුණා අඩු මිලට රුසියානු පොත් පරිවර්තනය කරලා බෙදාහරින. අපිට බනිස් ගෙඩියක් කන්න ගෙදරින් දෙන සල්ලිවලින් පොතක් ගන්න පුළුවන්. ඒ තරම් අඩුයි. ඉතින් මම ඒ පොත් අරගෙන කියවන්න ගත්තා. හැබැයි ලෙනින් මාක්ස්ගේ පොත් කියෙව්වේ නෑ. රුසියානු සාහිත්‍යය තමයි කියෙව්වේ.
මෙතැනදී මෙහෙම දෙයක් වුණා. ඒකත් කියන්නම ඕනෑ. මගේ තාත්තා උග්‍ර යූඑන්පීකාරයෙක් වුණත් ඔහු විශ්වාස කළා මගේ දේශපාලන අදහස් නිදහසේ වැඩෙන්න ඉඩ දෙන්න ඕනෑ කියලා. ඔහු රුසියානු පොත් පිළිනොගත්තාට මට ඒ පොත් සෑහෙන ප්‍රමාණයක් ඔහු ගෙනත් දුන්නා. තාත්තා කොළඹ වැඩ කළේ. ඔහුම සාමාජික මුදල් බැඳලා මට සෝවියට් සඟරාවක් ලැබෙන්න සැලැස්සුවා. පාසල් ශිෂ්‍යයෙක් විදියට මට වම හෝ විප්ලව ගැන මහා දැනුමක් නැහැ. මම හිටියේ වාමාංශික සංස්කෘතික අවකාශයක. ඒකට තමයි මම වශීවෙලා හිටියේ.

හැබැයි මේ අපේ රටේ තිබුණු දරුණු කාලයක්. සෝවියට් රුසියාව සඟරාව තිබුණත් ඇති මැරෙන්න.
ඇත්තයි. ඒ සමය මේ රටේ තිබුණු අඳුරුම යුගයක්. එතකොට අපි සාමාන්‍ය පෙළ කරන ශිෂ්‍යයෝ. නුවර භාරව ප්‍රේමදාස උඩුගම්පොළ ආවාට පස්සේ මගේ සමකාලීනයෝ ලවක් දෙවක් නැතිව මැරුණා.
කොටින්ම අපේ ගම සන්නද්ධ අරගලයේදී තරුණ ජීවිත ගණනාවක් අහිමි කරගත්තා. ඒ කාලේ ප්‍රසිද්ධ මරණයක් වුණා. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත නන්දන අපේ ගෙවල්වලට මීටර් පනහක් ඈතින් හිටියේ. ඔහුගේ මරණය ගමට ලොකු කම්පනයක් වුණා. ඔහුයි මායි පාසල් යන්නේ එක බස් එකේ. තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. අපේ ගමේ සෑහෙන තරුණයෝ මැරුණා. අපේ ගෙදරට අල්ලපු ගෙදර පුංචි කාලේ ඉඳලා එකට හිටපු මිත්‍රයාත් මැරුවා. ඒ කාලේ අපි දැක්කේම මරණ. තරුණ මරණ. මේ ජවිපේ හෝ විප්ලව කරපු අයම නෙමෙයි. ඒත් සීමාවක් නැතිව ඇහැට පේන තරුණයෙක් නම් මැරුවා. ඒක මහ නරකම කාලයක්.

ගමේ අතිබහුතරයක් මරණයට පත්වෙද්දී ඔබ ඒ නරක කාලය පහුකළේ කොහොමද?
ඒක දෛවයේ සරදමක්. මම ඔබට මුලින්ම කිව්වා අපේ පවුල උග්‍ර එජාපවාදීන්. ඒ නිසා කිසිම කෙනෙක් මම වාම අදහස් දරයි කියලා සැක කළේ නෑ. ඒ වගේම මගේ තාත්තා එජාපයේ බැහැලාම වැඩ නිසා මට ආරක්ෂාව ඉබේම සැලසුණා. මගේ පවුලේ එජාප පසුබිම නොවන්න මටත් අනෙක් අයට ලැබුණු ඉරණමම අත්වන්න තිබුණා.

ඔබ ආරක්ෂිත වෙලා තම සගයන් මියැදෙන කොට ඔබට පශ්චාත්තාපවීමක් ඇතිවුණේ නැද්ද?
ඒ වෙලාවේ හැම කෙනෙක්ම මරණයත් එක්ක ජීවත් වුණේ. අද මම විග්‍රහ කළාට අපේ පවුලේ එජාප පසුබිම නිසා මාව ආරක්ෂා වුණා කියලා, ඒත් ඕනෑ වෙලාවක අපිටත් ඒ ඉරණම අත්වන්න තිබුණා. මේ නිසා අපි හැමෝම හිටියේ අවිනිශ්චිත වටාපිටාවක. ඒ වගේම මගේ පවුල් පසුබිම වගේම මගේ යාළුවෝ නිසාත් මම ගැලවුණා.
දවසක් අපි පාසල් ඇරිලා එනකොට මගදී බසය නවත්වලා හැමෝම බැහැලා පෝලිමට එන්න කියලා හමුදා අණක් ලැබුණා. ඔවුන් ඇවිල්ලා හිටියේ ගෝනිබිල්ලෙකුත් අරගෙන. දැන් ගෝනිබිල්ලා ලවා හඳුනා ගන්නවා. මාත් එක්ක පාසලේ වර්ජන කළ මගේ මිතුරෙක් මගේ ඉස්සරහ ඉන්නේ. ඔහුගේ වාරය ආ ගමන්ම අර ගෝනිබිල්ලා ඔහු අදාළ කෙනෙක් කියලා සංඥා කළා. ඒ එක්කම මගේ මිතුරා ගෝනිබිල්ලාගේ ඇඟට පැනලා ඔහුව බිම දාගෙන ඔහුගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. අපේ ඇස් පනාපිටම මගේ මිතුරාව එතැනදීම මැරුවා. ඒකත් එක්ක ඒ වෙලාවේ සෝදිසිය නැවතුණා. මම අදටත් තදින්ම විශ්වාස කරනවා මගේ මිතුරා අපි හැමෝම ඒ මොහොතේ බේරගන්න ඒ දේ කළා කියලා. ඇත්තටම ඔහු අදටත් මට වීරයෙක්. ඒ මොකද ඔහු තව අය වෙනුවෙන් දිවි පිදුවා.

එහෙම කාලයක් පහුකරන ඔබ ජවිපෙට බැඳෙන්නේ කොහොමද?
ඒක වෙන්නේ ගින්න නිවුණාට පස්සේ. මම අනූ එක අවුරුද්දේ උසස් පෙළ කළා. ප්‍රතිඵල මදි. නැවත 92 අවුරුද්දේත් කළා. එහි ප්‍රතිඵලවලින් මට විද්‍යා පීඨයට යෑමට අවස්ථාව ලැබුණා. මොරටුවේ එන්ඩීටී පාඨමාලාව කරන්නත් අවස්ථාව ලැබුණා. මම ගණිතය අංශයෙන් උසස් පෙළ කළේ. ඉතින් වඩා කැමැත්ත තිබුණේ එන්ඩීටී යන්න. ඒ හින්දා මම 1994 මොරටුව විශ්වවිද්‍යාලයට ආවා. අසූ අට, අසූ නවය කාලේ අපේ හිතේ ඇතිවුණ විප්ලව ආශාව ඇඟෙන් ගියේ නෑ. ඒ වෙනුවට කැම්පස් ආවාම මට ලොකු උනන්දුවක් ඇතිවුණා. ඒ ඉතිරි අය ඉන්නවා නම් ඒ අය එක්ක වැඩ කරන්න. ඒ උනන්දුවට තමයි මට සෙනවි – එහෙම නැත්නම් ප්‍රසිද්ධ සහෝදරයෙක් වන කමල් දේශප්‍රිය මට මුණගැහෙන්නේ. ඔහු තමයි මගේ ජවිපෙ දේශපාලනයේ මුල් ගුරුවරයා. ඔහුගෙන් උගෙන මම ජවිපෙට සම්බන්ධ වුණාට ඔහු ඒ කාලෙම ජවිපෙන් අයින් වුණා. ඒත් අපිව ගලවාගන්න ඔහුට බැරිවුණා. මොකද අපි ජවිපෙත් එක්ක අනුරාගයෙන් බැඳිලා හිටියා.
මම මොරටුව එන්ඩීටී ශිෂ්‍ය සංගමයේ ලේකම් වුණා. 1997 වෙනකොට මම ඉගෙනීම පැත්තකට දාලා ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙක් වුණා. මම ජවිපෙ ඇතුළෙ විවිධ වගකීම්වල වැඩ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩ කළා. කලා සංගමයේ, ප්‍රචාරක අංශයේ වැඩ කළා. එහෙම දීර්ඝකාලීනව කළ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට මාව 2008 ජවිපෙ මධ්‍යම කාරක සභාවට තෝරාගත්තා.

ඒ කියන්නේ ඔබ ජවිපේ සෑහෙන බරක් ඇදපු කෙනෙක්.
ඔව්! අද ඒක එහෙමයි කියන්න සමහරු අකමැති වෙන්න පුළුවන්. ඒත් අපි සෑහෙන බරක් ඇද්දා. මම 2010 අවුරුද්දේ පක්ෂයේ අධ්‍යාපන ලේකම් වුණා. අපි ජනප්‍රිය තලයේ අය නෙමෙයි. පක්ෂයේ අපි වැඩ කළ අය.

මේ දෙකොටස කොහොමද බෙදන්නේ?
මේවා අද කතාකරලා වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් මේවායෙන් ඉගෙන ගන්න පාඩම් හෙටත් තියෙනවා. ජවිපෙ කට්ටියක් ඉන්නවා ආකර්ෂණීය පිරිසක්. ඒ අය තමයි නායකයෝ. අනෙක් අය ඇත්තටම වහල්ලු වගේ. එතැන ලොකු ශ්‍රම බෙදීමක් තිබුණා. කට්ටියක් ඇඟ වෙහෙසලා වැඩ කරනවා. ඒ අය හිතනවා අපි ඉන්නේ ඇඟ වෙහෙසන්න. ඒ උරුමය කියලා. ඒ වගේම ඒ අය හිතනවා අර ආකර්ෂණීය පිරිස එහෙම නැත්නම් නායකයෝ තමයි හිතන පිරිස. ඇත්තම කියනවා නම් ජවිපෙ පහළ සාමාජිකයෝ කියන්නේ හිතන එකත් නායකයන්ට බාර දුන්න පිරිසක්. ඒ නිසා ජවිපෙ කියලා හැමදාම මිනිස්සු දැක්කේ අර ආකර්ෂණීය පිරිස කියන දේ. පක්ෂයේ පහළ අයත් පරම සත්‍යය කියලා විශ්වාස කළේ ඒ අය කියන දේ. ඒ අය ආරක්ෂා කරගත්තා. ඒ අයට හොඳ ජීවිත ලබා දුන්නා. ඒ අපි වෙනුවෙන් හිතන්න. අපි වෙනුවෙන් හිතන්න අපි ඔවුන්ව නඩත්තු කළා.

පක්ෂයේ ආකර්ෂණීය පිරිසත් එක්ක ඉරිසියාවක් නිසාද ඔබලා කැඩෙන්නේ?
නෑ. ඇත්ත තේරුණ නිසා. වහල්බවෙන් මිදුණු නිසා. 94දී චන්ද්‍රිකා ගෙනෙන කොටත් පක්ෂය දෙකට කැඩුණා මතවාදීව. කට්ටියක් කිව්වා චන්ද්‍රිකාට උදව් කරන්න ඕනෑ කියලා. තව කට්ටියක් චන්ද්‍රිකාව විශ්වාස නොකළ යුතුයි, උදව් නොකළ යුතුයි කියන තැන හිටියා. මම මොරටුව සරසවියේ නියෝජනය කළේ. නායකත්වය දුන්නේ චන්ද්‍රිකා විරුද්ධ පිලට. කරුණාරත්න පරණවිතාන කොළඹ නායකත්වය දුන්නේ පක්ෂ පිලට. මේ මත ගැටුම දිගටම පැවතුණා. ඒත් ඒක එළියට නොපෙන්වා රැකගත්තා. ඒත් 2004දී නැවත ජවිපෙ සන්ධානයකට ඇතුළු වෙද්දීත් බරපතළ විදිහට ගැටුම් තිබුණා. ඒ ඉවසීම උපරිම පවත්වාගෙන ගිහින් 2010 වෙනකොට අපි පක්ෂයෙන් ඉවත් වෙනවා. අපි අපිට කියලා ගමනක් තෝර ගන්නවා. මේ අපේ වෙන්වීම පිළිබඳ ඉතාම කෙටියෙන් කීමක්.

විමල් වීරවංශ හිටියේත් ඇතුළේදී ඔබගේ කුලකයේමද?
ඔහු කථිකයෙක් විදිහට දක්ෂයි. ඒ වගේම ඔහුගේ තිබුණේ වෙනම මාවතක්. ඒකේ ‘මම’ කියන කෙනා ඉදිරියෙන් හිටියා. එයා දේශපාලනයේදී ඇතුළේ අදක්ෂයෙක්. හැබැයි ඔහු පක්ෂයෙන් ඉවත් වුණේත් මතවාදී අවුලකටම තමයි. මොන විවේචන තිබුණත් ඔහු අයින් වුණේ මතවාදී අවුලකට. ඔහු වෙනම මාවතක ගියා. ඔහු අපිත් සමඟ හිටියේ නෑ.

අනුරාගයෙන් පක්ෂයට බැඳෙන ඔබ දන්නවා ඒකෙන් ඉවත්වීමේ ප්‍රතිඵලත්. සහෝදරයෝ ඇයි දාලා යනකොට සහෝදරයන්ට ගහන්නේ. සහෝදරකමටද?
හා… හා… ඒක බරපතළ ප්‍රශ්නයක්. මම එකක් කියන්නම්. මාක්ස්වාදයේ කියනවානේ ආගම අබිං කියලා. හැබැයි පක්ෂයට බැඳුණාම ඒකේ සාමාජිකයනුත් අබිං කෑවා වගේම තමයි. ආගම අත්ඇරියාට මොකද පක්ෂය ආගම වගේ වැලඳ ගන්නවා. එහි නායකවරු දෙවිවරු වෙනවා.
මම කිව්වේ හිතන එකත් බාර දුන්න වැඩ කරන පිරිසක් පක්ෂයේ ඉන්නවා කියලා. ඉතින් අර අය හිතන්නේ කොහොමද ඒක තමයි මේ අය කරන්නේ. කාණු කපන්නද, පෝස්ටර් ගහන්නද, ඕනෑ වැඩක් කරනවා. ඉතින් කවුරුහරි පක්ෂය දාලා ගියොත් අර හිතන අය කියනවා අන්න ද්‍රෝහීන්, පාවා දුන්නා කියලා. අර වැඩ කරන අය ඇවිත් ගහනවා. ඒ අය අර හිතන අය වෙනුවෙන් ගහන්නත් බලාගෙන ඉන්නේ. අපි කියන්නේ හිතන අය වැඩ කරන අය කියලා දෙගොල්ලක් ඕනෑ නෑ. වැඩ කරන අයටම හිතන්න පුළුවන්නේ. ඒ අයම හිතපු දෙන්. දැන් අපි කරන්නේ ඒක.

ඔබට ගැහැව්වේ නැද්ද?
ගහන්න කීප පාරක්ම ආවා. ගැහැව්වේ නෑ. මේ පාරෙදි හම්බ වෙලා හිනාවෙලා කතා කරලා යන එකට කාලා එකට වැඩ කරපු අයම තමයි ගහන්නත් එන්නේ. ඉතින් මම ඒ අයට කිව්වා මට ගහන එක අපරාධයක්. ඒ වෙනුවට ඔයගොල්ලන්ගේ මතයට කෙනෙක් නම්ම ගන්න, එක ඊට වඩා හොඳයි කියලා. මාත් එක්ක අයින් වුණු සමහර අයට පහරදීලා තිබුණා. මොකද්දෝ හේතුවකට මට පහර දුන්නේ නෑ. ආයේ නොගහම යන්න ගියා.

ජවිපෙ කට්ටිය රැවුලට ආස කළා. ඔබට ඒ ආසාව ආවේ නැද්ද?
මම ඇතුළු පිරිසක්ම හිටියා ඇඳුම් ගැන හෝ බාහිර ස්වරූපය ගැන උනන්දු නොවුණ. රැවුල වුණත් අර හිතන අය හිතන්නම වවාගත්ත එකක්. වැඩ කරන අය වැඩ කළා. වැඩ කළා. ඒක වෙනම ජීවිතයක්.

අද ඔබ පෙරටුගාමී පක්ෂයේ නායකයෙක්. විජේවීර ඔබලාගෙත් නායකයාද?
නෑ. අපි ඔහුව අමතක කරන්නේ නෑ. ඔහුට දෙන වටිනාකම උපරිමයෙන් දෙනවා. ඒත් ඔහු නායකයා ලෙස පිළිගන්න අපි කැමති නැහැ. ඔහුට වැරදුණු තැනුත් අපි හඳුනාගෙන තියෙනවා. අපි සාමූහිකයක්. වමේ එකතුවක්. ඒ නිසා එක්කෙනෙක් උඩින් තියාගෙන එයා අදහන තැන අපි නෑ.

පක්ෂයට ලව් කරපු ඔබ ආදරයක පැටලුණේ නැද්ද?
පැටලුණා. ඒ පැටලිල්ලම තමයි විවාහයක් දක්වා ගිහින් දිගින් දිගට පැටලි පැටලී යන්නේ. (හිනා) පාසල් යන කාලේ ආදරය ඇතිවන වයසේදී අපි දැක්කේ අපිත් එක්ක එකට හිටිය අයගේ මිනී. වෙන්වීම් තොගයක් අත්විඳින අපේ යොවුන් වයසට ආදරය එහෙම නැත්නම් එක්වීම් දැනුණේම නෑ. උසස් පෙළ කරන කාලේ දැනුණත් ඒවා එළියට ආවේ නෑ. දේශපාලනය කිරීමේ ආශාව ඒවා යටපත් කළා. කැම්පස් එකට ආ කාලේ ශිෂ්‍ය සංගම් නායකයන්ට ප්‍රේමය අකැපයි කියලා වාරණයක් තිබුණා. අපි ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් වෙනකොට ප්‍රේමය තහනම්. ඒක විශ්වවිද්‍යාලය තුළ තිබුණ නීතියක්. අද වෙනකොට එහෙම නෑ. ඒකත් අපේ කාලෙම තමයි තිබුණේ. (හිනා)

පක්ෂය තුළ එහෙම කෙනෙක් බන්දා දෙන සංස්කෘතියක් තියෙනවාද?
නැහැ. එහෙම නෑ. පක්ෂය තුළ ආදරයට තහංචියක් තිබුණෙත් නෑ. හැබැයි මම යාළුවුණෙත් පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් එක්කම තමයි. මම කොළඹ දිස්ත්‍රික්කය භාරව ඉන්න කොට ඇය කොළඹ නීති පීඨයේ අපේ පක්ෂයට සම්බන්ධව හිටියා. ඒ අතර ඇතිවුණු ආලය විවාහයෙන් කෙළවර වුණා.
පක්ෂය තුළ ඉන්න කොට නිතර එහි වැඩවලම නියැලෙන කොට ආශ්‍රය කරන්න ලැබෙන්නේ පක්ෂයට බැඳුණු අයමයි. ඉතින් ඒ නිසා ප්‍රේම සබඳතා ඇති වෙන්නත් ඒ ඇසුර සමීපකම් බලපානවා. ඒක තමයි එළියට පෙනෙන්නේ පක්ෂයේ අයම බැඳලා කියලා. එහෙම නොවන කසාදත් ඕනෑතරම් තියෙනවා.

කවදාහරි ඔබගේ පවුලේ මුල් දේශපාලන ආරට යමින් ඔබත් එජාපයට යයිද?
හ…. හා… (හිනා) නෑ. ඒ මොකද මාත් එක්කම මගේ පවුලම මගේ දේශපාලනයට හැරුණා. දැන් අපේ පවුලම වමට බරයි. ඒ නිසා මම එජාපයට යන්නේ නෑ.■