රාවය

හමුදාපති සේවා දිගුවේ ජනපතිගේ නොපෙනෙන මානය

හමුදාපති සේවා දිගුවේ ජනපතිගේ නොපෙනෙන මානය

ලසන්ත රුහුණගේ

යුධ හමුදාපතිවරයා සම්බන්ධයෙන් වු ජනාධිපතිවරයාගේ පරීක්‍ෂණය අවසන් කරමින් වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාට තවත් වසරක සේවා දිගුවක් ලබාදී තිබේ. මීට පෙර ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ වසරක සේවා දිගුවක් මත අගෝස්තු 22 වැනිදා දක්වා සේවය කිරීමේ හැකියාව ඔහුට තිබු අතර වසරක නව සේවා දිගුවත් සමගම ඔහුට එළඹෙන 2017 අගෝස්තු 22 දක්වා යුධ හමුදාපති තනතුර දැරීමේ හැකියාව පවතී.

වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා පසුගිය 2015 පෙබරවාරි 22 දින යුධ හමුදාපති ධුරයට පත්කරන ලද අතර වයස අවුරුදු පනස්පහ සැපිරීම හේතුවෙන් ඔහු එම වසරේ අගෝස්තු 22 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණි. ජනාධිපතිවරයා විසින් ලබාදුන් වසරක සේවා දිගුවත් සමඟ 2016 අගෝස්තු 22 දක්වා තවදුරටත් ධූරයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණ අතර නව සේවා දිගුවත් සමඟ සිදුවී ඇත්තේ යුධහමුදාපති ධුරකාලය ඔහු විසින් දැරීම තවත් වසරකින් දිගුවීමය.

මේ ආකාරයට යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාට ජනාධිපතිවරයා විසින් සේවා දිගුව ලබා දුන්නේ ඇයි? ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නම් ඒ පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් තවම කර නැත. එවැනි පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදු කරයිද යන්නද සිතිය නොහැකිය. මන්ද මීට පෙර ක්‍රිෂාන්ත ද සිල්වාට ලබාදුන් සේවා දිගුවේදිද එවැනි පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුනොකළ නිසාය.

සාමාන්‍ය වශයෙන් යම් තනතුරක් දරණ පුද්ගලයකුට සේවා දිගුවක් ලබා දෙන්නේ කරුණු කිහිපයක් සළකා බලාය. එකක් වන්නේ ඔහු හෝ ඇයගේ දක්ෂතාවය හෝ අවශ්‍යතාවයය. අනෙක නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් නොසිටීමය. යුධ හමුදාපති තනතුර පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම තනතුර මඟින් යම් විශේෂ පුද්ගලයකුගේ අවශ්‍යතාවය මේ මොහොතේ අපට පසක් කරන්නේ නැත. එවැනි අවශ්‍යතාවක් අපට පසක් කරන්නේ රටතුළ අභ්‍යන්තර සිවිල් යුද්ධයක් හෝ රටවල් දෙකක් අතර පවතින සිවිල් යුධමය තත්වයක්යකදීය. දක්ෂතාවය ද ඊටම ඈඳෙන්නේ යුධමය වාතාවරණයකදී ඒ සඳහා ඇති දක්ෂතාවද සැළකිල්ලට ගන්නා බැවින්ය.
ඒ නිසාම වත්මන් යුධ හමුදාපතිවරයාට තවදුරටත් වසරක සේවා දිගුවක් ලබාදීමට තරම් යුධමය අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලිය. එවැනි අවශ්‍යතාවක් නොමැති කල දක්ෂතාව පිළිබඳ ප්‍රශ්නයක් ද පැන නඟින්නේ නැත. කොහොමත් වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා පැවති අභ්‍යන්තර සිවිල් යුද්ධයේ යුධ වීරයකු ලෙස සැලකෙන්නේ ද නැත. (අපේ අර්ථයෙන් නොවේ)

යුධ හමුදාපතිධුරය දැරීම සඳහා ඊළඟට සුදුස්සන් නොමැතිද යන අනෙක් කරුණ සලකා බැලු විටද එහිද විශේෂත්වයක් නොපෙනේ. ජේ්‍යෂ්ඨත්වය අනුව ඊළඟ යුධ හමුදාපතිධුරය දැරීම සඳහා මේජර් ජෙනරාල්වරු ගණනාවක්ම සිටිති. ක්‍රිෂාන්ත ද සිල්වාට ලබාදුන් වසරක නව සේවා දිගුවක් සමඟ සිදුවී ඇත්තේ දැනට සිටින මේජර් ජෙනරල්වරු 35ක පමණ පිරිසෙන් මේජර් ජෙනරාල්වරු 18ක් පමණ පිරිසකට ඊළඟ උසස්වීමවූ යුධහමුදාපතිධුරය (ලුතිනල් ජෙනරාල්) නොලබා වයස අවුරුදු 55 සැපිරීම හේතුවෙන් විශ්‍රාම යෑමටය. 2017 අගෝස්තු 22 දින දක්වා මේ ආකාරයට වයස අවුරුදු 55 සම්පූර්ණවීම හේතුවෙන් විශ්‍රාම යන මේජර් ජෙනරල්වරු අතරේ යුධ හමුදාපතිධූරය දැරීම සඳහා සුදුසු ජේ්‍යෂ්ඨයන් ඕනෑ තරම් සිටින්නේය. ඒත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවක් ක්‍රිෂාන්තද සිල්වාට ලබාදුන් වසරක සේවා දිගුවෙන් නොපෙනේ.

විශේෂයෙන්ම පැවති රාජපක්ෂ රෙජීමය පරාජයට පත්කර පත්කරන ලද යහපාලනයේදී ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා අවශ්‍යවූයේ කුමක් ද? එය නිතීයට අනුව කටයුතු කරන විනයවත් හමුදාවත් බවට පත්කිරීමය. ඊට හේතුවී තිබුණේ පැවති රාජපක්ෂ පාලනයේදී එය නිතීයට පිටින් විනය විරෝධිව බොහෝ කටයුතු සිදුකර තිබිමය. පුද්ගල ඝාතනයන්, පුද්ගල අතුරුදන් කිරීම්, පුද්ගල පැහැරගැනීම්, කප්පම් ගැනීම්, පුද්ගල පහරදීම් සහ පෝස්ටර් ගැසීම්, උද්ඝෝෂණ පැවැත්වීම්, ඇතුළු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම් ඒ යටතට ගැනෙන කටයුතුවල සාරාංශයය.

යහපාලනය බලයට පත්වීමෙන් පසු පත්කරන ලද ක්‍රිෂාන්ත ද සිල්වා යුධ හමුදාපතිවරයාගෙන් යහපාලනය වෙනුවෙන් වෙහෙසවුණු කැපවුණු පොදු ජනයා බලාපොරොත්තු වූයේ නීිතියට අනුව කටයුතු කරන දිනයවත් යුධ හමුදාවත්ය. ඒ අනුව විනය විරෝධීව නීතියට පිටින් කටයුතු කළ යුධ හමුදා සාමාජීකයන්ට නීතියේ රාමුවක් තුළ දඬුවම් කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. ඒ සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාව වූයේ ආරම්භකර ඇති පරීක්ෂණවලට අවශ්‍ය උපරීම සහය යුධහමුදාවෙන් ලබාදීමය. ඒත් එවැනි සහායක් පරීක්‍ෂණ කණ්ඩායම්වලට හෝ උසාවියට නොලැබෙන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ පරීක්‍ෂණය ඒ සඳහා ඇති හොඳම නිදර්ශනයයි. එම පරීක්ෂණයේ කටයුතු සඳහා යුධ හමුදාවේ දායකත්වයේ එකී පෙනෙන මානයට යටින් නොපෙනෙන දෑද ඇති බව දැනගන්නට ඇත. ඒ අතුරුදන් කිරීමේ චෝදනාවන්ට ලක්වූ යුධ හමුදා සාමාජීකයන්ගේ නීතිඥ ගාස්තු ගෙවීම සම්බන්ධයෙන්ය. යුධ හමුදා සමාජීකයන්ගේ වැටුපෙන් කපා මීට වසර ගණනාවකට පෙර ඇති කරන ලද නීති ආධාර අරමුදලකින් එම නීිතිඥ ගාස්තු ගෙවන බව කියවේ.

කෙසේ හෝ යුධ හමුදාව සම්බන්ධයෙන් යහපාලනය වෙනුවෙන් කැපවුණ,වෙහෙසවුණ පොදු ජනයාගේ බලාපොරොත්තුව ඉහත සඳහන් කළ ලෙස නීතියට අනුව කටයුතු කරන විනයවත් හමුදාවක් වුවද යුධ හමුදාපතිවරයා පත් කරනු ලබන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලාපොරොත්තුව සමහරවිට වෙනස් එකක් විය හැකිය. වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාට තවදුරටත් වසරක සේවා දිගුවක් ලබා දීමෙන් ජනාධිපතිවරයා පෙන්නුම්කර ඇත්තේ එයය. යුධ හමුදාපති ධුරය සඳහා ජේ්‍යෂ්ඨත්වය මත පුද්ගලයන් පත්කරන බවට අපනොදන්න යහපාලන ආණ්ඩුවේ. ප්‍රතිපත්තියක් තිබේනම් හා ඒ අනුව ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් පසු යුධහමුදාපති ධුරයට නුසුදුස්සන් සිටීනම් ඔවුන් මඟහැරීම සඳහා මේ සේවා දිගුව ලබාදුන්නා යැයි උපකල්පනය කළ ද එයද නිවැරදි නැත. මන්ද මෙම වසරක සේවා දිගුව නිසා නුසුදුස්සන් පමණක් නොව සුදුස්සන්ටද ගෙදර යෑමට සිදුවන නිසාය.

එම නිසාම යුධහමුදාපතිවරයාගේ එම සේවා දිගු ක්‍රියාන්විතය වෙනත් අරමුණක් උදෙසා ජනාධිපතිවරයා විසින් සිදු කළාද යන සැකයද මතුවේ. එම සැකය සඳහා ප්‍රමුඛමකාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය පුරාම සියුම්ව පෙන්නුම් කරමින් සිටින ඔහුගේ සිංහල බෞද්ධ පදනමේ කථා තීන්දු තීරණය. යුධ අපරාධ පරීක්‍ෂණ පිළිබඳ ජනාධිපතිවරයාගේ කථාද සම්ප්‍රදායික ගොවිතැන පිළිබඳ ඔහුගේ ජනප්‍රිය තීන්දු තීරණද ඒ සම්බන්ධයෙන් විග්‍රහකර බැලිය හැකි උදාහරණය.
සිංහල බෞද්ධ මතවාදය අනුව යුධ අපරාධ කියා දෙයක් මෙරටේ සිදුවී නැත. යුධ හමුදා සාමාජීකයන් යනු රණවිරුවන්ය. ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීම හා නඩු පැවරීම වූ කලී රට පාවාදීමකි. ඒනිසාම දෙමළ නඩරාජා රවිරාජ් ඝාතනය පමණක් නොව සිංහල ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමද පරීක්‍ෂණ නොපැවැත්විය යුතු නොතකා හැරිය යුතු දේවල්ය. ඉතිං එවැනි ඝාතන හා අතුරුදන් කිරීම් සඳහා ඇඟිල්ල දිගුවන්නේ යුධ හමුදා සාමාජිකයන්ට නම් අවශ්‍යවන්නේ එවැනි පරීක්ෂණවලට සහාය නොදෙන යුධ හමුදාවක්ය. ඊට තමා සමත්බව වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා පසුගිය කාලය පුරා පෙන්නුම් කර හමාරය. ජනාධිපතිවරයාගේ කැමැත්ත ඒ නිසාම විය නොහැකි ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එම කැමැත්ත පරීක්‍ෂාවට ලක්කරන තවත් එක් ප්‍රබල උදාහරණයක් වන්නේ ජනනමාධ්‍යයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලියය. පසුගිය කාලය තුළ ඝාතනය කරන ලද, අතුරුදන් කරන ලද පැහැරගෙන යන ලද පහරදෙන ලද හා වෙනස් ආකාරයෙන් තර්ජනයට ලක් කරන ලද ජනමාධ්‍යවේදීන් පිළිබඳවත් ප්‍රහාරයට හා වෙනස් ආකාරයේ තර්ජනයට ලක්වු ජනමාධ්‍ය ආයතන පිළිබඳවත් තොරතුරු සෙවීම සඳහා හා ඉන්පසු ඒ සඳහා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය මඟින් දඬුවම් ලබාදීමට කොමිෂමක් පත්කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තිීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සිදුකළේ කුමක් ද? එම තොරතුරු සොයා ඊට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය මඟහැර ඉහත සඳහන් ආකාරයේ පීඩාවන්ට පත්වූ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට වන්දි පිරිනැමීම සඳහා කමිටුවක් පත් කිරීමය. ඒමඟින් සිදුවූයේ ජනමාධ්‍යයට එරෙහි එකී අපරාධයන්ට සම්බන්ධ වු පුද්ගලයන්ට දණ්ඩනයෙන් මුක්තිය ලැබීමය. අපරාධකරුවන් වෙනුවෙන් රජය වන්දි ගෙවීමය. ඝාතනයකට අතුරුදන් කිරීමකට අතපය කැඩීමකට හා වෙනත් ආකාරයේ ප්‍රහාරයකට මිලක් නියම කිරීමය. අවසාන වශයෙන් එම අපරාධයන් බොහෝමයකට චෝදනා එල්ලවී ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් දඬුවමට ලක්නොකර ඉන් බේරා ගැනීමය.