Untitled-1

Untitled-1

කීත් නොයාර් පරීක්ෂණ ජිනීවා සංදර්ශනයක්ද?


lasantha

ලසන්ත රුහුණගේ

පෙබරවාරි 18 වැනිදා විස්ම යට පත්කරන ලද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය ඉන් දින හතරක් ගතවෙද්දී පෙබරවාරි 22 වැනිදා යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොළොවේ ගසා ඇත. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය විස්මයට පත් කළ සිදුවීම වූකලි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමට අදාළව හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය උස්සා පොළොවේ ගැසීම වූකලි බජාර් එකේ චණ්ඩියෙකු මෙන් හැසිරී ජනමාධ්‍යවේදියෙකුට පහර දුන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාස හයක සේවා දිගුවක් ලබාදීමය.
නාවික හමුදාපතිවරයා ජනමාධ්‍යවේදියෙකුට පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ කිහිපයක්ම සිදුවෙනවායැ’යි ආණ්ඩුව පාර්ශ්වයෙන් එම සිදුවීම සිදුවූ දිනවල ප්‍රකාශයට පත්වුවත් එම පරීක්ෂණවලට සිදුවූයේ කුමක්ද යන්න පවා තවම අබිරහසකි. එසේ වුවද නාවික හමුදාපතිවරයා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සමඟ ජනපති වන්දනාවේ ගිය බව අබිරහසක්ව තබා ගන්නට හැකිවූයේ නැත. එම වන්දනාවේ ප්‍රතිඵලයක් වශයෙන් රණවිරු ලේබලය ගැසූ ආරක්ෂක අංශ අපරාධකරුවන් අත් අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයා රහස් පොලිසිය ඇතුළු විමර්ශන අංශවලට නියෝග කළ බවද අබිරහසක්ව තබාගන්නට නොහැකි විය.
තවදුරටත් අපට වාර්තා වන්නේ මීට දින කිහිපයකට ඉහතදීද නාවික හමුදාපතිවරයා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා කපිතාන් ඩී.කේ.පී. දසනායක ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවය. එහිදී අපරාධවලට වගකිවයුතු නාවික හමුදා රණවිරු අපරාධකරුවන් බේරා ගැනීම ගැන සාකච්ඡා කෙරී ඇති අතර වත්මන් නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදීම එහි මතුපිට පෙනෙන ප්‍රතිඵලය බවට පත්වී ඇත.
පාසල් ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකළොස් දෙනකු පැහැරගෙන ගොස් ඔවුන් අතුරුදන් කර කප්පම් ලබාගැනීම, ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කර කප්පම් ලබාගැනීම ආදී නාවික හමුදා රණවිරු අපරාධකරුවන්ට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතින අතර එම අපරාධ සිදුවූ සමයේ නාවික හමුදාපති වශයෙන් කටයුතු කළේ වසන්ත කරන්නාගොඩය. එම අපරාධවලට වගකිවයුතු එක් රණවිරු නාවික අපරාධකරුවකු වන්නේ එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෛ් පෞද්ගලික ආරක්ෂකයා වශයෙන් කටයුතු කළ ‘නේවි සම්පත්’ නොහොත් සම්පත් මුණසිංහය. පැහැරගත් එම පුද්ගලයන් තබාගෙන තිබුණේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුර, වැලිසර නාවික හමුදා කඳවුර හා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර යන ස්ථානවලය. මේ කිසිවක් එම අවස්ථාවන්හි එම කඳවුරුවල සේවය කළ නාවික හමුදා සාමාජිකයන්ට රහසක් වී නැත. කේ.සී. වෙලගෙදර නමැති නාවික හමුදා නිලධාරියා ඔහු දන්නා එම තොරතුරු මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැල කර ඇත. රටේ නීතිය අනුව අපරාධයක් පිළිබඳ තොරතුරු කිසිදු පුරවැසියෙකුට හැංගිය නොහැකිය. අපරාධයක් පිළිබඳ තමන් දන්නා තොරතුරු පරීක්ෂණ ආයතන වෙත ලබාදිය යුතුය. තවද සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අණපනත්ද ශ්‍රී ලංකාව සම්මත කරගෙන ඇත. එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද? නීතියට පිටින් හමුදා අධිකරණයක් ස්ථාපිත කර කේ.සී. වෙලගෙදර නම් වූ අපරාධයක සාක්ෂිකරුවකු වූ රණවිරුවා වත්මන් නාවික හමුදාපතිවරයා විසින් දඬුවමට ලක්කිරීමය. ඔහු නාවික හමුදා අඩස්සියේ තබා ගැනීමය. සේනාධිනායක, ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා ඒ සියල්ල එක සිතින් අනුමත කිරීමය. ඔහුගේ විධායක බලය, අණ රණවිරු අපරාධකරුවන් බේරා ගැනීම වෙනුවෙන් යෙදවීමය.
ශිෂ්‍යයන් හා ව්‍යාපාරිකයන් පැහැරගෙන යෑම්වලට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යයැ‘යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට මාසයකට පමණ පෙර අධිකරණයට දන්වන ලද නාවික හමුදා රණවිරු අපරාධකරුවන් ඉතිරි පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත්තේ ජනාධිපතිවරයාගේ එම බලපෑම නිසා බවට සැකයක් නැත. තමා රණවිරුවන් දිවි හිමියෙන් ආරක්ෂා කරනවායැ’යි ප්‍රසිද්ධියේම කියනු ලබන ජනාධිපතිවරයෙකුගෙන් රණවිරු අපරාධකරුවන්ට එරෙහි ක්‍රියාමාර්ග අප බලාපොරොත්තු වීම ඒ නිසාම නිශ්ඵලය. එම රණවිරු අපරාධකරුවන්ට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ඒ නිසාම ඇත්තේ දේශීය ක්‍රියාමාර්ගවලින් පිට ජාත්‍යන්තර බලකිරීම් පමණය.
මාධ්‍යවේදී කීත් නොයාර් රාජකාරි නිමකර එමින් සිටියදී දෙහිවල පිහිටි ඔහුගේ නිවස අසලදී පැහැර ගැනුණේ 2008 මැයි 22 වැනිදා රාත්‍රියේදීය. පැහැර ගැනීම වාර්තාවීමත් සමඟ ඔහු පිළිබඳව සොයා ගැනීමට මාධ්‍ය ක්‍රියාකාරීන් උත්සාහ ගත් අතර ඔහුගේ ජංගම දුරකතනය බියගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වී ඇති බව හඳුනා ගන්නට ලැබී ඇත. එසේම එම පැහැර ගැනීම හා ඔහු රඳවා සිටිනවායැ’යි සැක ප්‍රදේශ පිළිබඳව එවක පොලිස්පතිවරයාද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂද දැනුවත් කරන්නට කටයුතු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කීත් නොයාර් පැහැර ගත් අපරාධකරුවන්ට ඔහු මුදාහැරීමට නියෝග ලැබී තිබුණි. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව යුද හමුදා බුද්ධි අංශ විසින් ආරක්ෂක නිවස්නයක් ලෙස භාවිත කරන ලද දොම්පේ ප්‍රදේශයේ නිවසක කීත් නොයාර් පැහැර ගෙන ගොස් රඳවා තබාගෙන තිබී ඇත. එම පැහැර ගැනීම හමුදා බුද්ධි අංශයේ ප්‍රධානීන් සියලුදෙනා මෙන්ම එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැන සිට ඇත. මාධ්‍යවේදීන් ඇතුළු අනෙකුත් පිරිස් පැහැරගෙන ගියේ කවුද, ඔවුන්ට අණ දුන්නේ කවුද යන්න රාජ්‍ය බුද්ධි අංශවලට නම් එකල පවා රහසක් විය නොහැක. එම තොරතුරු සියල්ලම ඔවුන් දන්නේය. පරීක්ෂණ කිරීමට සහායක් හා බලපෑමක් සිදු නොවේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අපරාධකරුවන් කොටුකර ගැනීම එතරම් අමාරු කාරියක් නොවේ. අවශ්‍ය වන්නේ ඒ සඳහා රට කරවන ඇත්තන්ගේ අවංක වුවමනාවත්ය. නැත්තේද අවශ්‍ය වී ඇත්තේද ඒ අවංක වුවමනාවය.
ඒ නිසාම පැනනගින ප්‍රශ්නය වන්නේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හමුදා රණවිරු අපරාධකරුවන් පස්දෙනකු හදිසියේම අත්අඩංගුවට ගත්තේ ඇයිද යන්නය. කීත් නොයාර් සිදුවීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑත කාලයේ අධිකරණයට වාර්තා කර තිබුණේ නැත. මේ අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ පෙබරවාරි 18 දින හා පෙබරවාරි 19 දිනවලය. අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ රණවිරු අපරාධකරුවන් දැන් රිමාන්ඞ් භාරයේය. ඔවුන් රිමාන්ඞ් භාරයට පත්කිරීමත් සමඟ යුද හමුදාව පුදුම හිතෙන ලෙස ඉදිරියට ඇවිත් කීවේ ඔවුන්ගේ සේවය වහාම අත්හිටුවූ බවය. මෙය සිදුවන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ යුද හමුදා බුද්ධි අංශ රණවිරු අපරාධකරුවන් වැඩ තහනමට ලක්කරන්නයැ’යි ප්‍රගීත් බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු පිරිස දිගින් දිගටම උද්ඝෝෂණය කිරීමෙන් පසු එම වැඩ තහනම් කිරීම් සිදුවීමේ පසුබිම තුළය. එම රණවිරු අපරාධකරුවන් ඇප පිට නිදහස්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් නැවත හමුදා සේවයේ පිහිටුවීමේ පසුබිම තුළය.
එපමණක් නොව කීත් නොයාර් සිදුවීමේ යුද හමුදා බුද්ධි අංශ රණවිරු අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමත් සමඟ ජනමාධ්‍යයට සම්බන්ධ රජයේ ආයතනයක ප්‍රධානියකු ජනමාධ්‍ය සංවිධානවලට කතා කර කියා තිබුණේ එම අත්අඩංගුවට ගැනීම්වලට පක්ෂව මාධ්‍ය නිවේදන හෝ මාධ්‍ය සාකච්ඡා පවත්වා ආණ්ඩුවට සහාය පළකරන ලෙසය. රණවිරු පක්ෂ පාතීන්ගෙන් ආණ්ඩුවට එල්ල වන බලපෑම් මගහරවා ගැනීම සඳහා ශක්තියක් වන ලෙසය. රණවිරු අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම ගැන අමුතුවෙන් බාහිරින් බලපෑම් ආණ්ඩුවට එල්ල විය යුතු නැත. එය සිදුකිරීම සඳහා මේ රටේ විධායක බලැති සේනාධිනායක, ආරක්ෂක ඇමති අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිටින්නේය. හමුදා රණවිරු අපරාධකරුවන් ආරක්ෂා කරන ලෙස වූ ඔහුගේ නියෝගය අප මීට පෙර වාර්තා කර ඇත. හමුදා රණවිරු අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ නිරත වත්මන් යුද හමුදාපතිවරයාට ජයග්‍රාහී තුන්වන සේවා දිගුවක් ලබාදී ඇති බව අප මීට පෙර වාර්තා කර ඇත.
එසේ නම් හමුදා රණවිරු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලපෑමක් එල්ල වනවා නම් එල්ලවිය යුත්තේ ජනාධිපතිවරයාගෙන්මය. ඔහු එම බලපෑම් ඍජුව හා වක්‍රව එල්ල කරමින් සිටින බව ද රහසක් නොවේ.
ප්‍රශ්නය ඇත්තේ කීත් නොයාර් සිදුවීම එක්වරම කරළියට පැමිණීම හා එය ආණ්ඩුවට දැඩි අවශ්‍යතාවක් බවට පත්වී ඇත්තේ ඇයිද යන්නය. ඒ වෙන කිසිවක් නිසා නොව එළැඹෙන මාර්තුවේදී ජිනීවාහිදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය නිසාය. ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාව ගැන සාකච්ඡාව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් තවදුරටත් කල් ඉල්ලා ඇති බැවින්ය. එම කල් ඉල්ලීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් දක්වා ඇති කරුණු වන්නේ එම යෝජනාවේ සමහර කරුණු ඉටුකර ඇති බවත්, සමහර කරුණු ඉටුකරමින් පවතින බවත්, සමහර කරුණු ඉටුකිරීමට තිබෙන බැවින් තවත් වසරක කාලයකට කල් අවශ්‍ය බවත්ය. පසුගිය වසරේදීද විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම එම ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීමට වසරක කාලයක් කල් ගත්තේය. ඉතින් මේ නැවත කල් ගැනීමට මානව හිමිකම් සංදර්ශන අවශ්‍යය. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය විස්මයට පත්කරමින් අප හමුවේ තැබූ කීත් නොයාර් පරීක්ෂණයද බොහෝවිට ජිනීවා සංදර්ශනයක් විය හැකිය. එම රණවිරු අපරාධකරුවන්ට ඇප ලැබුණු සැණින් අනිවාර්යෙන්ම හැරෙන සැණින් යළි හමුදා සේවයේ පිහිටුවිය හැකිය. එම අපරාධය හෙළිකර ගැනීමට අවශ්‍ය තොරතුරු ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවට වී ඇති සැටියටම හමුදාවෙන් කිසිදා නොලැබෙනු ඇත. සේනාධිනායක, ආරක්ෂක අමාත්‍ය විධායක බලැති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒවා දැක දැක නොදැක්කා වාගේ සිටිනවා ඇත. වර්තමානය අපට පසක් කරමින් සිටින අනාගත සත්‍යය එය වනු ඇත.■