අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (6)


viyangoda

රටේ බහුතරයේ අනුමැතියෙන් ඇති කර නොගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන්ට අවශ්‍ය නොකරන බව, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා තිබේ. එහි අරුත කුමක්ද? රටේ බහුතරයකගේ අනුමැතියක් නැති ආණ්ඩු ක්‍රමයකින් පලක් නොවන බවට ඔහු තුළ ඇති පිළිගැනීමයි. දෙමළ දේශපාලනය සම්බන්ධයෙන් ගත් විට මෙය මහා ආකල්පමය පිම්මකි. නිදහසින් පසු ගත වූ 70 වසරකට ආසන්න කාලය තුළ දෙමළ දේශපාලනය, දකුණේ දේශපාලනය කෙරෙහි මෙතරම් සංවේදී වූ අවස්ථාවක් දැක ගැනීම අසීරු ය. එසේ තිබියදීත්, දකුණේ බහුතරයේ කැමැත්ත ලබා ගැනීමට පස්ස ගසන්නේ දකුණේම සිංහල දේශපාලනඥයන් වීම ඉතාමත් උත්ප්‍රාසාත්මක ය.
මහින්ද රාජපක්ෂ ඇතුළු 2015 දී පරාජයට පත්කරවන ලද ජාතිවාදී බලවේග යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධාකාරයෙන් වරනගනු ඇති බවට සැකයක් නැත. එය ‘මර උගුලක්’ වශයෙන් දැනටමත් හිටපු ජනාධිපතිවරයා හඳුන්වා ඇත. මේ බොරුවට නිරාවරණය කෙරෙන නිසියාකාර ප්‍රතිචාරයක් මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් දකින්ට නොලැබීම අවාසනාවකි. ඒ රාජකාරිය ආණ්ඩුව මගහරින දවසක් පාසා, ඉහත කී රාජපක්ෂ ව්‍යාජය මේ මාතෘකාව අරභයා සමාජගත වනු ඇත.
මේ සම්බන්ධයෙන් අපට පාඩමට ගත හැකි එක් අතීත පූර්වාදර්ශයක් තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය ආරම්භ වූ අවස්ථාවේ ප්‍රංශ සන්නිවේදන සමාගමක් මගින් ලංකාවේ සමීක්ෂණයක් කරන ලදි. එම සමීක්ෂණ වාර්තාවට අනුව, බලය බෙදාහදා ගන්නා දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා ඒ වන විට දකුණේ පෙනී සිටියේ සියයට 24ක් පමණි. එහෙත් ඉන් මාස හයකට පසු, සාම ලැදි මහා බලවේගයක් විසින් දියත් කළ සුදු නෙළුම් ව්‍යාපාරයෙන් පසුව, එම සමාගම ඒ කාරණය අරභයාම නැවතත් සමීක්ෂණයක් කෙළේය. එහිදී සියයට 64ක ජනතාවක් ඊට අනුමැතිය දක්වා තිබුණි. ජනතා මතයක් හැඩගැස්වීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් එය මනා සාක්ෂියකි.
ලංකාවේ මෙතෙක් ඇති කරගෙන තිබෙන කිසි ව්‍යවස්ථාවක් සඳහා ජනතා කැමැත්ත විමසා නැත. 1947දී අපට සුද්දාගෙන් ලැබුණු සෝල්බරි ව්‍යවස්ථාවත්, 1972දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ඇති කර ගත් ජනරජ ව්‍යවස්ථාවත්, අවසානයේ 1978දී ජේ. ආර්. ජයවර්ධන ගෙනා, අද වන තෙක් උරචක්‍රමාලයක් වී ඇති වර්තමාන ව්‍යවස්ථාවත්, මේ රටේ ජනතා කැමැත්ත විමසා සකසා ගත් ව්‍යවස්ථාවන් නොවේ. විශේෂයෙන්, ආගම් වශයෙන් සහ ජාති වශයෙන් භේදභින්න වී ඇති රටක් සඳහා යෝජිත බලතල බෙදාහදා ගැනීමක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම රටේ ජනතාවගෙන් විමසිය යුතුව තිබේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි අප වැඩියත්ම අවධාරණය කරන්නේ එබැවිනි.
වර්ගවාදී හෝ ජාතිවාදී නොවන මුත් ජනමත විචාරණයකටද එකඟ නොවන කණ්ඩායම්, ජනමත විචාරණයක් පරාජය වීමට ඇති අවදානම විවිධාකාරයෙන් අවධාරණය කරති. ඔවුන්ගේ ඇතැම් අවධාරණයන් යුක්ති සහගත ය. ඒ ගැන, මේ ලිපි පෙළ අවසානයේ සාකච්ඡා කෙරෙනු ඇත. එහෙත් ඒ අතරේම, අපට අදාළත්වයක් නැති වෙනත් රටවල ජනමත විචාරණයන් ගැනත්, අපට අදාළත්වයක් ඇති මුත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, වැරදි අර්ථ ජනනය කෙරෙන සේ සාවද්‍ය ආකාරයෙන් ඉදිරිපත් කරනු ලබන විදේශ උදාහරණ ගැනත් මේ ලිපියෙන් ෂලකා බැලේ.
මුලින්ම අපේ ජනමත විචාරණයේ විෂය කාරණාවට කිසි අදාළත්වයක් නැති ‘බ්‍රෙක්සිට්’ ගැන ඔවුහු කියති. ‘බ්‍රෙක්සිට්’ යනු, යුරෝපා සංගමයෙන් කැඩී වෙන් විය යුතුදැයි අසා මහා බි්‍රතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය තුළ පැවැත්වූ ජනමත විචාරණයේදී, වැඩි ජනතාවක් කැඩී වෙන් වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවයි. එම ජනමත විචාරණය පැවැත්වූ ආණ්ඩුවේ යෝජනාව වූයේ, යුරෝපා සංගමයේ රටක් වශයෙන් තමන් තවදුරටත් රැඳී සිටිය යුතුය යන්නයි. කෙසේ වෙතත් එම අදහස පරාජය විය. එම පරාජය අරා ඇත්තේ, වර්තමාන ලෝකයේ ප්‍රධාන ප්‍රවණතාවක් වන, ජාත්‍යන්තරවාදයෙන් ජාතිකවාදය කරා කෙරෙන අවිනිශ්චිත සහ ‘තාවකාලික’ නිරූපණයකි. මේ ‘තාවකාලික’ යන විශේෂණය තුළ, ප්‍රාග්ධනයේ දෘෂ්ටිවාදය ගැන විශාල කතාන්තරයක් ඇති මුත්, අපේ කතාව ඊට මෙහා සීමාවක අපි නතර කර ගනිමු. ආර්ථික සහ දේශපාලනික තර්කණය තුළ, ජාතිකවාදය අනාදිමත් කාලයක් තිස්සේ ආකර්ෂණීය වී ඇති බව පමණක් දැනට කීම සෑහේ. එහෙත් ඒ සමගම, ජාතිකවාදයක් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කළ නොහැකි තත්වයක් නූතන ධනවාදයේ ප්‍රාග්ධන ගතිකත්වය විසින් මුදා හරිනු ලබන බවත් අපි දකිමු. ‘බ්‍රෙක්සිට්’ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ජනතාව දුන් තීන්දුවට, එක්සත් රාජධානියේම කොටසක් වන ස්කොට්ලන්ත ජනතාව එකඟ නැත. ඔවුන්ගෙන් සියයට 62 ක්ම කීවේ යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවයි. මේ නිසා, එක්සත් රාජධානියෙන් නිදහස ඉල්ලා 2014 දී ස්කොට්ලන්තය පැවැත්වූ ජනමත විචාරණයේදී එවැනි නිදහසක් තමන්ට අවශ්‍ය නැතැයි කී ස්කොට්ලන්ත ජනතාවම, දැන් එවැනි නිදහසක් ඉල්ලා නැවතත් ජනමත විචාරණයක් පවත්වන්නැයි බලපෑම් කරන තත්වයට තල්ලු වී තිබේ. එදා (2014) එක්සත් රාජධානියෙන් කැඩී වෙන්ව යන නිදහසක් තමන්ට අවශ්‍ය නැතැයි ස්කොට්ලන්ත ජාතිකයන්ගෙන් සියයට 55.30ක් කීහ. දැන් යුරෝපා සංගමයෙන් වෙන් වීමට එක්සත් රාජධානිය සමස්ත රටක් වශයෙන් තීරණය කොට ඇති තත්වය තුළ, එම මහා රාජ්‍යයේ එක් කොටසක් වන ස්කොට්ලන්ත ජනතාව, එක්සත් රාජධානියෙන් කැඩී වෙන් වීම සඳහා එම ‘බ්‍රෙක්සිට්’ තීන්දුවම අමතර තර්කණයක් සේ අනාගතයේදී පාවිච්චි කිරීමට හොඳටම ඉඩ තිබේ. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ‘බ්‍රෙක්සිට්’ යනු ජගත් ප්‍රාග්ධනයේ මහා හැලහැප්පීමක් හරහා ඉස්මත්තට ආ සංකීර්ණ කතාවකි. අපේ ජනමත විචාරණයට එහි සෘජු අදාළත්වයක් නැත.
ඊළඟට, කොළොම්බියාවේ පරාජයට පත් වු ජනමත විචාරණයත් මේ පිරිස ස්වකීය සාක්ෂියට කැඳවති. කොළොම්බියාවේ තිබුණේ, අවුරුදු පනහකට අධික කාලයක් තිස්සේ රජය සමග යුද්ධ කළ ගරිල්ලා ව්‍යාපාරයක් සමග ආණ්ඩුව ඇති කර ගත් සාම ගිවිසුමකට තමන් එකඟ ද යන්න එරට ජනතාවගෙන් අසා සිටි ජනමත විචාරණයකි. ජනතාවගෙන් බහුතරය ඊට එකඟ නැතැ යි කීහ. මෙය යම් තාක් දුරකට ලංකාවේ ප්‍රශ්නයට ඈත නෑකමක් දක්වයි. ‘ෆාක්’ නැමැති ඉහත කී ගරිල්ලා සංවිධානය සමග මොනම සාමයක්වත් අවශ්‍ය නැතැයි කොළොම්බියානු ජනතාවගෙන් බහුතරයක් කීම, සමහර විට, දෙමළ ජනතාවට ‘අනවශ්‍ය’ බලයක් බෙදා හැරීමට දකුණේ සිංහලයා විරුද්ධ වීම සමග යම් සාම්‍යත්වයක් දක්වතැයි කෙනෙකුට හැඟී යා හැකිය. එසේ වෙතත්, මේ ජනමත විචාරණය පරාජය වුණේ, සියයට 0.4කිනි. හෙවත්, ඡන්ද 55,000ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකිනි. මේ ජනමත විචාරණයේදී ඡන්දය දුන් එක් කෝටි තිස් ලක්ෂයක් (1,300,000) ජනතාවගෙන් විසිහත් දහස් පන්සීයක් (27,500) වැනි සොච්චමක් වෙනස් වුණි නම්, එම ජනමත විචාරණයේ කතාන්තරය මීට වෙනස් විය හැකිව තිබූ බව එහි අදහසයි. කෙසේ වෙතත්, විෂය පථය සම්බන්ධයෙන් එම ජනමත විචාරණය සහ අපේ ජනමත විචාරණයක් අතර හුවාදැක්විය හැකි සාම්‍යත්වයක් නැති බව පමණක් සඳහන් කිරීම මෙහිදී ප්‍රමාණවත් ය.
ගිය දෙසැම්බරයේ ඉතාලියේ පවත්වන ලද ජනමත විචාරණය, අපේ ප්‍රස්තුතයට සෘජු අදාළත්වයක් උසුලයි. මන්ද යත්, එය පැවැත්වුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අරභයා වන බැවිනි. මේ ජනමත විචාරණයේදී ආණ්ඩුව ගත් ස්ථාවරය සියයට 59.11 කින් පරාජයට පත්විය. අපේ ජනමත විචාරණයක පරාජයක් පිළිබඳ භීතියක් මවන අයවලුන් ඉතාලිය උදාහරණයට ගැනීමට ආශා කරන බවක් පෙනෙන්නේ එබැවිනි. එහෙත් ඇත්තෙන්ම මොවුන් සමාන කරන්නේ, සංසන්දනය කළ හැකි සාධක ද? එය මඳක් විමසා බලමු.
ඉතාලියේ මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබේ. ඒ, පහළ මන්ත්‍රණ සභාව සහ ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් සෙනේට් සභාව යනුවෙනි. මේ දෙකටම මන්ත්‍රීවරුන් තෝරා ගැනෙන්නේ මහජන ඡන්දයෙනි. එසේම, ඒ දෙකම එක සමාන බලතල සහිතයි. මීට අමතරව, (අපේ පළාත් සභා වැනි) ප්‍රාන්ත ආණ්ඩු 20ක් ද තිබේ. ඉහත කී ජනමත විචාරණය පැවැත්වූයේ, මෙකී ප්‍රාන්ත ආණ්ඩුවල බලතල විශාල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමටත්, සෙනේට් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව සියයට දෙසීයකින් කප්පාදු කිරීමටත් ය. ජනමත විචාරණයේදී ඇසුවේ එවැනි ප්‍රතිසංස්කරණයකට ජනතාව කැමතිද යන්නයි. තවත් විදිහකින් කිවහොත්, මෙතෙක් ප්‍රාදේශීයව බෙදා හැර ඇති බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට කැමතිද යන්න ජනතාවගෙන් විමසන ලදි. බහුතරයක් ‘එපා’ කීවේ එයයි. ඉතිං, ඉතාලියේ ජනමත විචාරණය සහ ලංකාවේ පැවැත්වීමට නියමිත ජනමත විචාරණය සන්සන්දනයකට ලක් කරන්නේ නම්, ඉතාලි ආණ්ඩුවේ පරාජය සැලකිය යුත්තේ අපේ ජයග්‍රහණයක් වශයෙනි. මන්ද යත්, අපේ ජනමත විචාරණයෙන් ඉල්ලා සිටින්නේ, (විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ බලය බෙදා හැරීම හරහා) කේන්ද්‍රගත බලය ලිහිල් කිරීමක් වන බැවිනි.
ඊළඟට, ඉතාලිය ජනමත විචාරණයකට ගියේ, ඉහත කී මන්ත්‍රණ සභා දෙකේ තුනෙන් දෙකකින් එම පනත සම්මත කරගත නොහැකි වූ නිසාම පමණි. අප ජනමත විචාරණයකට යන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අත්කර ගැනීමෙන් පසුව පමණි. ඒ අනුව බැලුවත්, ඉතාලියේ පරාජය ලංකාවේ තත්වය තුළ අර්ථගන්වා ගත යුත්තේ, (අවශ්‍යම නම්) අපේ ජනමත විචාරණයක පරාජයක නොව, ජයග්‍රහණයක ශක්‍යතාවක් වශයෙනි. කෙසේ වෙතත්, ලෝකයේ වෙනත් තැන්වල ජනමත විචාරණයන් පරාජය වීමක් හෝ ජයග්‍රහණය වීමක් සමග අපේ ජනමත විචාරණයක අනාගතය රැඳවීම තාර්කික නැති බව පමණක් කිව යුතුය.■ (ඉතිරිය ඉදිරියට)