Untitled-1

Untitled-1

තොරතුරු නීතියත් සමඟ රාජ්‍යය වීදුරු කුඩුවක් ඇතුළේ!


nalaka

2016 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත වූ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (තොරතුරු නීතිය) මුළුමනින් සක්‍රිය වූයේ 2017 පෙබරවාරි 3 වනදායි.
එදින සිට මෙරට බාල මහලු, ඕනෑම පුරවැසියකුට ඕනෑම රාජ්‍ය ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. ඒ තොරතුරු දින 14ක් ඇතුළත ලබා දීමටත්, එසේ නොහැකි නම් ලිඛිතව හේතු දැක්වීමටත් සියලු රාජ්‍ය නිලධාරීන් නීතියෙන් බැඳී සිටිනවා. තොරතුරු නොදුන්නොත් ඒ ගැන අභියාචනා කිරීමට නිශ්චිත ක්‍රමවේදයක්ද සලසා තිබෙනවා. මහජනයාට පැමිණිලි කළ හැකි හා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා ගත හැකි ස්වාධීන තොරතුරු කොමිසමක්ද ක්‍රියාත්මකයි.
තොරතුරු නීතිය හුදෙක් තවත් එක් නීතියක් පමණක් නොවෙයි. එය පුරවැසියන් බලාත්මක කරන, ඔවුන් පාවිච්චි කරන තරමට මුවහත් වන අසාමාන්‍ය ගණයේ නීතියක්. නීතියකට එහා යන දේශපාලන හා සමාජයීය විප්ලවයක ආරම්භයක්,
තොරතුරු පනත සක්‍රිය වූ පෙබරවාරි 3 වනදාම අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා (පනත ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම පවරා ඇති) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එයට අදාළ නියෝග (regulations)ප්‍රකාශ කළා. මෙතැන් සිට පනත කියැවිය යුත්තේ මෙම නියෝග හා ඇමුණුම් සමඟයි.
පනත හඳුන්වා දෙමින් ගිය වසරේ මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ කීවේ මේ නීතිය ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා වීදුරු කූඩුවක් ඇතුළට යවන බවයි.
ඒ කියන්නේ මෙතෙක් රහසිගතව කර ගෙන ආ (මහ රජය, පළාත් සභා හා පළාත් පාලන ආයතන යන මට්ටම් තුනේම) රාජ්‍ය පාලන කටයුතු පාරදෘශ්‍ය කිරීම මේ නීතියෙන් සිදු කැරෙන බවයි.
මෙය යහපාලන මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කිරීමක්. මේ සමඟ තොරතුරු නීති තිබෙන ලෝකයේ රටවල් 110 අතරට ප්‍රමාදවී හෝ ශ්‍රී ලංකාවද එක් වනවා.
එහෙත් මා නිතර අවධාරණය කරන පරිදි පාරදෘශ්‍ය රාජ්‍ය තන්ත්‍රයක් හා තොරතුරු සාක්‍ෂරතාව ලබාගත් සමාජයක් වෙත ළඟාවීමට අප තව බොහෝ දුර යා යුතුයි. අප ඒ දිග ගමනේ එක් කඩඉමක් පසු කළා පමණයි.
“ඵෙතිහාසිකව රහසිගත රාජ්‍ය පාලනයේ දොරටු විවර කිරීමට අවශ්‍ය යතුර ලෙස සමහරුන් තොරතුරු අයිතිය හා නීතිය හඳුන්වනවා. එය සැබෑවක් නමුත් යතුරෙන් දොර ඇරගෙන ඇතුළට ගියාට පසු අප කුමක් කළ යුතුද යන්න ගැනත් දැක්මක් හා අවබෝධයක් ඇති කර ගත යුතුයි. ආවාට ගියාට නොව ඉලක්කගතව, සංවිධාන ගතව තොරතුරු නීතිය භාවිත කිරීමේ නිපුණතාව අප ටිකෙන් ටික ලබා ගත යුතුයි.” මා මෙසේ කීවේ ජාතික මාධ්‍ය සංසදය ගිය සතියේ කොළඹ පැවැත්වූ සංවාද සභාවක මුඛ්‍ය දේශනය කරමින්.
මෙරට රාජ්‍ය ආයතන 4,000කට ආසන්න සංඛ්‍යාවක්, රජයේ පාසල් 10,000ක් පමණ හා පොලිස් ස්ථාන 1,000ක් පමණ තිබෙනවා. මේ හැම එකකටම තොරතුරු නීතිය අදාළයි. ඒ සැම තැනෙකම තොරතුරු නිලධාරියාගේ නම, තනතුර, දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රකටව පෙනෙන පරිදි සිංහල හා දෙමළ බසින් ප්‍රදර්ශනය කළ යුතුයි.
එසේම පෙබරවාරි 3 වනදා ගැසට් පත්‍රය හරහා තොරතුරු ඉල්ලන හා ලබාදෙන ක්‍රමවේදය පනතට වඩා විස්තරාත්මකව දක්වා තිබෙනවා. එය සංකීර්ණ හෝ නිලධාරිවාදී එකක් නොවෙයි. හැකි තාක් එය භාවිත කිරීමේ වගකීම හා අභියෝගය පුරවැසි අප සැමට දැන් තිබෙනවා.
පෙබරවාරි 3 වනදා සිට ගෙවී ගිය දෙසතියක පමණ කාලය තුළ එක් දහසකට වඩා පුරවැසි තොරතුරු ඉල්ලීම් මේ පනත යටතේ ඉදිරිපත්ව ඇති බව වාර්තා වනවා. මෙය හොඳ ආරම්භයක්. ආරම්භක අඩුපාඩු ගැනම අවධානය යොමු කරනු වෙනුවට නිශ්චිත මහජන ප්‍රශ්න හා ගැටලු අරභයා තොරතුරු ඉල්ලීම් මතුවන ආකාරය අධ්‍යයනය කිරීම (හා එයට දිරි දීම) වඩාත් වැදගත්.
තොරතුරු නීතිය යටතේ තමන්ට පෞද්ගලිකව අදාළ කරුණක් ගැන රාජ්‍ය ආයතනයකින් ඉල්ලන්නට හැකියි. එසේම පොදු උන්නතිය සඳහා තොරතුරු විමසීමටද හැකියි. මේ දෙකම සිදුවීම ඇරැඹී තිබෙනවා. උදාහරණය කිහිපයක් බලමු.
නව නීතිය යටතේ තනි පුරවැසියකුට, කණ්ඩා යමකට මෙන්ම පුරවැසි සංවිධානයකටත් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. RTIWire.com නම් වෙබ් අඩවිය මෙවන් ඉල්ලීම් ගැන විස්තර එක් රැස් කර බෙදා ගන්නවා.
මන්නාරම් දිස්ත්‍රික්කයේ කුන්ජුකුලම් ගමෙහි පවුල් 71ක් තොරතුරු ඉල්ලීම් ගොනු කළේ තමන්ට කලක් තිස්සේ වී වගා කිරීමට රජයෙන් ලබා දී තිබූ ඉඩම්වල අනාගතය නිරවුල් කර ගැනීමටයි.
යුද්ධය හමාරවූ පසු වන සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුව මෙම ඉඩම්වල මායිම් සලකුණු කිරීම අරඹා ඇති බවත්, මේවා නැවත අත්පත් කර ගැනීමේ අවදානමක් ඇති බවත් ඔවුන් කියනවා. තොරතුරු ඉල්ලීම් හරහා ඔවුන් මේ ඉඩම්වල මිනුම් කළ පිඹුරුපත් හා අන් සියලු නිල ලේඛන ලබාගන්නට තැත් කරනවා. ඉල්ලීම් භාරගත් නමුත් මේ ලියන පෙබරවාරි 22දා තෙක් ප්‍රතිචාර ලබාදී නැහැ.
මේ අතර නීතිය ක්‍රියාත්මක වීම පටන් ගත් දවසේම මඩකළපුවේ කාන්තාවන් 12 දෙනකු තමන්ගේ සමීපතයන් මීට වසර කිහිපයකට පෙර අතුරුදන් වීම පිළිබඳ කුමන හෝ තොරතුරක් පතා තොරතුරු ඉල්ලීමක් භාරදීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, දිස්ත්‍රික් හා පළාත් පොලිස් මූලස්ථානවලට, මානව හිමිකම් කොමිසමට හා බන්ධනාගාර දෙපාර්ත මේන්තුවට ගියා.
ඔවුන් තැනින් තැනට යවනු ලැබුවා. නීතිය ගැන නිලධාරීන් දැනුවත් කරන්නට මේ කාන්තාවන්ට සිදු වුණා. බොහෝ නිලධාරීන් තොරතුරු නීතිය ගැනවත්, ඒ යටතේ ඔවුන්ගේ නව වගකීම් සමුදාය ගැනවත් දැන සිට නැහැ.
ඉන්දියාවේ “ද හින්දු” පත්‍රයේ කොළඹ වාර්තාකාරිය සමඟ සම්මුඛ සාකච්ඡා කරමින් මේ කන්තාවන් කීවේථ “නිලධාරීන් සමහරු ආචාරශීලීව අපට කථා කළා. එහෙත් බොහෝ අය අපේ දුක් වේදනා ගැන සංවේදී නැහැ. එක් නිලධාරියෙක් අපෙන් ඇසුවේ ඔබ වසර 8ක් බලා සිටියා වගේ තව දින කිහිපයක් ඉන්න බැරිද කියායි.”
මේ කාන්තාවන් තොරතුරු ඉල්ලීම හරහා අයැද සිටින්නේ අතුරුදන් වූ පවුල් සාමාජිකයන් ගැන මොනයම් හෝ හෝඩුවාවක්වත් ලබා දෙන්න කියා පමණයි. අවසානයේදී පොලීසිය එය භාර ගත්තද කුමන ප්‍රතිචාරයක් ලැබේද කියන්නට බැහැ.
බිම් මට්ටමේ මෙවැනි තොරතුරු ඉල්ලීම් රාශියක් එළඹෙන සති හා මාසවල අපට අපේක්‍ෂා කළ හැකියි. රජයේ බලපත් මත පදිංචිව සිටින හා ගොවිතැන් කරන ඉඩම්වල දිගු කාලීන අයිතිය නිරවුල් කර ගැනීම, සමෘද්ධි සහනාධාර තමන්ට නොලැබී අන් අයට ලැබීමට පදනම පැහැදිලි කර ගැනීම, තම පදිංචියට ආසන්න රජයේ පාසලකට තම දරුවා ඇතුළු කර ගැනීම ප්‍රතික්‍ෂේප වීමට හේතු විමසීම වැනි බොහෝ දැවෙන ප්‍රශ්නවලට පුරවැසියන්ට දැන් ඉලක්කගත තොරතුරු ඉල්ලීම් කළ හැකියි.
මේ අතර පොදු උන්නතියට වැඩ කරන සමාජ ක්‍රියාකාරිකයන්ට තොරතුරු නීතිය අමතර අවියක් වනවා.
විකල්ප ප්‍රතිපත්ති කේන්‍ද්‍රයේ (CPA) ක්‍රියාකාරිනියක් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන හා දෙපාර්තමේන්තුවට තොර තුරු ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් යුද්ධයේ මිනිස් ජීවිත හා දේපළ හානිය පිළිබඳව එම දෙපාර්තමේන්තුව 2013දී කළ (එහෙත් මේ දක්වා අප්‍රකාශිත) අධ්‍යයනය ලබා දෙන ලෙසයි.
මේ ඉල්ලීම කළ ඉරෝමි පෙරේරා මෙනෙවියට දෙපාර්තමේන්තුව මුලින් කීවේ එම වාර්තාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට LLRC- ලබා දී ඇති බවයි. එහෙත්(LLRC) කොමිසමේ නිලධාරීන් එබන්දක් දැන සිටියේ නැහැ. මේ නිසා ඇය එම වාර්තාව ඉල්ලා ජනලේඛන දෙපාර්තමේන්තුවට නිල තොරතුරු අයදුම්පතක් යොමු කොට තිබෙනවා. පෙබරවාරි 22දා තෙක් කිසිම ප්‍රතිචාරයක් නැහැ.
මෙසේ තොරතුරු ඉල්ලන පුරවැසියන් හා ඔවුන්ගේ සංවිධාන සමඟ හැංගිමුත්තං කෙළින්නට නව නීතියෙන් ඉඩක් නැහැ. තොරතුරු ප්‍රතික්‍ෂේප කළ හැකි නිශ්චිත සාධක අදාළ වන තැන්හිදී හැර අන් සැම විටෙකම තොරතුරු දිය යුතුයි. නැතිනම් දීමට නොහැකි හේතු ලිඛිතව දැක්විය යුතුයි.
තමන් වෙත රාජකාරි සඳහා එන මහජනයා රස්තියාදු කිරීම, ඉක්මනින් ඉටු කර දිය හැකි වැඩ කල් දැමීම ආදිය රජයේ කාර්යාලවල සුලබයි. මේවාද ටිකෙන් ටික හදාගත යුතුයි.
තොරතුරු නීතියට අනුකූල වන්නට රාජ්‍ය සේවකයන් සැමට බලපාන ආයතන සංග්‍රහය සංශෝධනය කැරෙමින් තිබෙනවා. නැහැ – බැහැ කියන්න ඇති ඉඩ එයින් තවත් අඩුවේවි.
රාජ්‍ය සම්පත් කළමනාකරණය කෙසේ සිදුවේ ද යන්න ගැන තොරතුරු නීතිය යටතේ පුරවැසියන්ට විමර්ශනය කළ හැකියි. උදාහරණයකට ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි තොරතුරු ඉල්ලීමක් කරමින් කුලියාපිටියේ මෑතදී විවෘත කළ වාහන නිපැයුම් සමාගමට ඒ සඳහා මහාභාරකරු යටතේ ඇති ඉඩමක් ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්න ප්‍රශ්න කරනවා. මේ ව්‍යාපෘතියෙන් රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය හා එයට සහන ලබාදී ඇත්නම් ඒ මොනවාද යන්නත් ඒ හිමියන් විමසා තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ අභ්‍යන්තර ලිපි ගනුදෙනු, උපදේශ, නියම, විද්‍යුත් තැපැල් පණිවුඩ මෙන්ම වෙනත් බොහෝ ලේඛන තොරතුරු නීතිය යටතේ පුරවැසියන්ට ඉල්ලා ලබා ගත හැකියි.
විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටම කැප වුණු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) තොරතුරු ඉල්ලීම් ගණනාවක් මුල් දින කිහිපයේම ඉදිරිපත් කළා.
ජනාධිපති හා අගමැති වත්කම් – බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටීම එයින් එකක්. කාර්යාල දෙකෙහිදීම ඉල්ලීම් දින මුද්‍රා තබා භාරගෙන තිබෙනවා.
අල්ලස් හා දූෂණ කොමිසමෙන් TISL අසා ඇත්තේ ගෙවී ගිය වසර 5 තුළ දූෂණ නඩු පැවරීම් කොපමණක් කළාද, එයින් කීයක් අවසන් වී දූෂිත චෝදනා තහවුරුවූවන්ට දඬුවම් ලැබුණාද යන්නයි.
එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැමිණිල්ලක් නැතිව වුව විමර්ශන කොට නඩු පැවරීමට කොමිසමට හැකියි. මේ නව බලය කෙසේ භාවිත කැරෙනවාද යන්නත් TISL විමසා තිබෙනවා.
මේ අතර ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන්නේ මෙරට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ පසුගිය වසර 5 තුළ ඉදිරිපත් කොට ඇති මූල්‍ය වාර්තාවල පිටපත් ලබා දෙන ලෙසයි. එය භාරගත් මැතිවරණ කොමිසම මේ වන විට අදාළ පිටපත් සඳහා වැයවන මුදල දන්වා තිබෙනවා.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය නම් තොරතුරු නීතියට තවම අනුගත නැති පාටයි. TISL නියෝජිතයන් එහි ගියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදන්ගත වකුගඩු රෝගීන් (CKDU) කීදෙනකු දැනට හඳුනාගෙන තිබේද හා ඔවුන්ට ලබාදෙන ප්‍රතිකාර මොනවාද යන විස්තර ලබා ගන්නයි.
මුලින් තොරතුරු නීතිය ගැන කිසිවක් නොදන්නා සේ ක්‍රියා කළ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්පසු සිය තොරතුරු නිලධාරියා එදින නැති නිසා ඉල්ලුම්පත්‍රය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා.
මෙය කනගාටුදායක තත්ත්වයක්. මහජනයාට සෘජුවම වැදගත්වන සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනයක් නොයෙක් සිල්ලර හේතු දක්වමින් තොරතුරු ඉල්ලීම් භාර ගන්නට මැලි ඇයි? සඟවන්නට යමක් ඇති නිසාද? නැත්නම් හරිහැටි තොතුරු කළමනාකරණය කොට නැති බැවින්ද?
මෙවැනි තත්ත්වයන් ඉක්මනින් සමනය කොට නීතියට අනුකූලව වැඩ කිරීම සියලු ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්.
තොරතුරු නීතිය මහජන නියෝජීතයන්ටද භාවිත කළ හැකියි. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසා බොහෝ විට එයට පිළිතුරු දෙන තුරු සති හෝ මාස ගණන් බලා සිටීමට සිදුවනවා. මේ නිසා එම තොරතුරුම අදාළ රාජ්‍ය ආයතනයෙන් තොරතුරු නීතිය යටතේ ඉල්ලීමක් ලෙස මන්ත්‍රීවරයකුට ගොනු කළ හැකියි.
මේ සඳහා දැනටමත් පෙරමුණ ගෙන සිටින්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයායි. පනත සක්‍රිය වූ වහාම ඔහු තොරතුරු ඉල්ලීම් ගණනාවක් ගොනු කළා. පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන්ට දී ඇති මත්පැන් අලෙවිසැල් බලපත් (බාර් ලයිසන්), වැලි ගොඩ දැමීමේ බලපත්, තීරුබදු රහිත සාප්පු අරඹන්නට බලපත්, ඉන්ධන අලෙවිසැල් බලපත් හා රජයේ ඉඩම් ලබාදීම් ගැන සියලු තොරතුරු ඔහු ඉල්ලා තිබෙනවා.
මේ කිසිවක් තොරතුරු පනතේ ප්‍රතික්‍ෂෙප කළ හැකි තොරතුරු නොවන නිසා ඒවා දින 14ක් (වැඩිම වුණොත් දින 28ක්) ඇතුළත ඔහුට ලැබිය යුතුයි. ඔහුට පමණක් නොව ඕනෑම පුරවැසියකුට මෙවන් තොරතුරු ඉල්ලිය හැකියි. එය ලද පසු ඒ තොරතුරු බෙදා ගන්නට හා ප්‍රසිද්ධ කිරීමටත් හැකියි.
මේ අතර මාධ්‍ය අමාත්‍යාංශයෙන් රාමනායක මන්ත්‍රීවරයා ඉල්ලා දැනටමත් ලබාගෙන ඇත්තේ එදා මෙදා තුර (1992 පටන්) නිකුත් කර ඇති ටෙලිවිෂන් විකාශ බලපත් හා ඒවාට අදාළ කොන්දේසි පිළිබඳ තොරතුරුයි. මේ තොරතුරු ඉන්පසු ඔහු කෙසේ භාවිත කරයිද යන්න අප හොඳින් බලා සිටිනවා.
තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මුලදී යම් අඩුපාඩු හා අතපසුවීම් තිබිය හැකියි. ඒවා හදාගෙන අප පෙරට යා යුතුයි.■