රාවය

රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය

රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය

වික්ටර් අයිවන්

බලය අල්ලා ගැනීමේ අදහ සක් පුනරුද ව්‍යාපාරයට නැතැයි කියන විට එය හාස්‍යජනක දෙයක් ලෙස සලකන අයද සිටිති. ගංගොඩවිල නිමල් මහරගේගේ නිවසේ පැවති සාකච්ඡාවේදී වෛද්‍ය මහාචාර්යවරයෙකු සිය කතාවේදී කීවේ බලය අල්ලා ගැනීමට අපේක්ෂා නොකරන ව්‍යාපාරයක් ගැන විශ්වාසයක් තැබීමේ හැකියාවක් තමන්ට නැති බවය. මෙය එම මහාචාර්යවරයාට පමණක් ආවේණික ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකිය. එසේ සිතන වෙනත් අයද සිටිති. සමහරෙකු එසේ සිතන්නේ මාක්ස්වාදී බලපෑම නිසාය. වඩා සරල ලෙස කල්පනා කරන අය සිතන්නේ බලය අල්ලා ගැනීමකින් තොරව රටේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද කියාය.

මාක්ස්වාදී මතය
නූතන මාක්ස්වාදී පමණක් නොව මාක්ස් එංගල්ස් ලෙනින් වැනි සම්භාව්‍ය මාක්ස්වාදීන්ද රජය පිළිබඳ දරන ලද මතය වූයේ රජය වූකලි නිර්ධන පන්තියෙන් එල්ලවන අභියෝගයන්ගෙන් ධනපති පන්තිය ආරක්ෂා කරගැනීම සඳහා පවත්වාගෙන යන විශේෂ බල මණ්ඩලයක් බවය. ඒ අනුව රජයේ හමුදාවන් සැලකෙන්නේද එම අරමුණ වෙනුවෙන්ම පවත්වාගෙන යන අවිගත් මිනිසුන්ගෙන් සමන්විත විශේෂ බල මණ්ඩලයක් වශයෙනි. ඒ නිසා පාර්ලිමේන්තුව හා සර්වජන ඡන්ද බලය සැලකෙන්නේද ධනපති ක්‍රමයේ සැබෑ ස්වරූපය වසන් කිරීම සඳහා පවත්වාගෙන යන සටකපට දේවල් ලෙසය. අනෙක් අතට මාක්ස්වාදීන් රජය දකින්නේ හැමදා පවතින දෙයක් ලෙස නොව එක්තරා ඓතිහාසික අවස්ථාවකදී අභාවයට යන දෙයක් ලෙසය.
එංගල්ස් ඒ ගැන කියා තිබෙන්නේ මෙසේය.
“නිර්ධන පන්තිය රාජ්‍ය බලය සියතට ගෙන හැමටම පළමුව නිෂ්පාදන මාධ්‍යයන් රජයේ අයිතියට පවරයි. එහෙත් එසේ කිරීමේදී නිර්ධන පන්තිය පන්තියක් වශයෙන් තමන්වම අහෝසි කරගන්නා අතර සියලුම පන්ති විශේෂත්වයන් හා පන්ති ප්‍රතිවිරෝධතාද විනාශ කරමින් රජයක් හැටියට රජයද විනාශ කරයි. පන්ති ප්‍රතිවිරෝධතා මත මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජයට රජයක් අවශ්‍ය විය.”
ඒ සමඟ එංගල්ස් කියන්නේ රජය ධනපති පන්තිය වෙනුවෙන් නොව මුළු මහත් සමාජයම වෙනුවෙන් පෙනීසිටින දාට රජය අනවශ්‍ය දෙයක් බවට පත්වන බවය. “පාගා දැමීමට පන්තීන් නොතිබුණු දාට, පන්ති අවශ්‍ය නොවන දාට, වත්මන් ආකූල නිෂ්පාදන පැවැත්ම නිසා ඇතිවී තිබෙන පෞද්ගලික ගැටුමුත්, එයින් පැනනගින සම්මත හා අතිරික්ත නිෂ්පාදනය ඉවත් කළ දාට පාගා දැමීමට කිසිවක් ඉතිරිවන්නේ නැත. මේ නිසා විශේෂ මර්දනකාරී බලවේගයක් හෙවත් රජය තවදුරටත් අවශ්‍ය නොවේ. රජය නියම වශයෙන් රජයේ නියෝජිතයා වශයෙන් කරන පළමුවැනි කාර්යය එනම් සමාජයේ නාමයෙන් නිෂ්පාදන මාධ්‍යයන් රජයට ගැනීම – රජය රජයක් ලෙස කරන ස්වාධීන අවසාන කාර්යයද වන්නේය. එක අංශයක හෝ තවත් අංශයක හෝ සමාජමය සම්බන්ධකම්වලට අත දැමීම එවිට අනවශ්‍ය කාර්යයක් වන අතර රජය අතුරුදන් වී යනු ඇත. පුද්ගලයන්ගෙන් යුතු ආණ්ඩුවක් වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන සංවිධානයක් ඇතිවෙයි. රජය අහෝසි කරනු නොලැබේ. එය අභාවයට යයි.”
මාක්ස්වාදී මතය අනුව පාර්ලිමේන්තුව සැල කෙන්නේද ධනපති පන්තියේ උපකරණයක් ලෙසය. ලෙනින් ඒ ගැන කියා තිබෙන්නේ මෙසේය.
“ධනපති පාර්ලිමේන්තුවේ නියම හරය වූ කලි අවුරුදු කිහිපයකට වතාවක් පාර්ලිමේන්තුව තුළින් ජනතාව මර්දනය කරන්නේත්, පෙළන්නේත් පාලක පන්තියේ කිනම් නියෝජිතයන් විසින්ද යන්න තීරණය කිරීමය. පාර්ලිමේන්තු ව්‍යවස්ථා ඇති රාජ්‍ය ආණ්ඩුවල පමණක් නොව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් තුළද මෙය මෙසේ සිදුවේ.”

සන්නද්ධ බලයෙන් බලය අල්ලා ගැනීම
මාක්ස්වාදී දර්ශනයට අනුව පාර්ලිමේන්තුවද ධනේශ්වර ආයතනයක් වන නිසා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමක් නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ නැත. නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ ධනපති පන්තියේ සන්නද්ධ බලයට එරෙහිව නිර්ධන පන්තිය සන්නද්ධ බලය යොදා රජය අල්ලා ගැනීමෙනි. එහිදී ජයග්‍රාහී නිර්ධන පන්තියට තිබුණු පැරණි රාජ්‍ය නිර්ධන පන්තියේ වුවමනාවන් සඳහා යොදාගත නොහැකිය. එය තමා බිඳ දමා විනාශ කර දැමිය යුතුය. ඒ වෙනුවට නිර්ධන පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටින නව රාජ්‍යයක් හා ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක්ද ගොඩනගා ගත යුතුය.
රාජ්‍ය හා රාජ්‍ය බලය අල්ලා ගැනීමට අදාළ මාක්ස්වාදයේ මත ඉගැන්වීම් රුසියාව චීනය වැනි සමහර රටවල අත්හදා බලන ලද බව අපි දනිමු. ඒ වෙනුවෙන් ගෙවන ලද වන්දිය අතිවිශාලය. ධනපතීන් හෝ ධනපති පන්තියට සේවය කරන සුළු ධනේශ්වරයන් ලෙස සලකා ලක්ෂ ගණනින් මිනිසුන් මරා දමන ලදි. ධනපති පන්තියේ දේපළ බලහත්කාරයෙන් රජයට පවරා ගනු ලැබීය. අවසාන විග්‍රහයේදී ඒ හැම රටකම පාහේ සමාජවාදයේ නාමයෙන් බිහිවුණේ කුරිරු දූෂිත හා ඒකාධිපති රාජ්‍යයන්ය.
සමාජවාදයේ නාමයෙන් ඒ රටවලට අදාළව සිදුකරන ලද අත්හදා බැලීම්වලට ආවේණික අවලස්සනම ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ පන්ති සතුරන් ලෙස සැලකෙන අය පමණක් නොව තමන්ගේම ව්‍යාපාරයේ මිනිසුන්ද විවිධ හේතූන් නිසා සතුරන් ලෙස සලකා ඝාතනය කිරීමය. ඔක්තෝබර විප්ලවයට උර දුන් නායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද මරා දමන ලදි. තවත් විශාල පිරිසක් හිර ගෙවල්වලදී මරණයට පත්විය. කාම්බෝජ විප්ලවයේදී අව් කණ්ණාඩි පළඳින හා ප්‍රංශ භාෂාව කතා කරන මිනිසුන් පවා පන්ති සතුරන් ලෙස සලකා ඝාතනය කරන ලදි.
මේ වනවිට සමාජවාදයේ නාමයෙන් බලහත්කාරී ආකාරයකින් ගොඩනගා ගත් සියලු රාජ්‍යයන් බිඳ වැටී ඇතත්, එම බිහිසුණු අත්හදා බැලීම් ඒ රටවල සමාජ දේශපාලන දේහයේ ඇතිවී තිබෙන විකෘතීන් අද දක්වා ජයගැනීමට ඒ රටවල් සමත් වී නැත.
ලංකාවේ විජේවීර හා ප්‍රභාකරන් කරන ලද අත්හදා බැලීම් අයත් වන්නේද ඒ ගණයටමය. ඒ නිසා විශාල ජීවිත විනාශයක් හා දේපළ විනාශයක් සිදුවූවා පමණක් නොව, ශ්‍රී ලංකා රාජ්‍යයේ හා සමාජයේ ඇති වී තිබෙන විකෘතියේ ප්‍රමාණයද අතිවිශාලය.
ජේවීපී හා එල්ටීටීඊ ප්‍රචණ්ඩ කැරලි කරළියට එන තෙක් ශ්‍රී ලංකාවට තිබුණේ උත්සව අවස්ථා සඳහාත්, ගංවතුර හා කලකෝලාහල වැනි විපත් සඳහාත් යොදා ගන්නා පුංචි හමුදාවකි. ආරක්ෂක හමුදාවන්ට ආයුධ වශයෙන් තිබුණේද 303 රයිෆල් වැනි යල් පැනගිය ආයුධය. ජේවීපී හා එල්ටීටීඊ කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණය පමණක් නොව ස්වභාවයද වෙනස් විය. ජනගහනයට අනුපාතිකයක් වශයෙන් ගත්විට දකුණු ආසියාවේ විශාලතම ආරක්ෂක හමුදාව සිටිනුයේ ශ්‍රී ලංකාවේය. බංගලිදේශයේ මිනිසුන් දශ ලක්ෂයක් සඳහා වැටෙන ආරක්ෂක හමුදා සෙබළුන් සංඛ්‍යාව 1000කි. ඉන්දියාවේ 1300කි. නේපාලයේ 2700කි. පාකිස්තානයේ 4000කි. ලංකාවේ 9000කි. ජේවීපියේ දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල කුරිරු වූ අතර එම කැරලි මර්දනය කෙරුණු ආකාරය ඊටත් වඩා කුරිරු විය. එම බිහිසුණු වටාපිටාව රාජ්‍යයේ ස්වභාවයද වෙනස් කිරීමට හේතුවිය. රාජ්‍ය චෞර, දූෂිත හා මංශ භක්ෂක රාජ්‍යයක් බවට පත්කිරීම හේතුවිය.
පුනරුද ව්‍යාපාරය මාක්ස්වාදයේ එන බලහත්කාරය හා සන්නද්ධ අරගල ප්‍රවේශය පිළිගන්නේ නැත. රාජ්‍යයේ පන්ති ස්වරූපය ගැන මාක්ස්වාදයේ එන විග්‍රහයද ඒ ආකාරයෙන් පිළිගන්නේ නැත. රාජ්‍යය කාලයාගේ ඇවෑමෙන් අනවශ්‍ය හෝ අභාවයට යන දෙයක් ලෙසද සලකන්නේ නැත. නිර්ධන පන්ති ඒකාධිපති පාලනයක් පිළිබඳ අදහසද පිළිගන්නේ නැත.

ඉන්දීය ආදර්ශය
ලෝකයේ මෙතෙක් සිදුවී තිබෙන ශ්‍රේෂ්ඨතම විප්ලවයන් ලෙස සැලකිය යුත්තේ රුසියානු හෝ චීන විප්ලවය නොව ඉන්දියාවට නිදහස උදාකර ගැනීමට බලපෑ ඉන්දීය නිදහස් ව්‍යාපාරයයි. එය ලෝකයේ බිහිවී තිබෙන විශාලතම බහුජන ව්‍යාපාරය ලෙසද සැලකිය හැකිය. එය ඉන්දියාවේ සියලුම පන්තීන්ට අයත් දශලක්ෂ සංඛ්‍යාත ජනතාවද, නානා විධ දෘෂ්ටිවාදයන් දේශපාලන සටන් ක්‍රියාමාර්ගයට යොමු කිරීමට හේතුවූ හා ඉතාමත් බලවත් අධිරාජ්‍යවාදී බලවතෙකු දණ ගැස්සවීමට සමත් වූද ව්‍යාපාරයක් විය. ඊට ආවේණික වැදගත්ම ලක්ෂණයක් වූයේ එම ව්‍යාපාරය ප්‍රචණ්ඩ සටන් ක්‍රමයක් වෙනුවට අහිංසාවාදී සටන් ක්‍රමයක් යොදා ගනිමින් එම දුෂ්කර අරමුණ ජයගැනීමය.
බීපන් චන්ද්‍ර ප්‍රමුඛ ශාස්ත්‍රාලයීය උගතුන් පස්දෙනකුගේ කර්තෘත් වයෙන් ලියා ඇති ‘ඉන්දියානු නිදහස් අරගලය’ නමැති කෘතියේ සඳහන් කර ඇත්තේ ඉන්දියානු නිදහස් අරගල ව්‍යාපාරය අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ව්‍යුහයක් සාර්ථකව ආදේශ කරනු ලැබීම හෝ පරිවර්තනය කරනු ලැබීම පිළිබඳව ඓතිහාසික අර්ථයෙන් ලෝකයට තිබෙන එකම හා තථ්‍ය නිදර්ශනය වන බවය. එසේ එය, බලය පිළිබඳ අරගලයක් පිළිබඳව පුළුල් වශයෙන් ග්‍රාම්ස්කියානු න්‍යාය සාර්ථකව භාවිතයට යොදන ලද එකම ව්‍යාපාරය ලෙසද සැලකිය හැකි බවය. එය රාජ්‍ය බලය අල්ලා ගනු ලැබුවේ විප්ලවයේ තනි ඓතිහාසික මොහොතකදී නොවේ. බලය අල්ලා ගනු ලැබුවේ සදාචාරමය, දේශපාලනමය හා දෘෂ්ටිවාදීමය මට්ටමෙන් ගෙන යන ලද දිග්ගැස්සුණු හා අහිංසාවාදී බහුජන අරගලයක් මගිනි. ප්‍රතිවිරුද්ධ ආධිපත්‍යයේ සංචිතයන් ගොඩනගන ලද්දේ එක අවස්ථාවකදී නොව වසර ගණනාවක් තිස්සේ විටින් විටය. අරගලයේ අදියර අතර නිෂ්ක්‍රීය අදියරද තිබුණි.
ඉන්දියානු නිදහස් ව්‍යාපාරය ඒක දෘෂ්ටිවාදයක් මත පදනම් වූ ව්‍යාපාරයක් නොවීම හා එය නානාවිධ දේශපාලන හා දෘෂ්ටිමය ප්‍රවාහයන්ට එකට ඉන්නට ඉඩදෙමින් ඒ සියලුදෙනාගේ ශක්තිය පොදු අරමුණක් සඳහා යොදා ගැනුණු පුළුල් ව්‍යාපාරයක් සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. එහි පැවති අනේකවිධභාවය එම ව්‍යාපාරයේ ඒකාග්‍රතාව ශක්තිමත් කළා මිස දුර්වල කළේ නැත.
පුනරුද ව්‍යාපාරය ඉන්දියානු නිදහස් ව්‍යාපාරය තමන්ගේ ප්‍රධානතම ආදර්ශ මාදිලිය ලෙස සලකතත් එම ව්‍යාපාරයේ අවිවේච නාත්මක අනුගාමිකයෙකු හෝ කාබන් කොපියක් වීමට අපේක්ෂා කරන්නේ නැත. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ඓතිහාසික මොහොත හා ලංකාවේ පුනරුද ව්‍යාපාරයේ ඓතිහාසික මොහොත එක සමාන නැත. ප්‍රමාණයෙන් සේ ම ගුණයෙන් ද එකිනෙකට වෙනස්ය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය ජාතිය ගොඩනගන අතර ඉන්දියානු ජාතික රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීමට උත්සාහ කළේ බලවත් විදේශ දේශපාලන සතුරකු අබිමුව තබාගෙනය. එහෙත් අපට ඒ වෙනුවෙන් ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ එවැනි විදේශ සතුරකු අබිමුව නැතිවය. ඔවුන් සටන් කළේ නිදහස දිනාගැනීම සඳහාය. අපට මතවාදීමය වශයෙන් හෝ සටන් කරන්නට සිදුවී තිබෙන්නේ නිදහස දිනාගැනීම සඳහා නොව මීට දශක හතකට ආසන්න කාලයකට පෙර බහුජන අරගලයකින් තොරව ලබාගෙන තිබෙන නිදහසේ තිබුණු බරපතළ වැරදි හා අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම සඳහාය.

ඉන්දියාව හා ලංකාව අතර වෙනස
ඉන්දියානු නායකයන්ට වැඩ කරන්නට සිදුවී තිබුණේ නූගත් වුවද යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය අභ්‍යන්තර උද්යෝගයක් තිබූ ජනතාවක් සමඟය. එහෙත් පුනරුද ව්‍යාපාරයට වැඩ කරන්නට සිදුවී තිබෙනුයේ ඊට වෙනස්ව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් නිසා අභ්‍යන්තර ශක්තීන් හිරිවැටුණු තත්ත්වයකට පත් ජනතාව සමඟය. නැතහොත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට වැඩ කරන්නට සිදුවී තිබුණේ පහසුවෙන් අවදි කරන්නට හැකි සමාජයක් සමඟය. එහෙත් පුනරුද ව්‍යාපාරයට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ අවදි කිරීම දුෂ්කර සමාජයක් සමඟය.
විදේශ ආධිපත්‍යයෙන් නිදහස්වීම ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රධාන අරමුණ විය. එම ප්‍රධාන අරමුණ තුළ ජාතිය ගොඩනැගීමේ හා රාජ්‍යය බලය අල්ලා ගැනීමෙන් රාජ්‍යය ගොඩනැගීමේ අතුරු අරමුණු දෙකක්ද අන්තර්ගතවී තිබුණි. එහෙත් ලංකාවේ පුනරුද ව්‍යාපාරයට ප්‍රධාන අරමුණකට ගන්නට සිදුවී තිබෙනුයේ නිදහස දිනා ගැනීම වෙනුවට රෝගී තත්ත්වයක තිබෙන සමාජ අධ්‍යාත්මය සුවපත් කොට සමාජ සවිඥානකත්වය ඉහළ මට්ටමකට ගැනීමය. ඒ අරමුණ වෙනුවෙන් සිදුකරන ක්‍රියාකාරීත්වය තුළ ජාතිය ගොඩනැගීමේ අරමුණද ජයගන්නා අතර දූෂිත හා ජරපත් තත්ත්වයක පත්ව තිබෙන රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන දියුණු සමාජ වටාපිටාවක් ඇතිකර ගැනීමය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට නිදහස දිනා ගැනීමේ අරගලය තුළ රාජ්‍යය බලය අල්ලා ගැනීමේ අරමුණක් ද තිබුණි. එහෙත් පුනරුද ව්‍යාපාරයට රාජ්‍යය බලය අල්ලා ගැනීමේ අරමුණක් නැත. රාජ්‍යය තිබෙන්නේ එය අල්ලා ගෙන පාලනය කළ හැකි තත්ත්වයක නොව හොඳටම කුණුවූ හා ජරපත්භාවයට පත්වය. එය අපේක්ෂා කරන්නේ සමාජයට පුනරුදය උදාකිරීම මගින් කුණුවූ හා ජරපත් තත්ත්වයට පත්ව තිබෙන රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුමෙන් හා සංවිධාන ශක්තියෙන් යුතු සමාජයක් ඇති කිරීමය.
රාජ්‍ය බලය අල්ලා ගැනීම ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන ඒකායන මාර්ගය ලෙස පුනරුද ව්‍යාපාරය සලකන්නේ නැත. විමුක්ති අරගල මගින් බලයට පත්වන නායකයන්ද දූෂිත හා පීඩකයන් බවට පත්විය හැක. එම තත්ත්වයට බලපා තිබෙන ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ බලය අල්ලා ගැනීමේ අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය තරමට මිනිසුන් දැනුවත් හා ජාලගත කොට බලය අල්ලා ගැනීමෙන් පසු එසේ ජාල ගත කරන ලද සමාජය ලිහා දමා ප්‍රශ්න විසඳීමේ තනි වගකීම නායකයන් අතට ගැනීමය. ඒ නිසා පුනරුද ව්‍යාපාරය විශ්වාසය තබන්නේ පුද්ගලයන් කෙරෙහි නොව සංවිධානය වූ සමාජය කෙරෙහිය. සංවිධානය වූ දියුණු සමාජයක් ඇති කරගත් විට රාජ්‍ය කටයුතු හැසිරවීමේ වැඩි බලයක් ලැබෙනු ඇත්තේ පුද්ගලයන්ට නොව සමාජයටය. එවිට පුද්ගලයන්ට ලැබෙන අතිවිශාල වැදගත්කම නැතිවී පද්ධතීන්ට ලැබෙන වැදගත්කම ඉහළ යනු ඇත. ඒ නිසා දූෂණ හා අකාර්යක්ෂමතාවට තිබෙන ඉඩද ඇහිරෙනු ඇත.
දැන් රටට ඉතිරි වී තිබෙන්නේ දූෂිත හා ජරපත් තත්ත්වයකට පත් රාජ්‍යයකි. ඊට ගැළපෙන ලෙස දූෂිත හා ජරපත් තත්ත්වයට පත්ව තිබෙන ආයතන ක්‍රමයකි. නීතිය පාලනය, ආණ්ඩුක්‍රමය හා රාජ්‍යය පාලනය තිබෙන්නේද වල් වැදුණු තත්ත්වයකය. සියල්ල තිබෙනුයේ බලය අල්ලා ගැනීමකින් පමණක් ගොඩගත නොහැකි ජරපත් තත්ත්වයකය. රාජ්‍යය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට හෝ රාජ්‍යයට මුක්කු ගැසීමට පුනරුද ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ නැත. රාජ්‍යයට වෙන දෙයක් වෙන්නට ඉඩහැර සමාජයට ශාන්තිය හා ප්‍රඥාව ලබාදෙන ක්‍රියාමාර්ගයක් මගින් නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීම පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂාවයි.
ඒ ක්‍රියාවලියේදී පුනරුද ව්‍යාපාරය ප්‍රමුඛ වැදගත්කම ලබාදෙනු ඇත්තේ රාජ්‍යයට නොව සමාජයටය. එය රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂා කරන්නේ පළමු කොට සමාජය ප්‍රතිනිර්මාණය කෙරෙන ක්‍රියාමාර්ගයක් ඔස්සේය.
පුද්ගලයාගෙන් පටන් ගෙන පවුලද පවුල හරහා සමස්ත සමාජයද ප්‍රතිනිර්මාණය කිරීම පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂාවයි. කුලය මුල් කරගත් උස් පහත් භේදයෙන් තොර වර්ග හා ආගම් භේදයෙන් තොර, මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඔළු අවුල් නොකර ගත් විද්‍යාත්මක ලෙස හා සාධාරණ ලෙසත් කල්පනා කරන නවීන සමාජයක් ගොඩ නැගීම පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැකිය. එවැනි සමාජයක් බිහිවන විට එම සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස උත්තර නිර්මිතයද වෙනස් වනු ඇත. නැතහොත් එසේ ගොඩනැගෙන දියුණු සමාජය සමාජයේ දියුණුවට ගැළපෙන ලෙස උත්තර නිර්මිතයද වෙනස් කරගනු ඇත.
එවැනි සමාජ වටාපිටාවක් තුළ දේශපාලනයද, ආගමද, කලාව හා සාහිත්‍යයද වෙනස් වනු ඇත. දේශපාලකයන්ගේ හා පූජකයන්ගේ ස්වභාවය පමණක් නොව වෘත්තීය වේදීන්ගේද ස්වභාවය වෙනස් වනු ඇත. චෞර හා රස්තියාදුකාර දේශපාලක යන් වෙනුවට මහජන විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලකයන් බිහිවනු ඇත. ආගමේ නාමයෙන් ජනතාව ගසා කන පූජකයන් වෙනුවට මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන පූජකයන් බිහිවනු ඇත. වෘත්තීය ආචාරධර්ම නොසලකා ක්‍රියාකරන වෘත්තීයවේදීන් වෙනුවට වෘත්තීය ආචාර ධර්ම මත ක්‍රියාකරන හදවත් ඇති වෘත්තීයවේදීන් බිහිවනු ඇත. එවිට විද්‍යාව, කලාව, දේශපාලනය යන හැම අංශයකමත් නව නිපැයුම් හා නව නිර්මාණ බිහිවනු ඇත. රටේ අභ්‍යන්තර සමඟිය හා විනය තහවුරු වී නීතියේ පාලනය රජයන රටක් බවට පත්වී රටේ ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවගේද ආදරයට හා ගෞරවයට හේතුවන රටක් බවට පත්වනු ඇත.■