ජාත්‍යන්තර පොරොන්දු


kathu

පසුගිය ආණ්ඩුව බලයෙන් පහ කරන්නට රටේ ජනතාව තීන්දුව ගත්තේ, දේශීය ව ආණ්ඩුවත් ආණ්ඩුවේ නායකයන් පිරිසත් අත්කර ගත් ජන විරෝධය මත පමණක් නොවේ. ඒ පාලන කාලය තුළ ජාත්‍යන්තර තලයේ ලංකාව අත්කර ගෙන තිබූ අපකීර්තිය ද ඊට හේතු විය. ඒ ජාත්‍යන්තර අපකීර්තිය හේතුවෙන් රටක් වශයෙන් ලංකාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි අනාගත අවදානම ගැන ඒ කාලයේ බොහෝ සංවාද සිදුවිය.
අලුත් ආණ්ඩුවක් පත්වන්නේ, ලංකාව එතෙක් අත්කරගෙන සිටි අපකීර්තිමත් තත්ත්වය ආපසු හරවා ජාත්‍යන්තර සමාජය තුළ ලංකාවේ හොඳ නම නැවතත් අත්පත් කර ගැනීමේ පොරොන්දුවක් ද සමඟ ය. වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විශේෂයෙන් විදේශ ඇමතිවරයාත් තැබූ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී හා ඉදිරිගාමී පියවර ඒ වියැකී තිබුණු ජාත්‍යන්තර ප්‍රසාදය නැවතත් ලංකාවට ලබා ගන්නට මග සකස් කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයන් අතර බලවත් සම්භාවනාවට ලක්වන නායකයකු බවට පත්විය. ජාත්‍යන්තර සංවාද මණ්ඩපවල දී ලංකාවටත් විශේෂ අසුනක් හිමිවිණි.
ඊට අමතර ව එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළ ලංකාව යළි බලාපොරොත්තු සහගත දේශයක් බවට පත්විය. ලංකාව තවදුරටත් කොන් කරනවා වෙනුවට, ලංකාව සමඟ සහයෝගයෙන් රටේ මානව අයිතිවාසිකම් පරිසරය වැඩිදියුණු කිරීමට වැඩ කිරීමේ මාර්ගයට ලෝකයේ රටවල් මාරුවුණේ ය. එහි ප්‍රතිඵල ලෙස, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ පවා ලංකාවට සහයෝගී ප්‍රතිචාරයක් ලබා ගත හැකි විය. යුරෝපා සංගමයට ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් පැනැවී තිබුණු තහනම ඉවත් විය. ජීඑස්පී ප්ලස් සහනය ගැන නැවතත් ලංකාවට බලාපොරොත්තු තබා ගත හැකි තත්ත්වයක් ඇති වුණේ ය.
එහෙත්, ඒ දේවල් සිදුවන්නේ කොන්දේසි විරහිත ව නොවේ. පසුගිය ආණ්ඩුව මෙන් නොව, තමන් ලංකාවේ මානව හිමිකම් තත්ත්වයන් ප්‍රවර්ධනය කරන්නට කැප වී සිටිනවා ය යන පොරොන්දුව වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දීම නිසා ය. ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් ලංකාව හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත්තේ ඒ පොරොන්දුව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඉටු කරනු ඇත්නම් පමණකි. අන්තවාදීන් කියන විදියට ඒ පොරොන්දු ඉටු කිරීම වනාහි රට අධිරාජ්‍යවාදීන්ට පාවා දීමක් නම් නොවේ. ශිෂ්ට ජන සමාජයක් හැටියට ලෝකයේ පිළිගත් මූලික ප්‍රතිපත්තිවලට අනුගත වීමකි. ඒවායින් ලැබෙන ප්‍රතිඵල එක් අතකින් ආර්ථික වශයෙන් පලදායක ය. ඊටත් වඩා, ලංකාවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් හා නිදහස දියුණු කරන්නට හේතු වන්නේ ය.
එහෙත්, දැන් ආණ්ඩුව ජාත්‍යන්තර පොරොන්දු හා දේශීය භාවිතාව අතර උභතෝකෝටිකයක පැටැලී සිටින බව පෙනෙයි. තමන් ජාත්‍යන්තර සමාජයට පොරොන්දු වූ දේවල්, තමන්ට වුවමනා හැටියට ආපස්සට දැමිය හැකි බවටත්, අවශ්‍ය අවස්ථාවන්හි දී ඒවා නොසලකා හැර සිටිය හැකි බවටත් ආණ්ඩුව වැරදි ලෙස කල්පනා කරන බවක් පෙනෙයි. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ඒ සමහර පොරොන්දු ඉටු කිරීමට සාධාරණ කාලයක් ඉල්ලා ලබා ගත හැකි බවටත්, සමහර පොරොන්දු සම්බන්ධයෙන් පිළිගත හැකි සංශෝධනයන් කළ හැකි බවටත් සැකයක් නැත. එහෙත්, ඒ පොරොන්දු නොසලකා හැරීමට නම් ඉඩක් නැති බව ඉතා පැහැදිලි ය.
ඒ පොරොන්දු ගැන ප්‍රමාණවත් ලෙස සැලකිල්ලක් නොදැක්වීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල දැනටත් ලංකාව අත්විඳිමින් සිටියි. පසුගිය දිනවල ආණ්ඩුව මහත් උද්දාමයෙන් උපුටා දැක්වූ ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට ලබා දීම ගැන යුරෝපා සංගමය තවදුරටත් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. ඒ ගැන තීරණය ගැනීම මැයි මාසය දක්වා කල් තබා තිබේ. ඒ ජීඑස්පී ප්ලස් ලබාගැනීම සඳහා ලංකාවේ රජය ඉටු කළ යුතු මූලික වගකීම් මෙතෙක් ඉටු කර නැති නිසා ය. මේ තත්ත්වය අයහපත් බව අලුතෙන් කිව යුතු නැත.
දේශීය තත්ත්වයන් සලකා බැලීම අවශ්‍ය වන්නා සේ ම ජාත්‍යන්තර පොරොන්දු ඉටු කිරීම ද අත්‍යවශ්‍ය වන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. ජනවාරි 8 වැනිදා වෙනසට දායකවූවන්ගේ බලාපොරොත්තුව යළිත් ලංකාව ජාත්‍යන්තර වේදිකාවේ මුල්ලකට දැමෙන ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුව ද අනුගමනය කරනු දකින්නට නොවේ.■