විහාරමහාදේවි උද්‍යානයේදී අත්සන් කළ ගිවිසුමට මොකද වෙන්නේ?

මහාචාර්ය සරත් විජේසූරිය

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ 2015 දී පැවැත්වුණු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරමහාදේවී උද්‍යානයේ දී ප්‍රසිද්ධියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. සංවිධාන හතළිස් නවයක් අත්සන් කළ ඒ ගිවිසුමේ කොන්දේසිවලට අද වගකීමට බැඳී සිටින්නේ කවුරුන් ද? ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයට මත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සෝභිත හිමියන් ගිවිසුමක් අත්සන් කළ අතර, ඊට සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් අත්සන් කළ බව ප්‍රසිද්ධ කාරණාවකි. එනමුත් ඒ ගිවිසුම සක්‍රීය වන්නේ ජනාධිපතිවරණයට අදාළ ගිවිසුමට යටත්ව බව පිළිගත යුතුය. කෙසේ වෙතත් මේ ගිවිසුම් දෙක සම්බන්ධව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා අද එතුමන්ලාගේ ස්ථාවරයන් වෙනස් කර තිබෙන්නේ ද?
කවර මැතිවරණයක දී වුව නායකයන් ප්‍රතිඥා ලබා දෙන්නේ ජන වරමක් ලබා ගැනීම වෙනුවෙනි. ඒ ප්‍රතිඥාවලට ගරු කරමින්, ජන වරමක් ලබා දෙන ජනතාව ඉක්බිතිව ඒ ප්‍රතිඥා ඉටු වන අන්දම දෙස බලා සිටින්නේ එක්තරා නොයිවසිල්ලකිනි. මැතිවරණයක දී ලබා දෙන ප්‍රතිඥා කියන අන්දමටම, කඩිනමින් ඉටු කිරීම අපහසු බව පිළිගත හැකි කාරණාවකි. ඉන් අදහස් වන්නේ ප්‍රතිඥා ඉටු කළ නොහැකිය යන්න නොවේ. සැබවින්ම වැදගත් වන්නේ ප්‍රතිඥා ඉටු කිරීම වෙනුවෙන් ගන්නා අවංක උත්සාහය සහ කැපවීමයි.

ගිවිසුම සහ විශ්වාසය
සමාජ ව්‍යාපාරයක් සමඟ රාජ්‍ය පාලනය වෙනුවෙන් වරමක් ලබා ගැනීම සඳහා කවුරුන් හෝ අත්සන් තබන ගිවිසුමක් නීතියට අනුව මොන තරම් බලසම්පන්න ද? ඒ ගිවිසුමට අදාළ පාර්ශ්වයන්ට එහි ඇතුළත් වගන්ති උල්ලංඝනය කිරීම හේතු කොට ගෙන අධිකරණය වෙත යා හැකි ද? අධිකරණය වෙත ගියත් නීතියට අනුව කළ හැකි යමක් තිබේ ද?
සමාජ ව්‍යාපාරයක් සමඟ අත්සන් තබන ගිවිසුමකට මූලික වන්නේ විශ්වාසයයි. විශ්වාසය බිඳ නොදැමීම ගිවිසුම බලාත්මක කිරීම වෙනුවෙන් වගකිව යුතු පාර්ශ්වයේ වගකීම වේ. අද වන විට නීති ගරුක පුරවැසියන් පසු වන්නේ විශ්වාසය කිසියම් සැකයකට භාජනය වූ තත්වයක නොව, විශ්වාසය බරපතළ අන්දමට බිඳ වැටුණ තත්වයකය. මේ සම්බන්ධ යථාර්ථය අවබෝධ කර ගැනීම හා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෙරමං බැලිය යුතුය.
අලුත් පාලකයන් මේ අවස්ථාවේ කල්පනා කරන කාරණා දෙකක් තිබෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වන්නේ, මහින්ද රාජපක්ෂ මොන තරම් අවලස්සණ අන්දමට බල අරගලයක් දියත් කළත් ඔහුට යළි බලයට පත්වීමට මහජන වරමක් නොලැබෙන්නේය යන්න කෙරේ තිබෙන විශ්වාසයයි. දෙවැන්න ආණ්ඩුව කෙරේ විශ්වාසය බිඳ වැටුණත් නීති ගරුක පුරවැසියන්ට වෙනත් විකල්පයක් නැත යන විශ්වාසයයි. ආණ්ඩුව දිවි නසා ගන්නේ මේ දෙවැනි කාරණාව හෝ උපකල්පනය නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන යක් පවතින රටක පුරවැසියන්ට ප්‍රථමයෙන් කළ හැකි වන්නේ කිසියම් විශ්වාසයකට අනුගතව කිසියම් නායකයෙකුට වරමක් ලබා දීමටයි. ඒ වරම ලබා දීමෙන් අනතුරුව පුරවැසියන්ගේ වගකීම නිමා වේ. ඉක්බිතිව වගකීම තිබෙන්නේ ජන වරමෙන් බලයට පත්වුණ පාලකයන්ටය. එහිදී පාලකයන් කෙරේ පුරවැසියන් තබන ලද විශ්වාසය බිඳ දමන තත්වයක් විiමාන වන විට කවර සමාජ සංදර්භයක වුව අසහනයක් මෝදු වන්නේය.
2014 දෙසැම්බර් පළමුවැනිදා විහාරමහාදේවි උiානයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ පළවෙනි කොන්දේසිය මෙසේය.
‘දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය මාස හයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇති කෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර, ජනාධිපති ධුරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද, ජනාධිපති ධුරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීමට ද කටයුතු කරනු ඇත.’
2015 ජූලි විසි අට වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ පළවෙනි කොන්දේසිය මෙසේය.
‘නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් පහත සඳහන් ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම. ජනාධිපති ආණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර පාර්ලි මේන්තුවාදය ස්ථාපනය කිරීම. එසේ වුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් ධුර කාල සීමාව අවසන් වූ පසුව ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම
උක්ත ගිවිසුම් අත්සන් කොට මහජන වරමක් ලබා වසර දෙකකට වැඩි කාලයක් සහ ආසන්න කාලයක් ගතවී ඇතත් මේ ගිවිසුම්වලට අත්සන් කළ නායකයන් දෙපළටම රටට දුන් ප්‍රතිඥා ඉටු කිරීමට නොහැකි වී ඇත. මේ ප්‍රතිඥා ඉටු කිරීමේ න්‍යාය පත්‍රයක් ද නැත. ආණ්ඩුවට මේ ප්‍රතිඥා ඉටු කිරීමට බල කිරීම උදෙසා ගොඩ නඟන සමාජ ව්‍යාපාරයක් අරාජිකත්වය කරා යන ගමන නිම කිරීම සඳහා අවශ්‍ය වන්නේය. මෙහිදී පාලකයන් නිසැකවම මහජන අධිකරණයක් අබිමුවට කැඳවීම සිදු වන්නේමය. එය විතැන් කිරීමට නොහැකි තැනකට පුරවැසියන් පෙළ ගැසෙන අන්දම විiමාන වේ. එය සැබවින්ම ප්‍රශස්තය.

බහුරූ කෝලම්
2015 ජනාධිපතිව රණයෙන් පොදු අපේක්ෂකයා පරාද වී නම්, අද ජනාධිපතිවරයා සමීපයේ සිටින ශ්‍රීලනිපයේ බහුතරය සිටින තැන කිවයුතු නොවේ. ඔවුන් පොදු අපේක්ෂකයාට පමණක් නොව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාගේම ඉරණම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ අණසක ක්‍රියාත්මක වන අන්දම දෙස සතුටින් බලා සිටිනවා පමණක් නොව, ඒ කටයුතු සාධාරණීකරණය කිරීමට විවිධ නාටක රඟ දැක්වීම ද සිදු කරනු ඇත.
ජනාධිපතිවරණ සමයේ දී එස්බී දිසානායක පැවසුවේ චන්ද්‍රිකා නිරුවතින් පාරේ ඇවිද්දවන බවයි. ඩිලාන් පෙරේරා සෝභිත හිමියන් වෙනුවෙන් වස කුප්පි සූදානම් කොට මාධ්‍ය හමුවක දී ඒවා ප්‍රදර්ශනය කිරීමක් ද සිදු කළේය. මේ දෙදෙනා අද ජනාධිපතිවරයාට ඉහළින් සිට කටමැත fදාඩවන අන්දම අසෝභන බව ජනාධිපතිවරයාට නොවැට හෙන්නේ ද? පොදු අපේක්ෂකයා සෙවීමේ ක්‍රියාදාමය තුළ භාරධුර වැඩ කොටසක් සිදු කළ ජයම්පති වික්‍රමරත්න මහතාට අවිනීත අන්දමින් ෆායිස් මුස්තාපා අවමන් කරන විට ද ජනාධිපතිවරයා නිහඬය. මේවා ඉතා අවලස්සණය, කනගාටුදායකය.
මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනයට විරුද්ධව පුළුල් සමාජ බලවේගයක් රට තුළ සීරුවට ගොඩ නැඟෙන විට මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයෙකු ලෙස රාජපක්ෂලාගේ නොසලකාහැරීම්වලට ලක්ව සිටි ප්‍රධානම චරිතයයි. එහෙත් එතුමා රට තුළ ගොඩ නැඟෙමින් තිබුණ පුළුල් සමාජ බලවේගය සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වූවේ නැත. ඒ බලවේගය පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණය වෙනුවෙන් පෙරමුණට ගෙන ආවේ චන්ද්‍රිකා මැතිනියයි. ඉතා සරලව පවසන්නේ නම්, වත්මන් ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැදිහත්වීම් හා කැපවීම් ඔස්සේ බිහිවුණ බව අමතක නොකළ යුතු මෙන්ම, අවතක්සේරුවට ලක් නොකළ යුතු කාරණාවකි. එබැවින් ඇයට අවමන් කිරීමේ ක්‍රියාකලාපය දිගින් දිගටම අද තමන් නායකත්වය දෙන ශ්‍රීලනිපය හරහා සිදුවීම හා, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬ පිළිවෙත සිවිල් සමාජයේ අප්‍රසාදයට හේතු වී තිබේ.
19 වෙනි සංශෝධනයෙන් යමක් සිදු වුණ ද, ජනාධිපතිවරයා සතු බලය තවමත් පැහැදිලිය. තමන් ජනාධිපති පදවිය උසුලන නිසා තමන් ළඟ ඇතැමුන් කේවට්ටයන් වී සිටීම ජනාධිපතිවරයා ගැඹුරින් වටහා ගත යුතුය. අද එතුමා ළඟ සිටින කේවට්ටයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමට දින තුනකට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී පවසා තිබෙන්නේ ජයග්‍රහණය උදෙසා කළ යුතු අනිවාර්ය දෙයක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට මොනවා හෝ කළ යුතු බවය. කළ යුතු දේ ගැන ගෝඨාභයට කෙළින්ම පවසා නැත්තේ එසේ පැවසීම අවශ්‍ය නැති නිසා බව පැහැදිලිය. ගෝඨාභය කළ යුතු දේ පසුවට තබා යම් පියවර කිහිපයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණය සඳහා වූ යාන්ත්‍රණයෙන් ඉවත් කිරීමට ගෙන තිබේ. ඉන් එක් පියවරක් ලෙස කුප්‍රකට භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙරමුණ ගෙන සිටි භික්ෂූන් වහන්සේ නමක් කිසියම් කටයුත්තකට යොදවා ඇත. ඒ අනුව උන් වහන්සේ මංගල සමරවීර අමාත්‍යවරයා මුණගැසී පවසා තිබෙන්නේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරණ ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ ඉල්ලීම ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ද සිදු කර ඇත. මේ දෙදෙනාම මේ භික්ෂුවට තරයේ fදාස් නඟා ඒ අවිනීත පිළිවෙත හෙළා දැක තිබේ. ඉක්බිතිව ගෝඨාභය රාජපක්ෂ සිදු කර තිබෙන්නේ චන්ද්‍රිකා මැතිනියට හිතෛෂී පුද්ගලයකු සිය නිලනිවසට කැඳවා භෝජන සංග්‍රහයක් ලබා දී චන්ද්‍රිකා මැතිනිය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවත්, ඊට අවස්ථාව උදා කර දෙන ලෙසත් ඉල්ලා සිටීමය. මේ වග මේ පුද්ගලයා චන්ද්‍රිකා මැතිනිය මුණගැසී පවසා සිටි විට ඇය දුන් පිළිතුර මේ පුද්ගලයාගෙන්ම මට දිනෙක අසන්නට ලැබිණි. ඇය දී තිබෙන පිළිතුර මෙසේය.
“….මම සේරම දේවලින් ඉවත් වෙනවා. මගේ ඉල්ලීම මේකයි. ගෝඨා, මහින්ද, බැසිල් කියන තුන් දෙනා ලොකු ගල්ගෙඩි කකුල්වල බැඳ ගෙන මහ මුහුදට පනිනවා නම් මම හැමදේම අත්අරින්න ලෑස්ති බව ගිහින් කියන්න….”
මීට අදාළව තවත් කිව යුතු දෙයක් ඇත. ඒ කුමක් ද? මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම්, හොරගොල්ල වටකර චන්ද්‍රිකා මැතිනියට රටින් පිටව යෑමට ඉඩ නොදී අල්ලා ගෙනඒමට එක් හමුදා ඛණ්ඩයක් නිට්ටඹුවේ ද, තවත් හමුදා ඛණ්ඩයක් යක්කලට නුදුරින් ද සීරුවෙන් තබා ඇත. මේවා අතිසරල කාරණා නොවන්නේය.
මේ කාරණා මෙහිදී සිහිපත් කළේ පොදු අපේක්ෂකයා සොයා ගැනීම හා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක චරිතය චන්ද්‍රිකා මැතිනිය බව පෙන්වා දීමටත්, පොදු අපේක්ෂකයා පරාද වී නම් පොළොවෙන් අඩි හයක් ඉරණම ප්‍රථමයෙන්ම අදාළ වන්නේ කාට ද යන්න සලකා බැල’ිමටය.
මේ වන විට තත්වය කුමක් ද? සිදු වෙමින් තිබෙන ඇතැම් කාරණා සම්බන්ධ ඇතැම් නීති ගරුක පුරවැසියන්ගෙන් චෝදනා ලබන්නේ, ප්‍රහාරවලට ගොදුරුවන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. මේ චෝදනාව විවිධ ස්වරූපවලින්, විවිධ ස්වරවලින් නඟන අවස්ථා කිහිපයක දී ඇය නිහඬව බිම බලා සිටි අවස්ථා මම දුටුවෙමි.
පක්ෂයේ නායකයා ලෙස නොව, ජනාධිපතිවරයා ලෙස නොව, තමාගේ දේශපාලන පක්ෂයේ නායකයාට ගරු කරන කෙනෙකු ලෙස අද ජනාධිපතිවරයා, පොදු අපේක්ෂකයා වීමට තමන්ට ආරාධනා කළ චන්ද්‍රිකා මැතිනියට තමා සමීපයට ගත් පුද්ගලයන් දිගින් දිගටම අවිනීත ලෙස ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කළ යුතුව තිබුණි. තමන් සමීපයට පැමිණ තම සිත සුවපත් වන කතා කියන පුද්ගලයන්ට, යළි මහින්ද රාජපක්ෂ සමඟ එක් වීමට අවශ්‍ය වන්නේ එක රැයක් පමණි.

සිවිල් සමාජය හෙළා දැකීම
ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපයේ ඡන්ද වැඩියෙන්ම ලැබුණේ මහින්ද රාජපක්ෂටයි. එබැවින් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නේ ශ්‍රීලනිපයේ ඡන්දවලින් නොවන බව කිව යුතු නැත. කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ කේවට්ටයන් වටහා ගත යුතු කාරණාවක් තිබේ. එය නම්, පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් හා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණ සියලු දෙනාම එජාපයේ සාමාජිකයන් නොවේය යන්න හොඳින් තේරුම් ගත යුතුය. මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා නිවට ලෙස දරදිය අදින ලද, පොදු අපේක්ෂකයාට අවමන් කරන ලද, කේවට්ටයන් මහින්ද රාජපක්ෂ හැර දමා පොදු අපේක්ෂකයා වෙත පැමිණෙන්නේ වාසි පිලට හෝයියා යන න්‍යාය ඔස්සේය. ඔවුහු මුදලින් හෝ වචනයෙන් හෝ පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණය වෙනුවෙන් දායකවූවෝ නොවෙති. එහෙත් ඔව්හු තමන් විසින් පරාද කර දැමීමට වෙර දරන ලද පුද්ගලයා වෙත පැමිණ කලදවස යහපත් කරගෙන සිටිති. තමන් කළ දූෂණ වංචා ද ගෙඩි පිටින් වල දමා ගැනීමට ඔවුහු සමත්ව සිටිති. මේ පුද්ගලයන් ඇඳුම් අඳින්නේ මොනවාටදැයි නොදනිමි. මේ අවස්ථාවාදීන්ට සිවිල් සමාජය රුස්සන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ අරමුණ පරාද කිරීමට සිවිල් සමාජය දායක වූ බැවිනි. එය පැහැදිලිය. ප්‍රශ්නය වන්නේ ජනවාරි 08 වෙනිදා පොදු අපේක්ෂකයා ලෙස රට අබිමුව තබන ලද ප්‍රතිඥා වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ තිබෙන කාර්යභාරය සිවිල් සමාජයට අමතක කිරීමට නොහැකිවීමයි. ඒ වෙනුවෙන් සිවිල් සමාජයට කිසියම් අරගලයක් කිරීමට සිදුව තිබේ. එය නුරුස්සන අවස්ථාවාදීන් හා කේවට්ටයන් සිවිල් සමාජය යූඇන්ප’ ගැත්තන් බවට හංවඩු ගසමින් තමන්ගේ පහත් ගතිලක්ෂණ විදහා දැක්වීම සිදු කිරීමේ අනතුර මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. තමන්ගේ මට්ටමින් සිවිල් සමාජය තක්සේරු කොට, අවිනීත හංවඩු ගැසීමේ ජරාජීර්ණ පිළිවෙතට තිත තැබීමට ජනාධිපතිවරයා පියවර නොගතහොත් අත්විය හැකි ඉරණම බරපතළ බව අවධාරණයෙන් පැවසිය යුතුය.
සිවිල් සමාජය ජනාධිපතිවරයාගෙන් ලබා ගත් දෙයක් නැත. ලැබීමට අපේක්ෂා කරන දෙයක් ද නැත. මහින්ද රාජපක්ෂගෙන් ඇති පදම් ඵල නෙළා ගත් ජඩ බඩගෝස්තරවාදීන් හිරිකිතයක් නැතුව අද ජනාධිපතිවරයා සමීපයේ සිට පල් වල ඉහ ගෙන කන සැටි හිරිකිතය. ජනාධිපතිවරයා මේ තක්කඩි බඩගෝස්තර වාදීන්ට ඔටුනු පැළැන්දවීම ගැන සිවිල් සමාජයට තිබෙන්නේ පිළිකුලකි. ජනාධිපතිවරයාගෙන් ඔටුනු පළඳවාගෙන සිටින ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ සමඟ ද, බැසිල් රාජපක්ෂ සමඟ ද, නාමල් රාජපක්ෂ සමඟ ද පවත්වන රහස් සම්බන්ධතා ජනාධි පතිවරයා නොදන්නාකම නොව අද සිවිල් සමාජයට ප්‍රශ්නය වී තිබෙන්නේ, දැනගෙන තිබෙන ඇතැම් කාරණා ද විශ්වාස නොකිරීමය. එහි ඵලවිපාක ප්‍රථමයෙන් විඳින්නට සිදු වන්නේ එතුමාටය. එබඳු අවස්ථාවක කේවට්ටයන් වේලාපහින්ම අතුරුදන්ව සිටිනු ඇත.
පොදු අපේක්ෂකයා පරාද කිරීමට කැපවුණ, අද ජනාධිපතිවරයාට සමීපව සිටින ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන් පොදු අපේක්ෂකයා සහ සිවිල් සමාජය අතර ඇතිවුණ අවබෝධතා ගිවිසුම් ඉවතලා තමන්ට අභිමත න්‍යාය පත්‍රයක් බලාත්මක කිරීමට වෙර දැරීම සාහසිකය, සාපරාධීය. සිවිල් සමාජයට ජනාධිපතිවරයා දැන් පවසන්නේ ශ්‍රීලනිපය සමඟ අවබෝධතා ගිවිසුම් ගැන වග බලා ගන්නා ලෙස ද? අදහස එය වන්නේ නම්, ඊට දෙන්නට තිබෙන පිළිතුර පැහැදිලිය. ශ්‍රීලනිපයේ යෝධ ශක්තියට පොදු අපේක්ෂකයාගේ ජය ග්‍රහණය වෙනුවෙන් මේ රටේ නීති ගරුක පුරවැසියෝ මුහුණ දුන්හ. යළි වතාවක් මුහුණ දීමට නීති ගරුක පුරවැසියන්ට හැකිය. ජනාධිපතිවරයා අද පැමිණ සිටින්නේ තීරණාත්මක තැනකටය. එය නම්, රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරයා අභීතව කැපවන්නේ ද? නැතහොත්, මහින්ද රාජපක්ෂ විසින් කඩා බිඳ දමන ලද ශ්‍රීලනිපය වෙනුවෙන් දිවි පරදුවට තබන්නේ ද? මේ තීරණයට එළඹීමට ජනාධිපතිවරයාට විශාල කාලයක් නැත. කාලය ඉතා ඉක්මනින් බොහෝ දේවල් තීන්දු කරනු ඇත.■