දුවන්නට පෙර හතිලෑම


duwanta

ඒ. වික්‍රමසුරිය

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රොත් තක්ම මේ දිනවල සිටිනුයේ ඕස්ටේ්‍රලි යාවේය. ඒ ගැම්මටම ඕස්ටේ්‍රලි යාවෙන් නවසීලන්තය බලා යෑමට නියමිතය. මේ රට රටවල ගොසින් වෙහෙසෙනුයේ මෙරට ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය දැනුම ගොඩ ගසාගෙන එන්නටය. ඒ දැනුම යොදා ගෙන මෙරට ක්‍රීඩාව දියුණු කරන්නටය. සතියක දෙකක වැඩමුළු සඳහා මෙලෙස රට වටා කැරකෙන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රට ගිය තරමට ක්‍රීඩාව වර්ධනය කළේ නම් අද මෙරට ක්‍රීඩාවේ දියුණුව කිව නොහැකි තරම් දියුණුය. එහෙත් අද ක්‍රීඩාවට සිදුව ඇත්තේ කුමක්ද? එය කාබාසිනියා වීම පමණය. හුදු ක්‍රිකට් තරග ඇරුණු කොට ක්‍රීඩාව කියා කතා කරන්නට ඇත්තේ කුමක්ද? ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අලුත්ගමගේ පිස්සු නටන විට හිටපු ජනපති රාජපක්‍ෂ එම පිස්සුව ඒ ආකාරයටම නටන්නට දුන්නේ තම පුතුන්ට අවශ්‍ය සියල්ල අලුත්ගමගේ කරන නිසාය. ක්‍රීඩාවට හෙණ ගැහැව්වද ඔහුට අවුලක් නොවුණි.
වත්මනහි සිදුව ඇත්තේද එයමය. දයාසිරි ජයසේකර මොන පිස්සුවක් නැටුවද එයට තාලය සපයනු හැර ජනපති කරන කෙංගෙඩියක් නැත. මේ වෙන කිසිවකට නොව ඔහු වෙනුවෙන් පෙනී සිටින නිසාය. දේශපාලන වළං හෝදන්නන් කුමක් කළද රාජපක්‍ෂලා එකල නිහඬව සිටියහ. අද යහපාලන නඩයද කරනුයේ තම කසල ශෝධකයන්ට ඉඩදී නිහඬව සිටීමය. අද ක්‍රීඩාව දිනෙන් දින වළපල්ලට යමින් තිබේ. එහෙත් ජනපති අගමැති කයිවාරු ඇදබෑවාට ඊට විකල්ප නොසොයති. අගමැති මුලින් මුලින් ක්‍රීඩාවට අත පොවන්න උත්සාහ කළද ජනපති දයාසිරිගේ පැත්ත ගත්ත නිසා දයාසිරි සියලු අඩුපාඩු වසාගෙන අමුතු නාඩගමක් නැටුවේය.
අපි එහි ප්‍රතිඵල අද භූක්ති විඳිමින් සිටින්නෙමු. මුලින්ම නිවැරදි මාවතකට ගෙන යහපාලනයට ගැළපෙන ක්‍රීඩා වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවට දයාසිරි කරනුයේ රාජපක්‍ෂ පන්නයේ වැඩය. අලුත්ගමගේ පන්නයේ පිස්සුමය.
ක්‍රීඩා අමාත්‍යාංශයක් පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ ජනතා යහපතට විනා පත්වන ක්‍රීඩා ඇමැත්තන්ට සහ එහි රාජකාරී කරන කිහිප දෙනකුගේ යහපතට නොවේ. එහෙත් මෑත කාලයේ සිදුවනුයේ එයමය.
දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමති ලෙස පත්ව දැන් දෙවසරකට කිට්ටුය. එහෙත් ඔහු මෙරට ක්‍රීඩාවට කළේ කුමක්ද? අවංකවම ඔහු කළේ ඔහුගේ නඩය කරපින්නාගෙන රට සවාරි ගැසීම පමණය. එයින් ඔහුට සෙතක් වුවද ක්‍රීඩාවට සෙතක් නොවුණි.

ඇත්ත ක්‍රීඩා ඇමති
ක්‍රීඩා අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිවරයෙකුද ඇති බව ප්‍රසිද්ධය. එහෙත් ඒ නාමිකව බවද ඕනෑවටත් වඩා ප්‍රසිද්ධය. මීට අමතරව තවත් කරුණක් ඇත. එනම් ඇත්ත ක්‍රීඩා ඇමති කවුද යන්නය. යහපාලන ආණ්ඩුව පත්කළ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර බව රටම දනී. එහෙත් ක්‍රීඩාව කරනුයේ දයාසිරි නොව සම්පත් දිසානායකය. සම්පත් දිසානායක යනු දයාසිරි මෙන් ජීඑල් පීරිස් මහතාගේ ගෝලයෙකි. ඒ පයුරුපාසානම නිසාම ජීඑල් ළඟම සිටි සම්පත් දිසානායක යහපාලනයට මාරු වීම සමඟ දයාසිරි පසුපස වැටී ඇත. එහෙත් දැන් සිදුවනුයේ දයාසිරි සම්පත් පසුපස වැටීමය. පෞද්ගලික ලේකම් යන නාමය පටබැඳ ක්‍රීඩා ඇමතිගේ බලතල දයාසිරි ජයසේකර සම්පත් දිසානායකයට පවරා ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ කළ යුත්ත නොකළ යුත්ත තීරණය කරනුයේ ඔහුය. සැවොම වැඩ කරනුයේ ඇමති බහට නොව වැඩ බලන ඇමතිගේ බහටය. ඇමතිට වඩා විදෙස් සංචාරවලට සහභාගි වන මොහු මේ දිනවලද ඕස්ටේ්‍රලියාවේය. අලුත් ගමගේ රාජපක්‍ෂලාට යටත් වුවද ඒ අයගේ කොටස බෙදාදීම තමන් සතු කොටසට හෝ ක්‍රීඩා ඇමති විය. එහෙත් දයාසිරි සියල්ල සම්පත්ට පවරා කැමරාව ඉදිරිපිටට පමණක් යන විහිලුකාර ඇමැත්තෙකු බවට පත්වී ඇත. පරිපාලනය සම්පත් දිසානායකට ඕනෑ ලෙස වන විට ටෙන්ඩර් දැමෙනුයේ ඒ ඒ අයගේ කැමැත්තටමය. මේ පිළිලය ක්‍රීඩාවට පිළිලයක්ම වුවද කිසිවෙකු කට නොඅරිනුයේ කට ඇර පලක් නැති නිසාය.

ලේකම් – අධ්‍යක්‍ෂ ජනරාල්
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් පත් කරනුයේ ජනපතිය. ඒ නිසා ඔහු ප්‍රබලයකු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තනතුර තිබු පළියට තනතුර ක්‍රියාත්මක කරන්නා දුබලයකු නම් පලක් වන්නේ නැත. දැන් සිදුව ඇත්තේ එයය. අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩාව ගැන මෙලෝ මළදානයක් නොදන්නවා වුවද පරිපාලනය ගැන දන්නේය. එහෙත් ඔහු දන්නා යැයි කියන විෂයෙන් ඔහු වන මැදිහත් වීම කුමක්ද? ඔහු කරනුයේ ද සම්පත් දුටු විට අසුනෙන් නැගිටීමය. මෑත කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශයට ආ හොඳම ක්‍රීඩා ලේකම්වරයා උදය සෙනවිරත්නය. අලුත්ගමගේ මොන කෙරුමකු වුවත් ඔහු ඇමතිට හිස නොනැමුවේය. නිවැරදි තීරණ ගත්තේය. කොටින්ම අලුත්ගමගේට ඔහු හිසරදයක්ම වූයේය. ඔහු ඉවත් කර දෙන්නැයි ජනපති රාජපක්‍ෂට කියන තැනට ඔහු තල්ලු විය. ඒ කොන්ද පණ ඇති ලේකම්ලාය. එහෙත් අද ඇමතිට පමණක් නොව ඇමති ඩමියටද ලේකම් වෙව්ලන්නේය. කිසිදු පරිපාලන ප්‍රශ්නයක් ලේකම්ට විසඳන්නට නැත. ඒවා සම්පත්ම විසඳන්නේය. ලේකම් ඇත්තේද ලද රට සවාරියක් ගොස් ඇමති ළඟට වී පින්තුරයකට පෙනී සිටීමටය. මොවුන් මොනතරම් නිකමුන්ද යන්න සංගම් නියෝජිතයන් පමණක් නොව අමාත්‍යාංශ සේවකයෝද අසති.
අනෙක් නිකමා සමන් බණ්ඩාරය. ඔහු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ය. තම තනතුරේ තමන්ටවත් ගැළපෙන්නට ක්‍රියා කරන්නට ඔහුට බැරිය. මේ බැරියාව නිසාම හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙකු වූ මිල්ටන් අමරසිංහ හැට දහසක පමණ වැටුපකට උපදේශකයෙකු කර ගන්නට ක්‍රීඩා ඇමතිට සිදුව ඇත. ඔහු දෙන උපදේශයන්හි රඟ ඉදිරියට දැක බලා ගත හැකිය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර යනු අමාත්‍යාංශයේ ඇති ඉහළම තනතුරකි. එහෙත් අද එය වැඩකටම නැති තනතුරක් වී ඇත. ක්‍රීඩා සංගමයක් ප්‍රශ්නයක් රැගෙන ගියද අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලැබෙන සහනයක් නැත. ඒ තබා ඔහු හමුවීම පවා දුෂ්කර ව්‍යායාමයක් වී ඇත. මෙවන් වටපිටාවක ක්‍රීඩාවේ තත්ත්වය පිරිහීම අමුතුවෙන් පුදුම විය යුතු දෙයක්ද?
ක්‍රීඩා ඇමතිගේ මෙන්ම අමාත්‍යාංශ ලේකම්ගේ වැඩත් සම්පත් කරන විට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ වැඩ ටික සමන් අමරසිංහ කරමින් සිටී. සමන් අමරසිංහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්ට සහ ලේකම්ටත් වඩා උඩින් ඉන්නා චරිතයකි. මේ නාඩගම් මඩුවෙන් ක්‍රීඩාවට යහපතක් වේද? පැන්ෂන් ගොස් නිවෙස්වල සිටි සියලු දෙනා නැවත අමාත්‍යාංශයට පැමිණ පිස්සු නටති. ඊට ගැළපෙන විකාර ඇමැත්තෙකුද හමු වී ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පරිපාලනය බල්ලාට ගොස්ය. එහි තනතුරු දරන අයට කළ නොහැකි සියල්ල සෙසු අයට කළ හැකිය. බොරු සෝබනය ඇරුණු කොට වැඩ නැති ඇමතිට මේ තත්ත්වය මෙසේද කියා හෝ තේරුම් ගැනීමට නොහැකි බව සහතිකය.
ක්‍රීඩාව ගැන ලියන්නට පෙර ක්‍රීඩා පරිපාලනයන් ශක්තිමත්ව විය යුතුය. එසේ නොවන්නට ලියන්නට ක්‍රීඩාවක් ඉතුරු නොවනු ඇතිය. ඒ නිසා අපිට මේ යාන්ත්‍රණයට දිගින් දිගටම ප්‍රශ්න කරන්නට සිදුව ඇත. මන්ද එය නිවැරදි නොවී කිසිවක් නිවැරදි නොවන නිසාය.■