රාවය

ක්‍රිකට් පරිපාලන අට ෆේල්

ක්‍රිකට් පරිපාලන අට ෆේල්

රජිඳු කාශ්‍යප

දැන් දැන් සියල්ල සිදුවන ආකාරයට ක්‍රිකට් මහගෙදරින් යහපාලනය පැනගොස් ය. මීට කාලයකට ඉහත ක්‍රිකට් නිලවරණයක් පවත්වද්දී බොහෝ දෙනෙකු එහි ප්‍රජාතන්ත්‍රවාදී බවක් බලාපොරොත්තු වූ බැව් මතක ය. විශේෂයෙන් ම ඒ වනවිට ක්‍රිකට් පාලනයේ සිටි අතුරු කමිටුව ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට ගෙනඒමට විශේෂ මෙහෙයුමක නිරත වීම කාගේත් පැසසුමට ලක් වුණි. එහෙත් ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිගැනීමක් නොවුණි. ඒ ඔවුන්ගේ ආගමනය දේශපාලන පත්වීමක් බැවිණි. ඒ අනුවය වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා එතෙක් දිනෙන් දින කල් දමන ලද ක්‍රිකට් නිලවරණය පවත්වෙන්නේ.
ක්‍රිකට් අතුරු කමිටුවෙන් මිදී ක්‍රිකට් බලවතුන් පත්කිරීමේ දී මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ පෙරළිය ද යම් තරමකට ක්‍රිකට් වෙත ද බලපෑ බැව් කිව යුතු ය. විශේෂයෙන් ම දශකයක ක්‍රිකට් දේශපාලනයට තිත තැබීමේ වුවමනාව ද වුණි. ක්‍රිකට් මහ පුටුව සඳහා ලෝක ක්‍රිකට් ශූර අර්ජුන රණතුංග සමග ක්‍රිකට් පරිපාලනයේ, දේශපාලන පොරපිටියේ සේ ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් වූ තිලංග සුමතිපාල ඉදිරිපත් වුණි. ඒ අප දන්නා අතීතයයි. එසේ ම එහි ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ද ඔබට අමුතුවෙන් පැවැසිය යුතු නැත.
කෙසේ වෙතත්, අර්ජුන හා තිලංග පාර්ශ්වයන් දෙකකින් තරගයට පිවිසෙද්දී බොහෝ දෙනෙකු ඒ හා සම්බන්ධයෙන් විපිලිසර ව සිටි බවක් ද මතකය. දෙදෙනාගෙන් වඩාත් සුදුස්සා කවුරුන් ද යන පැනයක් වුණි. ඒ අතුරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ තිලංග වෙත ය. ඒ වනවිට ක්‍රිකට් පරිපාලනයේ ඇට්ටරයෙකුව සිටි නිශාන්ත රණතුංග සමග පයුරුපාසානයෙන් කරලියට පිවිසීමේ සහෝදර අර්ජුනගේ උත්සාහය බොහෝ දෙනෙකු දුටුවේ ක්‍රිකට් පවුල්කරණය වීමක් ලෙසිනි.
අවසානයේ සියලු ආශීර්වාද මැද තිලංග ජය ගත්තේ ය. අර්ජුන පරදා තිලංග පත්වීම සම්බන්ධයෙන් අප තවමත් සිටිනුයේ ගෞරවනීය තැනකය. එහි වෙනසක් නැත. දැන් දැන් සිදුවෙනා දේවල් අනුව තිලංගගේ පත්වීම වැය කරනුයේ කවුරුන් උදෙසා ද යන්න ප්‍රශ්න කිරීමේ තැනට වැඩ සැලැසී තිබේ.
මෙරට ක්‍රිකට් වංශකතාව නව මානයකට යොමු කළ හැකි කෙනෙක් වේ නම් ඒ තිලංග පමණක් බැව් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණි. ඒ අනුව යමින් ද ඔහු ද බලයට පත් විගස කීවේ ක්‍රිකට් පරිපාලනයට ඉතා ඉක්මනින් යහපාලනය රැගෙන එන බැව් ය. ඒ සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් පරිපාලකයන්ටත් වඩා බලාපොරොත්තු තැබුවෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ය. එහෙත් අද දවස වන විට ඒ සියල්ල බොඳ වී අවසන් ය.
දැන් ක්‍රිකට් යන තාලය අනුව තිලංගට එවැන්නක අවශ්‍යතාවක් නැති බවකි දිස් වන්නේ. යහපාලන දේශපාලනය කාබාසිනියා කරන කිහිප දෙනෙකු මෙරට රාජ්‍ය පාලනය ව්‍යාකූල කරන්නා සේ ම මෙරට ක්‍රිකට් පාලනය ද කිහිප දෙනෙක් ව්‍යාකූල කිරීමේ පෙරමුණ ගෙන සිටිති. කරුමය නම් ඒ තිලංගගේ ම සහචරයන් වීම ය. මේ වනවිට තිලංග ක්‍රිකට් මහපුටුවේ කටයුතු කරන්නේ කටුස්සාගේ කරේ රන් මාලය පැළැන්ඳු පසු කටුස්සා කළා වූ කාර්යයේ නිරත වෙමිනි.
ගතව ගිය කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදර තිලංග තම හිතෛෂීන්ගේ ගජේ ගහන ‘පොට් එකක්’ බවට පත්කර තිබේ. යන එන ගමන් ගොඩවී ඕපාදූපයක් බිනීමේ කඩපිලක් ගානට එතැන පත්කර තිබේ. තීරණ තීන්දු ගැනීමේ දී විචාර බුද්ධියෙන් නොව මේ සහචරයන්ගේ ඕනෑඑපාකම් අනුව කටයුතු කිරීමේ න්‍යාය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ.
ඒ අනුවය, පසුගිය සතියේ ආරම්භ වීමට තිබූ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය අධිකරණ තීන්දුවක් මත වාරණයට ලක් වෙන්නේ. එපමණක් නොවේ මෙම තරගාවලිය සම්බන්ධයෙන් එවැනි තීරණයකට යා හැකියැයි පැවැති කසුකුසුව අස්සේ ලක්ෂ ගණනින් වියදම් කර සමාරම්භක උත්සවයක් පවත්වන්නේ. මෙම උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පාලනය කරනු ලබන ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ සේවයකයන් කිහිප දෙනෙකු ම සේවයෙන් නෙරපා හරිමිනි. මේ එකිනෙකට ඇඳුණු කරුණු සම්බන්ධයෙන් තිලංගට වගේ වගක් නැත.
අධිකරණ තීන්දුව පසෙක තබමු. ඒ සම්බන්ධයෙන් තීරණයක් හෙට අනිද්දා ම අධිකරණයෙන් ලැබෙනු ඇත. විමසිය යුත්තේ, ඒ අවුඅස්සේ තරගාවලියේ සමාරම්භක උත්සවයක් පවත්වන්නේ කාගේ උවමනාවට ද යන්න ය. ආරංචිය අනුව නම් මෙහි සංවිධාන කටයුතු සිදු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෝණිට අයත් ආයතනයකිනි.
මේ පසුගිය රාජපක්ෂ දශකයේ ‘පොටෝ කොපි’ නැවත කරලියට පිවිසීමකි. ආරංචිය අනුව සිරිසේන දෝණි මේ කාර්යය වෙනුවෙන් ඉතා ම සුදුසු වන්නේ තිලංගගේ දේශපාලන ප්‍රොපගැන්ඩාවේ වැඩි බරක් අදින්නේ ඇයගේ මේ ආයතනය බැවින් විය යුතු ය. තිලංග මේ අත දිගහැර වියදම් කරන්නේ තමන්ගේ පෙට්ටගමේ සංරක්ෂිත මුදලින් වුණි නම් සටහනේ මේ දේවල් ලියැවෙන්නේ නැත.
අනික් අතින් තිලංග මේ තීරණයේ සිටිමින් කටයුතු කරන්නේ තමන්ගේ සු`ඵ සේවකයන් පිරිසකගේ සේවාවන් අහෝසි කළ සුනංගුවේ ය. තමන්ගේ රැකියාවන් ස්ථිර කර දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් නොසැලකූ තිලංග ඔවුන් වෙත මාස කිහිපයකට ගෙවිය හැකි වැටුපට සරිලන මුදලක් කිසිදු ලෝබකමකින් තොරව සිරිසේන දෝණිගේ ආයතනයෙන් ගනු ලැබූ සේවයට ගෙවා දමයි.
මේ සේවකයෝ වසර ගණනාවක් මේ ක්‍රීඩාංගණවල සේවය කළ පිරිස් ය. ඔවුන් විසින් දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණය කරන ලද්දේ තමන්ගේ සේවයන් වෙනත් ආයතනයකට නොපවරන ලෙසත් සහ ස්ථිර සේවයේ නොමැති අය ස්ථිර කර දෙන ලෙසත් ය. තිලංගගේ අභිප්‍රාය වී තිබුණේ එක් එක් ක්‍රීඩාංගණ පළාත් ක්‍රිකට් සංගම් වෙත බාර දී එහි පරිපාලනයන් එකී පළාතට ම බාර කිරීමකි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩාංගණ සු`සේවකයන් පැවැසුවේ මේ තීරණයත් සමග තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය සේ ම වෘත්තීය කාලය ද අහෝසි වෙමින් තමන් නවක සේවකයන් සේ එම ආයතන වෙත බඳවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි අභිප්‍රාය බවයි. සැබැවින් ම පිඹුරුපත් සැකසී තිබුණේ ද ඒ ආකාරයෙනි.
කෙසේ වෙතත් තමන් වෙත වසර ගණනාවක් සේවය කළ සේවකයන්ගේ ඉල්ලීම් තුට්ටුවකට මායිම් නොකළ තිලංග, පැවැත්වීමේ අඩමානයක පැවැති තරගාවලියක සමාරම්භක උළෙලක් වෙනුවෙන් ලක්ෂ ගණනින් වියදම් කරන්නේ කිසිදු ලෝබකමක් නොමැතිව ය.
තිලංගට ක්‍රිකට් ආයතනයේ මහ පුටුව ලැබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයේ මහා පෙරළියක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු සහිතව ය. දැන් සිදුවන්නේ ක්‍රිකට් තම බූදලය සේ සිතමින් තිලංග ඇතු`ඵ පිරිස කටයුතු කරන බවකි. මේ කටයුතු කිරීමේ දී පාසල් ක්‍රිකට් වෙත ද තම හස්තය දිගු කිරීමට තිලංග ඇතු`ඵ නඩය කටයුතු කරන බවක් ද නොබෝදා ආරංචි වුණි. නිමාවීමට ආසන්න තරගාවලියක අවසන් වටයට තම විද්‍යාලයීය කණ්ඩායම් නොපිවිසීම නොඉවසූ මේ නඩය තරගාවලියේ නීති රීති වෙනස් කිරීමේ උත්සාහයක ද නිරත වුණි. මේ සම්බන්ධයෙන් වන උත්සාහය තවමත් නිමා ව නැති බවද පාසල් ක්‍රිකට් ආරංචි පවසයි.
මේ කිසිවක් ක්‍රිකට් නොවේ.
තිලංග ක්‍රිකට් මහපුටුවට පිවිසීමේ දී කිසිවෙක් මෙවැනි රංගනයක් බලාපොරොත්තු වූයේ නැත. එබැවින් අපි අවධාරණය කරමු, තිලංගට ක්‍රිකට් සුක්කානම තවමත් යහපාලන මාවතට ප්‍රවිෂ්ඨ කිරීමේ අවස්ථාව තිබේ.■