Untitled-1

Untitled-1

වීරයා වගේම දුෂ්ටයාත් තාත්තාම තමයි | මොහාන් රාජ් මඩවල


mhan

ටිරන් කුමාර බංගගමආරච්චි

 

මොහාන් රාජ් මඩවල මෑතකාලීන මෙරට සාහිත්‍ය නියෝජනය කරන ජනප්‍රියතම ලේඛකයෙකි. කලක් ඔහු නිවේදකයෙකි. වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. වත්මනෙහි ඔහු ඒ සියල්ල පසෙක ලා කතාකාරයෙකු වී ඇත. මේ ඒ කතාකාරයාගේ කතාවය.

මොහාන්ට ඔය නම දාන්න ඇත්තේ ඇයි කියලා හිතලා තියෙනවාද?
තාත්තා තමයි නම දාලා තියෙන්නේ. මුලින්ම තාත්තා ගැන යමක් කියන්නම්. මගේ තාත්තා බණ්ඩාරනායකවාදියෙක්. ආරිය සිංහල සූට් එක ඇඳපු වෙද පරම්පරාවකින් එන සිංහල භාෂාව පිළිබඳ හොඳ දැනුම් ඇත්තෙක්. තාත්තා රස්සාවට කළේ ලේක්හවුස් එකේ සෝදුපත් බැලීම. මොන හේතුවකටද මන්දා ඔහු පුදුම විදියට ඉන්දියාවට ඇලුම් කළා. මට පුංචි කාලෙම ගීත ගෝවින්දය කියවන්න කියනවා. තාගෝර් ගැන කියලා දෙනවා. මගේ නම ඒ ඉන්දියානු ආදරයේ ප්‍රතිඵලයක්.
මගෙන් ගොඩක් අය අහලා තියනවා මම දෙමළද කියලා. ඒ මගේ නම ඉන්දියාවේ බහුල නමක් හින්දා. මුලින්ම උප්පැන්නයේ දාලා තියෙන්නේ ‘මොහාන් සහනාථ’ කියලා. ඒ එක්කම ‘සහනාථ’ කෑල්ල කපලා ‘රාජ්’ කරලා.

මොහාන් කොළඹද?
ගම කියන්න ගියාම මම හිරවෙනවා. කාසල් එකේ ඉපදුණු නිසා කොළඹ කියලා කිව්වාට අපිට කියලා ඉන්න තැනක් තිබුණේ නැහැ. කුලියට එහා මෙහා වෙවී හිටියේ. ටික කලක් කොළඹ ඉන්න කොට ආර්ථික අපහසුතා එනවා. කුලී ගෙවන්නවත් බැරිවෙනවා. එතකොට මම පාසල් යන්න පටන් ගන්නවා විතරයි. මම අවුරුදු දෙකක් ඉසිපතන විද්‍යාලයට යනවා. අර ප්‍රශ්න නිසා පාසලත් දාලා අම්මාගේ අක්කාගේ ගෙදර පදිංචියට යනවා. එතැන් සිට ජීවිතය ගෙවෙන්නේ කුරුණෑගල උහුමීය ගමේ. ලොකු අම්මාට ගැහැනු ළමයිම තුන්දෙනෙක්. මගේ අම්මා තමයි ඒ අයවත් බලා ගත්තේ. එකට ඉන්න කොට ප්‍රශ්න එනවා. ඒ නිසා එහෙනුත් හද්ද ඇතුළකට අපි පුංචි ගෙයක් අරගෙන ගියා. ඒ ඉන්න කොට මම ගියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට. මලියදේව විද්‍යාලයේදී පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ ආනන්දයට එනවා. ඇවිල්ලා හොස්ටල් ජීවිතය පටන් ගන්නවා.

තාත්තා මොහාන්ගේ වීරයාද?
වීරයා වගේම දුෂ්ටයාත් තාත්තාම තමයි. තාත්තා සිහින ලෝකයක ජීවත් වුණේ. හැම තිස්සේම ප්ලෑන්. ඒත් ඒ කිසිම දෙයක් ඇත්ත වුණේ නෑ. ලොකු ගෙවල්. තඩි වාහන එයාගේ කතා. අවුරුදු දාහතරක් යනකම් මේ සුරංගනා ලෝකයට මම ආස කළා. ඔහු මගේ වීරයා. ඔහු තමන්ගේ සහෝදරයන්ට අත දිග ඇරලා වියදම් කළා. තාත්තා මාතර. ඔහුයි තව සහෝදරයකුයි තමයි මුලින්ම කොළඹ එන්නේ. ඇවිත් ඔහු කළේ ඒ පවුල් ගොඩදාන එක තමන්ගේ පවුල අමතක කරලා. පස්සේදී ඔහු කළෙත් ඒ දේමයි. මේ කිසිම දෙයක් මට ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද මට ඒ කිසිවක බරක්පතළක් තේරුණේ නෑ.

තේරෙන්න ගත්තේ කොහොමද?
අවුරුදු දාහතරේදි අම්මා නැතිවුණා. අම්මා නොහිටින්න අපි පාරේ. තාත්තාට තිබුණේ ප්ලෑන් විතරයි, සිහින විතරයි කියලා මට තේරුණේ එතකොට. අම්මාගේ ගම අම්බලන්ගොඩ. අපි කුරුණෑගල ඉන්න කොට ආච්චි මැරෙනවා. ගෙදර ඉන්නේ සීයා විතරයි. සීයා කියනවා අම්මාට ගෙදර ඇවිත් ඉන්න කියලා. අම්මාගේ පවුලේ අක්කා විතරයි. එයත් කුරුණෑගල පදිංචිය. ඒ අයට යමක්කමක් තියෙනවා. ඒ නිසා බාලයා විදිහට අම්මාට මේ ගේ ලැබුණා. අපි අම්බලන්ගොඩ පදිංචියට ආවා. අම්බලන්ගොඩදී තමයි අම්මා නැතිවෙන්නේ. තරුණ කාලේදිම එයා නැතිවෙනවා.

මොනවා වෙලාද?
ජීවිතේ හංගපු රහසක් තියෙනවා. මම ඇත්තටම ජීවත් වුණේ මම විතරක් කියන හැඟීමෙන්. ඒත් මට නංගියෙකුත් ඉන්නවා. එයා මන්දමානසික ළමයෙක්. අම්මාට මේ උපත දරාගන්න බැරිවෙනවා. එයා ඒ ගැන හිතලාම තමයි මැරෙන්නේ. මගේ පුංචි හිතේ පැලපදියම් වෙනවා නංගි හින්දා තමයි මට අම්මා නැතිවුණේ කියලා. නංගිව බෙහෙත්වලින් සුව කරන්න බැරි වුණත් තාත්තා හැම සතයම බෙහෙත්වලට වෙන් කරනවා. කොටින්ම ඉන්දියාවෙන් පවා බෙහෙත් ගෙනෙනවා. මාව ඔහුට අත ඇරෙනවා. ඒ අතරේ අම්මා නැතිවෙන කොට ඒ නැතිවීමවත් මට දුකක් වුණේ නෑ. ඒ තරමට ඥාති පිරිස් අපි වටා පිරිලා හිටියා. සතියක් ගියාම තේරුණා ඒ සියලු බැඳීම් අම්මා එක්ක තිබුණ දේවල් කියලා. ඊට පස්සේ කවුරුත් අපේ පැත්තවත් බැලුවේ නැහැ. ජීවිතේ අඳුරු පැත්ත පටන් ගත්තේ එතැනින්. හොස්ටල් ඉඳලා නිවාඩු කාලයට ගෙදර ගියාම සීයා විතරයි ඉන්නේ. සීයා වෙදෙක්. සුදු වෙද මහත්තයා කිව්වාම පැරණි අය අදටත් දන්නවා. හරි නීතිකාරයා. එයා සුද්දාට ලව් කළ කෙනෙක්. ඒ කාලේ අපේ ගෙදරට කියන්නේ ශ්‍රීදර ගෙදර කියලා. සීයාත් එක්ක ජීවිතය මුලින් අමාරු වුණත් පස්සේ මම සීයාට තදින්ම බැඳුණා. මගේ සාහිත්‍ය ලෝකය ගොඩනගපු වීරයා සීයා කියලායි අද මම හිතන්නේ. මම ඔහුගේ නමට පවා අද ආදරෙයි.

මොකද්ද නම
මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස

ඊළඟට මොකද වෙන්නේ?
තාත්තාගේ නංගි කෙනෙක් මහත්තයා මැරුණාම අපේ ගෙදර එනවා. නැන්දා තමයි නංගිව බලා ගත්තේ. මම හොස්ටල් ජීවිතයෙන් බෝඩින් ජීවිතයට මාරුවුණා. නිවාඩුවට විතරයි ගෙදර යන්නේ. තනි ජීවිතයක් ගෙව්වා.

ප්‍රශ්න නෑ. ඔහු කතාව කියවගෙන යනවා.
මම උසස්පෙළට විද්‍යා විෂය තෝරාගන්නවා. විෂයයන් හතරම ෆේල්. මම තාත්තාට කිව්වා මට මේවා බෑ. මම ආර්ට් කරනවා කියලා. විද්‍යාව කරද්දී එයා මට සල්ලි දීලා තියෙන්නේ ඉඩමක් උගස් තියලා. අන්තයටම එරිලා හිටියේ. මම බන්දුල ගුණවර්ධන සර්ගෙන් ඉකොන් කරන්න ෆ්‍රීකාඞ් එකක් ඉල්ලාගත්තා. අනෙක් පන්තිවලට සල්ලි යාළුවෝ දුන්නා. එතකොට මම බෝඩිමක හිටියේ. බෝඩිමේ ගාස්තු ගෙවන්න බැරිවුණත් ඉල්ලුවේ නෑ. මොකද බෝඩිමේ අයිති ගෑනු ළමයෙක් එක්ක පොඩි හාදකමක් මට තිබුණා. ඒ අයත් දුව මට දෙන්න කැමැත්තෙන් හිටියා. මමත් පාඩුවේ හිටියා.

ඒකද ප්‍රථම ප්‍රේමය?
නෑ. වෙන එකක් තිබුණා. දෙල්කඳ මම හතේ කණුවෙන් එයාත් එක්ක බස් එකේ නැගලා මහරගමට යනවා. මහරගම ඉඳලා ඒ බස් එකේ පිටකොටුවට යනවා. ආයේ ඒකෙම ඇවිත් දෙල්කඳෙන් බැහැලා එයා ගියාම ආයේ නගිනවා. ඕක තමයි ප්‍රථම ප්‍රේමය. බස් එකේම තමයි ගෙවුණේ. ඒ කාලෙම ඒක නැතිවෙනවා.

ලිවීමට යොමුවන්නේ මේ කාලෙද?
මේ කාලේ විභවිය පටන් ගන්නවා. මමත් යනවා. සුනිල් විජේසිරිවර්ධන, ජයතිලක කම්මැල්ලවීර, කේ.කේ. සමන් කුමාර, ජනක ඉණිමංකඩ වගේ ගොඩක් අය අඳුනාගන්නවා. මගේ සිතීම පුළුල් වෙන්නේ එතැනින්. මම ෆිල්ම් බලනවා. නාට්‍ය බලනවා. සල්ලි නෑ. මේ සබඳතා හරහා ඒවා කරන්න ලැබෙනවා. මේ කාලයේ තමයි මම ලියන්න ඕනෑ කියලා හිතන්නේ. ඔය අතරේ මම ආර්ට්වලින් කැම්පස් යන්නත් තේරෙනවා. කැලණිය ලැබෙන්නේ. ඒත් මට කැලණිය දුරයි. බස් දෙකක යන්න ඕනෑ. ආර්ථිකයත් එක්ක අමාරුයි. එතකොට කොළඹ ශිෂ්‍ය සංගමයේ ලොක්කා කරුණාරත්න පරණවිතාන. මම කරු අයියා හම්බවෙලා ඇත්ත ප්‍රශ්නය කියලා කොළඹට එන්න හදාගන්නවා. මට කොළඹදී රාජිත දිසානායක, සෞම්‍ය ලියනගේ එහෙම හම්බ වෙනවා. මේ අතරේ මම ‘බෝදිලිමා’ කියන මගේ ප්‍රථම කෙටිකතා පොත කරනවා. විභවියේ මේ ගැන කතා කරනවා. එතැනදී මට මංජුල වෙඩිවර්ධන, තිඹිරියාගම බණ්ඩාර හම්බ වෙනවා. මේ අය මගේ පොත ප්‍රමෝට් කරන්න සෑහෙන වෙහෙසෙනවා.

ගෙදර සම්බන්ධය කැඩෙනවාද?
නෑ. ඒක කියන්න බැරි වුණා. ආර්ට් කරන කාලේ නැන්දාගෙන් පණිවුඩයක් එනවා තාත්තා ලෙඩ වෙලා කරාපිටිය ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා. එතකොට රුපියල් සීයයි අතේ තියෙන්නේ. ඒත් කාගෙන් හරි ඉල්ලාගෙන ඕකත් අරගෙන මම තාත්තා බලන්න යනවා. මුත්‍රා අඩස්සියට තාත්තාව නතර කරන්නේ. පරීක්ෂණ වගයක් කරන්න තියෙනවා කියලා ෆාස්ටින් ඉන්න කියනවා. ඒ ඉඳලා මෙයා උදේ ටොයිලට් යනකොට ඒකේ වැටිලා උකුල් ඇටේ කැඩෙනවා. මම යනකොට කකුල එල්ලලා ඇඳේ දාලා. අතේ සතේ නෑ. මම ගෙදර ඇවිල්ලා අල්මාරිය අවුස්සනවා, කීයක් හරි තියේවිද බලන්න. එතකොට මට හම්බවෙනවා මගේ අම්මා කුරුණෑගල ඉද්දි මට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇරපු ගිණුමක්. රුපියල් අටදහස් ගණනක් තියෙනවා. මම කුරුණෑගල ගිහිල්ලා ඒක ක්ලෝස් කරලා ඒ සල්ලි ටික ගන්නවා. පොලියත් එක්ක දාහතර දාහක් විතර තිබුණා මතකයි. මම ඇම්බියුලන්ස් එකක් අරගෙන තාත්තාව කොළඹ ගෙනාවා. කොළඹ මහ ඉස්පිරිතාලේ මාස දෙකක් හිටියා. ළඟ ඉන්න ඕනෑ උකුල් ඇටේ බිඳිලා හින්දා. මම තමයි ළඟ හිටියේ මාස දෙකම. මගේ බෝඩිම ඉස්පිරිතාලය වුණා. පාඩම් කළේ ඉස්පිරිතාලේ ඉඳලා. ඒ කාලේ අර සල්ලි වියදම් කළේ පුදුම පරිස්සමට. දවසට පනහයි. සීයයි. මම එදා තේරුම් ගත්තා මම කවදාවත් මගේ දරුවෙකුට මේ දුක දෙන්නේ නැහැ කියලා.

ජීවිතය දුක් ගොඩක්..
ඇත්තටම. ඒ හැම දේකින්ම ඔළුව හදාගන්න කලාව උදව් කළා. විභවි ඇසුර මට ශක්තියක් වුණා. මගේ ප්‍රථම ප්‍රේමය ඔය කාලේ නැතිවුණා. උසස්පෙළෙන් පස්සේ එයා ආගිය අතක් නෑ. ඒ කාලේ ෆෝන් එහෙම නෑ. බස් එකේ ගියා ඇරෙන්න ඉන්න තැනක්වත් හරියට දන්නේ නෑ. හෙව්වා. හම්බ වුණේ නෑ. අර තනිකම ඇතුළේ එයා කොච්චර ඒක පුරවලාද කියලා දැනුණේ ඒක නැති වුණාම. බූට් එක තදට දැනුණා. ඒ කාලේ මට යාළුවෙක් වික්ටර් රත්නායකගේ සිංදු අහන්න දුන්නා මේවා අහපං ඕක ඇරිලා යයි කියලා. මගේ ජීවිතයේ ගීතයට ළංවෙන්නේ එතැනදි. මට වික්ටර් රත්නායක දැනෙනවා අර බූට් එක අස්සේ මාර විදියට. මම වික්ටර්ලෝලියෙක් වෙනවා. හැම සිංදුවක්ම වගේ හොයාගෙන අහනවා. අදටත් ඔහු තමයි මගේ ගායකයා. අර දුක අස්සෙම තමයි මට දේවල් හම්බ වුණේත්.

මුලින්ම කරපු රස්සාව මොකක්ද?
කැම්පස් යන කාලේම පත්තරේ දැක්කා තැපැල් දෙපාර්තමේන්තුවට නිලධාරීන් ඉල්ලලා තියෙනවා. මමත් ඉල්ලුවා. මට ලැබුණා. මුල්ම පත්වීම ලැබුණේ නුගේගොඩ තැපැල් කාර්යාලයට. ඒක තමයි මුල්ම රස්සාව. මාසෙට පන්හයදාහක් හම්බ වෙනවා. මම ඇත්තටම ඔළුව ඉස්සුවා. ටිකක්. මාසෙට පඩි අරගෙන ගෙදර යනවා. තාත්තා ඉස්පිරිතාලෙන් ගියත් කිහිලිකරුවලින්ම තමයි ඉන්න වුණේ මැරෙනකම්ම. ඉතින් ගෙදර වියදම බලා ගත්තේ මම.

ඒක ජීවිතේ ලබපු ලොකුම සතුටද?
ඒක අහපු එක හොඳයි. පාරට වැටෙන්න නොදී අපට ඉන්න ලැබුණු අපේ ගෙදර බේරගත්ත එක තමයි ලොකුම සතුට. නැන්දා පණිවුඩයක් එව්වා ගේ උගස සින්න වෙන්න යන්නේ කියලා. උගස් තියලා තිබුණේ කොරනෙල් රාළහාමි කෙනෙකුට. එයා එක් ලක්ෂ තිස්දහසක් කිව්වා. මම වැඳ වැටිලා රුපියල් හැත්තෑ දාහකට අඩුකර ගත්තා. අදටත් ඒ මුදල කොහොම හොයාගත්තාද කියලා මට වැටහීමක් නෑ. ඒත් ඒක බේරගත්ත දවසේ තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම සතුට ලැබුවේ. ඒ ගැන හිතනකොට මට අදටත් සතුටුයි. මට යමක් කරන්න පුළුවන් කියලා දැනුණේ එදා.

එතකොට නිවේදකයෙක් වෙන්නේ කොහොමද?
දවසක් කොළඹ කැම්පස් එකේ වැඩසටහනක මම නිවේදනය කළා. එදා මේකට ලූෂන් බුලත්සිංහල මහත්තයාත් ඇවිත් හිටියා. මම ඔහුව දන්නේම නෑ. හැබැයි හර්ෂ බුලත්සිංහල මගේ බැච් එකේ. හර්ෂ මට කිව්වා අන්න උඹට තාත්තා පොඞ්ඩක් ඇවිත් හම්බවෙන්න කිව්වා කියලා. එතකොට ලූෂන් මහත්තයා රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ. මම ඔහුව ගිහින් හමුවුණාම ඇහැව්වා ප්‍රෝගෑම් එකක් තියෙනවා, ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා. මම කවදාවත් බලාපොරොත්තු නොවුණ දෙයක්. ඒත් මට ඉබේටම හා කියවුණා. ඒ හින්දා මට ‘ගී හත’ කියන වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබුණා. ඒක තමයි රූපවාහිනියේ පළමු ‘ගීත චාට්’ එක. ඊට පස්සෙයි හද රැඳි ගී ආවෙත්. ඒකේ සියලු ගෞරව ලූෂන් මහත්තයාට අයිතියි. මම සෑහෙන ජනප්‍රිය වුණා ඒක නිසා. මම වැඩසටහන් හැත්තෑපහක් විතර කළා. පොඩි ගාණකුත් ලැබුණා.

තැපැල් කන්තෝරුවේ ජොබ් එකට මොකද වුණේ?
මේ දේවල් වෙන්නේ ඒකේ ඉන්න ගමන්. කොහොම වුණත් මට ඒක ගැළපෙන්නේ නෑ වගේ දැනුණා. ඒ අතර මගේ ප්‍රේමයත් හම්බ වුණා. ඒ චමිලා, අද මගේ බිරිඳ. මේ කාලේ ලක්හඬ පටන් ගන්නවා කියලා දැන්වීමක් තිබුණා. චමිලා අපි දෙන්නාටම ඇප්ලිකේෂන් දාලා තිබුණා. දෙන්නාම තේරුණා සහන නිවේදකයෝ විදියට. වැඩසටහන් කළ දවසට තමයි ගෙවන්නේ. ඒත් රුපියල් එකසිය ගාණක්. දැන් මම රස්සාව අතඅරිනවාද නැද්ද කියන තැනට ආවා. තාත්තා බැන්නා රජයේ රස්සාවක්, පැන්ෂන් එකත් තියෙනවා තැපෑලෙන් අයින් වෙන්න එපා කියලා. ඒක ලොකු අවදානමක් වුණත් මම තැපෑලෙන් අයින් වෙලා සහන නිවේදක තනතුර භාරගත්තා. ලක්හඬ කළේ නිව්ටන් ගුණරත්න මහත්තයා. ඔහු මට සෑහෙන කැමැත්තෙන් හිටියා. කොහොමහරි ලක්හfඬ් මුලින්ම ඉදිරිපත් කළේ මම.

එතැනින් පස්සේ ඔබ හතර අතේ යනවා.
හා…. හා… (හිනා) සෑහෙන කාලයක් අඩු ගාණකට සහන නිවේදකයෙක් වෙලා ඉන්නකොට චමිලාත් නිවේදිකාවක්. අපි යාළුයි කියලා කට්ටිය දන්නෙත් නෑ. ලක්හfඬ් ගත්ත පළමු මඟුල අපේ. ඒකත් කෙටියෙන් කියන්නම්. අර ප්‍රථම ප්‍රේමයේ අත්දැකීමම තමයි. චමිලා කෑගල්ලේ. යාළු වුණාම ඉතින් මාත් වේලි වේලි හිටියේ ප්‍රශ්නවලින් මිරිකිලා. ආයේ අර ඇරලන වැඬේ පටන් ගත්තා. සති අන්තයේ කෑගල්ලට යනවා. ඇරලලා එනවා. ආයේ ගේන්න යනවා. දවසක් චමිලා කිව්වා ගෙදර යමු කියලා. මම බයෙන් බයෙන් ගියා. ඒ අයට යමක්කමක් තියෙනවා. ඒත් මට කැමති වුණා. ඉතින් ඇරලිල්ල ඉඳලා එක්කගෙන එන තැනට ආවා. නොනිල වශයෙන් බින්න බහිනවා. බඳින්න අදහසක් තිබුණේ නෑ. ඒත් දැන් නොබැඳ බෑ. යාළුවෙලා මාස හයක් නෑ. බඳින්නත් වුණා. මඟුලක් ගන්න සල්ලි නෑ. චමිලා තමයි හැමදේම කළේ. අපෙන් මුකුත්ම නෑ. හනිමූන් යන්නවත් සල්ලි නෑ. ලක්හfඬ් අය මොනවාද ඕනෑ ඇහැව්වා. ඔය නුවන්, අරවින්ද ලක්හfඬ් අය. මම කිව්වා නුවන් සල්ලි දීපං කියලා. දාහතරදාස් ගාණක් දුන්නා. ඕක අරගෙන තමයි හනිමූන් ගියේ. හනිමූන් ගිහින් එනකොටයි තේරුණේ කොළඹ ඇවිල්ලා ඉන්න තැනක් නැහැ නේද කියලා. හෝටලයේ ඉඳන් කල්පනා කරන කොට ඔළුවට ආවා යමක්කමක් තියෙන යාළුවා. ජනක ඉණිමකංඩට කතාකරලා ප්‍රශ්නය කිව්වාම අපේ ගෙදරට වරෙන් කියලා තිබ්බා. ජනකලාගේ ගෙදරට ආවා. එතකොට ජනකට වෑන් එකක් තිබ්බා. නග්ගා ගත්තා. නග්ගාගෙන කොහුවලට ඇවිත් මෙට්ටයක් ගත්තා. අරගෙන ඒකත් දාගෙන පිටකෝට්ටේ අලුත හදපු ගේකට ගියා. මේ මගේ නංගිට දෙන්න තාත්තා හදපු ගේ. එතකන් හිටපං කියලා මෙට්ටය කාමරයකට දාලා ගියා. ඔය මෙට්ටයත් දාගෙන පිඟන් දෙකයි කෝප්ප දෙකයි අරගෙන අවුරුද්දක් හිටියා. අර සහන නිවේදක පඩියෙන් මොනවා කරන්නද? අපේ ගෙදරින් එන්නේ නෑ. චමිලාගේ ගෙදරින් ආවෙත් නෑ. අවුරුද්දකට පස්සේ මෙන්න චමිලාගේ ගෙදරින් ආවා. මෙහෙමද ඉන්නේ කියලා පොඩි සද්දයක් දාලා ඔන්න ඇඳකුයි පුටු කිහිපයකුයි අරගෙන දීලා රාජගිරියෙන් කාමරයක් අරගෙන දුන්නා. අපි ඒකට ගියා. දැන් මට කියන්න මම එහාට මෙහාට ගිය එක වැරදිද? ගී හත කියලා වැඩසටහනක් කරනවා. ඒත් කවදාවත් මම ඒක බලලා නෑ. ඇයි ටීවී එකක් නැහැනේ. මොකද මේ ජීවිතය ඔහොම ඉන්න කොට තමාලි පීරිස් කතා කරලා ඇහැව්වා මොහාන් හිරු කියලා අලුත් චැනල් එකක් පටන් ගන්නවා. මම රෙනෝ ද සිල්වා එක්ක කතා කළා. ඔයා එනවාද කියලා. මම වටිනාකමක් දෙනවා නම් සලකා බලන්නම් කිව්වා. රුපියල් 35,000ක් දෙන්න පොරොන්දු වුණා. මට හිතාගන්න බැරිවුණා. ඒ කාලේ රුපියල් 35,000 කියන්නේ මහ ගාණක්. මේ 1999 අවුරුද්දේ. මේක ආරංචි වුණා නිව්ටන් ගුණරත්න මහත්තයාට. ඔහු මට කතා කරලා කිව්වා මට ආරංචි එනවා. මම ඔයාව පර්මනන්ට් කරන්න ලියුම හැදුවා. කොහෙවත් යන්න එපා කියලා. මම කල්පනා කරලා නෑ මම යනවා කියලා හිතුවා. මම හිරු එකට පෝග්‍රෑම් මැනේජර් විදියට ගියා. තමාලි පීරිස්ට තමයි එහි සියලු ගෞරව යන්න ඕනෑ. නිව්ටන් ගුණරත්න එදා තරහා වෙච්ච පිම්ම මේ මෑතකදී සුචරිත ගම්ලත් මහත්තයාගේ මළගෙදර වෙනකම්ම තියාගෙන හිටියා. චමිලාටත් එතැන වැඩ කරන එක අමාරු වුණා. කොහොම හරි හිරු එකේත් වැඩ කරන එක ලේසි වුණේ නෑ. ඒ අතර ජැක්සන් ඇන්තනි ඇහැව්වා ‘සවන’ කියලා චැනල් එකක් පටන් ගන්නවා එනවාද කියලා. අර පඩිය වගේ භාගයයි. ඒත් මම ගියා. මොකද හිරු එකේ ඉන්නම බැරිවුණා. තව හතුරෙක් නිර්මාණය වුණා. ඔහොම ඉන්න කොට ‘ශ්‍රී එෆ්එම්.’ පටන් ගන්නවා කියලා පෝග්‍රෑම් ඩිරෙක්ටර් විදියට එන්න කිව්වා. මහේන් පෙරේරා. ඒකට ගියා. 2000-2006 වෙනකම් ලංකාවේ අංක එක බවට මම ඒක පත්කළා. මේ අතරේ මට 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම දීපු පළමු ලයිසන් එක ‘සියතට’ කතා කළා. ඒකට ගියා. තව හතුරෙක් හැදුණා. මහේන් මට නඩු දාන්නත් හැදුවා. රාජපක්ෂලා කරන වැඩක් නිසා මම බේරුණා. ඒක හොඳට කරගෙන ගියා. දැන්වීම් හොඳට ලැබෙනවා. 2010දී ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලන කොට සියත එයාට සහාය දෙන්න ගත්ත ගමන් අර දැන්වීම් නතර වුණා. පඩි ගෙවා ගන්නවත් විදියක් නෑ. මේ කාලේ මගේ යාළුවෙක් සීඅයිඑෆ්එල් එකේ දීප්ති පෙරේරා ෆිල්ම් එකක් කරමු කිව්වා. මම හා කියලා සියත පැත්තකින් තියලා ෆිල්ම් එක කරන්න ආවා. ඔය කාලේ තමයි කොතලාවල කඩා වැටෙන්නේ. ඒ කඩා වැටිල්ලටම මගේ යාළුවාගේ ව්‍යාපාරයත් කඩා වැටෙනවා. ෆිල්ම් එකත් ඉවරයි. අර කාලේ මම ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදාගෙන වාහනයකුත් ගන්නවා. ඒ අතින් ශක්තිමත් වෙනවා. ඒත් ඒ වටාපිටාවේ ඉඳලා මුකුත් නැතිව ගෙදර ඉන්න වුණාම මට පිස්සු වගේ. ආයේ අර අයින් වුණ තැන්වලට යන්නත් බෑ. මැරෙන්නම හිතුණා.
මැරෙනවා වෙනුවට ලියන්න ගත්තා..
ඔව්! මට හිතුණා මට ලියන්න පුළුවන්නේ මම ලියනවා කියලා. ‘මාගම් සෝලිය’ ලිව්වා. සෑහෙන ජනප්‍රිය වුණා. මම ඒ වැඩෙන්ම යන්න ඕනෑ කියලා හිතුවා. දැන් ෆුල් ටයිම් ලියන්නෙක්. ආයේ කොහේවත් යන්නේ නෑ.

තාත්තා?
තාත්තා මවපු සිහින මම සැබෑ කරගත්තා. ඒත් මම ගේ හදද්දී තාත්තාට කිව්වේ නෑ. මට ඕනෑ වුණා සම්පූර්ණ ඉවර කරලා තාත්තාව අරගෙන ඇවිත් පුදුම කරන්න. ඒත් ඒ දේ කරන්න මාස දෙකක් තියෙද්දී තාත්තා පිළිකාවක් හැදිලා දැනගෙන සතියක් ඇතුළත නැතිවුණා. තාත්තා ලොකුවට හීන දැක්ක කෙනෙක්. ඒත් ඔහුට ඒ ළඟටවත් යන්න බැරිවුණා. පුතා විදියට මම ඒ ළඟට ගියාට මට ඒක තාත්තාට පෙන්වන්න බැරිවුණා. ඒ දුක මට තදින් දැනෙනවා. තාත්තාගේ අසාර්ථකත්වය තමයි මගේ සාර්ථකත්වය වුණේ. ඒත් ඒක තාත්තාට දකින්න බැරිවුණා.

දැන් මොකද හිතෙන්නේ?
ඒත් හරි වෙහෙසයි බං.