රාවය

විජය කුමාරණතුංග: සිහින ලොව කුමරාගේ හිසට වෙඩි තැබීම

විජය කුමාරණතුංග: සිහින ලොව කුමරාගේ හිසට වෙඩි තැබීම

ජයදේව උයන්ගොඩ

පෙබරවාරි 16 දා විජය කුමාරණතුංග මරාදමනු ලැබුවේ ඉතා ඛේදජනක සහ අනපේක් ෂිත ආකාරයකිනි. ඔහුගේ ක්ෂණික සහ සිත් කම්පාකළ ජීවිතාවසානය, වසර දහයක් පමණ දිග ඔහුගේ දේශපාලන ජීවිතයත්, ඊටත් වඩා ඈතට පැතිරුණු ඔහුගේ කලා ජීවිතයත් තරම්ම වර්තමාන ලාංකීය සමාජයේ දේශපාලන මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන් සහ ප්‍රතිවිරෝධතාවන් සංකේතවත් කරයි. මියයන විට විජය කුමාරණතුංග ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා මෙන්ම ජනප්‍රියම වාමාංශික, නැතහොත් වාමාංශික නැඹුරුවක් ඇති, දේශපාලන නායකයා ද වූයේය. ලංකාවේ පොදු ජන සහ දේශපාලන සංස්කෘතීන්ගේ පවතින සුවිශේෂත්වයන් කෙබඳුද යත්, එකම පුද්ගලයෙකු වඩාත්ම ජනප්‍රිය නළුවා වීමත්, ඒ සමගම ජනප්‍රියම වාමාංශික නායකයෙකු වීමත් එකිනෙකට පරස්පර විරෝධී ජයග්‍රහණයන් දෙකකි. මන්ද යත්, එම ජයග්‍රහණයන් දෙකම සාමාන්‍යයෙන් පදනම වන්නේ එකිනෙක සමග සංවාදයක් නොපවත්වන එකිනෙකින් යම් තරමකට ඈත් වූ සමාජ කොටස් දෙකක් වීමයි.
විජය කුමාරණතුංග රඟ පෑ බොහෝ චිත්‍රපට කිසි කලාත්මක ගුණයක් නැති ඒවා වූ අතර, ඒවා මගින් ඔහුට ඇතිවුණු මහත් ජනප්‍රියභාවය සමාජමය වශයෙන් පැමිණියේ නාගරික, අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේද ජනප්‍රිය සංස්කෘතියට හිමිකම් කියන පහළ මධ්‍යම පන්තික සහ කම්කරු පන්තික ස්ථරයන් වෙතිනි. මේ අතර දේශපාලන වශයෙන් ඔහු වඩාත් කිට්ටුවෙමින් සිටියේ සංස්කෘතික සහ බුද්ධිමය වශයෙන් පෙර කී සමාජ ස්ථරවල සන්නිවේදනයන් සහ රසඥතාවන් පැහැදිලිවම බැහැර කළාවූත් විදග්ධ සංස්කෘතික භාවිතයන්ට හා මිනුම්දඬුවලට දැඩි රුචියක් දැක්වූවා වූත් සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය වෙතටය. මෙම ප්‍රතිවිරෝධතාවම තවත් අකාරයකින් ප්‍රකාශ කළහොත් විජය කුමාරණතුංග සංස්කෘතික වීරයෙකු ලෙස අභිනන්දනයට පත්වූයේ ඔහුට මාස කිහිපයකට පෙර මියගිය ගායක එච්ආර් ජෝතිපාල සංස්කෘතික වීරයෙකු ලෙස සැලකූ සමාජ කොටස් අතරය. එහෙත් ඔහු දේශපාලන වශයෙන් ළංවූයේ බීතෝවන්, චයිකොව්ස්කි, අමරදේව සහ නන්දා මාලනී අගය කරන බුද්ධිමය සංස්කෘතියක් හුවා දක්වන නායකත්වයක් වෙතය. මේ අතර විජය කුමාරණතුංග සංකේතවත් කළ ජයග්‍රහණය නම් එම සමාජමය සහ සංස්කෘතික ප්‍රතිවිරෝධතාව අබිබවා යා යුතු සහ යා හැකි බවත්, එසේ කළහැක්කේ ඒ සියල්ලන්ම එක්ව සහභාගි විය හැකි දේශපාලන දර්ශන පථයක් තුළ බවත්ය. ලාංකික සමාජයේ ඓතිහාසික අර්බුදය විසින් ඉදිරිපත් කරන ලද සහ විජය කුමාරණතුංග විසින් මැනැවින් ග්‍රහණය කරගන්නා ලද එම දේශපාලන දර්ශනපථය වූකලි ජාතික සමගිය පිළිබඳ බලාපොරොත්තුවයි. නළුවකු වශයෙන් ජනාදරයට පත්වී දේශපාලනඥයකු නිසා ශෝකජනක ලෙස මරාදමනු ලැබූ විජය කුමාරණතුංගගේ ජීවිතයේ එක් අර්ථයක් වූයේ එයයි. මේ නිසාම, මෙරට පොදුජන සංස්කෘතියත්, දේශපාලනයත් පිළිබඳව බැරෑරුම් ලෙස සිතන්නවුන්ට, විජය කුමාරණතුංග සුවිශේෂ සමාජ ප්‍රපංචයක් මිස ඊට අඩුවෙන් සලකන්නට නොහැකිය.
විජය කුමාරණතුංගගේ ජීවිතයේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වූයේ සමාජ දායක ස්ථරයන් කිහිපයක්ම වෙත තම ආකර්ෂණය පවත්වාගෙන යෑමට සමත්වීමය. ඔහුගේ වඩාත් පළල් සමාජ දායක ස්ථරය වූයේ හුදෙක් චිත්‍රපට නළුවෙකු ලෙසම ඔහු වීරත්වයෙන් සැලකූ සහ සුලබ සිංහල චිත්‍රපටවලටත්, සිංහල සිනමා පත්තරවලටත් වෙළඳපොළ සපයන සාමාන්‍ය ජනතාවයි. විජයගේ අවමඟුලට සහභාගිවූ සහ ඔහුගේ දේහය නැරඹීමට දිවා රාත්‍රි පෝලිම් සැදීසිටි ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් අතිබහුතරය සමන්විත වූයේ ඔවුන්ගෙනි. චිත්‍රපට මාධ්‍ය තුළින්ම විජය කුමාරණතුංග ගොඩනගාගෙන සිටි තවත් සමාජ දායක ස්ථරයන් නම් කලාත්මක දේශීය චිත්‍රපටවලට උනන්දුව දක්වන, සප්‍රතිපන්න කලා විඥානයක අවශ්‍යතාව අවධාරණය කරන කලාකරුවන්, කලාරසිකයන් සහ උගතුන්ය. අතිවිශේෂ රංගන කුසලතාවක් ඔහු තුළ නොතිබුණත්, ප්‍රධාන වශයෙන්ම ධර්මසේන පතිරාජගේ චිත්‍රපටවල රඟපෑම තුළින් මෙම දායක කණ්ඩායම ගොඩනගා ගැනීමටත්, පවත්වා ගැනීමටත් විජයට හැකි විය. තෙවැනි සමාජ දායක ස්ථරය සංකලනයෙන්ම දේශපාලනමය එකකි. එහිද මට්ටම් දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න ඔහුගේ ආකර්ෂණශීලි පෞරුෂයත් පොදුජනයා අතර ඉතාම ජනප්‍රිය චිත්‍රපට නළුවා වීමත් නිසා නිරායාසයෙන්ම ඇතිවුණු මහජන කැමැත්තයි. දෙවැනි, එහෙත් වඩා වැදගත් මට්ටම නම් අත්‍යන්තයෙන්ම විනාශකාරී ජනවාර්ගික යුද්ධයට එරෙහිව ජනවාර්ගික සාමයත්, රටේ පවතින දේශපාලන හා සමාජ අර්බුදයට යම්කිසි ආකාරයක සමාජවාදී වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු කියූ සහ කළ දේට හිතවත් බවකුත් සහයෝගයකුත් දැක්වූ සාමයට ළැදි, සමාජ සාධාරණත්වය අගයන සියලු ජනවාර්ගික හා ආගමික කොටස්වලට අයත් ප්‍රබුද්ධ ජනකොටස්ය. විජයගේ අනපේක්ෂිත සහ ප්‍රචණ්ඩ ජීවිතාවසානය නිසා ඉහත කී සෑම සමාජ දායක කොටසක් විසින්ම ඔහු පිළිබඳව ගොඩනගනු ලැබ තිබුණු ප්‍රතිරූපය තියුණු සහ උත්සන්නභාවයකට පත්වූ බව පෙනේ.

සමාජ ප්‍රතිරූපය
සමාජ දායක ස්ථරයන් ගණනාවක්ම මත තම වෘත්තීය සහ දේශපාලන ආකර්ෂණය පවත්වාගෙන ගිය නිසාම විජය කුමාරණතුංග පිළිබඳව ගොඩනැගී තිබුණු මුහුණුවර මුහුණත් කිහිපයකින් සැදුණක් විය. විජයගේ අවමඟුල පිළිබඳව සමහර ජනයාත්, ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වල කතුවැකි ලියන්නනුත්, වාර්තාකරුවනුත් ඉදිරිපත් කළ විවිධ අදහස්වලින් පුද්ගල ප්‍රතිරූපයක සමාජමය පසුබිම්වල නැතහොත් පදනම්වල ඇති නිසර්ග සිද්ධි ප්‍රතිවිරෝධතාවන් ඉතා තියුණු ලෙස ප්‍රකාශයට පත් විය. එය එසේ වූයේ විජය කුමාරණතුංග කලා කරුවෙකුද යන ප්‍රශ්නය ඔහුගේ අවමගුලේදීම ගාමිණි ෆොන්සේකා විසිනුත්, ඊට පසුව ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි පුවත්පත් ලේඛකයන් විසිනුත් මතුකිරීම මගිනි. ඇත්ත කාරණය නම්, විජය කුමාරණතුංග එකවරම කලාකරුවෙකුත්, දේශ පාලන නායකයකුත් වීමයි. එමෙන්ම, ඔහුගේ මරණය සිදුවූයේ ඔහු හුදෙක් කලාකාරයෙකු වූ නිසා නොව, මූලික වශයෙන්ම ඔහු දේශපාලන නායකයෙකු වූ නිසාය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී වෙන්වී මීට අවුරුදු හතරකට පෙර පිහිටුවන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා සහ ප්‍රධාන ප්‍රකාශකයා වූවා පමණක් නොව, ඔහුගේ අවමගුල් දිනය වූ පෙබරවාරි 21දා නිල වශයෙන් පිහිටුවීමට නියමිතව තිබු එක්සත් සමාජවාදී සන්ධානයේ නායකයා වීමටද නියමිතව තිබිණි. ඒ අතර ඔහු පෙබරවාරි 16 දා ඝාතනය කරන ලද්දේ, ඔහුගේම ඝාතකයන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශකරනු ලැබ ඇතැයි වාර්තා වී ඇති පරිදි ඔහුගේ යම්යම් දේශපාලන ක්‍රියාවන්ට ”දඬුවම්” පැමිණවීමක් වශයෙනි. ඒ අනුව, දේශපාලන මරණයකට ගොදුරු වූවෙකුට දේශපාලන අවමඟුලක් ලබාදීමේ ඇත්තේ පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයකි. එතෙකුදු වුවත් එම අවමඟුලේ දේශපාලන ස්වරුපය සහ දේශපාලන අර්ථය ගර්හාවෙන් බැහැර කිරීමට ඇතැම් දෙනා පෙළඹීමේ ඇති අර්ථයද පහසුවෙන් ඉවත දැමිය හැක්කක් නොවේ. සංකේතාත්මකව බලන විට, මෙම අවමඟුල ජන යාග කර්මයක් (චමඉකසජ රසඑම්ක) විය. එහිදී සිදුවූ එක් වැදගත් දෙයක් නම් විජය කුමාරණතුංග පිළිබඳව ගොඩනගා ඇති සමාජමය ප්‍රතිරූප මාලාවක්ම එකිනෙක සමග ගැටෙමින් ප්‍රදර්ශනය වීමයි. මෙහිදී ප්‍රධානතම ගැටුම ඇතිවූයේ කලාකරුවාය යන ප්‍රතිමුර්තියත්, දේශ පාලනඥයා යන ප්‍රතිමූර්තියත් අතරය. එම ගැටුමේ හරය නම් කවරකු විසින් කවරක් අබිබවනය කළයුතුද යන්නයි.

ප්‍රතිමූර්ති අතර ගැටුමක්
මෙමප්‍රතිමූර්තීන් අතර ගැටුමේ එක් විශේෂ දේශපාලනයක් තිබිණ. එනම්, විජය කුමාරණ තුංගගේ ජීවිතයත්, මරණයත්, නිර්-දේශපාලනය කිරීමේ දේශපාලනයයි. එම නිර්-දේශපාලනීකරණය සඳහාවූ ප්‍රයත්නය ගනු ලැබුවන්ගේ ප්‍රධාන කාර්යය වූයේ කලාකරුවෙකුගේ අවමඟුල දේශපාලන රඟමඬලක් කරගැනීමෙන් මියගිය කලාකරුවාට විශේෂයෙනුත්, කලාවට පොදුවේත් අවමානයක් හා මදිකමක් සිදුවුණිය යන්නයි. විජය හුදෙක් කලාකරුවෙකු සහ සිනමාවේ ආකර්ෂණීය වීරයෙකු ලෙස පමණක් සැලකු අතිවිශාල ජනකායක් ඔහුගේ අවමගුලට පැමිණි බව ඇත්තය. ඒ සමගම ඒ සියලු දෙනාම පාහේ දැන සිටි කරුණක්ද වන්නේ, තම සිහින ලොව වීරයාගේ සුන්දර මුහුණද කුඩු පට්ටම් වන සේ වෙඩි තබා ඔහු මරනු ලැබුවේ සිනමා තිරයේ අනන්ත වාරයක් දිගහැරී ඇති පරිදි ඔහු රූමත් තරුණ ස්ත්‍රීන්ගේ මුහුණ සිපගැනීමේ ”වරදට” නම් නොවන බවය. එම ”වරද” තිබුණේ වෙනත් තලයකය. එනම්, ලංකාවේ ජනවාර්ගික මිත්‍රත්වයේත්, සුහදතාවේත් දේශපාලන පණිවුඩය එම මුහුණෙන් ඉතා දැඩි ලෙස සංකේතවත් වී තිබුණේය යන කරුණ තුළය. වර්ගවාදයෙන් හා ගතානුගතික සහ ප්‍රතිගාමී ජාත්‍යෝන්මාදයෙන් නිදහස් වූ දේශපාලන සංවාදයක්, ප්‍රචණ්ඩත්වයෙන් කැළඹී ගිය මෙරට දේශපාලන ජීවිතයට යළි හඳුන්වාදීමේ පණිවිඩය ඔහුගේ මුවින් පැතිරීමය යන කරුණ තුළය. තමන් නායකත්වය දුන් දේශපාලන පක්ෂයේ ධජයෙන් වැසුණු මෘතකලේබරයේ බහා තිබුණු ඔහුගේ අප්‍රාණික සිරුරම ඔහු නියෝජනය කළ දේශපාලනයේත්, ඔහුට එදිරිවූ දේශපාලනයේත් තිබුණු සමනය කළ නොහෙන ප්‍රතිවිරෝධතාවේ මහා සංකේතය විය. එහෙත් ඔහුගේ කලාත්මක ප්‍රතිරූපය හුවාදැක්වීමට ඉදිරිපත් වුණු සෑම තර්කයකම ඇත්තේ මෙම දේශපාලන අර්ථය ප්‍රතික්ෂේප කිරීමේ උත්සහායකි.

සාමුහික ශාන්ති කර්මයක්
කලාව පිළිබඳව ආචීර්ණ කල්පිත දෘෂ්ටිවාදයේ දක්ෂිණාංශික ස්ථාවරය වෙතින් මෙම නිර්-දේශපාලනය සඳහාවූ තර්කය ඉදිරිපත්වී ඇති සැටිද මෙහිදී කෙනෙකුට පෙනේ. කලාව දේශපාලන යෙන්ද, දේශපාලනය කලාවෙන්ද වෙන්කළ යුතුය යන්න සුපුරුදු ගතානුගතික තර්කයකි. එම තර්කයේ එක් පැත්තක් නම්, කලාව යනු අතිශය සුන්දර සහ පාරිශුද්ධ විෂය වස්තුවක් බවත්, බලලෝභය මුල්කරගත් දුෂිත දේශපාලනය ගාවාගැනීමෙන් එය කිළිටි නොකළ යුතුය යන්නත්ය. මෙම තර්කය වූකලි බැලූබැල්මටම ඇත්ත ලෙස පෙනෙන දෙයක් මත ගොඩනැගුණු මිථ්‍යාවකි. දේශපාලනය නිසර්ගයෙන්ම දුෂිත එකකැයි කියාසිටීමත්, දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමත් එකක් නොව දෙකකි. වරද ඇත්තේ ‘දේශපාලනයේ’ නොව, ජනයා පීඩාවට, මර්දනයට සහ සූරාකෑමට ගොදුරුකරන සහ අහිංසක ජනයා බියගන්වන දේශපාලනය තුළය. ජනයා මත හිංසාකාරි ආධිපත්‍යයක් ලබාගැනීමට තැත්දරන දේශපාලනය තුළය. මෙතැන්හිදී කෙනෙකුට පෙනෙන දෙයක් නම්, කලාකරුවෙකු වශයෙනුත්, දේශපාලනඥයෙකු වශ යෙනුත් විජය කුමාරණතුංග වෙත ගොඩනැගී තිබූ ප්‍රතිවිරෝධී ප්‍රතිරූපයන් දෙක අතර සිදුවූ සම්මතයයි. සිංහල සිනමාවේ පවතින අවවර්ධනීය තත්ත්වය තුළ විජය කුමාරණතුංග පිළිබඳව සමාජයේ බහුතරය පිළිගෙන ඇති ප්‍රතිරූපය නම්, සමහර පෞද්ගලික බස්රථවල අලවා තිබුණු වර්ණ පෝස්ටරයකින් කදිමට කියැවුණු පරිදි ‘සිහින ලොවේ කුමරා’ යන්නයි.
පතිරාජගේ ‘අහස් ගව්ව’ නැතහොත් ‘පාර දිගේ’ වැනි කලාත්මක චිත්‍රපටයක විජය නිරූපණය කළ චරිත ආශ්‍රිත ප්‍රතිමුර්තියක් ඔහු පිළිබඳව ගොඩනැගී තිබුණු අතර, ඔහුගේ සිරුර පොල්හේන්ගොඩ සිට නිදහස් චතුරස්‍රයට ගෙනඒම අතර වූ දවස් හයක කාලය තුළ ඒ ගැන පුවත්පත්වලින් කතාබහ කෙරුණේද නැති තරම්ය. මෙය ලාංකික සිනමාවේත්, මෙරට බුද්ධිමය සංස්කෘතියේත්, කලාකරුවෙකු වශයෙන් විජය කුමාරණතුංගගේ තිබුණු දැඩි සීමාවන් අනාවරණය කරන්නකි. කෙසේවෙතත් කලාකරුවකු වශයෙන් පමණක් සඳහා විජයගේ අවමඟුල සිදුකරනු ලැබූයේ නම් එය ඔහුගේ අකල් මරණයෙන් හෘදය කම්පාවට පත් දහස්ගණනක් ජනයා හඬවන භාවාතිශයෙන් ඉහවහා ගිය සාමූහික ශාන්ති කර්මයක තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණි. රමණී බර්තලමියුස් සහ එච්ආර් ජෝතිපාල යන කලාකරුවන් දෙදෙනාට පසුගිය අවුරුද්දේ (1987) ලබාදුන් අවමඟුල්වලින් එය වෙනස් විය නොහැකිව තිබිණි. ඇත්තටම දේශපාලනයෙන් ඉවත් කරනු ලැබුවහොත් විජය කුමාරණතුංග සහ එච්ආර් ජෝතිපාල අතර කලාකාරයන් හැටියට දැඩි වෙනසක් නොපැවතීම, තරමක් අකාරුණික ලෙස පෙනුණද අප පිළිගත යුතු කරුණකි. අප ජීවත්වන සමාජයේම නිර්මාණයන් වන විජය කුමාරතුණංග නම් වූ පුද්ගලයාත්, ඔහු පිළිබඳව විවිධ ප්‍රතිරූප යන්වලින් නියෝජනය වුණු ප්‍රතිවිරෝධීතාව නිශේධාත් මකව බැහැර කළ යුතුයැයි ඉහත තර්කයෙන් මම අදහස් නොකරමි. මෙම ප්‍රතිවිරෝධයේ නිසර්ග ‘සිද්ධි’ ද්විඝට්ටනය කෙබඳුද යත් දේශපාලන අර්ථයකින් බලන විට කදිම ජනනාත්මක විභවයක් එහි තිබුණු බව පෙනේ. නොයෙකුත් ආකාරවලින් දැකිය හැකි එය ඉදිරිපත් කළ හැකි එක් ආකාරයක් මෙසේ ය: විජය කුමාරණතුංගගේ අතිශය ජනප්‍රියභාවයට හේතුවුණු චිත්‍රපට සියල්ලම පාහේ කලාත්මක ගුණයෙන් හීන, ප්‍රේක්ෂකයා මනරම් සිහින ලෝකයකට ගෙනයන ක්ෂණික්‍ විනෝදාස්වාදය පමණක් සපයන ‘වට්ටෝරු’ යන විශේෂණයට සාකල්‍යයෙන්ම ගැළපෙන ඒවා විය. ඒ අතර ඔහු පෙනීසිටි දේශපාලන ස්ථාවරයන් වූකලි සෑම සන්ධිස්ථානයකදීම වාමාංශයටත්, වාමාංශික දේශපාලනයෙන් හැඩ ගැසුණු බුද්ධිමය සංස්කෘතියටත් ලැජ්ජාවකින් තොරව ළංවිය හැක්කේ විජය රඟපෑ ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටවලට නොව බඹරු ඇවිත්, අහස ගව්ව හා පාරදිගේ වැනි චිත්‍රපටවලටය. එහෙත් ලාංකික ජන සංස්කෘතියේ තවමත් පවත්නා ස්වභාවය කෙබඳුද යත් දෙවනුව කී චිත්‍රපටවලින් මෙරට ජනසමාජයේ බහුතරයක ආකර්ෂණය තමන් වෙත ලබාගැනීමට එම චිත්‍රපට විජය කුමාරණතුංගට කිසිසේත් උදව්වන්නේ නැත. මේ අතර සර්වජන ජන්දය මත පවත්වන මැතිවරණ ක්‍රමයක් තුළ ඡන්දදායකයන්ගේ සහ යෝගය ලබාගැනීමට අපේක්ෂා කරන කවර දේශපාලනඥයෙකුට හෝ මෙරට සමාජයේ අතිබහුතරය නියෝජනය කරන ග්‍රාමීය මෙන්ම නාගරික අතර මැද සහ කම්කරු පාන්තික ජනයාගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙයි. ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් මෙම ගැටලුවට මුහුණදුන්නේත්, මුහුණ දෙන්නේත් එක්කෝ ජනයාට බොරු පොරොන්දු දීමෙනි. නැතහොත් ජනසමාජයේ පවත්නා වාර්ගික, ආගමික හෝ ප්‍රාදේශික අගතීන්ට ඉතා අවස්ථාවාදීවත්, සමාජයේ ප්‍රගතියට හානිදායක ලෙසත් කළ ආයාචනයක් මගිනි. ජාතිප්‍රේමය හා ආගම්වාදය සිංහල, දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයන් විසින් ජන සහයෝගය ලබාගනු වස් යොදාගනු ලබන උපකරණයන්ය. තම දේශපාලනයේදී එවැනි ප්‍රතිගාමී උපක්‍රමයන් මගින් බහුජන සහයෝගය ලබාගැනීමට අවශ්‍යතාවන් විජය කුමාරණතුංගට නොතිබීම, කලාකරුවෙකු වශයෙන් ඔහු සතුවූ ඉතාම ප්‍රතිජනනාත්මක සමාජමය ශක්තියවූ අතර, එම ශක්තියේ පදනමද ඔහු දේශපාලනයට පිවිසීමටත් පෙර ඔහු වෙත තිබුණාවූ චිත්‍රපටවලින් බිහිකරන ලද ජනප්‍රියභාවයයි.
ලංකාවේ ජනවාර්ගික සාමය හා සමගිය පිළිබඳව විජය ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු දෙක-තුන තුළ දී ඉදිරිපත් කළ ස්ථාවරයන් දෙස බලන විට පෙනෙන්නේ මෙරට සෑම ජන කොටසකටම අයත් පොදුජනයාට මහත් ආකර්ෂණාත්මක ශක්තියක් ඇති එකම ප්‍රබුද්ධ දේශපාලනඥයා ඔහුවූ බවය. මෙරට පොදු ජනයාත් ජාත්‍යෝන්මාදයෙන් සහ රණවාදයෙන් තොර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉදිරි දර්ශනයකුත් අතර සජීවී පුරුක වන්නට අවශ්‍ය සමාජමය පදනම විජය කුමාරණතුංගට සපයන ලද්දේ ඔහු රඟපෑ පොදුජනයා අතර සිත්ගත් බාල සහ කලා හීන චිත්‍රපටවලින් වීම මෙරට සංස්කෘතික හා සමාජ විචාරකයන්ගේ අවධානය යොමු විය යුතු ද්වෛධය (ච්ර්ාදං)කි. ‘ගැටලුවකි‘.
මා ඉහත දැක්වූ කරුණ මෙරට වාමාංශික දේශපාලනය සම්බන්ධ යෙන්ද අදාළ වන්නකි. පාර්ලිමේන්තු දේශපාලනය සිය භාවිත උපක්‍රමය ලෙස පිළිගන්නාවූද, එය ප්‍රතික්ෂේප කරන්නාවූද සෑම වාමාංශික දේශපාලන පක්ෂයක්ම මුහුණදෙන තියුණු අභියෝගයක් වන්නේ, මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් සමන්විත වන ”පොදු ජනතාව” යන පදයෙන් සාමන්‍යයෙන් හඳුන්වනු ලබන අතර මැද සමාජ පන්තිවල ජනයාට සිය දේශපාලන පණිවිඩය සාර්ථක ලෙස ගෙනයෑම පිළිබඳ ප්‍රශ්නයයි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයෙන් මේ පිළිබඳ තෙවැදෑරුම් අත්දැකීමක් අපට පෙනෙන්නට තිබේ. ඉන් එකක් නම් නාගරික කම්කරු පන්තිය කේන්ද්‍ර කොටගත් දේශපාලන වැඩපිළිවෙත් එම පන්තියෙන් පිටස්තර, එහෙත් මෙරට සමාජවාදී ව්‍යාපාරයට අත්‍යවශයෙන් දායක වියයුතු, විශේෂයෙන්ම අර්ධ නාගරික සහ ග්‍රාමීය ජනයා අතරට විනිවිද යෑමට අපොහොසත් වීමයි.
දෙවැන්න, එසේ විනිවිද යෑමේ උපක්‍රමයක් හැටියට මෙරට ගැමිජනයා අතර නියත ආකර්ෂණයක් ඇති සිංහල-බෞද්ධ දේශපාලන හරයකින් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාහනය කරගැනීමේ නිශේධාත්මක අත්දැකීමයි.
තෙවැන්න, ජාත්‍යෝන් මාදය සහ පටු දේශප්‍රේමය මත සකස්වුණු සටන්කාමී ජාතිකවාදයට සපුරා අනුගත වීමයි. මේවාට පිටස්තර ක්‍රියාමාර්ගයක් හා භාවිතයක් තුළ වාමාංශික දේශපාලනයක පණිවිඩය පොදුජනයා අතරට ගෙනයෑමේ අන් ආකාරයක් ගැබ්ව තිබුණේ විජය කුමාරණතුංගගේ පෞරුෂය තුළ වීම දේශපාලන හා සමාජ ප්‍රපංචයක් වශයෙන් ඔහු තුළ තිබුණු සුවිශේෂත්වය පෙන්නුම් කරයි.

න්‍යායවාදියෙකු නොවීම
මෙම සුවිශේෂත්වයේ අනෙකුත් අගය නම් ඔහු එම පණිවිඩය ජනයා අතරට ගෙන ගිය ආකාරයයි. විජය කුමාරණතුංග කිසිසේත්ම වාමාංශික න්‍යායවාදියෙක් නොවීය. වාමාංශික එක්සත් පෙරමුණේ නායකත්වය තුළ දේශපාලනය පිළිබඳ න්‍යායික දැනුමෙන් ඉතාම අඩු පුද්ගලයා ඔහු වී නම් එය අසත්‍යයක් නොවේ. මේ අනුව නව වාමාංශික පක්ෂවලටත් එල්ලවන පොතේගුරුවාදය පිළිබඳ විවේචනය විජය කුමාරණතුංගට නම් කිසිසේත් එල්ලකළ නොහැකිවිය. මේ අතර ලංකාවේ දේශපාලනය තුළ පැහැදිලිව දක්නට ලැබෙන දෙයක් නම් දැඩි මාක්ස්වාදී පුහුණුවකින් සහ න්‍යායික ශික්ෂණයකින් තොර සමාජවාදීන්, ජනතාවට වැටහෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම නම්වූ බොරු වළෙහි වැටීමෙන් වර්ගවාදය කරා පිරිහීමේ අනතුරයි. එසේ න්‍යායික පුහුණුවක් ලැබූ ලංකාවේ සම්භාව්‍ය වාමාංශික නායකත්වය පවා සිංහල ජාතිකවාදයට අනුගතවීමේ අනතුරට කලකට ඉහතදී හසුවීම, ලංකාවේ දේශපාලනයේ ඇති එක් අනිවාර්ය ගැටලුවක තීව්‍රතාව කියාපාන්නකි. ඇත්තටම ලාංකික සමාජය තුළ ‘ජනතාවගේ දේශපාලනය’ කිරීමත් ‘ජනතාවට තේරෙන භාෂාවෙන්’ සමාජවාදයේ පණිවිඩය දීමත් යන සුත්‍රයන් වූකලි අතිශයින්ම ගැටලු සහගත ඒවාය.
සිංහල ජාතිවාදයේ බලපෑමෙන් මිදී සමාජ සාධාරණත්වයේත්, සමාජවාදයේත් පණිවිඩය සෑම ජාතික කොටසකටම අයත් ජනයා අතරට ගෙනයා හැකි බව පෙන්වා දීම විජය කුමාරණතුංග තම ජීවිතයේ අවසාන කාලයේ ලබාගත් වැදගත්ම ජයග්‍රහණයයි. ලංකාවේ වමේ ව්‍යාපාරයට ඔහු එම ආදර්ශය දෙද්දී මෙරට දේශපාලනය පත්වී තිබුණේ ඊට පෙර කිසිදාක නොතිබුණු තරමේ අර්බුදයකටය. 1983 වර්ෂයේදී උත්සන්න වුණු ජනවාර්ගික ප්‍රශ්නයේ පසුබිම තුළ සිංහල සහ ද්‍රවිඩ ජනකොටස් අතර වාර්ගික සහ දේශපාලන බෙදීම ඉතා තියුණු වී තිබුණු අතර, රණකාමී ජාතිකවාදය සමාජ හා දේශපාලන ජීවිතයේ බල සම්පන්නම බලවේගය බවට පත් වී තිබුණි. ප්‍රධාන ජාතීන් දෙක අතර පැතිරෙමින් තිබුණු අන්‍යොන්‍ය අවිශ්වාසය, සමනය කළ නොහැකි දේශපාලන වෛරයක් බවට පත්කිරීමට කැසපට කවාගත් අන්ත ජාතිවාදී බලවේගවල දෘෂ්ටිමය ආධිපත්‍යය පරාජය කිරීම හදිසි කාර්යයක් වී තිබිණි. එහෙත් ඒ සඳහා අවශ්‍යවූ දේශපාලන නිර්භීතභාවය සීමාවී තිබුණේ, වමේ ව්‍යාපාරයට කෙලින්ම සම්බන්ධ නැති, එහෙත් වාමාංශික බුද්ධිමය සංස්කෘතියක් තුළ ක්‍රියාකළ, සිංහල සහ ද්‍රවිඩ ජනකොටස්වලට අයත්, මානව හිතවාදී උගතුන් අතලොස්සටත්, සිංහල රැඩිකල් වාමාංශයේ කුඩා කණ්ඩායම් කිහිපයකටත් පමණි. එසේ නමුත් අතිබැරෑරුම් දේශපාලන අර්බුදයන් තුළ කළයුතුවූ තීරණාත්මක මැදිහත්වීමක් සඳහාවූ ශක්තිය ඒ කිසිවෙකුටත් තිබුණේ නැත. එක් අතකින් රාජ්‍යයත්, පාලක පන්තියත් විසින් පෝෂණය කරනු ලැබූ සිංහල කේන්ද්‍රීය රණවාදයත්, ජාතිවාදී බුද්ධිමතුන් සහ ජනමාධ්‍යකරුවන් විසින් පතුරුවනු ලැබූ ජාතික උමතුවත් හමුවේ වර්ගවාදයෙන් තොර දේශපාලන විසඳුමක් සඳහාවූ පණිවිඩය සිංහල මෙන්ම ද්‍රවිඩ ජනයා අතරටද ගෙනයෑම අතිශයින්ම සංකීර්ණ වූත්, දේශපාලන වශයෙන් අනතුරුදායකවූත් කාර්යයක් විය. සිංහල ජනයාගේ ඡන්දය මත යැපෙන කිසිදු සිංහල දේශපාලන පක්ෂයකට සිතීමටවත් නොහැකිවූ එම අතිධාවනකාරී කාර්යයට අතගැසුවේ විජය කුමාරණතුංගය.
සිංහල සමාජයෙන් එන දේශපාලන පණිවිඩවලට සැකයෙන් තොරව කන්දීමට ද්‍රවිඩ ජනයා එතරම් සූදානම් නොමැති මොහොතක ද්‍රවිඩ ජනයාගේත්, ද්‍රවිඩ සටන් කාමීන්ගේත්, විශ්වාසය දිනාගැනීමට ඔහු කළ සමහර ක්‍රියා සිංහල දේශපාලනඥයන්ගේ අවමානයටත්, ඊර්ෂ්‍යාවටත් ලක් වුවද ඔහු තැබූ එම පියවර සිංහල දේශපාලනඥයෙකු විසින් මෑත කාලයේදී ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් කරනු ලැබූ ඉතාම ඥානාන්විත මැදිහත්වීමක් බවට වර්ධනය විය, ඔහු එම පියවර ගත්තේ ‘සිංහල ජාතිය පාවාදීම’ යන බැරෑරුම් චෝදනාවට ලක්වීමට දක්ෂිණාංශික මෙන්ම වාමාංශික සිංහල දේශපාලනඥයන් බියපත්ව සිටියදීය. ඔහුගේ ආදර්ශයේ අනෙක් වැදගත් පැත්ත නම්, ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය වේය යන පණිවිඩය සිංහල ජනතාවට තේරුම් කරදීමය. සිංහල ජාත්‍යෝන්මාදයේ බොරු වළවල නොවැටී එම පණිවිඩය පතුරුවන්නට අවශ්‍ය දේශපාලන ප්‍රතිභා ශක්තිය විජය කුමාරණතුංගට තිබුණි. ඔහුගේ එම ආමන්ත්‍රණයට හසුවූයේ සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ම නොවේ. වාමාංශික උගතුන්ම නොවේ. බෞද්ධ මෙන්ම කතෝලික ආගමික පසුබිම්වලින් ආ පහළ මධ්‍යම පන්තික සහ නාගරික කම්කරු පංති ජනකොටස්ය. මෙරට වාමාංශික දේශපාලනය තුළ සපුරාම ජනතාවාදී සමාජ පදනමක සිය දේශපාලනය සකස් කරගත් දේශපාලනඥයෙකු වූ ඔහු සිංහල-බෞද්ධ ජාතික වාදයේ සීමාවන් ඉක්මවා යෑම සහ ජාතිකවාදයට අභියෝගයක් වීම, ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ඔහු ලැබූ සුවිශේෂිත්වය ප්‍රකාශ කරන්නකි.■
(ජේඩීඑස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලද මෙම ලිපිය විජයගේ මරණය පසුබිම්කොට ලියන ලදුව මුලින් ‘මාවත’ සඟරාවේ පළවූවකි. එය පසුව ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාව සඳහාවූ ව්‍යාපා රය (පසරවැ) විසින් කුඩා පුස්තිකාවක් සේ පළකරන ලදි.