Untitled-1

Untitled-1

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (7)


gamina

අැති කර ගන්නා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් නොකළ යුතු යැයි කියන දේශපාලනඥයන්ගෙන් අප මුලින්ම ඇසිය යුතු එක් ප්‍රශ්නයක් තිබේ. එනම්, ඇයි ජනතාවට බය ද? යන්නයි. ජනතාව විසින් ගෙදර යවනු ලැබූ දේශපාලනඥයන් කොහොමත් ජනතාවට බය ය. එහෙත්, ජනතාව පසුගිය ජනවාරියේ දී බලයට පත් කර ගත් දේශපාලනඥයන් ජනතාව කෙරෙහි විශ්වාසය තැබිය යුතුව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ නැති බව එස්. බී. දිසානායක ඇතුළු වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කියන විට එයින් ඔවුන් ගම්‍ය කිරීමට බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මතයත් අනිවාර්යයෙන්ම එය වන බවකි. එවැනි තාර්කික සහසම්බන්ධයක් ගොඩනගා ගැනීමට සාමාන්‍ය තත්ත්වයක් යටතේ බැරිකමක් නැත. උදාහරණයක් වශයෙන් ගතහොත්, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාසත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂත් මේ රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ, තම තමන්ගේ පක්ෂ නායකත්වයන් යටතේ ය. මුලින් කී දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේත්, දෙවැනුව කී දෙන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යටතේත් බලයට පත්වූහ. එසේ වන විට, එම ජනාධිපතිවරුන්ගේ ස්ථාවරය සහ ඔවුන්ගේ පක්ෂ ස්ථාවරය එකක්ම විය යුතු බවට තර්කයක් නැත.
එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් රටේ ජනාධිපති පදවියට පත්වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉඳුරා පටහැනි දේශපාලනික සහ සමාජ ස්ථාවරයන් මත ගොඩනැගුණු වෙනත් සමාජ බලවේගයක පොදු අපේක්ෂකයකු වශයෙනි. එපමණක් නොවේ, එම බලවේගයේ අපේක්ෂකයා වශයෙන් ඔහු ජනාධිපති ධුරයට පත්වන්නේ, අර කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලිව පරාජයට පත්කරවමිනි. ඒ අනුව බලන විට, රටේ ජනාධිපති වීමෙන් පසුව ඔහු එකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයටත් පත්වන්නේ නම්, එහිදී සිදුවිය යුත්තේ, ඔහුගේ ජයග්‍රාහී ස්ථාවරය අනුව අර කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජය කෙරුණු ස්ථාවරය වෙනස් විය යුතු බව මිස, එකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජිත ස්ථාවරයට ඔහු නතු විය යුතු බව නොවේ. මන්ද යත්, බලයට පත්වීමෙන් පසු අර කියන පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට ඔහු නතු වන්නේ නම්, එය මේ රටේ 62 ලක්ෂයක් වන බහුතරයක් ජනතාව 2015 ජනවාරියේ තැබූ අපේක්ෂාව ඔලුවෙන් සිටුවීමක් වන බැවිනි. හෙවත්, ජනතා ස්වෛරීත්වය ආපසු හැරවීමක් වන බැවිනි. ඒ අනුව, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය කුමක්ද යන්න ගැන අපට සාකච්ඡා කළ හැක්කේ, අප කතා කරන්නේ කාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගැන ද යන්න බේරුම් කර ගැනීමෙන් පසුව පමණි.
මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙක, එකිනෙකින් වෙනස් ය. එකක් වන්නේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අනෙක වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ දෙක යා කිරීමට තැත් කරන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ සුසිල් ප්‍රේමජයන්ත වැන්නන් තතනන්නේ, 18 වැනි සංශෝධනය සම්මත කර ගත් මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළට මෛත්‍රීපාල සිරිසේනව විවිධාකාරයෙන් සිර කර ගැනීමට මිස, 19 වැනි සංශෝධනය ගෙනා මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් මහින්දව පුනරුත්ථාපනය කර ගැනීමට නොවේ. එබැවින් ඔවුන්ට පිළිතුරු දීමක් අපේ පැත්තෙන් අවශ්‍ය නොකෙරේ.
අපේ එකම අභිප්‍රාය වන්නේ, 19 වැනි සංශෝධනයෙන් ඉදිරියට යාම මිස ආපස්සට යාම නොවන බැවිනි.
ජනමත විචාරණයකදී මිනිසුන් උත්තර දෙන්නේ අසා ඇති ප්‍රශ්නයට නොවන බව ඩිලාන් පෙරේරා ඇමතිවරයා පසුගිය දා කියා තිබුණි. ඒ කතාවේ යම් ඇත්තක් තිබේ. එහෙත්, ජනතාව එසේ ප්‍රශ්නය වරදවා වටහා ගන්නේ ඇයි යන්න හෙවත් ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වැනි උත්තරයක් දෙන්නේ මන්ද යන්න අප සලකා බැලිය යුතුය. පුංචි කාලයේ, මාපියන්ගෙන් යම් වරදානයක් ඉල්ලීමට අපට අවශ්‍ය කළ විට, ඔවුන් කේන්තියෙන් සිටින අවස්ථාවක් වෙනුවට අප තෝරා ගන්නේ ඔවුන් හොඳ ‘මූඞ්’ එකක ඉන්නා අවස්ථාවකි. මන්ද යත්, අප ඉල්ලන දෙය මොන තරම් සාධාරණ එකක් වුවත්, ඔවුන් කෝපයෙන් සිටින අවස්ථාවකදී ඊට සාධනීය ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබීමට ඇති ඉඩකඩ අඩු නිසා ය. ඉතිං අප කරන්නේ කුමක්ද? ඔවුන්ගේ හිත් ගන්නා වෙනත් නොයෙකුත් දේවල් ඔවුන්ට පෙනෙන පරිදි කිරීමයි. පොතක් අතට ගෙන පාඩම් කරන බවක් ඇඟවීම, වෙලාවට දත කට මැද ගැනීම, දඟ නොකර සිටීම සහ වෙලාවට නින්දට යාම වැනි දේවල් කෙරෙහි අපි නැඹුරු වෙමු.
ජනමත විචාරණයක් සඳහාත් එවැනි පරිසරයක් අවශ්‍ය බවට සැකයක් නැත. ඒ පරිසරය අප ඇති කර ගත යුත්තේ, කුඩා දරුවන් මෙන් බොරු ශීලයක් ඇඟවීමෙන් නොව, වැඩිහිටියන් මෙන් ජනතාව සමග එකට සිට ගැනීමෙනි. එසේ නම්, පවතින රජය කෙරෙහි තිබෙන ජනතා අප්‍රසාදය සමනය කර ගැනීම මෙහිදී ආණ්ඩුව පැත්තෙන් අනිවාර්ය කෙරේ. අද යහපාලන ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්ව ඇතොත් ඒ, හාල් සේරුවේ මිල ඉහළ යාම නිසා නොව, 2015 දී දුන් ප්‍රධාන පොරොන්දුවකට පිටුපෑම නිසා ය. එනම්, රාජපක්ෂ යුගයේ මහ සොරුන්, මහජන දේපල පැහැරගත් මංකොල්ලකරුවන් සහ අපරාධකරුවන් සමග ‘සාංගම්’ දේශපාලනයක් ගෙන යන බවක් මහ ජනතාවට පෙනෙන්ට ඇති නිසා ය. මේ කම්බා හොරුන් සහ අපරාධකරුවන් ආරක්ෂා වී සිටින්නේ යහපාලකයන්ගේ අනුග්‍රහයෙන් බව මහ ජනතාවට පෙනෙන්ට තිබේ. රටේ සමස්ත විනීත ජනතාව මොන ලෙසෙකින්වත් මේ යහපාලනයට සමාව නොදෙන ප්‍රධාන කාරණය එයයි.
මේ තත්ත්වය ආණ්ඩුව නොදන්නවා නොවේ. විවිධ ව්‍යාජ අවසරයන් යටතේ පළාත් පාලන ඡන්දය කල් දැමෙන්නේ එබැවිනි. තමන්ගේ පරාජයක් පිළිබඳව ඇති බිය නිසා ඡන්දයක් කල් දමනවා වෙනුවට ආණ්ඩුවක් කළ යුතුව ඇත්තේ, තම පරාජයට හේතු විය හැකි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමයි. වැලිකඩ සිරගෙදර සිරකරුවන් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කැරැවීම, තාජුඩීන් ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම්වලටත්, මිග් යානා ගනුදෙනුව, සිල් රෙදි සොරකම, පිය ස්මාරක තැනවීම ආදි රාජපක්ෂ යුගයේ ඇති වූ දූෂිත සිදුවීම්වලටත් අදාළ පුද්ගලයන්ට එරෙහිව සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීම, අර කී මහජන අප්‍රසාදය ආපසු හැරවීමට ඇති එකම මගයි.
එවැනි පියවර ගැනීමකට සමගාමීව පවත්වන ජනමත විචාරණයක් සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොසැලී නායකත්වය සැපයිය යුතුව තිබේ. පළාත් පාලන ඡන්දයකට මුහුණදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල කඳවුර මැළි කරන්නේ, ඇත්තෙන්ම තමන්ට පරාජයක් අත්වෙති යි යන බියෙන් නම්, ඊට ද සුදුසු උත්තරයක් ජනමත විචාරණයකින් ලැබෙන්නේය. පළාත් පාලන ඡන්දයකට තනිව මුහුණදෙන එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනමත විචාරණයක් සඳහා මුහුණදෙන්නේ, තවත් පාර්ශ්ව රාශියක් සමග එකට ය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ (බහුතර) පක්ෂය සහ සිවිල් සමාජ ව්‍යාපාර ආදි සියලු බලවේග, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එකට පෙනී සිටිති. එබැවින්, තනි පක්ෂයක් හෝ පක්ෂ කෑල්ලක් වශයෙන් පළාත් පාලන ඡන්දයකින් ජය ගැනීමට වඩා, පක්ෂ සාමූහිකයක් වශයෙන් ජනමත විචාරණයකින් ජය ගැනීමේ ශක්‍යතාව වැඩි ය. ඊළඟට, ජනමත විචාරණයක දී මේ රටේ අධිකාරීවාදී සහ ජාතිවාදී කඳවුර එක පැත්තකත්, 2015 දී යහපාලනය වෙනුවෙන් පෙළ ගැසුණු බලවේග තවත් පැත්තකත් එකට ගොනු වීම තුළින් ලබා ගන්නා ජයග්‍රහණයකදී, මහින්ද රාජපක්ෂ කඳවුර තුන්වැනි වරටත් පරාජයට පත් කැරැවීමේ මහඟු අවස්ථාව අපට ලැබෙන බවත් අමතක නොකළ යුතුය.
2015 ජනවාරි මාසයේ දී, මහින්ද රාජපක්ෂ පරාජය කැරැවීම සඳහා මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේනට ලබා දුන් මහඟු අවස්ථාව, 2015 අගෝස්තුවේ දී එකී මහින්ද රාජපක්ෂ සමග සන්ධානගත වීම තුළින් ජනාධිපතිවරයා අහිමි කර ගත්තේය. ඒකාබද්ධ විපක්ෂය සහ ‘පොහොට්ටුව’ වැනි විකෘතිතා ඉදිරියේ ඔහු අද අසරණ වී සිටින්නේ එබැවිනි. එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා වැනි දේශපාලනඥයන්ගේ ‘මගුල් කපුකම්’ හරහා රාජපක්ෂලා සමග ‘අවබෝධතාවක්’ ඇති කර ගැනීමට බලනවා වෙනුවට ජනාධිපතිවරයා අද කළ යුතුව ඇත්තේ, 2015 දී තමන් බලයට පත් කළ ජනතාව සමග යළි සන්ධානගත වීමයි.■ (ඉතිරිය ඉදිරියට)