අවවාදයයි: තොරතුරු නීතිය සමහරුන්ට අජීර්ණ විය හැකියි!


nalaka

මම මහා මෝඩයෙක්. දුරදිග නොබැලූ ඔලමොට්ටලයෙක් ආපසු හැරී බලන විට මේ තරම් මෝඩකමක් කෙසේ කළා දැයි මටම පුදුම හිතෙනවා!”
මෙසේ ආවර්ජනය කළේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. 1997 සිට 2007 දක්වා වකවානුවේ බි්‍රතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර්. මහ මෝඩකමක් ලෙස ඔහු පසු කලෙක හැඳින්වූයේ බි්‍රතාන්‍යයට තොරතුරු නීතියක් හඳුන්වාදීමයි.!
1997 මහමැතිවරණයට තරග කරන විට ලේබර් (කම්කරු) පක්‍ෂයේ මැතිවරණ ප්‍රතිඥා අතරට තොරතුරු නීතිය ලබාදීමද ඔහු එකතු කළා. මැතිවරණය දිනූ පසු 1998දී නව ලේබර් රජය “ඔබේ දැන ගැනීමේ අයිතිය” නමින් ධවල පත්‍රිකාවක් නිකුත් කළා. ඉනික්බිති කෙටුම්පත් කරන ලද බි්‍රතාන්‍ය තොරතුරු නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වී රැජිනගේ අනුමැතිය ලැබුවේ 2000 නොවැම්බරයේ.
ගෙවී ගිය දශක එකහමාරක කාලය තුළ බි්‍රතාන්‍ය තොරතුරු නීතිය නිසා රාජ්‍ය රහසිගතභාවය සැලකිය යුතුතරමට අඩු වී වඩාත් විවෘත ආණ්ඩුකරණයට එරට යොමු වී තිබෙනවා. රජ පවුල, ජාතික ආරක්‍ෂාව, අධිකරණ කටයුතු ආදි ක්‍ෂෙත්‍ර කිහිපයක් හැරුණු කොට රාජ්‍ය තන්ත්‍රයේ වෙනත් බොහෝ අංශ හා පැතිකඩ ගැන මේ නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට තොරතුරු ඉල්ලා ලබා ගත හැකියි.
2014දී එරට තොතුරු ඉල්ලීම් 46,806ක් විවිධ රාජ්‍ය ආයතනවලට යොමු කරනු ලැබ, ඒවායෙන් 33,900කට ප්‍රතිචාර දක්වනු ලැබුවා. (ඉතිරිය දීමට නොහැකි වීම ගැන නීතිය තුළ හේතු දක්වනු ලැබුවා.)
රජයේ ආයතන ප්‍රගාමීව (proactively) තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වැඩිවීමත් සමඟ බි්‍රතාන්‍ය පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ අවශ්‍යතාවන් අඩු වී තිබෙනවා.
බි්‍රතාන්‍යයේ තොරතුරු ඉල්ලීම්වලින් භාගයකටත් වඩා කරන්නේ සාමාන්‍ය පුරවැසියන් විසින්. මාධ්‍යවේදීන් සමස්ත ඉල්ලීම්වලින් 20%ක් පමණ තමයි ගොනු කරන්නේ. ඉතිරිය ව්‍යාපාර හා ජනතා සංවිධාන විසින්.
තොරතුරු නීතිය නිසා එරට විවිධ රජයන්ගේ හා රාජ්‍ය ආයතනවල අක්‍රමිතා හා දූෂණ රැසක් හෙළිදරවු වී තිබෙනවා. එයින් ලෝකයේම අවධානයට ලක් වූ සිද්ධියක් නම් විවිධ පක්‍ෂවලට අයත් මන්ත්‍රීවරුන් හොර රිසිට්පත් යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂයෙන් වියදම් ලබා ගැනීමයි. කලක සිට සිදු වූ මේ වංචාව 2009දී හෙළි වී, විමර්ශනයකට පසු මන්ත්‍රීවරුන් සිවු දෙනකුට නඩු පවරා, චෝදනා ඔප්පු වී ඔවුන් සිරගත කරනු ලැබුවා.
මෙවැනි අත්දැකීම් නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක ව්‍යාප්ත සංකේතයක් වන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා සමහර මන්ත්‍රීවරු තොරතුරු නීතියට කැමති නැහැ.
1997 ඉතා ජනප්‍රිය නායකයකු ලෙස අගමැති ධුරයේ වැඩ ඇරැඹූ ටෝනි බ්ලෙයාර් 2001දී හා 2005දී නැවතත් මහමැතිවරණ ජය ගත්තද ඔහුගේ මහජන පිළිගැනීම ක්‍රමයෙන් ක්ෂීණ වී ගියා. විශේෂයෙන්ම 2003දී අමෙරිකාව ප්‍රමුඛ සන්ධානයක් ඉරාකය ආක්‍රමණය කළ විට සිය රටට බොරු කියා එම සන්ධානයට බි්‍රතාන්‍යයද එකතු කළ බවට ඔහුට බොහෝ චෝදනා තිබෙනවා.
ඔහු දශකයකට පසු තනතුරෙන් බැහැරව ගියේ ප්‍රතිරූපය හානිකර ගත් කපටි දේශපාලකයකු හැටියටයි. මේ නිසා තොරතුරු නීතිය ගැන 2010 සිය ආත්ම චරිතාපදානයේ බ්ලෙයාර් කියා ඇති, අප ඉහත උපුටා දැක්වූ නිර්දය තක්සේරුව ගැන පුදුම විය යුතු නැහැ.
“තොරතුරු නීතිය ප්‍රජාතන්ත්‍රවාදය තිරසාර කරන බව ඇත්ත. එහෙත් ඒ නිසාම ආණ්ඩුකරණය දුෂ්කර වනවා. කැබිනට් ඇමතිවරුන් අතර හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ රහසිගතව යම් යම් දේ කථා කිරීමට, ලේඛන හුවමාරුවට ඉඩ තිබිය යුතුයි. එහෙත් මේ රහසිගත හුවමාරු කිරීම්, පසුව තොරතුරු නීතිය යටතේ පුරවැසියන්ට ඉල්ලා සිටිය හැකි වීම රාජ්‍ය පාලනයට ප්‍රශ්න මතු කරනවා” යයි බ්ලෙයාර් 2010දී තර්ක කළා.
හැබැයි මේ තර්කයට සැවොම එකඟ නැහැ. තොරතුරු අයිතිය සඳහා බි්‍රතාන්‍ය ජනතා ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මොරිස් ෆැන්කල් කීවේ මෙයයි. “තොරතුරු නීතිය නිසා පාර්ලිමේන්තුවට හා මහජනයාට බොරු කීම ඕනෑම රජයකට වඩාත් දුෂ්කර වනවා. බොරු කීවද එය පසුව විමසා හෙළිදරවු කර ගත හැකියි. කියන දේ කරන, කරන දේ කියන ප්‍රතිපත්ති ගරුක දේශපාලන නායකයන්ට නම් තොරතුරු නීතිය ප්‍රශ්නයක් වන්නේ නැහැ.”
මීට වසර කිහිපයකට පෙර බි්‍රතාන්‍යයේ සිදු වූ මේ කථාබහ යළිත් වරක් ගිය සතියේ කොළඹ සංවාදයකදී සිහිපත් කළේ ප්‍රකට ඉන්දියානු තොරතුරු ක්‍රියාකාරිකයකු වන වෙන්කටේශ් නායක්(Venkatesh Nayak) විසින්.
පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් ආයතනයේ (Commonwealth Human Rights Initiative, CHRI) නවදිල්ලි කාර්යාලයේ සේවය කරන ඔහු එරට තොරතුරු නීතිය 2005දී ඇරඹුණු දා පටන් සක්‍රියව එය භාවිත කරන්නෙක්. එසේම නීතියේ ක්‍රියාකාරිත්වය ගැන සුපරීක්‍ෂාකාරීව බලා සිට අවශ්‍ය අවස්ථාවල මැදිහත් වන්නෙක්.
ඔහුගේ විශේෂඥ දැනුම හා උපදෙස් මෙරටට ලැබීම ඉතා ප්‍රයෝජනවත්.
තොරතුරු අයිතිය හා නීතිය හඳුන්වා දීමට මුල් වන ඇතැම් දේශපාලන නායකයන්ට පසුව එය හිසරදයක් වී ඒ ගැන තැවෙන අවස්ථා මෑත ඉතිහාසයේ ඇති බවට උදාහරණයක් ලෙසයි නායක් ටෝනි බ්ලෙයාගේ ආවර්ජනය ගෙන හැර දැක්වූයේ.
එසේම තොරතුරු නීතියක් සම්මත කළ පමණින් විවෘත ආණ්ඩුකරණයක් ඉබේම බිහි වන්නේද නැහැ. ඒ සඳහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුළ ආකල්පමය වෙනසක්, නිසි පුහුණුවක් හා කැපවීමක් ද අවශ්‍යයි. මෙය පරිපූර්ණ වන්නට මාස ගණනක් (ඇතැම් විට වසර කිහිපයක්) ගත වන බව වෙනත් රටවල අත්දැකීමයි.
“තොරතුරු නීතිය අන් සියලු නීතිවලට වඩා වෙනස්. එය භාවිත කළ යුත්තේ රජය නොව පුරවැසියන් විසින්. රාජ්‍ය ආයතන කරන්නේ එම නීතියට අනුගත වීම පමණයි. පුරවැසියන් තොරතුරු නීතිය භාවිත කරන තරමට රාජ්‍ය තන්ත්‍රය වඩ වඩාත් එම නීතියට අනුගත වීම සිදු වනවා” යයි නායක් කියනවා.
ඔහුගේ උපමිතිය මෙයයි. “තොරතුරු නීතිය හරියට අපේ ශරීරයේ මාංශ පේශියක් වගේ. භාවිත කිරීම වැඩිවෙත්ම එය වඩාත් ශක්තිමත් වනවා. අලසව සිටියොත් එය වැහැරී යන්නට හැකියි!”
ජාතික මට්ටමින් 2005දී තොරතුරු නීතිය හඳුන්වා දුන් ඉන්දියාවේ මේ වන විට වසරකට පුරවැසි තොරතුරු ඉල්ලීම් මිලියන 5.5 – 8 අතර ගණනක් වාර්ෂිකව ගොනු කැරෙනවා. මේ ඉල්ලීම්වලින් බහුතරයක් (80%ක් පමණ) රාජ්‍ය ආයතන විසින් සිදු කළ යුතු පුරවැසි සේවා හරිහැටි නොකෙරෙන්නේ ඇයිද යන්න විමසනවා.
මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය ආයතනවල වගවීම (accountability)ගැන මෙසේ සෘජුව ප්‍රශ්න කිරීමට, උත්තර ලබා ගැනීමට හා ඒ තොරතුරු හරහා එම ආයතන මහජන අධීක්‍ෂණයට ලක් කිරීමට තොරතුරු නීතිය නිසා හැකිව තිබෙනවා.
මෙය ඉබේ සිදු වුවක් නොවෙයි. මහත් ආයාසායෙන් ගොඩ නගාගත් ප්‍රවනතාවක්. මේ සඳහා ඉන්දියානු සිවිල් සමාජ සංවිධාන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හා කරමින් සිටින බව නායක් කොළඹ දේශනයකදී විස්තර කළා.
සිවිල් සමාජය සංකල්පය අපේ සමහරුන් නිසියාකාරව තේරුම්ගෙන නැහැ. එයට විධිමත් රාජ්‍ය නොවන සංවිධාන (NGOs) මෙන්ම වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, වෘත්තිකයන්ගේ සංවිධාන, බිම් මට්ටමේ කුඩා පරිමාණයේ ස්වේච්ඡා සමිති හා සමාගම් (තරුණ සමිති, කාන්තා සමිති, මරණාධාර සමිති) ආදි සියල්ල ඇතුළත්.
ඉන්දීය සිවිල් සමාජ සංවිධාන තොරතුරු නීතිය අරභයා ප්‍රධාන භූමිකාවන් පහක් රඟපාන බව නායක්ගේ විග්‍රහයයි.
x තොරතුරු අයිතිය හා එයට අදාළ නීතිය ගැන මහජනයා දැනුවත් කිරීම
x පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලමින් රාජ්‍ය ආයතනවලට තොරතුරු ඉල්ලීම් කිරීම
x තොරතුරු නීතිය නිසි ලෙස යොදා ගැනීම පිළිබඳව මහජනයාට තාක්ෂනික උපදෙස් දීම (ඉල්ලුම්පත් හා අභියාචනා ගොනු කිරීමේ සහායද ඇතුලුව)
x තොරතුරු නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවාද යන්න නිරීක්‍ෂණය කිරීම හා අදාළ පර්යේෂණ කිරීම.
xපාරදෘශ්‍යභාවය රජයෙන් ඉටුවන්නේ කෙසේද යන්න සක්‍රිය වන අතර තමන්ගේ ආයතනික පාරදෘශ්‍යභාවය ද සහතික කිරීම.
“තොරතුරු නීතිය ගැන මුලදී සමාජයක යම් දුර්මත හා චකිතයක් පැවතිය හැකියි. එය කෙමෙන් ඉවත් කොට නීතිය භාවිත කිරීම අවශ්‍ය උත්තේජනය හා උපකාර සැපයීම සිවිල් සමාජයේ ලොකු වගකීමක්” නායක් කියනවා.
මේ නීතිය යොදාගෙන රාජ්‍ය ආයතනවලින් තොරතුරු ඉල්ලා ලබා ගන්නට නීතිඥයන් අවශ්‍ය නැහැ. ඉන්දියාවේ මෙන්ම අපේ රටෙත් අදාළ ක්‍රමවේදය සංකීර්ණ එකක් නොවෙයි.
එහෙත් අවශ්‍ය ආත්ම ශක්තිය හා මූලික පෙලගැස්ම පුරවැසියන්ට ලබාදීමට සිවිල් සමාජ සංවිධානවලට හැකියි. පුරවැසි තොරතුරු ඉල්ලීම් නිරවුල්ව ගොනු කිරීම හා වඩාත්ම අදාළ රාජ්‍ය ආයතනය හඳුනාගෙන එයට ඉදිරිපත් කිරීම සඳහා යම් කිසි සාමාන්‍ය දැනීමක් හා රට ලෝකය ගැන අවබෝධයක් තිබීම ඉතා ප්‍රයෝජනවත්.
මේ සඳහා ඉන්දියානු සිවිල් සමාජය තොරතුරු සායන (RTI Clinics) පවත්වනවා. නීතිඥයන් නොමැතිව තොරතුරු නීති ඉල්ලුම්පත් හා (ඒවා ප්‍රතික්‍ෂේප වූ විට) අභියාචනා ගොනු කරන සැටි පුරවැසියන්ට කියා දෙනවා. මෙහිදී ඉතා උද්යෝගීමත්ව සහභාගි වන්නේ විශ්‍රාමිකයන් හා ශිෂ්‍යයන් බව නායක් කියනවා.
මේ සායනවලට පැමිණීමට නොහැකි පුරවැසියන්ට වුව ලෙහෙසියෙන් තම ප්‍රශ්නවලට අදාළ කොට සකසා ගත හැකි සාම්පල් මට්ටමේ තොරතුරු ඉල්ලුම්පත් ඉන්දීය සිවිල් සංවිධාන නිර්මාණය කොට වෙබ්ගත කර තිබෙනවා. ජල සැපයුම, විදුලි සැපයුම, මාර්ග නඩත්තුව, පොදු ප්‍රවාහන සේවා, මහජන සෞඛ්‍ය සේවා, කසල කළමනාකරණය, රජයේ පාසල් ආදි ක්‍ෂෙත්‍රවලට අදාළ කරගත හැකි ඉල්ලුම්පත් එහි තිබෙනවා.
මෙයට අමතරව තොරතුරු නීතිය දියාරු කරන්නට කිසියම් උත්සාහයක් ගනීද යන්න ගැනත් ඉන්දීය සිවිල් සමාජය අවධියෙන් සිටිනවා. 2005-2016 වකවානුව තුළ සිවූ වතාවක් එවන් උත්සාහයන් කරන ලද නමුත් පුරවැසි විරෝධතා නිසා ඒවා අසාර්ථක වූ බව නායක් කියනවා.
“තොරතුරු නීතිය රාජ්‍ය පරිපාලනයට අවහිර කරනවා. සංවර්ධනය අඩාල කරනවා වැනි තර්ක සමහරුන් මතු කළා. මේවා ශ්‍රී ලංකාවෙත් මතු වේවි. එසේම මේ නීතිය යොදා ගෙන අනවශ්‍ය ප්‍රශ්න අසනවා යයි සමහර දේශපාලකයන් හා නිලධාරීන් ඉන්දියාවේ මැසිවිලි නගනවා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක රාජ්‍ය වගවීම තනි පුද්ගලයන්ට රිසි පරිදි සීමා කරන්නට බැහැ” නායක් කියනවා.
ඉන්දියාවේ බහුවිධ අත්දැකීම් මත පදනම් වී ඔහු අපට දෙන අවවාද මේවායි: තොරතුරු හරිහැටි වැඩ ගන්නට සාමූහිකව පෙළගැසෙන්න. තොරතුරු ඉල්ලන පුරවැසියන් තනි වන්නට ඉඩ නොදෙන්න. පුද්ගලික උවමනාවකට හෝ පොදු අවශ්‍යතාවකට හෝ තොරතුරු ඉල්ලන සහෝදර පුරවැසියන් හැකි තාක් දිරිමත් කරන්න.
ශ්‍රී ලංකාවේ තොරතුරු නීතිය තවම අලුත්. එය සමාජගත කොට වැඩියෙන් භාවිත කිරීමට පුරවැසියන් හා සිවිල් සංවිධාන දිරිමත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්‍ෂවල අනුමැතියෙන්, ඒකච්ඡන්දයෙන් සම්මත කරගත් මේ නීතිය ප්‍රවර්ධනය කිරීමේ වගකීම අප සැමට තිබෙනවා.
මේ නීතිය යහපාලන රජයේ මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කිරීමක්. කැමති නම් ඒ ගැන පම්පෝරි ගැසීමට රජයට අයිතියක් තිබෙනවා. එහෙත් පුරවැසි අපේ යුතුකම හා වගකීම නම් දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ අපහසුතාවන්ට පත්වේද නොවේද යන්න නොතකා මේ නීතියෙන් හැකිතාක් වැඩ ගැනීමයි.
පුරවැසියන් හා ඔවුන්ගේ සිවිල් සමාජ සංවිධාන සුවච, කීකරු හා රාජ්‍ය ගැති ලෙසින් හැසිරිය යුතුය යන වැඩවසම් ආකල්පය පසුගිය රජයට තිබුණා. එහෙත් මේ රජයට එබඳු ස්ථාවරයක් ගත නොහැකියි. එහෙයින් ජනාධිපතිවරයා මෑතදී කළ ප්‍රකාශයක් විවාදාත්මකයි. 2017 පෙබරවාරි 17 අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලබා දීමේ නිල උත්සවයේදී කථාවක් කරමින් ජනපතිවරයා තොරතුරු නීතිය යටතේ මුල්ම තොරතුරු ඉල්ලීමක් කළ පුරවැසි සංවිධානවලට දොස් කියා තිබෙනවා
(කථාව වෙබ්ගත කොට තිබෙනවා: www. youtube com/ watch? v=HI6H3 IeWLew)කථාවේ එක් තැනෙක ජනපති මෙසේ කියනවා: ”ගැසට් එක පළ කළ පෙබරවාරි 3 දිනය දාලාම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනවා වත්කම් (ප්‍රකාශ) ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන. හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.”
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනැම පුරවැසියකුට හෝ සංවිධානයකට ජනපති, අගමැති වත්කම් ප්‍රකාශ ඉල්ලිය හැකියි. තමන් එය ඉල්ලා සිටින්නේ ඇයිද යන්න හෝ එසේ ලබා ගන්නා තොරතුරු තම විෂය පථයට අයත්ද ආදි කිසිවක් දැක්විය යුතු නෑ.
තමන්ම පොරොන්දු වී ලබා දුන් යහපාලන ප්‍රතිඥාවක් ක්‍රියාත්මක වන විට ජනපතිවරයා මෙවන් ප්‍රකාශයක් කිරීම කනගාටුදායකයි. එයින් වක්‍රාකාරව සිවිල් සමාජය දිගටම තොරතුරු ඉල්ලීම් කිරීම දුර්මුඛ කළ හැකියි.
ජනපතිවරයා නමින් නොකීවත් මේ සඳහනට නිමිත්ත මෙයයි. පෙබරවාරි 3 වනදා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශ හෙළිකරන ලෙස අදාල කාර්යාල දෙකට ඉල්ලීම් යොමු කළා.
නීතියට අනුව එයට වැඩ කරන දින 14ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතුයි. දින 14 පිරුණු පෙබරවාරි 27දා විමසූ විට ජනපති කාර්යාලය කියා ඇත්තේ මුල් ලිපිය සොයා ගත නොහැකි බවයි! ලිපියේ පිටපතක් යළි යවනු ලදුව, මාර්තු 1 අලුත්ම තත්ත්වය නම් මේ තොරතුරු දිය යුතුද යන්න ගැන ජනපති කාර්යාලය තොරතුරු කොමිසමෙන් විමසන බවයි.
විවෘත ආණ්ඩුකරණයට යන මාවත දුෂ්කර ගමනක්!■