දුප්පත්කම වගා කිරීම


ivan

වික්ටර් අයිවන්

පුනරුදයේ ශාඛා ගොඩනැගීම සඳහා කෙරෙන ආරම්භක සාකච්ඡා සඳහා රට පුරා සංචාරය කරන්නට ලැබීම වෙහෙසකර කාර්යයක් වුවත් ඉන් ජීවිතයට ලැබී තිබෙන සොම්නසේ ප්‍රමාණය අතිවිශාලය. ඒ නිසා රටේ විවිධ ප්‍රදේශවලට යමින් ඒ ප්‍රදේශවල මිනිසුන් සමඟ ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමේ හැකියාව ලැබී තිබේ. ඒ මගින් එම ප්‍රදේශවල පවත්නා යථා තත්ත්වයන් පිළිබඳ හරි අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත්තේය. ඒ මගින් සිදුවී තිබෙන තවත් වැදගත් දෙයක් වනුයේ ඒ ඒ ප්‍රදේශවල සිටින රාවය පාඨකයන් හමුවී ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාවක් ලැබීමය. මීට පෙර ප්‍රාදේශීය මට්ටමෙන් රාවය පාඨකයන් පුළුල් ලෙස හමුවීමේ අවස්ථාවක් මට ලැබී නැත. දැන් යන හැම තැනකම පාහේ රාවය පාඨකයෝද සිටින්නෝය. බොහෝවිට කණ්ඩායම් ගොඩනගන්නන් බවට පත්ව සිටිනුයේ ඔවුහුය. එහිදී රාවය පාඨකයන්ගෙන් නිතර නිතර අසන්නට ලැබෙන දෙයක් වනුයේ තමන්ගේ අදහස් හැඩගැස්සවීමෙහිලා රාවය පුවත්පත වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන බවය. පුනරුදය සංවිධානයේ ප්‍රබල ආධාරකරුවෙකු බවට පත්ව සිටින මාගේ මිතුරකු සාකච්ඡා සභාවකදී කියන ලද අපූරු කියමනක් මෙසේය. “වික්ටර් අයිවන් අවුරුදු 30ක් ගඩොල් කැපුවා. දැන් එයා ඒ ගඩොල්වලින් ලස්සන ගෙයක් ඉදිකරමින් සිටිනවා.”

පරිවර්තනයේ ඇතැම් ලක්ෂණ
මේ වනවිට පුනරුද ව්‍යාපාරය ගොඩනගා තිබෙන ශාඛාවල ප්‍රමාණය 50 සීමාව ඉක්මවා ඇත්තේය. එය වැදගත් කඩඉමක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යාපාරයට අල්ලාගෙන සිටීමේ හැකියාවක් නැතැයි කියා සිතන අය මාගේ මිතුරන් අතර පවා සිටියෝය. ලංකාවේ පවත්නා තත්ත්වය අනුව හැමදේකටම එන කුරෝලුවූ සුළු පිරිසක් හැර නැවුම් මිනිසුන් එකතු කරගැනීමට නොහැකි වනු ඇති බව සමහරෙක් කීවෝය. ඒ තත්ත්වය බොරු කිරීමට දැනටමත් අපට හැකිවී තිබෙන්නේයැ’යි කිව හැකිය. සාමාජික සම්මේලනය පැවැත්වෙන අගෝස්තු අවසානයට පෙර ශාඛා 200ක් පිහිටුවීමට අප අපේක්ෂා කරන අතර ඒ ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට අප සමත්වනු ඇතැයි අපි විශ්වාස කරමු.
පසුගිය 18 වැනිදා ත්‍රි’මලයේදී පුනරුදය ශාඛාවක් පිහිටුවීමට හැකිවිය. ඒ සඳහා ගාල්ලේ සිට ත්‍රි’මලයට මා හා අබේසේකර රැගෙන ගියේ පාලිත අබේරත්න විසිනි. සිය ජීප් රථයෙහි ඔහුගේ සහායට ඔහුගේ සමීප මිතුරෙකු වූ ගාමිණී කළුබෝවිලද එකතු වී තිබුණි. මේ දෙදෙනාම ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සේවකයන් වූ අතර තිලක් ජයරත්නගේ ආදරණීය ගෝලයෝ වූහ. නොදන්නාකම නිසා මේ දෙදෙනා අප ත්‍රිකුණාමලයට රැගෙන ගියේ ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, වැල්ලවාය හා මඩකළපුව හරහාය. එය ලස්සන ගමනක් වුවද ගමනට ගතවූ කාලය පැය 12කි.
මුලදී සාකච්ඡා සභා සඳහා විවිධ ප්‍රදේශවලට මා යන ගමන්වලදී බොහෝවිට ඒ සඳහා යන ප්‍රවාහන වියදම් දරන්නට සිදුවූයේ මටය. ඒ ආකාරයට යා හැකි දුරේ සීමාවක් තිබෙන බවද දැන සිටියෙමි. තමන්ගේ වියදමෙන් වැඩ කරන වෙනත් අයද සිටියෝය. ඒ තත්ත්වය ඉක්මනින් වෙනස් වනු ඇතැයි මම විශ්වාස කළෙමි. දැනටමත් එය සිදුවෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. දැන් මෙවැනි ගමන්බිමන්වලදී යන බරපැන විවිධාකාරයෙන් බෙදාහදා ගන්නා ක්‍රමයක් ස්ථාපිත වෙමින් පවතී.
පාලිත හා ගාමිණී දීර්ඝකාලීන රාවය පාඨකයන් වුවද පුනරුද ව්‍යාපාරයට සජීවී සම්බන්ධයක් තිබුණු අය නොවූහ. මෙම සංචාරය මගින් ඒ දෙදෙනා ත්‍ර්‍රි’මලය කරා යන ගමනේ වියදම් දරන අතර පුනරුද ව්‍යාපාරය තේරුම් ගැනීමටද එය අවස්ථාවක් කර ගත්තෝය. ඔවුන් ත්‍රි’මලය සාකච්ඡාවට සහභාගි වී කුරුණෑගලට පැමිණ මා දොස්තර සුගත්ට භාරදී පෙරළා යන අවස්ථාව වනවිට ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවන් බවට පත්ව සිටියෝය.
අප පිහිනන්නට උත්සාහ කරන්නේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත විකෘති කිරීම සහ දූෂිත කිරීමට හේතුවී තිබෙන ආත්මාර්ථකාමී මහා බලවේගයකට එරෙහිවය. ඒ මගින් අපේක්ෂා කරන්නේ ඔවුන්ට ප්‍රකෘති සුවය ලබාදීම දුෂ්කර වුවත් එය කළ හැකි දෙයක් මිස කළ නොහැකි දෙයක් ලෙස නොවේ. මිනිසුන්ට ඔවුන් ඇද වැටී සිටින අවාසනාවන්ත හා අසරණ තත්ත්වය තේරුම් කර දුන් විට බොහෝවිට ඔවුන් තුළ කම්පනයක්ද ආත්ම ලැජ්ජාවක්ද ඇතිවේ. අභ්‍යන්තර පරිවර්තනය ඇතිවීම ආරම්භවන්නේ ඒ තුළිනි. මේ ආකාරයටම කිසියම් විශාල පිරිසකට ප්‍රකෘති සිහිය සමඟ ප්‍රඥාව ලබාදිය හැකිනම් හා ඒ සියලුදෙනා ජාලගත කොට ඔවුන්ට වැඩිදුර අධ්‍යාපනයක් ලබාදෙමින් ඒ සියලුදෙනා පුනරුදය උදාකර ගැනීමේ අරමුණ වෙනුවෙන් බලවත් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් ලෙස පත් කළ හැකි නම් දැන් තිබෙන අවලස්සන චිත්‍රයේ යහපත් වෙනසක් ඇති කළ හැකිය.
එම සාකච්ඡා සභාවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළේ සරත් ගාල්ලගේය. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රිකුණාමලයේ රාවය ප්‍රාදේශීය වාර්තාකරු ලෙස ක්‍රියා කරයි. ඔහු එම සභාව අමතා කරන ලද කතාවේදී තමන් ආරාධනා කළ පුද්ගලයන්ගෙන් සමහරෙකු සාකච්ඡාවට සහභාගිවීම වෙනුවෙන් දීමනාවක් ලබාදෙන්නේදැයි විමසා සිටි බවත් සාකච්ඡා සභාවට පැමිණෙන අයට දැනුම හැර වෙනත් කිසිවක් නොදෙන බව කියන්නට තමාට සිදුවූ බවත් කියා සිටියේය. ත්‍රිකුණාමලයේ සාකච්ඡා සභාවට සහභාගි වූ අයගෙන් වැඩි පිරිසක් කාන්තාවෝ වූහ. එය දකුණේ සිංහල ප්‍රදේශවල දක්නට නැති විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
19 වැනිදා මාවනැල්ලේ පැවති සාකච්ඡා සභාවද එම ප්‍රදේශයේ වාර්ගික සංයුතිය හොඳින් පිළිබිඹු කරන ලද සාර්ථක සාකච්ඡා සභාවක් වීයැයි කිව හැකිය. 21 වැනිදා ආනමඩුවේදී, 22 වැනිදා නිකවැරටියේදීද සාකච්ඡා සභා දෙකක් පවත්වන ලදි. ආනමඩුව සාකච්ඡාව පවත්වා රාත්‍රියේ ආපසු එමින් සිටියදී අතුරු පාරක සිට වේගයෙන් දුවගෙන පැමිණි හරකෙකු නිසා අප ගමන් ගත් වාහනයට ලොකු අනතුරකට මුහුණ දෙන්නට සිදුවිය. හරකා විනාඩි 15කටත් වඩා අඩු කාලයකදී මරණයට පත්වූ අතර වාහනයේ ඉදිරිපස ගමන් කළ නොහැකි ආකාරයට චප්ප වී තිබුණි. වාහනය එලවූ රියදුරා ගාල්ලෙන් සොයා ගත්, එහෙත් ලොකු දැනහැඳුනුම්කමක් තිබුණු කෙනෙක් නොවේ. මේ ගමනට වාහනය ලබාදී තිබුණේ රංජිත් දිසානායකය. එය ඔහුගේ නොව ඔහුගේ පුතා සංචාරක කාටයුතු සඳහා යොදාගත් වහල උස හයිඒස් වර්ගයේ වාහනයකි. අනතුර ගැන දැනගන්නට ලැබුණු විට රංජිත් හෝ ඔහුගේ පුතා වාහනයට සිදුවූ අලාභය ගැන කම්පනයක් ඇතිකරගෙන තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. ඔවුන් දෙදෙනාම කම්පා වූයේ ඒ නිසා අපට මුහුණ දෙන්නට සිදුවූ දුෂ්කර තත්ත්වය ගැනය. ඒ වනවිට මගේ තනියට සිටියේ ආනමඩුව සාකච්ඡාවට සහභාගි වී අප සමග නිකවැරටියට එමින් සිටි පුද්ගලයාය. එම පුද්ගලයා එම දුෂ්කර අවස්ථාවේ සියලු කටයුතු අවසන් වන තෙක් මා සමඟ එහි සිටියේය. එම අපූරු පුද්ගලයාගේ නම තිස්සය. ඔහු කලක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධානියාය. තවත් කලක් ජේවීපී පූර්ණකාලීනයෙකි. පසුදින පැවති නිකවැරටිය රැස්වීම සංවිධානය කළ කීපදෙනාගෙන් කෙනෙකි. 23 වැනිදා වෙන්නප්පුවේදී ලංකාවේ ප්‍රධාන පෙළේ ධීවර සමිති දෙකක නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලද අතර ඉන්පසු එදින රාත්‍රියේදී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ එකතුවක් සමඟද සාකච්ඡාවක් පවත්වන ලදි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගියේ ඉන් පසුවය. 24, 25 සහ 26 යන දිනවල හිඟුරක්ගොඩ, දියසෙන්පුර, මැදිරිගිරිය, ඇලහැර හා පළුගස්දමන යන ප්‍රදේශවලද සාකච්ඡා සභා පහක් පවත්වන ලදි.

විනාශකාරී සතුන් රැකීම
කෘෂිකර්මයට හානි කරන සතුන් මර්දනය කරනවා වෙනුවට ඔවුන් රැකීම රජයේ පිළිගත් ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ නිසා පමණක් කෘෂිකර්මයට සිදුවී තිබෙන හානියේ ප්‍රමාණය අතිවිශාලය. වල් ඌරන්, වඳුරන්, රිලවුන්, මොනරුන්, දඬුලේනුන් වැනි සතුන්ගෙන් නිරන්තර පහරදීමට ලක්වන අවස්ථාවලදී එවැනි ඉඩම් වගා කිරීම ගොවීහු අත්හරිති. වල් ඌරු රංචුවකට, වඳුරන් හෝ රිලවුන් රංචුවකට, මොනරුන් රංචුවකට හා දඬු ලේනුන් රංචුවකට කෘෂිකර්මයේදී කළහැකි විනාශය අතිවිශාලය. උන්ගේ නිරන්තර පහරදීමකට ලක්වන ගොවි බිමක් අත්හරිනවා හැර තෝරාගැනීමට වෙනත් විකල්පයක් ගොවීන්ට නැත. අතීතයේදී තිබුණේ කෘෂිකර්මයට හානි කරන සතුන් මර්දනය කිරීමට ගොවීන්ට අනුබල දෙන ප්‍රතිපත්තියකි. දැන් ඒ වෙනුවට තිබෙන්නේ කෘෂිකර්මයට හානිකරන සතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියකි.
ඇලහැර පැවති සාකච්ඡාවේදී එම ප්‍රශ්නය සාකච්ඡාවේ ප්‍රධාන තේමාව බවට පත්විය. කුඹුරු ගොවිතැනේදී එම ගොවිතැනේ යෙදෙන ගොවියෙකුට කන්නයක් සඳහා වැඩ කරන්නට ලැබෙන්නේ දින 19ක් හෝ ඊට අඩු දින ගණනක් වන නිසා අතිරේක වැඩ කිරීමකින් තොරව හොඳ ආදායම් උපදවන තත්ත්වයක් ඇතිකර ගන්නේ කෙසේදැයි මම ප්‍රශ්න කළෙමි. ඔවුන්ගෙන් ඊට ලැබුණු පිළිතුර වූයේ වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාරවල නිර්මාතෘවරුන් ගොවි ජනපදවල පදිංචි කරවන ගොවීන්ට එම ඉඩම්වලට අතිරේකව ගොඩ ඉඩම් ලබා දුන්නේ මඩ ගොවිතැනින් පමණක් ජීවත්වීමට තිබෙන දුෂ්කරතාව සලකා බලා බවත් අවාසනාවකට ගොඩ ඉඩම්වල ඇති භෝග වගාවන්ට සතුන්ගෙන් එල්ල වී තිබෙන ආක්‍රමණ නිසා ගොඩ ඉඩම්වලින් උපයාගත හැකි ආදායම පහළම තත්ත්වයකට වැටී ඇති බවත්ය.
වල්ලපට්ටා ළඟ තබා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, හූනන්, කටුස්සන් වැනි සතුන් විකුණන අය අත්අඩංගුවට ගැනීම වැනි ප්‍රශ්නද එහිදී සාකච්ඡාවට ලක්විය. වල්ලපට්ටාවලට හොඳ මිලක් ලබාගත හැකි නම් ඒ මිල ලබාගැනීමට ගැමියන්ට ඉඩ දිය යුතුය. වල්ලපට්ටා වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතුය. අත්අඩංගුවට ගන්නා වල්ලපට්ටාවලට කුමක් සිදුවේදැයි කිසිවෙක් දන්නේ නැත. විශේෂ වර්ගවල හූනන්, කටුස්සන් වැනි සතුන්ට විශාල මිලක් ලබාගත හැකි නම් එවැනි වෙළෙඳාමට අනුබල දෙනවා මිස මර්දනය කළ යුතු නැත. එවැනි වෙළෙඳාම් මර්දනය කරනවා වෙනුවට විය යුත්තේ එවැනි විශේෂ සතුන් වගා කරන ගොවිපොළ ඇති කිරීමය. කෘෂිකර්මය පිළිබඳව රටට තිබෙන දැක්ම ඉතාමත් දුප්පත්ය. කෘෂිකර්මයට හානි කරන වන සතුන් ආරක්ෂා කරන පිළිවෙතින් පමණක් රටේ කෘෂිකර්මයට සිදුවී තිබෙන හානිය අතිවිශාලය. වන සතුන් දිගින් දිගට භෝග වගාවන් විනාශ කරන අවස්ථාවලදී ගොවීන් කරන්නේ එම භෝග වගාවේ යෙදීම අත්හැරීමය. ඒ නිසා ගොවියා පමණක් නොව රටද දුප්පත් වේ. භෝග වගාවන්ට හානි කරන වල් සතුන් මර්දනය කළ යුතුය. ඒ සඳහා පිළිගත් ප්‍රතිපත්තියක් රාජ්‍යයට තිබිය යුතුය. ඒ සඳහා රාජ්‍යයට තිබෙන්නේ උපාසක පිළිවෙතක් නම් එය ගොවීන්ගේ හෝ රටේ කෘෂිකර්මයේ යහපතට හේතුවන්නේ නැත.
කෘෂිකර්මයට හානි කරන වල් සතුන් මර්දනය කරන පිළිවෙත නිසා වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන්, මොනරුන් වැනි සතුන් මුළුමනින් නැතිභංගවන්නේ නැත. ඉන් සිදුවන්නේ එම සතුන්ගේ ජනගහනයේ පාලනයක් සිදුවීම පමණය. වල් ඌරන් මරන්නට, උන්ගේ මස් ප්‍රවාහනයට හා වෙළෙඳාමට ඉඩදිය යුතුය. වල් ඌරන් ඇතුළු දඩ මස් කන්නට මිනිස්සු කැමතිය. මැරීම සපුරා තහනම් කළයුත්තේ වඳවී යමින් තිබෙන විශේෂ ප්‍රභේද පමණය. වගාවන්ට හානි කරන අන් සියලු සතුන් මැරීමට අනුබල දිය යුතු අතර උන්ගේ මස් ආහාරයට ගැනීමටද මිනිසුන් උනන්දු කළ යුතුය.

වස විස නැති කෘෂිකර්මය
පොළොන්නරුව වැඩසටහනේ සංවිධායකයන් ලෙස ක්‍රියා කළේ කවුඩුල්ලේ ජයතිස්ස, ආරියවංශ අබේසේකර, ආරියරත්න සුබසිංහ, මර්වින් ප්‍රනාන්දු හා හිඟුරක්ගොඩ චන්දරේ යනාදින්ය. ජයතිස්ස හා සුබසිංහ රසායන පොහොර හා පළිබෝධ නාශකවලින් තොර වස විස නැති කෘෂිකර්මයක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ලංකාවේ ප්‍රකට න්‍යායවාදීන් දෙදෙනෙකු ලෙසද සැලකිය හැකිය. එම විෂයේදී මා දරන අදහස් ඊට වෙනස්ය. එයද ප්‍රකට කාරණයක් ලෙස සැලකිය හැකිය. එසේ තිබියදීත් පොළොන්නරුව වැඩසටහන සංවිධානය කිරීමට ඒ දෙදෙනා පෙරමුණ ගැනීමෙන් පෙනෙන්නේ එවැනි දේවල්වලදී වෙනස් මත තිබියදීත් අපට එකට එකතු වී වැඩ කිරීමට හැකියාවක් තිබෙන බවය. වර්ගය, කුලය හා ආගම සම්බන්ධයෙන් පුනරුද ව්‍යාපාරය දරන නිල මතයේදී හැර අන් ඕනෑම කාරණයකදී වෙනස් මත දැරීමේ අයිතිය ව්‍යාපාරයේ සාමාජිකයන් සතුය. අනේකවිධභාවය පුනරුදය සංවිධානයට ආවේණික වැදගත් ලක්ෂණයකි.
අපට එම ගමනේදී සුබසිංහගේ හා ජයතිස්සගේ ආදර්ශ ගොවිපොළ දෙකක්ද නැරඹීමට අවස්ථාවක් ලැබුණි. ඒවා වැදගත් අත්හදා බැලීම් ලෙස සැලකිය හැකි වුවත් ගෘහස්ත මට්ටමෙන් කෙරෙන පුංචි වගාවන් සඳහා මිස ඊට වඩා ලොකු ප්‍රමාණයන්ගෙන් කෙරෙන වගාවන් සඳහා යොදාගත හැකි ආදර්ශ මාදිලි ලෙස සැලකිය නොහැකිය. විකල්ප ක්‍රමයක් යෝජනා කරන විට එය සමස්ත කෘෂිකර්මය සඳහාම යොදාගත හැකි ක්‍රමයක්ද නැතහොත් කෘෂිකර්මයේ කිසියම් අංශයක් සඳහා පමණක් යොදාගත හැකි ක්‍රමයක්ද යන්න පැහැදිලි කළ යුතුය. එසේම ඉදිරිපත් කරන රීති තර්කානුකූල විය යුතුවා සේ ම ප්‍රායෝගිකද විය යුතුය. අවසාන විග්‍රහයේදී නව ක්‍රමයෙන් ලැබෙන ඵල පරණ ක්‍රමයෙන් ලැබෙන ඵලයන්ට වඩා ඵලදායී විය යුතුය.
එම දර්ශනයේ මට පෙනෙන සීමාසහිතකම් මේවාය.
1. එම ගෘහස්ත මට්ටමෙන් මිස මහා පරිමාණයෙන් යොදාගත නොහැකි ක්‍රමයකි.
2. එම ක්‍රමයේ දර්ශනය විද්‍යා විරෝධීය. කෘෂිකර්මයේදී විද්‍යාවට හිමි කාර්යභාරය ප්‍රතික්ෂේප කරයි.
3. ස්වාභාවික වන හැම දෙයක්ම වස විසෙන් තොරවේයැ’යි කල්පනා කරයි. රසායනික පොහොරවල තිබෙන වස විස දක්නට සමත්ව ඇතත්, ස්වාභාවික පොහොරවල ඇති වස විස දකින්නට සමත්ව නැත.
4. විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නිපදවන වැඩි දියුණු කළ ප්‍රභේදවලට වඩා පැරණි ප්‍රභේද උසස් හා උතුම් කොට සලකයි.
දියසෙන්පුර රජ මහා විහාරයේදී පැවති සාකච්ඡාවේදී වැඩි දියුණු කළ ප්‍රභේදවලදී බීජ වෙනුවෙන් විශාල මිලක් ගෙවන්නට ගොවීන්ට සිදුවී තිබෙන බවත්, එය විශාල සූරාකෑමක් බවත් එක් කථිකයෙක් කියා සිටියේය. ඔහු එහිදී නිදර්ශනයට ගත්තේ පැපොල් හෙවත් ගස්ලබුය. සාම්ප්‍රදායික ප්‍රභේදවල බීජ නොමිලේ හා ඉතා අඩු මිලකට ලබාගත හැකිව තිබියදී පැපොල් ගොවීන් සාම්ප්‍රදායික වර්ගවල බීජ වගා නොකොට වැඩි දියුණු කළ නව ප්‍රභේද සඳහා වන බීජ වැඩි මිලක් ගෙවා වගා කරන්නේ ඒ මගින් වැඩි ඵලදාවක් හා වැඩි අදාායමක් ලබාගැනීමට තිබෙන හැකියාව නිසා බව මට කියන්නට සිදුවිය. එහිදී ගොවීන් එම තීරණය ගනු ලබන්නේ බලපෑමක් නිසා නොව තමන්ගේ හිතට එකඟවය. එහිදී ඔවුන්ට කිසිදු වියදමක් නැතිව හෝ ඉතාමත් අඩු වියදමකින් සාම්ප්‍රදායික බීජ වගා කළ හැකිය. එසේ තිබියදී ඔවුන් නව ප්‍රභේද වගා කිරීමට අවශ්‍ය බීජ වෙනුවෙන් වැඩි වියදමක් දරයි නම් එසේ කරන්නේ බීජ සඳහා වැඩි වියදමක් දරන්නට සිදුවුවත් එයින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකි නිසාය.

දුප්පත්කමේ ගොවිතැන
ලංකාවේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. ඒ නිසා ශ්‍රී ලංකාව කෘෂිකර්මයේදී ප්‍රමුඛ වැදගත්කම ලබාදී තිබෙන්නේ වී වගාවටය.
විවිධ භෝග වගාවන් සඳහා වෙන්වී තිබෙන ඉඩම් ප්‍රමාණයන් හෙක්ටයාර්වලින් මෙසේය.
1. තේ හෙක්ටයාර් 220 000
2. රබර් හෙක්ටයාර් 158 000
3. පොල් හෙක්ටයාර් 395 000
4. වෙනත් වී හැර වෙනත් ධාන්‍ය
හා එළවළු ඇතුළු වෙනත් වගාවන් සඳහා හෙක්ටයාර 155 954
5. වී සඳහා හෙක්ටයාර් 1233 000
වී වගාව සඳහා වැඩිම ඉඩම් ප්‍රමාණයක් වෙන්කර ඇතත් සියලු භෝග වගාවන් අතුරින් අඩුම ආදායම ලබාදෙන වගාව වන්නේ වී වගාවය.
වී ඇතුළු ගැමි කෘෂිකාර්මික භෝග වගාවන් ලෙස සැලකිය හැකි වගාවන්ගෙන් අක්කරයකින් උපයාගත හැකි ආදායම් මෙසේය.
මුකුණුවැන්න රුපියල් 1895968
කැරට් රුපියල් 283819
මිරිස් රුපියල් 220168
වම්බොටු රුපියල් 156937
ගෝවා රුපියල් 126889
අර්තාපල් රුපියල් 116205
රතුලූනු රුපියල් 87571
බෝංචි රුපියල් 84264
කුරක්කන් රුපියල් 31099
මුංඇට රුපියල් 29576
කව්පි රුපියල් 20256
තක්කාලි රුපියල් 18743
බඩ ඉරිඟු රුපියල් 12320
වී (1) වාරිමාර්ග යටතේ 17934
(2) වාරිමාර්ග නොවන 3512

ඉහත සඳහන් දර්ශකය සඳහා යොදා ගෙන ඇත්තේ 2012 වසර සඳහා මහ බැංකුව ප්‍රකාශ කර තිබෙන සංඛ්‍යා ලේඛනයන්ය. ඒ මගින් විවිධ භෝග වගාවන්ගෙන් උපයාගත හැකි ආදායම් පිළිබඳව දළ අදහසක් ඇති කරගත හැකිය. ඒ අනුව ලංකාවේ වී වගාව සැලකිය හැක්කේ සියලුම භෝග වගාවන් අතුරින් ගොවියාට අඩුම ආදායම් ලබාදෙන වගාව ලෙසය. එහෙත් අවාසනාවන්තම දේ වනුයේ ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් වෙන්කර තිබෙන වගාව ද වී වගාව වීමය. ලංකාවේ ග්‍රාමීය දුප්පත්කම හා වී වගාව අතර ලොකු අන්තර් සම්බන්ධයක් පවතී. ලංකාවේ වී ගොවීන් ධීවරයන්ටත් වඩා දුප්පත්ය. වී ගොවිතැනින් ලබාගත හැකි ආදායම තිබෙන්නේ තාමත් පහත් මට්ටමකය. වී වගා කරන ගොවීන් කන්නයකදී වැඩ කරන්නේ දින 19ක් පමණය. ඒ අර්ථයෙන් එය අඩුම ශ්‍රමයක් අවශ්‍ය ගොවිතැනක් ලෙස සැලකිය හැකිය. ඒ සියලු කාරණා සැලකිල්ලට ගත්විට වී ගොවිතැන සැලකිය යුත්තේ දුප්පත්කම වගා කරන ගොවිතැනක් ලෙසය.

කෘෂිකර්මය නගා සිටුවීම
ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවීමට අවශ්‍ය නම් කෘෂිකර්මයේදී නවීන විද්‍යාව කෙරෙහි ඇති කරගෙන තිබෙන අවිශ්වාසය අත්හළ යුතුය. කෘෂිකර්මයේදී විද්‍යාත්මක ගොවිතැනට ලැබිය යුතු වැදගත්කම පිළිගත යුතුය. පව් පින් නොසලකා කෘෂිකර්මයට වල් සතුන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනයන් මැඬලිය යුතුය. සෞඛ්‍යයට හිතකර ආහාර රටාවන්ට මාරුවිය යුතු අතර ඊට ගැළපෙන භෝග වගාවන්ට මාරුවිය යුතුය. පසුගිය දිනවල උඩරට එළවළු මිල විශේෂ වශයෙන් ගෝවා මිල විශ්වාස කරන්නටත් බැරි තරමට පහත වැටුණි. ලංකාව ගෝවා කන්න දන්නේ දෙවිධියකට පමණය. ඒ එළවළුවක් හා මැල්ලුමක් වශයෙනි. ගෝවා වගාව ආර්ථික වශයෙන් ඵලදායී භෝග වගාවක් බවට පත්කර ගැනීමට අවශ්‍ය නම් ගෝවා ආහාරයට ගන්නා වෙනත් ක්‍රම අපේ ආහාර රටාවට එකතු කරගත යුතුය. ගෝවා ආහාරයට ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රම රාශියක් පවතී. ඒවා අතර කල් තබාගත හැකි ක්‍රමද පවතී. ඒ ගැන මහජනයා දැනුවත් කළ යුතුය.
පුනරුද ව්‍යාපාරයට මාරවිලින් එකතු වූ දක්ෂ සූපවේදියෙක් සිටින්නේය. ඔහු තුළ තිබෙන එක් විශේෂ දක්ෂතාවක් වනුයේ දුම් ගැසූ මස් හා මාළු නිපදවීමට තිබෙන හැකියාවය. දුම් ගසා සකස් කරන ලද මස් මාළු ඉතාමත් රසවත්ය. යුරෝපයේ නම් දුම් ගැසූ මස් මාළුවලට විශාල ඉල්ලුමක් තිබෙන අතර ඒවාට ලැබෙන මිලද ඉහළ මට්ටමක පවතී. එහෙත් ලංකාව දුම් ගැසූ මස් මාළුවලට කිසිම ඉල්ලුමක් නැති රටක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව දුම් ගැසූ මස් මාළු ගැන කිසිදු අවබෝධයක් මහජනයාට නොතිබීමය. ඒ අවබෝධය මහජනයාට ලබා දුන් විට දුම් ගැසූ මස් මාළු ජනප්‍රිය ආහාර විශේෂයක් බවට පත්වනු ඇති අතර එය මස් හා මාළු කර්මාන්තයන්ගේ අභිවර්ධනයටද හේතුවනු ඇත.
අපට බත්කෑමෙන් ඉවත්වීමේ හැකියාවක් නැතත් වී ගොවිතැන ගැන බැතියෙන් බලන පුරුද්දෙන් අත්මිදිය යුතුය. තුන්වේලටම බත් කෑම යහපත් නැත. බත් කන ප්‍රමාණය අඩු කොට වැඩි වැඩියෙන් එළවළු, මස් මාළු හා පලතුරු ආහාරයට ගත යුතුය. රටට අවශ්‍ය බත් සඳහා අවශ්‍ය වී මුළුමනින් වියළි කලාපයෙන් පමණක් නිපදවාගත හැකිය. එය වියළි කලාපයට පමණක් සීමාවූ භෝග වගාවක් බවට පත් කළ හැකිය. තෙත් කලාපයේ සියලු කුඹුරු ඉඩම් ඒවාහි පහත්බිම් ස්වරූපය වෙනස් නොකොට වෙනත් භෝග වගාවන්ට යොමු කළ හැකිය. ඒ මගින් පමණක් රටේ ආර්ථිකයේ ලොකු වෙනසක් ඇති කළ හැකිය.■