Untitled-1

Untitled-1

කළුතර සහ අඟුණකොළපැලැස්ස


kathu

කළුතර දී බන්ධනාගාර රථයකට වෙඩි තැබීමේ සිදුවීම හුදෙකලා සිදුවීමක් හැටියට නොව, රටේ නීතියේ කඩා වැටීම පිළිබඳ බලවත් නිදර්ශනයක් හැටියට සැලකිය යුතු ය.
එහි දී මියගිය ප්‍රධාන සැකකරුට මීට පෙරත් මරණ තර්ජන තිබුණි. වරක් ඔහුට වෙඩි තබන ලද්දේ කඩුවෙල උසාවියේ දී ය. තවත් වරෙක ඔහුගේ බිරිඳයැ’යි වරදවා ගෙන වෙනත් කාන්තාවකට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී වෙඩි තැබිණි. මේ පෙර සිදුවීම් දෙක පිළිබඳව ප්‍රමාණවත් තරම් පරීක්‍ෂණ කෙරුණේ ද? මේ සැකකරු බරපතළ ජීවිත අවදානමකට ලක්ව සිටින්නකු හැටියට සලකා ඔහුගේ ජීවිතාරක්‍ෂාව සඳහා ප්‍රමාණවත් පියවර ගෙන තිබුණේ ද? පෙනෙන්නේ මේ කිසිවක් සලකා නැති බවයි. මෙවැනි අවදානම් සහිත සැකකරුවන් අධිකරණ වෙත ප්‍රවාහනය කිරීමේ දී බන්ධනාගාර විසින් ම පවත්වා ගෙන යන ආරක්‍ෂක ක්‍රමවේද තිබේ. සැකකරුවන් පිටතට ගෙනයන කාලවේලාවන් අහඹු ලෙස වෙනස් කිරීම, පිටතට ගෙනයන්නට නොහැකි අවස්ථාවල ඒ ගැන මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දීම, බන්ධනාගාරය තුළ ම පැවැත්වෙන අධිකරණවලට ඔවුන් ඉදිරිපත් කිරීම වැනි ක්‍රම එහිදී යොදා ගැනෙයි. අවදානම් සහිත සැකකරුවන් ප්‍රවාහනයේ දී පොලිස් ආරක්‍ෂාව ලබා ගන්නා නමුත්, මේ සිදුවීම වූ දිනයේ නිලධාරීන්ගේ හිඟකම නිසා පොලිස් ආරක්‍ෂාව ලැබී නැත. මෙවැනි හේතු කිසිසේත් පිළිගත හැකි දේ නොවේ.
මේ ඝාතනයට බන්ධනාගාරය තුළින් ම, එහි රඳවුවන්ගෙන් හෝ නිලධාරීන්ගෙන් හෝ සහායක් ලැබී තිබෙන බවට සාධාරණ සැකයක් ඇති වෙයි. එසේ නොවන්නේ නම්, මේ තරම් නිවැරදි හා ඉලක්කගත ප්‍රහාරයක් එල්ල කරන්නට කිසිසේත් නොහැකි ය. මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵල ලෙස බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුටද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. පොලිසිය මේ ගැන ඉතාම බැරෑරුම් අපරාධ විමර්ශනයක් කළ යුතු ය. ඒ සඳහා වගකිව යුතු සියලු පුද්ගලයන් ඔවුන්ගේ ස්වභාවය නොසලකා නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.
මෙහිදී ඝාතනය වුණේ ප්‍රසිද්ධ හා ක්‍රෑර පාතාල නායකයන් යැයි කියමින් මෙවැනි සිදුවීම් නොතකා හරින ස්වභාවයක් ද සමාජයේ තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ දී රඳවුවන් විසිහත් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද එක් පැත්තකින් මතුවුණේ ඒ තර්කයයි.
එහෙත්, මරණ දඬුවමක් නීත්‍යනුකූලව හිමිවූවකු හැරෙන්නට (මරණ දඬුවම ද ක්‍රෑර ය. අහෝසි කළ යුතු ය.) අන් කිසි ම පුද්ගලයකු ඝාතනය විය යුතු නැත. කෙතරම් මිනීමැරුම් සංඛ්‍යාවකට වරදකරු හෝ සැකකරු වුව ද, මේ ලෙසින් ඝාතනය වන්නට ‘සුදුසුකමක්’ ඒ සැකකරුවන් කෙරෙහි ඇති නොවේ. ඔවුහු සිටියෝ රජයේ වගකීම් භාරයේ ය. ඔවුන්ගේ ජීවිතය රැකීමේ අත්‍යන්ත වගකීම තිබුණේ රජයට ය. තම භාරයේ සිටියදී අනීතික ලෙස නැති වන ජීවිතවල වගකීම භාරගත යුත්තේ රජයයි. ඝාතනය වුණු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ප්‍රදානය කෙරෙන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. ඝාතනය වුණු අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ද ඒ ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වනවාට අමතර ව, තම වගකීම පැහැර හැරීම වෙනුවෙන් රජය වන්දි මුදලක් ගෙවිය යුතු නොවේ ද?
2012 වැලිකඩ සමූහ ඝාතනයේ දී මෙන් ම කළුතර ඝාතනයේදී ද ඝාතනය වුණේ දරුණු අපරාධකරුවන් ය යන අදහසින් ඒ ගැන සංවාදයක් සමාජයේ ඇතිවන්නේ නැත. මේ ආණ්ඩුව වුණත්, සිරකරුවන් සම්බන්ධයෙන් සලකන්නේ එවැනි වෙනස්කම් සහිත කෝණයකින් බලමිනි. පසුගියදා අඟුණකොලපැලැස්සේ නව බන්ධනාගාරයක් විවෘත කිරිමේ උත්සවයට සහභාගිවීම ප්‍රතික්‍ෂෙප කරමින් ජනාධිපතිවරයා කී දෙයින් එය තවත් පැහැදිලි වෙයි. ඔහු කියා තිබුණේ, කෙතරම් සුපිරි වුණත් බන්ධනාගාර විවෘත කිරීමට තමා අකමැති බවයි.
අද ලෝකයේ බන්ධනාගාර යනුද රටක ශිෂ්ටත්වය පෙන්වන දර්ශකයකි. අල්කයිඩා ත්‍රස්තනවාදීන් රඳවා තිබුණු ගුවන්තනාමෝ බොක්කේ විශේෂ රැඳවුම් කඳවුරේ පහසුකම් පිළිබඳවද ලෝක මතයක් ගොඩනැගුණේ ඒ නිසා ය. සිරභාරයට ගැනෙන්නේ වරදකරුවන් බවත්, ඇතැම් විට බරපතළ අපරාධකාරයන් බවත් හැබෑ ය. එහෙත්, ඔවුන් පත්වන්නේ රජයේ භාරයට ය. රජයේ භාරයට පත්වන්නවුන් පුනරුත්ථාපනය කොට යහපත් මිනිසුන් ලෙස යළි සමාජයට මුදා හැරීම රජයේ වගකීමයි. බන්ධනාගාර තුළ සැප පහසුකම් ඇති කරන්නේ හිරබත් කන්නට මිනිසුන් ආසා කරවන්නට නොවේ. ඇතුළට එන මිනිසුන්ට මිනිසුන් ලෙස සලකා, පුනරුත්ථාපනය වුණු පිරිසක් හැටියට ඔවුන් යළි සමාජයට මුදා හරින්නට ය.■